2034: ඊලඟ ලෝක යුද්ධයේ නව කතාවක්

චීනයට එරෙහි එක්සත් ජනපද න්‍යෂ්ටික යුද්ධයක් කෙසේ දිස්වනු ඇති ද

[පහත පලවන්නේ 2021 මාර්තු 24 දින What a US nuclear war with China would look like මාතෘකාවෙන් ලෝසවෙඅ හි ඉංග්‍රීසි බසින් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදය හා චීනය අතර ගැඹුරු වන ගැටුම, ජීවිත කෝටි ගනනකින් වන්දි ගෙවීමට සිදුකරමින්, න්‍යෂ්ටික ලෝක යුද්ධයක් බවට පුපුරා යා හැක්කේ කෙසේදැයි චිත්‍රනය කරන කෘතියක් හිටපු නැටෝ අනදෙන නිලධාරී ජේම්ස් ස්ටේව්රිඩිස් හා නවකතාකරුවකු වන එලියට් ඇකර්මන් විසින් පලකරනු ලැබ ඇත.

චීනය ඉලක්ක කරගෙන, එක්සත් ජනපදය හා එහි සගයන් විසින් මුලපුරනු ලබන, යෝධ නව න්‍යෂ්ටික අවි තරඟයක් මතු කරන තර්ජනය කුමක් දැයි යන්න පිලිබඳ අනතුරු ඇඟවීමක් ලෙස, 2034: ඊලඟ ලෝක යුද්ධයේ නව කතාවක් (2034: A Novel of the Next World War) නමැති මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් විය යුතු ය.

එවන් යුද්ධයක ප්‍රධාන පෙලේ නිර්මාපකයෙකු වනු ඇති මිනිසෙක් 2034 සම රචනය කර ඇත. 2016 ගිම්හානයේ දී තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් වශයෙන් තෝරා ගැනීමට ඉඩක් තිබුනු සහ ක්ලින්ටන් උද්ඝෝෂනයේ භව්‍ය උප ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සලකා බලනු ලැබූ, පෙන්ටගනයේ වඩාත් ම ප්‍රමුඛ දේශපාලන අනදෙන්නන්ගෙන් එක් අයෙකි, ස්ටේව්රිඩිස්.

1952 නොවැම්බර් 1දා මාෂල් දිවයිනේ ඊනිව්ටැක් අතොලුවට ඉහලින්, ලෝකයේ පලමු තාපන්‍යෂ්ටික උපකරනය වන අයිවි මයික් අත්හදා බැලීම හේතුවෙන් ඇතිවුනු හතු වලාකුල (ඒපී ඡායාරූප/ලෝස් ඇලාමෝස් ජාතික රසායනාගාරය) [AP Photo/Los Alamos National Laboratory]

විශ්‍රාමික තරු-හතරේ නාවික අද්මිරාල්වරයෙකු වන ඔහු, 2009 සිට 2013 දක්වා නැටෝවේ මිත්‍ර හමුදා මෙහෙයුම් බලගනයේ (NATO Supreme Allied Commander Europe) ආඥාපති ලෙස සේවය කලේ, එක්සත් ජනපද දක්ෂින ඒකාබද්ධ බල ඇනියේ (U.S. Southern Command) හා යුරෝපීය බල ඇනියේ (U.S. European Command) ප්‍රධානියා ලෙස සේවය කිරීමෙන් අනතුරු ව ය.

“අපේ නාවික න්‍යෂ්ටික අවි නඩත්තු කිරීම හා පරීක්ෂා කිරීම සඳහා දීර්ඝ-කාලීන සැලසුම් නිර්මානය කරමින්, ඩෙස්ට්‍රෝයර් නෞකාවක කාර්යාංශ නිලධාරියෙක් ලෙස මගේ පලමු රැකියාව මා ආරම්භ කලා” යි ඔහුගේ මතක සටහන්වල ලියන ස්ටේව්රිඩිස්ට, එක්සත් ජනපද මහජන සංහාරක අවි සම්බන්ධ ව දශක ගනනක අත්දැකීම් තිබේ.

