දෛනික කොවිඩ්-19 ආසාදන 100,000 ඉක්මවා යද්දී ඉන්දියාවේ රෝහල් පිරී ඉතිරී යයි

[පහත පලවන්නේ අප්‍රේල් 15, 2021 දින Indian hospitals overwhelmed amid over 100,000 COVID-19 cases daily  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.]

මිලියන ගනන් ජනයාගේ ජීවිත අනතුරේ හෙලමින් සහ බරපතල ලෙස අරමුදල් හිඟයෙන් පෙලෙන මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳීයාමේ අන්තයට තල්ලු කරමින්, ඉන්දියාවේ වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අප්‍රේල් 5දා සිට සෑම දිනක ම 100,000ට අධික මට්ටමකට නැගී තිබේ. 

මෙම ව්‍යසනය, මහ ව්‍යාපාරිකයේ ලාභ ගැරීම මානව ජීවිතවලට ඉහලින්  තබමින් අනාරක්ෂිත කොන්දේසි යටතේ කර්මාන්තවලට ක්‍රියාකාරී විමට අවසර දී ඇති අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවේ පිලිවෙත්වල ඍජු ප්‍රතිඵලයකි. ඉන්දීය ප්‍රාන්ත ආන්ඩු ද මෙම ගැඹුරු වන ආපදා තත්ත්වය පිලිබඳ වගකිව යුතුය.

2021 අප්‍රේල් 14 බදාදා, ඉන්දියාවේ මුම්බායිහි ලොක්මාන්‍යා තිලක් නැවතුම්පොලේ දී දුම්රියට ගොඩවීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල පසු වන, කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂක පූර්වෝපායයක් ලෙස මුහුනු ආවරන පැලඳ සිටින මහජනයා. ඉන්දියාවේ ඉහලින් ම බලපෑමට ලක්වූ හා ධනවත් ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රය, රෝහල් උතුරා යාමට තර්ජනය කෙරෙන කොරෝනා වෛරස් ආසාදන ඉහල යාම වැලැක්වීමේ අටියෙන් බදාදා සිට දවස් 15ක් යන තෙක් දැඩි සීමාවන් පනවනු ඇත. (ඒපී ඡායාරූප/ රෆීක් මැක්බූල්)

තදින් පැතිරීයන වෛරසය මුලු ලෝකයම වෙලාගෙන ඇති තතුතුල, ඉන් ඉහලින් ම බැට කෑ රටවල් අතරින් දෙවන තැන ගත් බ්‍රසීලය පරයා යමින්  ඉන්දියාව සඳුදා නව කොවිඩ්-19 ආසාදන 168,912ක් වාර්තා කලේ ය. ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල්  සුභසාධන අමාත්‍යංශය විසින් අඩුවෙන් ගනන් තබන සංඛ්‍යා ලේඛනවලට අනුව පවා දැනට රටෙහි සමස්ත ආසාදන ගනන මිලියන 13.7ක් වන අතර, මරන සංඛ්‍යාව 171,000 ඉක්මවා ඇත.

අප්‍රේල් 5 සිට 11 දක්වා වූ දවස් හත තුල,  ඊට පෙර දවස් හතේ සිට සියයට 70ක ඉහල යාමක් පෙන්නුම් කරමින් නව ආසාදන 937,000ක් ඉන්දියාවෙන් වාර්තාවූ අතර සියයට 70ක ඉහල නැග්මක් දක්වමින් මරන 5,057ක් ද වාර්තා විය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පද්ධති විද්‍යාව හා ඉංජිනේරු විද්‍යා  මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, මාස දෙකක දී ඉන්දියාවේ මරන සංඛ්‍යාව දෙගුන වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ආසියාවේ කොවිඩ්-19 වසංගතයේ වර්තමාන අපිකේන්ද්‍රය බවට පත්ව ඇති ඉන්දියාවේ රෝහල්, ඒවායේ දැඩි සත්කාර ඒකක හා ඔක්සිජන් සම්පාදිත ඇඳන් පිරී ඉතිරී යන තත්වයට පත්කෙරෙමින් සක්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 12.01ට අධික මට්ටමක් වාර්තා කරයි.

