ආන්ඩුවේ විෂඝෝර අත්‍යවශ්‍ය සේවා නියෝග විපක්ෂ සහ වෘත්තීය සමිති අනුමත කරති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර ගනනාවක් “අත්‍යවශ්‍ය සේවා” ලෙස නම් කරමින් සහ හා සියලු කාර්මික ක්‍රියා තහනම් කරමින්,  මැයි 27 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කලේය.  වරායයන්, රේගු, ඛනිජ තෙල්, දුම්රිය හා බස් ප්‍රවාහන සේවා, පරිපාලන හා සුභසාධන කාර්යාල, මහ බැංකුව ඇතුලු රාජ්‍ය බැංකු සහ රක්ෂන සේවා මෙන් ම, පලාත්පාලන ආයතන මගින් කෙරෙන කසල කලමනාකරනය යන ක්ෂේත්‍ර එම නියෝගයට යටත්වෙයි.

වරාය පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ උද්ඝෝෂනයක්

කම්කරු අරගල මැඩීමේ ලා කුප්‍රකට මෙම අත්‍යවශ්‍ය සේවා විධානයන්ට යටත් කෙරෙන ආයතනයන්හි, සේවයට වාර්තා නො කරන ඕනෑම සේවකයෙකුට මුදල් දඩ සහ දීර්ඝ සිර දඬුවම් පැමිනවිය හැකි අතර ඔවුන් සේවයෙන් පහකර දේපල රාජසන්තක කිරීමකට පවා යටත් කල හැකිය. ඊට අමතරව එම ආයතනයන් හි වැඩවර්ජන ඇතුලු පන්ති ක්‍රියා සංවිධානය කිරීම හෝ කම්කරුවන් අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පවා වරදක් ලෙස සැලකෙයි. ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි රැකියාවේ නියුතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කරන ඕනෑම අයෙකුට දඬුවම් කල හැකිය.  

“වසංගතය මැද මහජනතාවට අඛන්ඩව සේවා සැපයීම සඳහා” මෙම නියෝගය පැනවූ බවට ආන්ඩුව වගුරන අමූලික ප්‍රලාපයට විපරීතව, එහි සැබෑ එල්ලය, කොවිඩ්-19 ආසාදන රටපුරා වේගයෙන් ඉහල යද්දී, ඛාදනය වන ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත තීව්‍ර කරන ප්‍රහාර නිසා මහජනයා අතර වැඩෙන කෝපය හා නොසන්සුන්කම මර්දනය කිරීම යි. නියෝගය පැනවීමට ආසන්නතම නිමිත්ත වූයේ, කොවිඩ්-19 එන්නත වහා ලබාදෙන ලෙස ඉල්ලා 12,000 ක් ග්‍රාම නිලධාරීන් මැයි 25 දා මධ්‍යම රාත්‍රියේ සිට දියත් කල දීප ව්‍යාප්ත වැඩවර්ජනය යි. 

කෙසේ නමුත්, මෙම විෂඝෝර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට එරෙහිව කම්කරු පන්තික ආස්ථානයක් මත විවෘතවම විරුද්ධත්වය පලකොට ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. 

පසුගිය වසරේ වරාය සේවකයන්ට එරෙහිව  අත්‍යවශ්‍ය සේවා නියෝගය පැනවූ අවස්ථාවේදී මෙන්ම මෙවර ද, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ “වාම” දේශපාලන සංවිධාන කිසිවක් එයට එරෙහිව කවර හෝ විරෝධයක්  පලකර නොමැත. නියෝගය සම්බන්ධයෙන් ඔවුන් සියලුදෙනා එක්ව පවත්වාගෙන යන පූර්න නිහැඬියාව ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත් වලට දෙනලද විවෘත අනුමැතියකි.

ධනපති පාලක පන්තියේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් වඩාත් දැනුවත්ව සේවයේ යෙදෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මැයි 30 දා දේශපාලන තීරුලිපිය, අත්‍යවශ්‍ය සේවා නියෝගය සම්බන්ධයෙන් විපක්ෂ සහ වෘත්තීය සමිතිවල ඉහත ප්‍රතිචාරයට අවශ්‍ය පදනම මෙසේ සකසයි: “ඇත්ත වශයෙන්ම මෙම අංශවල කිසියම් කටයුත්තක් කඩාකප්පල් කිරීමට වෘත්තීය සමිති විසින් සැලසුම් කර තිබුනේ නම්, ඔවුන්ට විරුද්ධ පක්ෂවල දේශපාලන පිටුබලය නොමැති බව පැහැදිලිය. එවැනි තත්වයක් තුල, වෘත්තීය සමිති අතලොස්සක් මෙම ඕනෑම අංශයක සාර්ථකව කටයුතු කරන්නේ කෙසේද?”

