සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරන සංඛ්‍යාව 20,000 ඉක්මවන බවට නව අධ්‍යයන වාර්තාවක් අනතුරු අඟවයි

මෙම වසරේ සැප්තැම්බර් 1 වෙනිදා වනවිට කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී  ලංකාවේ මියයන සංඛ්‍යාව දල වශයෙන් 20,876 දක්වා ඉහල යනු ඇති බවට, වොෂින්ටනය පාදක කොටගත් “ඉන්ස්ටියුට් ඔෆ් හෙල්ත් මෙට්‍රික් ඇන්ඩ් ඉවැලුඒෂන් (අයිඑච්එම්ඊ)” නමැති ආයතනය නිකුත් කල, “වසංගතය ගෝලීයව පැතිරීම සහ එහි ප්‍රතිවිපාක” පිලිබඳ නව අධ්‍යයන වාර්තාවකින් අනතුරු අඟවා ඇත.

ඉන්ස්ටියුට් ඔෆ් හෙල්ත් මෙට්‍රික් ඇන්ඩ් ඉවැලුඒෂන් (අයිඑච්එම්ඊ) (ජායාරූප අනුග්‍රහය ලැන්සෙට් සඟරාව)

වසංගතයෙන් දෛනිකව මියයන සංඛ්‍යාවේ  සීග්‍ර ඉහල යාමක් සිදුවන බව සහ ජුනි මාසය වන විට එය 264 ක් දක්වා වර්ධනය වී උච්ඡස්ථානයට එලඹෙනු ඇති බව වාර්තාව සඳහන් කරයි. ඉක්බිතිව සැප්තැම්බර් අග වන විට දෛනික මරන සංඛ්‍යාව 88 දක්වා පහත වැටෙනු ඇති බව ද වාර්තාව කියයි. වාර්තාව පවසන පරිදි දෛනික මරන සංඛ්‍යාව එසේ අඩු වුව ද මාසිකව මියයන ගනන 2,500 ඉක්මවනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය අංශයට තවත් රෝගී ඇඳන් 17,045 ක් අවශ්‍ය වන බව සහ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව 3,450 දක්වා වැඩි කල යුතු බව අයිඑච්එම්ඊ වාර්තාව පෙන්වා දෙයි. අයිඑච්එම්ඊ ප්‍රක්ෂේපන වලට අනුව, ශ්‍රී ලංකාවේ දෛනික ආසාදන සංඛ්‍යාව ලබන මාසය වන විට 50,495 දක්වා ඉහල යනු ඇති අතර, දෛනික මරන සහ ආසාදන සංඛ්‍යාව අඩු වීමට පෙර මාස දෙකක කාලයක් එම රේට්ටුවේ පවතිනු ඇත.

වාර්තාව විශ්ලේෂනය කරමින් “නව අධ්‍යයනය ගෝලීය කොවිඩ් 19 මරන සංඛ්‍යව දෙගුනයක් බව පෙන්වාදෙයි” සිරස්තලය යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි මැයි 7 වෙනිදා පල‌ කෙරුනු ඉදිරිදර්ශන ලියවිල්ල මෙසේ සඳහන් කරයි:

“වසංගතයේ සීඝ්‍ර නැග්මෙහි බියකරුබව සම්පාදනය කරන පර්යේෂනය, මෙම පරිමාවෙන් මරන සිදුවීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ධනවාදී පද්ධතියට එල්ල කෙරෙන දෝෂාභියෝගයකි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ වචන වලට අනුව මිලියන 3.3 ක් වූ මරන 'සමාජ ඝාතනයක්' නම් මෙම මරන සංඛ්‍යාව දෙගුනවීම මගින් ඇඟවුම් කරන්නේ කුමක් ද?”

“එවන් සමුහ මරන අහඹුවක් නොව, දැනුවත් පිලිවෙතක නිෂ්පාදිතයකි. වෛරසයෙන් එල්ල කෙරෙන තර්ජනය ගැන ලෝකයේ පාලක ප්‍රභුව හොඳින් දැන සිටි නමුත් අනතුරු ඇඟවීමක් කිරීම ප්‍රතික්ෂේප කලෝය. එකල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය දැන සිටිය ද නොතකා හලේය. එලඹෙන ව්‍යසනයේ පරිමාව ගැන කොන්ග්‍රසයට සහ මාධ්‍යයට අසංඛේය ලුහුඬු  වාර්තා සහ සම්මුඛ සාකච්ඡා ලැබුනි”.

වාර්තාව නිකුත් කෙරෙන විට නිල වශයෙන් වාර්තා කෙරී තිබුන ගෝලීය කොවිඩ් 19 මරන සංඛ්‍යාව මිලියන 3.3 වූ නමුත් එය දෙගුනයකට වඩා වැඩි බව එනම් මිලියන 6.93 බව ද එහි සඳහන් වේ. 

ශ්‍රී ලංකාව තුල වසංගතයේ සීග්‍ර පැතිරීම සහ මරන සංඛ්‍යාව ඉහලයාම, ඉහත දැක්වූ ගෝලීය ප්‍රපංචයේ ප්‍රකාශනයකි. මේ වන විට රටෙහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 125,000 ඉක්මවා ඇති අතර රෝහල්ගත ආසාදිතයන් ගනන 20,000 ට වැඩිය. මැයි 10 වෙනිදා වාර්තා වූ දෛනික ආසාදිතයන් ගනන 2672 කි. එදින වනවිට මියගිය සංඛ්‍යාව 801 විය. 

