කෝවිඩ්-19 රෝගීන්ගෙන් රෝහල් පිරී යද්දී රට අගුලු නොදැමීමේ සාපරාධී පිලිවෙත ආන්ඩුව දිගටම ගෙනයයි

මේ වන විට ලංකාවේ රෝහල් හා දැඩි සත්කාර ඒකක කෝවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ගොස්, රෝගීන් නිවෙස් තුල මරනයට පත් වන තත්වයක් වාර්තා වෙමින් පවතී. ඒ තත්වය තුල පවා රාජපක්ෂ ආන්ඩුව මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනාගාර විවෘතව තබමින් කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩෙහි යොදවා තිබේ.  

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,914 තරම් ඉහල අගයක් ගත්තේ ය. ඉන් රෝගීන් 1,189 ක්ම හමු වූයේ කර්මාන්ත බහුල බස්නාහිර පලාතෙනි. අඛන්ඩව 08 වන දිනටත් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇත. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15.728 ක් වන අතර, ඊයේ සිදුවූ මරන 11 ත් සමග නිල කෝවිඩ් මරන සංඛ්‍යාව 720 ක් දක්වා ඉහල නැග පවතී. 

“පාලනයකින් තොරව රෝගීන් මේ ආකාරයට වැඩි වන විට සමාජයේ සැබෑ ලෙස සිටින රෝගීන් සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාව මෙන් දෙගුනයක් හෝ තෙගුනයක් වනවා” යයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුනරත්න ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලා ය. 

මධ්‍යම පලාතේ කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් පහේ ඇඳන් 1,200 ම මේ වන විට පිරී ඇතැයි මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය ප්‍රකාශ කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පලාතේ සියලු කොවිඩ් රෝහල් ද අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ද රෝගීන්ගෙන් පිරී ගොස් ඇත. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කලමනාකරන ජාතික ඒකකයේ සම්බන්ධීකාරක එච්.ඩී.බී. හේරත්ට අනුව රජයේ රෝහල්වල පවත්නා දැඩි සත්කාර ඒකක 15 සතුව ඇඳන් පවතින්නේ 6,00 ක් පමන සංඛ්‍යාවකි. ඉන් 1,46 ක් මේ වන විට කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ද ඉතිරි සංඛ්‍යාව සෙසු රෝගීන්ට ද වෙන් කර ඇත. මේ සියලූම දැඩි සත්කාර ඇඳන් මේ වන විට පිරී ගොස් තිබේ. පසුගිය සතියේ මාවනැල්ල රෝහලේ දී දැඩි සත්කාර පහසුකම් නො මැතිව රෝගියෙකු මරනයට පත් විය.  

එක් දැඩි සත්කාර ඒකක ඇඳක් නිසි ආකාරව පවත්වා ගැනීම සඳහා අඩුම වශයෙන් පුහුනු හෙදියන් 12 ක් වත් සිටිය යුතු ය. එවැනි පුහුනුවක් එකවර ලබා දීමේ පහසුකම් නො මැති නිසා පුහුනව ලද විශ්‍රාමික හෙදියන් හා වෙනත් වාට්ටුවලට අනුයුක්තව සිටින හෙදියන් දැඩි සත්කාර ඒකකවලට යොදා ගැනීමට කටයුතු කරන බව හේරත් ප්‍රකාශ කරයි. 

එදා වේල පිරිමසා ගැනීමේ මෙවැනි ක්‍රියාමාර්ගවලට තල්ලුවීමෙන් යලි යලිත් ඉස්මතු කෙරෙන්නේ අඛන්ඩ ප්‍රතිපාදන කප්පාදුවකට ලක් කොට ඇති සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ඛාදනයයි. අවිවේකීව හා නිසි පෞද්ගලික ආරක්ෂන ඇඳුම් කට්ටල (පීපීඊ) නො මැතිව සේවයේ නිරත සෞඛ්‍ය කාර්යය මන්ඩල ද රෝගයට ගොදුරු වී සිටින අතර එහි ප්‍රතිවිපාක අතිශය බරපතල වෙයි.     

රෝහල් සහ දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යෑම හේතුවෙන් රෝහලක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සොය ගත නො හැකි ව තම නිවෙස්වල රැඳී සිටින රෝගීන් පිලිබඳ ප්‍රවෘත්ති දිනපතා වාර්තා වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් හතලිස් දෙනෙකු නිවෙස්වල පසුවන බව කෑගල්ල සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ලැබී ඇති දත්තවලට අනුව රට පුරා පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මන්ඩල සේවකයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී තිබේ. ආසාදිතයන් වාර්තාවීම නිසා රට පුරා ප්‍රධාන තැපැල් කාර්යාල 04 ක් සහ උප තැපැල් කාර්යාල 22 ක්, බැංකු ශාඛා 25 ක් පමන ද වසා දමා ඇත. 

