ඉදිරිදර්ශන

2021 මැයි දිනය හා ලෝක ගෝලීය පන්ති අරගලය

[මෙහි පලවන්නේ 2021 මැයි 03 දින May Day 2021 and the global class struggle  ඉංග්‍රීසි භාෂාවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ  පලවූ ලිපියේ පරිවර්තනයකි.] 

මෙම මැයි 1 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවැත්වූ ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද සමාරම්භක වාර්තාව මෙහි පල කරමු. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති වන නෝර්ත්, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපතිවරයා ද වෙයි.     

මෙම මැයි දින රැලිය ආරම්භ කරමින්, මෙම ඓතිහාසික නිවාඩු දිනයේ, කම්කරු පන්තියේ ලෝක ගෝලීය සහයෝගීතාවයේ තහවුරු කිරීමක් වන මේ රැලියට ලොව සෑම අතින්ම සහභාගී වන ප්‍රේක්ෂකයන්ට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සුබපැතුම් ඉදිරිපත් කිරීමට ලැබීම ගෞරවයක් ලෙස සලකමි.

වර්තමානයේ පවතින තතු යටතේ 2021 මැයි දින සැමරුම “උත්සවයක්” ලෙස සැලකිය හැකි නොවේ. අද දවස දක්වාමත් දිගින් දිගටම පවතින්නා වූ, පසුගිය වසරේ දුක් පීඩාවන්හි පරිමානය අතිමහත් එකකි. වඩාත්ම බලගතු ධනේශ්වර තන්ත්‍රයන් කොවිඩ්-19 වසංගතයට දැක්වූ අපරාධකාරී ප්‍රතිචාරය වෙනුවෙන් මානවයා බිහිසුනු පිරිවැයක් දරමින් සිටී.    

ලෝක ගෝලීය වසංගතයට විද්‍යාත්මකව නිර්දේශිත හා ජාත්‍යන්තරව සමායෝජිත ප්‍රතිචාරයක් දැක්වීම අවහිර කර දමනු ලැබ ඇත්තේ, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ භූ දේශපාලන අරමුනුවලට ප්‍රමුඛස්ථානය ලබාදීම, නිර්දය ලෙස සංස්ථානික ලාභ හඹා යාම සහ අශික්ෂිත මට්ටම්වල ඓශ්චර්යයන් කෙරේ ධනපති කතිපයාධිකාරීන්ගේ තෘප්ත කල නොහෙන කෑදරකම විසිනි.

ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද සමාරම්භක වාර්තාව

අතිමහත් සංඛ්‍යාවක් මිනිස් ජීවිත විනාශ වීම මඟින්, ආන්ඩු අනුගමනය කල සමාජ විරෝධී පිලිවෙත් හෙලිදරව් වී ඇත. 

මින් හරියටම එක වසරකට පෙර, 2020 මැයි 1 වන දිනයේ, ලෝක ගෝලීය වසංගතයේ මරන සංඛ්‍යාව 240,000 ක් කරා ලඟා වී තිබින. අද දින වන විට, එම මරන සංඛ්‍යාව 3,200,000 ක් දක්වාම පාහේ - එනම්, දහතුන් ගුනයකට ද වැඩි සංඛ්‍යාවකට නැඟී ඇත.     

මෙම වසංගතයට ගොදුරු වූ ඉහත මුලු ගනනින් 1,015,000 ක් දෙනා යුරෝපයෙනි. උතුරු ඇමරිකාවේ 861,000 ක් දෙනෙකු මිය ගොස් ඇත. දකුනු ඇමරිකාවේ මරන සංඛ්‍යාව 670,000 කි. ආසියාවේ ජීවිත 520,000 ක්  නැති වී ගොස් ය. අප්‍රිකාවේ ඊට ගොදුරු වූවන්ගේ නිල සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 122,000 කි. 

මරන සංඛ්‍යාවෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ලෝකයේ ධනවත්ම හා බලවත්ම රට වූ ද, ප්‍රකෝටිපතියන් වැඩිම ගනනාවකගේ වාසස්ථානය වූ ද එක්සත් ජනපදයයි. වසරකට ඉහත අද වැනි දිනයේ වසංගතය හමුවේ දිවි අහිමි වූ සංඛ්‍යාව 65,000 ක් ව පැවතියේය. මාස 12 ක කාලයක් තුල වසංගතය හමුවේ මිය ගිය සංඛ්‍යාව 590,000 කරා එලැඹී ඇත. 

මෙම සංඛ්‍යාව දැනටමත්, වසර 123 කට පෙර පැන නැඟුනු ස්පාඤ්ඤ - ඇමරිකානු යුද්ධයේ සිට මේ දක්වා එක්සත් ජනපදය විසින් දියත් කෙරුනු සියලු යුද්ධවල දී මිය ගිය එජ සෙබලුන්ගේ මුලු එකතුව ඉක්මවා යයි. ඉදින් ඊට පෙර නොවේ නම්, 2021 ශරත් ඍතුවේ මැද භාගය වන විට වසංගත මරන සංඛ්‍යාව, එක්සත් ජනපදයේ වඩාත්ම රුධිරයෙන් නැහැවුනු ගැටුම වූ 1861 - 65 සිව් වස් සිවිල් යුද්ධයේ දී අහිමි වූ ජීවිත සංඛ්‍යාව ඉක්මවා යනු ඇත.  

මරන සංඛ්‍යාව පිලිබඳ දත්ත සම්බන්ධයෙන් රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථාන මඟින් සිදු කරන ලද විශ්ලේෂනයකට අනුව, සාමාන්‍ය වර්ෂයක දී මියයතැයි සිතිය හැකි සංඛ්‍යාවට වඩා 574,000 කින් වැඩි ඇමරිකානුවන් සංඛ්‍යාවක් 2020 මාර්තුවේ සිට 2021 පෙබරවාරිය දක්වා මිය ගොස් ඇත.    

