ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි ටුල්සා වාර්ගික සංහාරයේ සියවස

[පහතින් පලවෙන්නේ The centenary of the Tulsa, Oklahoma race massacre මැයෙන් 2021 ජුනි 02 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

මෙම සතිය, එක්සත් ජනපද ඉතිහාසයේ මාරාන්තිකතම හා වඩාත්ම විනාශකාරී කලු ජාතික විරෝධී සංහාරයන්ගෙන් එකක් වන ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ වාර්ගික සංහාරයේ සියවස සනිටුහන් කරයි.

කලු ජාතිකයින් 26 දෙනෙකු හා සුදු ජාතිකයින් 13දෙනෙකු සමග මරන සංඛ්‍යාව 39ක් බව  නිලධාරීන් විසින් සනාථ කෙරුනු නමුත්, බොහෝ ඇමරිකානු අප්‍රිකානුවන් ගැනීමකින් තොරව සමූහ මිනීවලවල්වල මිහිදන් කිරීමේ තතු තුල සැබෑ සංඛ්‍යාව 300ක් තරම් ඉහල අගයක් විය හැකි බව ඇස්තමේන්තු කෙරේ. 2001 දී ඔක්ලහෝමා ප්‍රාන්ත කොමිසමක් ඇස්තමේන්තු කර ඇති පරිදි හානියේ වර්තමාන පිරිවැය ඩොලර් මිලියන 30කි.

ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ සමූහ මිනී වලක වලලන ලදැ යි විශ්වාස කෙරෙන වාර්ගික සමූලඝාතනයට ගොදුරු වූවන් සෙවීම සඳහා ඕක්ලෝන් සුසාන භූමියේ කැනීම් 2021 ජුනි 1 වන දින නැවත ආරම්භ වේ (AP Photo / Sue Ogrocki)

1921 මැයි 31වැනි දින රාත්‍රියෙන් ඇරඹී 1921 ජුනි 1වැනි දින දක්වා, පොලීසියේ අනුග්‍රහය ද ඇතිව සන්නද්ධ සුදු ජාතිකයන් දහස් ගනනකගේ කොල්ලකාරී කල්ලියක් ග්‍රීන්වුඩ් ලෙස හැඳින්වෙන ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ අප්‍රිකානු ඇමරිකානුවන්ට වෙන් වූ කොටස සිසාරා වියරුවෙන්  හැසිරුනේ, ව්‍යාපාර හා නිවාස කොල්ලකමින් හා ගිනි තබමිනි. ගුවන් යානා හිසට ඉහලින් පියාසර කරමින් වහලවල් මතට ගිනි බෝම්බ දැමූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ.

කලු ජාතික පුරවැසියන් - ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පලමුවන ලෝක සංග්‍රාමයේ  පැරනි පලපුරුදු සෙබලු වූහ - රයිෆල් හා පිස්තෝල අතැතිව සටන් කල නමුත්, මැර පිරිස වලකාලීමට එය ප්‍රමානවත් වූයේ නැත. ප්‍රහාරය අඩු වී දුම පහව ගිය කල පෙනී ගිය පරිදි, ව්‍යාපාරික ප්‍රදේශය සහ නගරයේ විශාලතම අප්‍රිකානු ඇමරිකානු පල්ලිය ද ඇතුලු ව හතරැස් ගොඩනැගිලි සංකීර්න 35ක් ගිනිබත් කර බිමටම සමතලා කොට දමා තිබුනි. නිවාස 1,470ක් පමන ගිනිබත් කෙරුනි, නැත හොත් කොල්ල කන ලදී. සිය නියෝජිත කොල්ලකරුවන්ගේ ද ආධාරය ලද පොලීසිය සහ ජාතික ආරක්ෂක බලකාය විසින් කලු ජාතිකයන් 6,000ක් වටකර දින ගනනාවක් සිරගත කරන ලදී. බොහෝ පිරිමි නගරයේ පොලවල් පැවැත්වූ භූමිවල සතුන් රැඳවීමට ඉදි කර තිබූ කොටුවල රඳවා තබනු ලැබූහ.