නව “ද්විත්ව විකෘත ප්‍රභේදය” හා අතිශය පහසුවෙන් ආසාදනය වන එක්සත් රාජධානි ප්‍රභේදය ඇතුලු නව කොවිඩ්-19 ප්‍රභේද කිහිපයක් ම සෞඛ්‍ය විශේෂඥයන් විසින් වාර්තා කර ඇති අතර, ඒවා කොරෝනා ආසාදන හා මරනවල ක්ෂනික ඉහල නැග්ම සඳහා නිසැකයෙන් ම ප්‍රධාන සාධක වනු  ඇත.

ඉන්දියාවේ නව ආසාදිත  රෝගීන්ගෙන් අඩකටත් අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ බටහිර මහාරාෂ්ට්‍ර  ප්‍රාන්තයෙන් හා ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි වලිනි. සඳුදා, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් නව ආසාදන 63,000ට අධික ප්‍රමානයක් ද මරන 349ක් ද වාර්තාවිය.

අඟහරුවාදා, මහාරාෂ්ට්‍ර මහඇමති උද්ධාව් තැකරේ, අප්‍රේල් 14දා රාත්‍රී 8 සිට මැයි 1දා දක්වා, මහජනයාගේ ගමන් බිමන් අගුලු දැමීමක් නොවන, “ජනතා ඇඳිරි නීතියක්” නිවේදනය කලේය. ප්‍රාන්ත ආන්ඩුව, එම කාල සීමාව තුල  මිනිසුන් පහකට වැඩි පිරිසක් ඒකරාශි වීම වලක්වන ව්‍යවස්ථාවේ 144වන ඡේදය යටතේ තහනම් නියෝග  ද පැනවී ය.

එසේ වුවද, හාම්පුතුන්ට තම ශ්‍රම සූරාකෑම සහ ලාභය පවත්වාගෙන යාම සුරක්ෂිත කරමින්, ඉදිකිරීම් කටයුතු හා කාර්මික නිෂ්පාදනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ඇත. බලපෑමට ලක්වන්නන්ට සීමිත සහනාධාර ලබා දෙනු ඇතැයි ප්‍රාන්ත ආන්ඩුව කියා සිටිය ද දින 15ක් පුරා වසා තැබෙන තම කඩසාප්පුවලට සහනාධාරයක් හෝ වන්දියක් ලැබී නැතැයි කුඩා ව්‍යාපාරිකයෝ හා වෙලෙන්දෝ පැමිනිලි කරමින් සිටිති.  

මරන හා ආසාදන යෝධ පරිමානයෙන් ඉහල ගිය ද ජාතික පරිමාන අගුලු දැමීමක් සිදුකිරීම මෝදි ආන්ඩුව විසින් නො තකා හැර තිබේ. විවිධ ප්‍රාදේශීය ආන්ඩුවල මහ ඇමතිවරුන් සමග අප්‍රේල් 8දා පැවති වීඩියෝ සමුලුවේ දී මෙය පැහැදිලි කරන ලදී.

කොවිඩ්-19 ආසාදන සංඛ්‍යා “සමහර ප්‍රාන්තවල අතිශය අනතුරුදායක තත්වයක පවතින” බවත්, කොරෝනා රෝගය පැතිරීම වැලැක්වීමට “යුද තත්ත්වයක කටයුතු” යලි ඇරඹිය යුතු බවත්, මෝදි ප්‍රකාශ කලේ ය. ඔහුගේ ඊනියා යුද තත්ත්වයට ජාතික අගුලු දැමීමක් අඩංගු නොවේ. ඊට ඇතුලත් වන්නේ “කුඩා සීමාකිරීම් කලාප” තුලට පමනක් රාත්‍රී 9 සිට උදැසන 5 හෝ 6 තෙක් පනවනු ලබන “කොරෝනා ඇඳිරි නීතිය” පැනවීමකි .

මෝදි, කෝපය දනවන සහ සාපරාධී ලෙස වගකීම් විරහිත පහත ප්‍රකාශය ද කලේ ය: “සක්‍රීය ආසාදිතයන් සොයාගන්නා තට්ටු-හයේ ගොඩනැගිල්ලක තට්ටු නිවාස දෙකක් තිබේ නම්, සමස්ත ප්‍රදේශය සීමා කලාපයක් කරන්න එපා. අසල්වැසි ගොඩනැගිල්ල මුද්‍රා තබන්න එපා.”

