ජීවිත හානියෙන් වෝල් වීදිය තර වන ආකාරය

[මෙහි පලවන්නේ 2021 මැයි 04 දින How Wall Street feeds on death  යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.] 

ඕස්ට්‍රේලියානු  සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ සාමාජිකයෙක් හා මාක්ස්වාදී දේශපාලන ආර්ථිකය පිලිබඳව පුලුල් ලෙස ලියා ඇති  නික් බීම්ස්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දීර්ඝ කාලීන නායකයෙකි.

2021 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට නික් බීම්ස් පැවැත්වූ කථාව

මෙම ඓතිහාසික මැයි දින රැලියට සහභාගී වන සියලු දෙන සාදරයෙන් පිලිගනිමි. මෙහි දී අපි ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න සමග පොරබදමු. එනම්, වෝල් වීදියේ සමපේක්ෂන උමතුවෙන් ප්‍රකාශිත ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය, මා ආමන්ත්‍රනය කරන විෂයට බෙහෙවින් අදාල වෙයි. 

මරනය සහ විනාශය මධ්‍යයේ කොටස් වෙලඳපොල නව ඉහලකට නැඟීම, සමහර විචාරකයින්ගේ පැසසුමට ලක්ව ඇත. සිය ගිනුම්වල පිම්බීමෙන් ඇස් නිලංකාරව ගිය ඔවුන්, එය එක්සත් ජනපද ආර්ථිකය වසංගතය ජය ගැනීමේ ප්‍රකාශනයක් ලෙස දැක ගනියි.

ඇත්ත වශයෙන් ම, එය ධනවාදයේ මරලතෝනිය ලෙස ට්‍රොට්ස්කි ඉතා නිවැරිදිව කල ගුනාංගීකරනයෙහි ප්‍රකාශනයකි. මිලියන ගනන් මියැදෙද්දී වංශාධිපතියන් රැලක් ඩොලර් බිලියන ගනනින් පොදිගසා දනිති.

ඕනෑම ප්‍රපංචයක සැබෑ අර්තභාරය වටහා ගැනීමට යමෙකුට අවශ්‍ය නම්, එහි මූලාරම්භය සොයා බැලීම සැමවිටම අවශ්‍ය කෙරේ. වර්තමාන වෝල් වීදියේ කිසි දිනෙක දැක නැති ආකාරයේ උමතුවෙහි ආසන්නතම මූලාශ්‍රය ඇත්තේ, 2020 මාර්තු සිදුවීම් තුල ය.

මෙය වසංගතයේ ආරම්භයයි. කම්කරුවන් දැවැන්ත අන්තරායන් හඳුනාගත් නිසා  ආරක්ෂක පියවර ගන්නා ලෙස ඉල්ලා ඔව්හු හදිසි වැඩ වර්ජන සහ විරෝධතාවල නිරත වුහ. වෙලඳපොලවල් ඊට ප්‍රතිචාර දැක්වුයේ භීතියෙනි. කොටස් වටිනාකම් කඩා වැටුනු අතර අර්බුදය ඊටත් වඩා භයානක හැරීමක් ගත්තේය.

පසුගිය වසරේ මාර්තු මස මැද භාගයේදී, ලෝකයේ ගැඹුරුතම හා වඩාත්ම ද්‍රවශීලතාවෙන් යුත් වෙලඳපොල සහ ගෝලීය මූල්‍ය ක්‍රමයේ පදනම ලෙස විස්තර කර ඇති ඩොලර් ට්‍රිලියන 21 ක එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙලඳපොල කැටි ගැසුනි. සමස්ත ගෝලීය මූල්‍ය ක්‍රමය පැය ගනනක් නැත්නම් දින ගනනක්  තුල  මුලුමනින්ම බිඳවැටුනි.

එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව ඩොලර් ට්‍රිලියන ගනනක් සහිතව දැවැන්ත ලෙස මැදිහත් වීමට හේතුව වූයේ මෙයයි. වෙලඳපොල ස්ථාවර වූ නමුත් මැදිහත්වීම නොනැවතී සිදුවෙයි. ෆෙඩරල් මහ බැංකුව දැන් මසකට ඩොලර් බිලියන 120 බැගින් වත්කම් මිලදී ගන්නා අතර එය වසරකට ඩොලර් ට්‍රිලියන 1.4 කට වඩා වැඩිය. ඒ අතරම එහි මූලික පොලී අනුපාතය බිංදුවේ තබාගෙන සිටී. “දීර්ඝ කාලයක්” පවතිනු ඇතැයි ෆෙඩරල් මහ බැංකුව අවධාරනය කර ඇති මෙම ක්‍රියාව සමපේක්ෂන උමතුවෙහි පදනම වේ.

