ඉදිරිදර්ශන

ඇමසොන් ශ්‍රම බලකාය වෘත්තීය සමිති ගත කිරීමට බයිඩන් සහයෝගය දක්වන්නේ ඇයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු  3 දින Why Biden supports the unionization of the Amazon workforce  යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ඇලබාමා ප්‍රාන්තයේ බෙසිමර් හි ඇමසොන් ගබඩාවේ කම්කරුවන් වෘත්තීය සමිති ගත කිරීමට සිල්ලර, තොග, දෙපාර්තමේන්තු ගබඩා සංගමය (ආර්ඩබ්ලිව්ඩීඑස්යූ) දරන උත්සාහයට පූර්න සහාය දෙමින් ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා රාත්‍රියේ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කලේ ය. බර්මින්හැම් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි මෙම කම්හලේ සේවකයෝ 6,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ආර්ඩබ්ලිව්ඩීඑස්යූ හා සම්බන්ධ විය යුතු ද යන්න පිලිබඳ ව ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති.

මාර්තු 29 වැනිදා අවසන් වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේදී, “පක්ෂයි” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඇලබාමා හි කම්කරුවන්ගෙන් බයිඩන් පැහැදිලිව ම ඉල්ලා සිටියේ ය. “ජාතික කම්කරු සබඳතා පනත මගින් වෘත්තීය සමිති පැවතීමට අවසර නැතැයි කීවේ නැත,” ඔහු පැවසී ය.“එය කිව්වේ අපි වෘත්තීය සමිති දිරිමත් කල යුතු බවයි.”

බයිඩන් ජනවාරි 14 වන බ්‍රහස්පතින්දා, ඩෙලවයා ප්‍රාන්තයේ විල්මින්ටන් නගරයේ ක්වීන් රඟහලේ දී කථාවක් පවත්වයි. [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / මැට් ස්ලොකොම්]

ඔහු තවදුරටත් මෙසේ පැවසී ය. “අද සහ ඉදිරි දින හා සති කිහිපය තුල ඇලබාමාව හා ඇමරිකාව පුරා සිටින කම්කරුවෝ තම සේවා ස්ථානයේ සමිතියක් සංවිධානය කල යුතුද යන්න පිලිබඳව ඡන්දය ප්‍රකාශ කරනවා. ඇමරිකාව මාරාන්තික වසංගතය, ආර්ථික අර්බුදය සහ එය අපේ රටේ තවමත් පවතින ගැඹුරු විෂමතා පිළිබඳව හෙලි කරන, වාර්ගිකත්වය සැලකිල්ලට ගැනීම සමඟ පොරබදමින් ඉන්න විට මෙය ඉතා වැදගත් වෙනවා.”.

බයිඩන්ගේ මැදිහත්වීම ඓතිහාසිකව පෙර නොවූ විරූ ය. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් 1935 දී ජාතික කම්කරු සබඳතා පනත් නීතියට අත්සන් කිරීමෙන් පසු ව, අලුතින් සංවිධානය වූ කාර්මික වෘත්තීය සංගම්වල නායකයින් ප්‍රකාශ කලේ “ජනාධිපතිවරයාට ඔබ වෘත්තීය සමිතියකට බැඳීම අවශ්‍ය” බවයි. නමුත් රූස්වෙල්ට් කිසි විටෙකත් එසේ කීවේ නැත.

මෙම අවස්ථාවේ දී, බයිඩන් අපක්ෂපාතී බවක් ඇඟවූයේ නැත, වෘත්තීය සමිතියට ඡන්දය දෙන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා මිස, ඇමසොන් බිය ගැන්වීම් ගැන චෝදනා කලේ නැත. බයිඩන් ධවල මන්දිරයේ සමස්ත කීර්තියම [වෘත්තීය සමිතියේ] ඡන්දය වෙනුවෙන් පරදුවට තබයි. තමන්ගේ ආන්ඩුවේ සෘජු සහය ලබාදීම බෙසමර්හිදී “පක්ෂයි” යනුවෙන් පලකෙරෙන ඡන්දය සහතික කිරීමේදී මෙන්ම මූලෝපායිකවත් වැදගත්බව ඔහුට නොහැඟුනේ නම් ඔහු මෙය නො කරනු ඇත.

