“කලු දිලීර” නමින් හැඳින්වෙන දුර්ලභ කෝවිඩ්-19 සංකූලතාවයේ නැගීම ඉන්දියාවේ වසංගත පීඩාව තවත් ඉහල දමයි

[පහත පලවන්නේ මැයි 25 වනදා The rise of a rare COVID-19 complication known as “black fungus” adds to India’s misery in the pandemic මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි]

මේ මස මුල දී, කොරෝනා වෛරසය ඉන්දියාවේ ජනාකීර්න නගර සහ ග්‍රාමීය ප්‍රජාවන් සිසාරා පැතිර යද්දී, රෝහල්වල වෛද්‍ය වෘත්තිකයෝ මාරක දිලීර වසංගතයක් ගැන අනතුරු ඇඟවීමට පටන් ගත්හ. මියුකෝමයිකෝසිස් ලෙස හැඳින්වෙන මෙය, මියගිය හෝ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වලින් පෝෂනය ලබා ගන්නා, සැප්‍රොෆයිටික් නමැති ක්ෂුද්‍රජීවී දිලීර නිසා ඇතිවන රෝගයක් වන අතර ඊට, “කලු දිලීර” යන නම ලබා දී ඇත.

මෙම දුර්ලභ රෝගයට ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙක්, කෝවිඩ්-19 ආසාදනය වූ හෝ මෑතක දී ඉන් සුවය ලැබූ රෝගීන් ය.

ඉන්දියානු වෛද්‍යවරයෙක් 2021මැයි 25වනදින මුම්බායිහි රජයේ රෝහලකදී රෝගියකුගේ මියුකෝමයිකෝසිස් රෝගලක්ෂනපරීක්ෂා කරයි. (ඒපී ඡායාරූපය / රෆික් මැක්බූල්)

ටයිම්ස් ඔෆ්ඉන්ඩියා පුවත්පතට අනුව, රට පුරා පුද්ගලයින් 5,500 කට මෙම මාරාන්තික රෝගය ආසාදනය ඇති වී ඇති අතර, ඉන් 126 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ. ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ පමනක්, රෝගීන් 2,000ක් වාර්තා වී ඇති අතර, ඉන් 800ක් රෝහල් ගත කර 90ක් මියගොස් තිබේ.

රාජස්ථාන් ප්‍රාන්තය “කලු දිලීර” රෝගය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව, තවත් බොහෝ ප්‍රාන්ත වසංගත රෝග පනත යටතේ “දැනුම් දිය යුතු රෝගයක්” ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එම රෝගීන් ප්‍රාන්ත රජය වෙත වාර්තා කිරීම අනිවාර්ය කර තිබේ. “මියුකෝමයිකෝසිස් වලින් ආරක්ෂා වන්න: කෝවිඩ්-19 රෝගීන් අතර දිලීර සංකූලතාවයක් අනාවරනයවෙමින් ඇත” මැයෙන් ප්‍රකාශයක් මැයි 14 වන දින නිකුත් කල සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය, දියවැඩියාව පාලනය කරන ලෙසත් වෛද්‍ය අධීක්ෂනයකින් තොරව ඖෂධ භාවිතා නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රෝගීන්ගෙන් සෞඛ්‍ය ආයතන පිරී ඉතිරී ගොස් බැවින්, තම ආදරනීයයන් රැකබලා ගන්නා පවුල් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මිලදී ගැනීම වෙත යොමුවෙමින් ඇත. නව දිල්ලියේ රෝග ගතිකතා, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂ්මිනාරායන් සඳහන් කල පරිදි, ඖෂධ අධි-භාවිතය වර්ධනය වෙමින් පැවතීම පිලිබද කනස්සල්ල වැඩිවෙමින් පවතී. ඔහු බ්ලූම්බර්ග්ටපැවසුවේ, “මෙම අතාර්කික ඖෂධ භාවිතයේ හානිකර බලපෑම වෛරසයේ බලපෑම තරම් ම ඉහලවිය හැක” යනුවෙනි.

දිලීර හොඳින් වැඩීමට ඉඩ සලසන උනුසුම් හා තෙතමනය සහිත දේශගුනිකතත්ත්වයන් හැරුනු විට, රෝගීන්ට අවදානම් සාධක අතර අධික රුධිර ගත සීනි වලට හේතුවන දියවැඩියා රෝගය ද ඇතුලත් වේ. කෝවිඩ් කලමනාකරනය සඳහා ප්‍රධානතම අවිය වන ලාභ ස්ටෙරොයිඩ් මගින් ප්‍රතිකාර කිරීම, අනිවාර්යයෙන් ම ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියට බාධාවක් ව රුධිරයේ සීනි මට්ටම අතිශයින් ඉහල යවන අතර, ප්‍රතිශක්තිකරන පද්ධතියේ ආසාදනයන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද මර්දනය කරයි.

