ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 මරන නව ඉහල මට්ටමකට ලඟාවත්ම, නොමිලේ එන්නත් ලබා දීමට මෝදි විරුද්ධ වෙයි

[මෙහි පලවන්නේ 2021 මැයි 20, දින  Health care workers on the move throughout the world in a fight for patient safety and a living wage  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දියාවේ නව දෛනික කෝවිඩ්-19 ආසාදනයන් මසකට ආසන්න කාලයක් තුල පලමු වතාවට 300,000 ට වඩා පහත වැටුනද, නිල මරන සංඛ්‍යාව වාර්තාගත ඉහලම මට්ටමට ලඟා වූයේ, අඟහරුවාදා මරන 4,329 ක් සහ බදාදා 4,529 එකපිට වාර්තා කරමිනි.

තත්වය වඩාත් නරක අතට හරවමින්, වසංගතය රටේ ජනගහනයෙන් සියයට 65 කට වැඩි ප්‍රමානයක් - මිලියන 800 කට අධික පීඩිත හා දුගී ජනතාව- වාසය කරන ඉන්දියාවේ දුරස්ථ හා ග්‍රාමීය ප්‍රදේශවල නව අභිජනන ස්ථාන සොයාගෙන ඇත. ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් කොහෙත්ම පාහේ නැත.

2021 අප්‍රේල් 29 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි හි කෝවිඩ්-19 එන්නත ලබා ගැනීමට ජනතාව බලා සිටී. (AP ඡායාරූපය / රාජනීෂ් කකාඩේ)

නිල ආසාදන හා මරන සංඛ්‍යාව කෙතරම් බිහිසුනු වූවද , ඒවා සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැක ගනු ලබන්නේ ඉන්දියාවේ කෝවිඩ්-19 ව්‍යසනයේ සැබෑ පරිමාව බරපතල ලෙස අවතක්සේරු කිරීම් ලෙසය. සමහර විද්‍යාඥයන් තක්සේරු කරන්නේ පෙබරවාරි මැද භාගයේ ආරම්භ වූ ඉන්දියාවේ “දෙවන රැල්ලෙහි” සැබෑ මරන සංඛ්‍යාව නිල සංඛ්‍යාව මෙන් 5 සහ 10 අතර ගුනයකින් වැඩි බවයි. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ සෑම දිනකම කෝවිඩ්-19 යෙන් දස දහස් ගනනක් මිය යන බවයි.

මෙම ව්‍යසනකාරී තත්ත්වය සඳහා වගකීම ඍජුවම පැවරෙන්නේ, මීට මාස දෙකකටත් අඩු කාලයකට පෙරද වසංගතය පිලිබඳව ඉන්දියාවේ “ආදර්ශමත් කලමනාකරනය” ගැන පුරසාරම් දොඩමින් සිටි, මෝදිට, ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවට සහ ඉන්දියාවේ දූෂිත ධනවාදී ප්‍රභූවට ය. ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනා ගත් දැන් ලොව පුරා ව්‍යාප්ත ව ඇති B.1.617 ප්‍රභේදයද  ඇතුලුව නව හා වඩාත් බෝවන ප්‍රභේදයන් විසින් ධාවනය කරනු ලැබ  වර්ධනය වෙමින් පවතින දෙවන රැල්ල පිලිබඳව මෝදි සිය විද්‍යාත්මක උපදේශකයින්ගේ අනතුරු ඇඟවීම් ක්‍රමානුකූලව නොසලකා හැරියේය. ඒ වෙනුවට මෝදි දිගින් දිගටම කියා සිටියේ, ඔහුගේ ආන්ඩුව වසරක් තිස්සේ ක්‍රියාකර ඇති පරිදි , සංගත වල ලාභ  ගැරීම සඳහා බාධා කිරීමට කිසිවකට  ඉඩ දිය නොහැකි බවයි. අප්‍රේල් මැද භාගයේදී නිල දෛනික මරන සංඛ්‍යාව 3,000 දක්වා ඉහල ගොස්  ඉන්දියාව ගෝලීය වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙද්දී මෝදි ප්‍රකාශ කලේ, වෛරසයෙන් නොව “ඉන්දියාව අගුලු දැමීමෙන් බේරා ගැනීම” අවශ්‍ය බවය.

