ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව දඩයමට ලක්වූ තම සහෝදර-සහෝදරියන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වෙයි

[මෙහි පලවන්නේ 2021 මැයි 03 දින Sri Lanka: Alton workers’ action committee defends victimised colleagues  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.] 

වතු කලමනාකාරීත්වයේ දඩයමට එරෙහි තම සටනට සහයෝගය දක්වන ලෙස, ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින යෝජනාවක්, ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඒසීඒඊඩබ්ලිව්) විසින් පසුගිය සතියේ සම්මත කලේ ය.

වතුකරයේ අප්කොට් නගරයට නුදුරු ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකු රැකියාවෙන් නෙරපා හැරීමට, හොරන වතු සමාගම මාර්තු 22දා පියවර ගත්තේ ය. ඔවුන් දොට්ට දමනු ලැබුවේ, වත්තේ කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට පහර දුන් බවට, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමිනි. 

කම්කරුවන් 24 දෙනෙකු හා තරුනයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන, එම චෝදනාවන්ට ම ලක්කොට ඇති අතර දැන් ඔවුහු නඩුවකට මුහුන දෙති. සියලු චුදිතයෝ තමන්ට එරෙහි චෝදනා එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. 

ඕල්ටන් වතුයාය (ඡායාරූපය සඳහා ස්තුතිය: ඕල්ටන් වත්තේ මුහුනුපොත් පිටුව)

අප්‍රේල් 28දා හැටන් මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවූ නඩුව ජූලි 14දා දක්වා කල්දමනු ලැබිනි. සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු තවත් “සැකකරුවන්” අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසාවියට කීවත්, ඒ පිලිබඳ කිසිදු විස්තරයක් සම්පාදනය කලේ නැත.

නඩුවට යටත් කෙරි ඇති සියලු වතු කම්කරුවන්ට නිදහස ලබා දී, ඔවුන්ට එරෙහි චෝදනා අහක දමන ලෙසත්, නෙරපන ලද සියලු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවන ලෙසත්, ක්‍රියාකාරී කමිටුවේ යෝජනාව ඉල්ලා සිටී.

වතු වෘත්තීය සමිතිවලට චෝදනා කරන යෝජනාව මෙසේ සඳහන් කරයි: “අපේ සහෝදර සහෝදරියන්ට එරෙහි බියකරු දඩයම සමාගම, පොලීසිය හා ඇමති ජීවන් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් ඒකාබද්ධ ව ගෙන යන කුමන්ත්‍රනයකි.”

ඕල්ටන් කම්කරුවන්ට එරෙහි ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කරන යෝජනාව, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය “පරාජය කල හැක්කේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගේ ද ප්‍රජාතන්ත්‍ර  අයිතීන් රැකීමට කැප වූ සියලු දෙනාගේ ද ස්වාධීන දේශපාලන අරගලයක් හරහා පමනක්” බව අවධාරනය කරයි.  “මෙම සහයෝගය බලමුලුගැන්වීමට අපේ ක්‍රියාකාරී කමිටුව සටන් වදී,” යයි යෝජනාව සඳහන් කරයි. 

සියලු චෝදනා ඉවත් කරන ලෙස, බොරු නඩු අවසන් කරන ලෙස හා ඕල්ටන් වත්තේ නෙරපන ලද සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස බලකිරීමට, පිකට් කිරීම්, විරෝධතා හා වැඩ වර්ජන ඇතුලු ක්‍රියාවන්ට එලඹෙන ලෙස හා ප්‍රකාශ නිකුත් කරන ලෙස, ක්‍රියාකාරී කමිටුව කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටි.

සමාගම දඩයම ඇවිලවූ ආකාරය, වෘත්තීය සමිති ඉටුකල භූමිකාව හා ආරක්ෂක උද්ඝෝෂනය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව පැවති සජීවී සාකච්ඡාවකින් අනතුරු ව, යෝජනාව ඒකමතික ව සම්මත කරන ලදී.

එක් කම්කරුවෙක් මෙසේ කීවේ ය: “මා ඇතුලු දහදෙනෙක් දින 21ක් රිමාන්ඩ් භාරයේ තබා, ඉන්පසු සමාගම කිසිදු විමර්ශනයකින් තොර ව අපි 38 දෙනෙකු රැකියාවලින් පහ කලා. සියලු වෘත්තීය සමිති අප සම්පූර්නයෙන් අත්හැර දමා තිබෙනවා, නඩුවල වියදම දැරීමට සිදු වී තිබෙන්නේ අපට ම යි.”

වතු කම්කරුවන්ට රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලමින් සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දා කැඳවූ එක් දින වැඩ වර්ජනයට සහභාගි වූ ඕල්ටන් කම්කරුවන්, කලමනාකාරීත්වය සිදුකරගෙන යන හිරිහැරවලට විරුද්ධ ව මාස දෙකකට ආසන්න කාලයක් ඔවුන්ගේ කාර්මික ක්‍රියාව දිගට ම කරගෙන ගිය බව ඔහු තවදුරටත් කීවේ ය. පොලීසිය වර්ජකයන් අත්අඩංගුවට ගත් විට, කම්කරුවන්ට කිසිදු සහයෝගයක් නොදුන්  සීඩබ්ලිව්සීය,  ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට උදව් කල බව ඔහු සඳහන් කලේ ය.

