ඇඟලුම් සමාගම් වසංගතයට මුවා වී අවුරුදු බෝනස් කප්පාදු කරති

ලංකාවේ ඇඟලුම් කම්හල් බොහොමයක මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු බෝනස් දීමනාව කප්පාදු කර ඇත. හාම්පුතුන් උත්සාහ කර ඇත්තේ  පසුගිය වසරේ මෙන් සම්පූර්න බෝනස් දීමනාව කපා දැමීමට වුවද, කම්කරුවන් අතරින් මතු වූ බලගතු විරෝධතාව හේතුවෙන් අවසානයේදී එය කප්පාදුකොට ගෙවා තිබේ.

වෘත්තීය සමිතිවල පාවාදීම්ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ත්‍රස්ත කිරීම්වලද හයිය ලබාගත් හාම්පුත්තු කොරෝනා වසංගතය ගසාකමින්, පසුගිය වසරේ අප්‍රේල් මස බෝනස් දීමනාවද, වසර අග බෝනස් දීමනාවද, ගෙවීම් පැහැර හැරියහ. පසුගිය වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල පැවැති අගුලු දැමීම අවසන්කොට ආර්ථිකය යලි විවෘත කිරීමෙන් පසු අනාරක්ෂිත කොන්දේසි යටතේ ඇඟලුම් කම්හල් දිගටම ක්‍රියාත්මක විය.

කම්හල් පාඩු ලබන්නේයයි හුවාදක්වමින් මෙවර ද බෝනස් මුදල මුලුමනින්ම කපා දැමීමට හාම්පුතුන් ගත් තීරනයට එරෙහිව දිවයිනේ විවිධ කම්හල්වල කම්කරුවෝ අරගලයට පිවිසියහ. 

කටුනායක නිදහස් (අපනයන) වෙලඳ කලාපය තුල පිහිටි බ්‍රාටෙක්ස් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ 780 ක් පමන මාර්තු 26 සිට අප්‍රේල් 4 දක්වා දින 10 ක් පමන මුලු බෝනස් දීමනාවම, එනම් මසක මූලික වැටුපක්, ඉල්ලා වැඩ වර්ජනයක යෙදුනහ. පසුව, අප්‍රේල් 5 දා සියයට 75 ක් ගෙවූ අතර ඉතිරිය ජූනි මස ගෙවීමේ පොරොන්දුව මත කම්කරුවෝ වැඩට ගියහ. මුලදී පාලකයෝ පැවසුවේ අඩක් පමනක් ගෙවන බවයි.

නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන්ගේ අවුරුදු බෝනස් ලබාගැනීමේ අරගලය (කොග්ගල කලාපේ සෙට් එක - මුහුනු පොත)

 එස්ක්වෙල් ඇඟලුම් කම්හල් ජාලයට අයත්, කොග්ගල, ජාඇල සහ කෑගල්ල පිහිටි කම්හල් හතරක පාලකයන්, කොරෝනා වසංගතය නිසා ආදායම අහිමි වූවායයි ව්‍යාජ ලෙස හුවා දක්වමින්, අලුත් අවුරුදු බෝනස් දීමනාව ගෙවිය නොහැකි බව මාර්තු මස මැද දී කම්කරුවන්ට දන්වා ඇත. එයට එරෙහිවූ කම්කරුවන් 40 ක් දොට්ට දැමීමට පාලකයෝ වහා පියවර ගත්හ. 

කොග්ගල පිහිටි එස්ක්වෙල් කම්හල් දෙකේ කම්කරුවෝ, බෝනස් දීමනාව ලබාදෙන ලෙස සහ සේවය අත්හිටවූ කම්කරුවන් 40 දෙනා යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් මාර්තු 19 සහ 20 යන දිනයන්හි, උද්ඝෝෂනයක් ආරම්භ කලහ. මෙය මර්දනය කිරීම සඳහා කම්හල් පාලකයෝ හබරාදූව පොලීසිය කැඳවූහ. "කොග්ගල කලාපේ සෙට් එක" නම් වූ මුහුනුපොත් පිටුවට අනුව, "පොලිස් කැරලි මර්දන ඒකකය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති අතර කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරිමට සූදානමක්” තිබී ඇත.

