ඇඟලුම් කම්කරුවෝ කොරෝනා වසංගතයෙන් උග්‍ර කෙරුනු රැකියා සහ සමාජ කොන්දේසි ගැන ලෝසවෙඅ ට කතා කරති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්හල් කිහිපයක මෙන්ම වෙනත් ප්‍රදේශවල කම්කරුවන් ගනනාවක් කොවිඩ්-19 වසංගතය පැතිරී වසරක් ඉක්මවා යද්දී තමන් මුහුන දෙන ප්‍රශ්න උග්‍රවී ඇති ආකාරය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතා කලහ.

නෙක්ස්ට් ගාමන්ට් කම්කරුවන්ගේ බෝනස් ලබාගැනීමේ වර්ජනය 1 දෙසැම්බර්-2020

 

මෙහිදී මූලිකවම කටුනායක කලාපයේ පිහිටි ස්ටාර් ගාමන්ට්, ස්මාර්ට් ෂර්ට් සහ නෙක්ස්ට් මැනුෆැක්චරින් යනාදී ඇඟලුම් කම්හල්වල කම්කරුවන් මෙන්ම වෙනත් ප්‍රදේශවල පිහිටි එස්ක්වෙල් සමාගමට අයත් ඇඟලුම් කම්හල්වල කම්කරුවන් කිහිප දෙනෙකුද වූහ.

අනුරාධපුර සිට පැමිනි කම්කරු තරුනියක් ලෝසවෙඅ ට පැවසුවේ තමන් කටුනායක කලාපයට පැමිනීමට පෙර ගම ආසන්නයේ පිහිටි හයිලයිට් එක්ස්පෝර්ට් කම්හලේ මසකට රුපියල් 20,000 ක අඩු වැටුපකට වැඩ කල බවයි. ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන වියදම් සහ නිවසක් සාදා ගැනීමට ලබා ගත් නය වාරිකය ගෙවීම සඳහා මෙම වැටුප ප්‍රමානවත් නොවූ නිසා වඩා හොඳ වැටුපක් බලාපොරොත්තුවෙන් ඇය කටුනායක කලාපයට පැමින ඇත. මෙම කම්හලේ කිහිප දෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැලඳීමෙන් ඇතිවූ අනාරක්ෂිත තත්වය ද රැකියා ස්ථානය වෙනස් කිරීමට හේතු වූ බව ඇය පැවසුවාය.

කටුනායක කලාපයට පැමිනි පසු පලමුව ඇය රු.1,000 ක දෛනික වැටුපකට මිනිස්බල ආයතනයක් යටතේ වැඩ කලද, බොහෝවිට ඇයට ලැබී ඇත්තේ රු. 750 ක් පමනි. පසුව ඇය නෙක්ස්ට් ගාමන්ට් කම්හල වෙත වැඩට ගොස් ඇත. මෙහි කම්කරුවන් ගනනාවකට කොරෝනා අසාදනය වූ නිසා ඇය එතනින් ඉවත්වී ස්ටාර් ගාමන්ට් කම්හලේ රැකියාවකට ගොස් තිබේ. මෙහි වැටුප මසකට රුපියල් 30,000 ක් පමන වන අතර, බෝඩිම සඳහා මසකට රු. 5,000 ක් වැය වේ. විදුලි සහ ජල බිල් ගෙවා කෑමට වියදම් කල විට කිසිදු මුදලක් ඉතිරි නොවන බව ඇය පැවසුවාය.  

අපේක්ෂා භංගත්වයෙන් කතා කල ඇය පවතින ආන්ඩුව යටතේ තරුනයින්ට අනාගතයක් නැති බවද, ජනාධිපතිගේ "සෞභාග්‍යයේ දැක්ම විහිලුවක්" බවද පැවසුවාය.

මාස් හෝල්ඩිංග්ස් ආයතනයට අයත් කම්හලක්

  

දැනට කොරෝනා ආසාදනය උත්සන්න වී ඇති ස්මාර්ට් ෂර්ට් කම්හලේ කම්කරු කාන්තාවක් පැවසුවේ මේ වන විට තම කම්හලේ කම්කරුවන් 100 දෙනෙකුට වඩා කොරෝනා වැලඳී ඇති බවත් ඔවුන් වතුපිටිවල, යක්කල, දිවුලපිටිය, වරකාපොල ආදී රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ය. 

