ඉදිරිදර්ශන

පතල් කම්කරුවන්ගේ ගෝලීය වැඩ වර්ජන රැල්ල සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් අවශ්‍ය වන්නේ ඇයි?

[පහතින් පලවෙන්නේ The global wave of miners strikes and the case for the International Workers Alliance of Rank-and-File Committees මැයෙන් 2021 ජුනි 04, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඔන්ටාරියෝ හි නිකල් පතල්වල සහ ඇලබාමා හි ගල් අඟුරු බිම්වල සිට චිලියේ අටකාමා කාන්තාරය සහ කොලොම්බියාවේ වනාන්තර දක්වා ලොව පුරා පතල් කම්කරුවෝ ලෝකයේ බලවත්ම අන්තර්ජාතික පතල් සමාගම්වලට එරෙහිව අරගල රැල්ලක නිරත වෙති.

කම්කරුවන් අඳුරේ හුදෙකලා කර තබා ගැනීම සඳහා සංගත මාධ්‍ය සහ වෘත්තීය සමිති නිලධරයන් මෙම අත්‍යවශ්‍ය තොරතුරු සඟවා තබා ඇත. එහෙත් මෙම වැඩ වර්ජන, එක හා සමාන ගැටලුවලට මුහුන දෙන කම්කරුවන්ගේ එකම ගෝලීය ව්‍යාපාරයක කොටසකි: ඒවා නම් අඩු වැටුප්, ආරක්ෂිත පූර්වෝපායන් නොමැතිකම, සමාගම්වල අල්ලේ නැටවෙන වෘත්තීය සමිති සහ රැකියාවෙහි යෙදී සිටියදී කොවිඩ්-19 වැලඳි සහෝදර සේවකයින්ගේ නිමක් නැති මරන හෙවත් ධනවාදී සංගත ලාභයේ අල්තාරයේදී පූජා කරන ලද ජීවිත පිලිබඳ දැඩි කෝපයයි.

ඇලබාමා හි බෘක්වුඩ් හි වැඩ වර්ජනය කරන පතල් කම්කරුවන් (ඡායාරූපය: කෝල් ඇලබාමා ෆ්‍රෙන්ඩ්ස්)

යුනයිටඩ් මයින් වර්කර්ස් ඔෆ් ඇමරිකා [වෘත්තීය සමිතිය] විසින් යෝජනා කරන ලද විකුනා දැමීමේ කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීම සහ වැඩ වර්ජනයට සහය දැක්වීම සඳහා වෙනත් පතල් කැඳවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇලබාමා හි ගල් අඟුරු පතල් කම්කරුවන් 1,100 ක් වොරියර් මෙට් [සමාගම]ට එරෙහිව මාස දෙකක කාලයක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වී තිබේ. ඔන්ටේරියෝ හි සඩ්බරි හි පතල් කම්කරුවන් 2,400 ක් එක්සත් වානේ කම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද එවැනිම ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වේල් ඉන්කෝ [සමාගම]ට එරෙහිව වැඩ වැරීය, එය වසංගතය අතරතුර කම්කරුවන් රැකියාවෙහි රඳවා ගැනීම සඳහා 2020 ජුනි මාසයේදී වසරක විශේෂ කොන්ත්‍රාත්තුවක් සඳහා එකඟ ව තිබුනි.

පතල් කම්කරුවන් විවිධ භාෂා කතා කලද ඔවුන්ගේ කතන්දරය සෑම තැනකදීම එක හා සමානය. චිලියේ, බීඑච්පී හි එස්කොන්ඩිඩා තඹ පතලෙහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය සිය ගනනක් කාර්යාල සේවකයින් පසුගිය බ්‍රහස්පතින්දා වැඩ වර්ජනයක නිරත වූ අතර, මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශ කරන අයුරින්, ඕස්ට්‍රේලියානු සමාගමට අයත් බීඑච්පීයට එරෙහිව “දීර්ඝ වැඩ වර්ජනයක්” සඳහා පතල් කම්කරුවන් දහස් ගනනක් සූදානම් වෙමින් සිටිති.