ඇමසොන්හි වෘත්තීය සමිතිකරන ව්‍යාපාරයට අදාල දේ ඇමසොන් කම්කරුවන්ගේ අවශ්‍යතා සමග කිසිදු සම්බන්ධයක් නැති බවට කෙරෙන ප්‍රකාශය, බයිඩන් මෙතරම් බරපතල ලෙස ඊට මැදිහත් වී ඇතැයි යන කාරනය විසින්ම බලගතු ලෙස හෙලිදරව් කරයි. 1973 සිට 2009 දක්වා සෙනෙට් සභාවේ බයිඩන්ගේ මුළු වෘත්තිය ම සම්පාත වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය විසින් සමාජ ප්‍රතිසංස්කරනය සඳහා වන ඕනෑම වැඩපිලිවෙලක් අත්හැර දැමීම හා “රේගොනොමික්ස්”(රේගන්ආර්ථිකය) සමග ඒකඟතාව සමගිනි.

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ “ඩුපොන්ට්හි සෙනෙට් සභිකයා” ලෙස දිගු කලක් ප්‍රසිද්ධ බයිඩන් අධිකරන කමිටුව සහ විදේශ සබඳතා කමිටුව ඇතුළු පාලක පන්තියේ අවශ්‍යතාවන්ට වඩාත් සංවේදී කමිටුවල සේවය කලේ ය. බැංකු නියාමනහරනය හා අනෙකුත් දක්ෂිනාංශික ක්‍රියාමාර්ගවල සන්ධිස්ථානයක් වූ, 1999 ග්ලාස් -ස්ටීගල් පනත අවලංගු කිරීමට ඔහු සහාය දැක්වී ය. සෙනෙට් සභාවේ දශක හතරකට ආසන්න කාලයකට පසු බයිඩන් ඔබාමාගේ උප ජනාධිපති ධුරයට පත් වූ අතර 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව වෝල් වීදියේ දැවැන්ත ඇපදීම සහ ධනවතුන්ට ප්‍රයෝජනවත් වන පරිදි පන්ති සබඳතා ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂනය කිරීමට සහාය විය. අලුතින් බඳවා ගැනුනු සියලුම මෝටර් රථ කම්කරුවන්ගේ වැටුපේ සියයට 50ක කප්පාදුවක් මත පදනම්ව ජෙනරල් මෝටර්ස් සහ ක්‍රයිස්ලර් සමාගම්වලට ඇපදීම ඊට ඇතුලත් ය.

2020 මැතිවරනයේ දී බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුරයට නාමයෝජනා දිනා ගත්තේ පක්ෂ ප්‍රතිසංස්කරනයේ ඕනෑම වැඩපිළිවෙලක් පැහැදිලිව ම ප්‍රතික්ෂේප කිරීමේ පදනම මත පක්ෂ නායකත්වයේ මැදිහත් වීමෙනි. බයිඩන් බර්නි සෑන්ඩර්ස්ගේ දක්ෂිනාංශික විකල්පය ලෙස හඳුන්වා දෙන ලදී.

ඇමසොන් හි වෘත්තීය සමිතිකරන ව්‍යාපාරය වෙනුවෙන් බයිඩන්ගේ ආක්‍රමනශීලී මැදිහත්වීම අර්ථ දැක්විය හැක්කේ මූලෝපායක් ලෙස මිස පාලක පන්තියේ සැලකිය යුතු කන්ඩායමකගේ උපක්‍රමික තීරනයක් ලෙස නො වේ. මෙම ප්‍රතිපත්තිය දිරිගන්වන්නා වූ කාරනා මොනවා ද?

පලමුව, පාලක පන්තිය පෙර නො වූ විරූ අර්බුදයකට මුහුන දී සිටින අතර එය වසංගතයෙන් විශාල ලෙස තීව්‍ර වී ඇත. ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පාලක පන්තිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය වසර තුල 530,000 කට ආසන්න පිරිසක් කොවිඩ් 19 රෝගයෙන් මියගොස් තිබේ. විනාශකාරී සමාජ හා ආර්ථික තත්වය සමඟ ඒකාබද්ධ ව සමූහ මරනයේ බලපෑම, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විඥානය කෙරෙහි ප්‍රබල පෙරලිකාරී බලපෑමක් ඇති කරමින් තිබේ.

