කොරෝනා රෝගීන් හමුවූ බිංගිරියේ ඇඟලුම් කම්හල වසා දමන ලෙස ඉල්ලා කම්කරුවෝ සහ ප්‍රදේශවාසීහු විරෝධතාවයේ යෙදෙති

කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, විලත්තව ප්‍රදේශයේ පිහිටි බෙන්ජි ඇඟලුම් කර්මාන්ත ශාලාව තුල කෝවිඩ්-19 ආසාදිත රෝගීන් දිනෙන් දින වාර්තා වීම හේතුවෙන් කම්හල වසා දමන ලෙස ඉල්ලා, පසුගිය සඳුදා, ප්‍රදේශවාසීන් කම්හල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර කම්කරුවෝ එයට සහාය දැක්වූහ.  

මාර්තු මාසයේ අග සිට මේ දක්වා කම්හල තුලින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිත කම්කරුවන් ගනන 142 කි. වයඹ පලාතේ කුරුනෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල හා බස්නාහිර, උතුරු මැද පලාත්වල සිට කම්හලට 3,000 ක් පමන කම්කරුවෝ කම්හල මගින් යෙදූ බස් රථ මගින් දිනපතා රැකියාවට පැමිනෙති. 

මේ වන විට කුරුනෑගල දිස්ත්‍රික්කය තුල වසංගතය ව්‍යාප්ත වන තත්වය තුල, කුලියාපිටිය සහ ගනේවත්ත යන පොලිස් බල ප්‍රදේශ හු‌දෙකලා කොට තිබේ. කම්හල විවෘතව තැබීම ප්‍රදේශය පුරා රෝගය ව්‍යාප්ත වීමේ හේතු සාධකයක් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. කම්හල අවට පාසල් දරුවන්ට පාසල් නො පැමිනෙන්නැයි ප්‍රදේශයේ පාසල්වලින් උපදෙස් දී ඇතැයි උද්ඝෝෂනයේ නිරත කාන්තාවෝ මාධ්‍යට ප්‍රකාශ කලහ.  

මාරාන්තික නව වෛරස ප්‍රභේද ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වන තතු තුල, වසංගතය පාලනය කිරීමේ  අනිවාර්ය පියවරක් වන අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමේ දැවෙන අවශ්‍යතාවය මහජනයා වටහා ගනිමින් සිටිති. අඩුම තරමින් සති දෙකක කාලයක් කම්හල වසා තැබියයුතු යැයි ප්‍රදේශවාසීහු පවසති. 

ඊයේ දිනයේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව පලමු වරට 1,000 සීමාව (1,111ක්) ඉක්මවා ගිය අතර මරන 8 ක් වාර්තා වීමෙන් පසු මුලු ආසාදිත සංඛ්‍යා 103,487 දක්වාත් මරන සංඛ්‍යාව 6,55 දක්වාත් ඉහල ගියේ ය. රෝගීන් මෙතරම් වාර්තා වන්නේ දිනකට සිදු කරන පීසිආර් පරීක්ෂන සංඛ්‍යාව 15,000 ත් අඩු අගයක පවතිද්දී ය. 

වසංගතය මෙලෙස ව්‍යසනකාරීව ව්‍යාප්ත වන නමුත්, ආයෝජන හා අපනයන ආදායම් හැකිලෙමින් උග්‍ර වන ජාත්‍යන්තර වෙලඳ තරගයකට මුහුන දී සිටින ආන්ඩුව මහ ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කිරීම මුල් තැනෙහි තබමින්, මහජන ජිවිත ආරක්ෂා කිරීමට අනිවාර්ය වන අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. කෝවිඩ් වසංගතය හේතුවෙන් රටේ “ආර්ථික ක්‍රියාකාරීත්වය මුලුමනින්ම අඩපන කරන අගුලු දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් සිදු නො කරන” බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය. 

