මුහුදු ඛාදනයෙන් ආපදාවට ලක්ව සිටින හලාවත තොඩුවාවේ ධීවර ජනයා ලෝසවෙඅ සමග කතා කරති

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත තොඩුවාව ධීවර ගම්මානය නැවත වතාවක් දැඩි මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතී. මැයි මාසයේ ආරම්භ වූ නිරිත දිග මෝසම් සුලඟත්, පසුගිය සතියේ අරාබි මුහුදේ පැවති පීඩන අවපාත‍යෙන් ඇතිවූ කුනාටු සහගත තත්වයත් හේතුවෙන් මුහුදු ඛාදනය තීව්‍ර වී ඇත. 

මුහුදු ඛාදනයකට ලක්වූ හලාවත තොඩුවාව මුහුදු තීරය

තොඩුවාව කුරුස පල්ලිය ආසන්නයේ සිට උතුරු දෙසට මෝය දක්වා වෙරල තීරය බරපතල ලෙස ඛාදනය වෙමින් නිවාස 50ක් ඇතුලු වෙනත් දේපල මුහුදට බිලිවීමේ දැඩි අවදානමක් පවතී. පසුගිය වස‍‍රේ සිදු වූ බරපතල මුහුදු ඛාදනයෙන් ද කිලෝමීටරයකට ආසන්න මෙම වෙරල තීරයේ පිහිටි මාර්ගය, වැට මායිම්, තාප්ප, වැසිකිලි, නිවාස සැලකිය යුතු විනාශයකට ලක් විය. 

දිගුකාලීනව මුහුනදෙන මෙම ප්‍රශ්නය අනුප්‍රාප්තික ආන්ඩු විසින් නොතකා හැරීමට එරෙහිව වර්ධනයවූ මහජන කෝපය මෙවර ඛාදනයත් සමග යලි ඉස්මත්තට පැමින ඇත. එය යටපත් කිරීමට වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුව සහ මහවැව ප්‍රා‍‍දේශීය ලේකම් කාර්යාලය මගින් කුඩා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගල් වැටි දැමීමක් සිදු කලමුත් ඛාදනය නවතා ලීමට නො හැකි විය.  

2020 අගෝස්තුවේ පැවති මහ මැතිවරනයේ ඡන්ද කඩාගැනීමේ කෑදර කමින් මුහුදු ඛාදනයට විරුද්ධ මහජන නොසන්සුන්තාවය මැදට පැනගත් ආන්ඩුවේ හා විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින්, එවර බැකෝ යන්ත්‍ර ගෙන්වූයේ තමන්ගේ මැදිහත් වීමෙන් යයි මවාපාමින්, මහජනයාගේ ආරක්ෂකයන් තමන් බව පෙන්වීමට ඔවුනොවුන් අතර පොරයක යෙදුනි. 

මැතිවරනයක් අසලකවත් නොමැති තත්වය උඩ, කොරෝනා වසංගතයත් සමග මුහුදු ඛාදනයෙන් පීඩාවට පත්ව සිටින ජනයා කබලෙන් ලිපට වැටී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ ඡායාමාත්‍රයක්වත් දැකගැනීමට නොහැකි බව ධීවරයෝ පවසති. 

ධීවරයන් ඉල්ලා සිටින්නේ වාරකන් කාලය පැමිනෙන තෙක් නොසිට ගල්වැටි දැමිම අඛන්ඩව තොඩුවාව මෝය දක්වාම සිදු කරන ලෙසයි. පසුගිය වසරේදි එවකට ධීවර රාජ්‍ය ඇමතිව සිටි සනත් නිශාන්තට එම ඉල්ලීම ඉදිරිපත් කලවිට ඔහු පො‍රොන්දු වී ඇත්තේ මේ වස‍රේ පෙබරවාරි මාසය වන විට එම ඉල්ලිම ඉෂ්ඨ කර දෙන බවටයි. 

