ඉදිරිදර්ශන

රෝසා ලක්සම්බර්ග්ගේ උපතින් වසර 150 ක් සැපිරේ

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 5 දින 150 years since the birth of Rosa Luxemburg  යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

රෝසා ලක්සම්බර්ග්ගේ උපතින් වසර 150ක් සපිරීමේ සංවත්සරය සනිටුහන් කිරීම සඳහා මාර්තු 7 වන ඉරු දින අන්තර්ජාල රැස්වීමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පහසුකම් සැපයීම යටතේ පැවැත්වින. 

රෝසා ලක්සම්බර්ග් වසර 150 කට ඉහත, එනම්, 1871 මාර්තු 5 වන දින, පෝලන්තයේ සමොෂ්ච් නඟරයේ උපත ලැබුවාය. 47 වන වියේ දී ඇයට අකල් සාහසික මරනයකට ගොදුරු වූවද, එම තතු නොතකාම, ඇය ලෙනින් හා ට්‍රොට්ස්කි ද සමඟ විසි වන සියවසේ වඩාත්ම වැදගත් විප්ලවවාදී මාක්ස්වාදී නායකයන් අතරින් අයෙකු ලෙස පිලිගැනේ. ධනේශ්වර අර්බුදය ගැඹුරුවීමේ තතු යටතේ අද දින සඳහා අත්‍යවශ්‍ය වන පාඩම් ඇගේ කාර්යභාරය තුල ගැබ් වේ.

ලක්සම්බර්ග් පුද්ගල දිරි බලය, නොබිඳිය හැකි සටන්කාමී ජීවගුනය සහ නොසැලෙන මූලධර්ම ද, විශිෂ්ඨ බුද්ධිය හා අපූර්ව න්‍යායික සහ වාගාලංකාරයික හැකියාවන් ද සංයෝජනය කිරීමට සමත් වූවාය. ඉහල අධ්‍යාපනයක් ලබා සිටි ඇය ජර්මන්, පෝලන්ත, රුසියානු හා ප්‍රන්ස භාෂා ව්‍යක්ත ලෙස කථා කිරීමට සමත් වූ අතර, තවත් භාෂා වටහා ගැනීමේ හැකියාවෙන් යුතු වූවාය. අතිමහත් ලාලසාවක ධාරිතාවකින් යුතු වූ ඇය, කම්කරුවන් හා බුද්ධිමතුන් යන දෙපිරිසටම ආකර්ශනීය වූ ලයාන්විත පෞරුෂයකින් යුතු වූවාය.        

සාහිත්‍යයට පෙම් කල ඇය එහි සමීප හුරුපුරුදුකම් ඇත්තියක වූවාය. හය වස් වියේ දී ලමා පුවත්පතකට ලිවීමට පටන් ගත් ඇය සුලු කලෙක ඇවෑමෙන් රුසියානු කවි පෝලන්ත භාෂාවට පරිවර්තනය කිරීමට ද, තමන්ගේම කවි රචනා කිරීමට ද වූවාය. පෝලන්ත ජාතික ඇඩම් මිකීවික්ට්ස්ගේ මෙන්ම ගොතේ හා මොරිකේ වැනි ජර්මානු කවියන්ගේ ද කවි පිටු ගනන් මතකයෙන් ගායනා කිරීමට ඇය සමත් වූවාය. ස්වභාවධර්මය කෙරේ ඇයගේ වූ ආදරය ඇයගේ ලිපිවල පිටු තුල මනාව පෙන්නුම් කෙරින. නීතිය හා ආර්ථික විද්‍යාව උගැනීමට ප්‍රථම ඇය මුලින්ම ජීව විද්‍යාව උගත්තාය. 26 වන වියේ දී ඇය ඉහලම සම්මාන සහිතව ආචාර්ය උපාධිය ලබා ගත්තාය.     

ලෝක ඉතිහාසයේ සියලු ශ්‍රේෂ්ඨ ප්‍රගතිශීලීන්ට සේම ලක්සම්බර්ග්ට ද, එක්කෝ තම විරුද්ධවාදීන්ගේ හිංසා පීඩා හා අපවාදවලට මුහුන දීමට හෝ, නැතහොත් වැරැදි මිතුරන් විසින් වැලඳ ගනු ලැබීමටත් මුසාකරනයට ලක්වීමටත් සිදු වී තිබින. ඇය ස්ත්‍රීවාදිනියක ලෙස බඳවා ගැනීමේත්, සමාජවාදය සඳහා වූ විප්ලවවාදී නොවන මාවත වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙස ඇය නිරූපනය කිරීමේත්, බෝල්ෂෙවික්වාදයට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරියක ලෙස ඇය අවභාවිත කිරීමේත් ප්‍රයත්න දැරී ඇත. සිය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ සෑම අංශයකින් ම හා තම වැඩ පිලිවෙලේ සෑම පේලියකින් ම ලක්සම්බර්ග්ගේ සම්පූර්න ප්‍රතිවිරුද්ධය මූර්තිමත් කරන ජර්මනියේ වාම පක්ෂය (Left Party) තම පක්ෂයේ පදනම එම ශ්‍රේෂ්ඨ විප්ලවවාදිනිය නමින් නම් කිරීමට පවා පියවර ගත්තේය.    

යමෙකු ලක්සම්බර්ග්ගේ චරිතාපදානය අධ්‍යයනය කිරීමටත් ඇගේ ලේඛන කියැවීමටත් වන් මොහොතේම මේ සියලු ප්‍රයත්න වංචාවන් බවට හෙලිදරව් වේ. කොන්දේසි විරහිතව සමාජවාදී විප්ලවයට කැප වූ ඇය, සම්මුතිවිරහිත ලෙස ජාත්‍යන්තරවාදය ආරක්ෂා කලාය. බර්න්ස්ටයින්ගේ සංශෝධනවාදයට හා වෘත්තීය සමිතිවල කොන්සර්වේටිව්වාදයට එරෙහි ඇගේ අරගලය ද, පලමුවන ලෝක යුද්ධයට එරෙහිව ඇගේ නිර්දය විරුද්ධත්වය ද, ජර්මන් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමෙහි ලා ඇගේ නායක කාර්යභාරය ද, විප්ලවවාදී මාක්ස්වාදයේ ප්‍රමුඛතම ශ්‍රේනිය තුල ඇගේ ස්ථානය සුරැකීමට හේතු වනු ඇත.       