එස්කොන්ඩිඩා පතල් කම්කරුවන්ගේ කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වී තිබුනද, වෘත්තීය සමිතිය පතල් කම්කරුවන් රැකියාවෙහි යොදවා ඇති අතර, එය කාර්යාල සේවකයින්ගේ වැඩ වර්ජනයට හතුරුව යාමකි. 2020 දී එස්කොන්ඩිඩා හි කම්කරුවන්ට තඹ ටොන් බිලියන 1.2 ක් නිපදවීමට බල කිරීම මගින් ඩොලර් බිලියන 8.7 ක ලාභයක් උපයා ගත් සමාගමට “මුළුමනින්ම ගෞරවාන්විත ක්‍රියපිලිවෙතක් තුල” කටයුතු කරන බව පවසමින් වෘත්තීය සමිතිය සාකච්ඡා වලට පෙර ඉතා පහත්පෙලේ ප්‍රකාශයක් නිකුත් කලේය. එස්කොන්ඩිඩා යනු ලොව විශාලතම හා ඉහලම නිෂ්පාදන ඵලදායීතාවක් සහිත පතලයි.

කොලොම්බියාවේ, පැසිෆිකෝ, බජෝ කොකා, ඇන්ටියොක්වියා, කැල්දාස්, කෝර්ඩෝබා සහ සුර් ද බොලිවර් යන ප්‍රදේශවල පතල් කම්කරුවෝ මැයි 13 වන දින වැඩ වර්ජනයක නිරත වූයේ වැටුප් වැඩි කිරීම සහ ගෝලීය පතල් සමාගම් විසින් විශාල වශයෙන් පරිසර දූෂනයට ලක් කර ඇති වාසස්ථානවල ආදිවාසී ගෝත්‍රිකයන් වෙනුවෙන් පාරිසරික ආරක්ෂාව ඉල්ලා සිටීම වෙනුවෙනි. පසුගිය සතියේ, සෙරෙජන් පතලෙහි (බීඑච්පී, ඇන්ග්ලෝ ඇමරිකානු සහ ග්ලෙන්කෝර් සතු) පතල් කම්කරුවෝ පිවිසුම අවහිර කරමින් නිෂ්පාදනය නතර කලහ. කොලොම්බියාව පුරා, දැවැන්ත සමාජ අසමානතාවයට හා රාජ්‍ය ප්‍රචන්ඩත්වයට එරෙහිව කාර්මික කම්කරුවන්ගේ මහා උද්ඝෝෂන හා වැඩ වර්ජන මගින් ගල් අඟුරු ටොන් 200,000 ක් අපනයනය කිරීම නවතා දමා පතල් සමාගම්වලට ඩොලර් බිලියන 80 ක පාඩුවක් සිදු කල බව කොලොම්බියානු පතල් හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පේරු හි, චීනයට අයත් ෂූගාං හීරෝ පේරු පතල්වල යපස් පතල් කම්කරුවෝ වැඩ වර්ජනයක නිරත වෙති. මන්දයත් ඔවුන්ගේ සහායකයින් 24 දෙනෙකු වත් කොවිඩ්-19 නිසා මිය ගොස් ඇති අතර එය එක කූඩාරමක කම්කරුවන් 10-15 බැගින් සිටින කඳවුරු හරහා පැතිරී ඇති නිසායි. ෂූගාං සමාගම 2020 දී පතලෙන් ඩොලර් මිලියන 340 ක ලාභයක් උපයා ඇති අතර එය 2019 දී කොවිඩ් වසංගතයට පෙර ලාභයට වඩා 20% ක වර්ධනයකි.

මෙක්සිකෝව පුරා ගල් අඟුරු, තඹ සහ සින්ක් පතල් කම්කරුවෝ සැකැටෙකස්, ගුවෙරෙරෝ, බජා කැලිෆෝනියා සහ ක්වෙරෙටාරෝ ප්‍රාන්තවල වැඩ වර්ජනවල නිරත වෙති. සිනාලොආ ප්‍රාන්තයේ කොසාලා හි පතලක කම්කරුවන් 175 ක් කැනඩාවේ ඇමරිකා රන් සහ රිදී සමාගමට එරෙහිව වසරක් තිස්සේ වැඩ වර්ජනයක යෙදී සිටියහ.

මෙක්සිකානු ප්‍රකෝටිපතියෙකු වන කාලෝස් ස්ලිම්ගේ ඔකාම්පෝ පතල් සමාගමට අයත් සකාටෙකස් පතලේ ටයාහුආ හි කම්කරුවන් මැයි 22 වන දින වැඩ වර්ජනයක නිරත වූ අතර සමාගම් ආරක්ෂක මැරයන් විසින් ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙන ලදී. එක් ප්‍රාදේශීය පුවත් වාර්තාවක් පැහැදිලි කලේ, “කෝපය ඇවිස්සී ඇති අතර කම්කරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය. කොවිඩ්-19 වසංගතය තුල කම්කරුවන් වැඩ කිරීම නතර කර නොතිබුනද, ආසාදනය වීමේ අවදානම ද තිබියදී, වසරකට වැඩි කාලයක් [සමාගම සහ සමිතිය] සාමූහික ශ්‍රම කොන්ත්‍රාත්තුව අළුත් කර නොමැති බව කම්කරුවෝ පැහැදිලි කලහ.”