මිලියන 77ක ජනතාවකට බලපාන ලෝකයේ ඉහල ම දියවැඩියා අනුපාතයක් ඉන්දියාවේ ඇත. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට (අයිඩීඑෆ්) අනුව, ලොව පුරා මිලියන 463ක ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙලෙති. මෙයින් මිලියන 88ක්දකුනු ආසියාවේ වෙති. 2045 වන විට, ඉන්දියාවේ මෙම රෝගයෙන් පීඩා විඳින සංඛ්‍යාව, මිලියන 134 දක්වා ඉහල යනු ඇතැයි අයිඩීඑෆ් ප්‍රක්ෂේපනය කරයි. කාර්මිකකරනය සහ නාගරික මධ්‍යස්ථාන වෙත සංක්‍රමනය වීමෙන් ඇති වන පාරිසරික හා ජීවන රටාවේ වෙනස්කම් ඉන්දියාවේ දෙවන වර්ගයේ (ටයිප් 2) දියවැඩියා වසංගතයට සැලකිය යුතු ලෙස දායක වී තිබේ.

මියුකෝමයිකෝසිස් රෝගියෙක් (විකිමීඩියාකොමන්ස්)

කලු දිලීර යනු දුර්ලභ නමුත් ක්ෂනිකව ප්‍රතිකාර නොකටහොත් විනාශකාරී හා අතිශයින් මාරාන්තික දිලීර ආසාදනයකි. මෙම රෝගය ඇස් කුහරයේ පිටුපස මෙන් ම පීනස් කුහර වල ද පැසවමින් පැතිර, මොලයට ලඟා විය හැකි අතර පටක මියෑදෙමින්, සෑදෙන සැරව ගෙඩි ශල්‍යකර්ම මගින් ඉවත් කල යුතු වේ. ප්‍රතිකාර නො කලහොත්, මෙම රෝගීන් ඉක්මනින් ම පරිවෘත්තීය ව්‍යාකූලත්වයන්ට හා වෙනස් වූ මානසික ක්‍රියාකාරකම් වර්ධනය වීමට පාත්‍ර වියහැකි ය. නාසයේ හෝ උඩ තල්ලේ ඇති පටක මිය ගොස් හැලී යාමෙන් බිහිසුනු විරූපනයට හෝ පෙනීම නැති වී යෑමට භාජනය විය හැක.

ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඇම්ෆොටෙරිසින් බී වැනි ප්‍රබල අන්තශ් ශෛරික ප්‍රතිදිලීර ඖෂධ භාවිතා කරනු ලැබුව ද, කුනු වූ පටක ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම තීරනාත්මක පියවරක් වේ. එවැනි ආක්‍රමනශීලී ශල්‍යකර්ම සඳහා සුදුසු මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය නොමැතිකම මාරාන්තික විය හැක. එහෙත් මෙම ඖෂධ පවා උග්‍ර හිඟයන්ට ලක්ව ඇත.

දිලීර බීජානු පෙනහලුවලට ද පැතිරී රුධිර නාල හරහා ශරීරයේ සියලුම අවයවවලට සංක්‍රමනය විය හැකිය. බොහෝ රෝගීන්ට අධික ලෙස උන ඇති වන අතර, කැස්ස මගින් බහුලව රුධිරය පිට කරයි. ප්‍රතිශක්තිකරන ඌනතා ඇති රෝගීන් සහ විශේෂයෙන් දියවැඩියා රෝගීන්, බෙලහීන කරවනසුලු හා ජීවිත තර්ජනය රැගත් මෙම රෝගයේ අවදානමට ගොදුරු වේ. පිලිකා සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රතිශක්ති ඌන තත්වයේ පසුවෙන අයට හා දීර්ඝ කාලීනව බාහිර ප්‍රතිදේහවලට ශරීරය ප්‍රතික්‍රියා කිරීම මර්දනය අවශ්‍ය අය ද, මන්දපෝෂනයෙන් පෙලෙනවුන් හෝ ඒඩ්ස් ඇති අය ද මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇත.

සෑම තැනකම පාහේ දැකිය හැකි මෙම දිලීර, දිරාපත් වන ගහ-කොල හා මල සමග පසෙහි දක්නට ලැබේ. තෙතමනය සහිත ඌෂ්නාධික දේශගුනික තත්වයන් යටතේ වාත ධාරාවන්ට එසවීගත හැකි බීජානු විශාල ප්‍රමානයක්, මෙම දිලීර වලට මුදා හැරිය හැක. මිනිසුන් නිරන්තරයෙන් ඒවාට නිරාවරනය වන නමුත් නිරාබාධිත ව පවතින ප්‍රතිශක්තිකරන පද්ධතියක් සහිත වේ නම්- එක්සත් ජනපදයේ දී මිලියනයක ජනගහනයකින් දෙදෙනෙකුට වඩා අඩු මට්ටමේ වන- ආසාදනයන් සාපේක්ෂව දුර්ලභ ය. ඉන්දියාවේ රෝග ව්‍යාප්තිය සෙසු ලෝකයට වඩා 70 ගුනයකින් වැඩි වූවද, එය තවමත් දුර්ලභ ය.