පොරොන්දු ඉටු නොවූ තැන ගල් වැටිය දමා අවසන් කරන ලෙසට රජයට බලකරමින් නිවාස මුහුදට බිලිවීමේ තර්ජනයට මුහුන දී සිටින ධීවර පවුල් වල ජනතාව පසුගිය අප්‍රේ ල් 02 දා තොඩුවාවේ දී විරෝධතාවයක නිරත විය.  නමුත්, එතැනට පැමිනි පොදුජන පෙරමුනු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නියෝජිතයෙකු ඉල්ලීම ඉටු කරදෙන බවට ලබා දී ඇත්තේ තවත් හිස් පොරොන්දුවක් පමනි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ එක් ධීවරයෙක් පැවසූවේ පසුගිය වසරේ ආරම්භ කල ගල්වැටි දැමිම පවා කිසිදු සැලසුමකට සිදු නොකෙරූ බවය. වැටි වලට කුඩා ගල් යොදා ගැනීම නිසා ඒවා මුහුදට ගසාගෙන යන බවත් එය අසාර්ථක සහ මිනිසුන් රැවටීමට කරන වැඩක් බවත් ඔහු කීවේය.   

ප්‍රදේශය පුරා ධීවර ජනතාවගේ තවත් ප්‍රමුඛ ඉල්ලීමක් වන්නේ ධීවර වරාය ඉදි කරන ලෙසයි. වරාය පහසුකම් නො මැති වීමෙන් කුඩා බෝට්ටු මුහුදට දියත් කිරීමේ දී සිදුවන අනතුරු වලින් ජීවිත අහිමි වන අවස්ථාද ඇත. තොඩුවාවට නැංගුරම්පොලක් ලබාදෙන බව දශක දෙකක පමන කාලයක සිට සෑම මැතිවරනයකම ප්‍රධාන ධනපති පක්ෂ දෙකම ලබාදෙන ව්‍යාජ පොරොන්දුවකි. 

ඉන්දන හා දැල් ආම්පන්නවල ඉහල යන මිල ගනන්වලට ද ධීවරයෝ මුහුන දී සිටිති. බහුදින යාත්‍රා බෝට්ටුවලින් නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්නේ වැඩි ප්‍රතිලාභ අත්පත් කර ගන්නේ, ටූනා (කේන්දා) මත්ස්‍ය මිල ගනන් තම ලාභ අවශ්‍යතා සඳහා වෙනස් කරන, විදේශ ධීවර නැව් සහ මත්ස්‍ය අලෙවියේ යෙදී සිටින මහා සමාගම් විසිනි. මාසයකටත් වැඩි කාලයක් මුහුදේ ගත කොට මසුන් ඇල්ලීමේ නිරත ධීවරයන්ට හිමි වන්නේ සුලු පංගුවකි. මෙම ධීවරයන් මාලු හසු නොවන වාරවල දී කිසිදු මුදලක් නොමැතිව නය වීමට වන අවස්ථා බොහෝ වෙති.  

එක් ධීවර කාන්තාවක් පැවසුවේ හදිසියේ මූදු රල වැඩි වේ යයි බියෙන් තම ගෙදර දොර ලී බඩු සහ මුලුතැන්ගෙයි උපකරන වෙරලට ඈතින් තිබෙන ඇයගේ සහෝදරියගේ නිවසේ තැබූ බවයි. “ඡන්ද කාලෙට එන එකෙක්වත් දැන් අපි අසරන වෙච්ච වෙලාවේ එන්නේ නෑ. ඒ මදිවට අපෙන් වරිපනම් ඉල්ලනවා. අපි කොහොමද ඒවා ‍ ගෙවන්නේ. දැන් අපිට ගෙවලුත් නැතිවේගෙනයි යන්නේ. ආන්ඩුවෙන් ඉඩම් දෙන්නේ වුන්ගේ හෙන්චයියන්ට විතරයි“ යනුවෙන් ඇය චෝදනා කලා ය.   

තම අදහස් පල කල තවත් ධීවර කාන්තාවක්: “සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අපිට කිව්වා පිටින් ඉඩම් දෙනවා කියලා. නමුත් ඈත පලාත් වලින් අපිට ඉඩම් දීල වැඩක් නෑ. අපි දන්නේ ධීවර රස්සාව විතරයි. මගේ මහත්තයා කුලියට එක එක්කෙනාගේ මාලු දැල්වල ඉරුම් බැඳලා (දැල් අලුත් වැඩියා කිරීම) හම්බ කරන දෙයින් තමයි අපි ජීවත් වෙන්නේ. සමෘද්ධියවත් කිසිම සහනාධාරයක්වත් අපිට නෑ. අපේ ඡන්දෙ ගන්න විතරයි දේශපාලනඥයෝ එන්නෙ. ඈත පලාතකට ගිහිල්ලා බතල මඤ්ඤොක්කා වවන්නද ?" යැයි ඇය ප්‍රශ්න කලා ය. 