මානව වර්ගයාගේ දැවන්තතම ප්‍රශ්න - සූරාකෑම, මර්දනය හා යුද්ධය - විසඳිය හැක්කේ කම්කරු පන්තිය විසින් ධනේශ්වර ක්‍රමය පෙරලා දමනු ලැබීමෙන් පමනක්ම බවත්, ඒ සඳහා කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය සඳහා කෙරෙන අරගලයක් අවශ්‍ය බවත් පිලිබඳව ඇය දෘඩතර ලෙස ඒත්තු ගෙන සිටියාය. වාමාංශික බුද්ධිමතුන් කම්කරු පන්තිය කෙරේ බොහෝ විට උපයෝගී කොට ගැනෙන නිහතමානී චාටුව ඇයට මුලුමනින්ම ආගන්තුක වූවක් විය. කම්කරුවන්ගේ විඥානය නැංවීමත්, දැනුම හා අවබෝධය සඳහා වූ ඔවුන්ගේ පිපාසය සංසිඳුවීමත්, ඔවුන්ට සමාජ හා දේශපාලන ගතිකයන් පැහැදිලි කොට දෙමින් ඉන් පැන නඟින දේශපාලන කර්තව්‍යයන් විස්තාරනය කිරීමත් තම කාර්යභාරය ලෙස ඇය දුටුවාය. එය, කම්කරුවන් අතර ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් කලේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ (එස්පීඩීයේ) මැතිවරන රැස්වීම් අමතා ඇය කථා කරන විට එම රැස්වීම් ස්ථාන සෑමවිටම ජනයාගෙන් පිරී ඉතිරී ගියේය.          

ක්ලාරා ට්සෙට්කින් හා රෝසා ලක්සම්බර්ග් 1910 මග්ඩෙබර්ග්හි පැවැති එස්පීඩී සම්මේලනයේ දී

ලක්සම්බර්ග් සෑමවිටම ධනේශ්වර ස්ත්‍රීවාදයට විරුද්ධ වූවාය. ඇය සම්බන්ධයෙන් ගත් කල, ස්ත්‍රීන්ගේ විමුක්තිය ධනේශ්වර සූරාකෑමෙන් හා මර්දනයෙන් කම්කරු පන්තිය විමුක්ත කිරීමෙන් වෙන් කල හැක්කක් නොවීය. අද දින ස්ත්‍රීවාදීන් හා අනන්‍යතා දේශපාලනයේ නියුක්තයන් මෙන්, ස්ත්‍රීන් සුලු පිරිසකට ධනේශ්වර වරප්‍රසාද කරා ප්‍රවිෂ්ට වීමේ අවකාශය ලබා දීම වෙනුවෙන් සටන් නොකල ඇය සටන් වැදුනේ සියලු වරප්‍රසාද අහෝසි කිරීම සඳහාය. 1912 දී, සියලු ස්ත්‍රීන්ට සමාන හා ඍජු ඡන්ද බලය ලබාදීම සඳහා වූ දෙවැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කාන්තා රැලිය අමතමින් ඇය එම ඉල්ලීම සාධාරනීකරනය කලේ එය, 'නිර්ධන පන්තියේ පන්ති අරගලය අතිමහත් ලෙස දියුනු හා තීව්‍ර කරනු ඇතැ'යි පවසමිනි. ඇය වැඩි දුරටත් පැවසුවේ, 'ස්ත්‍රීන්ගේ ඡන්ද බලය සඳහා සටන් කිරීම මඟින් අප, විප්ලවවාදී කම්කරු පන්තියේ යකුලු පහරින් වත්මන් සමාජය සුනුවිසුනුව ඇද වැටීමේ හෝරාව උදාවීම කඩිනම් කිරීම ද සිදු කරන' බවයි.          

ලක්සම්බර්ග්ට ලෙනින් සමඟ මත වෙනස්කම් පැවතින. එහෙත් වරක් ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, එම වෙනස්කම් පදනම් වූයේ 'විප්ලවවාදී නිර්ධන පන්ති දේශපාලනයේ පොදු ප්‍රතිෂ්ඨාව මත'ය. මාක්ස්වාදයේ සංශෝධනවාදී විරුද්ධවාදීන්ට එරෙහි ඔවුන්ගේ අරගලය තුල ලෙනින් හා ලක්සම්බර්ග් එක්සත් ව සිටියෝය.  

1899 දී ප්‍රකාශයට පත් වූ කල, ලක්සම්බර්ග්ගේ 'ප්‍රතිසංස්කරනය ද, විප්ලවය ද' යන කෘතිය, සමාජ ප්‍රජාතන්ත්‍රයේ විප්ලවවාදී කන්ඩායමේ ප්‍රමුඛ හඬ ලෙස ඇය දැරූ ප්‍රකීර්තිය වැඩි දුරටත් තහවුරු කලේය. එය මාක්ස්වාදී සාහිත්‍යයේ විශිෂ්ඨතම විවාදශීලී කෘතීන් අතරින් එකක් වෙයි. එම කෘතිය, මාක්ස්වාදී න්‍යායේ භෞතිකවාදී පදනම ප්‍රතික්ෂේප කරමින්, සමාජවාදය නිර්ධන පන්ති විප්ලවයෙන් කපා වෙන් කරමින්, එය සදාචාර ධර්මීය ලෙස අභිප්‍රේරිත ලිබරල්වාදයක් බවට පරිවර්තනය කල එඩුවාර්ඩ් බර්න්ස්ටයින්ගේ සංශෝධනවාදය සුනුවිසුනු කරමින් ඊට එල්ල කල ප්‍රබල විචාරයක් විය.      

