කොලඹ විශ්වවිද්‍යාලය සමාජ මාධ්‍ය වාරන මාලාවක් පනවයි: භාෂනයේ නිදහසට එරෙහි බලගතු ප්‍රහාරයක්

සිසුන්ගේ භාෂනයේ නිදහස මත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කොලඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනය, සමාජ මාධ්‍ය භාවිතයට අදාල වාරන නීතිරීති මාලාවක් නිකුත් කර ඇත. “ෆේස්බුක්, වට්ස් ඇප්, ටම්බ්ලර්, ඉන්ස්ටග‍්‍රෑම්, ට්විටර්, වයිබර්, ලින්ක්ඩ් ඉන්, ටෙලිග‍්‍රෑම්, බ්ලොග්, යූ ටියුබ්, ටික්ටොක්, ස්නැප් චැට්” ඇතුලු සියලු ම ආකාරයේ සමාජ මාධ්‍ය ජාල සඳහා වලංගු වන පරිදි පනවා ඇති මෙම නීති මාලාව විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබේ.

2020 ජනවාරියේ දී ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන සිසුන්

සමාජ මාධ්‍ය භාවිතය පිලිබඳ “මාර්ගෝපදේශන” යන කඩතුරාව යටතේ පනවා ඇති මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති මාලාවට අනුව, 

● “විශ්වවිද්‍යාලයේ ඇතැම් සේවාවන්, නීති රීති/නියාමන හෝ කාර්ය මන්ඩලය පිලිබඳ ව” යම් ශිෂ්‍යයෙකු “තෘප්තිමත්” නොවන්නේ නම්, ඒ පිලිබඳ ව සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ විවේචනය කල නොහැක. ශිෂ්‍ය ගැටලූ වෙතොත්, ඒවා “ශිෂ්‍ය අනුශාසකවරුන්, අධ්‍යයන සම්බන්ධීකාරකවරුන්/උපදේශකවරුන් හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් නිලධාරීන් වෙත ඉදිරිපත් කොට” විසඳුම් ලබාගැනීමට උත්සාහ කල  යුතු ය. 

එම රෙගුලාසියට අනුව, තම පොදු ගැටලු පිලිබඳව සහෝදර ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමට සහ එම ගැටලු ජය ගැනීම සඳහා සංවිධානය වීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට ශිෂ්‍යයන්ට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය  උදුරා ගැනේ. 

● එමෙන්ම මෙම රෙගුලාසි වලට අනුව, යම් සිසුවෙකු විසින් “සාවද්‍ය තොරතුරු” අන්තර්ගත වූ පෝස්ටු,“චේතනාන්විත ව හෝ එසේ නොවන අයුරින්” ප්‍රචාරනයෙහි නිරත වී ඇත්නම් ඔහුට හෝ ඇයට එරෙහි ව “නෛතික ක්‍රියාමාර්ග” අනුව කටයුතු කල හැකි ය. තොරතුරේ“සාවද්‍යභාවය” නිර්නය කරනුයේ විශ්ව විද්‍යාල පරිපාලනය විසිනි. 

● සමාජ මාධ්‍යවල දී “පහසුවෙන් යතාර්ථය ප්‍රබන්ධ කල හැකි” බව පවසන පරිපාලනය, එවැනි “ප්‍රබන්ධ” මත ‌ගොඩනැගෙන විරෝධතා ව්‍යාපාරයන්හි පෝස්ටු (posts) සමාජ මාධ්‍යයන් හරහා බෙදාහදා ගැනීමේදී සැලකිලිමත් වන ලෙස, සිසුන්ට “උපදෙස්” දෙයි. මෙහිදී ද, අදාල පෝස්ටුවල අන්තර්ගතය යතාර්ථයේ “ප්‍රබන්ධයක්ද” නැද්ද යන්න අර්ථ කථනය කරනුයේ පරිපාලනය විසින්ම ය.

●“ප්‍රකාශනයේ නිදහස සෑම පුද්ගලයකුට ම හිමි වේ” යැයි ව්‍යාජව පවසන විශ්වවිද්‍යාල පාලකයන් ඒ හුස්මටම තර්ජනාත්මකව කියා සිටින්නේ, සමාජ මාධ්‍ය හරහා, “ආයතන, කන්ඩායම් හෝ පුද්ගලයින්” ඉලක්ක කොට “වෛරී ප්‍රකාශන” සිදු කලහොත් සහ අන් අයගේ “විවේචනාත්මක හා සංවේදී” පනිවිඩ හුවමාරු කරගැනීම මගින් “සැකයට හා සමාජ ව්‍යාකූලත්වයට” අනුබල දෙන සන්නිවේදනයන්හි නිරතවුවහොත් “විනය ක්‍රියාමාර්ගවලට” මුහුන දීමට සිදුවන බවයි.