ප්‍රචන්ඩකාරී කොපාග්නියට නිමිත්ත වූයේ 1921 මැයි 30වැනි දින ටුල්සා නගර මධ්‍යයේ විදුලි සෝපානයක දී, 19 හැවිරිදි කලු ජාතික සපත්තු ඔප දමන්නෙකු වූ ඩික් රෝලන්ඩ් හා 17 හැවිරිදි සුදු සෝපාන ක්‍රියාකාරිනියක වූ සාරා පේජ් අතර ඇති වූ ගැටුමකි.

වඩාත්ම පුලුල් ලෙස පිලිගැනෙන වාර්තාවට අනුව, රෝලන්ඩ් පේජ්ගේ පා මුල ඇද වැටී ඇගේ අත අල්ලාගෙන ඇති අතර, ඇය පලා යාමට පෙර කෑ ගසා ඇත. දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙන්නට ඇතැ යි අනුමාන කෙරෙන අතර පේජ් රෝලන්ඩ්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කලා ය. ඊලඟ දවසේ රෝලන්ඩ් අත්අඩංගුවට ගනු ලැබ, සුදු ජාතික කාන්තාවක් දූෂනය කිරීමට තැත් කිරීම වෙනුවෙන් චෝදනා ගොනු කරන ලදී. එය වූ කලී, අවසානයේ තවත් බොහෝ කලු ජාතිකයන්ට නඩු නැති ව ප්‍රචන්ඩ ලෙස දඬුවම් කිරීමෙන් කෙලවර වූ චෝදනාවක් විය. ටුල්සා ට්‍රිබියුන් පුවත්පත, “සෝපානයේ ගැහැනු ලමයෙකුට පහර දුන් නීග්‍රෝ ජාතිකයා අල්ලයි” යන මාතෘකාව සහිත ලිපියක් පල කලේ ය. 

රෝලන්ඩ් ඝාතනය කෙරෙනු ඇතැ යි බියෙන් සන්නද්ධ කලු ජාතිකයන් පිරිසක් දෙවරක් උසාවියට ගොස් ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ නමුත් පොලිසිය එය ප්‍රතික්ෂේප කලේ ය. දෙවන අවස්ථාවේ දී සුදු ජාතිකයෙක් පැරනි යුද සෙබලෙකු වූ කලු ජාතිකයෙකු නිරායුධ කිරීමට උත්සාහ කලේ ය. ඉනික්බිතිව පැතිර ගිය ප්‍රචන්ඩත්වයට පලමු ගිනි පුපුර සම්පාදනය කරමින් එහිදී වෙඩි තැබීමක් සිදු විය.

ටුල්සා සමූල ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ සැබෑ ලෙසම බිහිසුනු නිමේශයකි. එය බොහෝ කලක් තිස්සේ මහජන විඥානයෙන් වසන් කෙරී ඇති අතර කිසි විටෙකත් ඒ සම්බන්ධයෙන් කටයුතු කල යුතු ව තුබූ පරිදි එය හා ගනුදෙනු බේරා ගැනීමක් සහ එයට අභියෝග කිරීමක් සිදු වී නොමැත. එය අනුස්මරනය කිරීම හා සිහිපත් කිරීම අගනේය. කෙසේ වෙතත්, එවැනි සෑම සිදුවීමක දී මෙන්ම, එය ඉදිරිපත් කෙරෙන්නේ හා විශ්ලේෂනය කෙරෙන්නේ කවරාකාරයකින් ද යන්න, අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීමෙහි ලා තීරනාත්මක වේ.