නික් බීම්ස්

මෙහිදී සිදුවෙමින් ඇති දේ පිලිබඳ පූර්න විස්තරයක් සැපයීමට  නොහැකිය. නවතම දත්ත කිහිපයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න. තැරැව්කරුවන් විසින් ආයෝජකයින්ට මුදල් සපයන ආන්තික නය ඩොලර් බිලියන 822 දක්වා ඉහල ගිය බව මෙම සතියේ වාර්තා විය. මෙය පසුගිය වසරේ ඩොලර් බිලියන 479 ක් හා 2008 කඩාවැටීමට පෙර පැවති ඩොලර් බිලියන 400 ක් සමඟ සැසඳිය හැක. එය ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට සමාන ප්‍රමානයකි.

ඉතින් මේ කොයිබටද යන්නේ?

පසුගිය මාසයේ අපට ආරම්භක පිලිතුරක් ලැබුනි. කලින් නොදැන සිටි පවුල් ආයෝජන සමාගමක් වන ආර්කෙගෝස් කැපිටල්, තැරැව්කරුවන් විසින් ආන්තික ඇමතුමක් ලබා දුන් විට  ගෙවාගත නොහැකි වීමෙන් බිඳ වැටුනි. ආර්කෙගෝස් ඩොලර් බිලියන 50 ක් සඳහා අරමුදල් සපයා ඇති බවත්, ඊට සහාය දුන් බැංකු ඩොලර් බිලියන 10 ක් ලබා ගත් බවත් අනාවරනය විය. ආර්කේගෝස් කිසිසේත් විශාල ක්‍රීඩකයෙක් නොවීය. 

අප අප මැනවින් විමසා බැලුවොත්, වර්තමාන තත්වයට තුඩු දෙන යටින් පවතින ප්‍රවාහයන්  සහ ප්‍රවනතා පැහැදිලිව දැකගත හැකිය. වෝල් වීදියේ ඉතිහාසයෙහි විශාලතම එක්දින වැටීම සිදුවූ 1987 ඔක්තෝබර් 19 වන දින, මූල්‍ය පද්ධතිය වෙත තම වක්කඩ අරින බව ෆෙඩරල් මහ බැංකුව නිවේදනය කලේය.

එය නව නියාමයක් සලකුනු කලේය. මූල්‍ය අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම එය, අවුල නිරවුල් කිරීමට සහ සමපේක්ෂනය නොකඩවා පවත්වාගෙන යාමට මුදල් සපයන බවයි ඒ. සෑම මැදිහත්වීමක්ම කෙටිකාලීන ස්ථාවරත්වයක් නැවත ඇති කලත්, ඉන් ඊලඟ අර්බුදය සඳහා කොන්දේසි නිර්මානය කල අතර එය පෙර  එකට වඩා බරපතල විය.

ඒ අනුව 1987 න් පසුව, 1990 දශකයේ අර්බුද මාලාවක් ද ඉන් පසුව 2000-2001 ඩොට්කොම් බුබුල පුපුරා යාම, අවමුඛ උකස් අර්බුදය සහ 2008 බිඳ වැටීම ද, 2020 මාර්තු අර්බුදය සහ සමපේක්ෂන උමතුව ද ඇති විය. ලෝකයේ ප්‍රධාන මහ බැංකුව වන ෆෙඩරල් මහ බැංකුව සහ ලෝකයේ ප්‍රධාන මූල්‍ය වෙලඳපොල වන වෝල් වීදිය මාරක උගුලක සිරවී ඇත.

මූල්‍ය උමතුව පිලිබඳව නානාවිධ ප්‍රකාශනයන් තිබේ. විහිලුවක් ලෙස, 2013 දී නිර්මානය කරන ලද බිට්කොයින් සහ ඩොග්කොයින් වැනි ගුප්තකේතන (cryptocurrencies) මුදල්වල නැගීම හා නොකඩවා නැගීම උදාහරන වේ.

සමපේක්ෂන බඩජාරිකමේ කේන්ද්‍රීය ලක්ෂනය - එහි රෝගී ස්වභාවය පෙන්වා දෙන - යටින් ඇති සැබෑ ආර්ථිකයෙන් ඊනියා වෙලඳපොල වටිනාකම මුලුමනින්ම දික්කසාද කිරීමයි. මේ සතියේ ටෙස්ලා සමාගම ඩොලර් මිලියන 400 ක ලාභයක් ප්‍රකාශයට පත් කල අතර එයින් ඩොලර් මිලියන 100 කට වඩා ලැබුනේ බිට්කොයින් වෙලඳාමෙනි. ෆෝඩ් සහ ජීඑම් සමගම්වල ඒකාබද්ධ වෙලඳපොල ප්‍රාග්ධනයට වඩා ප්‍රාග්ධනයක් දැන් ටෙස්ලා සතු ය. නමුත් මේ වසරේ මුල් කාර්තුවේදී එක්සත් ජනපදයේ පමනක් ෆෝඩ් මෝටර් රථ අලෙවිය, වසරක් තුල ටෙස්ලා හි මුලු ගෝලීය විකුනුම් මෙන් දෙගුනයකටත් වඩා  වැඩිය.