ට්‍රම්ප් මෙම තත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරු පන්තියේ නොසන්සුන්තාවට එරෙහි ව පෙරමුනක් ලෙස යොදා ගත හැකි, ෆැසිස්ට් සංවිධාන ප්‍රවර්ධනය කිරීමෙනි. ඩිමොක්‍රටිකයින් උත්සාහ කරන්නේ වෘත්තීය සමිති උපයෝගී කර ගනිමින් සමාජ විරෝධය මැඩපැවැත්වීමට ය. වාර්ගික හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම තුලින් කම්කරුවන් එකිනෙකාට බෙදීමට ඔවුන් දරන උත්සාහය සමඟ මෙය ඒ්කාබද්ධ වේ. කැපී පෙනෙන ලෙස, බයිඩන් ඇමසොන් හි තම මැදිහත් වීම වාර්ගික වචනවල කොටු කලේ, වෘත්තීය සමිති “විශේෂයෙන් කළු සහ දුඹුරු කම්කරුවන්” ආරක්ෂා කිරීමේ උපකරන ලෙස හඳුන්වා දෙමිනි.

දෙවනු ව, මිලිටරි බලය යොදා ගනිමින් සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටින පාලක පන්තියට, ජාත්‍යන්තර තත්වය ගැන ඇත්තේ අඩු සැලකිල්ලක් නො වේ. බයිඩන් පරිපාලනය රුසියාව සහ විශේෂයෙන් චීනය කෙරෙහි වඩ වඩාත් ගැටුම්කාරී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි. මෙම ප්‍රතිපත්තියේ තර්කනය යුද්ධයට මඟ පාදයි. ප්‍රධාන “මහා බලවතුන්ගේ ගැටුමක” දී, ජාතික ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කිරීමේ දී සහ පන්ති අරගලය මර්දනය කිරීමේ දී ධනේශ්වර ගැති වෘත්තීය සමිති තීරනාත්මක වනු ඇත. විදේශ යුද්ධයට විනයගරුක “කම්කරු ව්‍යාපාරයක්” අවශ්‍ය වේ.

ඇමසොන් හි බයිඩන්ගේ මැදිහත්වීම වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීම හා ඒවා වඩ වඩාත් සෘජුව ම රාජ්‍ය උපකරන හා සංගත කලමනාකරනය සමඟ ඒකාබද්ධ කිරීමේ ගෝලීය මූලෝපායක කොටසකි. ජනවාරියේ සමාරම්භක උත්සවයට පෙර බයිඩන්, තමා මෙතෙක් සිටි “වෘත්තීය සමිතිවලට පක්ෂ” ජනාධිපතිවරයා වනු ඇති බවට පොරොන්දු වූයේ ය.

2020 මැතිවරනයෙන් ටික කලකට පසු, නොවැම්බරයේ මැද භාගයේ දී, බයිඩන් ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති රිචඩ් ට්‍රම්කා ඇතුළු සියලු ම ප්‍රධාන වෘත්තීය සමිතිවල නායකයින් සහ ජෙනරල් මෝටර්ස්, මයික්‍රොසොෆ්ට්, ටාර්ගට් හා වෙනත් සමාගම්වල සංගත විධායකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. බයිඩන් රැස්වීමට පවසා ඇත්තේ තමා “වෘත්තීය සමිති හාදයෙක්” වන නමුත් “එය ව්‍යාපාර විරෝධී නොවන” බව යි. “අපි දැන් සිටින්නේ තරමක අගාධයක” යැයි ඔහු පැවසීය, නමුත් “අපි [එනම් වෘත්තීය සමිති විධායකයින්, සංගත ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඒලඹෙන බයිඩන් පරිපාලනය] පොදු අරමුනු වෙනුවෙන් එකඟයි.”

