ශ්‍රී ලංකාව: වසංගතයට සාපරාධී ලෙස ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙත නතර කරනු! පීඩාවට පත් වූවන්ට සම්පූර්න වන්දි සහිතව මුලු රටම අගුලු දමනු!

[මෙහි පලවන්නේ Sri Lanka: Stop the criminal mishandling of the pandemic! Lockdown the country with full compensation to those affected!"  මාතෘකාවෙන් 2021 මැයි 08 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ගෝලීය දෛනික ආසාදිත වලින් අඩක් පමන වාර්තාකෙරෙන කෝවිඩ් -19 සුනාමියකින් ඉන්දියාව විනාශ වන තතු හමුවේ, කලාපයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාව ද වසංගතයේ අලුත් නැග්මකට මුහුන පා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොලඹ කාර්යාලයේ නිලධාරිනි වෛද්‍ය ඔලිවියා නිවේරාස් පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ, “කොරෝනා වෛරසයේ අලුත්ම නැග්ම බැරෑරුම්ව සලකන ලෙස” ය.

අනෙක් රටවල් මෙන් නොව ශ්‍රී  ලංකාව වසංගතය පාලනය කර ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුන පුනා කරන කයිවාරු කථාව රටේ මිලියන 22 ක ජනතාව අතර නව නැග්ම මඟින් සුනුවිසුනු කර ඇත.

පසුගිය දින පහ තුල නිල දෛනික ආසාදන සංඛ්‍යාව පලමු වරට, 2,000 කට ආසන්න විය. රටේ අබලන් වූ සෞඛ්‍ය යටිතල පහසුකම් ඉහවහා යමින් ක්‍රියාත්මක ආසාදන 16,000 ඉක්මවා ඇත. ඊයේ වන විට මුලු ආසාදන 117,000 ඉක්මවා ඇති අතර මරන සංඛ්‍යාව 730 දක්වා නැග තිබේ.

වසංගත කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා පත් කරමින් රාජපක්ෂ වසංගතය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම මුල සිටම මිලිටරියට භාර දුන්නේය. මහා පරිමාන පරීක්ෂන පවත්වන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් කල ඉල්ලීම් නොසලකා හරිමින් ආන්ඩුව, සීමිත පරීක්ෂන පවත්වන ලෙස නියෝග කලේය. මේ අනුව, සත්‍ය තත්වය අව තක්සේරු කරන නිල සංඛ්‍යාලේඛන සෑම විටම ප්‍රසිද්ධ කෙරේ.

සෙබලුන් විසින් කොලඹ දුම්රියකට නැගීමට පෙර කම්කරුවෙකු පරීක්ෂා කරනු ලබයි [අනුග්‍රහය: WSWS]

වෛද්‍ය සංගමයේ ප්‍රධානී වෛද්‍ය පද්මා ගුනරත්න අඟහරුවාදා මාධ්‍යයට මෙසේ පැවසුවාය: “1,800 ට වැඩි කෝවිඩ් රෝගීන් දිනපතා හඳුනාගනු ලබයි. නමුත්, හඳුනාගෙන නොමැති එමෙන් තුන් හතර ගුනයක රෝගීන් සංඛ්‍යාවක් ප්‍රජාව තුල සිටිති.” ඇය සහ අනෙකුත් වෛද්‍ය විශේෂඥයන් මීට පෙර අනතුරු අඟවා තිබුනේ, ඉන්දියාවේ හෝ බ්‍රසීලයේ වේගයෙන් ශ්‍රී ලංකාවේ වසංගතය පැතිර යනු ඇති බවයි.

ලංකාවේ පැවති ප්‍රභේදයට වඩා සියයට 50 ක බෝවීමේ ශක්තියෙන් හෙබි හා සියයට 55 ක් මාරාන්තික වන එක්සත් රාජධානියේ වෛරස් ප්‍රභේදය මාර්තු මාසයේ සිට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින බවට දුන් විශේෂඥ උපදෙස් ආන්ඩුව නොසලකා හැරියේය.  ඒවා පිලිබඳව නිසි ලෙස පර්යේෂන කිරීමට අවශ්‍ය උපකරන ශ්‍රී ලංකාවේ නොමැත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ඇඳන් 14,500 ක් පමනක් ඇති රටේ රෝහල්වල ඉතා සීමිත ධාරිතාවය පිලිබඳව කියා සිටියාය. උපකරන මත රැඳී සිටින රෝගීන් සඳහා ඇති ඇඳන් 64 ක් ද සහිතව දැඩි සත්කාර ඒකක ඇඳන් 104 ක් පමනක් කොරෝනා වෛරස් රෝගීන් සඳහා වෙන් කර ඇත.

සිය කාර්ය සාධක බලකාය, කොලඹ තදාසන්නව සහ දුර බැහැර ප්‍රදේශවල අතහැර දමා ඇති ඇඟලුම් කර්මාන්තශාලා කෝවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට "පරිවර්තනය" කිරීම අරඹා ඇති බව හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. නමුත් එම මධ්‍යස්ථානවල අවශ්‍ය වෛද්‍ය උපකරන නොමැති තතු තුල දැනටමත් අපහසුතාවයට පත්ව සිටින සෞඛ්‍ය සේවකයින්ට තවදුරටත් බර පැටවෙනු ඇත.