මෝදිගේ “ජීවිත වලට පෙර ලාභය” මූලෝපාය හා සමඟ, සම්පුර්නයෙන්ම අවුල් සහගතව පවතින ආන්ඩුවේ එන්නත්කරනය තකට තක සේය. ඔහුගේ ආන්ඩුව ඉන්දියානු ජනතාවට නොමිලේ එන්නත් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ප්‍රායෝගිකව එයින් අදහස් කෙරෙන්නේ මිලියන සිය ගනනක් දුගී ජනතාවට ඒවා  නොලැබෙන බවයි. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් එන්නත් නිෂ්පාදනය සහ එන්නත් බෙදා හැරීමේ සැලකිය යුතු කොටසක් පෞද්ගලික සමාගම් වෙත ලබා දී ඇති අතර ඒවා විශාල ලාභයක් ගරා ගන්නේ, අධික මිලක්  අය කීරීම සඳහා ආන්ඩුව විසින් ඔවුනට ඉඩ ලබාදීමට  ස්තුති වන්නටය. ඉන්දියාවේ අතිශය ධනවත් ප්‍රභූව තව දුරටත් පොහොසත් කිරීමට අමතරව, ඉන්දියානු ධනවාදී ව්‍යවසායයේ ප්‍රබලත්වය ලොවට පෙන්වීම සඳහා පුද්ගලික සමාගම් මත යැපීමට මෝදි ආන්ඩුව තීරනය කලේය.

මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වන්නේ කෝවිඩ්-19 එන්නත් සඳහා ලෝකයේ ඉහලම මිල ගනන් වලින් එකක් ඉන්දියාවේ තිබීමයි. ඇස්ට්‍රාසෙනෙකා විසින් සංවර්ධනය කරන ලද සහ ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත මත පදනම් වූ කෝවිෂීල්ඩ් මාත්‍රාවක් ඩොලර් 12 ක් මිල වන අතර භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරන කොවැක්සින් මාත්‍රාවක් ඩොලර් 17 ක් බැගින් මිල නියම කර ඇත. එන්නත් දෙකටම මාත්‍රා දෙක බැගින් අවශ්‍ය වේ. මෙය ඉදිරිදර්ශනයකට අඩංගු කිරීම සඳහා, මෑත වාර්තාවක පලවූ වසංගතය තවත් ඉන්දියානුවන් මිලියන 235 ක් ආන්ඩුවේ “දරිද්‍රතා රේඛාවෙන්” පහලට තල්ලු කර ඇති බවට වූ සඳහන ගෙනහැර දැක්විය හැකිය. “දරිද්‍රතා රේඛාව”  දිනකට රුපියල් 375 ක හෝ ඩොලර් 5 ක් පමන ආදායමක් වේ. මේ අනුව, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් සඳහා, එන්නත් අත පෙවිය හැකි සීමාවෙන් ඔබ්බෙහි වේ.

වෛද්‍යමය ඔක්සිජන් බෙදා හැරීම සඳහා විද්‍යාත්මක යාන්ත්‍රනයක් සැකසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පත් කරන ලද ජාතික කාර්ය සාධක බලකායේ සාමාජික වෛද්‍ය දේවි ෂෙට්ටි මැයි 15 වනදා ඉන්දියා ටුඩේ ටීවී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසීය. “රටේ කී දෙනෙකුට මේ ආකාරයේ මුදලක් දරාගත හැකිද? පසුගිය මාස කිහිපය කම්කරු පන්තියට සහ දුප්පතුන්ට ඉතා දුෂ්කර වීය. බොහෝ දෙනෙකුට කිසිදු ආදායම් මාර්ගයක් නොමැත. ”

ඉන්දියාවේ මිලිටරිය සඳහා වියදම් කරන  අතිවිශාල මුදල් සම්භාරය හා - ෆෝබ්ස් සඟරාවට අනුව, ඔවුන්ගේ ධනය පසුගිය වසර තුල දෙගුනයකට ආසන්න ප්‍රමානයකින් ඩොලර් බිලියන 596 ක් දක්වා වැඩිවනු දුටු- රටේ ප්‍රකෝටිපතියන් විසින් ගොඩ ගසාගන ඇති  අසික්කිත ධනස්කන්දය සමඟ සසඳන විට, වයස අවුරුදු 18 ඉහල සැවොම එන්නත්කරනය සඳහා වන මුදල සොච්චමකි . මුලු පිරිවැය ලෙස ගනනය කර ඇත්තේ ඩොලර් බිලියන 6.4 ක් හෙවත් ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.32 ක් වැනි සුලු මුදලකි. එය 2020 ආරක්ෂක අයවැය වූ ඩොලර් බිලියන 71 න් කුඩා ප්‍රමානයකි.

වෛරසයෙන් ජනගහනය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියානු පාලක ප්‍රභූව මෙම ඉතා සුලු  මුදල වියදම් කිරීම ප්‍රතික්ෂේප කිරීම සෞඛ්‍යාරක්ෂාව සඳහා ඔවුන්ගේ චිරස්ථායී ඌන අරමුදල් සම්පාදනවලට සාමාන්‍යයෙන් අනුකූල වේ. දශක ගනනාවක් තිස්සේ ඉන්දියානු රාජ්‍යය, එනම් ආන්ඩුවේ සියලු මට්ටම් ඒකාබද්ධව, සෞඛ්‍ය සේවා සඳහා වැය කර ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් යන්තම් සියයට 1.5 කට සමාන මුදලක් වේ.