උද්ඝෝෂනයේ යෙදී සිටි කම්කරුවන්ට කලාපයේ පිවිසුම් දොරටුවෙන් ඇතුලු වීමද තහනම් කෙරිනි. ඒ සමගම කම්කරුවන්ට දන්වා ඇත්තේ කම්හල් දෙකම තාවකාලිකව වස දමා ඇති බවයි. 

කම්කරුවන් 1,200 ක් පමන සේවයේ නියුතු ජාඇල එස්ක්වෙල් කම්හලේ කම්කරුවන්ගේ බෝනස් දීමනාව නොගෙවන බවට පාලකයින් විසින්  දැනුම් දුන්විට ද කම්කරුවන්ගෙන් විරෝධයක් මතුවිය. 

මෙය සම්මුති ගැස්සීමේ අරමුනින්, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් 700 ක් පමන කම්කරුවන් මාර්තු 21 දා ඒකල පිහිටි ශාලාවකට කැඳවා රැස්වීමක් පැවැත්විය. ඔහු කම්කරුවන්ට උපදෙස් දී ඇත්තේ ශාලා භූමිය තුල සිටින සියල්ලන්ටම නැගිට තමන්ට බෝනස් දිය යුතු බවට හඬ නගා කෑ ගසන ලෙසටයි. පටිගත කර ඇති එම හඬ ප්‍රචාරය කරන බව මාකස් බෙරිහන් දී ඇත. පාලකයින් සමග සාකච්ඡාවක් පවත්වන බවත් එය අසාර්ථක වුවහොත් නඩු දමන බවද ඔහු පවසා තිබේ.

වැඩෙමින් පැවැති විරෝධතාවය හමුවේ එස්ක්වෙල් පාලකයෝ, අවුරුදු බෝනස් ලෙස මසක මූලික වැටුපට සමාන මුදලක් ලබාදීමට ද, සේවය අත්හිටවූ කම්කරුවන් 40 දෙනා නැවත සේවයේ පිහිටුවීමට ද තීරනය කලහ. මෙතෙක් බෝනස් ලෙස ලබාදුන් දෙමසක වැටුපට සමාන මුදල හරි අඩකින් කපා දැමීමට එරෙහිව කම්කරුවන් අතරින් විරෝධය මතු වුවද මාකස්ගේ සමිතිය සහ අන් සමිති නිහඬවම එම කප්පාදුව අනුමත කලෝය. 

කටුනායක කලාපයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේද බෝනස් ලෙස ගෙවා ඇත්තේ මසක මූලික වැටුප පමනකි. වෙනදා මාස දෙකක මූලික වැටුප් ගෙවා ඇත. බෝනස් දීමනාව ලබා දී ඇත්තේ ජනවාරි 25 වැනිදා සිට මාර්තු අග දක්වා දින 48 ක් වැඩ කල සේවකයින්ට පමනි. යම් හෙයකින් කොරෝනා වැලඳීම නිසා වැටුප් රහිත නිවාඩු යාමට සිදුවූ කම්කරුවන්ට දීමනාව නොලැබුනි. නිරෝධායනයේදී කම්කරුවන්ට හිමි දින 14 ක නිවාඩුව භාවිතා කිරීමට සිදුවන හෙයින් අනෙකුත් දින වැටුප් රහිත නිවාඩු ලෙස සැලකේ. 

ස්මාර්ට් කම්හලේ කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ තමන්ට බෝනස් දීමනාව රු. 22,000 ක් පමනක් ලැබුනු බවයි. ඇයගේ වාර්ෂික වැටුප් වර්ධකය රු. 700 ක් දක්වා අඩු කෙරී ඇත. "අසාධාරනයට විරුද්ධව කතා කල නිසා"  මංගල නමැති තරුන කම්කරුවකු දොට්ට දැමූ බව ඇය පැවසුවාය. 