පීසීආර් පරීක්ෂනවලින් ආසාදිත නොවූබව තහවුරු කෙරුනු ඇය ඇතුලු ආශ්‍රිතයින් තම බෝඩින්වලම නිරෝධායනයට යොමු කෙරී ඇත.  තම දැනුමේ හැටියට කම්හලේ ඉහල මාලයේ මහන අංශයේ වැඩියෙන් ම රෝගීන් හමු වූ නිසා එම අංශය වසා දමා ඇති බවත්, බිම්මහලේ 500 ක් පමන සේවකයින් නොකඩවා වැඩෙහි නිරත බවත් ඇය පැවසුවාය.

උතුරු පලාතේ සිට පැමිනි වසර කිහිපයක් ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ වැඩ කරන තරුන කම්කරුවෝ දෙදෙනෙක් ද තම ගැටලු පැහැදිලි කලහ. 

"සති දෙකකට කලින් පීඑච්අයිලා ආවා. එක් කෙනෙකුගේ පීසීආර් කරලා බැලුවා. උන මුකුත් තිබුනේ නැහැ. අපි වගේ [හොඳින්]හිටියා, පසුව ඔහුට කොරෝනා ආසාදනය වුනා" යැයි ඉන් එක් අයෙක් පැවසීය. 

මෙම කම්හලේ එක් නිපැයුම් පේලියකින් කම්කරුවන් දෙදෙනා බැගින් විටින්විට අහඹු පරීක්ෂනවලට ලක් කෙරෙන බවද, කිහිප දෙනකුට රෝගය වැලඳී ඇති බව දැනගත් පසු සියලුම කම්කරුවන් පීසීආර් පරීක්ෂනවලට භාජනය කෙරුනු බව ද ඔවුහු පැවසූහ. ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යාම නිසා කම්හලේ ඉහල මහල තාවකාලිකව වසා දමා ඇත. 

මුලු මාසයම වැඩ කල විට රු. 35,000 - 40,000 ක් අතර උපයා ගත හැකි බව ඔවුහු පැවසූහ. පසුගිය වසරේ කම්හල වසා තැබූ මාස දෙක සඳහා රු. 20,000 පමන වැටුප් ලැබී ඇත. කම්හලේ මතුවී ඇති අන්තරායෙන් බියවූ ඔවුන්ගේ දෙමවුපියන් කම්හලෙන් අස්වී ගමට එන ලෙස පවසා ඇත. එහෙත් තමන්ගේ නය නිසා හදිසියෙන් නොයන බව ඔවුහු පැවසූහ.

සේවකයින් 2,000 ක් සේවයේ නිරත නෙක්ස්ට් ගාමන්ට් කම්හලේ කම්කරුවෙකු පැවසුවේ මුලු වැටුප දීමනා සහිතව මසකට රු. 25,000 - 30,000 ක් ලැබෙන බවයි. එහෙත් දිනකට පැය 12 ක්ද සෙනසුරාදා පැය 9 ක්ද වැඩ කල යුතුය. 

ඊයේ සියත රූපවාහිනිය වාර්තා කලේ කැකිරාව ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් 10 ක් හමුවූ බවත්, මාර්තු 14 කලම්බු පේජ්  වාර්තා කලේ වව්නියාවේ ප්‍රමූඛ ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් 21 ක් හමුවූ බවත්ය.

මාර්තු 16 දා ලංකාදීප වාර්තාවකට අනුව "මේ දක්වා කටුනායක නිදහස් වෙලෙඳ කලාපය තුල පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු  කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ." නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, මේවන විට දිවයින පුරා කොරෝනා ආසාදිතයින් ගනන 90,514 කි. සමස්ත කොරෝනා මරන සංඛ්‍යාව 551 ක් වන අතර, මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මහියංගනයේ ෂේඩ්ලයින් ඇඟලුම් කම්හලේ කම්කරු තරුනියක් ද ඒ අතර වෙයි.

මීට අමතරව මාවතගම, කොග්ගල, හොරන, බියගම, කටුනායක යන නිදහස් වෙලඳ කලාප තුලත්, මහියංගනය, වේයන්ගොඩ, පොලොන්නරුව වැනි ප්‍රදේශවල කම්හල්වලත් සිය ගනන් කම්කරුවෝ ආසාදනය වූහ.

