පහසුකම් වැඩිකිරීමකින් තොරව ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමට එරෙහිව මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු විරෝධතා දක්වති

පහසුකම් වැඩිකිරීමකින් තොරව ඇතුලත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමට විරෝධය දක්වමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ලබන වසරේ සිට පවත්නා පහසුකම් වලට සරිලන පරිදි සිසුන් ඇතුලත් කරගන්නා බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පොරොන්දුවක් ලබාදෙනතුරු පලමු වසර ශිෂ්‍යයන් ගේ ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමට මොරටුව විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ වෘත්තිය සමිතිය පසුගිය මස අවසානයේදී තීන්දු කලේය. මසක කාලයක් ගත වී ඇතත් ආන්ඩුව ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැත. 

මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ශිෂ්‍ය විරෝධතාවයක්

මොරටුව විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චුලන්ත සමරවික්‍රම  ප්‍රකාශ කලේ, 1828 ක් වන විශ්ව විද්‍යාලයේ එක් වසරක ශිෂ්‍ය ධාරිතාව ඉක්මවා අමතර ශිෂ්‍යයන් 529 ක් මෙම වසරේදී ඇතුලත් කර තිබෙන බවයි. මීට අමතරව, හේතු පැහැදිලි කිරීමකින් තොරව, තවත් සිසුන් හැට දෙනෙකු මේ වසරේ බඳවාගැනීමට නියෝග කර තිබේ.  ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුල පහසුකම් වැඩි කල යුතු බවත් එසේ වැඩි කරන තෙක් උද්ඝෝෂනය ඉදිරියට ගෙන යන බවත් ආචාර්ය සමරවික්‍රම තවදුරටත් පැවසීය.

ආන්ඩුවේ නියෝග වලට අනුව ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 15 සඳහා වැඩිපුර සිසුන් 10,000ක් බඳවා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කරයි. පසුගිය වසරට සාපේක්ෂව සියයට 30 ක වැඩිවීමක් වන එය, තනි වසරක් තුල වැඩි කරන ලද ඉහලම සංඛ්‍යාව වෙයි. ඒ අනුව මේ වසරේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 41000  ඉක්මවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තා වලට අනුව, වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, තාක්ෂනය, වානිජවේදය සහ කලමනාකරනය සහ කලා විෂය ධාරාවන් සඳහා පිලිවෙලින් ශිෂ්‍යයන් 400, 500, 3000, 1000, 800 සහ 1600 වන ආකාරයට සිසුන්  වැඩි කිරීමට නියමිතය.

2020 වසරේ, පැරනි සහ නව නිර්දේශය යනුවෙන් විභාග දෙකක් පැවති නිසා, එවැනි අවස්ථාවක් මීට පෙර ඇතිවූ 2012 වසරේ නඩුතීන්දුවට අනුව ක්‍රියා කරන්නේ යයි කියමින් තවත් 5600ක් බඳවා ගැනීමට නියමිතය. 

ඌන පහසුකම් යටතේ 10,000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මොරටු විශ්ව විද්‍යාලය තුල මෙම වැඩිපුර බඳවා ගැනීම් නිසා තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ. 2009 වසර සඳහා 1182 ක් වූ නව බඳවා ගැනීම් 2018 වනවිට ක්‍රමයෙන් 1625 දක්වා ඉහල දැමුනේ පහසුකම් වල කවර හෝ ඉහල දැමීමකින් තොරවය.

නේවාසිකාගාර, ආපන ශාලා, දේශන ශාලා, විද්‍යාගාර, පුස්තකාල පහසුකම් මේ හැම එකකම අඩුපාඩුකම් පිරී පවතී. වයි-ෆයි පහසුකම් හිඟවීම බොහෝ කලක සිට ශිෂ්‍යයන් මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. ඊට අමතරව පිලිතුරු පත්‍ර ඇගයීම ප්‍රායෝගික පරීක්ෂන සිදු කිරීම, ව්‍යාපෘති ඇගයීම අධ්‍යයන කාර්ය මන්ඩලය මුහුනදෙන ගැටලු වේ.

500 ක් පමන අධ්‍යාපනය ලබන මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව සතු පරිගනක විද්‍යාගාරයේ පහසුකම් ඇත්තේ 50 දෙනෙකුට පමනි. සමස්ත සිසුන්ගෙන් නේවාසිකාගාර පහසුකම් ඇත්තේ සියයට විස්සකට පමනකි.