බස් රථවලින් කම්හලට සේවකයන් රැගෙන ඒම වලකා ලමින් කම්හල ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂනයේ නිරත වූ 150 ක් පමන ජනයා විසුරුවා හැරීම සඳහා බිංගිරිය, දුම්මලසූරිය හා හෙට්ටිපොල පොලීසිවලින් පොලිස් භටයන් හා කැරලි මර්දන භටයන් කැඳවා තිබුනි. පිරිස විසුරුවා හැරීම සඳහා පැමිනි පොලිසීය ප්‍රකාශ කොට ඇත්තේ වසංගතය හේතුවෙන් කම්හල් වසා දැමීමට ආන්ඩුව තීරනය කොට නොමැති බැවින් විරෝධතා දක්වා පලක් නො වන බවයි. 

සිද්ධිය වූ අවස්ථාවේ දී කම්හල් පරිපාලනයේ නිලධාරීන් කම්හලින් රෝගය බෝ වන බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් “රටේ හැම තැනම රෝගය තිබෙන නිසා මෙතනින් රෝගය බෝ වන බව කියන්නේ කොහොමදැ” යි ප්‍රශ්න කරන දර්ශන රූපවාහිනි නාලිකාවල විකාශය වුනි. 

කම්හලේ කම්කරුවන්  ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ ආසාදිතයන් හමු වූ නිෂ්පාදන පේලිවල කම්කරුවන් 7,00 ක් පමන දෙනා මේ වන විට නිවෙස්වල නිරෝධායනයට ලක් කොට කම්හලේ ඉතිරි සේවකයන් වැඩට කැඳවා ඇති බවයි. කෙසේ නමුත් රෝග බිය හේතුවෙන් ඊයේ දිනයේ දහසකට අධික පිරිසක් සේවයට වාර්තා කොට නැත.   

රෝග බිය පැවතියදීම, තම රැකියාව සහ වැටුප අහිමි වෙතැයි සේවයට පැමිනි  එක් කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කලාය: “කම්කරුවො විදිහට අපිත් කියන්නේ ෆැක්ටරිය වහන්න කියලා තමයි. වෛරසය ෆැක්ටරියට ආවෙ පිටින් තමයි. නමුත් දැන් ප්‍රදේශය පුරා වෛරසය පැතිරෙන්න ෆැක්ටරිය විවෘතකර තැබීම බලපානව කියන එක නිවැරදියි”. 

බෙන්ජි කර්මාන්ත ශාලාවේ නිල මුහුනු පොතේ නවක සේවකයන් බඳවා ගැනීම සඳහා පල කර ඇති දැන්වීමක “කොවිඩ්-19 න් තොර සුරක්ෂිත වැඩ පරිසරයක් වෙනුවෙන් සියලු ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මකයි” යනුවෙන් සඳහන් කර තිබේ. ඒ පිලිබඳව ඇය කියා සිටියේ, කම්හල තුල යම් ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුව ද, ප්‍රායෝගිකව පූර්න සෞඛ්‍යාරක්ෂාවක් නොමැති බවයි.

ඇය මෙසේ කිවාය: “පරීක්ෂන කෙරුවත් සේවක සංඛ්‍යාව වැඩි නිසා, ෆැක්ටරිය ඇතුලේ වෛරසය රැඳිලා තියෙන්න පුලුවන්. පොදු සනිපාරක්ෂ සේවා අපි භාවිතා කරන්නේ. මුඛ ආවරන එක දිගටම පැලඳ සිටීම අපහසුයි. වතුර බොන්නත් කීප වතාවක්ම ගලවනවා. ඒ නිසා පරිස්සම් වෙන එක පහසු කාර්යයක් නොවෙයි.” 

ඉන්දියාවේ තරුන ජනයා පවා ඔක්සිජන් ඇතුලු වෛද්‍ය ප්‍රතිකාර නො මැතිව මිය යෑම් පිලිබඳව සිහිපත් කරමින් ඇය කියා සිටියේ එවන් තත්වයක් ලංකාව තුල ඇතිවීමේ හැකියාව ඇති බැවින් ඉමහත් භීතියෙන් රැකියාවට පැමිනෙන බවයි. 