ඒ අතරම, රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා යෙදවිය හැකි ගිලන් රථවල උග්‍ර හිඟයක් පවතී. නිසි සැලකිල්ලක් නොමැතිව දහස් ගනනක් නිවෙස්වල රැඳී සිටිති. බොහෝ ජීවිත බිලිගත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ඔක්සිජන් හිඟයක් ඇතිවීම ගැන අනතුරු ඇඟවීම් කර ඇත.

මෙලෙස තත්වය වේගයෙන් නරක අතට හැරීම රාජපක්ෂ ආන්ඩුවේ සහ සමස්තයක් වශයෙන් ධනපති පන්තියේ සාපරාධී ප්‍රතිපත්තිවල ප්‍රතිපලයකි. වසංගතය ආරම්භ වී මාස 16 ක් ගතවී ඇතත්, රටේ ගරා වැටුනු සෞඛ්‍ය පද්ධතිය පිලිසකර කිරීමට ආන්ඩුව සැලකිය යුතු පියවර ගෙන නොමැත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව දශක තුනක් තිස්සේ පැවති වාර්ගික යුද්ධය සඳහා විශාල මුදලක් වැය කල අනුප්‍රාප්තික ආන්ඩු, විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති අනුගමනය කරමින් පෞද්ගලික රෝහල් විවෘත කිරීමට පහසුකම් සැලසීම නිසා ද පසුගිය වසර 30 තුල මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියට ලක්කර තිබේ.

රාජපක්ෂ යටතේ 2021 සෞඛ්‍ය අයවැය රුපියල් බිලියන 28 කින් කපා හරින ලද අතර වසංගතය පාලනය කිරීමට 2021 සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10 ක් හෝ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක් පමනි.

අප්‍රේල් 24 වන දින ප්‍රකාශයක් නිකුත් කල ජනාධිපති රාජපක්ෂ, තමන් ජාතික අගුලු දැමීමක් සිදු නොකරන බවට මහා ව්‍යාපාරිකයින්ට සහතික කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අගුලු දැමීමේ පියවර ගැනීමට හෝ රටේ ආර්ථික කටයුතුවලට බාධා වන ඇඳිරි නීතිය පැනවීමට නොහැකි” බවයි.

වසංගතයට දැක්වූ ප්‍රතිචාරය පිලිබඳව මහජන විරෝධයට හා විවේචනයට ලක්වූ රාජපක්ෂ, අකැමැත්තෙන් නමුත් පසුගිය වසරේ මාර්තු 19 වන දින, සති කිහිපයකට  රට අගුලු දැමීය. කුසගින්නෙන් පෙලෙන දුගීන්ට සොච්චම් සමාජ සහනාධාරයක් ගෙවන ලදී. ඊට පටහැනි ලෙස රාජපක්ෂ, මහා ව්‍යාපාර සඳහා වෙනත් වරදාන ඇතුලුව අවම වශයෙන් රුපියල් බිලියන 230 ක ආධාරයක් ලබා දෙන ලෙස  මහ බැංකුවට නියෝග කලේය.

එක්සත් ජනපද හා යුරෝපීය ආන්ඩු වලින් ලත් සංඥාව අනුව යමින් රාජපක්ෂ, “ආර්ථිකය යලි විවෘත කල” අතර “වසංගතය සමඟ ජීවත් වීමට” මිනිසුන් ඉගෙන ගත යුතු බව ප්‍රකාශ කලේය. මෙය වනාහි ලාභය මිනිස් ජීවිත වලට ඉහලින් තබන මිනීමරු “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය මිස වෙන කිසිවක් නොවේ.

වානිජ මන්ඬලය අමතමින් ජනාධිපති, වසංගතයෙන් ඇති කරන ලද “වාසිදායක අවස්ථාවන්” ඩැහැ ගන්නා ලෙස ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. අනෙක් අතට රැකියා හා වැටුප් කප්පාදු කර ඇත. අඩුම තරමින් අවිධිමත් අංශයේ රැකියා 500,000 ක් අහෝසිවී තිබේ. තවත් 500,000 ක් ජනතාව දරිද්‍රතාවයට ඇද දමා ඇත. කෙසේවෙතත්, රටේ ඉහලම ව්‍යාපාරික සමාගම් නවය පසුගිය වසරේදී රුපියල් බිලියන 80 කට වැඩි ලාභයක් උපයා ගෙන ඇත.

කර්මාන්තශාලා තුල ආසාදන පැතිර යාමත් සමඟ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මධ්‍යයේ ඒවා විවෘතව තබා ගැනීමට ආන්ඩුව හාම්පුතුන්ට සහාය දී තිබේ. ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගේ විරෝධය නොතකා ආන්ඩුව පාසල් නැවත විවෘත කලේය. අන්තරාය අවසන් වී ඇතැයි යන මිත්‍යාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා,  අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු සැමරුම් සඳහා ඉඩ දෙන ලදී.

