ඉදිරිදර්ශන

කෝවිඩ්-19 වසංගතය තුල ගෙවුනු වසරක්: ධනවාදය විසින් නිර්මිත ව්‍යසනයක්

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 11 දින One year of the COVID-19 pandemic: A disaster caused by capitalism යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

කෝවිඩ්-19වෛරසය ව්‍යප්තවීම ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) විසින් ප්‍රකාශයට පත් කර අද දිනට (11) වසරක් සනිටුහන් කරයි.

ලෝසෞස යේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයෙසස් 2020 මාර්තු 11 දා එම ප්‍රකාශය නිකුත් කරන විට, ලොව පුරා රටවල් 14 ක ආසාදිතයින් 118,000 ක් සහ මරන 4,291 ක් වාර්තා වී තිබුනි. “ලෝසෞස රැයක් දහවලක් නැතිව මෙම වසංගත ව්‍යාප්තිය අධ්‍යයනය කරමින් සිටින” බවද, “භයානක ලෙස [රෝගය]පැතිරීමේ ලොමුදහැගැන්වෙන මට්ටමක පරිමාව හා එහි දරුනුකමද, ඊට පිලියම් යෙදීම සම්බන්ධව පවත්නා ලොමුදැහැගැන්වෙන මට්ටමක අක්‍රීයභාවය පිලිබඳවද අපි දැඩි ලෙස සැලකිලිමත් වෙමු.” යනුවෙන්ද ඔහු පැවසීය. ඔහු නැවත නැවතත් පැවසුවේ “රටවල් හදිසි හා ආක්‍රමනශීලී පියවර ගත යුතු” බව සහ “අපි ඒගැන පැහැදිලිව ලෙස අනතුරු අඟවා තිබුනු” බවයි.

හෙද සේවා පහසුකම් මධ්‍යස්ථානයක සිට පුද්ගලයෙකු නවතා ඇති ගිලන් රථයකට ගෙන යනු ලැබේ. වොෂ් හි කර්ක්ලන්ඩ් වල පිහිටා ඇති මෙහිදී, 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් රෝගී වී කෝවිඩ්-19 වෛරසය වැලඳුනු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. (AP ඡායාරූපය / එලේන් තොම්සන්)

වඩාත්ම කැපී පෙනෙන චීනය සහ තවත් රටවල් කිහිපයක් හැරුනු විට ප්‍රධාන ධනේශ්වර රාජ්‍යවල ආන්ඩු, විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කලහ. ඔවූහු ආක්‍රමනශීලී ක්‍රියාමාර්ග නොගත් අතර අනතුරු ඇඟවීම්වලට අවධානය යොමු නොකලහ. පසුගිය මාස 12 තුල ගෝලීය පරිමානව රෝගීන් සංඛ්‍යාව 118,000 සිට මිලියන 118 ඉක්මවා ඉහල ගොස් තිබේ. එක්සත් ජනපදයේ 540,000 ක්, බ්‍රසීලයේ 270,000 ක්, මෙක්සිකෝවේ 191,000 ක්, ඉන්දියාවේ 158,000 ක්, එක්සත් රාජධානියේ 125,000 ක් සහ ඉතාලියේ 100,000 ක් ඇතුලුව මරන සංඛ්‍යාව 4,000 සිට මිලියන 2.6 දක්වා ඉහල ගොස් තිබේ.

කම්කරු පන්තියේ ආර්ථික හානිය විනාශකාරී ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ 2020 දී ලොව පුරා රැකියා මිලියන 255 ට සමාන සංඛ්‍යාවක් අහිමි වූ බවයි. එය, ආසන්න ලෙස 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම තුල අහිමි වූ රැකියා සංඛ්‍යාව මෙන් හතර ගුනයකට ආසන්නය. ගිනිය නොහැකි තරම් කුඩා ව්‍යාපාර ගනනාවක් අතුගා දමනු ලැබ ඇත. ලොව පුරා සංස්කෘතික ජීවිතය විනාශ වී ඇත.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වසංගතයේ පලමුවන [වසරක] සංවත්සරය වෙනුවෙන් අද [11දා] රාත්‍රියේ ජනප්‍රිය, ප්‍රයිම් ටයිම්[ප්‍රේක්ෂකයින් බහුතරයක් අසන‍, නරඹන] කතාවක් පැවැත්වීමට නියමිතය. මෙම ව්‍යසනය සිදු වූයේ ඇයිද, එය දිගටම ඇදී යන්නේ ඇයිද යන්න පිලිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂනයකින් තොරව, පසුගිය මාස දොලහක කාලය තුල සිදු වූ ඛේදනීය ජීවිත හානිය පිලිබඳ අවස්ථාවට ගැලපෙන වංචනික වචන ඔහු නිසැකවම උච්චාරනය කරනු ඇත. ධවල මන්දිර නිලධාරීන්ට අනුව, ඔහු කථා කරනු ඇත්තේ “සාමාන්‍ය තත්වය පිලිබඳ විශ්වාසයක්” කරා ආපසු යෑමක් ගැනයි.

