ඉදිරිදර්ශන

ගෝලීය සමූහ මරන මධ්‍යයේ කොවිඩ් වසංගතය, එන්නත් ප්‍රකෝටිපතියන් බිහි කරයි

[පහත පලවෙන්නේ, මැයි 28 වනදා COVID pandemic spawns vaccine billionaires amid global mass death යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි]

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය කිරීමෙන් ගරාගන්නා ලද ලාභය ඩොලර් බිලියන 19.3 ක ඒකාබද්ධ ධනයක් සහිත නව ප්‍රකෝටිපතියන් නවදෙනෙකු බිහි කර තිබේ. ඔවුන් ඒ හා සමානවම එන්නත් නිෂ්පාදනයට සම්බන්ධ සමාගම්වලට බැඳුනු වාසනා මහිමය ලත් දැනට සිටින ප්‍රකෝටිපතියන් අට දෙනෙකුගේ ආයෝජන මලු, ඩොලර් බිලියන 32 කින් තර කර තිබේ.

ජී 20 ගෝලීය සෞඛ්‍ය සමුලුවට පෙරාතුව ආධාර සංවිධාන සන්ධානයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක හෙලි කර ඇති මෙම විශ්මය දනවන සංඛ්‍යාලේඛන, ගෝලීයව සමූහ මරන වලට හා දුක්ඛිත භාවයට මධ්‍යයේදී නින්දිත ලෙස පෞද්ගලික ධනය සමුච්චය වී ඇති ආකාරය හෙලි කරයි.

2021 මැයි 25 වන දින ශ්‍රීනගර් හි ආදාහනාගාරයක දී කොවිඩ්-19 වලින් මියගිය පුද්ගලයෙකුගේ දැවෙන දර සෑයට යාබදව පවුලේ සාමාජිකයෝ යාඥා කරති. (AP ඡායාරූපය / ඩාර් යසින්)

මොඩර්නා සහ ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහ බිලියනපතියන් බවට පත් වූ ආයෝජකයින්ගේ අලුතෙන් ලබාගත් ධනයෙන් ඊනියා “අඩු ආදායම්ලාභී රටවල” මිලියන 780 කට 1.3 වතාවක් එන්නත් ලබා දිය හැකි බව වාර්තාව ගනන් බලා තිබේ.

පසුගිය වසර තුල, පෙර සිටි බිලියනපතියන් විසින් රැස්කර ගත් ඩොලර් බිලියන 32 ක ධනය, ඉන්දියාවේ සිටින බිලියන 1.4 ක ජනතාවට සම්පූර්න එන්නත ලබා දීමට ප්‍රමානවත් ය. කොවිඩ්-19 ව්‍යසනයේ නව කේන්ද්‍රස්ථානය වන එහි පසුගිය මාස දෙක තුල ආසාදන දෙගුන වී තිබේ. වාර්තාගත දෛනික මරන 4,000 ක් දක්වා ඉහල ගොස් ඇති අතර, සෞඛ්‍ය සේවා පද්ධතිය ඉක්මවා යමින් ආදාහනාගාර සහ සොහොන් පිටි මල සිරුරු වලින් පිරී තිබේ.

නව එන්නත් ප්‍රකෝටිපතියන් අතර මොඩර්නා හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීෆන් බන්සෙල් (ඩොලර් බිලියන 4.3); බයෝ එන්ටෙක් හි ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ උගුර් සහින් (ඩොලර් බිලියන 4); මොඩර්නා හි ප්‍රතිශක්තිකරන විද්‍යාඥයෙකු සහ ආරම්භක ආයෝජකයෙකු වන තිමෝති ස්ප්‍රින්ගර් (ඩොලර් බිලියන 2.2) සහ මෝඩර්නා හි සභාපති නූබර් අෆේයාන් (ඩොලර් බිලියන 1.9).

මෙම පුද්ගලයින් විසින් රැස් කරන ලද අතිවිශාල ධනය සඳහා අඩිතාලම දැමුවේ ජාතික සෞඛ්‍ය ආයතනවල (එන්අයිඑච්) සහ විශ්ව විද්‍යාල රසායනාගාරවල ආන්ඩුව විසින් කරන ලද පර්යේෂන මගින් වන අතර එන්නත් සංවර්ධනය හා නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් බිලියන 10.5 ක් පමන මහජන අරමුදල් වෙන් කර ඇත.