1921 ටුල්සා වාර්ගික සංහාරයේ විනාශය

වහල්භාවය අවසන් කිරීම සඳහා සුදු ජාතිකයන් දස දහස් ගනනක් මිය ගිය සිවිල් යුද්ධය අවසන් වී වසර 60කට පමන පසු, එවැනි සාහසිකත්වයක් ඇති වන්නේ කෙසේ ද? දැන් ප්‍රවර්ධනය කෙරෙමින් තිබෙන ආඛ්‍යානය මුලුමනින්ම වර්ගය කෙරෙහි අවධානය යොමු කරන එකකි. වින්දිතයන් අතිමහත් ලෙස අප්‍රිකානු ඇමරිකානුවන්  වූ බැවින් වර්ගය හා වර්ගවාදය ආඛ්‍යානයෙන් ඉවත් කිරීම විකාරයකි. කෙසේ වෙතත්, එහි පුලුල් ‌‌ඓතිහාසික හා දේශපාලන සන්දර්භය තුල බහා පරීක්ෂා කිරීමෙන් හැර අන් අයුරකින්, සිදුවූයේ කුමක්ද හා  එසේ වූයේ මන් ද යන්න තේරුම් ගත නො හැක. 

1921ට පෙර හා පසු ආසන්න කාල පරිච්ඡේදය තීව්‍ර පන්ති ගැටුම්වල කාල පරිච්ඡේදයක් විය. පාලක පන්තිය එයට ප්‍රතිචාර දැක්වූයේ ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයෙනි. 

1916 සිට 1922 දක්වා කාලය තුල එක්සත් ජනපදය, එදා මෙදා තුර ඇති වූ විශාලතම වැඩ වර්ජන රැල්ල අත් දුටුවේය. යුද්ධය පවතින කාලයේ කම්කරුවන් රැකියාවෙහි තබා ගැනීමට ඇමරිකානු කම්කරු සම්මේලනය දැරූ උත්සාහය නො තකා, සෑම වසරක ම මිලියනයකට වඩා වැඩ වර්ජනවල නිරත වූහ.

කම්කරු පන්තියට දේශපාලන බලය තමන්ගේ ම අතට ගත හැකි බව පෙන්නුම් කල 1917 රුසියානු විප්ලවය මගින් ලොව පුරා පන්ති අරගලයේ වර්ධනය තීව්‍ර කෙරින. 1919 පෙබරවාරියේ වොෂිංටනයේ සියැටල් හි කම්කරුවන් 65,000කට වැඩි පිරිසක් දින පහක මහා වැඩ වර්ජනයකට සහභාගී වූ අතර, එය එම වසරේ කම්කරුවන් මිලියන 4.5ක් සහභාගී වූ දැවැන්ත වැඩ වර්ජන රැල්ලක කොටසක් විය. සමාජවාදී පක්ෂයේ භේදයකින් පසු ව, 1919 අවසානයේ එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කෙරුනි.

ඇමරිකානු පාලක පන්තිය මෙම රැඩිකලීකරනයට ප්‍රතිචාර දැක්වූයේ කම්කරු පන්තියට එරෙහි ව විවෘත යුද්ධයක් දියත් කරමිනි. ඇමරිකානු ධනේශ්වරය තරම් අන් කිසිදු පාලක පන්තියක් බොල්ෂෙවික්වාදයේ බලපෑම ගැන බිය වූයේ නැත. ඉතාලි ජාතිකයන්, අයිරිෂ් ජාතිකයන්, කතෝලිකයන් හා යුදෙව්වන්ට එරෙහි ව සෑම ආකාරයකම අගතීන් ප්‍රවර්ධනය කරන ලදී. වාර්ගික ආතතීන් අවුලුවාලීමේ පැහැදිලි අරමුන ඇති ව, වැඩ වර්ජන බිඳින්නන් ලෙස යොදා ගැනීම සඳහා බොහෝ විට සමාගම් ලොක්කන් විසින් අප්‍රිකානු ඇමරිකානු කම්කරුවන් දකුනේ සිට උතුරට ගෙන එන ලදී. 