දකුනු අප්‍රිකාවේ, කර්මාන්ත ප්‍රකාශන අළුත් පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන පිලිබඳ අපේක්ෂාව ගැන නොසන්සුන් ය. වසංගතය පලමු වරට ගෝලීයව ව්‍යාප්ත වූ 2020 මාර්තු සිට 2021 මාර්තු දක්වා කාලය තුල දකුනු අප්‍රිකාවේ පතල් නිෂ්පාදනය සියයට 21.3 කින් ඉහල ගියේය. කර්මාන්ත හිතවාදී නීතිඥයෙක් දකුනු අප්‍රිකාවේ බිස්නස් ලයිව් හි, වෘත්තීය සමිතිවලට කම්කරු පන්තියේ කෝපය පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි යන බිය පලකරමින් කතුවැකියක් ලිවීය.

“එය ‘ප්‍රේමනීය’ වෘත්තීය සමිතිය ලෙස ප්‍රසිද්ධ වන තුරු අපි එය දුටුවේ පතල් කම්කරුවන්ගේ ජාතික සංගමය (එන්යූඑම්) ලෙස,” යැයි නීතිඥවරයා සඳහන් කරයි. "සන්සුන්ව එකඟතාවකට එලඹීමට එන්යූඑම් තම සාමාජිකයින්ට හැකි උපරිමයෙන් කටයුතු කලද, එහි සාමාජිකයින්ට ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව පිලිබඳ විශ්වාසය නැති වී ගිය අතර, වෘත්තීය සමිති නායකයින්ගේ [සමාගම් විසින්] පත්කරනු ලැබ ඇතැයි සැක පහල කෙරේ. " 2012 අගෝස්තු මාසයේදී එන්යූඑම්, පොලීසිය සහ ලොන්මින් සමාගමේ මැරයන් විසින් වෘත්තීය සමිති වලට පිටින් වැඩ වර්ජනයක යෙදී සිටි ප්ලැටිනම් කම්කරුවන් 34 දෙනෙකු ඝාතනය කරන ලදී.

වසංගතය මධ්‍යයේ යුරෝපය සහ ආසියාව පුරා ද වැඩ වර්ජන හා විරෝධතා සිදුව තිබේ. මෑත මාසවලදී, බටහිර සහ නැගෙනහිර යුක්රේනයේ යුරේනියම් සහ ගල් අඟුරු පතල් කම්කරුවෝ වැඩ වර්ජන හා පතල් වාඩිලාගැනීම් හි නිරත වූයේ බොහෝ විට හිඟ වැටුප් ඉල්ලා සිටිමිනි. වැඩ වර්ජනය පැතිරීම වැලැක්වීමට උත්සාහ කල වෘත්තීය සමිතියට එරෙහිව වැටුප් වැඩි කිරීමක් ඉල්ලා 2020 සැප්තැම්බර් මාසයේදී ක්‍රිවෝයි රොග් නගරයේ යපස් පතල් කම්කරුවෝ දින 43 ක් භූගත පතල තුල සිටියහ.

පන්ති අරගලයේ මෙම ගෝලීය පුනර්ජීවනයට සහභාගී වන සියලු අංශවල උදාහරන ලැයිස්තුගත කිරීම අපහසුය. එය පතල් හා නිස්සාරනයෙන් ඔබ්බට ගොස් ඇති බව පැවසීම ප්‍රමානවත් වන අතර ඉන්දියාවේ සහ වර්ජිනියාවේ මෝටර් රථ කම්කරුවන්, එක්සත් ජනපදයේ ඒටීඅයි හි වානේ කම්කරුවන්, ස්පාඤ්ඤයේ බීබීවීඒ බැංකු සේවකයින්, ආර්ජන්ටිනාවේ තෙල් කම්කරුවන් සහ තවත් බොහෝ අය ඊට ඇතුලත් ය.

නිශ්චිත විවේචනාත්මක පාඩම් උකහා ගත යුතුය. පතල් කම්කරුවන් ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ තීරනාත්මක ස්ථානයක් ගනී. ඔවුන් ජංගම දුරකථන, බැටරි, මෝටර් රථ අමතර කොටස්, සන්නායක සහ වෙනත් උසස් තාක්‍ෂනය සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර, එසේ නොමැතිව සමස්ත ලෝක ආර්ථිකයම නවතිනු ඇත.

