ෆැසිස්ට්වාදය හා යුද්ධය පිටුදැකීම ජර්මානු කම්කරු පන්තිය තුල ගැඹුරින්ම මුල් බැස තිබේ

[මෙහි පලවන්නේ 2021 මැයි 04 දින The rejection of fascism and war is deeply rooted in the German working class  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.] 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 අන්තර්ජාතික මැයි දින ඔන්ලයින් රැලිය සඳහා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් විසින් පහත දේශනය පවත්වන ලදී.

ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් විසින් 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට කල කතාව

මෙම මැයි දින රැලියේ තීරනාත්මක මූලාරම්භය ට සහභාගී වීමට හැකිවීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි. මම ජර්මනියේ සසප විප්ලවීය සුබ පැතුම් පිරිනමමි. ධනේශ්වර ම්ලේච්ඡත්වය, සමූහ මරන සහ යුද්ධයේ තර්ජනය අවසන් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමකින් පමනි. එමෙන්ම, හිතාමතාම මහා ආසාදනවලට ඉඩහැරීම හා නිහීන සමාජ අසමානතාවයට එරෙහිව ස්ථාවරයක් ගැනීමට කම්කරුවන්ට ඉඩ සලසන මෙවලම වන්නේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයයි.

පාලක පන්තියේ කුරිරු ප්‍රතිපත්තියට එරෙහි විරෝධය ජර්මනිය තුල ද වර්ධනය වෙමින් පවතී. සති දෙකකට පෙර, කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූවන් සිහි කිරීම සඳහා ජනෙල් කවුලු මත ඉටිපන්දම් දල්වන ලෙස ආන්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටි විට ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ මෙය නරුම උපාමාරුවක් ලෙස ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවට සැබවින්ම වගකිව යුත්තන් හෙලා දැකීම පිනිස නගර ශාලා, ප්‍රාන්ත පාර්ලිමේන්තු සහ  බුන්ඩෙස්ටැග් (ජර්මනියේ රාජ්‍ය පාර්ලිමේන්තුව - පරි.) ඉදිරිපිට ඉටිපන්දම් දැල්වූහ. මුලුමනින්ම අනාරක්ෂිත ලෙස පාසල් යලි විවෘත කිරීමට එරෙහිව, වැඩ වර්ජන හා විරෝධතා රාශියක් සිදුව තිබේ. ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලේ ගුවන් සේවා  සමාගමක් වන ඩබ්ලිව්අයිඑස්ඒජී හි කම්කරුවන්  දොට්ට දැමීම් සහ සිය වැටුප් කොල්ලකෑමට විරෝධය දැක්වීම සඳහා දින කිහිපයක් උපවාස කර තිබුනි. ලෝහ කර්මාන්ත කම්කරුවෝ විරෝධතා හා වැඩ වර්ජන සංවිධානය කලහ.

මෙම සියලු ක්‍රියා බොහෝ පුලුල් අරගලවල පෙරඇඟවුම් වන අතර, ඒවාට කම්කරු පන්තිය වෛෂයිකව මෙහෙයවනු ලබන්නේ ජීවිතවලට වඩා ලාභය පිලිබඳ ප්‍රතිපත්තිය මගිනි. කෙසේ වෙතත්, කම්කරුවන්ට දැනටමත් ඉතා වැදගත් අත්දැකීමක් ඇති අතර, එය, ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමේ සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක අවශ්‍යතාව සලකුනු කරයි.

මේ සෑම අරගලයකදීම වෘත්තීය සමිති, සමාගම්වල පැත්ත ගෙන සිටියි. පසුගිය වසර තිස්සේ ඔවුන්, කම්හල් පුලුල් ලෙස විවෘතව තැබෙන බවට වගබලාගත් අතර, ඒවා වසංගතයේ සැබෑ අන්තරාදායක ස්ථාන බවට පත්ව ඇත. වැඩිවන ආසාදන මධ්‍යයේ, ජර්මානු අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය සමිතිය වන ජීඊඩබ්ලිව් ඉල්ලා සිටින්නේ පාසල් නැවත විවෘත කරන ලෙසයි. ගුවන් සේවා සමාගමක් වන ඩබ්ලිව්අයිඑස්ඒජී හි කම්කරුවන් මහජන සේවා වෘත්තිය සමිතිය වන වර්ඩි (Verdi) ට එරෙහිව විරෝධතා දැක්වූයේ එය සමාගමට විවෘතව සහාය දුන් බැවිනි.

