ලංකාවේ කම්කරුවන් සෞදි අරාබි කඳවුරක සිරකොට ඇති බවට කල අනාවරනය රාජපක්ෂ ආන්ඩුව වංචනික ලෙස ප්‍රතික්ෂේප කරයි

ගෘහ සේවිකාවන් ලෙස සේවය කල ශ්‍රී ලංකාවේ කාන්තාවන් 41 ක් සෞදි අරාබියේ ට්‍රාහීල් රැඳවුම් කඳවුර තුල බලහත්කාරීව රඳවාගෙන සිටීම පිලිබදව අනාවරනය කරමින් ඔවුන් නිදහස් කරගැනීම සඳහා මැදිහත් වනලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්) පසුගිය දා ශ්‍රී ලංකා ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

වැටුප් ලබා නොදීමට එරෙහි මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ අරගලය

වීසා අවසාන වීම සහ “නීත්‍යානුකූල හාම්පුතා වෙතින් පලායාම” හේතුවෙන්  මෙම කාන්තාවන් මාස 8 සිට 18 දක්වා කාලයක් රඳවාගෙන සිටින බව පෙන්වාදෙන “ඇම්නෙස්ටි වාර්තාව” සකස්කොට ඇත්තේ ගෘහ සේවිකාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ රියාද් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මන්ඩල සේවකයන් ඇතුලු එකොලොස් දෙනෙකු කල ප්‍රකාශයන්ට අනුව ය.

“නීත්‍යානුකූල හාම්පුතා වෙතින් පලායාම” පිලිබඳ චෝදනාව කම්කරුවන්ට එල්ල කෙරෙන්නේ රුදුරු “කෆාලා නීතිය” යටතේ ය. සෞදි අරාබිය ඇතුලු මැදපෙරදිග රට වල ක්‍රියාත්මක වන කෆාලා නිතියට අනුව, විදේශ කම්කරුවෙකු රැකියාවක් සඳහා රටකට ඇතුලු වීමේ දී සහ පිටවීමේදී තම හාම්පුතා ගේ “අනුමැතිය” ලබාගත යුතු අතර, එම “අනුමැතිය' යටතේ ලබාගත් “රැකියා වරපත්‍රය” භාවිතා කරමින් වෙනත් ස්ථානයක රැකියාවේ යෙදීම හෝ අවසරයකින් තොරව අදාල රැකියා ස්ථානයෙන් පිටවයාම වරදකි.

2020 මාර්තු මාසයේ මේ නීතිය ලිහිල් කලද එරට සංක්‍රමනික කම්කරුවන් අතරින් සියයට 30 කට වඩා වන ගෘහ සේවිකාවන් සඳහා එම ලිහිල් කිරීම් බල නොපායි. මෙම නීතිය හේතුවෙන්, අසීමිත වැඩ කන්දරාවන් සහ හාම්පුතුන්ගේ සැහැසි කම් ඉවසා සිටීමට ඔවුනට සිදුව ඇත. ඒවා ඉවසා සිටීමට නොහැකිව පිටමංවන සේවිකාවන් පොලීසිය විසින් කුදලා ගෙනැවිත් ඉහත රැඳවුම් කඳවුරු තුල ගාල් කෙරේ.

ට්‍රාහීල් කඳවුරේ රඳවා සිටින 41 දෙනාගෙන් කාන්තාවන් පස් දෙනෙකු සේවා යෝජකයාගේ තාඩන පීඩන ඉවසා සිටීමට නොහැකිව පලා යමින් සිටිද්දී අවසර පත්‍ර නොමැති නිසා අල්ලා ගත් අයයි. 