පලමුවන ලෝක සංග්‍රාමයට එක්සත් ජනපදය ඇතුලු වීම විසින් හා එහි පසුවිපාක වලින් එක්සත් ජනපදය පුරා පලමු රක්ත භීතිකාව (බොල්ෂෙවික්වාදීන් හා අන්තවාමවාදීන් / අරාජකවාදීන් පිලිබඳ භීතිකාව - පරි) ලෙස හඳුන්වන ලද දේශපාලන ප්‍රතිගාමීත්වයට මග පෑදින. එහි වැඩි කොටස කේන්ද්‍රගත කෙරුනේ  කම්කරු රැඩිකලුන් මර්දනය කිරීම වෙතය. ජාත්‍යන්තර වශයෙන් බෙනිටෝ මුසොලිනිගේ නායකත්වය යටතේ ඉතාලියේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් තිබූ අතර, හිට්ලර් ජර්මනියේ නැගී එමින් පැවැති නාසි පක්ෂය මත සිය පාලනය තහවුරු කරමින් සිටියේ ය. 

මේ වූ කලී, (වාමාංශිකයන් ලෙස සැලකුනු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කල -පරි) පාමර් වැටලීම්වල, සංක්‍රමන-විරෝධී උන්මාදයේ, සාකෝ සහ වැන්සෙට්ටි නඩු විභාගයේ හා ජේ. එඩ්ගර් හුවර්ගේ මූලිකත්වයෙන් එෆ්බීඅයි සංවිධානය වාමාංශික රැඩිකල්වාදයට එරෙහිව කැප වූ ජාතික පොලිස් බලකායක් බවට පරිවර්තනය කිරීමේ කාලය විය. යුද්ධයට විරුද්ධ වූ හෝ තම පක්ෂපාතිත්වය දිවුරුම් දීමට අපොහොසත් වූ සංක්‍රමනිකයෝ හා සමාජවාදී වෘත්තීය සමිති සංවිධායකයෝ සිර ගත කිරීමට හා ඝාතනයට ලක් වූහ. කෙටුම්පතට විරෝධය දක්වන ලෙස ඉල්ලමින් කථාවක් පැවැත්වීම හේතුවෙන් ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් ඩෙබ්ස් 1918 දී අත්අඩංගුවට ගෙන වසර 10කට හිර ගත කරන ලදී. 

මෙම වසරවල දී ප්‍රතිගාමිත්වය බලවත් ලෙස හිස එසවීය. ලෝක කාර්මික කම්කරුවන්ගේ (අයිඩබ්ලිව්ඩබ්ලිව්) ප්‍රධාන විධායක මන්ඩලයේ සාමාජිකයෙකු වූ ෆ්‍රෑන්ක් ලිට්ල්, 1917 දී පතල් කම්කරුවන් සංවිධානය කිරීමට සටන් කරමින් සිටිය දී, මොන්ටානා ප්‍රාන්තයේ බුට් නගරයේ දී ඝාතනය කරන ලදී. නගර මායිමේ පිහිටි පාලමක එල්ලා දැමීමට පෙර, වෙස්මුහුනු ලා ගත් පුද්ගලයන් විසින් ලිට්ල් අල්ලා පහර දී මෝටර් රථයක පිටුපසින් ඇදගෙන යනු ලැබී ය. අයිඩබ්ලිව්ඩබ්ලිව් සාමාජික වෙස්ලි එවරස්ට් 1919 නොවැම්බරයේ දී, ඇමරිකානු සේනාංකයේ සාමාජිකයන් සමඟ මාරාන්තික ගැටුමකින් පසු වොෂිංටනයේ සෙන්ට්‍රලියා නගරයේ දී පුමංගහරනය කොට මරා දමන ලදී. 