ඇමරිකානු ඛේදාන්තය - කලාපීය සංඛ්‍යා ලේඛනවලින් දැනටමත් පෙන්වා දී ඇති පරිදි - ලෝක ගෝලීය ව්‍යසනයක කොටසකි. බ්‍රසීලයේ මරන සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇත. මෙක්සිකෝවේ මිය ගිය ගනන 220,000 දක්වා එලැඹෙමින් පවතී. බ්‍රිතාන්‍යයේ 127,000 ක් ජනයා මිය ගොස්ය. රුසියාවේ දී වසංගතය ජීවිත 110,000 ක්  බිලි ගත්තේය. ප්‍රංශයේ දී එය 105,000 කි; ජර්මනියේ දී 85,000 කි; ස්පාඤ්ඤයේ දී 80,000 කි. තුර්කියේ දී 40,000 කි.

අප හමුවන මේ මොහොතේ ලෝකයේ අවධානය කේන්ද්‍රගත වී ඇත්තේ, බිලි ගත් සංඛ්‍යාව 210,000 ඉක්මවා යමින් ද, දෛනිකව එම සංඛ්‍යාව දහස් ගනනින් ඉහල නංවමින් ද ඉන්දියාව තුල වසංගතය ඇතිකරමින් තිබෙන භයංකාර බලපෑම කෙරේය. දිග හැරෙමින් පවත්නා මේ ඛේදාන්තය විසින් අවධාරනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සැබැවින්ම ලෝක ගෝලීය වූ අර්බුදයකට, ජාතික විසඳුම් නොමැති බවයි.  

කොවිඩ් 19 වෛරසය ඒ හෝ මේ රටේ හෝ කලාපයේ අනාරක්ෂිත ජනයා අතර පැතිර යමින් ද, එමඟින් ප්‍රතිගුනනය වෙමින් හා විපර්යාසයට භාජනය වෙමින් ද, පවතිනා තාක් කල් එය මිනිස් ජීවිතවලින් අතිබිහිසුනු වන්දියක් ලබා ගැනීමට නියමිතය. ඉදිරියට එලැඹෙන මාසවල දී දිලිඳුතම රටවලට අර්බුදයේ ප්‍රධාන ප්‍රහාරයට මුහුන දීමට සිදු වනු ඇත. හාවර්ඩ් කායික රෝග විශේෂඥයෙකු පසුගිය සිකුරාදා Financial Times වෙත පල කල පරිදි, වසංගතය අප්‍රිකානු උප සහරාව තුල විදාරනය වීම දැන් හුදු කාලය පිලිබඳ ප්‍රශ්නයකි.       

තව ද, ධනවත් රටවල් වෛරසය විසින් ඇති කරනු ලබන විනාශයෙන් ආරක්ෂා වීමට එන්නත්කරනය මඟින් අවස්ථාව සැලසෙතැයි යන සැනසිලි බස් තිබියදීම, එකී රටවලට අත්‍යවශ්‍ය ප්‍රමානයෙන් එන්නත් සැපයුම නොලැබෙන අතර, (එකී සැනසිලි බස් මඟින්) තෘප්තියට හා සෑහීමට පත්වීමේ අනාරක්ෂ්‍යභාවය හා භයානකකම පිලිබඳව වසංගත විද්‍යාඥයෝ අනතුරු හඟවති.     

සත්‍යය වන්නේ, වසංගතය යනු හුදෙක් රැස් බාල වී මැකී යාමට නියමිත වූත්, ඉනික්බිතිව පූර්ව වසංගත යථා තත්ත්වය කරා පෙරලා පැමිනිය හැකි වූත් අනිත්‍ය සිදුවීමක් නොවන බවයි. අර්බුදයේ කෙලවර කරා එලැඹීමට බෙහෙවින් පටහැනි ලෙස, වසංගතය සමස්ත ලෝක ධනේශ්වර පර්යාය ප්‍රගාඪ ආකාරයෙන් අස්ථායී කරමින් පවතී. ලෝකය හුදෙක් අර්බුදයේ අවසානය කරා, හෝ අවසානයේ ආරම්භය කරා හෝ පවා, නොඑලැඹෙනු පමනක් නොවේ; ආරම්භයේ දී වෛද්‍ය විද්‍යාත්මක අර්බුදයක් ලෙස ආරම්භ වූ දෙය, දැන් සමස්ත ලෝක ධනේශ්වර පර්යාය අලලා ගත් මූලික ආර්ථික, සමාජයීය හා දේශපාලන අර්බුදයක් බවට ස්ථානාන්තරනය වී ඇත.        

වසංගතය පලමුවෙනි ලෝක යුද්ධය සමඟ සංසන්දනය කල හැකි ඓතිහාසික “ප්‍රේරක සංසිද්ධියක්” ලෙස පසුගිය වසරේ එහි මූලාරම්භයේ දීම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය අර්ථ කථනය කලේය. බෝල්කන්හි සිදු වූ සුලු දේශපාලන සිදුවීමකට නොවැඩි යමක් ලෙස මුලදී පෙනෙන්නට තිබූ සිද්ධියකින් ලැබූ ගිනි පුපුරෙන් හදිසියේම පුපුරා ගිය යුද්ධය, 1914 අගෝස්තුවේ දී හුදෙකලා මාක්ස්වාදී විප්ලවවාදී ජාත්‍යන්තරවාදීන් අතලොස්සක් හැරෙන්නට ඉතා සුලු පිරිසකට පමනක් සිදු විය හැක්කක් බවට සිතා ගත හැකිව තුබූ පරිමානයකට වර්ධනය විය.

යුද්ධය මුලින්ම ඇවිල ගිය අවස්ථාවේ යුරෝපයේ තරුනයෝ, සිය පවුල් සමඟ ඒ වසරේ නත්තල සැමරීමට කල් ඇතිව තමන් පෙරලා නිවෙස් කරා එනු ඇති බවට වූ නොමඳ ආත්ම විශ්වාසයෙන් යුතුව, පුලුල්ව පැතිර ගිය විජයෝත්සව මධ්‍යයේ සටනට නික්ම ගියෝය. එය සිදු නොවීය. 1914 අගෝස්තුවේ උතුරා යන උද්‍යෝගයෙන් යුතු වූ එකී ලක්ෂ සංඛ්‍යාත තරුනයෝ එම දෙසැම්බරය වන විට මලවුන් අතරට එක්ව සිටියෝය. යුද්ධය, පෙරදිග හා අපරදිග පෙරමුනු දෙකෙහිම යුරෝපයේ රන බිම් දශ ලක්ෂ සංඛ්‍යාත සෙබලුන්ගේ ලෙයින් පොඟවමින් 1915 කරා ද, 1916 කරා ද, 1917 කරා ද දිගටම, දිගටම ඇදී ගියේය.       