වසංගතය කෙරෙහි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සාපරාධී ප්‍රතිචාරය මගින් මෙම දුෂ්ට නො සලකා හැරීම උග්‍ර වී තිබේ. ඔවුන්, එක්සත් ජනපදයේ නායකත්වය ලැබ, ඖෂධ යෝධයින්ගේ එන්නත් පේටන්ට් බලපත්‍ර වලින් නිදහස් කිරීම  ප්‍රතික්ෂේප කර ඇති අතර, එන්නත් සහ ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය අපනයනය කිරීම අවහිර කර ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුලුල් මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික අවි ගබඩාවේ තවත් ආයුධයක් බවට, ජීවිතාරක්ෂක විභවයක් දරන්නාවූ එන්නත් පරිවර්තනය කිරීමේ ප්‍රතිගාමී පියවරක් ලෙස එක්සත් ජනපදය විසින් මිලියන සිය ගනනක මාත්‍රාවන් ගබඩා වල ගොඩ ගසා ගන ඇත.

පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් හෙලි කලේ, අප්‍රේල් මස මුල වන විට අඩු ආදායම්ලාභී රටවල් විසින් ලබා දී ඇත්තේ ගෝලීය වශයෙන් ලබා දුන් මුලු මාත්‍රා මිලියන 700 න් යන්තම් සියයට 0.2 පමන ක් බවත්, ධනවත්ම රටවලට සියයට 87 කට වඩා ලැබී ඇති බවත් ය. ගෝලීය වශයෙන් එන්නත් බෙදා හැරීමෙහි කම්පන දනවන සුලු අසමතුලිතතාවයක් පවතී,” යි ඔහු පැවසීය. “ඉහල ආදායම් ලබන රටවල සාමාන්‍යයෙන් පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට එන්නතක් ලැබී තිබේ. අඩු ආදායම් ලබන රටවල එය 500 ට වඩා වැඩි ගනනකට  1කි. මට එය නැවත ක‍ීමට ඉඩ දෙන්න: හතරෙන් එකකට එදිරිව  500 ට එකක්. ”

ජනවාරි මැද භාගයේදී ඉන්දීය ආන්ඩුව සිය එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කරනා  විට මෝදි පුරසාරම් දෙඩුවේ, එය “ලෝකයේ විශාලතම එන්නත් කිරීමේ වැඩසටහන” වනු ඇති බවයි. මුලදී, මෙම වැඩසටහන වයස අවුරුදු 60 ට වැඩි අයට සහ වයස අවුරුදු 45 හෝ ඊට වැඩි වෙනත් රෝග සහිත අයට පමනක් සීමා විය. වයස අවුරුදු 18 ත් 44 ත් අතර පුද්ගලයින්, එනම් මිලියන 600 කට ආසන්න ජනතාවක් මැයි 1 වනදා වන විට මෙම වැඩසටහනට ඇතුලත් කර ගත්තේ, අවශ්‍ය එන්නත් සංඛ්‍යාව නොමැති බවද, එය තවදුරටත් ව්‍යාකූලත්වයට හා දුෂ්කරතාවන්ට හේතු වනු ඇති බවද හොඳින්ම දත් ආන්ඩුව විසින්ය.

‘දත්ත මගින් අප ලෝකය’ (Our World in Data) ට අනුව, මැයි 15 වන විට බිලියන 1.38 ක ජනගහනයක් සිටින ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව ලබා දී ඇත්තේ, එන්නත් මාත්‍රා මිලියන 182 ක් පමනකි . හුදෙක් මිලියන 40.4 ක ජනතාවක්, නැතහොත් සමස්ත ජනගහනයෙන් යන්තම් සියයට 3 ක් පමනක් පූර්නව එන්නත්කරනය වී ඇත .

ඉන්දියාවේ වයස අවුරුදු 18 ට වැඩි මුලු ජනගහනය මිලියන 966 ක් පමන වේ. මාස 12 ක් ඇතුලත සෑම කෙනෙකුටම එන්නත ලබා දීම සඳහා දල වශයෙන් මිලියන 1,930 ක එන්නත් ප්‍රමානයක් අවශ්‍ය වන බව මෙයින් අදහස් කෙරෙන අතර එය දිනකට මාත්‍රා මිලියන 5.4 ක් බවට පරිවර්තනය වේ. ඉන්දියාවේ ප්‍රධාන පුද්ගලික එන්නත් නිෂ්පාදකයින් දෙදෙනාගේ නිෂ්පාදන ධාරිතාව දිනකට මාත්‍රා මිලියන 3.8 කට සීමා වේ.