අවසාන එල්ලය තමාට අදාල නොවන බවටත්, ව්‍යාපාරය යනු සියල්ල බවටත් කල බර්න්ස්ටයින්ගේ කුප්‍රකට සඳහනට ප්‍රතිචාර වශයෙන් ලක්සම්බර්ග් නිවේදනය කලේ , අවසාන එල්ලය වන සමාජවාදය ම,  'සමස්ත කම්කරු ව්‍යාපාරය ධනේශ්වර පර්යාය අලුත්වැඩියා කිරීමේ නිෂ්ඵල ප්‍රයත්නයේ සිට, එම පර්යාය මැඩ ලීම සඳහා වූ එකී පර්යායට එරෙහි පන්ති අරගලය කරා හැරවූ  තීරනාත්මක සාධකය' වන බවයි. ඇය වැඩි දුරටත් පවසා සිටියේ, 'බර්න්ස්ටයින් හා ඔහුගේ අනුගාමිකයන් සමඟ ඇති මතභේදයේ දී, එය අරගලයේ ඒ හෝ මේ විධික්‍රමය වේවා, එකී හෝ මෙකී උපායයන් කට්ටලය වේවා, යොදාගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත්, එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේම පැවැත්ම ම සම්බන්ධ ප්‍රශ්නයක් බවත් පක්ෂයේ සියලු දෙනා වටහා ගත යුතු' බවයි. 

බර්න්ස්ටයින් කථා කරමින් සිටියේ ජර්මන් අධිරාජ්‍යවාදයේ සාර්ථකත්වය සමඟ තමන්ගේම පෞද්ගලික ඉරනම ගැට ගැසී තුබූ පක්ෂ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයන් හා සුලු ධනපතීන් ස්ථරයක් වෙනුවෙනි. 1890 ගනන්වල ආර්ථික උත්පාතය, එස්පීඩීය නීත්‍යානුකූල බහුජන පක්ෂයක් බවට පරිවර්තනය වීම හා වෘත්තීය සමිතිවල වර්ධනය මෙම ස්ථරයේ ශීඝ්‍ර ප්‍රසාරනයකට මඟ පෑදීය.     

1905 රුසියානු විප්ලවය එස්පීඩීය තුල ගැටුම් වඩාත් තියුනු කලේය. කම්කරු පන්තිය විප්ලවයේ ප්‍රමුඛ බලවේගය වූ අතර, එය නව ජයග්‍රහන දෙකක් - එනම්, දේශපාලන මහජන වැඩ වර්ජනය හා සෝවියට් සභා (කම්කරු මන්ඩල)  - නිර්මානය කර ගැනීමට සමත් විය. ඒ කාලයේ සාර් පාලනය යටතේ පැවැති වෝර්සෝව කරා ගිය ලක්සම්බර්ග් විප්ලවයට සහභාගී වූවාය. පසුව අත්අඩංගුවට පත් ඇයට දීර්ඝ සිර දඬුවමකින් හා, බොහෝ විට මරන දන්ඩනයෙන් ගැලැවී ගැනීමට හැකි වූයේ එස්පීඩී නායකත්වයේ වෙහෙසකර මැදිහත්වීමට ස්තුති වන්නටය.         

ජර්මනිය කරා පෙරලා පැමිනීමෙන් පසු ජර්මනිය තුල දේශපාලන මහා වැඩවර්ජනය ව්‍යාප්ත කිරීමට ඇය කටයුතු කල විට වෘත්තීය සමිති නායකයෝ භීතියෙන් යුතුව ප්‍රතිචාර දැක්වූහ. 'මහා වැඩ වර්ජනය යනු මහා උමතුවකි' යන්න ඔවුන්ගේ ප්‍රතිචාරය විය. 1905 වෘත්තීය සමිති මහා සම්මේලනය කොලොංහි පැවැත්වුනේ 'වෘත්තීය සමිතිවලට පලමු කොටත්, ප්‍රමුඛ කොටත් සාමය අවශ්‍යය' යන සටන් පාඨය යටතේය. වෘත්තීය සමිති කටයුතුවලදී කථා කිරීම ලක්සම්බර්ග්ට තහනම් කෙරිනි.  

වෘත්තීය සමිති නායකයන්ට සමාජවාදී විප්ලවය කෙරේ ඇති සිය සතුරුකම මීට වඩා පැහැදිලිව විදහා දැක්විය හැකිව නොතිබින. මහා වැඩ වර්ජනය පිලිබඳ විවාදය දැන් එස්පීඩීයේ අවස්ථාවාදී හා විප්ලවවාදී කොටස් අතර ගැටුමේ කේන්ද්‍රීය වපසරිය බවට පත් විය.   

ඕගස්ට් බෙබෙල් 1900 දී

පලමුවෙනි ලෝක යුද්ධයේ එලඹීමත් සමඟ, 1913 දී අභාවයට පත් ඕගස්ට් බෙබෙල් හා කාල් කෞට්ස්කි වටා වූ එස්පීඩී නායකත්වය කිසිදා නොවූ විරූ ලෙස දකුනට යන්නට විය. යුද්ධය ආරම්භ වූ කල එස්පීඩීයේ අවස්ථාවාදීන්ට වැඩි බලයක් හිමි විය. ඔවුහු ස්ථිරසාර ලෙස ජර්මන් අධිරාජ්‍යවාදයේ පැත්තේ සිට ගත්තෝය. 1914 අගෝස්තු 4 වන දින පාර්ලිමේන්තුවේ එස්පීඩී නියෝජිතයෝ යුද වියදම්වලට පක්ෂව ඡන්දය දුන්හ. ජාත්‍යෝත්තමවාදයේ රැල්ලට ප්‍රතිරෝධය දැක්වූ සුලුතරයට රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට් නායකත්වය දුන්හ.       