යුද්ධය දිග හැරුනේ භයංකාර ගම්‍යතා බලයකිනි. මරනය සාමාන්‍යයීකරනය වූයේය. ආන්ඩු ද, හමුදා අන දෙන නිලධාරීහු ද, මනුෂ්‍යයන් “මනුෂ්‍ය ද්‍රව්‍ය” ලෙස, ගැටුමේ තර්කනය විසින් ඉල්ලා සිටිනු ලබන පරිදි වැය කිරීමට නියමිත වියුක්ත “දේ” ලෙස හඳුන්වා දීමට පටන් ගත්හ. යුද්ධයේ බිහිසුනු බව කෙතෙක් වුව, එය අවසන් කල හැකිව නොතිබින. මක්නිසාදයත්, එකිනෙක සටන් වැදී සිටි ධනේශ්වර බලවතුන්ගේ පාලක පන්තිවල භූ දේශපාලන සහ ආර්ථික උත්සුකයන්, සාකච්ඡා මඟින් ඇති කර ගන්නා සම්මුතියකට අවකාශ සැලසුවේ නැත.   

යුද්ධය අවසන්වීම සඳහා, සමාජය මෙහෙයවීම ධනේශ්වර පාලකයන් අතින් ඉවත් කල යුතුව තිබිනි. එනම්, එදා පැවැති ආන්ඩු විසින් අන දෙනු ලද්දා වූ හමුදාවලට වඩා විශාලතර වූ   බලවේගයක් බලමුලු ගන්වා ගත යුතුව තිබින. එම බලවේගය වූයේ, උනුන් යුද වදිමින් සිටි සියලු රටවල කම්කරු පන්තියයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය, විප්ලවවාදී සමාජවාදී වැඩ පිලිවෙලකින් සන්නද්ධව යුද්ධයට එරෙහිව යුද වැදිය යුතුව තිබින. ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ ඉදිරි දර්ශනය වූයේ එයයි. 1915 සැප්තැම්බරයේ යුද විරෝධී සමාජවාදීහු කුඩා කන්ඩායමක් ස්විට්සර්ලන්තයේ සිමර්වෝල්ඩ්හි දී හමු වූහ. සිව් දින සමුලුවේ සමාප්තියේ දී කම්කරු පන්තිය අමතා ප්‍රකාශයක් ලිවීමට ට්‍රොට්ස්කි තෝරා ගැනින.    

මෙම අසමසම දේශපාලන සුධීමතා සහ විප්ලවවාදී සටන්කරුවා යුරෝපයේ කම්කරුවන් කැඳවීමට උචිත වචන සොයා ගත්තේය. 

යුද්ධය වසරකට වඩා පැවැතී ඇත. දශ ලක්ෂ ගනන් මල සිරුරු යුද බිම්වල වැතිරී ඇත; දශ ලක්ෂ ගනන් මනුෂ්‍යයෝ සිය ජීවිත කාලයටම අංගවිකල වී සිටිති. යුරෝපය අතිවිශාල මිනිස් ඝාතනාගාරයක් බවට පත් වී ඇත. පරම්පරා ගනනාවක ශ්‍රමයේ ඵල වන සියලු විද්‍යාවන් විනාශය ගෙන ඒම සඳහා ම කැප කෙරී ඇත. වඩාත්ම වනචර ම්ලේච්ඡත්වය වන්නේ, ඉහත දී මානව වර්ගයාගේ අභිමානය ලෙස පැවැති සියල්ල වනසා ලීමේ එම විනාශයේ විජයග්‍රහනය වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වීමයි.        

යුද්ධය පැතිර යාමේ ආසන්නතම වගකීම පිලිබඳ සත්‍යය කුමක් හෝ වේවා, එක් කරුනක් නම් නිසැකය: මෙම අවුල් ජාලය ඇති කොට තිබෙන යුද්ධය වූ කලී, අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයයි; සෑම ජාතියකම ධනපති පන්තීන් මිනිස් ශ්‍රමය හා ස්වභාව ධර්මයේ ධන නිධාන සූරාකෑම මඟින් ලාභය සඳහා වූ සිය කෑදරකම තෘප්ත කිරීමට දරනා ප්‍රයත්නයේ ප්‍රතිඵලයයි. ...   

යුද්ධය දිගටම සිදු වෙද්දී, එහි සැබෑ ගාමක බලයන් ඒවායේ සමස්ත නීචකමින් යුතුව පැහැදිලිව පෙනෙන්නට ගනී. මෙම ලෝක පරිමාන ව්‍යසනයේ අර්ථය ජනයාගේ අවබෝධයෙන් සඟවා ලීමට ඇද තිබූ තිර පට එකින් එක ඇද වැටෙමින් පවතී.    

ඉන් යන්තම් මාස 18 ක් ගත වූ තන්හි, 1917 පෙබරවාරියේ, රුසියාව තුල විප්ලවය පුපුරා ගියේය. තවත් මාස අටක ඇවෑමෙන්, එම වර්ෂයේම ඔක්තෝබරයේ, ලෙනින් හා ට්‍රොට්ස්කි ධනපති තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමට රුසියානු කම්කරු පන්තිය මෙහෙයවූහ. සෝවියට් රුසියාව යුද්ධයෙන් ඉවත් විය. අවුරුද්දකට පසු, 1918 නොවැම්බරයේ, බෝල්ෂෙවික් විප්ලවයෙන් අනුප්‍රානය ලද ජර්මානු කම්කරු පන්තිය යුද්ධයට එරෙහිව නැඟී සිටියෝය. එකී නැඟිටීම අවසානයේ පලමුවෙනි ලෝක යුද්ධය සමාප්තියකට ගෙන ආවේය.

