රාජපක්ෂ ආන්ඩුව දෙමල ඩයස්පෝරාවේ දේශපාලන සංවිධාන තහනම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, දෙමල ඩයස්පෝරාව හෙවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව ලොවපුරා විසිර සිටින දෙමල ජනවාර්ගිකයන් ගේ දේශපාලන සංවිධාන ගනනාවක්ම පසුගිය දා තහනම් කලේය. 

ගෝලීය දෙමල සංසදය (ජීටීඑෆ්), බ්‍රිතාන්‍ය දෙමල සංසදය (බීටීඑෆ්), කැනේඩියානු දෙමල කොන්ග්‍රසය (සීටීසී), ඕස්ට්‍රේලියානු දෙමල කොන්ග්‍රසය (ඒටිසී), කැනේඩියානු දෙමල ජාතික කොන්ග්‍රසය, දෙමල තරුන සංවිධානය සහ ලෝක දෙමල සම්බන්ධීකාරක කොමිටිය මෙලෙස තහනම් කරන ලද සංවිධාන අතර වෙයි.

මීට අමතරව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය සහ මැලේසියාව ඇතුලු රටවල් ගනනාවක් පාදක කොටගත් තනි පුද්ගලයින් සිය ගනනක් ද මෙම තහනමට ලක්ව සිටිති.

මෙම තහනම, දේශපාලන සංවිධානයන්ට සහ පුද්ගලයින්ට ජාත්‍යන්තරව සංවිධානය වීමට සහ ක්‍රියාත්මක වීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කරන ලද දරුනු ප්‍රහාරයකි. එයට දුරදිග යන ඇඟවුම් පවතී. ගෝලීය ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානව සංවිධානය වීමට කම්කරු පන්තිය සතු අයිතිය එයින් බලගතු ලෙස අන්තරායට ලක්කෙරී ඇත. 

මෙවන් ප්‍රහාරයක අති මූලික ඉලක්කය වනුයේ, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි. 

ඩේලිමිරර් පුවත්පත මාර්තු 29 දා පලකල වාර්තාවකට අනුව, ආන්ඩුව ඉහත සංවිධාන සහ පුද්ගලයන් තහනම් කර ඇත්තේ, ඔවුන්ගේ වැඩකටයුතු “මෙතෙකුදු” ත්‍රස්තවාදයට සම්බන්ධ බැවින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි යන්න සැලකිල්ලට ගනිමිනි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය 2012 දී පනවන ලද රෙගුලාසි අංක 1 යටතේ එන, 4(7) රෙගුලාසියට අනුව”, ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුනරත්නගේ අත්සනින් නිකුත් කල ගැසට් නිවේදනයක් හරහා පනවා ඇති මෙම තහනමට අනුව, ඉහත සංවිධානයන්ට සහ පුද්ගලයන්ට, ලංකාව තුල, කවර ආකාරයේ හෝ දේශපාලන, සමාජ සහ මූල්‍ය කටයුතුවල නියැලීම සපුරා තහනම් වෙයි. 

මෙම තහනම පැමිනෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) තුල, ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනඑන ලද යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරිම් පිලිබඳ යෝජනාව සම්මතවීමත් සමගය. මාර්තු 23 දා සම්මත කෙරුනු “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් දිරිමත් කිරීම” නම් වූ එම යෝජනාවෙන්, රට තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අධීක්ෂනය කරන ලෙස මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. තහනමට ලක් කෙරි ඇති ඉහත සංවිධාන සියල්ලම ඉහත යෝජනාවට පක්ෂව ජාත්‍යන්තර උද්ඝෝෂනයක යෙදී ගත්හ. 

කෙසේ නමුත්, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ හා මලාවි රාජ්‍යය යන රටවල්වලින් සැදුම්ලත් යූඑන්එච්ආර්සීය තුල ක්‍රියා කරන “ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායම” විසින්, එක්සත් ජනපදයේ “සම-අනුග්‍රාහකකත්වය” මත ඉදිරිපත් කෙරුනු මෙම යෝජනාව, ලංකාව තුල සිදු කෙරුනු යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිලිබඳ කවර හෝ උත්සුකයකින් ඉදිරිපත්වූවක් නොවේ. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වාදුන් පරිදි, යෝජනාවේ සැබෑ අරමුන වන්නේ, “චීනය සමග සබඳතා බිඳ දමා වොෂින්ටනයේ චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික සූදානම්වීම් සමග ක්‍රියාශීලී ව ඒකාග්‍ර වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට බලපෑම් කිරීමයි.” 

අනෙක් අතට, තහනමට ලක්ව ඇති දෙමල ඩයස්පෝරාවේ සංවිධාන, දෙමල පීඩිත ජනතාවගේ කවර හෝ අවශ්‍යතාවක් නියෝජනය නොකරයි. සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුවට පරම වසයෙන්ම සතුරු ඔවුහු, දෙමල ජාතිකවාදී හෝ එහිම දිගුවක් වන දෙමල බෙදුම්වාදී දේශපාලනයේ ඝෝෂාකාරී උද්ඝෝෂකයෝ වෙති. 

ලංකාව තුල ක්‍රියාත්මක වන, දෙමල ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමල ධනපති දේශපාලන පක්ෂ මෙන්ම, දෙමල ඩයස්පෝරාව තුල දේශපාලනයේ නිරත ඉහත සංවිධානයන් ද, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ලංකාවේ ආන්ඩුවට එල්ල කරන පීඩනය පිටුපස ගැලතී සිටින්නේ, කොලඹ පාලනය සමග ඇතිකර ගන්නා සම්මුතියකින් දෙමල ධනපති ප්‍රභූවේ වරප්‍රසාද තරකර ගැනීමේ අරමුනෙනි.