මෙම අනාරක්ෂිත කොන්දේසි හේතුවෙන්, සේවයට නොපැමිනෙන කම්කරුවන් ගෙන්වා ගැනීම සඳහා කම්හල් පරිපාලනය විසින් අනුගමනය කරන කූටෝපායන් ඇය වැඩිදුරටත් විස්තර කලා ය. “මේ දවස්වල වැඩට ආවොත් දිනකට රුපියල් 2,00 ක් අමතරව දෙනව කියල කියනව. ඒත් ඊයෙ වැඩට ඇවිත් තියෙන්නේ 200 ක් වගේ පිරිසක්. වැඩට නො යන දවසකට අපේ වැටුපෙන් දිනකට රුපියල් 5,00 ක් කපනවා. පැමිනීමේ දීමනාවත් කැපිලා යනවා.” 

වසර කිහිපයක් රැකියාවේ නිරත ඇගේ මුලු වැටුප රු: 37,000 ක් පමන බව ඇය ප්‍රකාශ කලා ය. 

තවත් කම්කරුවෙක් ප්‍රකාශ කලේ කම්හල තුල මාර්තු මාසයේ අග සිට රෝගීන් වාර්තා වූ නමුත් කම්හල් පරිපාලනය ඒ පිලිබඳ විස්තර සෙසු කම්කරුවන්ගෙන් වසන් කල බවයි. “අලුත් අවුරුද්දට කලින් පුත්තලම ප්‍රදේශයෙන් එන සේවිකාවකට රෝගය ආසාදනය වුනා. ඊට පස්සෙ ආසාදිතයන් ලෙස හඳුන ගන්න අය ගැන ගනන් හිලව් විස්තර අපිට කියන්නෙ නෑ.  කෙහොම නමුත් ක්‍රමයෙන් රෝගීන් වැඩි වුනා. ෆැක්ටරියට ඇවිත් තියෙන ඇනවුම් සම්පූර්න කරන්න දිගටම වැඩ ගන්නවා කම්කරුවන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව”. 

කම්හලට කිලෝ මීටරයක් පමන දුරින් වාසය කරන කාන්තාවක් කියා සිටියේ ප්‍රදේශය පුරා ස්ථාන කිහිපයකම රෝගීන් වාර්තා වන බවත් පුලියන්කාර නම් ගම්මානයේ, කම්හලෙන් ආසාදිත වූ සේවකයන් කිහිප දෙනෙක්ම සිටින බවයි. 

දංකොටුව පම්බල පිහිටි සිම්ලයින් ඇඟලුම් කම්හලේ සේවය කරන සේවකයන් තිදෙනෙක් පසුගිය දිනවල ආසාදිත වී රෝහල් ගත කල බව බිංගිරියේ පදිංචි පාසල් ගුරුවරයෙක් ප්‍රකාශ කලේය. මේ අතර කලුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 134 කුට සිදු කරන ලද පීසිආර් පරීක්ෂනවලින් 20 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා තිබේ. මාර්තු මස මැද ලංකාදීප පුවත්පත් වාර්තාවකට අනුව කටුනායක නිදහස් වෙලෙඳ කලාපය තුල පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු කොරෝනා වෛරසයට ගොදුරු වී තිබුනි. 

ඇඟලුම් කම්හල් තුල පවත්නා සුවිශේෂී සේවා කොන්දේසි හේතුවෙන්ම ඒවා වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් බවට පත්ව ඇත. පසුගිය ඔක්තෝබරයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් දහසකට අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත් කරමින් වසංගතය පුපුරා ගියේ එය ගැඹුරින්ම ප්‍රකාශයට පත් කරමිනි. එයද එලිමහනට පැමිනියේ, එහි සේවිකාවක් ගම්පහ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී කල අහඹු පීසීආර් පරික්ෂනයකින් ඇය ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුය.

තමා අත් විඳි රෝග ලක්ෂන ගැන පරිපාලනයට දැන්වුවද, පැනඩෝල් පෙති දී වැඩගත් ම්ලේච්ඡ ආකාරය සහ සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ක්‍රියාත්මක නොවූ ආකාරය බ්‍රැන්ඩික්ස් කම්හලේ කම්කරුවෝ මාධ්‍ය වලට හෙලි කලහ. පැන නැගි මහජන විරෝධය හමුවේ, ආන්ඩුව ඊනියා පරීක්ෂන කමිටුවක් පත් කලද, එහි නිගමන වාර්තාවක් පවා අදවනතුරු ප්‍රසිද්ධියට පත්ව නැත. 