ආපන ශාලා තුල එකවර වාඩිවීමට පහසුකම් ඇත්තේ 700 දෙනකුට පමනක් වන බැවින්, දිවා ආහාරයේදී ශිෂ්‍යන්ට ආහාර ගැනීමට ආසනයක් ලැබෙන තුරු බලාසිටීමට සිදුවී තිබේ. 

අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය කප්පාදුවල ප්‍රතිඵලයක් ලෙස විශ්ව විද්‍යාල නඩත්තු කටයුතු සඳහා ස්ථිර කම්කරුවන් බඳවා ගැනීම අවම කර ඇත. ඒ සඳහා යොදා ගැනෙන්නේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් මගින් සැපයෙන මිනිස්බල කම්කරුවන් ය. රුපියල් 850ක සොච්චම් දෛනික වැටුපකට සේවයේ යෙදෙන ඔවුනට, වැඩ ලබා දෙන්නේ සතියකට දින හතරක් පමනි. ඒ හේතුවෙන් නඩත්තු කටයුතු අඩපනව පවතී.

විරෝධතාව පිලිබඳව අදහස් දැක්වූ මොරටුව විශ්විද්‍යාලයේ ආචාර්යවරයෙක් කියා සිටියේ තමන් මේ අරගලය සඳහා එක් වී සිටින්නේ දේශන ශාලා පහසුකම් සහ විද්‍යාගාර පහසුකම් වැඩිදියුනු කර ගැනීමේ අවශ්‍යතාවයෙන් බවයි. 250කට යන්තම් ප්‍රමානවත් වන දේශන ශාලාවක සියලු දෙනාට දේශනය ලබාදීම සඳහා එකම දේශනය සතියකට  හතර වතාවක් කිරීමට ආචාර්යවරයෙකු ට සිදුවෙන බව ඔහු පැවසීය. ගුරුවරුන්ගේ වැඩ ප්‍රමානය දැනටමත් විශාල ලෙස ඉහල ගොස් තිබේ උත්තර පත්‍ර ඇගයීම ව්‍යාපෘති පරික්ෂා කිරීම ආදිය සඳහා කාලය මිඩංගු කල විට පර්යේෂන සඳහා කාලයක් ඉතුරු නොවේ යයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

ඔහු ඉගෙන ගන්නා අවධියේ විද්‍යාගාරයක සිදුකල පරීක්ෂන ප්‍රමානයෙන් භාගයක් පමන අද වනවිට අඩු වී තිබේ. “ආන්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ගිලී සිටින නිසා බලපෑම් මගින් මෙම ඉල්ලීම් දිනාගත හැකි හැකිවේද යන්න සැකසහිතයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වේගවත් පහල වැටීමත් ඒ අර්බුදයේ ප්‍රකාශනයක්. ඉදිරියේ දී පඩි ගෙවා ගැනීමට වත් හැකිවේද යන්න සැක සහිත” බව ඔහු පැවසීය.

පශ්චාත් උපාධිය හදාරන ශිෂ්‍යයෙකු කියා සිටියේ, විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන ගෙවීම් ප්‍රමාද කිරීම ආදී කරුනු හේතුවෙන්, තමන්ගේ උපාධිය නිසිකලට සම්පූර්න කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. සම්පත් වැඩි දියුනුකර ගැනීම සඳහා ආචාර්යවරු ගෙන යන අරගලයට ඔහු සිය ප්‍රසාදය පල කලේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිලිබඳව තම සහාය පලකල අනධ්‍යන සේවකයෙක් ඔවුනගේ වෘත්තිය සමිති අනධ්‍යන කම්කරුවන් හෝ ශිෂ්‍යයන් දැනුවත් කොට එම අරගලයට ඒකාබද්ධ නොකිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කලේය. සිසුන් සංඛ්‍යාව අධිකවීම නිසා විද්‍යාගාර තුල භාන්ඩ සහ උපකරන භාවිතය ඉහල යාම හේතුවෙන් ඒවා ඉක්මනින් කැඩී යන බවත් අලුත්වැඩියාව හෝ නව භාන්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය.