බ්‍රිතාන්‍යයෙන් හමු වූ සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බී 117 නව වෛරස ප්‍රභේදය මාර්තු මාසයේ අග ලංකාවෙන් සොයා ගැනුනු අතර මේ වන විට එම වෛරසය තරුන ජනයාට ද බරපතල රෝග ලක්ෂන පෙන්නුම් කිරීම රෝහල් සහ දැඩි සත්කාර ඒකක පිරී යෑමට හේතු වී ඇති බව වෛද්‍ය අංශ කියා සිටී. 

ආන්ඩුව පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේ කිසිදු සංචරන සීමාවක් පැනවීම ප්‍රතික්ෂේප කලේ මාර්තු මස මාසයේ අග පටන් නව වෛරස ප්‍රභේද රට තුලට ඇතුලු වී ඇති බවට ආචාර්ය ජීවන්දර ඇතුලු වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබිය දී ය.

වෛද්‍ය විශේෂඥයන්ට අනුව රෝගීන්ගේ දිවි බේරා ගැනීම සහ වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා පහත සඳහන් පියවර අනිවාර්ය වෙයි:

*අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමෙන අයුරින් සමස්ත රට අගුලු දැමීම

*වසා දැමෙන කම්හල්වල සේවකයන්ට පූර්න වැටුප් සහ අගුලු දැමීමෙන් ආදායම් අහිමිවන සියල්ලන්ට පූර්න වන්දි ලබාදීම

*රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂන දැවැන්ත පරිමානව ඉහල දැමීම 

*දැඩි සත්කාර ඇඳන්, සෞඛ්‍ය කාර්ය මන්ඩලයන් ඇතුලු රෝහල් ධාරිතාව වහා පුලුල් කිරීම 

*සියලු රටවැසියන්ට එන්නත ලබාදීම සඳහා ඉහලම ආකාරයෙන් සංවිධිත කාර්යක්ෂම එන්නත්කරනයක් වහාම ක්‍රියාත්මක කිරීම 

රාජපක්ෂ ආන්ඩුව මෙම පියවර සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිර්මානය කෙරී ඇති අර්බූදය මගින් පෙන්නුම් කරන්නේ ලංකාව ද, දිනකට රෝගීන් දහස් ගනක් මිය යන ඉන්දියාවේ, බ්‍රසීලයේ පවතින ව්‍යසනකාරී තත්වයකට වේගයෙන් රූටා යමින් පවතින බවයි. 

අප්‍රේල් 24 දා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රාජපක්ෂ නරුම ලෙස කියා සිටියේ, “කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරන නමුත් දිගු කාලීනව එය ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක්” බැවින් රට අගුලු දැමීමක් සඳහා නොයන බවයි. 

රාජපක්ෂ අනුයමින්, අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් පසුගිය සතියේ ප්‍රකාශ කලේ ඩොලර් බිලියන 12 ක අපනයන ඉලක්කයක් හඹායන තත්වයේ දී “පවතින කෝවිඩ් වසංගතය හමුවේ කවර අභියෝගය පැමිනියත් අපනයන කර්මාන්ත බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට පෞද්ගලික අංශයට (මහ ව්‍යාපාරිකයන්ට) තමා උපදෙස් දුන් බව”යි. 

ඊයේ පාර්ලිමේන්තු විවාදයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පූර්න අගුලු දැමීමක් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ “එන්නත් ගෙන්වීමටත්, දිලිඳු ජනතාවගේ ජන ජීවිත කඩා නො වැටීමටත් ආර්ථිකය විවෘතව තබා ගත යුතු” බවයි. ජනාධිපති රාජපක්ෂ තම නිවේදනයේ පැවසූ, “රෝගය මැඩ පැවැත්වීමේ එකම ක්‍රමය වන්නේ එන්නත්කරනය” යන්න ඇය ප්‍රතිරාවය කලා ය. රාජපක්ෂ ඇතුලු ආන්ඩුවට විපරීතව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විශේෂඥයන් දිගින් දිගටම කියා සිටින්නේ එන්නත්කරනයට සමගාමීව ඉහත දක්වා ඇති අනිවාර්ය පියවර ක්‍රියාවට නැංවියයුතු බවයි.

කෙසේ නමුත්, එන්නත්කරනය සම්බන්ධයෙන් රාජපක්ෂගේ කියාපෑම්වල වංචනිකත්වය, එන්නතේ පලමු මාත්‍රාව ලබාදුන් දස ලක්ෂයකට අඩු සංඛ්‍යාවට පවා දෙවන මාත්‍රාව ලබා දීමට කවර හෝ වැඩපිලිවෙලක් නොමැතිකමෙන් ප්‍රකාශයට පත්වෙයි. 