ඉන්දියාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කාලකන්නි ශේෂ පත්‍රය, මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනගහනය ආරක්ෂා කිරීම නොව, පාලක ප්‍රභූවේ ආර්ථික හා භූ-දේශපාලනික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා මාධ්‍යයක් ලෙස එය භාවිතා කිරීම කෙරෙහි මෝදි ආන්ඩුව විසින් අවධානය යොමු කිරීමේ ඍජු ප්‍රතිඵලය වේ. ඉන්දියානු ජනගහනයට අවශ්‍ය නිෂ්පාදන ධාරිතාව නොමැති වුවද තනිකරම පුද්ගලික ව්‍යවසායන් මත යැපීමේ එහි අධිෂ්ඨානය ගලා එන්නේ පසුගිය දශක තුනක කාලය තුල සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් ආයෝජක ගැති ප්‍රතිපත්ති නිර්දය ලෙස අනුගමනය කිරීම තුලිනි . ගෝලීය ආයෝජන සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස ඉන්දියාව චීනය සමඟ තරඟ වදින කොන්දේසි යටතේද, ඉන්දු-පැසිෆික් කලාපයේ මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බීජිනයට අභියෝග කිරීමේදී වොෂින්ටනයට පිටුපසින් පෙල ගැසී සිටීමේදීද, “ඉන්දියාවේ නිෂ්පාදිත” එන්නත් තොරොම්බල් කිරීම අත්‍යවශ්‍යක දෙයක් ලෙස භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව දුටුවේය.

එන්නත් බෙදා හැරීම හා එන්නත්කරනය පරිපාලනය කිරීම සඳහා පෞද්ගලික අංශය මත රඳා පැවත්ම, ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමානයක් එන්නත් කිරීම සඳහා තවදුරටත් බාධක මතු කරයි. වයස අවුරුදු 45 සහ ඊට වැඩි අය සඳහා වෙන් කල,  මුලු මිලදී ගත් එන්නත් මාත්‍රා වලින් සියයට 50 ක් මිලදී ගැනීම සඳහා සාකච්ඡා කර ගැන්මෙන් පසු මධ්‍යම ආන්ඩුව, - සියයට 25 බැගින් වූ- ඉතිරිය සඳහා ප්‍රාන්ත සහ පෞද්ගලික රෝහල් වලට පෞද්ගලික නිෂ්පාදකයින් සමඟ ඔවුන්ගේම කොන්දේසි සාකච්ඡා කරගැනීමට කටයුතු සකස් කලේය.  ඉන්දියාවේ සේරම් ආයතනයට සහ භාරත් බයෝටෙක් ආයතනයට ඔවුන්ට  සුදුසු යැයි හැඟෙන ඕනෑම මිලක් අය කිරීම සඳහා නිදහසක් ලබා දෙන ලදී. 

මෙම සැකසුමේ ප්‍රතිඵලය වන්නේ ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනයේ විසමානුපාතික  ප්‍රමානයක්, ප්‍රාන්ත අභිබවා වැඩි මිලට ඉල්ලීම් ඉදිරිපත් කල හැකි විශාල පෞද්ගලික රෝහල් සමූහ වෙත ගලා ඒමයි. ඇපලෝ, මැක්ස්, ෆෝටිස් සහ මනිපාල් යන ප්‍රධාන සෞඛ්‍ය සේවා සමූහ හතරක් එන්නත් වල විශාල කොටස ලබා ගනිමින් සිටින බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව මෙම එන්නත්, පෞද්ගලික රෝහල් සාමාන්‍යයෙන් රෝගීන්ගෙන් එක් මාත්‍රාවකට අය කරන රුපියල් 1,000 ත් 1200 ත් අතර වන අසාධාරන  මිල දැරිය හැකි ජනගහනයේ වඩා පොහොසත් ස්ථර වෙත යොමු කෙරේ.

 අනෙක් අතට, ආසාදන විශාල වශයෙන් ඉහල යමින් තිබෙන ග්‍රාමීය ජනතාව පසෙකට දමනු ලබන්නේ ප්‍රධාන පෞද්ගලික රෝහල් ග්‍රාමීය ප්‍රදේශවල කොහෙත්ම පාහේ නොමැති බැවිනි. මැයි 14 වන විට නාගරික දිස්ත්‍රික්කවල වැසියන්ගෙන් සියයට 30 කට පලමු එන්නත මාත්‍රාව ලැබී ඇති අතර, ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ගෙන් සියයට 12 ත් 15 ත් අතර සංඛ්‍යාවක් පමනක් පලමු එන්නත් මාත්‍රාව  ලබාගෙන තිබේ.

Loading