බොහෝ ජෙනරාල්වරුන් මෙන් ස්ටේව්රිඩිස් ද මහා පරිමාන මිනීමැරීම්වලට යොමු නො වී, එක්සත් ජනපදය එහි භූ-දේශපාලනික ඉලක්කයන් කරා ලඟා වීම වඩා හොඳ යයි විශ්වාස කරයි. එහෙත්, යුද්ධය වැලැක්විය නො හැකි නම් හා ලේ හැලීම ආරම්භ කල යුතු නම්, “අපි සටන් කොට ජයගැනීමට සූදානම් විය යුතු” යයි මෑතක දී, ඔහු වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ තීරු ලිපියක දී ලිවී ය.

2034 යනු ශානර දෙකක සංයෝජනයකි: එනම්, පෙන්ටගනයේ සිදු කෙරෙන සැලසුම් තේමා කර ගත් ශානරය සහ තරමක් දිග ත්‍රාසජනක නවකතා ශානරය යන ශානර ද්විත්වයයි. ශානර නවකතාවල දැකිය හැකි අච්චුවකට කපා ගත් චරිතවලින් සහ පට්ට ගැසූ කතා සැකිල්ලකින් යුත් මෙම නවකතාව සැකෙවින් මෙහි ඉදිරිපත් කිරීමට හෝ විභාග කිරීමටවත් නොවටින්නකි.

කල්පිත මිලිටරි අභ්‍යාසය ඉදිරියට යන්නේ පහත පරිදි ය. 2034 වසරේ දකුනු චීන මුහුදේ සිදු වන නාවික නිදහස පිලිබඳ අභ්‍යාසයක දී, විපතට පත් එක්සත් ජනපද ආරක්ෂක නැව් කන්ඩායමක්, චීන සිවිල් යාත්‍රාවටක ගොඩ වේ. යාත්‍රාව රහසිගත තාක්ෂනයන් ගබඩා කර තබා ගන්නා බව දැන ගන්නා ඇමරිකානුවෝ එය අල්ලා ගනිති. මෙහෙයුම සිදුවීගෙන යද්දී, උසස් තාක්ෂනයෙන් යුත් සයිබර් ආයුධ යොදාගෙන එක්සත් ජනපද යාත්‍රාවන්ට පහර දෙන චීන යාත්‍රා කන්ඩායමක්, ඒවා මුලුමනින් පක්ෂාඝාත කරයි.

බලය පෙන්වීමේ ප්‍රදර්ශනයක් ලෙස, එක්සත් ජනපදය පැසිෆික් කලාපයට ගුවන් යානා ගෙනයන සටන් කන්ඩායම් දෙකක් යැවූ විට, චීන පාර්ශවයට නො ගිනිය හැකි තරමේ හානියක් සහිත ව ඇමරිකානු නැව් 40ක් ගිල්වනු ලැබේ. ගනන් හිලවු සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරනු නො ලබන නමුත්, එවන් ප්‍රහාරයකින් ඇමරිකානු නාවිකයන්, ගුවන් භටයන් හා නාවික භටයන් දස දහස් ගනනකට ඔවුන්ගේ ජීවිත අහිමි විය යුතු ය.

ඊට ප්‍රතිචාර ලෙස, වොෂින්ටනය චීනයේ වෙරලබඩ නගරයකට න්‍යෂ්ටික අවියක් දියත් කරන අතර, බෙයිජිනය කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ නගරයට හා ටෙක්සාස්හි ගැල්වෙස්ටන් නගරයට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරමින් එයට ප්‍රතිප්‍රහාර දෙයි. ලෝකයේ වඩාත් ම විශාල හා වැදගත් ම නගරවලින් එකක් වන ෂැංහයි නගරය වනසා දමමින් එක්සත් ජනපදය එයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි.

