වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය හමුවේ වැඩෙන මහජන විරෝධයෙන් බියපත් “විපක්ෂ” ආන්ඩුව සමග පෙලගැසෙයි

ලංකාව තුල කොරෝනා වසංගතය ව්‍යසනකාරීව පැතිරෙමින්, දිනකට දසදහස් ගනන් ආසාදිතයන් බිහි කෙරෙන සහ සිය ගනන් ජීවිත බිලි ගැනෙන මට්ටම් කරා වර්ධනය වෙද්දී, ව්‍යසනයට මූලික වූ සමාජ ඝාතක පිලිවෙත් ක්‍රියාවට නැංවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් වැඩෙමින් පවතී. 

මෙම මහජන විරෝධය මගින්, ගෙවීගිය මාස කීපය තුල වේගයෙන් වැඩුනු පන්ති අරගල මාලාව ඉස්මත්තට පමුනුවා සමස්ත ධනපති ක්‍රමයටම අභියෝග කරතැයි සලිතවී සිටින ධනපති පාලක ප්‍රභූවේ සියලු විපක්ෂ, පවත්නා උපායික මතභේද පසෙක ලා ආන්ඩුව සමග පෙලගැසීමේ සූදානම ප්‍රකාශයට පත්කොට ඇත.

සර්වපාක්ෂික සමුලුව-2020 ( photo credit- @sjayasiri)

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස “දේශපාලන සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කරමින් මෙහි ආරම්භකත්වය ගත්තේ ය. සජබ ඉරිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී එහි නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රේමදාසගේ “සටන් විරාමය” තවත් පෙරට ගෙන යමින් මෙසේ පැවසීය: “කොවිඩ්-19 අර්බුදය ඵලදායී ලෙස කලමනාකරනය සඳහා සර්ව-පාක්ෂික සමුලුවක් කැඳවන ලෙස සමගි ජන බලවේගය ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

සජබ තවත් නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ, “විපක්ෂයේ සහාය ලබා ගන්නේ කෙසේද යන්න තීන්දු කිරීම සඳහා සර්ව-පාක්ෂික රැස්වීමක් කැඳවීමට සුදුසුම වේලාව මෙය” බවයි. ආන්ඩුවට මෙය “ආපදා අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත්කල හැකි බවත්, ආපදා කලමනාකරන පනත යටතේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, තෝරාගත් අමාත්‍යවරුන්, පලාත් ආන්ඩුකාරවරුන් සහ විපක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් ආපදා කලමනාකරන කවුන්සිලයක් පිහිටුවීමට රජයට හැකි බවත් සිල්වා පෙන්වා දුන්නේය. විපක්ෂය රජයට උදව් කිරීමට සූදානම් බව ඔහු නැවත නැවතත් අවධාරනය කලේය. 

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සජබ යේ තානය ම ඇල්ලීය. එහි නායක අනුරකුමාර දිසානායක මෙසේ කියා සිටියේ ය: “සමස්ත යාන්ත්‍රනය තනි දේශපාලන බලයක් යටතේ මෙහෙයවනු ලැබේ. එහෙත් එය සාමූහික දේශපාලන බලවේගයක් යටතට ගෙන ආ යුතුව තිබුනි. මුලදී අපි රජයෙන් ඉල්ලා සිටියේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් යාන්ත්‍රනයක් සකස් කරන ලෙසයි.”

පවත්නා ව්‍යසනකාරී තත්වය යටතේ පූර්න අගුලු දැමීමක් අත්‍යවශ්‍ය කෙරී ඇතිබවට වසංගත විශේෂඥයන් කරන අවධාරනය තඹ දොයිතුවකට නොතකන ජනාධිපති රාජපක්ෂ, “රටෙහි ආර්ථිකය” සලකා රට දිගටම විවෘතව තබන බවට යලියලිත් සපථ කරන අතර, දහස් සංඛ්‍යාත ජීවිත වසංගතයට බිලි දී ආන්ඩුව ආරක්ෂා කිරීමට වලි කන්නේ තම ආර්ථිකය නොවන බව කම්කරු-පීඩිත මහජනතාව හමුවේ පැහැදිලිව අනාවරනය වෙමින් පවතී. 

තම ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය පිහිටුවන මෙම පිලිවෙත් ගලා එන්නේ, ඒ හෝ මේ ධනපති පාලකයාගේ දුෂ්ඨත්වයෙන් නොව ගෝලීය ධනපති ක්‍රමයෙන් බව, වටහා ගැනීම කම්කරු පන්තියට පහසු කරවන වෛෂයික කොන්දේසි ලොවපුරා වැඩෙමින් පවතී. එක්සත් ජනපදයේ ජෝ බයිඩන් සිට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දක්වා වූ ජාත්‍යන්තර ධනපති පාලන තන්ත්‍ර සියල්ලම වසංගතයට දක්වා ඇති එක සමාන සාපරාධී ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය ධනපති ක්‍රමයේ නිර්මිතයක් බවයි.

