ඉතිහාසයේ මෙම සතිය: මැයි 24-30

වසර 100කට පෙර: කැනඩාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වේ

කැනඩාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම නිවේදනය කරන පුවත්පතේ කවරය

1921 මැයි 24 වන දින කැනේඩියානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම සඳහා කැනේඩියානු ජාතිකයින් 21 දෙනෙකු සහ ජාත්‍යන්තර නියෝජිතයින් තිදෙනෙකු ඔන්ටාරියෝ (Ontario) හි ගුවෙල්ෆ් (Guelph) හි පිහිටි ධාන්‍ය ගබඩාවක දී හමු වූහ. 1914 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ප්‍රතිගාමී යුද ක්‍රියාමාර්ගික පනත (War Measures Act) මගින් සමාජවාදී සංවිධාන තහනම් කල හෙයින් මෙම රැස්වීම රහසිගතව පැවැත්වීමට සිදු විය. ආරම්භක සම්මේලනය පවා රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසියේ ඔත්තුකරුවකු විසින් විනිවිද තිබිනි.

කැනඩාවේ කොමියුනිස්ට් පක්ෂයක් සඳහා වූ ව්‍යාපාරය ආභාෂය ලැබූයේ රුසියානු විප්ලවයෙනි. විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී කම්කරු පක්ෂයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ගැන සමාජවාදී මනසක් ඇති කම්කරුවන් අතර, විශේෂයෙන් කැනඩාවේ සමාජවාදී පක්ෂය තුල, 1919 වන විට, දැඩි විවාදයට භාජනය විය. විශේෂයෙන් 1919 දී මහා වැඩ වර්ජනයකට මුහුන දුන් මැනිටෝබා (Manitoba) හි විශාලතම නගරය වන විනිපෙග් (Winnipeg) හි දී එම විවාදය තියුනු විය.

1921 ජනවාරි 1 වන දින සමාජවාදී පක්ෂයේ පුවත්පත වූ වෙස්ටර්න් ක්ලැරියන් (Western Clarion) විසින් “කොමියුනිස්ට් ජාත්‍යන්තරයට ඇතුලුවීම සඳහා කොන්දේසි විසි එකක්” යන ලේඛනය ප්‍රකාශයට පත් කරන ලද අතර කොමියුනිස්ට් ජාත්‍යන්තරයට අනුබද්ධ වීමේ ප්‍රශ්නය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි පිටු විවෘත කෙරිනි. වැඩි කල් නොගොස්, ඔන්ටාරියෝ, මැනිටෝබා සහ ක්විබෙක්හි සමාජවාදියෝ ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය හා කොමියුනිස්ට් කම්කරු පක්ෂය සමඟ වැඩ කිරීම කිරීම ආරම්භ කලහ. එම පක්ෂ දෙක ම 1919 දී ආරම්භ කරන ලද පක්ෂ දෙකක් වූ අතර ඒවා ඉක්මනින් ම එක්සත් වීමට නියමිතව තිබිනි.

මාර්තු මාසයේදී කොමියුනිස්ට් ජාත්‍යන්තරය කැනඩාවට නියෝජිතයෙකු යවා මෙම විවිධ කන්ඩායම් එක්සත් කර මැයි 24 සමුලුව සූදානම් කලේය.

පක්ෂයේ පලමු මාසවලදී සැලකිලිමත් වූ ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් වූයේ කැනේඩියානු රාජ්‍ය මර්දනය, නීතිවිරෝධී සහ නීතිමය කටයුතු පිලිබඳව ය. 1921 ගිම්හානයේදී මොස්කව්හි පැවති කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනය විසින් කැනේඩියානු කොමියුනිස්ට්වාදීන්ගෙන් ඉල්ලා සිටියේ නීත්‍යානුකූල සංවිධාන සහ ප්‍රකාශන සඳහා ක්‍රම සොයා ගන්නා ලෙස යි.

අගෝස්තු වන විට පක්ෂය 'කම්කරු ආරක්ෂකයා' (The Workers Guard) නමින් ප්‍රසිද්ධ පුවත්පතක් දියත් කල අතර 1922 පෙබරවාරි මාසයේදී කම්කරු පක්ෂය (Workers Party) නමින් නීතිමය පක්ෂයක් පිහිටුවන ලදී. එය පිහිටුවන විට කැනඩාවේ සමාජවාදී පක්ෂයේ බොහෝ සාමාජිකයෝ එයට එක් වූහ.

Loading