කෝවිඩ් ආසාදිතයන්ගෙන් රෝහල් පිටාර යද්දී පවා ආන්ඩුව රට අගුලු දැමීම ප්‍රතික්ෂේප කරයි

සීඝ්‍රව ව්‍යාප්ත වන කෝවිඩ්-19 නව වෛරස ප්‍රභේදවලින් ආසාදිත වූ රෝගීන්ගෙන් ලංකාවේ රෝහල් හා දැඩි සත්කාර ඒකක පිරී පිටාර යමින් තිබේ. ඒ තත්වය තුල රෝග ව්‍යාප්තිය හා ජීවිත විනාශය වැලැක්විය හැකි රට අගුලු දැමීමක් රාජපක්ෂ ආන්ඩුව සාපරාධි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. 

එක් දිනක් තුල උපරිමය වාර්තා කරමින් ඊයේ දිනයේ ලංකාවෙන් ආසාදිතයන් 1636 ක් හඳුනා ගැනුනි. එය දෛනික ආසාදිත සංඛ්‍යාව අඛන්ඩව 1000 ඉක්මවූ සිව්වන දිනය යි. පසුගිය දින 10 ට පමනක් සොයා ගැනුනු රෝගීන් සංඛ්‍යාව 10,648 කි.  

පෙරේදා වාර්තා වූ රෝගීන්ගෙන් 5,33 ක් කොලඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, ගම්පහෙන් 145 ක් ද, කුරුනෑගලින් 107 ක්  ද, නුවරින් 85 ක් හා ගාල්ලෙන් 84 ක් ද වශයෙන් රෝගීන් හඳුනා ගැනුනි. රට පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ රෝගීන් වාර්තා වී තිබුනි. 

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 11,493 ක් තරම් ඉහල අගයක් ගෙන තිබේ. ඊයේ සිදු වූ මරන 11 ත් සමග සමස්ත මරන සංඛ්‍යාව 6,78 දක්වා ඉහල නැගුනි.   

බස්නාහිර පලාතේ රෝහල් උපරීම ධාරිතාවට පැමින ඇති බවත් එක් අයෙක් පසුගිය බදාදා නිවසේ දී මිය ගිය බවත් බස්නාහිර පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිනි ධර්මසේන ප්‍රකාශ කර තිබේ. අඟහරුවාදා මාවනැල්ල රෝහලේ දී තවත් රෝගියෙකු මරනයට පත් වූයේ දැඩි සත්කාර පහසුකම් නො මැති වීම හේතුවෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15 කින්  හඳුනාගත් රෝගීන් 185 දෙනෙකු, රෝහලක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැති බැවින් දින හතරක් පුරා සිය නිවෙස්වලම රැඳී සිටින බව වාර්තා විය. එය ප්‍රදේශයේ අන් අයටද රෝගය පැතිරීමේ අවදානම මතු කරයි. රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ගිලන් රථ නො මැති වීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ රෝගීන් 37 දෙනෙකු ද නිවෙස්වලට වී සිටින බවට වාර්තා වේ.  

මේ අතර ලංකාව පුරා වේගයෙන් පැතිර යන නව වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙමින් තිබෙන බී 117 වෛරසය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර තහවුරු කලේ ය. මෙම වෛරසයේ පැතිරීමේ වේගය හා මරන අනුපාතය ලංකාවේ පැවති වෛරස ප්‍රභේදයට වඩා සියයට 50 කින් වැඩි බව ආචාර්ය ජීවන්දර එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

මාර්තු මස අග නව ප්‍රභේද පිලිබඳව පරීක්ෂන සිදු කරන අවස්ථාවේ සිටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උක්ත අධ්‍යයනාංශය ඒ පිලිබඳව අනතුරු අඟවා තිබුනි. නමුත් ආන්ඩුව හා සෞඛ්‍ය අංශ පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේ දැඩි සංචරන සීමාවන් පැන වීමක් සිදු නො කලේ එම අනතුරු ඇඟවීම පවා ප්‍රතික්ෂේප කරමිනි.  

එපමනක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) පසුගිය අඟහරුවාදා අනතුරු අඟවා සිටියේ ඉන්දියාවේ පැතිරෙන බී.1.617 දෙමුහුන් වෛරසය මේ වන විට රටවල් 17 කින් පමන සොයා ගෙන ඇති බවයි. වෛරසය පැතිරී ඇති රටවල් අතර බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා සිංගප්පූරුව ප්‍රමුඛ තැන ගෙන තිබේ. සෙසු රටවල් නම් කර නැතත් අතිශය දරුනු එම වෛරසය සමස්ත දකුනු ආසියානු කලාපයේ පමනක් නොව ලෝකය පුරා පැතිරීමේ වැඩෙන අවදානමක් පවතී. 

වසංගතය මැඩපවත්වනතුරු අත්‍යාවශ්‍ය නො වන නිෂ්පාදන හා පාසල් වසා දැමිය යුතුය යන අවබෝධය මහජනයා අතර වැඩෙමින් පවතී. කුරුනෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි බෙන්ජි ඇඟලුම් කම්හලේ කෝවිඩ්-19 ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශ ජනයා පසුගිය සඳුදා විරෝධතාවයක නිරත වූ අතර, කම්හලේ කම්කරුවෝ එයට සහාය දැක්වූහ. 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රෝගය පැතිරීම වැලැක්වීමට මුල් තැන දී ඒ සඳහා රට අගුලු දැමීම සිදු කල යුතු බවයි. නමුත්, “රෝගීන් ඉහල සංඛ්‍යාවක් වාර්තා වුවත් රටේ පූර්න පරිමාන අගුලු දැමීමකට අපේක්ෂාවක් නැතැ” යි බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කලේ ය. 

රට පූර්න වශයෙන් අගුලු දැමීම පිලිබඳව මහජනතාව අතරේ වැඩෙන උත්සුකයන්ට හා වෛද්‍ය විශේෂඥයින්ගේ ඉල්ලීමට එරෙහිව යමින් පසුගියදා ජනාධිපති රාජපක්ෂ පැවසුවේ,  “කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරන නමුත් දිගු කාලීනව එය ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක්” බවයි. රට අගුලු දැමීම ජන ජීවිතයට හානිකර වනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුව මවාපාන කනස්සල්ල ව්‍යාජ එකකි. රාජපක්ෂ සැබැවින්ම කනස්සලු වන්නේ එවැනි අගුලු දැමීමකින් මහ ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඩපන වීම පිලිබඳවයි. 

වසංගතය මගින් ගැඹුරු කෙරෙන ගෝලීය ආර්ථික අර්බූදය හමුවේ ආන්ඩුවේ නය සහ විදේශ විනිමය අර්බූදය උග්‍ර කොට තිබේ. ඒ තත්වය තුල ආයෝජන ආකර්ෂනයටත් අපනයන ආදායම් ඉහල දැමීමටත් ආන්ඩුව මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටී.   

“පවතින කෝවිඩ් වසංගතය හමුවේ කවර අභියෝගය පැමිනියත් අපනයන කර්මාන්ත බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට” තමා විසින් මහා ව්‍යාපාරිකයන්ට “උපදෙස්” දුන් බවට අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් කල සඳහනක් ඩේලිඑෆ්ටී හි වාර්තාවක පලවිය. 

ඇඟලුම් සේවකයන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමට පොලිසියට හා හමුදාවට දැනුම් දී ඇති බව ද, අවිනිශ්චිත තත්වයක් තිබුනත් එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක අපනයන ඉලක්කයක් කරා යෑමේ දී පසුගිය වසරේ මෙන් අගුලු දැමීම්වලින් බාධා සිදු නො වෙතැයි තමන් බලාපොරොත්තුව වන බවද, මෙල් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත. 

මෙල්ගේ ප්‍රකාශයෙන් විවෘතව එලිමහනට පැමින ඇත්තේ මහජනයා මරනයට ගොදුරු කොට හෝ ධනපති මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා ආන්ඩුව ක්‍රියාත්මක වන ආකාරයයි.  

වසංගතය “පාලනය කර ඇතැ” යි ව්‍යාජ ලෙස පෙන්නුම් කිරීම සඳහා ආන්ඩුව සහ එහි සෞඛ්‍යය බලධාරීන් දිගින් දිගටම අනුගමනය කලේ දෛනික පීසිආර් පරීක්ෂන හැකි තරම් පහල දැමීමයි. ඒ කූටෝපාය මගින් රෝගීන් හමු නොවන හා අඩුවෙන් හමුවන තත්වයේ දී රාජපක්ෂ ආන්ඩුව පම්පෝරී ගැසුවේ ලොව අනෙක් රටවල් වසංගතය මැඩීමට නො හැකිව සිටිය දී ලංකාව “අපට ආවේනික ආකාරයකට” රෝගය මැඩලූ බවටයි. 

වසංගතය වේගයෙන් පැතිරෙන තත්වයක් තුල පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව දැවැන්තව වැඩිකර යුතුව තිබියදී, “දිස්ත්‍රික්ක කිහිපයක සිදු කරන අහඹු පීසිආර් පරීක්ෂන නවත්තන්නැයි බලධාරීන් විසින් දැනුම් දී ඇතැ” යි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහන ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ. 

පරීක්ෂන අඩු කිරීම හේතුවෙන් දෛනිකව හඳුනා ගැනෙන රෝගීන් සංඛ්‍යාව පහල ගොස්, රෝගය පාලනය වී ඇතැයි යන මනෝගතිය මහජනයා තුල වර්ධනය වී වඩාත් ව්‍යසනකාරී තත්වයක් නිර්මානය විය හැකි බවත්, රෝහන එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

කෙසේ නමුත්, වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පීසීආර් කට්ටල ගනන ප්‍රමානවත් වන්නේ සති හයක කාලයකට පමනක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිලිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පුද්ගලික ආරක්ෂන උපකරන ප්‍රමානවත් අයුරින් නොසැපයීම හේතුවෙන් සෞඛ්‍යය කාර්ය මන්ඩලවල සේවකයන් වඩවඩාත් රෝගයට රෝගයට ගොදුරු වෙමින් පවතී. මේ වන නවගත්තේගම ගිරිබාව ප්‍රාදේශීය රෝහල වසා දමා ඇති අතර ගාල්ල කරා පිටිය රෝහලේ සෞඛ්‍ය සේවකයන් 20 දෙනෙකු ආසාදනය වීමෙන් එහි වාට්ටුවක් වසා දමා තිබේ. මේ තත්වය අවශේෂ රෝගවලට රෝහල් ගත කෙරෙන රෝගීන්ගේ ජීවිත අන්තරායේ හෙලීමක් ද වේ. 

ජනවාරි 29 දා සිට ආරම්භ කෙරුනු එන්නත්කරනය තවත් අර්බූදයකට ගමන් කර තිබේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා එන්නතින් පලමු මාත්‍රාව ලබා දුන් නව ලක්ෂයක දෙනාට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමානවත් එන්නත් දැන් රට තුල ඇත්තේ නැත. ඉන්දියාවේ පැන නැග ඇති ව්‍යසනකාරී තත්වය හමුවේ ජුලී මාසය දක්වා එන්නත් ලබා දිය නො හැකි යයි ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. 

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී නව වෛරස ප්‍රභේද පැතිරීම වැලැක්වීමට අවශ්‍ය පියවර නො ගත්තේ මන්දැයි මාධ්‍යවේදිනියක් විමසූ විට වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය සුගත් සමරවීර මෙසේ කියා සිටියේ ය. “වත්මන් ව්‍යාප්තිය සිදු වන්නේ වෛරසයේ ජාත්‍යන්තර ස්වරූපය අනුවයි. ශ්‍රි ලංකාව තුල ඊට වෙනස් දෙයක් සිදු වී නෑ.”

සමරවීරගේ නරුම ප්‍රකාශයේ නිශ්චිත අර්ථයන් පවතී; මේ වන විට දෛනික මරන දහස් ගනන් වාර්තා වන ඉන්දියාවේ, බ්‍රසීලයේ සහ ඇමරිකාවේ ව්‍යසනකාරී තත්වයට ලංකාව ලඟා වෙමින් තිබෙන බව ඉන් පලමුවැන්නයි. එම රටවල පාලකයන්ගේ මිනීමරු පිලිවෙත අනුයමින්,  වසංගතය පාලනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් වන අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම රාජපක්ෂ ආන්ඩුව කිසිවිටෙකත් සිදු නොකරන බව දෙවැන්නයි. 

වසංගතයේ ව්‍යසනකාරී ස්වභාවය පැහැදිලි කරමින් එය මැඩපැවැත්වීමට ගතයුතු සංයුක්ත විද්‍යාත්මක ක්‍රියා මාර්ගයන් සහ ඒවා සාක්ෂාත් කලහැකි දේශපාලන ඉදිරි දර්ශනය ආරම්භයේ සිටම ඉදිරිපත් කරමින් ඒ සඳහා සටන් වැදුනේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), එහි ශඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යි.

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!” යන මැයෙන් 2020 මාර්තු 02 දා හජාජාක නිකුත් කල ප්‍රකාශයෙන්, "අර්බුදය සම්බන්ධයෙන් පාලක ප්‍රභූව හා ඔවුන් පාලනය කරන ආන්ඩුවල ප්‍රතිචාරය, අකාර්යක්ෂමතාව සාපරාධී මට්ටමේ උදාසීනත්වය සමඟ ඒකාබද්ධ”‌කෙරෙන බව පැහැදිලි කෙරින. 

“වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්‍රමන සීමාවන්ට ගරු නො කරන” බැවින් “කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැකි” බව අවධාරනය කල එම ප්‍රකාශය වසංගතයට “ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක්” අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

“ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් කරා පෙරට!” යන හිසින් 2021 අප්‍රේල් 24 දා හජාජාක නිකුත් කල මෑතම ප්‍රකාශයෙන් එම ප්‍රතිචාරය නැතහොත් ප්‍රහාරය පාදක වියයුතු දේශපාලන ඉදිරි දර්ශනය මෙසේ ඉදිරිපත් කරයි:

“ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.”

Loading