බයිඩන් අනුගමනය කරන මූලෝපාය කෝපරේට්වාදය ලෙස හැඳින්වේ, එනම්, ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීමේ පදනම මත ආන්ඩුව සංගත හා වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ කිරීම යි. 1938 දී ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයේ මෙසේ සඳහන් කරමින්, මෙම ප්‍රවනතා කෙරෙහි අවධානය යොමු කලේ ය, “උග්‍ර පන්ති අරගලයක කාලවල දී, වෘත්තීය සමිතිවල ප්‍රමුඛ කන්ඩායම් ඒ්වා හානිකර නොවන බව සහතික කරනු පිනිස මහජන ව්‍යාපාරයේ ස්වාමිවරුන් වීමට අපේක්ෂා කරති. … යුද්ධය හෝ විප්ලවයේ කාල පරිච්චේදයේ, ධනේශ්වරය සුවිශේෂී දුෂ්කරතාවලට ඇද වැටෙන විට, වෘත්තීය සමිති නායකයෝ සාමාන්‍යයෙන් ධනේශ්වර ඇමතිවරුන් බවට පත්වෙති.”

ට්‍රොට්ස්කි මෙසේ ලියමින් සිටියේ, අලුතින් පිහිටුවන ලද කාර්මික සංගම්වල කම්කරුවන් පාලක පන්තියට එරෙහි ව, එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ විශාල වැඩ වර්ජන ද ඇතුලු, කැරලිකාර අරගලවල නියලී සිටි අවධියක ය.

සංගතවලට සහ පාලක පන්තියට එරෙහිව කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සමඟ ඒඑෆ්එල්-සීඅයිඕ ඕනෑම ආකාරයකින් සම්බන්ධ වී දශක ගනනාවක් ගත වී ඇත. 1981 දී පැට්කෝ ගුවන් ගමනාගමන පාලකයන්ගේ වැඩ වර්ජනය හුදකලා කොට පරාජයට ඇද දැමූ දා සිට, වෘත්තීය සමිති ව්‍යාපාරය සංගත කලමනාකරනයේ ව්‍යුහයන් සමඟ මුළුමනින්ම ඒකාබද්ධ වී තිබේ. 1980 දශකය තුල, රේගන් පරිපාලනය විසින් මෙහෙයවන ලද පාලක පන්තියේ ප්‍රති-ප්‍රහාරයන්ට එරෙහි විරෝධය හුදකලා කර, මර්දනය කිරීම සඳහා වෘත්තීය සමිති තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

වෘත්තීය සමිතිවල සහාය ඇතිව 1990 ගනන්වල සහ 21වැනි සියවසේ මුල් දශකවල වැඩ වර්ජන ක්‍රියාකාරකම් මුලුමනින්ම පාහේ මර්දනය කරන ලද්දේ, 1920 ගනන්වල සිට නො දුටු මට්ටමට සමාජ අසමානතාවේ ඉහල යෑමකට පහසුකම් සපයමිනි.

2018 දී, ජානුස්ට එදිරිව ඒඒෆ්ඒස්සීඒම්ඊ (ඇමරිකානු ප්‍රාන්ත, කෝරල හා නාගරික කම්කරුවන්ගේ සම්මේලනයේ) නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ වාචික තර්ක විතර්ක වලදී, ඒඒෆ්ඒස්සීඒම්ඊ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු වෘත්තීය සමිතිවල කාර්යභාරය සාරාංශ කලේ, “නියෝජිත ගාස්තුව” - සමහර ප්‍රාන්තවල රාජ්‍ය සේවා සේවකයින් වෘත්තීය සමිතිවලට බැඳීමෙන් ඉවත් වුව ද වෘත්තීය සමිතියේ සමාජික ගාස්තුවට සමාන මුදලක් ගෙවීමේ අවශ්‍යතාව- “වැඩ වර්ජන නො කිරීම වෙනුවෙන් තුටු පඬුරක්” යැයි පවසමිනි. වෘත්තීය සමිතිවල මූල්‍ය සුරක්‍ෂිතතාව පවත්වා නොගෙන, “ඔබට රට පුරා කම්කරු නොසන්සුන්තාවේ අප්‍රකාශිත අවතාරයක් මතු කල හැකි” බවට ඔහු අනතුරු ඇඟවීය.