●  සමාජ මාධ්‍යයන්හි තම අනන්‍යතාව අනාවරනය නොකිරීමට සිසුන්ට ඇති අයිතිය පාගා දැමීමේ අරමුනෙන් පාලකයෝ මෙසේ කියති:   

“පුද්ගලයින්ගේ සැබෑ අනන්‍යතාව අනාවරනය කරගත හැකි තාක්ෂනය ද අවශ්‍ය උපකරන ද තිබේ. .............එබැවින්, එවැනි ව්‍යාජ අනන්‍යතා භාවිත කරමින් අනවසර හා නීතිවිරෝධී කටයුතුවල නොයෙදෙන ලෙස අපි ඔබට තරයේ උපදෙස් දෙමු.”

● වඩාත්ම රුදුරු වන්නේ “ජාතික ආරක්ෂාව” පිලිබඳව පනවා ඇති රෙගුලාසිය යි. “ජාතික ආරක්ෂාව පිලිබඳ අහිතකර” පෝස්ටු (posts) හෝ “පුද්ගල මතවාද ප්‍රකාශයට පත් නොකල යුතු” යැයි එයින් කියා සිටී. 

වත්මන් සහ අනුප්‍රාප්තික ආන්ඩුවල පූර්න ආශීර්වාදය සහ  විධානය යටතේ සිදු කෙරෙන හමුදා සහ පොලිස් මර්දනයන් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන විවේචන ද, ඒ සියල්ලටමත් වඩා කම්කරුවන්, සිසුන් සහ අනෙකුත් පීඩිත කොටස් අතරින් ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින අරගල, “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් ලෙස පාලක පන්තිය නිරතුරුව අර්ථ කථනය කරයි. 

සමාජ මාධ්‍යයන්හි සිසුන් පල කරන සහ හුවමාරු කරන එවන් විවේචන සහ ඉහත අරගල ආශ්‍රිත පෝස්ටු, මෙම රෙගුලාසිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.

“වෛරී ප්‍රකාශන”, “සැකයට හා සමාජ ව්‍යාකූලත්වයට අනුබල දෙන තොරතුරු” ආදී සංයුක්තව අර්ථ කථනය නොකෙරුනු යෙදුම් බහුලව භාවිතා කරමින් ඉදිරිපත්කොට ඇති මෙම රුදුරු රෙගුලාසි මාලාව, සටන්කාමී සහ විවේචනශීලී සිසුන්ගේ සමාජ මාධ්‍ය සන්නිවේදනයන් අභිමත පරිදි අර්ථකථනය කරමින් ඔවුන්ට එරෙහිව දියත් කෙරෙන බලගතු ප්‍රහාරයක වරපත්‍රය වනු ඇත.  

සමාජ සමානතාවය සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීතිමාලාවට තම පූර්න විරුද්ධත්වය ප්‍රකාශ කර සිටී. සියලුම විශ්ව විද්‍යාලයන් හි ආචාර්යවරුන්, සිසුන් සහ අනධ්‍යයන සේවකයන් මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට එරෙහිව එකාවන්ව නැගී සිටිය යුතු ය. 

මෙම සිද්ධිය හුදෙක් කොලඹ විශ්ව විද්‍යාලීය පරිපාලනයේ අත්තනෝමතික පියවරක් නොවේ. එය, රාජපක්ෂ ආන්ඩුව, කම්කරු පන්තිය සහ තරුනයන් ඇතුලු පීඩිත මහජනතාවගේ වැඩෙන අරගල මාලාවට එරෙහිව කඩා පැනීමේ අරමුනින් ගොඩනගමින් සිටින මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයක අත්‍යන්ත පියවරකි. එ මෙන් ම, එය කොවිඩ්-19 වසංගතය හමුවේ උත්සන්න කෙරී ඇති සමාජ ආතතීන් හේතු කොට ගෙන ලෝකය පුරා පාලක පන්තීන් ආඥාදායක පාලන රූපයන්ට මාරු වීම කරා යන සන්තතියේ ම කොටසකි.

රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූයේ ලංකාවේ ධනපති පන්ති පාලනය ආර්ථික සහ දේශපාලන අර්බුදයක කරවටක් ගිලී සිටිද්දී ය. කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙම අර්බුදය තවත් උත්සන්න කෙරී ඇත. “ජාතික ආරක්ෂාව” සහ “සමාජ ව්‍යාකූලත්වය” පැන නගින සමාජ ප්‍රතිවිරෝධය මර්දනය කිරීමට ධනපති පන්තිය යොදා ගන්නා කඩතුරාවන් ය.

ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේදීත් බලයට පැමිනීමෙන් පසුවත් නොකඩවා තම පාලනයේ ප්‍රධාන තේමාවක් කර ගෙන ඇත්තේ “ජාතික ආරක්ෂාව” යන්නයි. මේ වනාහි, වේගයෙන් වැඩෙන කම්කරු-පීඩිත මහජන අරගලවලට එරෙහි ව මිලිටරි-පොලිස් මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ වහන්තරාවයි. පසුගිය මාර්තු 9 වැනි දා, ජාතික ආරක්ෂක කවුන්සිලය වතුකම්කරුවන්ගේ පන්ති අරගලවලට එරෙහි ව සාකච්ඡාවන්ට එලඹුනේ “වතු තුල ත්‍රස්තවාදය” නැග එමින් "ජාතික ආරක්ෂාවට" තර්ජනය කෙරෙතැයි යන ප්‍රබන්ධය යටතේ ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් බලගතු ලෙස පෙරට ගැනුනු “ජාතික ආරක්ෂාව” යටතේ, විශ්ව විද්‍යාල පද්ධතියට ම එරෙහි ව මර්දනීය පියවර ගනනාවක් ගනු ලැබ ඇත. විශ්ව විද්‍යාල වලට කඩා වැදුනු මිලිටරිය “ත්‍රස්තවාදීන්” සොයා ශිෂ්‍ය නේවාසිකාගාර පීරුවේය.  මිලිටරි-පොලිස් ප්‍රචන්ඩත්වයේ වින්දිතයන් වෙනුවෙන් අධිකරනයේ පෙනීසිටි යාපනය විශ්ව විද්‍යාලයේ නීතිපීඨාධිපති කුමාර වඩිවේල් ගුරුපරන්ට, මිලිටරියේ ඍජු මැදිහත් වීම මත, අධිකරන කටයුතු තහනම් කිරීම සහ සිවිල් යුද්ධයේ අවසන් සටන්වල වින්දිතයන් සමරමින් යාපනය විශ්ව විද්‍යාලය තුල ඉදිකල ස්මාරකයක් මිලිටරිය යොදා බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම මෑත ම සිදු වීම් කීපයකි. 

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, තරුනයන් විනයගත කිරීමට අනිවාර්ය හමුදා පුහුනුව හඳුන්වා දෙන බවට ප්‍රකාශ කලේ මෙ වන් පසුබිමක ය. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඛන්ඩ කප්පාදුව සහ දිනෙන්දින උග්‍රවන දුෂ්කර සමාජ-ආර්ථික කොන්දේසි හේතුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරේ  වේගවත් රැඩිකලීකරනයක් පවතී. ඒ හා සමගාමීව, විරැකියාවට සහ පරිසර විනාශයට එරෙහි ව තරුනයන් අතර වැඩෙනුයේ විශාල විරෝධයකි. 

එ මෙන් ම රාජපක්ෂ ආන්ඩුව වසංගතය සම්බන්ධයෙන් අනුගමනය කරන සාපරාධී පිලිවෙතට එරෙහිව මෙන්ම, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව සිසුන් ඇතුලු මහජනතාව අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී. මෙම සිසු විරෝධයන් තලා දැමීමත් ඒවා කම්කරු පන්ති අරගල සමග ඒකාබද්ධ වීම වැලැක්වීමත් මෙම නීතිවල අරමුනයි. 

මෙම නීති, කොලඹ විශ්ව විද්‍යාලයට පමනක් නොව, රටෙහි සියලුම විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයන්ට, ආචාර්යවරුන්ට සහ අනධ්‍යන සේවකයන්ට එරෙහිව ස්ථාපිත කිරීම රාජපක්ෂ ආන්ඩුවේ සැලසුමයි. එය විශ්ව විද්‍යාල පද්ධතියට සීමා නොවී, කම්කරු පන්තිය ඇතුලු සමස්ත මහජනතාවට එරෙහිව යොදා ගැනීම ආන්ඩුවේ එල්ලය යි. මෙම සැලසුම් සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාරයන් පරාජය කිරීමේ දේශපාලන ප්‍රතිප්‍රහාරයකට, කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් වහා බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. 

Loading