දඩයමට ලක්වූ ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයට සහයෝගය දෙන්න

මෙහි පහත පලකෙරෙන්නේ ඕල්ටන් වත්තේ කම්කරු දඩයම පරාජය කිරීම සඳහා ගෙනයන අරගලයට සහයෝගය ඉල්ලමින් එම වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් අප්‍රේල් 25 වෙනිදා ඒකමතිකව සම්මත කරන ලද ප්‍රකාශයයි. 

හොරන වැවිලි සමාගම, පොලීසිය සහ ලංකා කම්කරු කොංග්‍රසය එකාබද්ධව මෙහෙයවන මෙම දඩයක්කාරී මෙහෙයුම තුල ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් නෙරපා ඇති අතර ඔවුන් සහ තවත් තරුනයන් දෙදෙනෙකු ඇතුලුව 40 දෙනෙකුට නඩු පවරා ඇත. අප්‍රේල් 28 වෙනිදා නඩුව යලි කැඳ වූ නමුත් විභාගය ජුලි 14 දක්වා කල්දමා ඇත. ඔවුන්ට අමතරව තවත් කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව එහි දී පැමිනිලිකාර පක්ෂය වෙනුවෙන්  පෙනී සිටි නීතිඥයා උසාවියට පවසා තිබේ. එහි තේරුම  ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි  දඩයම තවත් දැඩි කරමින් ඉදිරියට ගෙන යන බවයි. 

ඕල්ටන් දඩයම හුදෙක් ඕල්ටන් වත්තේ කම්කරුවන්ට පමනක් නොව, තම අයිතීන් සඳහා සටනට එලඹෙන සියලු කම්කරුවන්ට එරෙහි තර්ජනයක් සහ අනතුරු ඇඟවීමකි. එහෙයින් ඕල්ටන් වත්තේ කම්කරු දඩයම පරාජය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය හා ඒකාබද්ධව ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව දියත් කර ඇති ආරක්ෂක උද්ඝෝෂනයට ක්‍රියාශීලී සහයෝගය ලබාදෙන ලෙස කම්කරුවන්, තරුනයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරන සියලු දෙනාගන් අපි ඉල්ලා සිටිමු.

********************************************************

ව්‍යජ චෝදනා මත රැකියාවෙන් නෙරපා සිටින ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනා කොන්දේසි විරහිතව වහා යලි සේවයේ පිහිටුවන  ලෙස ද ඔවුන්  සහ තවත් වතු තරුනයන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බොරු නඩුවලින්  එම සියලු දෙනා නිදොස්කොට නිදහස් කරන ලෙස ද ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව බලකර සිටී.

අප සහෝදර කම්කරුවන්ට එරෙහි මෙම මෘග දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ ඇමති ජීවන් තොන්ඩමන් විසින් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග්‍රසයේ ඒකාබද්ධ කුමන්ත්‍රනයකි.

වතු කලමනාකරුට සහ සහකාර වතු කලමනාකරුට කායිකව පහර දුන් බවට මොවුන්ට නගා ඇති චෝදනා අපි දැඩිව ප්‍රතික්ෂේප කරමු. ඔවුන් දඩයමට ලක් කෙරුනේ රුපියල් 1000 ක දෛනික වැටුප් ඉල්ලීම මත වත්තේ කම්කරුවන්  500 ක් පමන පෙබරවාරී 2 වෙනිදා සිට දියත් කල අඛන්ඩ වර්ජනය බිඳීමේ ප්‍රකෝපකරනයක සහ කුමන්ත්‍රනයක කොටසක් ලෙසය. 

දින 47 ක් පැවති මෙම වර්ජනය සීඩබ්ලිව්සී ඇතුලු සියලු වතු වෘත්තීය සමිති විසින් හුදකලා කොට පාවාදෙනු ලැබුනි.

වර්ජනය තුල දී  ශාන්ති නමැති කම්කරු කාන්තාවට වතු කලමනාකරු සුභාෂ් නාරායන් විසින් කායිකව පහර දෙන ලදී. වර්ජනය කඩාකප්පල් කිරීම පිනිස හොරිකඩයන් යෙදවූ අතර පොලීසිය මැදහත් කර කම්කරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සහ නඩු පැවරීය.  

අත්අඩංගුවට ගත්  කම්කරුවන් සති තුනක් පමන නුවර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් අනතුරුව ඔවුන් ව නිදහස් කෙරුනේ රුපියල් 15,000 ක මුදල් තැන්පතු, ඥාතීන් දෙදෙනෙකුගේ පුද්ගලික ශරීර ඇප, සෑම මසක ම අවසන් ඉරිදා මස්කෙලිය පොලිසියේ පුද්ගලික ව පෙනී සිටීම යන රුදුරු  ඇප කොන්දේසි මතය. .

තිස් අට දෙනෙකු රැකියාවෙන් නෙරපීම සිදුකර ඇත්තේ ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා පිලිබඳව කිසිදු පරීක්ෂනයකින් තොරව හා  එකී චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුනු ඉදිරිපත් කිරීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. එය  පවතින කම්කරු නීති පවා උල්ලංඝනය කෙරුන  අත්තනෝමතික ක්‍රියාවකි. එමෙන් ම,  දැනට ඇප මත නිදහස් කර සිටින 40 දෙනාට එරෙහි චෝදනා ඔප්පු කෙරුනොත් එක් අයෙකුට වසර 7 ක් දක්වා සිර දඬුවමකට ඔවුන් යටත් කිරීමේ අනතුර ඇත. 