ප්‍රධාන කොටම සිර මැදිරියේ යදොරින් සිර වී හිඳිමින් යුද්ධයට එරෙහිව රෝසා ලක්සම්බර්ග් ගෙන ගිය අරගලය ඇගේ ජීවිතයේ වඩාත්ම වීර වික්‍රමාන්විත කාල පරිච්ඡේද තුල ලා ගිනිය හැක. ඇය වෙහෙස නොතකා එස්පීඩීයේ පාවාදීම හෙලා දකිමින්, අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිදරව් කරමින්, මහජන නැඟිටීමක් ඇතිකිරීම සඳහා යත්න දැරුවාය. 1914 අගෝස්තු 4 වන දින සන්ධ්‍යාව වන විටත් ඇය ජාත්‍යන්තර කන්ඩායම ගොඩ නඟා තිබින. මෙම කන්ඩායම ද ඉන්ටර්නැෂනල් සහ නීතිවිරෝධීව බෙදා හැරුනු ස්පාටකස් ලෙටර්ස් ප්‍රකාශයට පත් කල අතර, ඒ අනුව මෙම කන්ඩායම ස්පාටකස් ලීගය ලෙස හැඳින්වීමට ගැනින.     

කාල් ලිබ්නෙක්ට්

ද ඉන්ටර්නැෂනල් වෙත ලක්සම්බර්ග් ලියන ලද ප්‍රථම ප්‍රධාන ලිපිය ආරම්භ වූයේ පහත දැක්වෙන වචන වලිනි: '1914 අගෝස්තු 4 වන දින ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය  දේශපාලනිකව අතහැර දැමුනු අතර, එම විටම සමාජවාදී ජාත්‍යන්තරය ද ඇද වැටිනි. මෙම සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට හෝ සැඟවීමට දැරෙන සියලු ප්‍රයත්න, ඒවාට පදනම් වූ චේතනාත්මක අභිප්‍රායයන් නොතකා ම වෛෂයිකව නැඹුරු වන්නේ, සමාජවාදී පක්ෂවල විනාශකාරී ස්වයං-රැවටිල්ල, ව්‍යාපාරය බිඳ වැටීමට හේතුභූත වූ එහි අභ්‍යන්තර ව්‍යාධිය, චිරස්ථාපනය කරමින් හා යුක්තියුක්ත කරමින්, අවසානයේ සමාජවාදී ජාත්‍යන්තරය හුදු ප්‍රබන්ධයක් හා ප්‍රෝඩාවක් බවට පත් කිරීමටය.'        

යුද්ධයට එරෙහි රෝසා ලක්සම්බර්ග්ගේ අරගලය රඳා තුබුනේ ඇගේ ජීවිතය පුරාම පවත්වා ගෙන ගිය සම්මුති විරහිත ජාත්‍යන්තරවාදයක් මතය. 

22 හැවිරිදි ශිෂ්‍යාවක් ලෙස ඇය පෝලන්ත සමාජවාදී පක්ෂයේ (පීපීඑස්) සමාජ දේශප්‍රේමවාදයට එරෙහිව පහර දීමට සූරිච්හි පැවැති සමාජවාදී ජාත්‍යන්තරයේ සමුලුවට මැදිහත් වූවාය. එම කාලයේ රුසියානු, ජර්මානු හා ඔස්ට්‍රියානු පාලනයන් අතරේ බෙදී තිබූ පෝලන්ත ජාතික රාජ්‍යය යලි පිහිටුවීම වෙනුවෙන් පීපීඑස් පෙනී සිටියේය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කල ලක්සම්බර්ග් සාර්වාදය පෙරලා දැමීම සඳහා රුසියානු පෝලන්තයේ හා රුසියාවේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සඳහා කැඳවුම් කලාය. පෝලන්ත නිදහස වෙනුවෙන් පෙනී සිටීම මඟින් දෙවැනි ජාත්‍යන්තරයේ ජාතිකවාදී ප්‍රවනතා දිරිමත් වනු ඇති බවත්, එමඟින් අනෙකුත් රටවල ද ඊට සමාන්තර ජාතික ප්‍රශ්න මතු කරනු ලැබ, 'සකලවිධ නිර්ධනීන්ගේ එක්සත් අරගලය, සෑම රාජ්‍යයක් තුලම නිෂ්ඵල ජාතික අරගල මාලාවක් තුල දිය කර හැරීමට' අනුදැනුම ලැබෙනු ඇති බවටත් ඇය අනතුරු හැඟවූවාය. 

'ජාතීන්ගේ ස්වයං නිර්නය අයිතිය' රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රයේ වැඩ පිලිවෙල තුලට භාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කිරීම, එම අයිතිය වෙනුවෙන් පෙනී සිටි ලෙනින් සමඟ ලක්සම්බර්ග් ගැටුමකට ගෙන ආවේය. එහෙත් මෙහි ලා ඔවුන් අතර වූ වෙනස්කම්, පසුව මේ සම්බන්ධයෙන් කල කියාපෑම්වල දැක්වුනු තරම් තියුනු නොවීය. ලෙනින් සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ ප්‍රධාන සැලකිල්ල යොමු වූයේ මහ රුසියානු ජාත්‍යොත්තමවාදයට එරෙහි අරගලයයි. ලක්සම්බර්ග් එකී සැලකිල්ල යොමු කලේ පෝලන්ත ජාතිකවාදයට එරෙහි අරගලයටයි. ලෙනින් ද ජාතික ඉල්ලීම් පන්ති අරගලයට යටත් කලේය. ජාතික බෙදුම්වාදයට ක්‍රියාශීලීව උද්ඝෝෂනය නොකල ඔහු 'නිෂේධනාත්මක ඉල්ලීම ලෙස කිව හැකි, ස්වයං නිර්නය අයිතිය පිලිගැනීම්' පමනෙකට තමා සීමා කොට ගත්තේය.      

ලෙනින් සමඟ වූ වෙනස්කම් නොතකා, ජාතිකවාදය කෙරේ වූ ලක්සම්බර්ග්ගේ ප්‍රතිවිරුද්ධත්වය අතිශය දුරදිග දක්නා සුලු දැක්මක් බව සනාථ විය. පෝලන්තය සම්බන්ධයෙන් ගත් කල, ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව, රතු හමුදාවට පහර දීමට පීපීඑස් නායක ජෝසෙෆ් පිල්සුඩ්ස්කි ප්‍රතිස්ථාපිත ස්වාධීන පෝලන්තයේ හමුදා මෙහෙයවීය. 1926 හා 1935 අතර ඔහු ඒකාධිපති ආඥාදායකත්වයක් ගොඩ නැඟීය. අද දිනයේ ජාතිකවාදී දක්ෂිනාංශය ඔහු සිය වීරයා ලෙස පිලිගනිමින් ආචාර පුද කරයි.