වසංගතයට ඇති එකම විසඳුම එන්නත ලබා දීම බව රාජපක්ෂ නරුම ලෙස ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, රට තුල එන්නත් ලබා දී ඇත්තේ ජනතාවගෙන් සියයට 2.4 කටත් වඩා අඩු ප්‍රමානයකට ය. අනෙකුත් දුප්පත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද එන්නත් වැඩසටහනට බාධාකාරී වී ඇත්තේ ආන්ඩුවේ පිලිවෙත  පමනක් නොව, ධනවත් රටවල් විසින් ඒකාධිකාරී ලෙස එන්නත් ගබඩා කිරීමත්, එන්නත් නිපදවන  යෝධ ඖෂධ සමාගම් ලාභ ගැරීමත් නිසාය.

පුලුල් මහජන විරෝධය මධ්‍යයේ, දැන් රටේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමට ආන්ඩුවට බල කෙරී ඇත. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම බැංකු හා තැපැල් සේවකයින් ඉල්ලා සිටියද ආන්ඩුව කිසිදු කර්මාන්ත ශාලාවක් හෝ කාර්යාලයක් වසා දමා නැත. වෛරස් ආසාදනයවීම්  මධ්‍යයේ කම්කරුවන් වැඩ කිරීමට අකමැති වීමත් සමඟ බිංගිරියේ බෙන්ජි ඇඟලුම් කම්හල ආශ්‍රිත ප්‍රදේශවාසීන් අතරින් කම්හල වසා දමන ලෙස ඉල්ලා විරෝධතා පැනනැගුනි.

කම්කරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගැනීම සඳහා රාජපක්ෂ  කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. ඔවුන්ට විපක්ෂය ගැන විස්වාශය තැබීමට ද නොහැකිය. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය, ව්‍යාජ වාම කන්ඬායම් සහ වෘත්තීය සමිති සියල්ලම ආර්ථිකය යලි විවෘත කිරීමට සහාය වී තිබේ.

කම්කරුවන් වසංගතය සම්බන්ධයෙන් තීන්දුගැනීමේ කාර්යය තම අතට ගත යුතුය. ඔවුන් තරුන හා ග්‍රාමීය ජනතාව පෙලගැස්වීම සඳහා ද සෑම කර්මාන්ත ශාලාවකම හා අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.

සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා සහ කර්මාන්ත සම්පූර්නයෙන්ම වසා දැමිය යුතු යැයි කම්කරු පන්තිය බල කල යුතුය. අත්‍යවශ්‍ය සේවාවන්හි සේවය කරන අයට වෛරසය ආසාදනය නොවීමට නිසි ආරක්ෂාවක් ලබා දිය යුතුය.

රැකියා අහිමිවන අයට සම්පූර්නයෙන්ම වන්දි ගෙවිය යුතුය. දුප්පත් ගොවීන්, ධීවරයින් සහ කුඩා ව්‍යාපාර සඳහා සමාජ සහයෝගය ලබා දිය යුතුය.

සියලුම පාසල් වසා තැබිය යුතු අතර අධ්‍යාපනඥයින්ට සහ සිසුන්ට අන්තර්ජාලය හරහා ඉගෙනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා උපකරන ලබා දිය යුතුය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වහාම යතා තත්ත්වයට පත් කිරීම සහ පෙරමුනේම සිටින සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම සඳහා රුපියල් බිලියන ගනනක් වෙන් කල යුතුවේ.

මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ අත්පත් කර ගෙන වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒවා භාවිතා කල යුතුය. විදේශ නය ගෙවීම් ප්‍රතික්ෂේප කල යුතු අතර ආපසු ගෙවීම් සඳහා වෙන්කෙරෙන මුදල් සෞඛ්‍ය සේවා නඟාසිටුවීමට සහ කම්කරුවන්ට සහ දුප්පතුන්ට සමාජ අවශ්‍යතා සැපයීමට යොදා ගැනීම අවශ්‍යවේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට මෙම ක්‍රියාමාර්ග සඳහා සටන් කල හැක්කේ, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බවයි.

වසංගතය තුරන් කිරීම අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර කාර්යයක් වේ. එය ගෝලීයව සංවිධානය කල යුතුය. 2021 මැයි දිනයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී කමිටුවල  ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා කැඳවීමක් නිකුත් කරමින් මෙසේ පැවසීය:

"ලෝක ව්‍යාප්ත ව්‍යසනයට වගකිව යුතු ධනේශ්වර පාලක පන්තිය විසින් පාලනය කරනු ලබන ආන්ඩුවල මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීම හා වර්ධනය කිරීම සඳහා හජාජාක සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ මෙම පියවර ගෙන තිබේ."

ශ්‍රී ලංකාවේ සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේම ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින් මෙම ජාත්‍යන්තර ව්‍යාපාරයට එක්වන ලෙසයි.

Loading