දුෂ්කර ආර්ථික ගැටලුවලට මුහුන දෙන නෙරපන ලද කම්කරුවන්ට, ඔවුන්ගේ පවුල්වලට එදිනෙදා ආහාර සම්පාදනය කිරීමවත් කල නො හැකි බව ඔහු කීවේ ය. “අපි අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතු නිසා අපේ රැකියා නැවත ලබාගැනීමට සටන් කල යුතු යි. මෙම කමිටුව වැදගත්, මම මේ යෝජනාවට සහයෝගය ලබා දෙනවා” යි ඔහු පැවසී ය.

කම්කරු කාන්තාවක් මෙසේ කීවා ය: “වත්තේ කලමනාකාරීත්වය අපට දැඩි දඬුවම් පමුනුවනවා, ආන්ඩුව අපට සලකන්නේ ‘ත්‍රස්තවාදීන්ට’ වගේ.

“මම සීඩබ්ලිව්සී සාමාජිකාවක්, ඒ නිසා නඩුවට උදව් කරන්න කියා මම සමිතියට කීවා. අපට ඇප අරන් දෙන්න මුදල් දුන් නිසා, තවත් උදවු දෙන්න බැහැ කියල සමිතියේ නිලධාරීන් කීවා. අනෙක් වතු සමිතිත් අපට උදව් කරන එක ප්‍රතික්ෂේප කරලයි තියෙන්නෙ. අපේ අරගලයට එකදිගට ම සහයෝගය දීල තියෙන්නෙ සමාජවාදී සමානතා පක්ෂය පමනයි” ඇය කීවා ය.

තවත් කම්කරුවෙක් මෙසේ කිවේ ය: “ලෝක සමාජවාදී වෙබ් අඩවිය අපේ අරගලය ගැන ලිපි ගනනාවක් පලකරලා තියෙනවා. වෙන කිසිදු මාධ්‍යයක් මේ වගේ සහයෝගයක් අපට දීල නැහැ. අපේ අරගලය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා පමනයි. අපේ අයිතීන් දිනාගන්න අපි ජාත්‍යන්තර කම්කරුවන්ගෙ සහයෝගය ලබාගත යුතු යි.”

සියලු වතු කම්කරුවන්ට එල්ල කරන තීව්‍රතර ප්‍රහාරයක කොටසක් වන ඕල්ටන් වත්තේ කම්කරු දඩයම, වැටුප්, ජීවන කොන්දේසි හා රැකියා මත ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය විසින් එල්ල කරන ප්‍රහාරයන් පිලිබඳ ව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් සියලු කොටස්වලට අනතුරු ඇඟවීමකි.

වතු කම්කරුවන් අතර ඉහල යන කෝපය සමහන් කිරීමේ උත්සාහයක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව පසුගිය මාසයේ දී වතු සමාගම්වලට නියෝග කලේ, දිනකට රුපියල් 900ක දීමනාවක් හා රුපියල් 100ක දීමනාවක් වසයෙන් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,000ක් ගෙවන ලෙස යි.

මෙම සොච්චම් වැඩිවීම “ජයග්‍රහනයක්” ලෙස වතු වෘත්තීය සමිති උදම් ඇනූව ද ඉහල යන උද්ධමනයේ හා අත්‍යවශ්‍ය භාන්ඩවල පිරිවැයේ තතු යටතේ, එය කිසිසේත් ප්‍රමානවත් නො වේ.

පහත් වැටුප් ගෙවන කම්කරුවන්ට රුපියල් 1,000ක් ගෙවීමට අකැමති ලාබ පිපාසිත වතු සමාගම්, ආන්ඩුවේ නිහඬ පිටුබලය හා වෘත්තීය සමිතිවල ක්‍රියාශීලී සහයෝගය සමගින් ඉහල වැඩබර පටවමින් සිටිති.

කලමනාකාරීත්වයේ ඵලදායිතා විධානයන්ට එරෙහි ව විරෝධය පලකිරීමක් ලෙස වතු කම්කරුවන් දහස් ගනනක් මෑත දිනවල කාර්මික ක්‍රියාවන්ට එලඹී ඇත. අප්කොට් සිට කිලෝමීටර 36ක් දුරින් පිහිටි ග්ලෙනුජී වත්තේ කම්කරුවෝ, දිනකට තේ දලු කිලෝ 20ක් කඩන ලෙසට කලමනාකාරීත්වය කල නියෝගයට විරෝධය පා අප්‍රේල් 23දා වැඩ වර්ජනය කල හ. 

සතියකට දවස් හයක් කම්කරුවන් දිනකට තේ කිලෝ 20ක් ද ඉරිදාට කිලෝ 50ක් ද කැඩිය යුතු යයි කලමනාකරුවන් නියෝග කල විට, එදින ම තලවාකැලේ ට්‍රවුප් හා කොරින් වතුවල කම්කරුවන් 300ට අධික පිරිසක් පැය තුනක විරෝධතාවයක් පැවැත්වූහ. බොගවන්තලාවේ ලයනෝන් වත්තේ කම්කරුවෝ ද ඉහල දමන ලද දෛනික වැඩ ඉලක්කවලට එරෙහිව කර්මාන්තශාලාව ඉදිරිපිට විරෝධතා පැවැත්වූ හ.