ජාතිකවාදයට යටත්වීම, කම්කරු පන්තියට බිහිසුනු පරාජයන් අත් වීමට හේතුභූත වූ දෙවැනි හා තුන්වැනි ජාත්‍යන්තරවල බිඳ වැටීමට ද හේතුව වූයේය. දෙවැනි ජාත්‍යන්තරය 'පීතෘභූමියේ ආරක්ෂාවේ' නාමයෙන් පලමුවැනි ලෝක යුද්ධයට සහාය දුන් අතර, තුන්වැනි ජාත්‍යන්තරය 'තනි රටේ සමාජවාදය' පිලිබඳ ස්ටැලින්වාදී ඉදිරි දර්ශනය යටතේ පරිහානියට පත් විය.  

ජාතිකත්වයන් පිලිබඳ ලෙනින්ගේ පිලිවෙත් පයින් පාගා මැඬ ලා මහ රුසියානු ජාත්‍යොත්තමවාදයේ නරකම භාවිතයන් කරා ප්‍රතිවර්තනය වී සිටි ස්ටැලින්වාදීහු ලක්සම්බර්ග්ට ඇගේ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් කිසිදා සමාවක් නොදුන්හ. ස්ටැලින්ගේ පාලනය යටතේ කාලයක් පුරා 'ලක්සම්බර්ග්වාදය' පිලිබඳ චෝදනාව, 'ට්‍රොට්ස්කිවාදය' පිලිබඳ චෝදනාවට නොඅඩු ලෙස මාරක ප්‍රතිවිපාක දනවන්නක් විය. ස්ටැලින්ගේ මරනයෙන් පසුව පවා ජෝර්ජ් ලුකැක්ස්, 'ජාතික නාස්තිකවාදය' නියෝජනය කල බවට ශ්‍රේෂ්ඨ විප්ලවවාදිනී ලක්සම්බර්ග්ට චෝදනා කලේය.  

වැඩිම වුවහොත් 1990 ගනන් වන විට, ස්වයං නිර්නය සඳහා ජාතීන්ට ඇති අයිතිය සඳහා වූ ඉල්ලීමෙහි සියලු ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්රවාදී වැදගත්කම ඊට අහිමිව ගොස් තිබින. ආර්ථිකයේ ගෝලීයකරනය හා ලෝකයේ ඈතම අහුමුලුවල පවා කම්කරු පන්තියක් ඉස්මතුවීම හේතුවෙන් අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ ජාතික රාජ්‍යයකට පැවැති අවකාශය මුලුමනින් වැසී ගියේය. පවත්නා රාජ්‍ය  විනාශ කිරීමට හා යටත් කිරීමට ස්වයං නිර්නයේ සටන් පාඨය යොදා ගැනීමට අධිරාජ්‍යවාදය කටයුතු කරන්නට විය. මෙකී රාජ්‍ය  තුල එම ඉල්ලීම එකිනෙකාට සතුරු ධනපති කල්ලිවලට කම්කරු පන්තිය බෙදීම සඳහා ද, එමඟින් අධිරාජ්‍යවාදයට සේවය කිරීම සඳහා ද අවකාශය ලබා දුන්නේය. යුගෝස්ලාවියාවේ ඛේදාන්තය මඟින් පෙන්වා දෙන ලද්දේ මෙයයි. ජාතික ස්වයං නිර්නයේ නාමයෙන් රට සහ එහි වෙන් වෙන් කොටස් මත භාතෘඝාතක යුද්ධයක් පටවන ලද අතර, එහි ප්‍රතිඵලය වූයේ අපරාධකාරී කල්ලි විසින් පාලනය කරනු ලබන්නා වූ ද, ආර්ථික වශයෙන් අශක්‍ය වූ ද රාජ්‍ය  හතක් බිහි වීමයි.   

ලක්සම්බර්ග්ගේ හා ස්පාටකස් ලීගයේ ප්‍රහාරය හුදෙක් දක්ෂිනාංශික එස්පීඩී නායකත්වයට පමනක් නොව 'මාක්ස්වාදී මධ්‍යය'ට ද, 'මඩ ගොහොරුවේ න්‍යායාචාර්ය' යන යෙදුමෙන් ලක්සම්බර්ග් හැඳින්වූ එහි න්‍යායික නායකයා වූ කාල් කෞට්ස්කිට ද එරෙහිව එල්ල වූවක් විය. මධ්‍යය කම්කරුවන්ගේ සටන්කාමී මනෝභාවයන්ට වාචික සහන ප්‍රදානය කල නමුත්, භාවිතයේ දී කවර හෝ විප්ලවවාදී ක්‍රියාවකට විරුද්ධ වෙමින් එස්පීඩී නායකයන්ගේ යුද්ධයට පක්ෂපාතී ගමන් මඟට සහාය දුන්නේය. 1917 දී එය එස්පීඩීයෙන් නෙරපා හරිනු ලදුව ස්වාධීන සමාජ ප්‍රජාතනන්ත්‍රවාදී පක්ෂය (යූඑස්පීඩීය) අටවා ගැනීමට එහෙන් මෙහෙන් කටයුතු කල කල්හි ලක්සම්බර්ග් සිය විවේචන වඩාත් තියුනු කලාය.      

