ජනාධිපති රාජපක්ෂ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වාරනයක් පනවයි

“ජනයා භීතියට පත් කරන ප්‍රකාශ මාධ්‍යයට නිකුත් නො කර කොව්ඩ් තත්වය සම්බන්ධ යම් ගැටලුවක් තිබෙනවා නම් ඍජුව මට දැනුම් දෙන්නැයි” පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වෛද්‍ය විශේෂඥයන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයන්ට වාරනයක් පැනවීය. රාජපක්ෂ මෙසේ පැවසුවේ හමුදාපති, ආන්ඩුවේ මැති ඇමතියන් හා “සෞඛ්‍යය බලධාරීන්” ද සම්බන්ධ කර ගනිමින් මැයි 21 දා පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමක දී ය. 

 “ජනයා භීතියට පත් කරන ප්‍රකාශ” ලෙස රාජපක්ෂ හඳුන්වන්නේ, වෛද්‍ය විශේෂඥයන් සහ වෛද්‍ය සංගම්, වසංගතයේ ව්‍යසනකාරී වයාප්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යතා තොරතුරු සහ රට පූර්න අගුලු දැමීමකට ලක් කල යුතු බවට නැවත නැවතත් කරන අවධාරනය යි. වසංගතයෙන් සිදුවන මරන සහ ආසාදන පිලිබඳ සැබෑ සංඛ්‍යා ලේඛන, දත්ත සහ තොරතුරු මෙන්ම රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් වර්ධනය වී ඇති සැබෑ තත්වය මහජනතාවගෙන් වසන් කිරීම මෙම වාරනයේ අරමුනයි.  

මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛන්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා පූර්න අගුලු දැමීමක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂ ආන්ඩුව වෛද්‍ය විශේෂඥයින්ගේ ඉල්ලීම් මුල සිට බැහැර කොට තිබේ. සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස් යටපත් කරමින් ව්‍යාපාරික ගැති පිලිවෙත ඉදිරියට ගෙන යෑමේදී පැන නැගිය හැකි මහජන විරුද්ධත්වයක් මැඩීමේ අරමුනින්, රාජපක්ෂ කොරෝනා මර්දන වැඩකටයුතු ආරම්භයේ සිටම මිලිටරිකරනය කලේය. කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනේ මෙම අරමුනෙනි. 

සමස්ත සෞඛ්‍ය සේවකයන් මත රාජපක්ෂ පනවා ඇති මෙම වාරනය මිලිටරිය මත පදනම් ජනාධිපති ආඥාදායක් දිශාවට තැබූ තවත් පියවරකි. 

මෙම වාරනයේ කොටසක් ලෙස, මැයි 10 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුනසිංහ ලවා සෞඛ්‍ය සේවකයන්ට “ජන මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම“ වලකා ලන චක්‍රලේඛයක් නිකුත් කරවීමට රාජපක්ෂ පියවර ගත්තේය. සෞඛ්‍ය සේවකයන් මාධ්‍යය හරහා කරන විවේචන “මහජනතාවයට ලබා දෙන සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සැපයීමටත් සෞඛ්‍ය සේවාව පිලිබඳව මහජනතාව තුල පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමටත් විශාල බාධාවක් ව පවතී“ යයි එම චක්‍රලේඛයේ දක්වා තිබේ. 

ඩේලිමිරර් පුවත්පත මෙම චක්‍රලේඛය පිලිබඳව කරන ලද විමසීමකදී වසංගත රෝග පිලිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ එම වාරනය අනුමත කරමින් මෙසේ පවසා ඇත: "සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවය කිරීමේදී යම් විනයක් තිබෙනවා. අවශ්‍ය ඕනෑම වෙලාවක අපට මාධ්‍යයට ප්‍රකාශ කරන්න බෑ."

"රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ඒ ගැන කතා නො කලේ මන්ද යන්න ප්‍රහේලිකාවක්" යයි පවසමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ද ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. "මේ දක්වා තීන්දු ගෙන ඇත්තේ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුව" බවට සහ "ඉදිරියටත් එසේ සිදු කරන බවට" ඉහත රැස්වීමේදී රාජපක්ෂ කල කුහක හා වංචනික ප්‍රකාශය සිල්වා පුනරුච්ඡාරනය කර තිබේ. 