පලමුවෙනි ලෝක යුද්ධය පැතිර යාම මෙන්ම වසංගතය ද, කිසිවෙකු ඍජු ලෙස වගකිව යුතුයැයි යුක්තියුක්තව කිව නොහැකි, වරින්වර මානව වර්ගයා මත කඩා පාත් වන කල්තබා පෙරදැකිය නොහැකි ආකාරයේ එකී ඛේදාන්තයන් අතරින් එකක් සේ පලමුව පෙනී ගියා විය හැක. එහෙත් පලමුවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් එය සත්‍ය නොවූ සේම, වසංගතය පිලිබඳව ද එය සත්‍ය නොවේ. ආසන්නතම තතු කවර හෝ වේවා, 1914 යුද්ධය ඇවිලී යාම හා එහි විනාශකාරී ප්‍රතිවිපාකවල මූලයන් පැවතුනේ එම කාලයේ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අනුයන ලද පිලිවෙත් හා ඔවුන් හඹා ගිය උත්සුකයන් තුලය.        

කොවිඩ් 19 වෛරසය සතුන්ගේ සිට මානවයාට මුලින්ම සංක්‍රමනය වන නිශ්චිත තත්ත්වයන් හා නිරවද්‍ය ස්ථානය ගැන අනාවැකි කිව හැකිව නොතිබින. එහෙත් වසංගත විද්‍යාඥයෝ පසුගිය 30 වසර පුරාම එවැනි සිදුවීමක් පිලිබඳව කිසිදාටත් වඩා වැඩි හදිසි භාවයකින් යුතුව අනතුරු හඟවමින් සිටියෝය. මරන සංඛ්‍යාව අතින් ද, ඉන් ඇති වන සමාජ වියවුල අතින් හා චිත්තවේගී කම්පනයන් අතින් ද ගත් කල වසංගතයක බිහිසුනු බලපෑම පිලිබඳව විස්තරාත්මකව කරුනු දක්වා තිබින. එහෙත් එක්සත් ජනපදයේ වේවා, යුරෝපයේ වේවා ආන්ඩු මෙකී අනතුරු හැඟවීම් පිලිබඳ තැකීමක් නොකලෝය. ඒ අනතුරු හැඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමෙහි ලා අත්‍යවශ්‍ය වන ආර්ථික පිරිවැය දක්නා ලද්දේ, ලාභ කුට්ටි සහ සුපිරි ධනවතුන්ගේ සෞභාග්‍යය පෝෂනය කිරීමෙහි ලා හේතුභූත වී ඇති මූල්‍ය සමපේක්ෂනයේ අපමන රූපාකාරයන් සඳහා වෙන් කර ඇති අතිමහත් ධනස්කන්ධයන් අයුතු ආකාරයෙන් අඩු කිරීමක් ලෙසය.  

වසංගතය පැතිර යාම දැවැන්ත ජීවිත විනාශයකට හේතු විය හැකි බව එක්සත් ජනපදයේ, කැනඩාවේ හා යුරෝපයේ ආන්ඩු 2020 ජනවාරි මුල්භාගය වන විට නිසැකව දැන සිටියෝය. එහෙත් ඔවුන් වඩාත් වැඩි සැලැකිල්ලක් දැක්වූයේ. කොවිඩ් 19 වෛරසයේ අපාලිත පැතිරීම වැලැක්වීම සඳහා තීරනාත්මක වන ලෝක පරිමානව පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් සොයා ගැනීම සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන සම්බන්ධයෙන් දැඩි ලොක් ඩවුන් පිලිවෙතක් ක්‍රියාත්මක කිරීම ආදී පියවර ක්‍රියාත්මක කිරීම මඟින් මූල්‍ය වෙලඳපොලවල දැවැන්ත පාඩු සිදු වන තත්වයකට සහ අතිමහත් නය සම්භාරයක් ගෙන ඇති සංගතවලට බරපතල ලෙස අවශ්‍යව ඇති ආදායම් පහල වැටීමකට පාර කැපෙනු ඇතැයි යන්න පිලිබඳවය. ට්‍රම්ප් පරිපාලනය, කොංග්‍රසයෙන් ලද රහස් අනුමැතියක් ද සහිතව, සිතාමතාම අනතුර අඩුවෙන් දැක්වීමට තීරනය කලේය. 2020 පෙබරවාරි හා මාර්තු යන තීරනාත්මක මාස ප්‍රයෝජනයට ගැනුනේ වෛරසයේ පැතිරීම පාලනය කිරීමට නොව, බැංකු, සංගත සහ මූල්‍ය සමපේක්ෂකයන් සඳහා දැවැන්ත ප්‍රකෝටි සංඛ්‍යාත ඇප සම්පාදනයක් සූදානම් කිරීමටය.               

අනාරක්ෂිත සේවා ස්ථාන සහ පාසල් තාවකාලිකව වසා දැමීම සඳහා කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පැවැති ඉල්ලීම් නිසා කල් පමා වී සීමිත සීමා කිරීම් සඳහා පියවර ගන්නා ලදී. එහෙත් 2020 මාර්තුවේ අගභාගයේ මූල්‍ය හා සංගතවලට ඇප දීම් ක්‍රියාත්මක වූ තැන් පටන් පාලක පන්තිය, “ප්‍රතිකාරය රෝගයට වඩා නරක නොවිය යුතුය” යන සටන් පාඨය යටතේ ව්‍යාපාර හා පාසල් යලි විවෘත කිරීම සඳහා වූ අධම උද්ඝෝෂනයක් දියත් කලේය. රංචු ප්‍රතිශක්තිය අත්පත් කර ගනු වස් වෛරසයට නිදහසේ පැතිර යාමට ඉඩ හැරීමේ ස්වීඩනයේ සාහසික හා විනාශදායී තීරනය, සියලු ආන්ඩුවලට ආදර්ශය ලෙස හුවා දක්වමින් ප්‍රවර්ධනය කිරීමට ඇමරිකාවේ හා යුරෝපයේ ධනේශ්වර මාධ්‍ය කටයුතු කලාහ.      