මෙම දඩයමට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම ජාතික කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුන ඇතුලු සෙසු සියලු වතු වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කර ඇත. අප ක්‍රියාකාරී කමිටුව පිහිටුවාලීමට නායකත්වය දෙමින් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් මෙම දඩයම පරාජය කිරීමේ උද්ඝෝෂනයක්  දියත් කරමින් අපගේ ආරක්ෂාවට ඉදිරිපත් වී ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

වැඩි වැටුප් ඉල්ලා අප වර්ජනය කලේ ලැබෙන වැටුප ජීවත්වීමට කිසිසේත් ප්‍රමානවත් නොවන බැවිනි. දෛනික මුලික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටි නමුත් වතු සමාගම් එය දිගටම ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවෙන් 2015 සිට කල අරගල සියල්ලක් ම වතු  වෘත්තීය සමිති විසින් පාවාදෙනු ලැබුනි. 

වතු කම්කරුවන් අතර කෝපය සහ නොසන්සුන්කම වර්ධනය වන තතු තුල රාජපක්ෂ ආන්ඩුව වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 ක් විය යුතු බවට පඩිපාලක සභාව හරහා නිර්දේශ කර ඇති නමුත් වතු සමාගම් එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ගෙවීම් කෙරෙන්නේ කිලෝවකට රුපියල් 55 බැගින් දෛනිකව කඩන තේ දලු ප්‍රමානය මතය.

තම අයිතීන් සඳහා වතු කම්කරුවන් කරන අරගල “ත්‍රස්තවාදී ප්‍රචන්ඩ ක්‍රියා” ලෙස නම් කල වතු සමාගම් ඒවා මර්දනය සඳහා ආන්ඩුවෙන් ගිනි අවි ඉල්ලා සිටියහ. එවැන්නකින් වතු කම්කරුවන් අතර උද්ගතවිය හැකි බරපතල විරෝධය සැලකිල්ලට ගනිමින් ආන්ඩුව එය ප්‍රතික්ෂේප කල නමුත් වතුකරයේ  ආරක්ෂාව සම්බන්ධයෙන් මාර්තු 10 වෙනිදා ජාතික ආරක්ෂක කවුන්සිලය තුල සාකච්චා කරන බව මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍යට පවසා තිබුනි. 

එය වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියේ අරගල වලට එරෙහි පුලුල් මර්දනයක්  මුදා හැරීම සඳහා ආන්ඩුව සැලසුම් කරන බවට කෙරුනු ඉඟියකි. දැනටමත් සමහර වතු වල පරිපාලනය සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීහු යොදවා සිටිති.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වන කොන්දේසි යටතේ වැඩට ඒම ප්‍රතික්ෂේප කල වරාය  කම්කරුවන්ට එරෙහිව  අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවීම, පෙබරවාරි 24-25 දිනවල  සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනය බිඳීම සඳහා හමුදාව යෙදවීම, බෝනස් නොගෙවීමට විරෝධය පෑ කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ එස්ක්වෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවන්ට එරෙහිව පොලීසිය යෙදවීම අපි අත්දුටුවෙමු.  

රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් විසින් ක්‍රියාවට දමනු ලබන මෙම මර්දනය ධනපති පාලකයන් හා හාම්පුතුන් විසින් කම්කරු පන්තියට විරුද්ධව ලෝක පරිමානව ක්‍රියාවට දමන මර්දනයේ කොටසක් බව ද අපි වටහාගෙන සිටිමු.

එම තතු තුල ඕල්ටන් වත්තේ කම්කරු දඩයම පරාජය කල හැක්කේ ශ්‍රී ලංකාවේ හා අනෙකුත් රටවල කම්කරු පන්තියේ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන අයගේ සහයෝගය ඇතිව කෙරෙන ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනක් බව අපි විශ්වාස කරමු. එම දේශපාලන අරගලය සංවිධානය කිරීමට අප ක්‍රියාකාරී කම්ටුව කැපවී සිටී.

ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයමට එකහෙලා විරුද්ධවන ලෙස ද, ව්‍යාජ චෝදනා මත ගොනුකර ඇති බොරු නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස හා රැකියාවෙන් නෙරපා ඇති සේවකයන් කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවන ලෙස ද ඉල්ලා ප්‍රකාශ නිකුත් කරන ලෙසත්, පිකට් කිරීම්, පෙලපාලි සහ වර්ජන ඇතුලු පන්ති ක්‍රියාවන් තුලින් මෙම දඩයමට විරුද්ධව නැගී සිටින ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට උනන්දු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. ඔබ නිකුත් කරන සියලු ප්‍රකාශවල පිටපත් පහත සඳහන් විද්‍යුත් ලිපිනය හරහා සමාජවාදී සමානතා පක්ෂය වෙත යොමු කරන්න.

ඊ-මේල් ලිපිනය:  wswscmb@sltnet.lk ට එවන්න.

Loading