1919 රතු ගිම්හානයේ දී සුදු ජාතික මැර කන්ඩායම්, අවම වශයෙන් නගර 60ක දී, කලු ජාතිකයන් වාසය කල අසල්වැසි ප්‍රදේශවලට පහර දුන්හ. නාගරික ප්‍රචන්ඩත්වයේ නරකම අවස්ථාවේ දී, චිකාගෝ හි සටන්වලින් කලු ජාතිකයන් 23 ක් හා සුදු ජාතිකයන් 15 දෙනෙකු වශයෙන් 38දෙනෙකු ඝාතනය කෙරුනේ, සුදු මැරයන් විසින් හුදෙකලා වෙරලක දී කලු ජාතික තරුනයෙකු ගල් ගසා මරා දමනු ලැබීමෙන් පසු ය. එම වසරේ දීම, අප්‍රිකානු ඇමරිකානුවන් 237 ක් හා සුදු ජාතිකයන් පස් දෙනෙක් මරා දැමුනු ඉලේන් සංහාරය ද සිදු විය. එම ප්‍රහාරය, ආකැන්සාස් ප්‍රාන්තය පුරා දිලිඳු කලු අඳ ගොවීන් හා කුලී ගොවීන් වෘත්තීය සමිති ගත කිරීම කඩා බිඳ දැමීමේ උත්සාහයේ කොටසක් විය.

ටුල්සා සංහාරයෙන් යන්තම් මාස තුනකට පසු, 1921 අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුල, බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ බ්ලෙයාර් කඳුකර සටනේ දී වැඩ වර්ජිත පතල් කම්කරුවෝ 10,000ක් පොලීසිය හා සමාගමේ වැඩ වර්ජන කඩාකප්පල් කරන්නන් සමග  සටනකට එලඹුනහ. පතල් කම්කරුවන් 100ක් පමන ඝාතනය කර 1,000ක් අත්අඩංගුවට ගැනුනි. එක්සත් ජනපද හමුදාව, බටහිර වර්ජිනියා ජාතික ආරක්ෂක බලකාය, බෝල්ඩ්වින්-ෆෙල්ට්ස් රහස් පරීක්ෂක ඒජන්සිය සහ ප්‍රාදේශීය හා ප්‍රාන්ත පොලිසියේ ඒකාබද්ධ ප්‍රහාරයකින් පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනය අවසානයේ දී බිඳ දැමුනි. වෙඩි වට දස ලක්ෂයක් තබන ලද අතර, යටත් කල නොහැකි පතල් කම්කරුවන්ට බෝම්බ හෙලීම සඳහා ගුවන් යානා භාවිතා කරන ලදී. 

ග්‍රීන්වුඩ් ප්‍රහාරයෙන් විනාශ වූ තම නිවස ඉදිරිපිට මිනිසෙක් සිටගෙන සිටියි.

තුල්සා සංහාරයේ ඓතිහාසික පසුබිම හා සන්දර්භය පිලිබඳ සමාලෝචනයකින් පැහැදිලි වන්නේ එය කම්කරු පන්තියේ වාමාංශික හා සමාජවාදී විරුද්ධත්වයට  එරෙහි ව පාලක පන්තියේ වඩාත් පුලුල් ප්‍රහාරයක කොටසක් වූ බව ය. එකී ප‍්‍රහාරයේ කොටසක් ලෙස වර්ගවාදය ප‍්‍රවර්ධනය කර, කම්කරුවන් බෙදීමට සවිඥානික ව එය යොදා ගනිමින්, දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ පෙරමුනක් ලෙස එය ප්‍රයෝජනයට  ගන්නා ලදී. 