කම්හල්වල ආසාදිතයින් අඩුවෙන් වාර්තා වන්නේ පරීක්ෂන ප්‍රමානවත් නොවන බැවිනි. එසේ තිබියදී ඇඟලුම් කම්හල්වල එක්වරම රෝගීන් සංඛ්‍යාව උත්සන්න වීමෙන් පෙනෙන්නේ රෝගය වේගයෙන් පැතිරෙමින් පවතින බවයි. 

කම්හල් පාලකයෝ රෝගය පැතිරීම ගැන සැබෑ තතු කම්කරුවන්ගෙන් වසන් කරති. මේ පිලිබඳව නෙක්ස්ට් ගාමන්ට් කම්කරුවෙකු පැවසුවේ පාලකයින් විසින් කම්හල තුල කොරෝනා තත්වය පිලිබඳව කිසිදු තොරතුරක් ලබා නොදෙන නිසා සැබෑ තත්වය නොදන්නා බවයි. මෙම කම්හලේ ආසාදිතයින් හමුවීමෙන් පසු ඔක්තෝබර් මාසයේ දින කිහිපයක් වසා තිබූ බව ද ඔහු පැවසීය.

වසංගතය පැතිරීම හේතුවෙන් බියවූ දහස් ගනන් කම්කරුවෝ ගිය වසරේ රැකියාවලින් ඉවත් වී තම ගම්වලට ගියහ. එසේ වුවද, තරුන තරුනියෝ තම පවුල්වල ආර්ථික ගැටලු නිසාවෙන් සහ අධ්‍යාපන පහසුකම් නොමැතිකමෙන් අතරමග අධ්‍යාපනය නවතා දමා නිදහස් වෙලඳ කලාපවලට රැකියා සොයා ඇදෙති.

උතුරේ යුද්ධය නිසා පාසල් පද්ධතිය අඩපන වීමෙන් තමන්ට ඇති වූ බලපෑම ගැන සඳහන් කරමින් ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් දෙදෙනා පැවසුවේ, තම පාසැල් වල ප්‍රධාන විෂයයන්වලට ගුරුවරු නොසිටි බැවින් උසස්පෙල අධ්‍යාපනයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බවයි. තම ප්‍රදේශයේ රැකියා හිඟකම නිසා ඔවුන් කටුනායක කලාපයට පැමින ඇත. අනුරාධපුර සිට පැමිනි ස්ටාර් ගාමන්ට් කම්කරු තරුනියද පැවසුවේ තම පාසලේ ගනිතය විෂය සඳහා ගුරුවරයකු නොසිටි බවයි. 

දඹුල්ල ආසන්න ප්‍රදේශයකින් මාස කිහිපයකට පෙර කටුනායක කලාපයට පැමිනි නෙක්ස්ට් ගාමන්ට් කම්හලේ කම්කරුවකු පැවසුවේ ගොවි පවුල්වලින් පැවත එන ඔවුනට වෙනදා මෙන් අද ගොවිතැන් කිරීමට අපහසු බවයි. 

කම්කරුවන් කොරෝනා රෝගයට ගොදුරු කෙරීමට අමතරව, ඇඟලුම් සහ අපනයනය සඳහා භාන්ඩ නිපදවන කම්හල් ක්ෂේත්‍රය මුහුන දී ඇති අර්බූදය හේතුවෙන් කම්කරුවන් රැකියාවලින් නෙරපා හැරීම් වලටද, වැඩ වේගවත් කිරිම්වලටද, වැටුප් කප්පාදුවීම් වලටද ගොදුරු වී ඇත. 

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් පසුගිය වසරේ අගෝස්තු මස ඩේලි එෆ්ටී පුවත්පතට කියා ඇත්තේ කොරෝනා රෝගය පැතිරීමෙන් ඇඟලුම් රැකියා 80,000 – 100,000 සංඛ්‍යාවක් අහිමි විය හැකි බවයි. 

වැටුප් කප්පාදුවකට ලක්වූ ජාඇල එස්ක්වෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෙකු පැවසුවේ තමන්ගේ මාසික වැටුප රු. 20,000 -25,000 ක් දක්වා අඩුවී ඇති බවයි. ඇය, පසුගිය වසරේ වසා දැමුනු එම සමාගමටම අයත් යක්කල එවර්බෙස්ට් කම්හලේ සේවයේ යෙදෙද්දී රුපියල් 35,000 ක වැටුපක් ලබාගෙන තිබුනි. කම්කරුවන් 1,200 ක් පමන සේවයේ නිරත වත්මන් කම්හලේ කම්කරුවන් අඩකට පමන වන්දි ගෙවා ඉවත් කිරීමේ සැලසුමක් ගැන පාලකයන් කම්කරුවන්ට දැනුම් දී ඇත. 

එස්ක්වෙල් සමාගමටම අයත්, සේවකයින් 1,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත, කෑගල්ල පොලිටෙක්ස් කම්හල වසා දැමීමට සූදානම් බවත් කම්කරුවන්ට මේ වන විට ගෙවනු ලබන්නේ මූලික වැටුප පමනක් බවත් වාර්තා වෙයි. 

වැඩ වේගවත් කිරීම පිලිබඳව කතා කරමින් ප්‍රමුඛ ඇඟලුම් සමාගමක සේවකයකු පැවසුවේ ඇනවුම් ලබා දීම සඳහා සේවකයින් මත අධික වැඩ පැවරීම නිසා දැවැන්ත පීඩනයක් ඔවුන් මත එල්ල වී ඇති බවත්, සමහර සේවකයින් සේවය අතහැර යන බවත්ය. තම ඇනවුම් රඳවා තබා ගැනීම සඳහා පාලකයෝ මහා සංගතයන්හි ඇනවුම් සැපිරීමට වැඩ කරති. නිසි කලට ඇනවුම් ලබා නොදුනහොත් තම ඇනවුම් වියට්නාම සමාගමකට පවරන බවට එක් සංගතයක් තර්ජනය කල බව පාලකයන් පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මෙම වසර සඳහා ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක එල්ලයක් ලබා දී ඇත. පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායම ඇ ඩො බිලියන 4.4 ක් විය. එනම්, මෙය 2019 ට සාපේක්ෂව සියයට 21 කින් කඩා වැටීමකි. 

ලෝක වෙලඳපොලේ තියුනු තරඟයක යෙදී සිටින කම්හල් හිමියෝ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය ආරක්ෂන මාර්ගෝපදේශනයන් පිලිපදින බවට පුච්චානම් කතා කීවද මෙම ක්ෂේත්‍රය තුල වේගයෙන් වසංගතය පැතිරෙමින් පවතින අතර කම්කරුවන් සූරා කෑමද උග්‍ර කෙරී ඇත. 

ඇඟලුම් කම්කරුවන් කොරෝනා ආසාදනයට අත්හැර හාම්පුතුන් විසින් දියත්කොට ඇති ප්‍රහාරය සහ සමගාමීව වතු කම්කරුවන්ට එරෙහිවද රුදුරු ප්‍රහාරයක් එල්ල කෙරී ඇත. ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිතිවල පාවා දීමෙන් හාම්පුතුන් ඇඟලුම් කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයට ශක්තිය ලබාගෙන ඇති අතර, වතු හාම්පුතුන් ශක්තිය ලබා ගෙන ඇත්තේ ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය වතු කලමනාකාරීත්වය සහ පොලීසිය සමග සම්මුතිවීම හේතුවෙනි. වැටුප් අරගලය මධ්‍යයේ ප්‍රකෝපකාරිත්වයක් අවුලුවා හැටන්හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීම මෑතම සිද්ධියයි. 

හැටන් සිට පැමින තම බිරිඳ සමග කටුනායක කලාපයයේ කුඩා නිවෙසක පදිංචිවී ජාඇල බේකරියක වැඩ කරන තරුන කම්කරුවෙක් ඉහත වතු කම්කරු දඩයම ගැන කතා කලේය. බඩු මිල වැඩිවී ඇති නිසා වතු කම්කරුවන්ගේ අරගලය සාධාරන බව පැවසූ ඔහු, ඔවුන් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් මීට අප විරුද්ධ විය යුතු බව ද ඔවුන් බේරා ගත යුතු බව ද ප්‍රකාශ කලේය. 

හැටන්හි රැකියා නොමැති නිසා කටුනායක පැමිනි ඔහුට මසකට රු. 30,000 ක වැටුපක් ලැබෙන අතර දිනකට පැය 12 ක් පමන වැඩ කල යුතුවේ.

Loading