කොවිඩ්-19 ඕස්ට්‍රේලියාවේ පන්ති අරගලය තීව්‍ර කරයි

[මෙහි පලවන්නේ 2021 මැයි 10, දින COVID-19 intensifies the class struggle in Australia  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

චෙරිල් ක්‍රිස්ප් යනු සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) ජාතික ලේකම් ය. 1972 දී සසප හි පුරෝගාමියා වූ සෝෂලිස්ට් ලේබර් ලීග යේ ආරම්භක සාමාජිකාවක් වූ ඇය දශක හතරකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලාය. ලෝසවෙඅ සහ හජාජාක විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ඇය මෙම අදහස් ඉදිරිපත් කලාය.

2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට චෙරිල් ක්‍රිස්ප් විසින් කරන ලද කථාව

 

ඕස්ට්‍රේලියාවේ සසප වෙනුවෙන්, මම ලොව පුරා සිටින ශ්‍රාවකයින් සාදරයෙන් පිලිගැනීමට කැමැත්තෙමි.

පසුගිය වසර වෙන කවරදාටත් වඩා වෙනස් එකකි. කොවිඩ්-19 පැතිරීම, බිලියන ගනනක ජනයා ගේ ජීවිත පරිවර්තනයට ලක් කර තිබේ. මිලියන තුනකට වඩා මිය ගොස් ඇත. ඉන්දියාව, බ්‍රසීලය, එක්සත් ජනපදය හා යුරෝපය යන රටවල සිදුවීම් ඉස්මතු කරන්නේ 2020 අවසානය වන විට වසංගතය පාලනය කර ගත නොහැකි වූයෙන් මේ වසරේදී එහි ව්‍යාප්තිය වේගවත් වීම, මාරාන්තික බව සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ජීවන තත්ත්වය පිරිහීම ය. මෙය නොවැලැක්විය හැකි දෙයක් නොව ධනේශ්වර ආන්ඩු වල සවිඤ්ඤානික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙම රෝගය පරාජය කල ආන්ඩු ලෙස වර්නනාවට පාත්‍ර වේ. මෙවන් අසත්‍යයක් තවත් නැත. වසංගතයට, ගතානුගතික මොරිසන් සන්ධාන ආන්ඩුවේ ප්‍රවේශය වෙනත් කිසිදු ධනේශ්වර ආන්ඩුවකට වඩා වෙනස් නොවේ. එය අගුලු දැමීම හා නිරෝධායනය පැනවූයේ කම්කරුවන්ගේ ඉල්ලීම් සහ පුලුල් විරෝධයක් වර්ධනය වීමේ බිය නිසා පමනි.

චෙරිල් ක්‍රිස්ප්

මේ රටේ අඩු ආසාදන රේට්ටු එක රැයකින් වෙනස් විය හැකිය. ප්‍රධාන මහාද්වීපවල අගනගරවල මෑතදී ඇති වූ පැතිරීම් ඒ පිලිබඳ අනතුරු ඇඟවීමකි. කාරනය වන්නේ, ආන්ඩුවේ එන්නත ලබා දීමේ වැඩපිලිවෙල සිඳී බිඳී යාමයි. ජනගහනයෙන් සියයට 5 ක් පමනක් ඔවුන්ගේ පලමු මාත්‍රාව ලබාගෙන ඇති අතර, සම්පූර්න එන්නත ලබා දුන් සංඛ්‍යාව පිලිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැත. එහෙත් පාලක පන්තිය ඉල්ලා සිටින්නේ වෛරසයේ නව ප්‍රභේදයන් අබාධිතව ව්‍යාප්ත වී තිබියදීත්, රාජ්‍ය  හා ජාතික වශයෙන් දේශසීමා විවෘතව පැවතිය යුතු බවයි.

මෙය අතිමහත් දුර්වලතාවයන්ගෙන් යුතු ආන්ඩුවකි. එය, පසුගිය මාස හය තුල ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ දරුනුතම ලැව්ගිනි ප්‍රශ්නයේදී ජනගහනයට ඇති බලපෑම කෙරෙහි සාපරාධී උදාසීනත්වයෙන් කටයුතු කලේ ය. මේ හේතු නිසා 2020 ජනවාරියේදී වර්ධනය වන වසංගතයට මුහුන දුන්නේ ජනගහනයේ පුලුල් කොටස් වල වෛරයට පාත්‍ර වූ ආන්ඩුවක් ලෙස ය. කොවිඩ්-19 ස්වරූපයෙන් වැඩෙන හදිසි අවස්ථාවට මුහුන දීමට මොරිසන් සහ ඔහුගේ ආන්ඩුව අසමත් ය.

ඇත්ත වශයෙන්ම, මොරිසන් ගේ ආන්ඩුවේ පලමු ක්‍රියාමාර්ගයන්ගෙන් එකක් වූයේ ෆෙඩරල් ආන්ඩුවේ නියෝජිතයින් සහ සියලු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ආන්ඩු වල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික කැබිනට් මන්ඩලයක් පිහිටුවීමයි. ඉන් බහුතරය ලේබර් පක්ෂයයි. මෙම කැබිනට් මන්ඩලය ප්‍රතිස්ථාපනය කලේ 2020 දී යන්තම් මාස හයක් රැස්වූ පාර්ලිමේන්තුව වෙනුවට ය.

මෙම තථ්‍ය  ජාතික එකමුතුව ගොඩනැගීමේදී ලේබර් සහ විශේෂයෙන් වෘත්තීය සමිති යන දෙකම ඇතුලත් වූ අතර, වසංගතය මුවාවෙන් ආන්ඩුව සමඟ වැඩ කිරීමට ප්‍රතිඥා දුන්නේය. ඕස්ට්‍රේලියාවේ ඉහලම වෘත්තීය සමිති ආයතනය වන ඒසීටීයූ හි ලේකම් සැලි මැක්මනස්, කම්කරු පන්තියේ මූලික කොන්දේසි වන දඩ රේට්ටු, සම්මත වැඩකරන වේලාවන් සහ වැටුප් රේට්ටු යන මේවා ආපසු හැරවීම සුරක්ෂිත කිරීම සඳහා ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කලේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව උත්තේජක පැකේජ හතරක් සම්මත කිරීමට තරම් කාලයක් රැඳී සිටි අතර එහි ප්‍රතිඵලය වූයේ ඩොලර් බිලියන 400 කට වැඩි මුදලක් මහජන පසුම්බියෙන්, සංස්ථා සහ මහා ව්‍යාපාරිකයින් වෙත මාරු කිරීමයි. මෙය 2008-09 මූල්‍ය  අර්බුදය තුල නිකුත් කල ප්‍රමානයට වඩා 10 ගුනයක් වැඩිය. උත්තේජක පැකේජ ආපසු ගෙවන්නේ කම්කරු පන්තියට එල්ල වන ගැඹුරු හා නොනවතින ප්‍රහාරයකින් සහ කම්කරු පන්තිය වැඩි වැඩියෙන් සූරාකෑම තුලින්  වන බවට සසප අනතුරු ඇඟවීය. මෙය සනාථ කර ඇත.

මෙම වසංගතය ජාත්‍යන්තර වශයෙන් කොටස් වෙලඳපොලවල ක්ෂනික නැග්මක් සඳහා අවස්ථාව උදා කල අතර එය මෙහි වෙනස් නොවේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවෙන් හා ධනයෙන් වර්ධනය විය. විරැකියාව හා ඌන සේවා නියුක්තිය ශ්‍රම බලකායෙන් සියයට 26 ක් වූ අතර එය 1930 ගනන්වල අවපාතයෙන් පසුව දක්නට නොලැබුනු මට්ටමකි. එමෙන්ම, ධනවත්ම ඕස්ට්‍රේලියානුවන් 10 දෙනාගේ ධනය 2019 සිට සියයට 44 කට වඩා වැඩි වූ අතර ප්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් ඉහල ගියේය.