ඩිමොක්‍රටික් පක්ෂය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ටුල්සා හි සමූල ඝාතනය ඉදිරිපත් කරනු ලබන්නේ සියලු සුදු ජාතිකයින් විසින් කලු ජාතිකයන් කෙරෙහි පවත්වා ගෙන යනු ලබන, සීමාන්තික වර්ගවාදී වෛරයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඇමරිකානු ඉතිහාසයට ගාමක බලය සැපයෙන්නේ සුදු වර්ගවාදයෙන් බවත්, ඊට එරෙහිව කලු ජාතිකයන් තනිව සටන් කර ඇති බවත් පවසන 1619 ව්‍යාපෘතිය මෙන්ම මෙම ආඛ්‍යානය ද, කම්කරු පන්තිය දුර්වල කිරීමට හා බෙදීමට නිර්මානය කර ඇති, වාර්ගික සතුරුකම් අවුස්සන, ඓතිහාසික විරෝධී හා බරපතල ලෙස අන්තරායකාරී එකකි. 

ජාතික අනුස්මරන දිනයක් ප්‍රකාශයට පත් කරමින් හා “අපේ ජාතියේ වාර්ගික භීෂනයෙහි ගැඹුරු මූලයන් ගැන මෙනෙහි කර අපේ රට පුරා පද්ධතිමය වර්ගවාදය මුලිනුපුටා දැමීමේ කාර්යයට නැවත කැප වන ලෙස” ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිමින්, ජනාධිපති ජෝ බයිඩන් සඳුදා ප්‍රකාශයක් නිකුත් කලේ ය. අඟහරුවාදා ඔහු තුල්සා නගරයට ගොස් සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් අය හමුවූ අතර, කලු ජාතිකයින් හා සුදු ජාතිකයින් අතර ඇති “වත්කම් පරතරය” පියවා දැමීමටත්, නිවාස වෙලඳපොලේ වාර්ගික වෙනස්කම්වලට එරෙහි ව සටන් කිරීමටත් සමත්යැයි කියා පෑ නොපැහැදිලි ප්‍රතිපත්ති යෝජනාවලියක් නිවේදනය කලේ ය. 

ඓතිහාසික මුසාකරනයන්ට සමකාලීන දේශපාලන අභිප්‍රායන් හා ප්‍රතිවිපාක ඇත. සමාජයේ සියලු ආපදාවන් සඳහා “පද්ධතිමය වර්ගවාදයට” දොස් පැවරීමේ  සහ එක්සත් ජනපදය “සුදු ඇමරිකාව” සහ “කලු ඇමරිකාව” අතර දෙකට ඉරී ගොස් ඇති සෙයක් නිරූපනය කිරීමේ වර්තමාන උත්සාහය, කවර හෝ වගකීමකින් ධනපතියන් නිදොස් කරන අතර, සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් සුදු කම්කරුවන් මත දොස් පවරා, කම්කරුවන් එකිනෙකාට එරෙහි ව වාර්ගික රේඛා ඔස්සේ කොටවයි. 

එක්සත් ජනපදයේ සමාජවාදී ව්‍යාපාරයේ වඩාත්ම මූලික ගැටලුව වී ඇත්තේ ලෝකයේ වඩාත්ම වාර්ගික හා ජනවාර්ගික විවිධත්වයකින් යුත් රටක සිටින සියලුම කම්කරුවන් එක්සත් කිරීමේ අරගලයයි. සියලු ආකාර පසුගාමීත්වයන් හා  ප්‍රතිගාමිත්වය පරාජය කර සියලු කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා උත්සුකයන් ආරක්ෂා කල හැක්කේ මෙම පදනම මත පමනි.

ධනේශ්වර ක්‍රමයට එරෙහිව එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්ගේ එක්සත් අරගලයකින් පිටත හා, සමාජය මත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම සඳහාත්, ලාභ පද්ධතිය අවසාන කිරීම සඳහාත් - එනම්, සමාජවාදය සඳහා - වන සටනකින් පිටත අද කලු ජාතික කම්කරුවන් මුහුන දෙන සමාජ හා ආර්ථික ගැටලුවලට විසඳුමක් නො ලැබෙනු ඇත.

Loading