අධිරාජ්‍යවාදී බලවතුන් මෙම සම්පත් පිලිබඳ ස්ථිර පොරබැදීමක නිරත වන අතර ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද යුද්ධ වැනි ලේවැකි යුද්ධ හරහා පාලනය ස්ථාපිත කිරීමට සටන් කරති. වෘත්තීය සමිති, “තමන්ගේ රටේ” සංගතවලට සහයෝගය දැක්වීමෙන් සෑම රටකම කම්කරුවන්ට වාසි සැලසෙන බව කියන ජාතිකවාදී බොරුව ඉදිරියට ගෙන යාමෙන්, කම්කරුවන් එකිනෙකාට එරෙහිව පිහිටුවීම පමනක් නොව, ධනේශ්වර පන්තියට එහි කොල්ලකාරී යුද්ධ කරගෙන යාමට ද උපකාරී වේ.

සෑම රටකම කම්කරුවන් තමන් ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් බව තේරුම් ගත යුතුය. මෙම කාරනයම පන්ති අරගලයේ වර්ධනය සඳහා විශාල හැකියාවන් විවර කරයි. ලොව පුරා කම්කරුවන් සමඟ එක්වීම ඕනෑම විශේෂිත සටනක් ගෙනයාමේ උපාය මාර්ගයේ අනිවාර්ය අංගයක් බවට පත්විය යුතුය.

පතල් කම්කරුවන්ගේ හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල අරගලවල ඉරනම රඳා පවතින්නේ වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂ වලින් ස්වාධීනව ගෝලීය ධනේශ්වර පද්ධතියට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අන්තර් සම්බන්ධිත සමාජ බලය උපයෝගී කර ගත හැකි නව අරගලවල වර්ධනය මත ය.

2021 මැයි දිනයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් (ක්‍රිකජාස) ගොඩනැගීම සඳහා කැඳවීමක් නිකුත් කලේය. මෙම මුලපිරීම නිවේදනය කරමින් හජාජාක තම ප්‍රකාශය  තුල මෙසේ පැහැදිලි කලේය:

ජාත්‍යන්තර පරිමානයකින් සේවා ස්ථානවල, පාසැල්වල හා කම්හල්වල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී නව ආරක සංවිධාන ගොඩනැඟීමට ක්‍රිකජාස වැඩ කරනු ඇත. කම්කරු පන්තිය සටනට සූදානම්ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කරන ප්‍රතිගාමී නිලධාරිමය සංවිධාන විසින් ඒවාට විලංඟු දමා තිබේ.

කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස , අනාරක්ෂිත ආයතන හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්‍ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්‍රිකජාස මගින් මාධ්‍ය සම්පාදනය කෙරෙනු ඇත.  

වසංගතය මැඬලිය හැකි එකම ක්‍රමය වන, මෙම සන්ධානය, ගෝලීය පරිමානයෙන් ගොඩනැඟීමට හජාජාක මූලිකත්වය ගනියි. හතරවන ජාත්‍යන්තරයේ හා සමාජවාදී සමානතා පක්ෂවල දේශපාලන ආධාරය ලබන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, කම්කරු පන්තිය එකිනෙකා සමඟ කා කෙටවීමේ හා භේද කිරීමේ යෙදී සිටින, ධනපති ආන්ඩු වලත්, ජාතික, වාර්ගික ස්වෝත්තමවාදී හා අනන්‍යතා දේශපාලනයේ අනේකවිධ වෙස්ගත් ප්‍රතිගාමී දේශකයන්ගේත් සියලු උත්සාහයන්ට එරෙහිව, කම්කරුවන් ලෝක පරිමාන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් කරනු ඇත. 

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ - ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයක රාමුව තුල ක්‍රිකජාස ආරම්භ කර තිබේ. බලය අත්පත් කර ගැනීම, පාලක පන්තිය අස්වාමික කිරීම සහ පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා මත පදනම් වූ සමාජවාදී සමාජයක් ඇති කිරීම සඳහා සියලු අංශවල සහ සෑම රටකම කම්කරුවන් පොදු දේශපාලන ප්‍රහාරයකට එක්සත් විය යුතුය.

පතල් කම්කරුවන් අතර වැඩෙන වැඩ වර්ජන රැල්ල ලොව පුරා කම්කරු පන්තියේ රැඩිකලීකරනය පිලිබඳ සංඥාවකි. මෙම වෛෂයික ක්‍රියාවලිය ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා වූ සවිඤ්ඤානික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading