මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ජවිපෙට අනතුරු අඟවයි

පාස්කු ඉරිදා ප්‍රහාරකයෙකුගේ පියා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේ දී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකුව සිටි බවත්, ඒ සම්බන්ධව ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙන් ලඟදීම ප්‍රශ්න කරන බවත් මහජන ආරක්ෂක ඇමති රියාර් අද්මිරාල් සරත් වීරසේකර, මාර්තු 18 දා කොලඹ කොටුවේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කලේය. මෙම ප්‍රහාරයට සම්බන්ධ අය වහාම අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු එහිදී සඳහන් කරන ලදි. 

2019 අප්‍රේල් 21 වන දින ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් ලංකාවේ කතෝලික පල්ලි තුනකට සහ සංචාරක හෝටල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කලහ. අයිඑස්අයිඑස් ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ සහාය ඇතිව සිදුකල මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් මියගොස් තවත් 500 ක් තුවාල ලැබූහ. 

“ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ නාමයෙන් මිලිටරීකරනය වේගවත් කිරීමට සහ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුබල කිරීමට දියත්කොට පැවති මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නැංවීමට, එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය ඇතුලු කොලඹ පාලක ප්‍රභූව වහාම මෙම ත්‍රස්ත ප්‍රහාරය යොදා ගත්හ. ජවිපෙ එම ප්‍රතිගාමී ව්‍යායාමයට පූර්න සහයෝගය ලබා දුන්නේය. 

වීරසේකර ඉහත ප්‍රකාශය කලේ, ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මාර්තු 17 දා කල ප්‍රකාශයකට ප්‍රතිචාරී වශයෙනි. ජවිපෙ සම්මන්ත්‍රනයක් අමතමින් දිසානායක කියා සිටියේ, “පාතාලයේ අවිආයුධ සතියක් තුල එකතු කරගන්නා” බවට, “තරුනයන්ට හමුදා පුහුනුව ලබාදෙන” බවට සහ “බුර්කාව තහනම් කරන” බවට වීරසේකර කිවූ දෑ කිසිවක් ඉටු නොවූ බැවින් ඒවා “පුස්වෙඩි” බවයි.‌ 

වීරසේකරගේ ප්‍රකාශයන්හි පංති අර්ථය වසන් කරමින් එවන් විවේචන ඉදිරිපත් කරන, පාලක පන්තියේම පක්ෂයක් වන ජවිපෙ සම්බන්ධයෙන් වීරසේකර කල ඉහත ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, ආන්ඩුව සම්බන්ධයෙන් කවර හෝ විවේචනාත්මක ආකල්පයක් ගන්නා සියලු පක්ෂ සහ සංවිධාන මර්දනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය සැලසුම් කර ඇති බවයි.  

මාර්තු 21 දා, මාලිගාකන්ද මහා බෝධි විහාරයේ පැවති උත්සවයක කතා කරමින් වීරසේකර ජවිපෙ ට එරෙහි ප්‍රහාරය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. “පිලිම වන්දනා කරන්නන් ගෝත්‍රිකයන්” බව ජවිපෙ නායකයෙකු වන බිමල් රත්නායක මෑතකදී ප්‍රකාශ කල බව සහ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්නේ යැයි සැලකෙන සහරාන් වැනි ඉස්ලාමීය මූලධර්මවාදීන් ද පිලිම වන්දනා කිරීමට විරුද්ධ බව පැවසූ ඔහු, ජවිපෙ ද එවැනි අදහස් දරන්නේ දැයි සැකයක් පවතින්නේ යැයි පැවසීය.

සහරාන් ඇතුලු කන්ඩායම 'පිලිම වන්දනාවට' විරුද්ධ බවට වීරසේකර තර්ක කරනුයේ, කලකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිම කඩා බිඳ දැමීමට එම කන්ඩායම සම්බන්ධ බවට එල්ල කෙරෙන චෝදනා ආශ්‍රයෙනි.

කෙසේ නමුත්, සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් ද ඇතුලුව, ආගම් විශ්වාස නොකරන ඕනෑම කෙනෙකුට එරෙහිව වීරසේකරගේ චෝදනාව භාවිතා කල හැකිය. 

වීරසේකරගේ මෙම අන්ත ප්‍රතිගාමී ප්‍රකාශ, මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීමට වලිකන ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම් සමග බැඳී පවතී. එම සැලසුම්වල කොටසක් ලෙස, ආරක්ෂක අංශ මගින් මේවනවිට දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත්කොට ඇත. වීරසේකරගේ උපදෙස් පරිදි පොලීසිය, පොලිස් කමාන්ඩෝ (එස්ටීඑෆ්) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (සීඑස්ඩී) භටයින් කොලඹ අවට නුගේගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පසුගිය ඉරිදා මෙහෙයුම් සිදු කලහ. අවශ්‍යව සිටින පුද්ගලයින්, වරෙන්තු සහ නීති විරෝධී කටයුතුවල යෙදී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම් සිදු කල බව පොලිසිය පැවසීය.