ඇස්, නාසය සහ පෙනහලු වැනි ස්ථානවල රෝගය ඇති වීමට එක් හේතුවක් වන්නේ, ආසාදනය වීම සඳහා නැඹුරුවක් ඇති අය මෙම බීජානු ආශ්වාස කර ඒවා ඔවුන් ගේ පීනස් කුහර හා පෙනහළු පටක වල රැඳීමයි. නිරෝගී පුද්ගලයන් තුල, මෙම අවයවවල මාර්ග පථයන් ආස්තරනය කරන පක්ෂම (cilia-ඉතා කුඩා සිහින් කෙඳි) මගින්, ඒවා ශරීරයෙන් බැහැර වීම සඳහා ආමාශ-ආන්ත්‍රයික මාර්ගයට ප්‍රවාහනය කරයි. ආක්‍රමනශීලී දිලීර රෝගය වැලඳෙන්නන් සඳහා, ආසාදනයේ ප්‍රධාන ලක්ෂනය වන්නේ, පටක හානියට හා ඒවායේ මරනයට තුඩු දෙමින්, රුධිර නාල තුලට දිලීරය ආක්‍රමනය කිරීම නිසා ආසාදිත පටක බිඳවැටීමයි. කෝවිඩ්-19 ආසාදනය වීමෙන් පසු, මෙම විනාශකාරී ආසාදනයට බඳුන් වූ ඉන්දියානු රෝගීන්ගේ අඳුරු සමේ තුවාල විස්තර කිරීම සඳහා, “කලු දිලීර” යන යෙදුම භාවිතා කරන ලදී.

මුම්බායි හිබ්‍රීච් කැන්ඩි රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍යවරයකු හා හෘද-පරිවෘත්තික රෝග විශේෂඥ වෛද්‍ය හේමන්ත් තැකර් පැහැදිලි කලේ: “මියුකෝමයිකෝසිස් ගමන් කරන එක් ක්‍රමයක් වන්නේ රුධිර නාල ආක්‍රමනයයි. එමඟින් දුරස්ථ ඉන්ද්‍රියයට (රුධිර) සංසරනය අඩාල කර, එමඟින් නෙක්‍රෝසිය ලෙස හැඳින්වෙන පටකවල මරනය සිදුවන අතර, ඒ අනුව ඒවා කලු පැහැ ගනී. එබැවින් එයට කලු දිලීර යන නම දෙනු ලැබේ.” "පාලනය නොකලහොත්, ප්‍රතිකාර නොකලහොත්, එය සියයට 20 සිට 50 දක්වා වන මරන අනුපාතයකට හේතු විය හැක" යි ඔහු තව දුරටත් කීවේ ය.

රෝගයේ දුර්ලභත්වය ඉන්දියාවේ වර්තමාන තත්වය බෙහෙවින් දරුනු කරයි. සායනික බෝවන රෝග පිළිබඳ සඟරාවේ, 2005 ප්‍රකාශනයක කතුවරුන්, 1885 දක්වා දීර්ඝ වූ සමාලෝචනයක් සිදු කලේ, සුදුසුකම් ඇති රෝගීන් 929ක් අතර ඔවුන්ගේ සොයාගැනීම් විශ්ලේෂනය කරමිනි. දියවැඩියාව හා පිලිකාඇති අය වඩාත් ම නරක ඉරනමකට මුහුන පෑවෝ වූහ. රෝගයේ ව්‍යාප්තිත (සිරුර පුරා පැතිරුන) ස්වරූපය සැම විටම මාරාන්තික විය. පීනස් කුහර සහ මොලයටරෝගය මැදිහත් වීම දියවැඩියා රෝගීන් හට වැඩිපුර ම බලපා තිබුනි. ප්‍රතිකාර නොකල අවස්ථා වලදී දිවි ගලවා ගත්තේ සියයට 3ක් පමනකි.

හුදෙක් විනාශකාරී රෝගයකට වඩා, කලු දිලීරය, කෝවිඩ්-19හි ධනවාදී කලමනාකරනයට ආවේනික ව බැඳී ගත් කොන්දේසි මගින් ඇති කරන ලද තුවාල මතට එක්කල අපහාසයක් මූර්තිමත් කරයි. වසංගතය පුරෝකථනය කෙරුනා පමනක් නොව, එය තුරන් කිරීම ද කල හැකිය. ඉන්දියාවේ අර්බුදය කම්කරු පන්තියේ කර මතින් ලාභ ගරා ගැනීමේ නො සන්සි‌ඳෙන අවශ්‍යතාවය මගින් නිර්මිත දුක්-දොම්නස් සාගරයේ තවත් එක් බිඳුවක් පමනි. මේ අවස්ථාවෙහි දී, එය වචනාර්ථයෙන් ම ඔවුන්ගේ මාංශය හා රුධිරය අනුභව කරයි.

Loading