ඊට විපරීතව, වසංගතයේ ව්‍යසනකාරී පුපුරායාම ආන්ඩුවේ සාවද්‍ය තීන්දු තීරනයන්හි ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට මෙම විපක්ෂ මංමුලාසහගතව යත්න දරති.

ඉහත සජබ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේ පැවසීය: “කොවිඩ්-19 පුපුරා යාම දේශීයව කලමනාකරනය කිරීමේදී මෙම ආන්ඩුව සම්පූර්නයෙන්ම අසමත් වී ඇත. අපි මුල සිටම ඔවුන්ට කියා සිටියේ පත් කරන ලද කාර්ය සාධක බලකායන් විශේෂඥයින් විසින් මෙහෙයවනු නොලබන බවයි. ආන්ඩුව ර‌ට වසා දැමිය යුතු මොහොතක එය විවෘත කලේය.”

මෙම ප්‍රකාශය මුලුමනින්ම කුහකය. 2020 මාර්තු මාසයේ පනවන ලද අගුලු දැමීම අප්‍රේල් මස අග සිට ක්‍රමයෙන් ලිහිල් කොට ජූනි අගදී මුලුමනින්ම ඉවත් කරන විට සජබ ඇතුලු සියලු ධනපති පක්ෂ මෙන්ම, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති කිසිවක් එයට කවර ලෙසකින් හෝ විරුද්ධ වූයේ නැත. එයට විරුද්ධ වූයේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. 

2020 ජූනි 19 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක  අපි මෙසේ සඳහන් කලෙමු: “ලංකාව දූපතක් වුවද, ගෝලීය ආර්ථිකයේ ‌බලගතු ඒකාග්‍රවීම තුල මානව සංචරනය දැවැන්ත පරිමානව ඉහල නැගී ඇති තතු යටතේ, මෙම කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන්ගෙන්  ගැලවී සිටීමේ හැකියාවක් එයට නොමැත. එබැවින්, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගනු ලැබූ යම් සීමිත පියවර පවා ඉවත්කර ඇති කොන්දේසි යටතේ වසංගතය හිටිවනම මතුවී දහස් ගනන් ජීවිත බිලි ගැනීමේ බලගතු අන්තරායක් ලංකාව තුල පවතී.”

ඊයේ පැවති ජවිපෙ මාධ්‍ය හමුවේදී දිසානායක උත්සාහ දැරුවේ ද වත්මන් ව්‍යසනකාරී තත්වය ජනාධිපති රාජපක්ෂගේ අත්තනෝමතික තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමටය. ඔහු නරුම ලෙස ඉල්ලා සිටියේ, විරුද්ධ පක්ෂ සමග සම්බන්ධ වීමට ආන්ඩුව මැලිකමක් දක්වන්නේ නම්, “මෙය අවම වශයෙන් රජය තුල සාමූහික නායකත්වයක් යටතට ගෙන ආ යුතු” බවයි. 

ඔහු මෙසේ පැවසීය: “ආන්ඩුවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධුරය දැරූ අය, උපදේශක වෛරස් විද්‍යාඥයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් ආන්ඩුව තුල සිටිනවා. කෙටිකාලීන තීරන ගැනීම සඳහා එවැනි යාන්ත්‍රනයක් භාවිතා කල හැකියි.”

දිසානායක විසින් නම් කරන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් ඇතුලත් “යාන්ත්‍රනයක්” මහජන ජීවිත සම්බන්ධයෙන් වඩාත් සාධනීය පියවර ගනිතැයි යෝජනා කිරීම මුලුමනින්ම කුහක ය. ඔවුහු, ධනපති පන්ති අවශ්‍යතාවයන් වෙනුවෙන් සිංහල සහ දෙමල කතා කරන කම්කරු පන්තිය බෙදීම සඳහා ගෙනගිය දෙමල පීඩිත ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයේ ලේ තවරාගත් ජන ඝාතකයෝ වෙති. ජවිපෙ එම යුද්ධයේ ප්‍රමුඛ කසකරුවෙකි.

එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ ද එවැනිම යෝජනාවක් ඉදිරිපත් කරයි. මැයි 10 දා “විශේෂ ප්‍රකාශයක්” කරමින් ඔහු කියා සිටියේ, වසංගතය පාලනය කිරීමට පිහිටුවා ඇති කොමිටි මුලුමනින්ම අසමත් වී ඇති බැවින්, “මෙම වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා පූර්න බලතල ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මන්ඩලයෙන් ඉල්ලා සිටින” බවයි. 

අසමත්වී ඇතැයි ඔහු පවසන කොමිටි සියල්ල පත් කෙරුනේ සහ ක්‍රියාත්මක කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මන්ඩලයේ “පූර්න බලතල” යටතේ ය. එවන් පසුබිමක් තුල වික්‍රමසිංහ කරන මෙම ප්‍රකාශය මුලුමනින්ම වංචනික ය.