ආචාර්ය චුලන්ත සමරවික්‍රමට අනුව, පවතින සම්පත් වැඩි දියුනු කිරීමෙන් තොරව ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමිය නොහැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ පරිපාලනය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කීප වතාවක්ම දන්වා ඇත. ඒ හැම විටකම භෞතික සම්පත් වර්ධනය සඳහා ප්‍රතිපාදන ලබාදීමට කොමිෂන් සභාව එකඟ වී තිබේ. මේ දක්වා සිසුන් සංඛ්‍යාව ඉහල ගිය ප්‍රමානයට අනුරූපව සම්පත් ඉහල දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැත.

ආන්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට කරන වියදම රුපියල් බිලියන 40 කින් කපා දමා තිබේ. ඒ අනුව භාන්ඩ මිලදී ගැනීම සඳහා විශ්ව විද්‍යාලයන්හි එක් එක් දෙපාර්තමේන්තුවලට පෙර පැවති ආකාරයට මුදල් ලබාදීම නතර කොට තිබේ.

ආපන ශාලා, නේවාසිකාගාර, ක්‍රීඩා හා ක්‍රීඩාගාර මෙන්ම වයි-ෆයි පහසුකම් කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂන පසුගිය කාලය පුරා දිගටම වර්ධනය විය. වියදම් කප්පාදු කිරීම සඳහා රාත්‍රී දහයට විශ්ව විද්‍යාලය වසා දැමීම සහ රාත්‍රී කාලයේ වයි-ෆයි පහසුකම් වසා දැමීම සිදුවූයේ, එවකට උපකුලපති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වත්මන් ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ගේ පාලන සමයෙහිය.

තම අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව සටනට අවතීර්න වන සේවකයන් සහ ශිෂ්‍යයන් මර්දනය කිරීමේ සහ වැඩ වේගවත් කිරීමේ යාන්ත්‍රනයේ කොටසක් ලෙස කැමරා පද්ධතියක් ස්ථාපිත කෙරුනේ, අනධ්‍යන, අධ්‍යයන වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සමිති වල සහයෝගය සහිතව ය.  

කෙසේ නමුත්, සම්පත් සංවර්ධනයකින් තොරව ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමෙන් පාඨමාලාවේ ගුනාත්මකභාවය පිරිහෙන බව පවසන ආචාර්ය සමරවික්‍රම ආන්ඩුව එසේ කරන්නේ ඇයිද යන්න විමසීම ප්‍රතික්ෂේප කලේය. එය මෙම අරගලයේ සීමාව ඉක්මවා යන බව ඔහු පැවසීය.

ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ, එවන් විමසීමක්, මෙම ප්‍රහාරයේ මූලය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය බවත්, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව එම ප්‍රහාර පරාජය කල නොහැකි බවත් කම්කරු පන්තිය හමුවේ අනාවරනය වන බැවිනි. ධනපති ක්‍රමයට තදින් බැඳී ඇති වෘත්තීය සමිති එවන් දේශපාලන අරගලයකට පරම වශයෙන්ම සතුරුය.  

අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් ට අනුව ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීම මැතිවරන පොරොන්දු ඉටු කිරීමකි. විශ්ව විද්‍යාල තුල පවත්නා ඉතා සීමිත ඉඩකඩ හේතුවෙන් සුදුසුකම් ලබන සිසුන් අතරින් අතිමහත් බහුතරයකට උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් මහජනතාව අතර ඇති අප්‍රසාදය සහ සිසුන් අතර වැඩෙන කලකිරීම හමුවේ සිදු කෙරෙන මෙම වංචනික උපාමාරුව පිටුපස, සිසුන්ට ගුනාත්මක අධ්‍යාපන අවස්ථාවන් විවර කරදීමේ කවර හෝ උත්සුකයක් නොමැත.  

“රටට වැඩදායි පුද්ගලයන් ගොඩනගන, ආර්ථිකයට සෘජුවම සහභාගී විය හැකි දරුවෙක් බවට පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදු කල යුතුයි” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “රටක් වටිනා පොතක් ” වැඩසටහනේ සහතික පත් ප්‍රදානෝත්සවය අමතා ප්‍රකාශ කලේය. ඔහුගේ මෙම ප්‍රකාශයන් යටින් පවත්නේ, අධ්‍යාපනයේ ගුනාත්මකභාවය ඉහල දැමීම නොව, ජාතික සහ ජාත්‍යන්තර ලාභ ශ්‍රම වෙලඳපොල සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් සම්පාදනය කෙරෙන පරිදි අධ්‍යාපනය කප්පාදු කිරීමයි. 

Loading