“මින් මාස බොහෝ ගනනක් ගත වන තෙක්, නගරය පිලිස්සුනු, විකිරනශීලී මුඩුබිමක් ලෙස පවතී. මරන සංඛ්‍යාව මිලියන තිහ ඉක්මවා ගොස් තිබේ. සෑම න්‍යෂ්ටික ප්‍රහාරයකින් ම පසුව ජාත්‍යන්තර වෙලඳපොලවල් ඇද වැටුනි. අස්වනු අසාර්ථක විය. ආසාදනය වන රෝග පැතිර ගියේ ය. විකිරන විෂ පරම්පරා ගනනාවක් දූෂනය කිරීමට පොරොන්දු විය. විනාශය සිතාගත හැකි ධාරිතාව ඉක්මවා යයි” යි ෂැංහයි මතට එල්ල වන ඇමරිකානු න්‍යෂ්ටික ප්‍රහාරයකින් පසුව එලඹෙන තත්ත්වය ගැන ස්ටේව්රිඩිස් ලියයි.

සැන් ඩියේගෝ මතට එල්ල වන චීන න්‍යෂ්ටික ප්‍රහාරයකින් දිවි බේරාගන්නා ඇමරිකානුවන්ට, “නියමිත ප්‍රමිතියෙන් තොර වැසිකිලි හා ප්ලාස්ටික් කූඩාරම්වලින් නිතර ම ප්‍රරෝහනය වන බෝ වන උන, සරම්ප හා වසූරිය රෝගය පවා චක්‍රීය ව පැතිරීයාම් පවතින නීච කඳවුරුවල” ජීවත් වීමට සිදුවනු ඇත.

මෙය අපායක දර්ශනයක් බව පෙනේ. එහෙත්, මෙම විස්තරය පවා, න්‍යෂ්ටික ලෝක යුද්ධයක සැබෑ ව්‍යසනය අඩුවෙන් විස්තර කිරීමක් වශයෙන් හැඳින්විය යුතු ව ඇත.

පුහුනුවෙන් හා චිත්ත ස්වභාවයෙන්, මිලිටරි නිලධාරියෙකුගේ හෝ “ජාතික ආරක්ෂක” නිලධරයෙකුගේ ආකල්පවලින් බැහැර ව ලෝකය දැකීමට ස්ටේව්රිඩිස් අසමත් ය. “සාමාන්‍ය” මහජනයාව විස්තර කරනු නො ලැබේ. විවිධාකාර ප්‍රධාන චරිත මිලියන ගනනකගේ ජීවිත විනාශ කරද්දී එය ඔවුන්ට නරකට බලපායි. පාඨකයා මොවුන් දෙස අනුකම්පාවෙන් බලනු ඇතැයි අපේක්ෂිත ය.

ස්ටේව්රිඩිස්ගේ කතන්දරයේ දී, ගැටුමට අදාල තීරන බොහෝ සෙයින් ගනු ලබන්නේ තාර්කික හා විශ්ලේෂනාත්මක මිලිටරි තාක්ෂනඥයන් විසිනි. සම්මතය හැටියට නිරූපනය කෙරී ඇති ඡන්දයෙන් පත්වූ නායකයන් සමහර විට ආඛ්‍යානය සමග ඝට්ටනය වන ලෙස ක්‍රියා කරන නමුත්, ක්‍රියාවට බොහෝ සෙයින් මග පෙන්වන්නේ මිලිටරි නිලධාරීන් ය. දේශපාලනඥයෝ කථා වස්තුවට අල්ප බලපෑමක් කරන්නාක් මෙන් ම, සමාජීය ගතිකයන් හා මහජන මතය බොහෝ සෙයින් නො තකා හරිනු ලැබේ.

එක්සත් ජනපදය චීනයේ වරාය නගරයක් මතට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන අතර, මහජනයා ආහාර ඉල්ලා බෙරිහන් දීමට දැක්කීම හැරුනු කොට, වෙනත් දේශීය සමාජීය බලපෑමක් එම ප්‍රහාරය මගින් ඇති නො කරන බව පෙනේ.

එක්සත් ජනපදය තුල මිලියන ගනනක් මරා දමමින් දේශීය ව කෝටි ගනනක් අනාථ කරනු ලැබේ. එක් තනි සිද්ධියක දී -එනම්, ෂැංහයිවලට එල්ල කරන න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයේ දී- වසර හතරක් පුරා නාසි ජර්මනිය විසින් නැගෙනහිර යුද පෙරමුනේ දියත් කරන ලද සමූලෝත්පාඨන යුද්ධයේ දී සිදුකල මහා පරිමාන ඝාතන ඉක්මවා යන මනුෂ්‍ය ඝාතනයක් එක්සත් ජනපදය විසින් සිදු කෙරෙයි.