ඒඑෆ්එල්-සීඅයිඕ වැනි සංගත සංවිධාන තවමත් “වෘත්තීය සමිති” ලෙස හැඳින්වුවද, ඔවුන්ගේ සැබෑ භාවිතාව සහ භූමිකාව සාම්ප්‍රදායික ව “වෘත්තීය සමිතිය” යන යෙදුම සමග බැඳුනු කාර්යයට කිසිදු සම්බන්ධයක් නැත. ඒවා කම්කරු සංවිධාන නො ව කලමනාකරනය හා ආන්ඩුවේ උපකරනයන් ය.

කෙසේ වෙතත්, පාලක පන්තිය, සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් නායකත්වය දෙනු ලබන, ඇමසොන් කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ සාමාජික ක්‍රියාකාරී කමිටු තුල සංයුක්ත කෙරී ඇති, කම්කරු පන්ති විරුද්ධත්වයේ වර්ධනය කෙරෙහි අතිශයින්ම සැලකිලිමත්ය. එපමනක් නොව, කෝපරේට්වාදී වෘත්තීය සමිතිවල පාලනයෙන් බැහැරව එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ට තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සංවිධානය වීමට සමාජ මාධ්‍ය සහ වෙනත් ආකාරයේ සන්නිවේදනයන් භාවිතා කිරීමේ හැකියාව තිබෙන බවට පාලක පන්තිය දැනුවත් ය.

වසංගතය ආරම්භයේ සිට ම ධනේශ්වර සූරාකෑමේ සමස්ත ක්‍රියාවලියට ඊටත් වඩා තීරනාත්මක වී ඇති ඇමසොන් කම්කරුවන්ගේ දේශපාලන රැඩිකලීකරනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. මෙම ලෝකයේ පස්වන විශාලතම සේවා යෝජකයා 2020 දී රැකියා 427,000ක් එක් කලේ, ඒක්සත් ජනපදය තුල මිලියන භාගයක් ඇතුලුව ලොව පුරා එහි මුළු සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3කට ගෙන ඒමිනි.

වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීමේ අරමුන වන්නේ සාමාජික කම්කරුවන්ගේ ව්‍යාප්ත වන ව්‍යාපාරය වැලක්වීමට යි. කම්කරුවන්ගේ “එකම නීත්‍යානුකූල” නියෝජිතයා ලෙස වෘත්තීය සමිති පිහිටුවන විට බලාත්මක වන නීති මාලාවට කම්කරුවන් යටත් කිරීම එහි අරමුනයි. ඊට ප්‍රතිඋපකාර ලෙස වෘත්තීය සමිති විධායකයින්ට කර්මාන්තයේ පුළුල් අංශයන්හි මෙම සංවිධාන ආයතනිකකරනය කිරීමෙන් ලැබෙන වෘත්තීය සමිති ගාස්තු සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත.

ආන්ඩුවේ ආක්‍රමනශීලී පිටුබලය සහ ඇමේසන් කම්කරුවන් අතර කෝපය හා විරෝධය සංයෝජනය වීම බෙසමර්හි වෘත්තීය සමිති තල්ලුවට ජයග්‍රහනයක් ලබා දිය හැකි ය. ඡන්ද ප්‍රතිපලය කුමක් වුවත්, සාමාජික ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හා ගොඩනැගීම සඳහා වන අරගලය වර්ධනය කර පුළුල් කල යුතුය. ධනේශ්වර ගැති සහ අධිරාජ්‍යවාදී ගැති වෘත්තීය සමිති සංවිධාන ඔස්සේ තමන්ට ම විනය ගත වීමට කම්කරුවන්ට ඉඩ දිය නො හැක.

ඒහි අතිමූලික මට්ටමින්, පාලක පන්තිය විසින් වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කය වන්නේ කම්කරුවන් සමාජවාදයෙන් නිරෝධායනය කිරීමයි. වසංගතයෙන් තීව්‍ර වූ කම්කරු පන්තියේ වෛෂයික රැඩිකලීකරනය සමාජවාදී නායකත්වයක් සහ දේශපාලන වැඩපිලිවෙලක් අත්පත් කර ගනු ඇතැ යි යන්න පාලක පන්තියේ ප්‍රධාන භීතිය යි. ඇමසොන් හි බයිඩන්ගේ අසාමාන්‍ය මැදිහත්වීම පිටුපස ඇත්තේ මෙම බිය යි.

Loading