යූඑස්පීඩීය 'සෑමවිටම සිද්ධීන් හා වර්ධනයන් පසුපසින් ගාටයි; එය කිසිවිටෙකත් පෙරමුන ගත්තේ නැතැ'යි ඇය ලියුවාය. 'තමා හා පරාධීනයන් අතර ආවශ්‍යක බෙදුම් රේඛාව ඇඳීමට එය කිසිදා සමත් වී නැත. මහජනයා අතර ව්‍යාකූලත්වය වැපිරීමට මඟ පෑදූ කවර හෝ ගිනි කන වැටෙන බහුරුත්තාවයකට වේවා - යුද්ධ සමයේ විප්ලවවාදී විකල්පයක නිරුවත් රලු පරලු සත්‍ය කරුනු සඟවමින් තිමිර තිර අතුල අන්‍යොන්‍ය  අවබෝධයේ සාමය, ජාතීන්ගේ සංගමය, අවිහරනය, විල්සන් අභිවාදනය, වැනි මේ ආකාරයේ ධනේශ්වර වාචාල යෙදුම් සියල්ලටම - ඔවුහු ලොල් වඩා සහාය දුන්හ. පක්ෂයේ සමස්ත ආකල්පය, එක් අතෙකින් සාමය ඇති කිරීමට නැඹුරු වූ බලයන් ලෙස ධනපති ආන්ඩු තැනීමට දිගටම තැත් කරන අතර ම, අනෙක් අතින් නිර්ධන පන්තියේ බහුජන ක්‍රියාවන්හි භාෂාවෙන් කථා කිරීම් වශයෙන් වූ කේන්ද්‍රීය ප්‍රතිවාදය වටා අසරනව රවුම් ගැසීය. පරස්පර විරෝධී භාවිතයේ කැඩපත වන්නේ සාරසංග්‍රහවාදී න්‍යායයි: එය, අපේක්ෂා විරහිත ලෙස සමාජවාදී සාරය අත්හැර දමන ලද රැඩිකල් සූත්‍රයන්හි කලවම් හත් මාලුවකි.' 

ඝනීභූත ආම්පන්නවලට එරෙහිව මහජනයාගේ ස්වාධීන නැඟිටීම කෙරේ විශ්වාසය තැබීමේ ලක්සම්බර්ග්ගේ 'ස්වයංසිද්ධතාව පිලිබඳ න්‍යාය' හේතුවෙන්, පක්ෂය පිලිබඳ ලෙනින්ගේ සංකල්පය විවේචනය කිරීම හේතුවෙන් හා එස්පීඩීයෙන් ඇගේ සංවිධානාත්මක බිඳීම පමා කිරීම හේතුවෙන් ඇය නිරතුරුව හෙලා දැකීමට පාත්‍ර වී ඇත. හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමට පූර්ව කාලයේ ලක්සම්බර්ග් මත සාවද්‍ය ලෙස තමන් පදනම් කර ගත් මාධ්‍යමික ප්‍රවනතාවලට එරෙහිව තුමූම අරගලයක් මෙහෙයවූ ට්‍රොට්ස්කි 1935 දී මෙම ප්‍රයුක්තීන් සම්බන්ධයෙන් වඩාත්ම මූලික කරුනු ගෙන හැර දැක්වීය.    

'රෝසාගේ දුබල පැති හා අප්‍රමානවත්කම් කිසිසේත් තීරනාත්මක ඒවා නොවීය,' යනුවෙන් ඔහු ලිවීය. 'එස්පීඩීයේ කොන්සර්වේටිව් පිලිවෙතට එරෙහි වූ ලක්සම්බර්ග්ගේ ප්‍රති-ආස්ථානය තරයේ විප්ලවවාදී වූත්, ප්‍රගතිශීලී වූත් ස්වභාවයක් අත්පත් කර ගත්තේය.' 'රෝසා ලක්සම්බර්ග් ඝනීභූත වූ පක්ෂයේ හා වෘත්තීය සමිති උපකරනයේ අඩපන ස්වභාවය ලෙනින්ට වඩා ඉතා ඉහත දිනවලදී ග්‍රහනය කොට ගෙන, ඊට එරෙහිව අරගලය කිරීමට පටන් ගත්' බැව් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.        

'රෝසා කිසිදිනෙක හුදු ස්වයංසිද්ධතාවයේ න්‍යායයට තමා සීමා කර ගත්තේ නැත.' ඒ වෙනුවට 'ඇය නිර්ධන පන්තියේ විප්ලවවාදී පාර්ශ්වයට කල් තබා අධ්‍යාපනය දීමේ හා හැකිතාක් දුරට එය සංවිධානාත්මකව එකතු කිරීමේ කර්තව්‍යයන්හි නියැලී ගත්තාය. පෝලන්තය තුල ඇය අතිශයින් දෘඩතර ස්වාධීන සංවිධානයක් ගොඩ නැඟුවාය. වැඩියෙන්ම කිව හැකි දෙය වන්නේ, ඇය සම්බන්ධයෙන් ගත් කල, කම්කරු ව්‍යාපාරය පිලිබඳ ඇගේ ඓතිහාසික-දාර්ශනික තක්සේරුව තුල පෙරටු බල ඇනියේ ප්‍රාරම්භක තෝරා ගැනීම, අපේක්ෂා කල යුතුව තුබූ මහජන ක්‍රියාකාරීත්වය සමඟ සැසඳීමේ දී අප්‍රමානවත් වූ බවයි. ලෙනින් සම්බන්ධයෙන් කිව හැක්කේ, අනාගත ක්‍රියාකාරීත්වයන්හි ආශ්චර්යයන්ගෙන් තමා සනසා ගනු වෙනුවට ඔහු වැඩි දියුනු කම්කරුවන් තෝරා ගනිමින් නීත්‍යානුකූල ලෙස හෝ නීති විරෝධීව හෝ වේවා, බහුජන සංවිධාන තුල හෝ රහසිගත සංවිධාන තුල වේවා, තීක්ෂන ලෙස අර්ථ කථනය කරන ලද වැඩපිලිවෙලක ආධාරයෙන් ඔවුන් දෘඪ න්‍යෂ්ටියක් තුල එකට තබා පෑස්සීමට කටයුතු කල බවයි.'         