මෙම සංවිධාන තහනම් කිරීමෙන් ජනාධිපති රාජපක්ෂ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අරමුනු කවරේද?

කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරි ඇති ආර්ථික අර්බුදය හමුවේ එහි සමස්ත බර, කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමේ තම පිලිවෙත් වලට එරෙහිව අඛන්ඩව වැඩී එන පන්ති අරගල මැඩීම සඳහා රාජපක්ෂ යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදයන් දෙකකි: වර්ගභේදවාදය අවුලුවා කම්කරු පංතියේ එකමුතුව බිඳ එහි ශක්තිය දුබල කිරීම ඉන් එකකි. රටතුල, දෙමල සහ මුස්ලිම් විරෝධය අන් කවර කලෙකටත් වඩා තීව්‍ර කෙරී පවතින අතර, දෙමල බෙදුම්වාදය යලි හිස ඔසවමින් පවතින බවට ආන්ඩුව ගෙනයන උද්ඝෝෂනය මෙම තහනමත් සමග වඩාත් ඉස්මත්තට ගැනීම රාජපක්ෂගේ අභිප්‍රාය යි.

ඒ සමගම, “ජාතික ආරක්ෂාවට” තර්ජනය කරමින් ත්‍රස්තවාදය වේගයෙන් වැඩෙමින් පවතින් බවට ආන්ඩුව ගෙනයන උද්ඝෝෂනය තීව්‍රකොට, මිලිටරීකරනය වඩාත් ගැඹුරු කිරීමට රාජපක්ෂ බලාපොරොත්තු වෙයි. වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමේ අරමුනෙන් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීම සඳහා රාජපක්ෂ වේගයෙන් පියවර ගනිමින් සිටී. 

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය වහා ඩැහැගත් රාජපක්ෂ, “ත්‍රස්තවාදය මුලින් උපුටා” දමා “ජාතික ආරක්ෂාව” තහවුරු කරන බවට පිලින දෙමින් තම ජනාධිපතිවරන උද්ඝෝෂනය ගෙනගිය අතර, බලයට පැමිනිදා සිට රජයේ මර්මස්ථානයන්හි ඉහලම තනතුරු මිලිටරියේ විශ්‍රාමික නොවන සහ විශ්‍රාමික ඉහල නිලධාරීන් පත් කරමින් මිලිටරීකරනය වේගවත් කලේය. 

මීට අමතරව, මර්දන යාන්ත්‍රනය වඩාත් ඒකාග්‍රකොට සවිබල ගැන්වීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයටම මිලිටරි පරිපාලකයෙකු බැගින් පත් කෙරුනි. ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කෙරුනේමත් යුද අපරාධ චෝදනා ලබා සිටින හිටපු මේජර් ජනරාල්වරයෙකු වන කමල් ගුනරත්න යි. දෙමල ඩයස්පෝරාවේ පක්ෂ තහනමට අත්සන් තබා ඇත්තේ ඔහු විසිනි.

ශ්‍රී ලංකා මිලිටරියේ යුද අපරාධ වලට එරෙහිව ජාත්‍යන්තරව උද්ඝෝෂනයේ යෙදෙන මෙම සංවිධාන තහනම් කිරීම මගින්, මිලිටරියේ විශ්වාසය තහවුරු කර ගැනීමටත්, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි මර්දනයේදී සිදු කෙරෙන සැහැසි ක්‍රියා සම්බන්ධයෙන් එහි සාමාජිකයන්ට අවශ්‍ය රැකවරනය ලබාදෙනබව තහවුරු කිරීමටත් රාජපක්ෂ බලාපොරොත්තු වෙයි.

එක්සත් ජාතික පක්ෂය (එජාප), ඉන් බිඳනු සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල සංවිධාන තහනම් කිරීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයෙන් ඔවුනගේ කුහක පිලිවෙත මනාව ප්‍රදර්ශනය කරයි. 

තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එල්ල කල ප්‍රහාරයන්ට, විශේෂයෙන්ම එය විසින් උත්සන්නකොට පවත්වාගෙන ගිය ලේවැකි යුද්ධයට, එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩුනු බලගතු විරෝධය ගසා කමින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට පිලින දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ ය. ජවිපෙ ඒ සඳහා විවෘතවම සහයෝගය දුනි.

නව ආන්ඩුව යටතේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කෙරෙන බව මවා පෙන්වනුවස්, 2015 දී එය බලයට පැමිනි සැනින්,  ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යටතේ තහනමට ලක්වූ දෙමල ඩයස්‌පෝරාවේ සංවිධාන කීපයක තහනම ඉවත් කෙරුනි. කෙසේ නමුත්, දැන් එම සංවිධාන නැවත තහනමට ලක්කෙරී පවතිද්දී එජාප, සජබ සහ ජවිපෙ මුනිවත රකිමින් එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙතට තම සහයෝගය ලබාදෙයි. 

දෙමල ඩයස්පෝරාවේ සංවිධාන තහනම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ගෙනඇති මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සියලු දෙනාට, විශේෂයෙන්ම කම්කරු පන්තියේ දේශපාලන සංවිධාන වලට සහ සමස්ත කම්කරු පන්තියට කරන ලද බලගතු අනතුරු ඇඟවීමකි. 

Loading