මේ සියල්ල මධ්‍යයේ, දේශීය සමාජ ප්‍රතිචාරයක් සිදු නො වේ. පලමුවන ලෝක යුද්ධයේ අවසානය රුසියානු, ඔස්ට්‍රියානු, ඔටෝමන් හා ජර්මානු අධිරාජ්‍යයන් යෝධ විප්ලවවාදී නැගී සිටීමකට ඇද දැමුවේ ය. දෙවන ලෝක යුද්ධයේ අවසානය, යුරෝපයේ සිතියම සම්පූර්නයෙන් අලුතින් ඇන්දේ ය. එහෙත් ස්ටේව්රිඩිස්ගේ කතන්දරයේ ජනකාය, මිලියන ගනන් සමූල ඝාතනය කරනු ලබද්දී උදාසීන ව පසු වෙති.

පන්ති ධ්‍රැවාන්තගත වීම හා පන්ති ගැටුම විසින් ආධිපත්‍යය දරන සැබෑ ලෝකය සමග මෙයට කිසිදු සම්බන්ධයක් නැත. යුද්ධය සමගින් යෝධ රාජ්‍ය මර්දනයක් අත්වැල් බැඳගනු ඇත. දේශීය කඩාපැනීමකට අවශ්‍ය ව්‍යාජ නිමිත්ත හා තීව්‍ර අභ්‍යන්තර සමාජ ගැටුම් පිටතට යොමු කිරීමේ අවශ්‍යතාව, යථාර්ථයේ දී, 2034 තුල විස්තර කරනු ලබන මහා පරිමාන ඝාතන තුලින් අවසන් විය හැකි මිලිටරි ගැටුම් මත පාලක පන්තීන් රැඳී සිටින්නේ මන්දැයි යන්නට හේතුවන ප්‍රධාන අප්‍රකාශිත හේතුවයි.

අවසානයේ දී, මිලිටරි ගතිකයන් ද සම්පූර්නයෙන් අයථාර්ථවත් ය. කෘතිය පුරා දිවෙන කේන්ද්‍රීය උපකල්පනය වන්නේ, “උපායාත්මක” න්‍යෂ්ටික යුද්ධයක් නමැති දෙයක් පවතී ය යන්න යි. මිලිටරි ක්‍රියාකාරකම් සන්සුන් ව හා තාර්කික ව සාකච්ඡා කොට විසඳා ගනු ලැබේ.

එතෙකුදු වුවත්, මූලෝපායික න්‍යෂ්ටික යුද්ධයක් වලකාලිය හැක්කේ, විකාරරූපී හා විශ්වාස කල නො හැකි කතා වින්‍යාසය කනපිට පෙරලීමෙන් පමනි. එනම්, හාස්‍යජනක ලෙස කතා වස්තුවේ වර්ධනයට මුලුමනින් ම ආගන්තුක ලෙස, ඉන්දියාව චීන හා එක්සත් ජනපද යාත්‍රාවලට පහර දී යුද්ධයට අවසානයක් ගෙන ඒමක් අතින් දැමීමෙනි.

“උපායාත්මක” න්‍යෂ්ටික යුද්ධයක් යනුවෙන් දෙයක් නො පවතී. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙකක් අතර කිසිදාක පූර්න පරිමාන යුද්ධයක් පැවතී නැත. වඩාත් වැදගත් ලෙස, 21වන සියවසේ තාක්ෂනයෙන් සන්නද්ධ ව “මහා බලයන්” අතර පූර්න පරිමාන යුද්ධයක් කිසිදා පැවතී නැත.