ක්‍රිස්ටොෆ් වෑන්ඩ්‍රියර්

ලෝහ කර්මාන්තය තුල මෝටර් රථ සමාගමේ ලාභය අහස උසට නැගෙන අතරතුර අයිජී මෙටල් (IG Metall) වෘත්තීය සමිතිය මාර්තු මාසයේදී සියයට 3 ක වැටුප් කප්පාදුවක් පැටවීය. ඔවුන්ගේ සේවය වෙනුවෙන් වෘත්තීය සමිති නිලධරයන්ට අති විශාල මුදලක් ලැබුනි. දැන්, වොක්ස්වැගන් (Volkswagen) හි වැඩ කවුන්සිලයේ ප්‍රධානී බර්න්ඩ් ඔස්ටර්ලෝ, සංගත කලමනාකරනය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇත. මෙම තත්වය තුල ඔහුට වසරකට යුරෝ මිලියන දෙකක් ලැබෙනු ඇත. මෙම සංවිධානවලට උදක්ම කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය කිරීම හා කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කරන්නේ සම කලමනාකරුවන් සහ සංගත පොලිස් බලකායන් ලෙස ය.

ස්ටැලින්වාදයේ බිඳවැටීම හා “ඉතිහාසයේ අවසානය” පිලිබඳ විජයග්‍රහනයෙන් වසර තිහකට පසු, වසංගතය මගින් ධනවාදයේ බංකොලොත්භාවය හෙලි කර ඇත. මූල්‍ය කතිපයාධිකාරයේ පාලනය කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා සහ ජීවිත සමඟ පවා පෑහෙන්නේ නැත. නැගෙනහිර යුරෝපයේ මෙම කරුන විශේෂයෙන් තියුනු ලෙස පෙන්නුම් කෙරේ. නොවෙනස්ව පැවති සෞඛ්‍ය සේවා පද්ධති විනාශ විය. සමාජයේ සෑම අංශයක්ම ලාභයේ ක්ෂනික අවශ්‍යතා වෙනුවෙන් කැප කරන ලදී. වසංගතයේ මුලු කාලය තුලම, කම්කරුවන්ට, නිෂ්පාදනය දිගටම පවත්වා ගෙන යාම සහ සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා මුලුමනින්ම අනාරක්ෂිත සේවා ස්ථාන වෙත යාමට බල කෙරුනි. අද වන විට නැගෙනහිර යුරෝපයේ තරම් මරන රේට්ටු ඉහල මට්ටමක පවතින එක් කලාපයක් හෝ ලෝකයේ නොමැත.

කෙසේ වෙතත්, ජර්මනියේ ද කප්පාදු ප්‍රතිපත්තියේ කොටසක් ලෙස රෝහල්වලින් අඩක් පමන වසා දමා ඇත. මෙහිදී, වසංගතයට දක්වන ප්‍රතිචාරය සංලක්ෂිතව ඇත්තේ ජනගහනය අතර වෛරසය පැතිරීමට ඉඩ දීමේ ප්‍රතිපත්තියක් මගිනි. ප්‍රතිඵලය, දැනටමත් 80,000 කට වඩා වැඩි මරන සංඛ්‍යාවක්, තදබදයෙන් යුතු දැඩි සත්කාර ඒකක සහ වැඩි වැඩියෙන් ප්‍රතිකාර කල යුතුව පවතින තරුන ජනයා වේ.

