ශ්‍රී ලංකාවේ සසප ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යසනය පිලිබඳ වැදගත් රැස්වීමක් පවත්වයි

[පහතින් පලවෙන්නේ Sri Lankan SEP holds important meeting on COVID-19 catastrophe in India

 මැයෙන් 2021 ජුනි 01, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 30 වන දින “කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාවය” යන මැයෙන් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන ලද මෙම වැඩසටහන සති ගනනාවක් පුරා දරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එයට 200 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් ඉන්දියාවෙනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) වෙනත් ශාඛා වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඒ අතර විය.

කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාවය

එහි ජාත්‍යන්තර ස්වරූපය ඉස්මතු කරමින් මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ සසප සහ එක්සත් ජනපද, කැනේඩියානු සහ ප්‍රංශ ශාඛාවල හජාජාක හි කථිකයින් විසින් ආමන්ත්‍රනය කරන ලදී. ඉංග්‍රීසි, දෙමල සහ සිංහල භාෂාවලින් දේශන පැවැත්විනි.

රැස්වීමේ මුලසුන දැරූ ශ්‍රී ලංකාවේ සසප දේශපාලන කමිටු සාමාජික සමන් ගුනදාස මෙසේ පැවසීය: “වසංගතය මුල් බැස ඇත්තේ ජීව විද්‍යාව තුල ය. කෙසේ වෙතත්, එය මූලික වශයෙන් වෛද්‍ය හෝ සෞඛ්‍යමය ව්‍යසනයක් නොවේ. ඒ වෙනුවට එය සමාජ ව්‍යසනයක් හා සමාජ අපරාධයකි. එය මිනිසා විසින් නිර්මානය කරන ලද මානව ඛේදවාචකයකි, නැතහොත් වඩාත් නිවැරදිව, 21 වන සියවසේ ගෝලීය ධනවාදයේ විශාලතම දේශපාලන අපරාධවලින් එකකි.”

රටේ ප්‍රකෝටිපතියන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ මෝදි ආන්ඩුව, ලොව පුරා සිටින සිය සගයන් මෙන්, ආර්ථිකය විවෘතව තබා ගැනීමෙන් වසංගතය පැතිරීමට ඉඩ දුන්නේ කෙසේදැයි ගුනදාස කෙටියෙන් පැහැදිලි කලේය.

පුරෝකථනය කල හැකි සමාජ ව්‍යසනය, ආන්ඩුවේ හා සංගතවල ක්‍රියාවන්ට විරුද්ධව ඉන්දියානු කම්කරුවන් රැඩිකලීකරනය කර ඇති බව ඔහු පැවසීය.

“මෙම අරගල ලොව පුරා කම්කරුවන් සමග ඒකාබද්ධ කල යුතු අතර සමාජවාදී ඉදිරිදර්ශනයකින් ප්‍රානවත් කල යුතුය. එවිට වසංගතයට ප්‍රතිචාර දැක්වීමෙන් ධනේශ්වර පාලක ප්‍රභූන් ඉවත් කිරීමටත්, ධනේශ්වර ලාභයට වඩා ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛතාවය දෙන, විද්‍යාව පදනම් කරගත් මූලෝපායක් ක්‍රියාත්මක කිරීමටත් කම්කරු පන්තියට හැකි වේ,” යයි ඔහු පැවසීය.

ගුනදාස ඉන්දියාවේ හජාජාක ආධාරකරුවන්ගේ කන්ඩායමේ සුබ පැතුම් ඉදිරිපත් කල අතර සමාගම් සහ ආන්ඩුවේ දඩයමට ලක්ව 2017 මාර්තු මස ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද මරුටි-සුසුකි කම්කරුවන් 12 දෙනා වහාම නිදහස් කිරීම සඳහා සටන් කිරීම සඳහා හජාජාක හි සහ එහි සියලුම කොටස්වල අඛන්ඩ කැපවීම යලිත් වරක් අවධාරනය කලේ ය. මෙම කම්කරුවන්ට හිංසනයට ලක්වූයේ ලැබුවේ, ඔවුන් උතුරු ඉන්දියාවේ මනේසර් කම්හලේ මරුටි-සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ සේවකයින්ගේ රැකියා සහ කොන්දේසි ආරක්ෂා කිරීමට තරම් නිර්භීත වූ බැවිනි.