ඩ්‍රෝන් හා අධිවේගී මිසයිල ඇතුලු ප්‍රහාරක අවිවල පරාසයේ, ලාබදායී බවේ හා වේගයේ අර්ථය වනු ඇත්තේ, තුන්වන ලෝක යුද්ධයක් සෑමතැනක දී ම එක විට හිස කරකැවෙන වේගයකින් හා සංකීර්නත්වයකින් යුතු ව ගෙන යනු ඇති බව යි. මෙම ප්‍රපංචයන්ගේ තර්කය - ගෝලීය සබඳතාවන්ගේ හා දේශීය විරුද්ධත්වයේ සංකීර්නත්වය, සමස්ත භූගෝලය දක්වා සටන් බිම ප්‍රසාරනය වීම, යුද්ධය කෘතිම බුද්ධිය දක්වා අභිනියෝජනය වීම- න්‍යෂ්ටික යුද්ධය පාලනය කිරීම හා කෘතියේ දැක්වෙන “එකට එක කරන” මිලිටරි හුවමාරුවලට සීමා කිරීම කල නො හැක්කක් බව පැහැදිලි කරයි.

සදාචාරාත්මක ව්‍යාකූලත්වය වෘත්තීයමය අවශ්‍යතාවක් නො වන සාමාන්‍ය පුද්ගලයෙක්, ත්‍රාසයෙන් යුතු ව ස්ටේව්රිඩිස්ගේ කෘතිය කියවා, එය විස්තර කරන මට්ටමේ යෝධ මරන සංඛ්‍යාව වැලැක්වීමට සෑම දෙයක් ම කරනු ඇත. එ‍හෙත් ඇත්ත වන්නේ, බෙල්ට්වේ [වොෂින්ටනයේ ධනේෂ්වර සංස්ථාපිතයට අදාල ගොඩනැගිලි පිහිටා ඇති ප්‍රදේශය - සංස්] හා පෙන්ටගනයේ සිටින කෘතිය අපේක්ෂා කරන ශ්‍රාවකයට, එය තුල විස්තර කරනු ලබන උපායාත්මක න්‍යෂ්ටික ප්‍රහාරවල විපාක මුලුමනින් ම පිලිගත හැකි ය. එ බඳු න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කර ගැනීමක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව් චිත්‍රපටයේ ජෙනරාල් බක් ටර්ගිඩ්සන්ගේ වචනවලින් පවසතොත් “අපගේ හිසකෙස් අවුල් කරගැනීමක්” ය.

ස්ටැන්ලි කුබ්රික්ගේ දක්ෂ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව්, සිඩ්නි ලුමෙට්ගේ ෆේල් සේෆ් හා වඩා වක්‍ර ලෙස ජෝන් ෆ්‍රෑන්ක්හයිමර්ගේ සෙවන් ඩේස් ඉන් මේ (මේ සියලු චිත්‍රපට 1964 දී නිකුත් කරන ලදී) මිලිටරිය හා න්‍යෂ්ටික යුද්ධය තියුනු ලෙස විවේචනය කල නිර්මාන විය. අද දින එවන් විවේචනාත්මක නිර්මාන ලියනු හා නිෂ්පාදනය කරනු ලබන්නේ නැති අතර, වෘත්තීයවේදියෙකුගේ දෘෂ්ටි ආස්ථානයෙන් න්‍යෂ්ටික යුද්ධය පවිත්‍රවත් ලෙස විස්තර කිරීමට ඉඩකඩ පාවා දෙනු ලැබ තිබේ.

2034 අනතුරු ඇඟවීමකි. න්‍යෂ්ටික යුද්ධ කලමනාකරනය හා සීමා කරනු ලැබිය හැකි ය යන ව්‍යාජ කියාපෑම මත පදනම් ව, එක්සත් ජනපද මිලිටරිය ක්‍රියාශීලී ව න්‍යෂ්ටික යුද්ධයක් සැලසුම් කරමින් හා සාකච්ඡා කරමින් සිටී. නැත, ඔවුන්ට එය කල නො හැක. න්‍යෂ්ටික යුද්ධය මානව වර්ගයාගේ සමූලෝත්පාඨනයට තර්ජනය කරයි. ප්‍රමාද වීමට ප්‍රථමයෙන් ඉතා දියුනු අඩියක පවතින යුද සැලසුම්වලට විරෝධය පා නතර කරනු ලැබිය යුතු ය.

Loading