ඒ අතරම, යුරෝ බිලියන සිය ගනන් සුපිරි ධනවතුන්ට පවරා ඇත. වසංගතය මධ්‍යයේ ජර්මනියේ ධනවත්ම පුද්ගලයින් දස දෙනා ඔවුන්ගේ ධනය ඩොලර් බිලියන 242 දක්වා සියයට 35 කින් ඉහල දමාගෙන තිබේ. එපමනක් නොව, මිලිටරියේ ආයුධ සඳහා බිලියන ගනන් වෙන් කරනු ලැබේ. පසුගිය වසර තුල ජර්මනිය සිය මිලිටරි වියදම් සියයට 5.2 කින් වැඩි කර ඇති අතර එය අනෙක් සෑම රටකටම වඩා වැඩි රේට්ටුවකි.

අනෙක් පැත්තෙන් කම්කරුවන්ගෙන් සියයට 40 ක් පැහැදිලි ලෙසම ආදායම් අහිමිව පීඩා විඳිති. දක්ෂිනාංශික ඔල්ටනේටිව් ෆර් ඩොයිෂ්ලන්ඩ් (AfD) විසින් අනුගමනය කරන මෙම ප්‍රතිපත්තියම, එලඹෙන මහ මැතිවරනයෙන් පසු කාලය තුල සියලු පාර්ශවයන් විසින් තීව්‍ර කිරීමට සැලසුම් කරනු ලැබේ.

ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය වඩාත් ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කල දේශපාලනඥයා වන ආමින් ලැෂෙට් ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස නම් කර තිබේ. තරඟ වදින සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මුදල් අමාත්‍ය ඔලාෆ් ෂෝල්ස්, කප්පාදුව සහ මෑත වසරවල රාජ්‍ය යාන්ත්‍රනය ගොඩනැගීම සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා ය.

නාමික “වාම” විරුද්ධ පක්ෂ විකල්පයක් නොවන අතර, බොහෝ අවස්ථාවල දී මහා සන්ධාන ආන්ඩුවේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති දකුනේ සිට විවේචනය කරන්නන් ය. රුසියාවේ සහ චීනයේ න්‍යෂ්ටික බලවතුන්ට එරෙහිව ආක්‍රමනශීලී ප්‍රතිපත්තියක් ඉල්ලා සිටින හරිත පක්ෂයේ (Greens) අපේක්ෂිකා ඇනලීනා බර්බොක් “විදේශ කටයුතුවල අකර්මන්‍යතාවය” ගැන ආන්ඩුවට චෝදනා කරයි. ඇයට අවශ්‍ය වන්නේ යුක්රේනය නේටෝවට හා යුරෝපා සංගමයට ඇතුළු කර යුරෝපීය හමුදාවක් ගොඩනැගීමයි.

උතුරු රයින්-වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ වාමාංශික පක්ෂයේ ප්‍රධාන අපේක්ෂිකාව වන සහරා වැගන්ක්නෙක්ට් විසින් නාසීන්ගේ චින්තන සම්ප්‍රදාය සමඟ විවෘතව බැඳී සිටින ඇගේ නව කෘතිය (ඩයි සෙල්බ්ස්ට්ගෙරෙච්ටන් [ස්වයං-ධර්මිෂ්ඨත්වය]) ප්‍රකාශයට පත් කර තිබේ. ඇය සංක්‍රමනිකයින්ට එරෙහිව වෛරය අවුස්සයි, ජර්මානුවන්ට පමනක් රැකියා අවශ්‍යය, කෑදර යැයි කියන විදේශීය ප්‍රතිවාදීන්ට එරෙහිව ජර්මානු ප්‍රාග්ධනය ආරක්ෂා කරයි. මෙම නැඹුරුව වෙනුවෙන් ඇයට දක්ෂිනාංශික ඒඑෆ්ඩී, ව්‍යාපාරික නියෝජිතයින් සහ ධනේශ්වර මාධ්‍ය ආයතන එක හා සමානව ප්‍රශංසා කරයි.