2018 මැද භාගයේ රැකියාවට ගිය ගෘහ සේවිකාවක් නිසි ලෙස වැටුප් නොගෙවීම නිසා 2020 දී සේවයෙන් ඉවත්වී ඇත. සේවායෝජකයා ඇයට වැටුප් ගෙවීමේදී වැසිකිලි වියදම පවා අයකරගෙන, ගුවන් ටිකට් පත සඳහා කිසියම් මුදලක් ලබාදී ගුවන්තොටුපල  අසල වීථියේ දමා ගොස් තිබේ. ශ්‍රී ලංකාවට ආපසු යාමට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී ඇයට පිටවීමේ බලපත්‍රයක් නොමැති බැවින් ගුවන් තොටුපල නිලධාරීන් විසින් ඇයව පොලිසියට භාර දී ඇත.

මාස හතරක් අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින තවත් කාන්තාවක් වැටුප් නොගෙවූ හා අතිශය දිගු සේවා කාලය හේතුවෙන් රැකියා වෙනස් කිරීමට උදව් ඉල්ලා පොලිසියට කතා කල විට ඔවුන් ඇයව අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරට ගාල්කොට තිබේ.

කෙසේ නමුත්, ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය (විසේනික) පවසා ඇත්තේ මෙම ට්‍රාහීල් රැඳවුම් කඳවුර, සෞදි ජාතිකයන් සහ සංක්‍රමනිකයන් සඳහා සෞදි රජයෙන් පවත්වාගෙන යනු ලබන සුභ සාධක මධ්‍යස්ථානයක් බවයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගන්නා බව, විසේනික නිලධාරීන් එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය ට ප්‍රකාශ කර ඇත. මේ පිලිබඳව එකොනොමි නෙක්ස්ට් විමසීම කල දිනයේත් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු තාවකාලික සංචාරක බලපත්‍ර ලබාදීම සඳහා එහි ගොස් ඇති බව සඳහන් කොට තිබේ.

“මධ්‍යස්ථානයේ කටයුතුවලට බාධා කල නොහැකි නමුත් නොමිලේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමෙන් අපි කම්කරුවන්ට පහසුකම් සපයන්නෙමු, අපි සැමවිටම මධ්‍යස්ථාන සමග සම්බන්ධ වෙමු” යනුවෙන් ඔවුන් තවදුරටත් පවසා තිබේ.

ආන්ඩුව පවසන අයුරු එය සුබසාධන මධ්‍යස්ථානයක් නොව, ඉහත “කෆාලා නීතිය” කඩකලවුන් නීතිය ඉදිරියට පමුනුවන තෙක් හෝ රටින් පිටමං කරන තෙක් රඳවා තබන රක්ෂිත බන්ධනාගාරයකට සම වූවකි. 

රියාද් හි ට්‍රාහීල් රැඳවුම් කාර්යාලයේ ධාරිතාව තිස්දෙදහසකි එහි විවිධ රටවලින් සංක්‍රමනය වූ කම්කරුවන් සිය ගනනක් රඳවාගෙන සිටින අතර ඔවුන්ට ඉතා අයහපත් ආකාරයෙන් සලකන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. හියුමන් රයිට්ස් වොච් වෙත රැඳවියන් පවසා ඇත්තේ ඔවුන් අධික කාලයක් ජනාකීර්න කාමරවල රඳවා සිටින බව, ආරක්ෂකයින් විසින් රබර් ආලේපිත ලෝහ දඬු වලින් ඔවුන්ට වධහිංසා පමුනුවා ඇති බව සහ අවම වශයෙන් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුල අත්අඩංගුවේ දී තුන් දෙනෙකු මරා දමා ඇති බවට චෝදනා ඇති බව යි. 

තවත් ඇසින් දුටු සාක්ෂියකට අනුව බලධාරීන් රැඳවියන්ට සතුන්ට මෙන් පහරදේ. දහස් ගනනක් “නීතිවිරෝධී” සංක්‍රමනිකයන් සූර්ය තාපයෙන් කිසිම ආරක්ෂාවක් නොමැතිව සෙල්සියස් අංශක 45 ක පමන මිනිස් සිරුරට දරාගත නොහැකි උෂ්නත්වයක් යටතේ පැය ගනන් ගාල්කර තිබේ.