පීසීආර් පරීක්ෂන පහත දමා ඇති හෙයින්  අන් සියලු රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද වසංගතයට ගොදුරුවන හා ඉන් මියයන අයගේ සංඛ්‍යාවන් නිල සංඛ්‍යාවන්ට වඩා බෙහෙවින් වැඩි බව නිසැකය. ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් යතා සංඛ්‍යාවන් වසන් කරන බවට මහජන සෞඛ්‍යා පරීක්ෂකවරු නිතර චෝදනා කරති.

“මේ වන විටත් ආසාදිතයින්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේදී සහ ඉන් පසු මරන සංඛ්‍යාවේ තියුනු නැගීමක් සිදුවිය හැකි” බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව ඒකාබද්ධව මැයි 9 වෙනිදා ජනාධිපති රාජපක්ෂ වෙත යවන ලද ලිපියකින් අනතුරු අඟවා තිබේ.

වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් රටේ ජනගහනයෙන් සියයට 60 කට ප්‍රතිශක්ති එන්නත් ලබා දියයුතු  වුවත් මෙතෙක්  එන්නත් ලබා දී ඇත්තේ සියයට 2.4 කට අඩු සංඛ්‍යාවකටය. පලමු එන්නත් මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව තවමත් ලබා ගැනීමට හැකි වී නැත. 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව සහ අනුක වෛද්‍ය  විද්‍යා  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මාධ්‍යයට පවසා ඇති පරිදි  B.1.1.7 (බ්‍රිතාන්‍ය ), B.1.428 (ඩෙන්මාර්කය, B.1.411 (ශ්‍රී  ලංකාව ), B.1.525 (නයිජීරියාව)  B.1.617 (ඉන්දියාව) සහ  B.1.351 (දකුනු අප්‍රිකාව) යන කොරෝනා වෛරස් ප්‍රභේද 6 ක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ මුලින් හඳුනා ගත්  වෛරස් ප්‍රභේදයට වඩා නව ප්‍රභේද බෝවීමේ සහ මරනයට පත්වීමේ ධාරිතාවය වැඩිය. උදාහරන වශයෙන් රටෙහි පැවති ප්‍රභේදයට වඩා බ්‍රිතාන්‍ය  ප්‍රභේදයේ බෝවීමේ ශක්තිය සියයට 50 කින් සහ මරනයට පත්වීමේ ශක්‍යතාවය සියයට 55 කින් වැඩිය. එහත් වේගයෙන්  මතුවන මෙම මාරාන්තික නව ප්‍රභේද සම්බන්ධ පර්යේෂන කිරීමට අවශ්‍ය උපකරන ඇතුලු පහසුකම් ලංකාවේ නැත.

වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්තවීම  සහ ජීවිත බිලි ගැනීම ඇතුලු ඉන් සිදුවන සියලු ව්‍යසනයන්ට රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලංකාවේ ධනපති පාලක පන්තිය මුලුමනින් ම වගකිව යුතුය. වසංගතයට වසර එකහමාරක් ගත වී ඇතත් එය පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක හා විධිමත් පිලිවෙතක් අනුගමනය කිරීම රාජපක්ෂ ආන්ඩුව ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ ආන්ඩුවේ සියලු බලධාරීන් කලේ වසංගතය ඉහලින් ම පාලනය කල පලමු රට ශ්‍රී ලංකාව බවට පුරසාරම් දෙඩීමය. 

වෛද්‍ය  විශේෂඥයන්ගේ සියලු අනතුරු ඇඟවීම් පසෙකට දමා ඇති ආන්ඩුවේ ප්‍රමුඛ උත්සුකය වන්නේ ආයෝජකයන්ගේ සහ මහ ව්‍යාපාරිකයෝ  ලාබෝත්පාදන අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම වන අතර වසංගතයේ ව්‍යාප්තිය සහ ව්‍යසනය “නව සාමාන්‍යය” ලෙස මහජනයා විසින් පිලිගත යුතු ය. 

රට අගුලු දමා සංචරන සීමා පනවන ලෙස වෛද්‍ය විශේෂඥයන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අප්‍රේල් 24 වෙනිදා නිකුත් කල ප්‍රකාශයක දී ජනාධිපති රාජපක්ෂ මෙසේ සඳහන් කර තිබුනි: “ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අගුලු දැමීමේ පියවර ගැනීමට හෝ රටේ ආර්ථික කටයුතුවලට බාධා වන ඇඳිරි නීතිය පැනවීමට නොහැකිය”

රාජපක්ෂ අනු යන්නේ  ලෝකයේ අනෙකුත් සියලු රටවල ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන මාරක “රංචු ප්‍රතිශක්තිකරනය” සහ “නව සාමාන්‍ය” පිලිවෙතයි. මහජන විරෝධය  මැද පසුගිය වසරේ මාර්තු මාසයේ සිදු කල  සීමිත අගුලු දැමීම සති කිහිපයක් ඇතුලත ඉවත් කල ඔහු  “ආර්ථිකය යලි විවෘත කල” අතර “වසංගතය සමඟ ජීවත් වීමට” මිනිසුන් ඉගෙන ගත යුතු බව කීවේ ය.

වසංගතය නිසා පසුගිය මාස කිහිපය තුල ලක්ෂ ගනනක් කම්කරුවන්ට රැකියා ද, සුලු  ව්‍යාපාරිකයන් සහ එදිනෙදා වේල  පිරිමසා ගන්නා පීඩිත ජනයාට සිය ආදායම් මාර්ග ද අහිමි වී ඇත. එහෙත් ධනපති කර්මාන්තකරුවෝ, ව්‍යාපාරිකයෝ රාජපක්ෂ ආන්ඩුවෙන් සම්පාදනය කෙරෙන බිලියන ගනන් මුල්‍ය පහසුකම්  ඇතුලු වරදාන සහිතව බිලියන ගනන් ලාබ පොදි ගසා ගනිති.

Loading