දශ ලක්ෂ සංඛ්‍යාත අකල් මරනවලට වගකිව යුත්තේ මිනිස් ජීවිත මූල්‍යමය උත්සුකයන්ට යටත් කිරීම බව නිසැක කරුනකි. කොවිඩ් 19 මරනවලින් අතිමහත් බහුතරය වලක්වා ගත යුතුව තුබූ ඒවාය. වසංගතයේ ව්‍යසනකාරී බලපෑමට වෛරසයේ ජෛව ව්‍යුහයට වඩා අතිශය වැඩි වශයෙන් හේතුභූත වී ඇත්තේ ධනේශ්වර පන්තියේ ආර්ථික උත්සුකයන්ය.   

තව ද, පලමුවැනි ලෝක යුද්ධය මෙන්ම වසංගතය ද, ධනේශ්වර පද්ධතියේ ගැඹුරින්ම මුල් බැස ගත් ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිවිරුද්ධතාවයන්, ජාතික හා ජාත්‍යන්තර යන ද්වි-පරිමානයෙන්ම එලිමහනට පමුනුවා, ඒවා වඩාත් අවුස්සා කුපිත කොට ඇත. පාලනයේ සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයන් තිබියේවා, සමාජ ස්ථායීතාවය සමඟ පවා පැහැදිලි ලෙසම අනනුකූල වන මට්ටමක පවතින අසමානතාවය වසංගතය විසින් අනාවරනය කරනු ලැබ ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා සෑම වර්ෂයකම ආරම්භයේ කොන්ග්‍රසය අමතා කරනු ලබන ස්ටේට් ඔෆ් ද යුනියන් වාර්ෂික දේශනය තුල ජනාධිපති බයිඩන්, එක්සත් ජනපදය යනු දශලක්ෂ ගනන් ජනයා අතිශය අපේක්ෂා විරහිත කොන්දේසි යටතේ ජීවත් වන්නා වූ දුස්සමාහිත සමාජයක් බව, එම වචන වලින්ම නොකීවා පමනි. තම නිවාසවලින් නෙරපා හැරීමට මුහුන දී සිටින බව කියූවන්, තම පවුල්වලට ආහාර සැපයීමට නොහැකි බව කියා සිටියවුන්, හා වෛද්‍ය සේවා සඳහා වියදම් දැරීමට අසමත් අයවලුන් තමාට මුන ගැසුනු අවස්ථාවන් පිලිබඳව ඔහු සඳහන් කලේය. ග්‍රාමීය ඇමරිකානුවන්ගෙන් සියයට තිස් පහකට අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වීමේ අවකාශ නොමැති බව ඔහු පිලිගත්තේය.        

හිටපු ජනාධිපතිවරයා විසින් සංවිධානය කරනු ලදුව කොන්ග්‍රසයට එල්ල කෙරුනු සන්නද්ධ ෆැසිස්ට් ප්‍රහාරයෙන් යන්තම් දින 114 ක් ගත වූ තැන පැවැත්වූ එම කතාව තුල, කැපිටෝල් ගොඩනැගිල්ල වටා සිටි හමුදාවේ හා පොලීසියේ රැකවරනය ලබමින් සිටි බයිඩන් නිවේදනය කලේ, ඇමරිකානු ජනයා, කැරලි ගැසීමේ හා ඒකාධිපතිවාදයේ ද, වසංගතයේ හා දුක්ඛ වේදනාවන්ගේ ද අගාධයට එබී බලා ඇති බවයි. ජනවාරි 6 වන දින සිදුවීම් ඔහු විස්තර කලේ, “එය පැවැත්ම පිලිබඳ අර්බුදයක් - අපේ ප්‍රජාතන්ත්‍රවාදයට දිවි රැක ගත හැකිද යන්න පිලිබඳ පරීක්ෂනයක්” බවයි.       

“අරගලය අවසානයට පත්වීම තව බොහෝ දුර” බව ඉනික්බිතිව සඳහන් කල ඔහු, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකේ ද යන ප්‍රශ්නය ආමන්ත්‍රනය කිරීමට ඉදිරිපත් විය. “අපේ ප්‍රජාතන්ත්‍රවාදය දීර්ඝ කාලයක් නොනැසී පවතී ද යන ප්‍රශ්නය පැරැනි මෙන්ම හදිසි ද වෙයි; එය අපේ සමූහාන්ඩුව තරම් පැරැනිය - එහෙත් අද දින එය ප්‍රානභූත ගැටලුවකි.”    

එක්සත් ජනපදයේ ඉතිහාසයේ කවර දිනෙක හෝ, ජනාධිපතිවරයෙකු ප්‍රසිද්ධ දේශනයක දී - සමස්ත ජනගහනය ආමන්ත්‍රනය කරමින් පැවැත්වූ දේශනයක දී - මේ සා මට්ටමක දිරිය බල සුන් බවක් හා අපේක්ෂා භංගත්වයක් ප්‍රකාශයට පත් කොට නොමැත.  

ඉතින් ජනාධිපති බයිඩන් මෙම පැවැත්ම පිලිබඳ අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කලේ කුමක්ද? අන් කිසිවක් හෝ නොව බාග හා කාල් පියවරන් පිලිබඳ නොපැහැදිලි පොරොන්දු මාලාවක් පමනෙකි. ඔහු අසමානතාවයේ මහා සාගරය තේ හැන්දකින් හිස් කිරීමට තැත් කරනු ඇත. වෝල් වීදිය හා සංගත කතිපයාධිපත්‍යය ඔහුට ක්‍රියාත්මක කිරීමට ඊට වඩා වැඩි යමක් ලබා දෙනු නැත. බයිඩන්ගේ “ප්‍රතිසංස්කරන” වැඩ පිලිවෙලට ඇමරිකානු පාලක පන්තියේ ධනය හා බලය අංශුමාත්‍ර වශයෙන් හෝ අඩු කෙරෙන එකම පියවරක්වත් ඇතුලත් වී නැත. ඔහු කතිපයාධිකාරීන් හා මධ්‍යම පන්තියේ වඩාත්ම ඉසුරුමත් කොටස් සනසවමින් මෙසේ සහතික විය: “මා හිතන්නේ ඔබට කෝටිපතියෙකු හා දශලක්ෂපතියෙකු වීමට හැකි විය යුතු බවයි. ..” ඔහු ඉල්ලා සිටින්නේ ඔවුන් තමන්ගේ “සාධාරන කොටස” ලබා දිය යුතු බව පමනෙකි. අඳෝමැයි! එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය දැවැන්ත ලෙස සූරා කෑමෙන් තොරව, ධනේශ්වරයෙකුට මිලියන ගනන් හා බිලියන ගනන් රැස් කල හැකිවා සේය!!