ඉංග්‍රීසි හා දෙමල උපසිරැසි සමඟ සිංහල භාෂාවෙන් කතා කල ශ්‍රී ලංකාවේ සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යසනය පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කලේ ය.

කම්කරුවන්ට මූල්‍ය හා සමාජ සහයෝගය ප්‍රතික්ෂේප කරමින් ව්‍යාපාර විවෘතව තබා ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදි ගත් තීරනය මිලියන ගනනකගේ මරනයට හේතු වූ බව ඔහු පැවසීය. කොවිඩ්-19 ආසාදන වල වර්තමාන භයානක වැඩිවීමක් තිබියදීත් මෝදි “රෝගය පාලනය කිරීම සඳහා ජාතික අගුලු දැමීමට දැඩි ලෙස විරුද්ධ වේ.”

මෝදි ආන්ඩුවේ සහ ඉන්දියානු පාලක ප්‍රභූවේ මිනීමරු “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන් විසින් ඉදිරිපත් කල යුතු සමාජවාදී ඉල්ලීම් ජයසේකර විස්තාරනය කලේය. අවිධිමත් අංශයේ කම්කරුවන්, සංක්‍රමනික කම්කරුවන්, ස්වයං රැකියා වල නියුතු වූවන්, දුප්පත් ගොවීන් සහ ධීවරයින් ඇතුලු සියලුම කම්කරුවන් සඳහා පූර්න වැටුප් සහිතව අගුලු දැමීමේ සහ සියලු අත්‍යවශ්‍ය නොවන සේවාවන් වසා දැමීමේ සටන මෙයට සම්බන්ධ වේ. අත්‍යවශ්‍ය සේවාවල නියුතු සියලුම සේවකයින්ට පූර්න කොවිඩ්-19 ආරක්ෂාව, සැමට නොමිලේ එන්නත් ලබා දීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුනු කිරීම සඳහා දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම අවශ්‍ය බව ඔහු පැවසීය.

“එවැනි වැඩපිලිවෙලක් සඳහා අරගලයට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගය වන්නේ කිසිදු ආකාරයකින් ජාතික රාජ්‍යයට හෝ පෞද්ගලික දේපලකට බැඳී නැති ජාත්‍යන්තර කම්කරු පන්තියයි… ජාත්‍යන්තරව ලෝක ධනවාදයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය සඳහා එක්සත් ව්‍යාපාරයකට දකුනු ආසියාවේ සිටින තම පන්ති සහෝදරයින් සමඟ එක්වන ලෙස අපි ඉන්දීය කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු.”

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන කැනඩාවේ සසප ජාතික ලේකම් කීත් ජෝන්ස්, මොන්ට්‍රියෙල් හි සිට අදහස් දක්වමින්, “ඉන්දියාවේ අපේක්ෂිත ධනවාදී නැගීම—බටහිර රටවල මාධ්‍ය විසින් උත්කර්ෂයෙන් සමරනු ලබන—21 වන සියවසේ ධනවාදයේ අක්‍රියතාව, ම්ලේච්ඡත්වය සහ සාපරාධීත්වය නිදර්ශනය කරන සහ මූර්තිමත් කරන හිංසාකාරී සමාජයක් බිහි කර තිබේ. වර්තමාන අර්බුදය, ඉන්දියාවේ ඊනියා නව ආර්ථික ප්‍රතිපත්තිය දශක තුනක කාලය තුල සිදු කර ඇති දේ පැහැදිලි කරයි.

“මීට වසර තිහකට පෙර, 1991 ජූලි මාසයේදී, ඉන්දීය ධනේශ්වරය, නිදහසින් පසු ක්‍රියාත්මක වූ රාජ්‍ය නායකත්වයෙන් යුත් සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කල අතර—සමාජවාදය යයි නරුම ලෙස ලේබල් කල, ආනයන ආදේශනය මත පදනම් වූ ජාතිකවාදී උපාය මාර්ගයකි—එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක ධනවාදී ක්‍රමයට ඉන්දියාව පූර්න ලෙස ඒකාබද්ධ කිරීම ආරම්භ කලේය.”