1917 ඔක්තෝබරයේ බෝල්ෂෙවිකයන් රුසියාවේ බලය ගත් කල්හි ඔවුන්ට ලක්සම්බර්ග්ගේ උද්‍යෝගිමත් සහාය හිමිවිය. සිර කුටියේ හුදෙකලාව හිඳිමින් ඇය ලියූ, ඇගේ අභාවයෙන් ද තෙවසරකට පසු ප්‍රකාශයට පත් වූ 'රුසියානු විප්ලවය ගැන' යන ලේඛනය බෝල්ෂෙවික්වාදය පිලිබඳ ගැඹුරටම ගිය විවේචනයක් ලෙස නිරතුරුව අර්ථ දැක්වී ඇත. එහෙත් එම අර්ථ දැක්වීම සාවද්‍යය. ලක්සම්බර්ග් ඔක්තෝබර් විප්ලවය කොන්දේසි විරහිතව ආරක්ෂා කල අතර, ඇය විවේචනය කල 'වරද්දා ගැනීම්' දෙවැනි ජාත්‍යන්තරයේ හා ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රයේ පාවාදීම හේතුවෙන් බෝල්ෂෙවිකයන්ට මුහුන පෑමට සිදු වූ අසම්භාව්‍ය  කොන්දේසිවලින් පැන නැඟුනු ඒවා බව සඳහන් කලාය.        

ඇය මෙසේ ලීවාය: 'අව්‍යාජ විප්ලවවාදී පක්ෂයකට ඓතිහාසික ශක්‍යතාවයන්ගේ සීමාවන් තුල ප්‍රදානය කල හැකි සියල්ල ලබාදීමට තමන් සමත් බව බෝල්ෂෙවිකයෝ පෙන්වා දී ඇත්තාහ. ... අත්‍යවශ්‍ය  වන්නේ ආවශ්‍යක දේ ආවශ්‍යක නොවන දෙයින්, මදය පිටපොත්තේ ගැටිතිවලින් වෙන් කර හඳුනා ගැනීමයි. වත්මන් කාල පරිච්ඡේදයේ, සමස්ත ලෝකය තුල අප තීරනාත්මක අවසාන අරගලවලට මුහුන දෙන විට, සමාජවාදයේ වඩාත්ම වැදගත් ප්‍රශ්නය වූයේ හා වන්නේ අපේ යුගයේ දැවෙන ප්‍රශ්නයයි. එය උපායයන් පිලිබඳ ඒ හෝ මේ ද්වීතීයික ප්‍රශ්න පිලිබඳ කරුනක් නොව, ක්‍රියාත්මක වීම සඳහා නිර්ධන පන්තියට ඇති ධාරිතාව පිලිබඳ, ක්‍රියාත්මකවීමට ඇති ශක්තිය පිලිබඳ, ඒ නිසාම සමාජවාදයේ බලයට ඇති අභිප්‍රාය පිලිබඳ කරුනකි. මෙහි දී ලෙනින්, ට්‍රොට්ස්කි හා ඔවුන්ගේ මිතුරෝ ප්‍රථමයන්, ලෝකයේ නිර්ධනීන්ට ආදර්ශයක් ලෙස පෙරට ගියවුන් වී ඇත්තාහ; 'මම ඒ මාරක පිම්ම පැන ඇත්තෙමැ'යි හට්න් සමඟ එක්ව ජයඝෝෂා නැඟිය හැක්කවුන් ලෙස තවමත් සිටින්නේ ඔවුන් පමනෙකි.'

'බෝල්ෂෙවික් පිලිවෙත තුල ආවශ්‍යක හා චිරස්ථායී දෙය වන්නේ මෙයයි. මේ අර්ථයෙන් ගත් කල, දේශපාලන බලය අල්ලා ගැනීම සහ සමාජවාදය සාක්ෂාත් කිරීමේ ගැටලුව ප්‍රායෝගිකව ස්ථාපනය කිරීම සමඟ ද, සමස්ත ලෝකයේ ප්‍රාග් ධනය හා ශ්‍රමය අතර ගනුදෙනු බේරා ගැනීමෙහි ලා දැවැන්ත ලෙස ඉදිරි පියවර තබා තිබීම සමඟ ද ජාත්‍යන්තර නිර්ධන පන්තියේ හිස ලෙස ඔවුන් ඉටු කර ඇති මෙහෙවර අමරනීය ඓතිහාසික එකකි. රුසියාව තුල කල හැකිව තිබුනේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පමනෙකි. එය රුසියාව තුල විසඳිය හැකිව නොතිබින. තව ද එකී අර්ථයෙන් ගත් කල, සෑම තන්හිම අනාගතය අයත් වන්නේ 'බෝල්ෂෙවික්වාදය'ටය.'     

1918 නොවැම්බරයේ ජර්මනියේ ද විප්ලවය පිපිරී ආවේය. කියෙල්හි නැවියන්ගේ නැඟිටීමකින් මුල පිරුනු එය, රට පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. කෛසර් රජකම අත්හැර ගිය අතර, පාලක ප්‍රභූහු එස්පීඩී නායක ෆ්‍රෙඩ්රික් ඊබට් වෙත ආන්ඩු බලය ප්‍රදානය කලෝය. කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා මිලිටරියේ ඉහල ආඥාපතීන් සමඟ සන්ධානයක් අටවා ගැනීමට ඊබට් කුමන්ත්‍රනය කලේය. යූඑස්පීඩීය ද ඇමති ධුර තුනක් දරමින් ඊබට් ආන්ඩුවට සහභාගී විය.   

1918 අවසානයේ විප්ලවවාදී අරගල මධ්‍යයේ බර්ලිනයේ දී ස්පාටකස් ලීගය ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩීය) පිහිටුවීය. රෝසා ලක්සම්බර්ග් පක්ෂ ක්‍රියා මාර්ගය ලියා සමුලු නියෝජිතයන්ට ඉදිරිපත් කලාය. ධනේශ්වර පන්ති පාලනය පෙරලා දැමීමේ එල්ලය එය තුල නිශ්චිතව සූත්‍රගත කොට තිබිනි. විකල්පය වූයේ ප්‍රතිසංස්කරනය හෝ විප්ලවය නොවේයැයි එම ක්‍රියා මාර්ගය අවධාරනය කලේය. ඒ වෙනුවට, 'ලෝක යුද්ධය සමාජය ඉදිරියේ අභිමුඛ කරන තෝරාගැනීම මෙසේය: එක්කෝ ධනේශ්වර ක්‍රමය දිගටම පවත්වා ගෙන යාම, නව යුද්ධ, සහ ඉතා ආසන්න කාලයක දී වියවුල් හා අරාජකත්වය කරා කඩා වැටීම. නැතහොත්, ධනේශ්වර සූරාකෑම අහෝසි කිරීම. ... මෙම පැයේ දී මානව වර්ගයාගේ එකම ගැලවීම සමාජවාදයයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ වචන ධනේශ්වර සමාජයේ කුඩුපට්ටම් වෙමින් ඇද හැලෙන අට්ටාල මතින් යන ගිනි සිලු ගත් පෙලපාලියක් සේ බුරබුරා ඇවිලේ: සමාජවාදය ද? ම්ලේච්ඡත්වය ද?'     