බයිඩන්ගේ සැබෑ න්‍යායපත්‍රය ඉස්මතු වූයේ ඔහු ඇමරිකානු පාලක පන්තියේ ලෝක ගෝලීයමය අපේක්ෂාවන් කෙරේ සිය අවධානය යොමු කල කල්හිය. ඔහු නිවේදනය කලේ, එක්සත් ජනපදය, “21 වන සියවස ජය ගැනීමට චීනය හා අනෙකුත් රටවල් සමඟ තරඟයක නිමග්න වී සිටින” බවයි. “අපි ඉතිහාසයේ මහා හැරීම් ලක්ෂ්‍යයකට එලැඹ සිටින්නෙමු,”යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.  

බයිඩන්ගේ දේශීය වැඩ පිලිවෙල රාමුගත කෙරී තුබුනේ මුලුමනින්ම ආර්ථික ජාතිකවාදයට හා එක්සත් ජනපදයේ ලෝක ගෝලීය ආධිපත්‍යය රැකගැනීමේ අරගලයට අනුකූලවය. ඔහු ප්‍රතිඥා දුන්නේ ඔහුගේ “ඇමරිකානු රැකියා සැලසුමට මඟ පෙන්වනු ඇත්තේ එකම මූලධර්මයකින්” බවය. එනම්: “ගන්න ඇමරිකන් දේ, ගන්න ඇමරිකන් දේ” යන්නයි.      

බයිඩන්ගේ ආර්ථික ජාතිකවාදයේ වැඩ පිලිවෙල මඟින් තල්ලුව යෙදෙන්නේ, “21 වන සියවස ජය ගැනීම සඳහා පිටස්තර ලෝකය සමඟ තරඟය තුල,” එහි චීනය සහ අනෙකුත් භූ දේශපාලනික හා ආර්ථික ප්‍රතිවාදීන් සමඟ සටනට සූදානම් වෙමින්, “ඇමරිකානු බලකොටුවක්” ගොඩ නැඟීමටය.          

ලෝක ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ පරිශ්‍රමයේ අත්‍යවශ්‍ය හා තීරනාත්මක සංරචකයක් වනුයේ, ස්වකීය සමාජ උත්සුකයන් වෙනුවෙන් කම්කරු පන්තියෙන් මතුවන ඕනෑම ස්වාධීන ප්‍රකාශයට පත් වීමක් මැඩ ලීමයි.

වසංගතය විසින්, පසුගිය දශකය පුරාම වර්ධනය වෙමින් තිබූ කම්කරු පන්තියේ රැඩිකලීකරන ක්‍රියාවලිය වඩාත් වේගවත් කරනු ලැබ ඇතැයි යන කරුන පිලිබඳව බයිඩන් පරිපාලනය සහ සමස්ත වශයෙන් පාලක පන්තිය සම්පූර්නයෙන්ම දැනුවත්ය. පාලක පන්තියේ මහත්ම භීතිය වන්නේ පවත්නා ආයතන - එනම්; ද්වි-පක්ෂ ක්‍රමය, ප්‍රචාරක මාධ්‍ය, විනෝද - ක්‍රීඩා - ආගමික කර්මාන්තය, වාර්ගික හා ලිංගභේදවාදී දේශපාලනය සහ පවත්නා වෘත්තීය සමිති - සුනුවිසුනු කෙරෙන මට්ටමට පන්ති අරගලය පාලනයකින් තොරව පුපුරා යනු ඇතැයි යන්නය.         

විශේෂයෙන්ම පාලක පන්තිය තුල ගැඹුරු සාංකා දැල්වී ඇත්තේ AFL-CIO හා ඒ හා බද්ධ වෘත්තීය සමිති අතිශය උත්සන්න මට්ටමක අපකීර්තියකට පත් වී සිටීමයි. පසුගිය දශක හතර පුරාම ඇමරිකානු පාලක පන්තිය කම්කරු පන්තියේ සමාජ ප්‍රතිරෝධය යටපත් කිරීමට, නමින් පමනක් “වෘත්තීය සමිති” වූ මෙම දූෂිත සංවිධාන මත රැඳී සිට ඇත. ඩොලර් බිලියන ගනනක් වැටුප් ලෙස ලබා ගන්නා විධායකයන් හා පරිපාලකයන් දහස් සංඛ්‍යාත ගනනක කාර්ය මන්ඩලයකින් සැදුම් ලත් මෙකී ප්‍රතිගාමී හා මර්දනකාරී කම්කරු පන්ති විරෝධී සංස්ථානික සම්මේල ඒවායේ කාර්යය ඉමහත් කාර්යක්ෂම භාවයකින් යුතුව ඉටු කර ඇති බව මෙහිදී පිලිගත යුතුය. පසුගිය වර්ෂ 35 මුලුල්ලේ එක්සත් ජනපදය තුල වර්ජන මුලුමනින්ම පාහේ අතුරුදහන් වී තිබේ, වැටුප් විශාල වශයෙන් කැපී ගොස් ඇති අතර, රැකියා දශ ලක්ෂ ගනනින් විනාශ කෙරී ඇත.   

මෙකී සන්දර්භය තුල, පවත්නා වෘත්තීය සමිති ශක්තිමත් කිරීම සඳහා වූ බයිඩන්ගේ කැඳවීමේ අරමුන වන්නේ කම්කරු පන්ති සටන්කාමීත්වය ප්‍රවර්ධනය කිරීම නොව, එහි වර්ධනය වලක්වා එය දිගටම යටපත් කෙරෙන බවට වග බලා ගැනීමයි.   