ඉන්දියානු ස්ටැලින්වාදීන්ගේ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) ද්‍රෝහී දේශපාලන භූමිකාව ජෝන්ස් සමාලෝචනය කලේය.

“පසුගිය වසර 30 ක කාලය තුල සීපීඑම් සහ සීපීඅයි විසින් කොන්ග්‍රසය, එනම් ඉන්දීය ධනේශ්වරයේ ඓතිහාසික පක්ෂය සහ දක්ෂිනාංශික, ප්‍රාදේශීය, ස්වෝත්තමවාදී හා කුලවාදී පක්ෂ රාශියක් භාරතීය ජනතා පක්ෂයට එරෙහි අනාගමික හා ප්‍රජාතන්ත්‍රවාදී කොටුපවුරු ලෙස වර්නනා කර ඇත්තේ, හින්දු අධිපතිවාදී දක්ෂිනාංශය පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය ඒවාට සහාය දිය යුතුයයි කියමිනි,” යැයි හේ පැවසීය.

එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ජෝ කිෂෝර් ජනාධිපති බයිඩන් යටතේ ද—කොවිඩ්-19 සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම සම්බන්ධයෙන්—ට්‍රම්ප් පරිපාලනය විසින් අනුගමනය කරනලද ප්‍රතිගාමී ප්‍රතිපත්ති ම අඛන්ඩව ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කලේය.

“එය සතුව [එක්සත් ජනපදයේ] අති විශාල ධනය සහ වඩාත්ම දියුනු තාක්‍ෂනයන් තිබියදීත්, වසංගතය මගින්, ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන සමාජ හා දේශපාලන ක්‍රමයක් හෙලිදරව් වී තිබේ.”

කිෂෝර් පැහැදිලි කල පරිදි ඇමරිකාවේ පාලක ප්‍රභූව,  තම සාපරාධී ප්‍රතිපත්ති යොමු කර ඇත්තේ “ජීවිත බේරා ගැනීම සහ වසංගතය තුරන් කිරීම සඳහා නොව, කොටස් වෙලඳපොල උත්පාතය අඛන්ඩව පවත්වා ගෙන යාම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ මූලෝපායික අවශ්‍යතා තවදුරටත් වර්ධනය කිරීම සඳහාය.

“මෙම වැදගත් වර්ධනයන් පිලිබඳව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින කම්කරුවන් දැනුවත් කල යුතුය. එක්සත් ජනපදය යනු චීනයට එරෙහි යුද්ධයට තර්ජනය කරමින් සෑම රටකම ප්‍රතිගාමිත්වය සඳහා ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියාකරන-නරේන්ද්‍ර මෝදිගේ දක්ෂිනාංශික ආන්ඩුව සඳහා ට්‍රම්ප් සහ බිඩෙන් පරිපාලනවල තීරනාත්මක සහයෝගය ද ඇතුලත්-ඇමරිකානු අධිරාජ්‍යවාදයම පමනක් නොවේ. එහි ලොව පුරා කම්කරුවන්ගේ ස්වභාවික සගයන් වන ඇමරිකානු කම්කරු පන්තිය ද සිටියි.”

ශ්‍රී ලංකාවේ සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා, ඉන්දියාවේ සහ අනෙකුත් දකුනු ආසියානු රටවල කම්කරුවන් සහ පීඩිත ජනතාවගේ, “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ මිනීමරු ප්‍රතිපත්තියට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරවලට එරෙහිව නැගී එන විරෝධතා රැල්ල ඉස්මතු කල අතර වෘත්තීය සමිති විසින් ඉටු කරන ලද ප්‍රතිගාමී භූමිකාව ද පෙන්වා දුන්නේය.