කෙසේ නමුත්, සංචරන සීමා පැනවෙන  කාලය තුල, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්තශාලා පවා අඛන්ඩව පවත්වාගෙන යා යුතු බව ඉහත කාර්ය සාධක බලකා රැස්වීමේ දී ජනාධිපති රාජපක්ෂ අවධාරනය කර ඇත. 

පසුගිය වසරේ මාර්තු හා අප්‍රේල් මාසවල පැන වූ අගුලු දැමීම් තුල පවා, ඇඟලුම් කම්හල් ඇතුලු අපනයන මුල් කර ගත් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන අඛන්ඩව විවෘතව පැවතුනු අතර එම කම්හල් වසංගතය ව්‍යාප්ත කරන මධ්‍යස්ථාන ලෙස වඩවඩාත් වර්ධනය විය. මේ වන විට ඇඟලුම් කම්හල්වල ආසාදිත වූ සේවක සංඛ්‍යාව දහස් ගනනකි.  

“ඇමතිවරු, වසංගතරෝගවේදීන්, වෛද්‍යවරු මේ සියල්ල එක ටීම් එකක් විදිහට වැඩ කරන්න ඕන“ යයි රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍යය කාර්ය මන්ඩලය සිදු වීමට යන විනාශයට ඉඩ දී ආන්ඩුවේ පිලිවෙත්වලට අනුගත විය යුතු බවයි. 

ආන්ඩුව තමා වටා රැලි කොට ගෙන තිබෙන වසංගත රෝග අංශයේ “සෞඛ්‍ය බලධාරින්“ ආන්ඩුවට හා මිලිටරියට මුලුමනින්ම අවනතවූවන් ය. අන්තරායකාරී තත්වයන් යට ගසමින් ආන්ඩුවේ අවශ්‍යතාවය මත රෝගය “මැඩපවත්වා“ ඇති බවටත්, සමාජ ව්‍යාප්තියකට ගමන් කර නො මැති බවටත්, පූර්න අගුලු දැමීමකටත් ගමන් කිරීම අවශ්‍ය නැති  බවටත් එම බලධාරීන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනයා තුල අප්‍රසාදය වැඩෙමින් තිබේ.

ඊට ප්‍රතිකූලව ජාත්‍යන්තරව පිලිගත් වෛද්‍ය විශේෂඥවරුන්ගේ නිරීක්ෂන හා අනතුරු ඇඟවීම් ආන්ඩුවේ පිලිවෙත් බරපතල ආකාරයට අභියෝගයට ලක් කර තිබේ. 

ලංකාවේ සෞඛ්‍යය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥවරුන් ඒකාබද්ධ කොට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) මෙහෙය වීමෙන් පසුගිය සතියේ පැවති විශේෂ රැස්වීමක දී ලංකාවේ කොවිඩ්-19 වෛරසයේ අන්තරායකාරී ව්‍යාප්තිය සම්බන්ධව බරපතල අනතුරු ඇඟවීමක් හා ගත යුතු හදිසි පියවර ප්‍රකාශයට පත් කොට තිබුනි. 

සමාජ සංචරනය අවම වශයෙන් සති 2-3 අතර කාලයකට සීමා කිරීම, රෝගීන් නිවෙස් තුල රැඳවීම නතර කොට රෝහල් පද්ධතිය නගා සිටුවීමට හදිසි පියවර ගතයුතුයැයි ඔවුහු යෝජනා කලහ. අගුලු දැමීම ප්‍රතික්ෂේප කරමින් එන්නත්කරනය රෝගය මැඩලීමේ එකම ක්‍රමය බවට ආන්ඩුව ගෙනයන උද්ඝෝෂනය වෛද්‍ය විශේෂඥයෝ එහිදි ප්‍රතික්ෂේප කලේ ය. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍ර‍මුඛ සංවිධාන කීපයක් ඒකාබද්ධව පසුගිය 21 දා නිකුත් කල ප්‍ර‍කාශයකින් ද ආන්ඩුවේ සාපරාධි පිලිවෙත අභියෝගයට ලක් කර තිබේ. මෙයට, ආන්ඩුවේ සහචර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අත්සන් තබා තිබුනි.

සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයන් බහුල ලෙස වාර්තා වන තත්වයේ දී පලාත් සංචරන සීමා පැනවීම, සතියක් ප්‍රමාදවී ආසාදිතයන්ගේ පීසිආර් වාර්තා පැමිනි පසු ග්‍රාමසේවක වසම් අගුලු දැමීම සහ දින කිහිපයක සීමිත අගුලු දැමීම් ප්‍රතිඵල දායක නො වන බවත්, පොදු ප්‍රවාහන සේවා, සුපිරි වෙලඳසැල්, ආපන ශාලා වැනි දෑ විවෘතව තැබීම අන්තරායකාරී බවත් පෙන්වා දී ඇත.

ආසාදිත රෝගීන්ගෙන් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ගොස් ඇඳන් නො මැති තත්වයක, නිවෙස් තුල රැඳී සිටින රෝගීන්ගේ මරන ඉහල යමින් තිබේ. ආන්ඩුවේ එල්ලය වර්ධනය වන මෙම ව්‍යසනයකාරී තත්වය සම්බන්ධ සැබෑ තොරතුරු ජනතාව වෙත ගලා යෑම නතර කිරීමයි.  

මේ වන විට සීග්‍ර ලෙස ව්‍යාප්ත වන වෛරස ප්‍රභේද මගින් දෛනික ආසාදිත සංඛ්‍යාව විශාල ලෙස ඉහල නංවා ඇත. පසුගිය සතිය තුල සෑම දිනකම ආසාදන 3,000 ඉක්මවා වාර්තා විය. 

බරපතල සංකූලතා සහිත රෝගීන් දැඩි සත්කාර ඇඳන් නො මැතිව මියයාම වේගයෙන් ඉහල නගිමින් පවතී. සෙනසුරාදා වාර්තා වූ කොරෝනා මරන සංඛ්‍යාව 46 කි. ඔවුන්ගෙන් 17 ක්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ඉන් පස් දෙනෙකුම මරනයට පත් ව ඇත්තේ නිවෙස් තුලයි. මේ වන විට සමස්ත මරන සංඛ්‍යාව 1,210 ක් දක්වා වර්ධනය වී තිබේ. 

සැබෑ මරන සංඛ්‍යාව හා ජන ජීවිතවලට එල්ල වී ඇති විනාශය නිල දත්තවලට වඩා බරපතල එකකි. අවිවේකීභාවයෙන් සෞඛ්‍යය කාර්ය මන්ඩල දැඩිලෙස විඩාවට පත්ව ඇත. ඔවුන්ගේ ආසාදනයන් සම්බන්ධව නිසි සංඛ්‍යා දත්ත නැතත් 3,00 ට අධික සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.  

ආන්ඩුවට එරෙහි විවේචන ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයෙන් මැඩලීම සෞඛ්‍ය අංශයට පමනක් සීමා වී නැත. වන විනාශය සම්බන්ධව තම මුහුනුපොතේ පලකල සටහනක් හේතුවෙන්, “අසත්‍ය තොරතුරු” පලකිරීමේ චෝදනාව මත කොත්මලේ සහකාර ඉඩම් කොමසාරිස් පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය සේවකයන් ඇතුලු සමස්ත මහජනතාව බියවද්දා නිහඬ කිරීම මෙහි අරමුනයි.

කෙසේ නමුත් මෙම පියවර රාජපක්ෂගේ පාලනයේ ශක්තියක ප්‍රකාශනයක් නොවේ. ගෝලීය වසංගතය මගින් ගැඹුරු කෙරුනු ලෝක ධනේශ්වර අර්බූදයේ බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින ආන්ඩුව, එම ප්‍රහාරයන්ට සහ වසංගතය සම්බන්ධයෙන් තමා ගෙනයන සාපරාධී පිලිවෙතට එරෙහිව වැඩෙන මහජන විරෝධය ධනපති ක්‍රමයටම අභියෝග කරමින් පුපුරා යතැයි දැඩිලෙස භීතියට පත්ව සිටී.  ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට වන පියවර වේගවත් කරමින් පවතින්නේ එබැවිනි.

Loading