"ෆැක්ටරිය ඇතුලේ කිසිම කෙනෙක් එක්ක යූනියන් ගැන හෝ වෙනයම් ප්‍රශ්න ගැන කතා කරන්න බැහැ, ලමයි ඉන්නේ හරිම බයෙන්, අපේ රක්ෂාව ආරක්ෂා කර ගන්න ඕන නිසා අපි කිසිම දෙයක් කතා කරන්නේ නැහැ, කොරෝනා වසංගතය ෆැක්ටරි හිමියාගේ වාසියට හරවා ගෙන තියෙන්නේ" යැයි ඇය තවදුරටත් කියා සිටියාය. 

ඇඟලුම් කම්කරුවන් අතරින් එක දිගටම මතුවන අරගලවල කොටසක් ලෙස, පසුගිය දෙසැම්බර් මස කටුනායක නෙක්ස්ට් මැනුෆැක්චරින් කම්හලේ කම්කරුවෝ බෝනස් දීමනාව කපා දැමීමට එරෙහිව වැඩ වර්ජනයක යෙදුනු අතර, නොවැම්බර් මස වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහිව කටුනායක කලාපයේම පිහිටි, අපනයනය සඳහා ට්‍රාන්ස්ෆෝමර් නිපදවන, ජපන් හාම්පුතෙකුට අයත් ඔකායා ලංකා කම්හලේ කම්කරුවෝද වැඩ වර්ජනයක නිරත වූහ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ අලුත් අවුරුදු බෝනස් දීමනාව ලෙස ගෙවනු ලැබ ඇත්තේ එක් මසක මූලික වැටුප පමනි. වෙනදා එම වැටුප මෙන් එකහාමාරක් ගෙවා ඇත.

තම ලාභ මිරිකා ගැනීමේ යෙදී සිටින කම්හල් හිමියෝ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා නිර්දේශිත දුරස්ථභාවය ඇතුලු සෞඛ්‍ය ආරක්ෂන මාර්ගෝපදේශනයන් පිලි නොපදිති. එබැවින්, තනි කර්මාන්ත ක්ෂේත්‍රයක් හැටියට ගත්කල වැඩිම කොරෝනා ආසාදිතයින් ගනනක් වාර්තා වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය තුලය. වසංගතයට බියෙන් සමහර කම්කරුවෝ කම්හල් හැර දමා යන අවස්ථා ද ඇත.

මෙම සෞඛ්‍ය ආරක්ෂන මාර්ගෝපදේශනයන් පැහැර හැරීම නිසා ඇඟලුම් කම්කරුවන් වැඩියෙන්ම ආසාදනය වී ඇත්තේ ලංකාව තුල ක්‍රියාත්මක වන ලොව විශාලතම ඇඟලුම් නිෂ්පාදන සංගත තුනක් වන මාස් (MAS) හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් සහ හයිඩ්‍රාමනි යන සමාගම් වලට අයත් කම්හල් වලය. 

එම කර්මාන්තකරුවන්ට කම්කරුවන් නිර්දය ලෙස සූරාකෑමේ කොන්දේසි තහවුරු කෙරෙන වරදාන ලබාදෙන බවට, එනම් දැනට පවතින සීමිත සෞඛ්‍යාරක්ෂක නිර්දේශ ලිහිල් කිරීම මගින් “නිෂ්පාදන පලදායිත්වය” සහ ගුනාත්මකබව ඉහල දැමීම සඳහා පුර්න සහයෝගය ලබාදෙන බවට, ජනාධිපති රාජපක්ෂ මාර්තු මස ඇඟලුම් හාම්පුතුන්ට පොරොන්දු විය. හාම්පුතුන් කම්කරුවන්ගේ බෝනස් දීමනා කපා දමන්නේ රාජපක්ෂ ආන්ඩුව ලබාදෙන මෙම සහයෝගයේ  ගැම්මෙනි.

Loading