තවද, ගැඹුරුතම ආර්ථික අර්බුදයක තතු යටතේ, චීනය සමඟ නොවැලක්විය හැකි ගැටුමක් ලෙස පාලක කව විසින් දකිනු ලබන දෙය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වන මොහොතේ, කවරාකාරයක හෝ ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක්, ධනේශ්වර රාජ්‍යය තුලට මුලුමනින් සමෝධානය වූ ආන්ඩුවේ අනුග්‍රහය ලබන කම්කරු ව්‍යාපාරයක් තුල ගිල්වා මකා දැමීම එකී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායාත්මක අත්‍යවශ්‍යතාවයක් වෙයි. පසුගිය සතියේ ජනාධිපති බයිඩන් විසින් නිකුත් කරන ලද විධායක ආඥාවකින් නිර්මානය කෙරුනු “කම්කරුවන් සංවිධානය කිරීමේ හා බල ගැන්වීමේ ධවල මන්දිර කාර්ය බලකාය”ට එහි ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකු ලෙස ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, භාන්ඩාගාර ලේකම් - ඉහත දී ෆෙඩරල් මහා බැංකුවේ සභාපතිව සිට ඇති - ජැනට් යෙලන් හා ස්වදේශ ආරක්ෂක ලේකම් අලෙජන්ද්‍රෝ මයෝකස් ඇතුලත් වීම අතිශය ඉහල අර්ථභාරයකින් යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, ආන්ඩුවේ අනුග්‍රහය ලබන වෘත්තීය සමිති බල ගැන්වීමේ බයිඩන්ගේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ ඔහුගේ අමාත්‍ය මන්ඩලයේ හමුදා මෙහෙයුම්, ආර්ථික පිලිවෙත් හා රට තුල මර්දනය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම් උසුලන සාමාජිකයන්ගේ රැකවරනය යටතේය.              

බයිඩන් නිර්මානය කරමින් සිටින දේ සම වන්නේ, 1920 ගනන් හා 1930 ගනන්වල ෆැසිස්ට් තන්ත්‍ර යටතේ ගොඩනඟන ලද්දා වූ, සංගතවල කලමනාකාරිත්වය හා ආන්ඩුව විසින් මෙහෙයවනු ලබන නිල වෘත්තීය සමිති අතර බලහත්කාරී ඒකාබද්ධ කිරීම මත පදනම් වූ කිසියම් වර්ගයක කොපරේට්වාදී රාජ්‍ය ව්‍යුහයකටය. මෙකී ක්‍රියාවලියට ජවය සපයන ආර්ථික ආවේගී බලය ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කර ඇත:           

ඒකාධිකාරී ධනේශ්වර ක්‍රමය රඳා පවතින්නේ තරඟය හා නිදහස් පෞද්ගලික ප්‍රාරම්භකත්වය මත නොව, මධ්‍යගත විධායකය මතය. දැවැන්ත භාර, සම්මේල, බැංකු සමූහ ආදියේ මුදුනේ සිටින ධනපති කල්ලි ආර්ථික ජීවිතය දකින්නේ, රාජ්‍ය බලය එය දකින එකී ශිඛරයේම හිඳිමිනි; සෑම පියවරක් පාසාම ඔවුන්ට දෙවනු කී බලවේගයේ - එනම්, රාජ්‍ය බලයේ - සහයෝගය අවශ්‍ය කෙරේ. .. වෘත්තීය සමිති රාජ්‍යයේ අංගෝපාංග බවට පරිවර්තනය කිරීමෙන් ෆැසිස්ට්වාදය අලුතින් කිසිවක් සොයා නොගනී; එය හුදෙක් අධිරාජ්‍යවාදයට නෛසර්ගික වූ ප්‍රවනතා ඒවායේ අවසාන නිගමන කරා ඇද ගෙන යයි.   

බයිඩන් පරිපාලනය ෆැසිස්ට් පාලනයක් නොවේ; එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා භූ දේශපාලන අත්‍යාවශ්‍යතාවයන්ගෙන් නිර්නය වන එහි පිලිවෙත් වලින් පූර්වාපේක්ෂා කෙරෙන්නේ, ඉදින් ෆැසිස්ට් තන්ත්‍රයක් බලයට එතොත් එය විසින් - එතෙකුදු, අසීමිත කෲරත්වයකින් ද, කම්කරු පන්තියට එරෙහිව ප්‍රචන්ඩත්වය ක්‍රියාවට නැංවීමෙහි ලා නෛතික ප්‍රතිබාධනවල ඡායාමාත්‍රයකින් හෝ තොරව ද - ක්‍රියාවට නැංවෙනු ඇති පිලිවෙත්මය.         

කම්කරු පන්තිය කෝපරේට්වාදී මර්දනයට ගොදුරු කිරීම කරා වූ ප්‍රවනතාව කවරාකාරයකින් හෝ හුදු ඇමරිකානු ප්‍රපංචයක් නොවේ. නිශ්චිත ධනේශ්වර ආන්ඩු විසින් යොදා ගනු ලැබෙන විධික්‍රම කෙරේ ජාතික කොන්දේසි හා සම්ප්‍රදායයන් බලපාන නමුදු, අන් කවර කලෙකටත් වඩා කඨෝර ලෙස කම්කරු පන්ති අරගල සීමා කිරීමේ හා මර්දනය කිරීමේ ප්‍රවනතාව සෑම රටකම තමා විසින්ම ප්‍රකාශයට පත් වනු ලැබෙමින් පවතී. පාලක ප්‍රභූන් විසින් හඹා යනු ලැබෙන ස්වදේශීය හා ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වලට ප්‍රතිවිරුද්ධ ලෙස තමාගේ සමාජ උත්සුකයන් පෙරට ගෙන ඒමේ අවස්ථාව කම්කරු පන්තියට ලබා දිය නොහැක. සමාජ පාලනය පවත්වා ගෙන යාම සඳහා හමුදාව සහ පොලීසිය ප්‍රමානවත් නොවේ. විශේෂයෙන්ම සමාජ රැඩිකලීකරනය උත්සන්න වෙමින් පවතින කාල පරිච්ඡේදයක, මර්දනයේ මෙකී මූලික බලයන් නොකල්හි යෙදවීම දේශපාලන ව්‍යසනයකට තුඩු දිය හැක. වෘත්තීය සමිතිවල කාර්යය වන්නේ කම්කරු පන්තිය ධනේශ්වර න්‍යාය පත්‍රයට තදින් බැඳ තබා පවත්වා ගැනීමයි. මෙම උපකරනය වර්ජන යටපත් කල යුතු අතර, ඒවා සහමුලින්ම නැවැත්විය නොහැකි නම් ඒවා නොපමාව පාවා දෙනු ලබන බවට වග බලා ගත යුතුය. වෘත්තීය සමිතිවලින් සිදු කෙරෙන පාවාදීම්, ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයට මාවත පෑදෙන පරිදි දුර්මුඛභාවය නිර්මානය කරයි.       