අත්‍යවශ්‍ය සේවා නියෝගයට විරුද්ධ පක්ෂවල පූර්න පිටුබලය ලැබෙන බව සන්ඩේ ටයිම්ස් ‌දේශපාලන ලියුම්කරුට සහතිකය. ඔහුගේ තීරු ලිපියෙන් ප්‍රකාශයට පත් වන්නේ, කම්කරුවන් අතර ආන්ඩුවට එරෙහිව වැඩී ඇති දැවැන්ත විරෝධය අවමංගතකොට දියකර හැරීම සඳහා සමිති විසින් ඉඳහිට කැඳවන ඊනියා විරෝධතා උද්ඝෝෂන පවා සමිති සීමාවෙන් ඔබ්බට වර්ධනය වෙතැයි යන පාලක පන්ති උත්සුකය යි. 

“වෘත්තීය සමිතිවලට අයත් ඇතැමුන්ගේ කඩාකප්පල්කාරී සැලසුම් පිලිබඳ බුද්ධි අංශ විසින් ආන්ඩුවට අනතුරු ඇඟවූ” බව ද දේශපාලන ලියුම්කරු පවසයි. “වෘත්තීය සමිති වලට අයත් ඇතැමුන්” යනුවෙන් ඔහු පාලක පන්තියේ අවධානය යොමු කරවන්නේ, වර්ජන ඇතුලු පංති ක්‍රියාවන්ට වල කපන සමිති නිලධරයේ යකඩ හැට්ටයෙන් මිදී ස්වාධීනව අරගලයට පිවිසීමට යත්න දරන පහල සාමාජිකත්වය කෙරෙහි ය. 

ආන්ඩුවේ අත්‍යවශ්‍ය නියෝගයට අනුමැතිය ලබා දීමෙන් වෘත්තීය සමිති කම්කරු පන්තියට පැහැදිලි පනිවිඩයක් දී ඇත. “කම්කරුවනි, අරගලයට පිවිසෙන ඔබට එරෙහිව මෙම (විෂඝෝර) අත්‍යවශ්‍ය සේවා විධිවිධාන යටතේ එල්ල කෙරෙන ප්‍රහාරයන්හි දී අප සිටින්නේ  ඔබ සමග නොව, ප්‍රහාරකයා සමගයි” යන්න එම පනිවිඩය යි.

සමිති වලින් ස්වාධීනව පැන නගින අරගල වලට නායකත්වය දෙන කම්කරුවන් දඬුගැසීම සඳහා හාම්පුතුන් සහ රාජ්‍යය සමග මෙම සමිති නායකයන් පෙල ගැසී සිටීම සම්බන්ධයෙන් බලගතු උදාහරනයක් හැටන් හි ඕල්ටන් වත්තෙන් සම්පාදනය වෙයි. මෑතදී පැවති වැටුප් වර්ජනයේදී එහි වතු කලමනාකරුට කායිකව පහරදුන් බවට බොරු චෝදනා ඉදිරිපත් කරමින් එහි ‌කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහකිරීමට සමාගම ගත් මර්දන පියවරේදී, වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) එම කම්කරුවන්ගේ නම්ගම් පොලීසියට සපයමින් එයට විවෘතවම සහාය විය. කම්කරුවන්ට එරෙහිව නඩු පැවරීමට ඔවුන් කුදලා පොලීසියට භාර දුන්නේ සීඩබ්ලිව්සී නායකයන් විසිනි. 

රාජපක්ෂ ආන්ඩුව ධනපතියන්ගේ ලාභෝත්පාදනය ආරක්ෂා කරදීම සඳහා ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යමින් වසංගතයට කම්කරුවන් බිලිදෙද්දී, නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පසුගියදා ආන්ඩුවට යෝජනා කර තිබුනේ වෙලඳ කලාප තුලම කොවිඩ් රෝහල් ගොඩනැගීම හෙවත් කම්කරුවන් හාම්පුතුන්ගේ අත් අඩංගුවේ තබාගෙන වැඩගැනීමේ වැඩපිලිවෙලක් සකස්කරන ලෙසයි. මාකස් ගේ සමිතිය ඇතුලු අනෙක් සමිති, ආන්ඩුව සහ හාම්පුතුන් සමග එක්ව පිහිටවූ “ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකාය” හරහා කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කපා දමා වැඩ වේගවත් කිරීමට විවෘතවම සම්මාදම් වූහ. 