නුවරඑලියේ රාගල මාකුඩුගල කිලන්දාවනේ වත්තේ කම්කරුවෝ, අප්‍රේල් 23දා විරෝධතා පැවැත්වූ හ. වත්තේ තේ පඳුරු නඩත්තු කිරීමට කලමනාකාරීත්වය අසමත් වීම අරබයා, ඔවුහු මාස දෙකක් පුරා වර්ජනයේ යෙදී ඇත. සමාගම තේ වැවීම අඩු කරන නිසා තමන්ට රැකියා අහිමි වනු ඇතැයි ඔවුහු බිය වෙති.

වසර හයකට පෙර 2015 දී රුපියල් 1,000ක මූලික දෛනික වැටුපක් පලමුව ඉල්ලා සිටි වතු කම්කරුවෝ, එම ඉල්ලීම දිනාගැනීමට වැඩ වර්ජන හා විරෝධතා මාලාවක ම නිරත වූහ. සීඩබ්ලිව්සී සහ ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය හා කඳුරට ජනතා පෙරමුන ඇතුලු අනෙකුත් වතු වෘත්තීය සමිති විසින් මෙම අරගල පාවාදෙනු ලැබී ය.

දඩයමට ලක්වූ ඕල්ටන් වත්තේ කම්කරුවන්  ආරක්ෂා කිරීම පිනිස බොහෝ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අමතා ඇති අතර, ඔවුහු කලමනාකාරීත්වයේ හා පොලීසියේ ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දැක්කෝ ය.

ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ සේවය කල විශ්‍රාමික කම්කරුවෙක් වන නෙල්සන් මෙසේ කීවේ ය: “වතු කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාර නතර කල යුතු යි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සටන, කම්කරුවන් අතීත අරගල හරහා දිනාගත් අයිතියක්. ඕල්ටන් වත්තේ ප්‍රහාරය අනෙක් සෑම කම්කරුවෙකුට ම තර්ජනයක්. මෙම අරගලය වෘත්තීය සමිතියේ හස්තයෙන් නිදහස් කරගැනීම වැදගත්. කම්කරුවන්ගේ ස්වාධීන සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම වැදගත් ආරම්භකත්වයක්.”

බන්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක 26-හැවිරිදි අනධ්‍යයන කම්කරුවෙක් මෙසේ කීවේ ය: “ඕල්ටන් කම්කරුවන් වගේ ම පූනාගල වත්තේ කම්කරුවන් ද ඉහල වැටුප් ඉල්ලා යලි යලිත් අරගල කර තිබෙනවා. මේ කම්කරුවන්ට සමහර වෙලාවට සතියට ම හම්බ වෙන්නෙ වැඩ දින 3-4ක් විතරයි. කලමනාකාරීත්වය පනවන තේ දලු ඉලක්ක කරා ලඟා වීමට කම්කරුවන්ට බැරි වුනොත් සමහර දවස්වලට පඩිය බාගෙකින් කපනවා.

“සීඩබ්ලිව්සී ඇතුලු සියලු වෘත්තීය සමිති, කම්කරුවන් මෙම ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීමෙන් වලක්වන බාධක. කම්කරුවන්ට අයිතීන් දිනාගන්න ඕන අලුත් සංවිධාන ඕන. ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටුව වගේ ක්‍රියාකාරී කමිටුවක් මෙහෙත් හදන්න ඕන.”

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායිහි තොරතුරු තාක්ෂන කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය: “මේ තත්ත්වය නිර්මානය කරල තියෙන්නෙ කලමනාකාරීත්වය කියල මට තේරෙනවා, පැහැදිලිව ම මේක සටන්කාමී කම්කරුවන් නෙරපන්න ගොතපු බොරු නඩුවක්. කිසිදු විමර්ශනයකින් තොර ව ඕල්ටන් කම්කරුවන් නෙරපුවා කියන එකෙන් මේක සනාථ වෙනවා.”

හර්යානා මෝටර් රථ කම්කරුවන් 2012 වසරේ දී නව වෘත්තීය සමිතියක් බිහිකිරීමෙන් පසු, මරුති-සුසුකි සමාගම විසින් ඔවුන්ට එරෙහි ව දියත් කල ම්ලේච්ඡ දඩයම හා බොරු නඩු ඇටවීම ඔහු සිහිපත් කලේ ය. කම්කරුවන් 31ක් සිරගෙයි දමා කම්කරුවන් 13ක් ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට සමාගම, ආන්ඩුව හා පොලීසිය ඒකාබද්ධ කුමන්ත්‍රනයක් සිදුකලේ ය. 

කරුනාකර ඕල්ටන් කම්කරුවන්ට සහයෝගය පලකරන ප්‍රකාශ wswscmb@sltnet.lk යන ලිපිනයට එවන්න.

Loading