සමාජමය වශයෙන් නිපදවන ලද විද්‍යාත්මක ජයග්‍රහන පෞද්ගලිකව අත්පත් කර ගැනීමෙන් මොඩර්නා, ෆයිසර්-බයෝ එන්ටෙක් සහ අනෙකුත් සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැයට වඩා අවම වශයෙන් සියයට 20 ක්වත් එන්නත් වල මිල ඉහල නැංවීමටත්, ඒකාධිකාරී පාලනයක් ලබා ගැනීමටත් ඉඩ සලසා දී ඇත. ඔවුන්, ලාභදායී ජනක ද්‍රව්‍ය වලින් එන්නත් නිපදවීම සඳහා අවශ්‍ය කරන රටවල් අවහිර කරයි.

ඊටත් ඉහලින්, විශාල ඖෂධ-ජෛව තාක්‍ෂන ප්‍රකෝටිපතියන්ගේ ධනය ඉහල ගොස් ඇත්තේ ආන්ඩුවේ මුදල් විශාල සම්භාරයක් යොදවා ඇති කොටස් වෙලඳපොලෙනි. මොඩර්නා හි කොටස් මිල, උදාහරනයක් ලෙස, පසුගිය වසර පුරා හතර ගුනයකින් වැඩි වී තිබේ.

මොඩර්නා සහ ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ආයෝජකයින් වසංගතයෙන් කෙලින්ම ලාභ ලබන්නන් විය හැකි නමුත් “වසංගතයෙන් ලාභ ලබන්නන්” එපමනක් නොවේ. ෆෝබ්ස් සඟරාවේ වාර්ෂික වාර්තාව පසුගිය මාසයේ දක්වා ඇති පරිදි, ලෝකයේ ප්‍රකෝටිපතියන්ගේ සාමූහික ධනය පසුගිය වසරේදී ඩොලර් ට්‍රිලියන 8 සිට ඩොලර් ට්‍රිලියන 13.1 දක්වා, සියයට 60 කට වඩා වැඩි විය. මෙය, වසංගතය සහ එහි සමාජ-ආර්ථික බලපෑම් හේතුවෙන් පසුගිය වසර පුරා ගෝලීය වශයෙන් අවම වශයෙන් පූර්න කාලීන රැකියා මිලියන 255 ක් අතුගා දමා ඇති අතර, ලෝක බැංකුවට අනුව, 2021 දී තවත් මිලියන 150 ක ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු කරනු ඇත.

එන්නත් නිෂ්පාදනය පාලක කතිපයාධිකාරය තුල ඉතා කුඩා ස්ථරයක් සඳහා ඉමහත් ධනයක් ලබා දී ඇති අතර, ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයකට එන්නත් ලබා ගැනීමට පවා නොහැක. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වූ සෑම සම්බන්ධීකාරක ජාත්‍යන්තර ව්‍යාපාරයක්ම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එන්නත් බෙදා හැරීමේ ජාතිකවාදය, ලාභ ලැබීම සහ සම්පූර්නයෙන්ම කඩාකප්පල් කිරීම මගින් වලක්වා ඇත.

නිෂ්පාදන ඒකාධිකාරය ඵලදායී ලෙස බිඳ දමමින් කොවිඩ්-19 එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර අත්හරින ලෙස ලෝක වෙලඳ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම්වලට සමාගම් සහ මූල්‍ය ප්‍රාග්ධනය දැඩි ලෙස විරුද්ධ වී තිබේ. බලපත්‍ර අත්හැරීම ඵලදායී නොවනු ඇති බවට සමාගම් සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අවධාරනය කර ඇත්තේ තාක්‍ෂනය මාරු කිරීමට සහ වෙනත් රටවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමට මාස ගනනක් ගතවනු ඇති බව කියමිනි. ඔවුන් මාස ගනනාවක් තිස්සේ මෙම තර්කය ඉදිරිපත් කරමින් සිටින අතර, මේ රටවල ජනතාව මිය යමින් සිටි යි. ඔවුන්ගේ ජීවිත බේරා ගත හැකි එන්නත් ඔවුනට අහිමි කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වන ලෝක සෞඛ්‍ය සමුලුව සඳුදා විවෘත කිරීමේ දී ලෝසෞස අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳහන් කලේ, මේ වසරේ මේ දක්වා කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 2020 ට වඩා වැඩි වී ඇති බවත්, පවතින ප්‍රවනතා අනුව, ඉදිරි සති තුන ඇතුලත කොවිඩ්-19 මරන 2020 දී මියගිය සංඛ්‍යාව ඉක්මවා යනු ඇති බවත් ය.

පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාවක, ලෝසෞස ඇස්තමේන්තු කර ඇත්තේ නිල සංඛ්‍යාලේඛන වලට වඩා තුන් ගුනයකින් පමන වැඩි පිරිසක් වසංගතයෙන් මිය ගොස් තිබියහැකි බවයි. මෙමඟින් සැබෑ ගෝලීය මරන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවනු ඇත.

ගෝලීය එන්නත් ව්‍යාප්තියේ දැවැන්ත අසමානතාවය පෙන්වා දෙමින් ගෙබ්‍රයිසස් ප්‍රකාශ කලේ, “දැනට පවතින එන්නත් අර්බුදය තුල ඇත්තේ වසංගතය චිරස්ථායී කරන නින්දිත අසමානතාවකි” යනුවෙනි. ලෝකයේ එන්නත් වලින් සියයට 75 ක් ලබා දී ඇත්තේ රටවල් 10 කට පමනක් බව ඔහු සඳහන් කලේය.

“එය කීමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් නොමැත. ලෝකයේ එන්නත් වලින් බහුතරයක් නිපදවන සහ මිලදී ගන්නා රටවල් කිහිපයක් ලෝකයේ සෙසු රටවල ඉරනම පාලනය කරයි,” ඔහු කියා සිටියේ, එන්නත් බෙදා හැරීමේ සාධාරනත්වය සහතික කිරීම සඳහා නිර්මානය කරන ලද ගෝලීය ඒජන්සිය වන කොවැක්ස් (COVAX) වෙත සපයනු ලබන “බොහෝ සෙයින් ප්‍රමානවත් නොවන” මාත්‍රාවන් පෙන්වා දෙමිනි.

කොවැක්ස් හි ප්‍රකාශිත අරමුන වූයේ 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන දෙකක් බෙදා හැරීමයි. මේ මස මුල වන විට රටවල් 125 කට මාත්‍රාව මිලියන 70 ක් බෙදා හැරීමට එය සමත් වී ඇති මුත් එය ඔවුන්ගේ ඒකාබද්ධ ජනගහනයෙන් සියයට 1 කට එක් වරක් එන්නත් කිරීමට ද ප්‍රමානවත් නොවන තරම් ය.

ලෝක ජනගහනයෙන් සියයට 17 ක් සිටින අප්‍රිකාවට ලබා දී ඇත්තේ ලොව පුරා එන්නත් වලින් සියයට 1.5 ක් පමනි. සෝමාලියාවේ මිලියන 15 ක ජනතාව සඳහා මාත්‍රාවන් 300,000 ක් ද නයිජර්හි මිලියන 23 ක් සඳහා මාත්‍රාවන් 355,000 ක් ද ලිබියාවේ මිලියන 6.8 ක් සඳහා 175,000 ක් ද බෙදා හැරීමට කොවැක්ස් සමත් වී තිබේ. මැද පෙරදිග, ඉරාක ජාතිකයන් මිලියන 39 ක් සඳහා 336,000 ක් ද, ඇල්ජීරියානුවන් මිලියන 43 ක් සඳහා 364,800 ක් ද, වාඩිලාගෙන සිටින ප්‍රදේශවල පලස්තීනුවන් මිලියන 4.7 ක් සඳහා 164,000 ක් ද ලබා දී ඇත. ලතින් ඇමරිකාවේ දුගී දුප්පත් රටවල ද සංඛ්‍යාලේඛන මෙවැනිම වේ, උදාහරනයක් ලෙස බොලීවියාවට මිලියන 12 ක ජනතාව සඳහා ලැබී ඇත්තේ මාත්‍රාවන් 421,000 ක් පමනි; ආසියාව තුල, පිලිපීනයේ මිලියන 108 ක ජනගහනයක් සඳහා  ලබාගෙන ඇත්තේ මාත්‍රාවන් මිලියන 2.6 ක් පමනි.