මත්ද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම තම අරමුන බව ආන්ඩුව ව්‍යාජ ලෙස පැවසුව ද, මෙම මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්කය කම්කරු පන්තියයි. ඉදිරි දිනවලදී මෙහෙයුම් ඉහල නංවනු ඇති අතර, එය දින හතක් අඛන්ඩව ක්‍රියාත්මක වන බව ආන්ඩුව පවසයි.

මෙම සෝදිසි මෙහෙයුම් හුදෙක් නුගේගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවලට පමනක් සීමා නොවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන සඳහන් කලේ එය දිවයින පුරාම, පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන බවයි. ඉදිරි කාලයේ දී මෙම සෝදිසි මෙහෙයුම් වැඩි දියුනු කරන බව ආන්ඩුව කියා සිටී. 

අපරාධකරුවන් හඳුනා ගැනීමේ මුවාවෙන් සිදු කලද, එහි සැබෑ අරමුන ආන්ඩුවට එරෙහිව වේගයෙන් වැඩෙන සමාජ අතෘප්තිය හමුවේ  පීඩිත මහජනතාව, විශේෂයෙන්ම කම්කරු පන්තිය බිය ගැන්වීමයි. ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ යටතේ පිලිපීනයේ තත්වය මෙයට බලගතු උදාහරනයකි. ඔහුගේ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” ප්‍රධාන වශයෙන් “දුප්පතුන්ට එරෙහි යුද්ධයක්” වන අතර 30,000 කට ආසන්න පිරිසක් මේ වන විට මරා දමා ඇත. 

මෙම උද්ඝෝෂනයට සමාන්තරව, ආන්ඩුව මුස්ලිම් විරෝධය ද යහමින් උසි ගන්වමින් සිටී. මුස්ලිම් කාන්තාවන් මුවවැස්මක් ලෙස පලඳින   බුර්කාව සහ මද්‍රසා පාසැල් තහනම් කිරීමට තර්ජනය කිරීම, එහි කොටසකි.  

කොවිඩ්-19 වසංගතය මගින් ගැඹුරු කරන ලද ධනේශ්වර අර්බුදයේ සියලු බර කම්කරු පන්තිය මත පැටවීමට ලොවපුරා පාලක පන්තීන් ගෙනයන පිලිවෙත් අනුයමින් රාජපක්ෂ ආන්ඩුව නිර්මානයකොට ඇති ව්‍යසනකාරී කොන්දේසිවලට එරෙහිව සෑම ක්ෂේත්‍රයකම අරගල වැඩෙමින් පවතී.

ඇඟලුම්, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිබල, බැංකු, ජලාපවහන, තැපැල්, වතු සහ වරාය කම්කරුවන් අතර අඛන්ඩව අරගල පැන නගිනු දැකගත හැක. දැඩි සමාජ-ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ගොවි ජනතාවට අරගලයට පැමින ඇති අතර, පරිසර විනාසයට එරෙහිව තරුන ජනයාගේ විරෝධය වර්ධනය වෙමින් පවතී. මෙම අරගල මැඩීමට වෘත්තීය සමිති ලබාදෙන සහයෝගයෙන් සෑහීමට පත් නොවන ආන්ඩුව, කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව රුදුරුම ආකාරයේ කඩා පැනීමකට රාජ්‍ය යන්ත්‍රය සූදානම් කරයි.

මධ්‍යම කඳුකරයේ මස්කෙලිය, අප්-කොට් හි ඕල්ටන් තේ වතුයායේ කම්කරුවන් රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා පෙබරවාරි 3 වන දින ආරම්භ කල වැඩ වර්ජනය මධ්‍යයේ වතු කලමනාකාරිත්වය නිර්මානය කල ප්‍රකෝපකරනයකින් පසු, වතු සමාගම, පොලීසිය සහ සමිති එක්ව සැලසුම්කල කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන් 22 කට එරෙහිව අපරාධ නඩු පවරා ඇති අතර, ඔවුන් ද ඇතුලුව 38 කගේ සේවය අත්හිටුවා ඇත. ඕල්ටන් කම්කරුවන්ට එරෙහි මෙම ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියටම එල්ල කිරීමට සූදානම් කර ඇති ප්‍රහාරයේ කොටසකි.

වතුකරයේ මෙම වර්ධනයන් පාලක ප්‍රභූව තුල මහත් කනස්සල්ලක් ඇති කර තිබේ. වීරසේකර, මාර්තු 7 වනදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකලේ වතුකරයේ “ප්‍රචන්ඩත්වය” හා “ආරක්ෂක ගැටලු” ගැන ඊලඟ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී සාකච්ඡා කිරීමට යන බව ය.

වීරසේකරගේ මෙම ප්‍රකාශයන් මඟින් පෙන්නුම් කෙරෙන්නේ, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි පන්ති යුද්ධ සඳහා ආඥාදායක පාලනයක් තහවුරුකර ගැනීමට ආන්ඩුවට පවත්නා තදියමයි. ජවිපෙ වැනි ධනපති පක්ෂයක සීමිත විවේචන පවා එවන් පාලනයකට ඉවසිය නොහැක.

Loading