පසුගිය වසරවල දී මෙලෙස මුහුදු ඛාදනයට ලක්වීමෙන් තම නිවාස අහිමි වූ තොඩුවාවට දකුනු දෙසින් පිහිටි මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පවුල් 25 ක පමන ජනයාට ද තවම ස්ථීර පදිංචි ස්ථාන ලබා දී නැත. පිටුපස බිත්තිවලට මුහුදු රල පහරදෙද්දීත්, පොල්අතුවලින් අටවා ගත් මුලුතැන්ගෙවල්වලට උඩින් මුහුදු රල පහර එල්ලවද්දීත් ඇතැම් ජනයා තවමත් එම නිවාස තුලම රැඳී සිටින්නේ වෙන කර කියා ගැනීමට දෙයක් නොමැති හෙයිනි. 

ශ්‍රී ලංකාවේ දකුනු දිග සිට බස්නාහිර හා වයඹ දෙසට වෙරල තීරය නිරත දිග මෝසම් වර්ෂා කාලය තුල මුහුදු ඛාදනයට ගොදුරු වීමත් නැවත අන්තර් හා ඊසාන දිග මෝසම් කාලවල දී සුලං මාරුවත් සමග ඛාදනය වූ කොටස් යලි ප්‍රතිසංස්කරනය වීමත් ස්වභාවික ක්‍රියාවලියකි. නමුත් පසුගිය දශක දෙකක පමන කාලයක සිට ඛාදනයට ලක් වීම වැඩිවී තිබෙන බවත් ඇතැම් අවස්ථාවල දී උදම් රල පවා ගොඩබිම දෙසට පැමිනීමත් වේගවත් වී ඇතැයි ධීවරයෝ පවසති. 

ගෝලීය උනුසුම ඉහල යෑම මගින් උත්තර හා දක්ෂින ධ්‍රැවවල පිහිටි අයිස් දියවීම හේතුවෙන් සිදුවෙමින් යන ගෝලීය මුහුදු මට්ටම ඉහල නැගීම, ලොව පුරා කුඩා දූපත් සහ වෙරලාසන්නව ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනයාගේ නිවාස, රැකී රක්ෂා තර්ජනයට ලක් කර තිබේ. 

ජාත්‍යන්තර සංසිද්ධියක් වන ගෝලීය උනුසුමට බලපා ඇත්තේ මහා පරිමාන කර්මාන්ත ශාලාවලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් (කාබන් පොසිල දහනය) වායු විමෝචනය හා මහ පරිමාන වන විනාශයි. ගෝලීය උනුසුමේම තවත් ප්‍රතිඵලයක් වන වෙරල ආරක්ෂා කරන ස්වභාවික තාප්පයක් ලෙස කටයුතු කරන කොරල් පර විනාශ වීම මගින් ද මුහුදු ඛාදනය තවත් තීව්‍ර කර තිබේ. 

ලෝකයේ ප්‍රධාන ආර්ථික බලයන්ගේ සිට සෑම ධනපති රාජ්‍යයක්ම මෙම බරපතල පාරිසරික විනාශයට ඍජුව වගකිව යුතු ය.   

පසුගිය ශතවර්ෂය තුල ගෝලීය මුහුදු මට්ටම සෙන්ටිමීටර් 17 කින් ඉහල නැගි අතර, එය ඉදිරි දශකය තුල දෙගුනයක් විය හැකි බවත් වර්ෂ 2100 විට විට සෙන්ටි මීටර් 102 කින් වැඩි විය හැකි බවත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනජිත් කුමාර අනතුරු අඟ වා තිබේ. 

ගෝලීය උනුසුම හේතුවෙන් මේවන විට ග්‍රීන්ලන්තයේ සහ දක්ෂින ධ්‍රැවයේ ග්ලැසියර් වසරකට ඝන කිමී 150 ත් 250 ත් අතර ප්‍රමානයක් දියවන බව ඔහු පවසයි. 

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ලංකාවේ කල්පිටිය සිට යාල දක්වා කිලෝ මීටර් 685ක වෙරල තීරුව වාර්ෂිකව වර්ග මීටර 175,000 ත් 285,000 අතර ප්‍රමානයකින් ඛාදනයට ලක්වන බවට ගනන් බලා තිබේ.  

Loading