ධනපති ක්‍රමය කම්කරු-පීඩිත මහජනතාවගේ අභියෝගයට ලක්වන සෑම අවස්ථාවකම පාලක පන්තීන් මෙලෙස පවත්නා ආන්ඩු සමග පෙල ගැසීමේ සහ මහජනතාවගේ ඇස් වලට වැලි ගසනුවස් ආන්ඩු තුලම නව යාන්ත්‍රනයන් සකස් කර ගැනීමට උපදෙස් ලබාදීමේ, අතීත උදාහරනයන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බහුලය.

වසංගතයෙන් මතු කෙරුනු සමාජ අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාපිලිවෙත සම්බන්ධයෙන් වැඩුන මහජන විරෝධය මධ්‍යයේ, පසුගිය වසරේ මාර්තු මාසයේදී, සර්වපාක්ෂික අදහස් ලබාගැනීමට යැයි කියමින් අගමැති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේදී පැවැත්වූ පක්ෂ නායකයින්ගේ රැස්වීමට එජාප, සජබ, ජවිපෙ පමනක් නොව මුස්ලිම් සහ දෙමල ධනපති පක්ෂ සියල්ල එක්වූහ.  

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා හැකිතාක් පරීක්ෂන පුලුල් කිරීම ඇතුලු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරනය කර නිර්දේශ ආන්ඩුව විසින් නොතැකීම සම්බන්ධයෙන් සහ වසංගතයට මුවාවෙමින් මිලිටරීකරනය වේගවත් කිරීමට ඔවුහු සියලු දෙනාම නිශ්ශබ්දතාවයෙන් එකඟතාව පල කලහ. 

එජාප ප්‍රමුඛ නායකයෙකු වන කරු ජයසූරිය මෙසේ පැවසීය: “රජය, විපක්ෂය සහ අනෙකුත් පාර්ශවකරුවන් ඔවුන්ගේ දේශපාලන වෙනස්කම් පසෙකට දමා අපේ රටට අනවශ්‍ය තුන්වන අර්බුදය වැලැක්වීම සඳහා හදිසි හා අර්ථවත් පියවර ගත යුතුය.” මෙහි “තුන්වන අර්බුදය” යනුවෙන් ඔහු සඳහන් කලේ කුමක්දැයි අර්ථ නොදැක්වුවද එහි ප්‍රමුඛ උත්සුකය වූයේ, ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැඩීඒම බව නිසැකය.

රැස්වීමට සහභාගි වූ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් “ප්‍රමාද වී නමුත් ආන්ඩුව නිවැරදි තීරන ගෙන ඇති” බව පවසමින් ආන්ඩුව පැසසීය. 

ආන්ඩුව, වසංගතය මධ්‍යයේ කම්හල් විවෘත කරමින් කම්කරුවන් වැඩට දැක්කුවේ, ඔවුන්ගේ රැකියා අහිමි කිරීමට සහ වැටුප් කප්පාදු කිරීම සඳහා හාම්පුතුන්ට වරපත්‍ර ලබා දුන්නේ සහ මිලිටරීකරනය වඩාත් වේගවත් කලේ මෙම පක්ෂ ලබාදුන් තල්ලුවෙනි.  

ඉන් වසරකට පසු, වසංගතයෙන් උග්‍ර කෙරී ඇති දැවැන්ත සමාජ විරෝධයකට සහ ගැඹුරු ආර්ථික අර්බුදයකට රාජපක්ෂ ආන්ඩුව මුහුන දි සිටී. 

සැප්තැම්බර් 1 වෙනිදා වනවිට වසංගතයෙන් ශ්‍රී  ලංකාවේ මියයන සංඛ්‍යාව දල වශයෙන් 20,876 දක්වා ඉහල යනු ඇති බවට, වොෂින්ටනය පාදක කොටගත් පර්යේෂන ආයතනයක් විසින් නිකුත් කල නව අධ්‍යයන වාර්තාවකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තතු තුලය. රටෙහි දෛනික ආසාදන සංඛ්‍යාව ලබන මාසය වන විට 50,495 දක්වා ඉහල යනු ඇති බවත්, මාසිකව මිය යන ගනන 2500 ඉක්මවා යන බවත් වාර්තාව පෙන්වා දෙයි.

අනෙක් අතට, දැඩි විදේශ විනිමය හිඟයකින් පෙලෙන ආන්ඩුවේ සමස්ත නය ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 67.27 දක්වා වැඩී ඇත. ආන්ඩුවට, දැවැන්ත කප්පාදු හරහා, මෙම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැත. එහි ප්‍රතිඵලය වනුයේ පන්ති අරගලයන්ගේ දැවැන්ත වර්ධනය යි. ආන්ඩුව එයට මුහුන දීමට සූදානම් වනුයේ මිලිටරිය මත පාදක වූ ජනාධිපතිත්වයක් තහවුරු කිරීමෙනි. 

මෙම සියලු ධනපති පක්ෂ යලිත් පෙරමුනකට පැමිනෙමින් සිටින්නේ, වසංගත ව්‍යසනයට සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් නැගී ඒම වැලැක්වීමේ ප්‍රතිගාමී අරමුනෙනි.