ජනාධිපති රාජපක්ෂ මාධ්‍යයට තර්ජනය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා මාධ්‍යයට එරෙහිව වියරු සහගත තර්ජනයක් කලේ ය. ඔහු එම තර්ජනය කලේ එදින නුවර-එලිය දිස්ත්‍රික්කයේ වලපනේ දී පැවති “ගම සමග පිලිසඳර” සාකාච්ඡාවක දී ය. ආන්ඩුවට විරුද්ධව මාධ්‍ය  “මාෆියාවක්” ක්‍රියාත්මක වන බවට එහි දී චෝදනා කල ඔහු “මේ මාෆියා, රජයවල්, පාලකයන් පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕන නම් උගන්වන විදිහත් මම දන්නවා” යයි ප්‍රකාශ කලේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

එකී මාධ්‍ය මාෆියාව කුමක්දැයි ඔහු එහි දී නිශ්චිත නම් නොකල නමුත්, මූලික වශයෙන් මහාරාජා සංවිධානය විසින් පවත්වාගෙන යන එම්ටීවී/ සිරස රූපවාහිනී සේවය ඇඟවෙන පරිදි “අපේ රටේ රජවරුත් නැහැ. මහාරාජාලත් නැහැ.. මහාරාජාල හිටියේ ඉන්දියාවේ” යනුවෙන් සඳහන් කලේ ය. කෙසේ නමුත් ජනාධිපතිගේ තර්ජනය ආන්ඩුවේ ආර්ථික-දේශපාලන පිලිවෙත් විවේචනය කරන කවර මාධ්‍යයක් වුව ද නොඉවසන බවට කෙරුනු බරපතල අනතුරු ඇඟවීමකි.  

ආන්ඩුව විවේචනය කරන මාධ්‍යයන්ට එරෙහිව වර්ගවාදී උත්සන්නියක් ඇවිස්සීමේ දුෂ්ඨ අරමුන ඇතිව, “යුද්දෙ කාලේ ආන්ඩුවට (මහින්ද රාජපක්ෂ) විරුද්ධ ව වැඩ කල කන්ඩායමක් දැන් මාධ්‍ය තුලට රිංගාගෙන” නැවතත් ආන්ඩුවට විරුද්ධව ප්‍රචාර ගෙන යන බව ඔහු පැවසීය.

ධනපති මාධ්‍ය දියාරු  ආකාරයට රාජපක්ෂ  ආන්ඩුව විවේචනය කරන නමුත් ඒවා පාලක පන්තියේ ඒ හෝ මේ කොටස් නියෝජනය කරන සහ ධනේශ්වර රාජ්‍යයේ ආරක්ෂක කපාටයන් ලෙස ක්‍රියාත්මක වන ධනපති මාධ්‍යයන් ය.

කෙසේ නමුත් මාධ්‍යට  එරෙහිව කඩා පැනීමට ජනාධිපති රාජපක්ෂ තර්ජනය කරන්නේ කොරෝනා වසංගතය විසින් වඩාත් ගැඹුරු කෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදයේ කොටසක් ලෙස ඔහුගේ ආන්ඩුව ගිලී ඇති බරපතල ආර්ථික-දේශපාලන අර්බුදයක් තුලය. එමෙන් ම, ගෝලීයව වර්ධනය වන පන්ති අරගලයේ හා සමාජ පිපිරීම් වල කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල ද කම්කරු-පීඩිත ජනයාගේ දැවැන්ත සමාජ අරගල පුපුරා යාමට නියමිතය. 

රැකියා සහ වැටුප් කප්පාදුව, බඩු මිල ඉහල යාම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, ගොවි ජනයාගේ ගැටලු නොවිසඳීම, කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ආන්ඩුවේ පරිපූර්න නොතැකීම හා පරිසර විනාශය ඇතුලු කාරනා සම්බන්ධයෙන්  කම්කරු පන්තිය, තරුනයන් හා ගම්බද දුගීන් ඇතුලු පීඩිත ජන කන්ඩායම් අතර රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි වැඩෙන  බරපතල අප්‍රසාදය සහ කෝපය එම අරගල වලට කොන්දේසි සකසයි. 