කොවැක්ස් ආරම්භයේ සිටම එන්නත් හිඟ කමකට මුහුන දුන් අතර, වොෂින්ටනය ප්‍රමුඛ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ෆයිසර්, මෝඩර්නා සහ වෙනත් සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කර අන්තර්ජාතික ඒජන්සිය මඟ හැර එන්නත් වල ලොකු කොටස මිලදී ගැනීම සඳහා එහි සාධාරන බෙදාහැරීමේ මෙහෙයුම කඩාකප්පල් කරන ලදී.

වසංගතය පාලනයකින් තොරව ඉහල යෑමට ඉන්දීය ආන්ඩුවේ ප්‍රතිචාර නිසා මෙම එන්නත් ජාතිකවාදයේ දරුනු බලපෑම් තවදුරටත් උග්‍ර වී තිබේ. ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියානු සේරම් ආයතනයට සියලු අපනයන නතර කරන ලෙස නියෝග කිරීමෙන් ආන්ඩුව එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එන්නතෙහි පලමු මාත්‍රාව ලබාගත් ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවකයින් මිලියන ගනනකට දෙවන මාත්‍රාව නොලැබෙනු ඇත.

එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ එන්නත් ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඒ මහ සයුරින් දිය බිඳකටත් අඩු ප්‍රමානයකි. බයිඩන් පරිපාලනය මාත්‍රාවන් මිලියන 80 ක් ද යුරෝපා සංගමය මිලියන 100 ක් ද පොරොන්දු වී තිබේ.

ගෝලීය ආසාදන හා මරන පිලිබඳ නව වාර්තා දිනපතා සැකසෙමින් තිබියදී, මෙම ප්‍රතිචාරය අනුකම්පා විරහිත පමනක් නොව, අතාර්කික හා සැබවින්ම උමතුවකි. ගෝලීය කොරෝනා වෛරස් වසංගතයට ජාතික පදනමක් මත අවසානයක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෙබ්‍රයිසස් සඳුදා අනතුරු ඇඟවූ පරිදි, “එන්නත් කිරීමේ අනුපාතය කුමක් වුවත්, කිසිදු රටක් එය මරුකටෙන් ගලවී ඇතැයි නොසිතිය යුතුය.” ඉන්දියාව, බ්‍රසීලය සහ වෙනත් රටවල වෛරසය පාලනයකින් තොරව පැතිරීමත් සමඟ නව එන්නත්-ප්‍රතිරෝධී ප්‍රභේදයන් මතු වන තර්ජනය පවතී.

ගෝලීය එන්නත් කිරීමේ ව්‍යාපාරයක දැවෙන අවශ්‍යතාව කෙරෙහි ධනේශ්වර ආන්ඩු සහ පාලක පන්තිවල සාපරාධී උදාසීනත්වය වසංගතයට ඔවුන් දක්වන මිනීමරු ප්‍රතිචාරය සමග සමපාත වේ. ආරම්භයේ සිටම, ඔවුන් මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම, බැංකු, සංගත ලාභ සහ පාලක කතිපයාධිකාරයේ අවශ්‍යතා වලට යටත් කර ඇති අතර, තමා අත අතිමහත් ධනයක් සංකේන්ද්‍රනය කරගෙන සිටිති.

ධනවාදී ජාතික රාජ්‍ය ක්‍රමය අහෝසි කිරීම, මූල්‍ය කතිපයාධිකාරය විසින් රැස්කර ගත් ධනය අත්පත් කර ගැනීම සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අවසන් කිරීම යන මෙම කරුනු, ජීවිතය ඇතුලුව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ පූර්ව කොන්දේසි ලෙස වසංගතය මගින් නිරාවරනය කොට පෙන්වා දී ඇත.

කොවිඩ්-19 වසංගතයට ධනවාදයේ ප්‍රතිචාරය මගින් ඇති කරන ලද සමාජ ව්‍යසනය හේතුවෙන් ලොව පුරා කම්කරුවෝ අරගලවලට අවතීර්න වෙති. මෙම අරගලයන් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතු ය. කතිපයාධිකාරීන්ගේ ලාභය හා ධනය වෙනුවට මානව අවශ්‍යතා ස්ථානගත කරන හා ධනවාදය විසින් යුද්ධයට තල්ලු කිරීමට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ඉදිරියට ගෙන යන සමාජයක් සඳහා වන පොදු සටනේ දී කම්කරුවන් ජාතික සීමාවන් ඉක්මවා එක්සත් කල යුතුය.

Loading