ඊබට් ආන්ඩුව සමාජවාදී විප්ලවය වැලැක්වීමට අධිෂ්ඨාන කොට ගෙන සිටියේය. 1919 ජනවාරි 15 වන දින රීච්ස්වර් (සන්නද්ධ හමුදා) ඇමති ගුස්ටාව් නොස්කේ (එස්පීඩීයේ)ගේ නිශ්චිත අන පරිදි රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට් කුරිරු ලෙස ඝාතනය කරන ලදී. මෙම අපරාධය සිදු කරන ලද්දේ, නැඟිටීම මිලිටරිමය ලෙස මැඩ පැවැත්වීමට නොස්කේ බර්ලිනය කරා කැඳවා තුබූ ෆ්‍රීකෝප්ස්හි (ජර්මනියේ අවිධිමත් ස්වේච්ඡා බලකායේ) “Garde-Kavallerie-Schützendivision,” නම් වූ තුරඟ සේනා රැකවල් බලකාය විසිනි. ඔවුන් දෙදෙනා පැහැර ගත් ඔවුහු ඊඩ්න් හෝටලයේ පැවැති සිය මූලස්ථානය කරා ඔවුන් රැගෙන ගියෝය. එහිදී ඔවුහු ප්‍රශ්න කිරීම් හා වධ බන්ධනවලට පාත්‍ර වූහ. අවසානයේ හෝටලයේ ඇතුලුවීමේ පර්යන්තය තුල දී රයිෆල් තුවක්කු මිටෙන් පහර දී බිම හෙලන ලද ඇය මෝටර් රථයකට ඔබා ගෙන ගොස් වෙඩි තබා, සිරුර ලෑන්ඩ්වර් ඇලට විසි කර දැමින. එය සොයා ගැනුනේ සති ගනනකට පසුවය. බර්ලින්හි ටියර්ගාට්න් උද්‍යානයේ දී ආසන්නයේ සිට එල්ල කල වෙඩි පහර තුනකින් කාල් ලිබ්නෙක්ට් ඝාතනය කරන ලදී.             

මෙම ඝාතනවලට රාජ්යයේ පූර්න අනුමැතිය හිමි වී තිබින. ඊට කෙලින්ම සම්බන්ධ වූ නිලධාරීහු 1919 මැයි මාසයේ දී හමුදා අධිකරනයක් විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දාහ. අංශ ප්‍රධානියා ලෙස ඝාතනවලට අන දුන් වල්දෙමාර් පැබ්ස්ට්ට නාසීන් හා ෆෙඩරල් ජනරජය යටතේ ද සිය වෘත්තියේ නියැලීමට හැකි වූ අතර, 1970 දී ඔහු ධනවත් ආයුධ වෙලෙන්දෙකු ලෙස මරනයට පත් වූයේය. මේ වන විටත්, නාසීන්ගේ තදනන්තර නැඟීම සඳහා මාවත සැකැසී තිබින. නොස්කේ විසින් බලමුලු ගන්වන ලද්දා වූ ද, අධිකරනය විසින් ආරක්ෂා කරන ලද්දා වූ ද සෙබලු හිට්ලර්ගේ එස්ඒ සංවිධානය විසින් බඳවා ගන්නා ලද්දාහ.       

1919 ජූනි 13 වන දින රෝසා ලක්සම්බර්ග්ගේ අවමඟුල (Bundesarchiv, Bild 146-1976-067-25A / CC-BY-SA 3.0)

කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් ඝාතනය කිරීම ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයට වැදුනු බලගතු පහරක් විය. ඉදින් ලක්සම්බර්ග් කේපීඩී නායකත්වයෙහි වී නම්, ජර්මනියේ සහ ලෝකයේ පවා ඉතිහාසය බොහෝදුරට වෙනස් ආකාරයකින් හැඩ ගැසෙන්නට තිබින. 1923 ඔක්තෝබරයේ කේපීඩීයට පලපුරුදු නායකත්වයක් තිබිනි නම් බලය ගැනීමට ඊට අවස්ථාව පැවැති බවට විශ්වාස කිරීමට බොහෝ හේතු පවතී. එසේ වී නම්, මානව වර්ගයාට ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් අත් මිදී හිඳින්නට හොඳටම ඉඩ සැලසෙනු ඇත. මක්නිසාදයත්, ඔහුගේ නැඟීම සම්බන්ධයෙන් ඔහු ස්තුතිවන්ත විය යුතුව තිබුනේ විනාශකාරී 'සමාජ ෆැසිස්ට්වාදී' පිලිවෙත මඟින් කම්කරු පන්තිය පක්ෂාඝාත තත්වයට පත් කල ස්ටැලින්වාදී කේපීඩීයට නිසාය. ස්ටැලින්ගේම නැඟීමට වුව කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල කර්කශ විරුද්ධත්වයකට මුහුන දීමට සිදු වනු ඇත.                    

රෝසා ලක්සම්බර්ග්ගේ උරුමය - ඇගේ ජාත්‍යන්තරවාදය, කම්කරු පන්තිය කෙරේ වූ ඇයගේ අනුස්ථාපනය, ඇගේ විප්ලවවාදී සමාජවාදය - අද දින හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ආරක්ෂා කරනු ලැබ හා වර්ධනය කරනු ලැබ පවතී. එය සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයේ තීරනාත්මක අවියක් වෙයි. 

Loading