රට අගුලු නොදමන බවට රාජපක්ෂ ගෙන ඇති සාපරාධී තීරනයෙන් ගැම්මගත් ගමනාගමන ඇමති ගාමිනී ලොකුගේ, කොරෝනා රෝගීන් බහුලව හඳුනා ගැනුනු පිලියන්දල පොලිස්බල ප්‍රදේශය මැයි 01 දා පෙරවරු 6.00 සිට අගුලු දැමීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුන් නියෝගය, තම දේශපාලන අධිකාරිත්වය යොදා එදින පස්වරු 5.00 ට ඉවත් කලේය. 

මෙම නීති විරෝධී සහ සාපරාධී ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ප්‍රදේශයේ කැස්බෑව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මාධ්‍යයට කියා සිටියේ, රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක් ගිලන්රථ නොමැතිකමින් ප්‍රදේශයේ නිවෙස්වල එතෙකුදු රැඳී සිටිය බැවින් සහ නව ආසාදිතයන් සොයා ගැනෙමින් පැවති බැවින් තමා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කල ඉල්ලීමක් මත අගුලු දැමීම සිදු කලද, එය ඉවත් කෙරී ඇත්තේ තම අනුදැනීමකින් තොරව බවයි. 

මැයි 03 දා, හිරු රූපවාහිනී නාලිකාවේ “සලකුන” වැඩසටහනට සහභාගිවෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුනවර්ධන පැවසුවේ, අගුලු දැමීමේ නියෝගය තමා විසින් පැනවුවද එය ඉවත් කලේ තමා විසින් නොවන බවයි.  මහජනතාවගේ ආර්ථික කටයුතු සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් එවැන්නකට මැදිහත්වීමට තමාට අයිතිය ඇතැයි ලොකුගේ මාධ්‍යයට පැවසීය. 

අගුලු දැමීම් සිදු කල නො හැක්කේ “සාමාන්‍ය මහජනයාගේ ආර්ථික තත්වය” පිලිබඳ උත්සුකයකින් යනුවෙන් රාජපක්ෂ සහ ආන්ඩුව ජප කරන ප්‍රලාපය මහජනයා මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු ය. 

ඉන්දියාවේ මෝදී ආන්ඩුව, ඇමරිකාවේ ජෝ බයිඩ්න්, බ්‍රිසීලයේ බොල්සෙනාරෝ වැනි ලොව පුරා ධනපති ආන්ඩු මෙන්ම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ උත්සුක වන්නේ කම්කරු ජනයාගේ ජීවිත දහස් ගනනින් බිලි දී හෝ මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩවව ඉදිරියට ගෙන යෑම පිලිබඳවයි. 

මීට විපරීතව, තම ජීවිත රැක ගැනීම සඳහා අනිවාර්ය වන, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමෙන පූර්න පරිමාන අගුලු දැමීමකට වහා යායුතුය යන අවබෝධය කම්කරු-පීඩිත මහජනතාව අතර ජාත්‍යන්තරවත් ජාතිකවත් වැඩෙමින් පවතී. 

එය ප්‍රකාශයට පත් කරමින්, කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, විලත්තව පිහිටි බෙන්ජි ඇඟලුම් කම්හල වසා දමන ලෙස ඉල්ලා, අප්‍රේල් 26 දා, ප්‍රදේශවාසීන් කම්හල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර කම්හලේ කම්කරුවෝ එයට සහාය දැක්වූහ. කම්හල තුල කෝවිඩ්-19 ආසාදිත රෝගීන් දිනෙන් දින වාර්තා වූ අතර, පාලකයෝ එය නොතකා කම්හලේ නිෂ්පාදන දිගටම පවත්වාගෙන ගියහ. 

පසුගිය වසරේ ඔක්තෝබරයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් වසංගතය පුපුරා යාමෙන් පසු ඇඟලුම් කම්හල් වසංගතයේ තෝතැනි බව වඩවඩාත් තහවුරු වෙමින් පවතී. දිවුලපිටිය, දියගම්පල ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 80 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකර තිබුනි.

මෙම තතු තුල වඩවඩාත් තහවුරු වන්නේ, වසංගතය පිලිබඳ තීන්දු තීරන ගැනීම තවදුරටත් ධනපති පාලකයන් අත තැබිය නොහැකි බවයි. කම්කරු පන්තිය විසින් වසංගතයට එරෙහි සටන තම අතට ගත යුතුය. ගෝලීය වසංගතයක් වන මෙය ජාතික සීමාව තුල කිසිසේත් ජයගත නොහැක්කකි. ලෝක පරිමාන ව්‍යසනයට වගකිව යුතු ධනපති පාලක පන්තිය විසින් පාලනය කරනු ලබන ආන්ඩුවල මිනීමරු පිලිවෙත්වලට එරෙහි ව, කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරයක් සූදානම් කලයුතු යැයි සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කියා සිටින්නේ එබැවිනි.  

හජාජාක, 2021 අප්‍රේල් 24 දා නිකුත් කල ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි, 

" ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.

Loading