එහෙත් මෙකී පරාජයන් වලකා ලිය යුතුය. විප්ලවවාදී ප්‍රතිසංස්කරනය හා මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගතිශීලී වර්ධනය රඳා පවත්නා වූ අත්‍යවශ්‍ය සමාජ ක්‍රියාවලිය වන පන්ති අරගලය මර්දනය විය යුතු නොවේ. එක්සත් ජනපදය තුල සහ මුලු ලෝකයම පුරා කම්කරු පන්තියේ මහා නිර්මානාත්මක බලය මුදා හැරිය යුතුය.  

වසංගතය අවසානයේ දී පාලනය කර ගත යුතු නම්, යුද්ධය කරා වන පරිශ්‍රමය නවතා දැමිය යුතු නම්, ආඥාදායකත්වයක් ඇති වීම වැලැක්විය යුතු නම්, සහ පාරිසරික ව්‍යසනයක් ඇතිවීම වැලැක්විය යුතු නම්, සමාජ අරගලයේ නව උපක්‍රම හා උපකරන නිර්මානය කල යුතුව ඇත.      

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් (ක්‍රිකජාස) ගොඩ නැඟීම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කැඳවුම් කර ඇත්තේ මේ නිසාය. මෙම ලෝක ගෝලීය ප්‍රාරම්භකත්වයේ අරමුන වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අව්‍යාජ පුලුල් පදනමකින් යුත් ව්‍යාපාරයක් වර්ධනය කිරීම හා තමන් කොටු වී සිටින දක්ෂිනාංශික ධනේශ්වරයට පක්ෂපාතී විධායකයන්ගෙන් සමන්විත කාර්ය මන්ඩලවලින් සැදුම්ලත්, වත්මන් රාජ්‍ය පාලිත ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීය සමිතිවල සිර විලංගු බිඳ දැමීමට සියලු රටවල කම්කරුවන්ට ධෛර්යය දීමයි.  

ජාතික බාධක බිඳ හෙලීමටත්, වාර්ගික, මානවවංශික, හා ඒ සම්බන්ධිත ප්‍රතිගාමී මධ්‍යම පාන්තික අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම මඟින් පන්ති සමඟියට වල කැපීමට ගන්නා සියලු ප්‍රයත්නයන්ට එරෙහි වීමටත්, පන්ති අරගලය ජාත්‍යන්තර පරිමානව සමායෝජනය කිරීමට පහසුකම් සම්පාදනය කිරීමටත් ක්‍රිකජාසය පරිශ්‍රම දරනු ඇත. 

ජාතික මායිම් හරහා කම්කරුවන් එක්සත් කිරීමට ගන්නා මෙම පරිශ්‍රමය හරහා එය, යුද්ධය සඳහා දැරෙන ප්‍රයත්නයට ප්‍රතිරෝධය දැක්වීමට හා එය වැලැක්වීමට ලෝක ගෝලීය ව්‍යාපාරයක් නිර්මානය කිරීමේ දිශාවට දැවැන්ත ප්‍රතිපදානයක් සම්පාදනය කරනු ඇත.  

තවද, මෙම කරුන සුවිශද ලෙස පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න. ජාත්‍යන්තර කමිටුව, චීන ජනයාට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දමා ගසනු ලබන අපවාද අවධාරනාත්මකව හෙලා දකියි. ඒවා මුසාවන්ය. අමුම අමු මුසාවාදයන්ය.   

ක්‍රිකජාසය බිහි කිරීමෙහි හා ගොඩ නැඟීමෙහි ලා කම්කරුවන්ට ආධාර කිරීමේ සිය ප්‍රයත්න තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එකී ප්‍රයත්නයට පැහැදිලි ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් ලබා දීම සඳහා ද, ස්ථානීය අරගලත්, අධිරාජ්‍යවාදයට හා ධනපති ක්‍රමයට එරෙහිව දිග හැරෙමින් පවත්නා ලෝක ගෝලීය අරගලයත් අතර සම්බන්ධය පැහැදිලි කිරීම සඳහා ද පරිශ්‍රම දරනු ඇත.       

ලෝක ගෝලීය අර්බුදය විප්ලවවාදී වෙනස සඳහා බලගතු බලවේග මුදා හරිනු ඇති බව පලමු ලෝක යුද්ධයේ අඳුරුතම පැයවලදී ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. ඔහු මෙසේ ලිවීය:  

“විප්ලවවාදී අවධිය නිර්ධන පන්ති සමාජවාදයේ ක්ෂය නොකල හැකි සම්පත් සම්භාරයෙන් නව සංවිධාන රූපාකාරයන්, නව කර්තව්‍යයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට සරි ලන නව රූපාකාරයන් නිර්මානය කරනු ඇත.”  

මෙම වදන් අද දින ලෝකයේ අර්බුදයට අදාල වන්නේ එදාට ද වඩා වැඩි බලයකින් යුතුවය. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය යනු, විප්ලවවාදී අරගලයේ නව අවධියක ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස නිර්මානය කරන ලද්දා වූ නව සංවිධාන රූපාකාරයකි.   

21 වන සියවස ජයග්‍රහනය කරනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය හා සමාජවාදයයි.  

Loading