මෙවැනි පියවරකින් සහතිකවම සිදුවනු ඇත්තේ මිලියන ගනන් දුගී ජනයා සනීපාරක්ෂාව රහිත පැල්පත් තුල තෙරපි ජීවත් වන, සමාජ දුරස්ථකරනය ප්‍රායෝගිකව කල නො හැකි මුම්බායි, චෙන්නායි හා නව දිල්ලිය වැනි ප්‍රධාන නගර තුල රෝගය ක්ෂනිකව පැතිර යාමයි. 

ඉහල යන ආසාදන රේට්ටු හා මරන පිලිබඳ වගකීම මහජනයා පිට පැටවීමට මෝදි යලිත් වරක් උත්සාහ කලේ ය. “ගැටලුවේ මූලික හේතුව වන්නේ, සුපුරුදු ජීවිතයක් ගත කරන හා එය සුලුපහේ රෝගයක් ලෙස සලකන ඕනෑම අයෙක් එය සමස්ත පවුලට ම පතුරුවා හැරීමයි” යනුවෙන් ඔහු උද්ධච්ඡ ලෙස ප්‍රකාශ කලේ ය.

මේ සුපිරි-ධනවතුන්ගේ කුඩා ස්ථරයක් වෙනුවෙන් ක්‍රියා කරමින්, රට පුරා කොවිඩ්-19 අපාලිත ව ඉහල යාමට ඉඩ දෙන්නා වූ විනාශකාරී “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටින අගමැතිවරයෙකුගේ භාෂාව යි. පසුගිය වසරේ අගුලු දැමීම යටතේ, අල්ප සීමා පැනවීම් සහිත ඉතා කුඩා කාලයක් තුල හැරෙන්නට, ඇඟලුම් කම්හල් ඇතුලු ඉන්දියාවේ ප්‍රධාන කර්මාන්ත කිසිදාක වසා දමා නැත.

මෝදි ආන්ඩුවේ ද එහි ප්‍රාන්ත ආන්ඩුවල ද නොතකනසුලු හා වගකීම් විරහිත ආකල්පය නිසා මහජනයාගේ පලල් ස්ථරයන් අතර ආරක්ෂාව පිලිබඳ ව්‍යාජ  හැඟීමක් නිර්මානය කර තිබේ.

මාස දෙකක් පුරා පැවැත්වෙන කුම්බ් මේලා ආගමික උත්සවයේ කොටසක් ලෙස, හින්දු සැදැහැවත්තු ගංගා නදියේ දිය නෑ බව අප්‍රේල් 12දා බීබීසී පුවත් සේවය වාර්තා කලේ ය. මිලියන 2.1කට අධික සැදැහැවතුන් දැනටමත් ස්නානය කර ඇති බවත් “තවත් බොහෝ දෙනා එලෙස කරනු ඇතැයි අපේක්ෂිත” බවත් නිලධාරීහු එම පුවත් සේවයට පැවසූ හ.

බීබීසී වාර්තාව මෙලෙස නිවැරදි ව අනතුරු ඇඟවී ය: “සඳුදා දිය නෑමේ දිනය, සැදැහැවතුන් අතර වඩා වේගයෙන් ආසාදනය පැතිර යාමට උදව්  කරමින්, ඉන් සමහරෙකුට රටෙහි අනෙකුත් ප්‍රදේශවල පිහිටි තම නගර හා ගම්මාන වෙත යලි වෛරසය රැගෙන යාමට හැකි කරනු ඇත.”

“උත්සවයට අවසර දෙනු ලබන්නේ කොවිඩ් රෝගයෙන් නොපෙලෙන බවට වාර්තා සහිත පුද්ගලයන්ට පමනක් බවත්, සමාජ දුරස්ථකරනය වැනි සීමාකිරීමේ පියවරයන් අනුගමනය කරනු ඇති බවත්, ආන්ඩුව කලින් ප්‍රකාශ කර තිබුන ද, ඉහල පෙලේ සාන්තුවරයන් ඇතුලු පුද්ගලයන් ගනනාවකට ම මේවනවිටත් රෝගය ආසාදනය වී ඇතැ” යි බිබිසී වාර්තාව සඳහන් කලේ ආන්ඩුවේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරමිනි.