ආන්ඩුව විසින් රැකියා පවත්වාගෙන යාමේ දීමනාව මාර්තු මස අවසානයේදී අවසන් කිරීමෙන් පසු පලමු දෙසතිය තුල මුලු වැටුප් සියයට 3.1 කින් අඩු වූ අතර කම්කරු රැකියා සියයට 2 කින් පමන පහත වැටුනි. ප්‍රමානවත් නොවූ ගෙවීම් මුලුමනින්ම නවතා දැමීමේ සහ දරිද්‍රතා රේඛාවේ සුභසාධන ගෙවීම් කප්පාදු කිරීමේ බලපෑමෙහි ආරම්භය මෙයයි.

නමුත් මේ තීව්‍ර වන්නේ දශක ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. ඒසීටීයූ විසින් මේ සතියේ වාර්තාවක් නිකුත් කරන ලද අතර එය පසුගිය දශක හතරක කාලය තුල වැටුප් සඳහා වූ ප්‍රහාරයේ බලපෑම ගෙනහැර දක්වන, තමන්ගේම කාර්යභාරය පිලිබඳ චෝදනාවකි. එය මෙසේ පවසයි:

 “වැටුප් වර්ධනය… වාර්තා තබා ගැනීම ආරම්භ වූ දා සිට මේ වන විට එහි අවම මට්ටම්වල පවතී… දල දේශීය නිෂ්පාදිතයේ කම්කරුවන්ගේ කොටසක් 1970 දශකයේ පැවතුනේ නම්, එය 2019 දී ඩොලර් බිලියන 200 කින් ඉහල යා යුතු ය, එනම්, රැකියාවල නියුතු සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුටම අමතර ඩොලර් 15,000 ක අමතර ආදායමක් ලැබිය යුතු ය.”

වෙනත් බොහෝ රටවල ද දක්නට ලැබෙන පරිදි, මෙම කොන්දේසිවලට එරෙහිව කම්කරුවන් විසින් ගෙන යන සටනක් මෙහි තිබේ. පසුගිය නොවැම්බරයේ, ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් වලින් එකක් වන කෝල්ස් සුපිරි වෙලඳසැල් දාමය සිඩ්නි හි ස්මෙටන් ග්රෙන්ජ් හි ගබඩාවේ කම්කරුවන් 350 දෙනෙකු පිටගුලු (ලොකවුට්) ලමින් එම ස්ථානය වසා දැමීමට සැලසුම් කල විට, මෙය මුලුමනින්ම ප්‍රකාශිත විය.

මෙය, සති 14 ක අරගලයක් ආරම්භ කල අතර කම්කරුවන් වෘත්තීය සමිති-සමාගම් පොරොන්දුවට එරෙහිව 10 වතාවකට වඩා ඡන්දය ප්‍රකාශ කලහ. වැඩ වර්ජන අරමුදලක් සංවිධානය කිරීම වෘත්තීය සමිතිය ප්‍රතික්ෂේප කල අතර මාස තුනකට වැඩි කාලයක් පිටගුලු ලෑම අතරතුර කම්කරුවන්ට ඩොලර් 200 ක් පමන ගෙවනු ලැබීය. වෘත්තීය සමිතිය අනෙක් කෝල්ස් ගබඩා කම්කරුවන්ගෙන් පවා ආරවුල හුදෙකලා කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සසප හරහා පමනක් ප්‍රාන්ත ගනනාවක කෝල්ස් සේවා ස්ථානවල කම්කරුවන් මෙම අගුලු දැමීම පිලිබඳව සොයා දැනගත්හ. ස්වකීය අරගලයේ දී වෘත්තීය සමිතියෙන් කැඩී ඕස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තරව, අරගලයක යෙදී සිටින නිව් යෝර්ක්හි හන්ට්ස් පොයින්ට් හි ගබඩා කම්කරුවන් ද ඇතුලුව අනෙකුත් කම්කරුවන් සමඟ ඒකාබද්ධ අරගලයක් සම්බන්ධීකරනය කල හැකි ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සසප සටන් කලේය.