මෙම වධක කඳවුරු “සුබසාධන කඳවුරු” ලෙස නම් කරමින් ඒවාට සුදුහුනු තැවරීමෙන්ම, තම රටේ කම්කරුවන් අත් විඳින රුදුරු හිංසනයන් සම්බන්ධයෙන් ලංකාවේ පාලකයන් දක්වන සාපරාධී නොතැකීම කෙතෙක්ද යන්න පැහැදිලි වෙයි.

මෙම සුදුහුනු තැවරීම පිටුපස මූලික කරුනු කීපයක් පවතී; දැඩි විදේශ විනිමය හිඟයකින් පෙලෙන රාජපක්ෂ ආන්ඩුව, විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක් ලෙස විදේශයන්හි, විශේෂයෙන්ම මැදපෙරදිග රැකියාවේ යෙදෙන කම්කරුවන්ගෙන් ලැබෙන ආදායම දැක ගනී. පසුගිය වසරේ ඩොලර් බිලියන 7ක් වන එම ආදායම මේ වසරේ ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා ප්‍රකාශ කලේය. ඇම්නෙස්ටි වැනි ආයතනයන් කරන අනාවරනයන් මගින් කම්කරුවන් මැදපෙරදිග රැකියා සොයායාම අධෛර්යමත් කොට තම ඉලක්කයන් කරා යාමට බාධා කරනු ඇතැයි යන උත්සුකය මෙම සුදුහුනුගෑම පිටුපස පවත්නා එක් කරුනකි.

තම රටේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහරපිට පහර එල්ල කරමින් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂගේ පිලිවෙත් සහ එම රටවල පාලක පන්තීන් අනුයන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙත් වල පවත්නා සාම්‍යය තවත් කරුනකි.   

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධානතම අතකොලුවක් වන සෞදි පාලනයේ සැහැසිකම් වලට එරෙහි කවර හෝ අභියෝගයක් එල්ල කිරීමට ලංකාවේ පාලක පන්තියට ඇති ඓන්ද්‍රීය නොහැකියාව ද මෙම වංචනිකත්වය පිටුපස පවතී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ, සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කල බාල වයස්කාර දැරියක්වූ රිසානා නෆීක් ට, එරට අධිකරනයක් මගින් මරන දඬුවම නියම කලවිට, සෞදි රජුට කල බැගෑපත් ආයාචනයකට සීමා වූ ආන්ඩුව තම රටේ කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, එරට රුදුරු නීති අභියෝගයට ලක්කිරීමෙන් වැලකී සිටියේය. අවසානයේදී 2017ජුනි 19වැනිදා ඇය මරා දැමුනි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වසංගතය මධ්‍යයේ රැකියා අහිමි වූ දහස් සංඛ්‍යාත විදේශ ගත කම්කරුවන් ලංකාවට යලි ගෙන්වා ගැනීම නොතකා හැර වසරක් ඉක්මවා ගොස් තිබේ. මෙම නොතැකීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන් 40 කට අධික සංඛ්‍යාවක් වසංගතයෙන් මරනයට පත්ව ඇති අතර, තවත් දහස් ගනනක් කෑමබීම සහ උන්හිටිතැන් නැතිව අසරනභාවයට පත්ව සිටිති.

කම්කරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ධනපති පාලකයන්ගේ සාපරාධී නොතැකීම එය වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරයෙන් වඩාත් ඉස්මත්තට පැමින ඇත. නව වෛරස් ප්‍රභේදයන් පැමින වසංගතය ව්‍යසනකාරී ලෙස පැතිරෙද්දී සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට අගුලු දැමීමට කරන නිර්දේශ ප්‍රතික්ෂේප කරන රාජපක්ෂ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා දිගටම පවත්වාගෙන යන බවට සපථ කරයි. මහජනතාවගේ ජීවිත වලට ඉහලින් මහධනපතියන්ගේ ලාභය පිහිටුවන ධනපති පාලකයන්ගේ පිලිවෙත්වල සාපරාධී ස්වභාවය වඩවඩාත් අනාවරනය වෙමින් පවතී. 

Loading