උමතු සහගත වෙලඳපොල සමපේක්ෂනය පිලිබඳ ප්‍රශ්නය අප හමුවේ ඇති කර්තව්‍යයට සම්බන්ධ කිරීමට මට ඉඩ දෙන්න.

පලමුව, අර්බුදයට විසඳුමක් සඳහා නම් ධනේශ්වර පර්යායට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාව අපගේ විශ්ලේෂනය මඟින් තහවුරු කරයි.

කොටස් හා අනෙකුත් මූල්‍ය වත්කම්වල නැගීම, අගය පුලුල් වීමක් නියෝජනය නොකරයි. කාල් මාක්ස් විසින් මෙම වත්කම් ව්‍යාජ ප්‍රාග්ධනය ලෙස හැඳින්වීය. ඒවා, කම්කරු පන්තියේ ශ්‍රමය සූරාකෑමෙන් උකහා ගත යුතු අනාගත වටිනාකම පිලිබඳ ප්‍රකාශයනයකි.

පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවමින් අගුලු දැමීම වැනි පලදායී පියවර ගැනීම සෑම රටකම ධනවාදී පාලක පන්ති විසින් ප්‍රතික්ෂේප කරන්නේ, ව්‍යාජ ප්‍රාග්ධන කන්ද පවත්වා ගැනීමට අවශ්‍ය වටිනාකමේ ප්‍රවාහයට ඒවා බලපානු ඇති බැවිනි.

දෙවනුව, වසංගතය පරාජය කිරීමේ අරගලය, අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති නිලධරයට එරෙහිව කම්කරු පන්තිය විසින් ගෙන යනු ලබන අරගලයකට සම්බන්ධ විය යුතු බවත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ඉදිරියට යා යුතු බවත් අපි අවධාරනය කර ඇත්තෙමු. මෙම ගැටලුව මූල්‍ය සමපේක්ෂනයේ නැගීම සමඟ වෘත්තීය සමිති වලට ඇති සමීප බැඳීම් සමඟ සම්බන්ධ වේ.

සෑම රටකම වෘත්තීය සමිති සාමාජිකත්වයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබේ. එය දශක ගනනාවක පාවාදීම්වල ප්‍රතිපලයකි.  වෘත්තීය සමිති සිය පර්යාය නඩත්තු කිරීම සහ සමිති නිලධාරීන්ට ගෙවීම සඳහා ආදායම් ප්‍රභවය ලෙස මූල්‍ය වෙලඳපොලවල් සමඟ වැඩි වැඩියෙන් ඒකාබද්ධ වී ඇත. ඔවුන් ආයෝජන අරමුදල්, සෞඛ්‍ය අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල්, විශ්‍රාම අරමුදල් යනාදිය කලමනාකරනය කරයි.

මේ අනුව, සිය ද්‍රව්‍යමය පැවැත්ම සඳහා ඔවුන් රැඳී සිටින්නේ, වෙලඳපොලවල අඛන්ඬ ඉහල නැගීම මතය. කෙසේ වෙතත්, කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන අරගලයක් වෙලඳපොල බියගන්වන අතර එබැවින් වෘත්තීය සමිති සංස්ථාපිතය ඒවා ඕනෑම වියදමකින් යටපත් කිරීමට පියවර ගනී.

ව්‍යාජ වමේ විවිධ ප්‍රවනතා, පහලින් ප්‍රමානවත් පීඩනයක් යෙදුවහොත්, වෘත්තීය සමිති වමට තල්ලු කල හැකි බව කියා සිටිති. ඊට පටහැනිව, පහලින් යෙදෙන පීඩනය දැඩි වීමත් සමඟ, වෘත්තීය සමිති ද්‍රව්‍යමය වශයෙන් රැඳී සිටින මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන හෙයින්, ඉහලින් පාත් කරන මර්දනය වඩ වඩාත් තියුනු කෙරේ.

වසංගතයෙන් ආරක්ෂා වීමට නම් කම්කරු පන්තිය, තමන්ගේම ස්වාධීන සාමාජික සංවිධාන ගොඩනඟාගෙන, ගෝලීය ව සිය අරගල සම්බන්ධීකරනය කිරීමට උත්සාහ කල යුතුය. මේ ආකාරයෙන් එය සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය ප්‍රතිනිර්මානය කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය වන දේශපාලන බලය සඳහා අරගලය ඉදිරියට ගෙන යනු ඇත.

Loading