මෙම කම්කරුවන් නැවත වැඩට තල්ලු කිරීම සඳහා කලහැකි සෑම දෙයක්ම කරන ලදී. වීඩියෝ දර්ශනයක පෙනී සිටිමින්, කෝල්ස් හි ජ්‍යේෂ්ඨ කලමනාකරුවෙකු වන මැතිව් ස්වින්ඩෙල්ස්, වෘත්තීය සමිති පාවාදීමට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් හා සසප වෙත ඔහුගේ කෝපය ප්‍රකාශ කල අතර ඔවුන්ගේ “එපා” ඡන්දයට පලිගැනීමක් වශයෙන් පිටගුලු ලෑම දීර්ඝ කරන බව නිවේදනය කලේය.

ස්වින්ඩෙල්ස් මෙසේ පැවසීය: “‘එපා’ ඡන්දය සමඟ කිසිදු සැලසුමක් නොමැත. විකල්ප සැලැස්මක් ඇති එකම පුද්ගලයින් මෙම ආරවුල තුලට රිංගා ඇති අන්තවාදී සමාජවාදීන් ය… ඔවුන් යෝජනා කරන්නේ මහා ව‍්‍යාපාර සහ බැංකු තමන් සතු කරගැනීමේ මෙම පුලුල් න්‍යාය පත්‍රයයි. ඔවුන් දැන් න්‍යාය පත්‍රය ඉදිරියට දමමින් සිටී... මොවුන් වෘත්තීය සමිතියේ කොටසක් පවා නොවන හඳුනා නොගත් අයයි. ඇත්ත වශයෙන්ම ඔවුන් වෘත්තීය සමිති විරෝධී පුද්ගලයන් වන අතර පිකට් කරන, පත්‍රිකා බෙදාහරින අය යි.”

වෙනත් වචන වලින් කිවහොත්, ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගමක ඉහලම ජාතික කලමනාකරුවෙකු වන ස්වින්ඩෙල්ස් එක්සත් කම්කරු වෘත්තීය සමිතිය (යූඩබ්ලිව්යූ) සමාජවාදී විවේචන වලින් ආරක්ෂා කරමින් සිටියේය. ඔහුගේ අදහස් වලින් පෙනී යන්නේ කලමනාකාරිත්වය එහි න්‍යාය පත්‍රය බලාත්මක කිරීමේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස යූඩබ්ලිව්යූ ව සලකන බවයි.

නොදැනුවත්වම ස්වින්ඩෙල්ස් කම්කරුවන්ට එරෙහි වෘත්තීය සමිති-සමාගම් සන්ධානය හෙලි කලේය. මෙම කුමන්ත්‍රනය සෑම රටකම සෑම සේවා ස්ථානයකම ක්‍රියාත්මක වේ. වෘත්තීය සමිති කම්කරු සංවිධාන නොවේ. ඔවුන් තමන්ගේම සාමාජිකයන්ට එරෙහිව ධනවාදයේ පොලිස් නිලධාරීන් ය. මෙම සංගත මුර බල්ලන් සමඟ පූර්න බිඳීමකින් තොරව, කම්කරුවන් ඔවුන්ගේ ජාතික පාලක පන්තියේ අවශ්‍යතාවන්ට ගැටගැසී ඇත.

කම්කරුවන්ට ඔවුන්ගේ ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් කල හැකි යාන්ත්‍රනයක් සැපයීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් කැඳවුම් කරන්නේ එබැවිනි. කම්කරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත ක්ෂේත්‍රයන් තුල, තම රටවල් තුල සහ ජාත්‍යන්තරව සහයෝගයෙන් කටයුතු කල හැකිය. අසල්වැසි පෙදෙස්වල හා නගරවල පවතින අර්බුදයට ඔවුන්ගේ ප්‍රතිචාරය සාකච්ඡා කිරීමට හා සම්බන්ධීකරනය කිරීමට ප්‍රජාවන්ට හැකිය.

මෙය, මෙම ව්‍යසනය නිර්මානය කල ක්‍රමයට - එනම් ධනවාදයට - එරෙහිව ජාත්‍යන්තරව දියත් කල යුතු සටනකි. සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා සටන් වදින්නේ හජාජාක පමනි. මෙම පක්ෂයට එක්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

Loading