මේ සියල්ල අනතුරු ඇඟවීමක් ලෙස දැකිය යුතුය. සෝවියට් සංගමය ආක්‍රමනය කර මිලියන 25 ක් සෝවියට් පුරවැසියන් ක්‍රමානුකූලව සමූලඝාතනය කිරීමෙන් වසර අසූවකට පසු ජර්මානු පාලක පන්තිය, සිය මහා බල සංකල්පයන් හා එහි ෆැසිස්ට් සම්ප්‍රදායන් වෙත ආපසු යමින් සිටී. මෙම දක්ෂිනාංශික කුමන්ත්‍රනයට එරෙහි සියලු විරෝධයන් මහ මැතිවරනයේදී යටපත් කරනු ඇත.

වසංගතය හමුවේ සමාජ සම්බන්ධතා අවම මට්ටමකට ගෙන ආ යුතු වුවද, නව පක්ෂ මැතිවරනයට සහභාගී වීමට ඉඩ ලබා ගැනීම සඳහා අත්සන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් භෞතිකව එකතු කර ගත යුතු ය. එයින් අදහස් වන්නේ ඔවුන් මැතිවරන ව්‍යාපාරයෙන් බැහැර කර ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි මෙම මූලික ප්‍රහාරයත් සමඟ පාලක ප්‍රභූව උත්සාහ කරන්නේ, එස්ජීපී හි සමාජවාදී අපේක්ෂකයින්ට ඡන්දය පලවීම මුලුමනින්ම වැලැක්වීමට ය. මෙම පියවරත් සමඟ ආන්ඩුව එස්ජීපී මර්දනය කිරීමේ උත්සාහය අඛන්ඩව ගෙන යයි.

සමාජවාද-විරෝධී නීතිවල (Anti-Socialist Laws) සහ නාසීන්ගේ විලෙන්ස්ට්‍රාෆ්‍රෙක්ට් (චින්තනයට දඬුවම්)  සම්ප්‍රදාය අනුයමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට වසර දෙකකට පෙර අපේ පක්ෂය “ව්‍යවස්ථාවේ සතුරෙකු” ලෙස ප්‍රකාශයට පත් කලේ, අප “ප්‍රජාතන්ත්‍රවාදී, සමානාත්මතාවාදී සමාජවාදී සමාජයක් සඳහා සටන් කරන බැවිනි.”

කෙසේ වෙතත් ජර්මනිය බිස්මාර්ක් සහ නාසීන්ගේ රට පමනක් නොවේ. කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල තුල මුල් බැස ගත් පලමු සමාජවාදී මහජන පක්ෂයේ රට ද එයයි. 20 වන ශතවර්ෂයේ ජර්මානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද අපරාධ නිසාම ෆැසිස්ට්වාදය හා යුද්ධය පිටුදැකීම, කම්කරු පන්තිය තුල ගැඹුරින් මුල් බැස තිබේ.

ට්‍රොට්ස්කිවාදී ලෝක ව්‍යාපාරය සංශෝධනවාදයට හා ස්ටැලින්වාදයට එරෙහිව මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කලේය. මෙම පදනම මත පදනම්ව, අපි අද අපගේ පක්ෂය, කම්කරු පන්තිය තුල පවතින දැවැන්ත විරෝධය හා බද්ධ කරමු. මේ මැයි දින රැලිය මේ පිලිබඳ ප්‍රබල ප්‍රකාශනයකි. වැඩෙන විරෝධයට හඬක් සහ ඉදිරිදර්ශනයක් ලබා දීමටත්, නව සමාජවාදී මහජන පක්ෂය ලෙස සසප ගොඩනැගීමටත් අපි මහ මැතිවරනයට සහභාගී වෙමු.

ජාත්‍යන්තර කම්කරු සන්ධානය සඳහා අදම ලියාපදිංචි වී, අපගේ මැතිවරන ව්‍යාපාරයට සහය දක්වන ලෙස ද සසප සාමාජිකයෙකු වන ලෙස ද අපි, ප්‍රේක්ෂක ඔබගෙන් ඉල්ලා සිටිමු

Loading