මාධ්‍යයට එරෙහිව ජනාධිපතිගේ තර්ජනය පිටුපසින් ඇත්තේ වැඩෙන සමාජ අරගල සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස මැඩලමින් මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායක පාලනයක් කරා මාරුවීමේ ප්‍රයත්නයයි. නෛතික වශයෙන් මාධ්‍ය දඬුගැසීම  සඳහා පුවත්පත් මන්ඩල පනත සංශෝධනය කිරීම ඇතුලුව මාධ්‍යට එරෙහිව නව නීති රෙගුලාසි පැනවීමට ද ආන්ඩුව පිඹුරුපත් සකසමින් සිටී.

මාධ්‍යට “පාඩම් උගන්වන” ආකාරය ගැන ජනාධිපති රාජපක්ෂ විස්තර නොකල නමුත්  ඔහු  ආරක්ෂක ලේකම් ලෙස සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පාලන කාලය තුල මාධ්‍ය  ආයතනවලට පහරදීම, ගිනි තැබීම සහ මාධ්‍යවේදීන්  පැහැරගෙන ගොස් පහරදීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් ඇත. “මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕන නම් උගන්වන විදිහත් මම දන්නවා”  යයි ඔහු කල සඳහන ඒ වාර්තාව ආන්ඩුව විවේචනය කරන මාධ්‍ය වලට මතක්කර දීමකි. එම කාලය තුල එලෙස ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය ආයතන කිහිපයක් මෙසේය: 

*2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රනාලයට ගිනිතැබීම.

* 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රනාලයට ගිනිතැබීම.

* 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදී එහි සේවකයන් ට තර්ජනය කිරීම,

* 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම.

*2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම.

*2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම.

* 2010 ජූනි 30 කොලඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම.

* 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම.

* 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රනාලය ගිනිතැබීම. 

2009 ජනවාරි 8 වෙනිදා ද ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහ දවල් අත්තිඩියේ දී සන්නද්ධ ප්‍රහාරක කන්ඩායමක්  විසින් ඝාතනය කරනු ලැබීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වනදා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සහ ද නේෂන් පත්‍රයේ නියෝජ්‍ය කතෘ කීත් නොයාර් 2008 මැයි 22 පැහැරගෙන යාම සහ පහරදීම එම කාලය තුල මාධ්‍යවේදීන්ට එල්ල කෙරුන ප්‍රමුඛ ප්‍රහාරයන් කිහිපයකි. ඊට අමතරව තවත් දුසිමකට  වැඩි මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් පහරදීමට සහ තර්ජනයට ලක්වීම නිසා විදේශගත වූහ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් “පුලුල් පරීක්ෂන” සිදුකර වගකිවයුත්තන්ට දඬුවම් පමුනු වන බවට මහින්ද රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වූ නමුත් ඒ යටතේ හෝ එම සිද්ධීන් ගසා කාගෙන ඉන් පසුව බලයට පත් වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ද එවැන්නක් සිදු නොවුනි.

රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍යට එරෙහි තර්ජනය ධනවාදයේ ගැඹුරුවන වන අර්බුදය හා පන්ති අරගලයේ වර්ධනය තුල ධනපති පාලක පන්තීන් විසින් ලෝක පරිමානව ක්‍රියාවට දමන ප්‍රතිගාමී පිලිවෙතකි. ට්‍රම්ප් පරිපාලනයේ සාපරාධී නොතැකීමෙන් කොරෝනා වසංගතය ඇමරිකාව පුරා ව්‍යාප්තවීම සම්බන්ධ නිවැරැදි දත්ත එලිදරව් කල රෙබෙකා ජෝන්ස් ට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ පොලිස් කඩා පැනීමක් සිදු වූ අතර යුද අපරාද එලිදරව් කිරීම නිසා  විකීලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ට විරුද්ධව චෝදනා 175 යටතේ නඩු පැවරීමට එක්සත්  ජනපද අධිරාජ්‍යවාදී පාලක පන්තිය විසින් දරනු ලබන ප්‍රයත්නය මාධ්‍යවේදීන්ට විරුද්ධව ජාත්‍යන්තරව මුදා හැර ඇති ප්‍රහාරයේ දුෂ්ටතම ප්‍රකාශනයයි. 

ඉන්දියාවේ ගොවි අරගලයේ දී විරෝධතාකරුවෙකු මියයාම සම්බන්ධව වාර්තා පලකිරීම නිසා 'ද කැරවන්'  සඟරාවේ  මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හා ගොවි අරගලයට සහාය දක්වමින් ඒ සඳහා කැඳවුම් කල ලේඛනයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හේතුකොටගෙන සමාජ ක්‍රියාකාරිනියක් වන දිශා රවී  ද පසුගිය දිනවල ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි. 

Loading