කම්කරුවන්ට පූර්න සෞඛ්‍ය ආරක්ෂාව ලබා දෙමින් අත්‍යවශ්‍ය නිෂ්පාදන සිදුකෙරෙන අතරේ, ඇඟලුම් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමා ඒවායේ කම්කරුවන්ට පූර්න වැටුප් සහ දීමනා ද, ආදායම් අහිමිවන අනෙකුත් මහජනයාට පූර්න වන්දි ද ලබාදෙන ලෙස ඉල්ලමින් සටන් වැදුනේ සසප පමනි.   

ධනේශ්වර පද්ධතියට තදින් බැඳී ඇති මෙම සමිති මෙහෙයවෙන්නේ ද, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ ධනපති පිලිවෙතිනි. මෙම පිලිවෙත නග්නවම ප්‍රකාශයට පත්කලේ සීඩබ්ලිව්සී නායක සහ ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ජීවන් තොන්ඩමන් විසිනි. මෑතදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු වතු කම්කරුවන්ට පැවසුවේ, “වසංගතයට බිය නොවී දෑතින් ම දලු කඩා නිෂ්පාදනය වැඩිකරන” ලෙස යි. “අපේ දුර්වලකම කොවිඩ් 19 වෛරසයට බිය වීමයි. බිය නැති කර ගත්තොත් අපට වෛරසය පාලනය කරන්න පුලුවන්” බවත්, “නිෂ්පාදනය වැඩි නොකර” කම්කරුවන්ගේ වැටුප් වැඩි කල නොහැකි බවත් ඔහු එහි දී පවසා ඇත.

වෘත්තීය සමිති වල සහාය සහිතව ඇඟලුම් සහ තේ ඇතුලු අපනයන ක්ෂේත්‍රයේ කම්කරුවන් බිලිදෙමින් ධනපති ලාභ උත්පාදනය වර්ධනය කරගෙන ඇති අන්දම මහබැංකු වාර්තා වලින් හෙලිවේ. එම වාර්තාවලට අනුව 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ලංකාවේ අපනයනයන් සියයට 183කින් ඉහල ගොස් ඇත. එමෙන්ම මෙම වසරේ පලමු කාර්තුවේදී වසර පහකට පසු ලංකාවේ තේ දලු අස්වැන්නේ ඉහලම අගය වාර්තාවී තිබේ. 

සමිතිවල හිරකිරීම් සහ පාවාදීම් තිබියදී, මෑත මාස කිහිපයේ දී, තැපැල්, දුම්රිය, වතු, අධ්‍යාපන, සෞඛ්‍ය හා විදුලි බල කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් පුපුරා ගියේය. වැඩබිම් ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදන ඉහලයාම, සෞඛ්‍ය සේවය ඇතුලු ඉදිරිපෙල වෘත්තීන් හි යෙදෙන්නන්ට නිසි සෞඛ්‍යාරක්ෂක උපකරන සහ එන්නත් ලබා නොදීම, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තියුනු ලෙස ඉහල යාම සහ ප්‍රමානවත් සමාජ සහනාධාර නොලැබීම ඇතුලු නරක අතර හැරෙන රැකියා සහ ජීවන කොන්දේසි වලට එරෙහිව ඔවුහු අරගලයට පිවිසියහ.

වර්ජන සහ විරෝධතා රැල්ලක නව ආරම්භයක් සටහන් කරමින් දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ අවශ්‍ය මූලික පහසුකම් ඉල්ලා අරගල වලට අවතීර්න වී සිටිති. කොලඹ ජාතික රෝහලේ කනිෂ්ඨ සේවකයන් අඛන්ඩ සත්‍යග්‍රහයක යෙදී සිටින අතර, සඳුදා, කලුබෝවිල, කෑගල්ල, තෙල්දෙනිය, නුවරඑලිය සහ මඩකලපුව ආදී ප්‍රදේශ කිහිපයක කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් විරෝධතා සංවිධානය කරමින් ඊට සහයෝගය පල කලහ. 