දෛනික එන්නත්කරනයන් මිලියන හතරට ලඟා වී ඇතැයි අප්‍රේල් 8 වීඩියෝ සමුලුවේ දී මෝදි පාරම්බෑවේ ය. එහෙත් අප්‍රේල් 12දා ඉදිරිපත් කල රොයිටර් වාර්තාවට අනුව, එන්නත ලබා දී ඇත්තේ ඉන්දියාවේ බිලියන 1.4ක ජනගහනයෙන් සියයට 4ටත් අඩු පිරිසකට පමනි. “තත්ත්වය යහපත් බවට හැරීම ආරම්භ වීමට ප්‍රථම, තව බොහෝ දුරක් යාමට තිබෙන බව විශේෂඥයෝ පවසති” යැ යි පුවත් සේවය සඳහන් කලේ ය.

සියලු වයස් කාන්ඩවලට කොරෝනා වෛරස් එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති මෝදි ආන්ඩුව, දැනට එය ලබා දෙන්නේ අවුරුදු 45න් ඉහල අයට පමනි. ඒ අතර ම, අවම වසයෙන් මහාරාෂ්ට්‍රය ඇතුලු ප්‍රාන්ත දුසිම් බාගයක පමන එන්නත් හිඟයන් පවතින බව මාධ්‍ය කිහිපයක් ම වාර්තා කර ඇත.

ප්‍රාන්ත ආන්ඩු නිලධාරීන් උපුටා දැක්වූ බීබීසී පුවත් සේවය, ප්‍රාන්තය සතුව දැනට තිබෙන මිලියන 1.5ක කොවිඩ්-19 එන්නත් ප්‍රමානය සෑහෙන්නේ දින තුනකට පමනක් බව පැවසීය. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයක ම එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන, සැපයුම් නොමැති කම හේතුවෙන් වසා දමනු ලැබ තිබේ.

“අද අප සතුව වඩා හොඳ සම්පත් තිබෙනවා, ඒ නිසා මේ නැගීම ඉතා වේගයෙන් පහත හෙලා එයට වර්ධනය වීම නැවැත්විය හැකි යි” යනුවෙන් මහ ඇමතිවරුන් සමග පැවති රැස්වීමේ දී මෝදි ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේ ය. එහෙත්, යතාර්ථය වන්නේ විනාශයකි.

මධ්‍යම ඉන්දීය චැටිස්ගාර් ප්‍රාන්තයේ අගනුවර වන රායිපූර්හි විශාලතම වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථානය වන වෛද්‍ය භිම් රාඕ අම්බේද්කාර් අනුස්මරන රෝහලේ කොවිඩ්-19 හේතුවෙන් සිදුවන අධික මරන සංඛ්‍යාව හේතුවෙන් මලසිරුරු ගබඩා කිරීමේ ඉඩ අවකාශ නැතිවෙමින් පවතී. මල සිරුරු “රෝගීන් ගෙනයන ට්‍රොලි මත පටවා, නැතහොත් බිම දිගා කර, එසේත් නැතහොත් සුවිසල් බහාලූ අසල හිරු එලියේ පවා” තබා තිබෙන බව අප්‍රේල් 12දා එන්ඩීටීවි පුවත් සේවය වාර්තා කලේ ය.

එම වාර්තාව තව දුරටත් මෙසේ සඳහන් කලේ ය: “ඉන්දියාවේ කොවිඩ්-19 දෙවන රැල්ලේ දැවැන්ත මානව වියදම ඉස්මතු කොට දක්වන මෙම ලොමු දැහැගන්වන දර්ශනවලින් රටෙහි ගරා වැටුනු සෞඛ්‍යාරක්ෂන පද්තිධය එහි අන්තයටම තල්ලු කෙරුනු විට සිදුවන්නේ කුමක්දැයි පෙන්නුම් කරයි."

Loading