කෙසේ වෙතත්, “සාමාන්‍ය තත්වය” කරා ආපසු යාමක් නැත. කෝවිඩ්-19 වසංගතයට දැක්වූ ගෝලීය ප්‍රතිචාරය යනු හුදෙක් ඒ ඒ ආන්ඩුවල ක්‍රියාමාර්ග පමනක් නොව ධනවාදය මත පදනම් වූ සමස්ත සමාජ හා ආර්ථික පර්යාය පිලිබඳවම විනාශකාරී අධිචෝදනාවකි. එය වඩාත්ම දුරදිග යන හා විප්ලවීය ප්‍රතිපල ගෙන එනු ඇත.

වසංගතයේ බලපෑම යනු සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට මිනිස් ජීවිතය යටත් කිරීමේ තීරනවල ප්‍රතිඵලයකි. ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය හදිසි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව සෑම අවස්ථාවකදීම ධනේශ්වර පාලක ප්‍රභූන්ගේ දරුනු විරෝධය එල්ල විය.

2020 ජනවාරි සිට මාර්තු දක්වා වූ තීරනාත්මක කාලය වසංගතය විසින් මතු කෙරුනු අන්තරාය පිලිබඳ තොරතුරු ක්‍රමානුකූලව යටපත් කිරීම සඳහා කාලය කැප කෙරින. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අනාරක්ෂිත මෝටර්රථ කම්හල්වලට සහ වෙනත් රැකියා ස්ථානවලට කම්කරුවන් ඇතුලු වීම ප්‍රතික්ෂේප කිරීම ඉහල යන තතු යටතේදී පමනක් සීමිත අගුලු දැමීම් ක්‍රියාත්මක කෙරුනි.

මෙම ක්‍රියාවන් කිසි විටෙකත් ජාත්‍යන්තර පරිමානව සම්බන්ධීකරනය කරමින් සිදු කෙරුනු කිසිදු බරපතල මූලෝපායක කොටසක් නොවීය. ඒ වෙනුවට, උඩින් මත්තෙන් සිදු කෙරුනු ජාතික හා ප්‍රාදේශීය ප්‍රතිචාරවල අරමුන වූයේ, 2008 සිට දෙවන වරටත්, ධනවතුන්ට දැවැන්ත ඇපදීමක් සඳහා පාලක පන්තියට ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමයි. එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව කෙයාර්ස් පනතේ (CARES) අනුමැතිය අනුව ඩොලර් ට්‍රිලියන 4 ක් වෙලඳපොලට නිකුත් කලේය. මෙම පනත පසුගිය වසරේ මාර්තු අග දී අති විශාල ද්විපක්ෂ පදනමක් මත සම්මත විය. මෙවැනිම පියවර ලොව පුරා මහ බැංකු විසින් ද ගනු ලැබිනි.

පාලක පන්තියේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු, වසන ලද කර්මාන්තශාලා සහ පාසල් නැවත විවෘත කිරීම සඳහා ආන්ඩු ඒකාබද්ධ ව්‍යායාමයක් මෙහෙයවූහ. ස්වීඩනය විසින් පුරෝගාමීත්වය දරනු ලැබූ “රංචු ප්‍රතිශක්ති” මූලෝපාය සමස්ත පාලක පන්තියේම අප්‍රකාශිත ප්‍රතිපත්තියක් බවට පත්විය. “ප්‍රතිකාරය රෝගයටත් වඩා නරක් විය නොහැක” යන පාඨය යටතේ, වෛරසය පැතිරීම නැවැත්වීමේ මූලික පියවර ක්‍රමානුකූලව ඉවත් කරන ලදි.

මිලියන සංඛ්‍යාත ජනතාවක් වෛරසයට ගොදුරු වූ අතර මූල්‍ය වෙලඳපොලවල් ඉතිහාසයේ කොටස් වටිනාකම්වල වේගවත්ම නැගීම සැමරීය. එක් දත්තයක් සමාජ ගතිකය සාරාංශ කරයි: වසරකට පෙර වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ බිලියනපතියන් ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.4 කින් වැඩි කරගෙන තිබේ. මරනය සහ දුක් වේදනා මධ්‍යයේ “වසංගත ලාභ ගරන්නන්ගේ” නව තට්ටුවක් සමෘද්ධිමත් විය.

වසංගතයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් වසරකට පසුවත්, කෝවිඩ්-19 ලොව පුරා දරුනු ලෙස පැතිරෙමින් පවතී. එන්නතක් වේලාසනින් නිෂ්පාදනය කිරීමේ තතු යටතේ පවා, තරඟකාරී ජාතික රාජ්‍යයන්ගේ අවශ්‍යතාවන් මගින් ඉස්මතු කෙරුනු බාධා හේතුවෙන්, එන්නතේ අවුල් සහගත බෙදාහැරීමම, අර්බුදයේ සාධකයක් බවට පත්වේ. ලෝක ජනගහනයෙන් සියයට හතරක් පමනක් එන්නත ලබාගෙන ඇති අතර බොහෝ සංවර්ධිත රටවල පවා සම්පූර්නයෙන්ම එන්නත ලබා ඇති ජනගහනයේ ප්‍රතිශතය සියයට දහයට වඩා අඩුය.

ධනේශ්වර කාර්යක්ෂමතාවයේ මොඩලය යැයි කියනු ලබන ජර්මනියේ ජනගහනයෙන් සියයට 3.1 ක් පමනක් එන්නත් කරනු ලැබ ඇති අතර, එම අගය ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සියයට 3.0 ක්, ඉතාලියේ සියයට 2.9 ක් සහ කැනඩාවේ සියයට 1.6 ක් පමනි.

වඩාත් බෝවන ප්‍රභේදයන් විසින් උද්ගත කෙරුනු නව උත්සන්නිය පිලිබඳ අනතුරු ඇඟවීම් තිබියදීත්, ලොව පුරා ආන්ඩු වසංගතය පාලනය කිරීම සඳහා ඉතිරිව පැවැති කුමන හෝ පියවරන් අතහැර දමමින් සිටිති. ඊයේ, එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තිබූ සියලු සීමා ඉවත් කල අතර, බයිඩන් පරිපාලනය හැකි ඉක්මනින් පාසල් නැවත විවෘත කිරීමේ උද්ඝෝෂනයේ පෙරමුන ගෙන සිටී.

සමජවඅඩවේ (සව) වාර්තාව වන්නේ කිසිවක් කල නොහැකි යැයි කියන ප්‍රකාශයන් වඩාත් තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කිරීමයි. ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මාධ්‍ය වන සව ඉදිරියේදී සිදුවනු ඇති දේ පිලිබඳව අනතුරු අඟවමින් අවශ්‍ය සංවිධිත ප්‍රතිචාරය විස්තාරනය කරමින් මීට වසරකට පෙර ප්‍රකාශන මාලාවක් නිකුත් කලේය.

වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් දින දෙකකට පසුව, එනම් මාර්තු 13 වන දින, සව පාලක පන්තියේ ප්‍රතිචාරයට චෝදනා එල්ල කලේය. “ගෝලීය වසංගතය මාරාන්තික ගම්‍යතාවකින් වර්ධනය වෙද්දී, වටිනා කාලය නාස්ති කෙරුනි,” යනුවෙන් සව ප්‍රකාශ කලේය.

“සංගත ලාභ හා පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා ලෝකයේ වැඩකරන ජනතාවගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතුය” යනුවෙන් අවධාරනය කරමින්, ලෝසවෙඅ හදිසි පියවරයන් ඉල්ලා සිටියේය. මෙයට, ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කරන ලද සමාජීය සම්පත් බලමුලු ගැන්වීම සහ සියලුම කම්කරුවන්ට පූර්න ගෙවීම් සහිත අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම ඇතුලත් විය.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරුනේ නම්, නිමක් නැති ජීවිත සංඛ්‍යාවක් බේරා ගත හැකිව තිබුනි.

වසංගතයට එරෙහි සටන කිසි විටෙකත් හුදු වෛද්‍ය විද්‍යත්මක ගැටලුවක් නොවීය. වසංගතය මැඩලීම ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලයකින් පිටස්තරව සාක්ෂාත් කල නොහැකිය.

මෙවැනි ලක්ෂනයන් සහිත සෑම අර්බුදයකදී මෙන්ම, වසංගතය සමස්ත දේශපාලන තත්වයම ප්‍රබල ලෙස වෙනස් කර ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයන්හි දුරදිග යන පරිහානිය අතිශයින් වේගවත් කර තිබේ. ජාත්‍යන්තර පරිමානව ෆැසිස්ට්වාදයේ වර්ධනය පාලක ප්‍රභූන්ගේ මිනීමරු දේශපාලනයට සෘජුව සම්බන්දය. ජනවාරි 6 දා වොෂිංටනයේ කැරැල්ල ට්‍රම්ප්ගේත් ඔහුගේ සම-කුමන්ත්‍රනකරුවන්ගේත් හානිකර නිෂ්පාදිතයක් නොව, පන්ති පාලනයේ යථාර්ථයයි.