එපමනක් නොව, විවිධ පලාත්වල ඇඟලුම් කම්හල් තුලින් සිය ගනන් ආසාදිතයන් හමු වෙද්දී, වසංගත ව්‍යාප්තිය පාලනය කරනුවස් මෙම අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමනු වෙනුවට, රාජපක්ෂ ආන්ඩුව, කම්හල් හිමියන්ගේ ලාභෝත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයනු වස් කම්හල් විවෘතව පවත්වාගෙනයාම සඳහා සෑම පිටුබලයක්ම ලබා දුනි.   

ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත හිමියන්ගේ සංසදය සමග මාර්තු 15 වනදා පැවති සාකච්ඡාවකදී, “නිෂ්පාදන පලදායිත්වය” ඉහල දැමීම සඳහා, කම්හල් තුල පවත්නා සීමිත සෞඛ්‍යාරක්ෂක නිර්දේශ පවා ලිහිල්කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති රාජපක්ෂ පුර්න සහයෝගය ලබාදුන්නේය.  

බෙන්ජි කම්හල අයත් වන්නේ, වසංගතය මධ්‍යයේ ආන්ඩුවේ ඉහත ආශීර්වාදයෙන් දැවැන්ත ලාභ උපයාගත් ඉතාලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට හිමි ඔමේගා ගෘප් නමැති සමාගමට යි. බඩල්ගම පිහිටි “සිරියෝ”, පොල්ගහවෙල “ඇල්ෆා” හා වවුනියාවේ පිහිටි “වවුනියා ඇපරල්” එම සමාගමට අයත් අනෙක් කම්හල් වේ. 

ඇඟලුම් අපනයනය තුලින්, බ්‍රැන්ඩික්ස්, මාස් හෝල්ඩින්ග්ස් සහ ඔමේගා ගෘප් ඇතුලු සමාගම් වසංගතය මධ්‍යයේ කම්කරු ජීවිත අනතුරේ හෙලා උපයාගෙන ඇති ලාභ පොදිය ‌කෙතෙක්ද යන්න බෙන්ජි කම්හලේ මුහුනු පොතේ කෙරෙන සඳහනකින් එලිමහනට පැමිනෙයි. එය තමා උපයාගත් ලාභයක් ලෙස ප්‍රකාශ නොකරන ඔවුන් වංචනික ලෙස කියා සිටින්නේ, 2020 දී ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.2 ක ආදායමක් “උපයා දුන්”  බවයි.

ඇඟලුම් කර්මාන්තයෙහි තමා නියැලී සිටින්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ ශුභ සිද්ධිය සඳහා බව පෙන්වා, කම්කරුවන් වසංගතය මධ්‍යයේ වැඩට ගෙන්වා ගැනීමේ වංචනික වීඩියෝ පටයක් ද බෙන්ජි පාලකයන් එම මුහුනුපොතට ඇතුලත් කර ඇත. වසංගතය හේතුවෙන් “රටේ ආර්ථිකය” කඩා වැටුනහොත් තම මාසික වැටුප අහිමි විය හැකි බව “අවබෝධ කරගෙන” නැවත ධෛර්යමත්ව රැකියාවට යන කම්කරුවන්ගේ දර්ශන එම විඩියෝ පටයට ඇතුලත් වෙයි. 

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, බ්‍රසීලයේ බොල්සනාරෝ, ඇමරිකාවේ ජෝ බයිඩ්න් ඇතුලු ලොව පුරා සහචර ධනපති පාලකයන්සේම රාජපක්ෂ ආන්ඩුවත් “ආර්ථිකය අඩපන” වීමට ඉඩ දිය නො හැකියි යනුවෙන් ක්‍රියාවේ යොදවා තිබෙන්නේ බෙන්ජි වැනි මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා කම්කරුවන්ගේ ජීවිත බිලි දීමේ මිනීමරු පිලිවෙතයි. 

Loading