නිසි සෞඛය ආරක්ෂාව සහ ප්‍ර‍වාහන පහසුකම් ඉල්ලා, හෙද-හෙදියන් ඇතුලු විවිධ ක්ෂේත්‍රවල රෝහල් සේවකයන්ගේ සහභාගිත්වයෙන්, ඊයේ දින, කොලඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ ප්‍රධාන රෝහල්වල පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී සිටීමේ විරෝධතාවයක් පැවැත්වුනි.

මෙම අරගල අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික ක්ෂේත්‍රයන් කරා පැතිරී ධනපති ආන්ඩුවට පමනක් නොව සමස්ත ධනපති ක්‍රමයටම අභියෝගය කලහැකිය යන උත්සුකය පාලක පන්තිය තුල වැඩී ඇත. එම අභියෝගයට එක්ව මුහුනදීමේ සූදානම සියලු ධනපති පක්ෂ ප්‍ර‍කට කරමින් පවතී. 

“වසංගතයෙන් රට බේරාගැනීම පෙරදැරි කරගෙන ආන්ඩුව සමග සටන් විරාමයකට ඇතුලුවීමට තමන් සූදානම්” බව මැයි මස මුලදී පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් අතර පවතින වෙනස්කම් අමතක කර ඒ සඳහා එක්වන මෙන් අනෙකුත් පක්ෂ වලින්ද ඉල්ලා සිටියේය. 

එවැනිම උද්ඝෝෂනයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුන, මැයි 11 වනදින කැඳවූ මාධ්‍ය හමුවකදී එහි නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය: “අපි ආරම්භයේදීම විපක්ෂයේ පක්ෂ හවුල් වූ යාන්ත්‍රනයක් සකස් කරන ලෙස කිව්වා. විපක්ෂ හවුල් කර ගැනීමට අකැමැති නම් ආන්ඩුව තුලම හෝ සාමූහික නායකත්වයකට මෙය යටත් කල යුතුයි.” 

වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව මහජන විරෝධය නැගෙද්දී අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ කැඳවූ “සර්ව පාක්ෂික” සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු කන්ඩායම් සහභාගී වූයේ, එම විරෝධයට සාමූහිකව මුහුනදීමේ එකඟතාවක් ඇතිකර ගැනීමේ අටියෙනි.

‍ආන්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත්තේ මෙම නියෝගය නිකුත්කෙරී ඇත්තේ, “අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම” සඳහා බවයි. ආන්ඩුව මෙම තර්කයම යොදාගනිමින් කම්කරුවන්ගේ විරෝධතා යටපත්කර වැඩෙහි යෙදවීම සඳහා වැඩබිම් තුලට පොලිසිය සහ මිලිටරිය යොදවනු ඇත. 

සන්නද්ධ හමුදා සහ පොලීසිය දැනටමත් වීදි මුර සංචාරයේ යෙදී සිටින අතර, රටෙහි දිස්ත්‍රික්ක 25 තුල “නීතිය හා සාමය පවත්වාගෙන යාමේ” නාමයෙන් සන්නද්ධ හමුදා බලමුලු ගැන්වීමට අදාල ගැසට් පත්‍රයක් ජනාධිපති රාජපක්ෂ විසින් යලි බලාත්මක කර තිබේ. අත්‍යවශ්‍ය සේවා නියෝගය ඇතුලු මෙම සියලු දෑ, කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම එල්ල කරගත් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා ජනාධිපති රාජපක්ෂ යන ගමනේ පියවරයන් ය. 

ආන්ඩුව තමන්ට එරෙහිව සූදානම් කරන ප්‍රහාරයේ අන්තරාය කම්කරු පන්තිය බැරෑරුම්ව වටහාගත යුතුය. ධනපති “විපක්ෂ”, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂවල සහායෙන් රාජපක්ෂ ආන්ඩුව සූදානම් කරමින් සිටින්නේ පූර්න පරිමාන පන්ති යුද්ධයකි. කම්කරුවන්ට තම ජීවිතය මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ වෘත්තීය සමිතිවලින් බිඳී, සෑම වැඩපොලක ම ගොඩ නගා ගන්නා ක්‍රියාකාරී කමිටු හරහා තම කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනි.

Loading