එපමනක් නොව, රට තුල දැවැන්ත සමාජ අර්බුදයකට මුහුන දෙමින් කම්කරු පන්තිය තුල වැඩෙන කෝපයට මුහුන දී ඇති පාලක පන්තිය තමන් ගොඩ යාමේ මගක් ලෙස මිලිටරි ගැටුම් දක්වා වඩ වඩාත් විවෘතව මාරු වෙමින් සිටී. සිය ධුරයේ පලමු මාස දෙක තුල බයිඩන් පරිපාලනය මැද පෙරදිගටද රුසියාවට හා චීනයටද එරෙහිව සිය ආක්‍රමනශීලී ප්‍රකෝපකරනයන් තීව්‍ර කිරීම කේන්ද්‍රීය ප්‍රමුඛතාවයක් බවට පත් කර තිබේ.

ධනේශ්වර සමාජයේ සියලුම නිල සංස්ථාව එලිදරව් වී ඇත. ආන්ඩුවල මුදුනත සිටින්නේ අන්ත දක්ෂිනාංශයද, තමන් “වම” යැයි කියනු ලබන්නන්ද යන කරුන නොතකා ඒවා එකම මූලික ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත. එක්සත් ජනපදයේ, මහා ව්‍යසනයේ මූලාශ්‍ර පිලිබඳව හෝ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිලිබඳව හෝ එකදු කොන්ග්‍රස් මන්ඩල විභාගයක්වත් හෝ බරපතල මාධ්‍ය පරීක්ෂනයක්වත් පවත්වා නැත. යථාර්ථයේදී, කලමනාකරනයේ මෙවලම් ලෙස බද්ධ වී ඇති සංගතවාදී වෘත්තීය සමිති, [කම්කරු පන්තියේ] විරෝධය මැඩපැවැත්වීමටත් පාලක පන්තියේ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමටත් හැකි සෑම දෙයක්ම කර ඇත.

පලමුවන ලෝක යුද්ධය මෙන්ම, වසංගතය සමස්ත පරම්පරාවක කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ගැඹුරු සමාජ හා දේශපාලන රැඩිකලීකරනයක් ජනනය කරමින් පවතී. “සාමාන්‍ය තත්වයට” ආපසු යාම බයිඩන් ප්‍රකාශයට පත් කරන විටදී පවා, පාසල් යලි විවෘත කිරීමේ උත්සාහයට එරෙහිව ගුරුවරුන්ගේත්, පාලක පන්තිය විසින් දිගටම ක්‍රියාත්මක කිරීමට අවධාරනය කරන මිනීමරු ප්‍රතිපත්තියට එරෙහිව සමස්ත කම්කරු පන්තියේත් විරෝධය වැඩෙමින් පවතියි.

වසංගතය කොයිතරම් විනාශකාරී වූ වත් ඊටත් වඩා එය, තව තවත් සිදු වන්නා වූත් වඩාත් ගැඹුරු වන්නා වූත් අර්බුදවලට පිලිබඳ අනතුරු අඟවයි. එනම්, දේශගුන විපර්යාසයන්, මීටත් වඩා බරපතල සහ මරනීය වන වසංගත, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ආදී වශයෙනි. ඒවා පැන නගින්නේ මේ වසංගතය පාලනය කිරීමට අසමත් වීමේ අති මූලික හේතූන්වලින් ම ය.

වසංගතය ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ අවශ්‍යතාවය සනාථ කරයි. එය සමාජයේ වඩාත්ම වැදගත් අවශ්‍යතා ආරක්ෂා කිරීම මූල්‍ය කතිපයාධිකාරය අස්වාමික කිරීමෙන් සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය අවසන් කිරීමෙන් වෙන් කල නොහැකි බව පෙන්නුම් කරයි. එය විද්‍යාත්මකව කලමනාකරනය කෙරන, තාර්කිකව සංවිධානය කෙරන සහ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරෙන ලෝක ආර්ථිකයක හදිසි අවශ්‍යතාව පැහැදිලි කරයි.

සමාජවාදය සඳහා වන අරගලය වනාහි ලාභයට ඉහලින් ජීවිතයද, කතිපයාධිකාරීන්ගේ ධනයට ඉහලින් මානව අවශ්‍යතාවයද සහ ජාතිකවාදී ගැටුමට ඉහලින් ජාත්‍යන්තර සහයෝගීතාවයටද ප්‍රමුඛතාවය දෙන සමාජයක් සඳහා ගෝලීය අරගලයකි.

Loading