“දැන් මරලතෝනි නගන ධනවාදයේ පොදු තර්ජනයට කම්කරුවන් මුහුන දී සිටින අතර, ඔවුන් ජාත්‍යන්තරව එක්සත් විය යුතුය. මේ සඳහා කම්කරුවන් කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීම සඳහා ධනේශ්වර පංති සහ ඔවුන්ගේ ආන්ඩු විසින් අවුස්සනු ලබන සෑම වර්ගයකම ජාතිභේදවාදය හා ජාතිකවාදය ප්‍රතික්ෂේප කල යුතුය," යි ඔහු පැවසීය.

ප්‍රන්සයේ සසප සහකාර ජාතික ලේකම් වී. ඥානා පෙන්වා දුන්නේ යුරෝපයේ කොවිඩ්-19 රෝගයෙන් මිලියනයකට අධික පිරිසක් මියගොස් ඇති බවයි. එවැන්නක් සිදුව ඇත්තේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් විසින් ඉල්ලා සිටින මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම එහි ආන්ඩු ප්‍රතික්ෂේප කල නිසා ය. ශ්‍රී ලංකා සසප විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද අරගලය “ට්‍රොට්ස්කිවාදය සඳහා සහ සමාජවාදය සඳහා අරගලයක් තුල ජාතිය, ආගම, භාෂාව සහ කුලය යන සෑම බෙදීමකට ම විරුද්ධව කම්කරුවන් එක්සත් කිරීම” යයි ඔහු සමාලෝචනය කලේය.

අවසාන කථිකයා වන ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් පැවසුවේ, අන්තර්ජාල රැස්වීම හජාජාක හි ඉන්දියානු ශාකාවක් ගොඩනැගීමේ අරගලයේ “නව අවධියක්” සනිටුහන් කරන බවයි.

දෙවන ලෝක යුද්ධයට ආසන්නයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉන්දියානු කම්කරුවන්ට ලියූ විවෘත ලිපිය උපුටා දක්වමින් ඔහු මෙසේ පැවසීය: “ධනේශ්වරයෙන් පූර්න ස්වාධීනත්වය, සියල්ලටත් වඩා ඉන්දියාවේ ජනගහනයෙන් බහුතරයක් වන ගොවි ජනතාව කෙරෙහි තම අනුහස පැතිරවීම නිර්ධන පන්තියට අත්‍යවශ්‍ය වේ. නිර්භීත, විප්ලවීය කෘෂිකාර්මික වැඩපිලිවෙලක් දියත් කිරීමටත්, මිලියන ගනනක් ගොවීන් පෙලගැස්වීමටත්, ස්වදේශික පීඩකයින්ට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට නායකත්වය දීමටත් හැකියාව ඇත්තේ නිර්ධන පන්තියට පමනි.”

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය අද හජාජාක විසින් ඉදිරියට ගෙන යන බවත් “ඉන්දියානු ධනේශ්වරයේ බොරු පොරොන්දු වලට, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල නිරුවත් ද්‍රෝහිකමට සහ ඔවුන්ගේ ව්‍යාජ වාම හෙන්චයියන්ට එරෙහිව” අරගල කරමින් සිටින බවත් ඩයස් පැවසීය.

ඔහු පැබ්ලෝවාදයේ සංශෝධනවාදී ප්‍රතිපත්ති—එය පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමථය ට අනුවර්තනය වීම, ධනේශ්වර ජාතිකවාදය සහ ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදය දියකර හැරීම—සහ ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ට්‍රොට්ස්කිවාදයේ විප්ලවීය අඛන්ඩතාව සඳහා වූ හජාජාක හි අරගලය කෙටියෙන් සමාලෝචනය කලේය.

ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සසප විසින් කරන ලද අරගලය 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීම මගින් බෙහෙවින් ශක්තිමත් වූ බව ඩයස් පැවසීය. “ලෝසවෙඅ හරහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම සඳහා හජාජාක හි අරගලය සෑම මහද්වීපයකම වැඩකරන ජනතාව සහ තරුනයින්ගේ ක්ෂනික අවධානයට යොමු කරන ලදී.”

Loading