වර්ජිනියා හි වොල්වෝ ට්‍රක් කම්කරුවෝ, යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියේ සහයලත් දෙවන කොන්ත්‍රාත්තුව පුලුල් ලෙස ප්‍රතික්ෂේප කරති

[පහතින් පලවෙන්නේ Volvo Truck workers in Virginia overwhelmingly reject second UAW-backed contract  මැයෙන් 2021 ජුනි 07, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

වර්ජිනියා හි ඩබ්ලින් හි නිව් රිවර් වැලි කම්හලේ වොල්වෝ ට්‍රක් කම්කරුවෝ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතිය විසින් යෝජනා කරන ලද හය අවුරුදු කම්කරු ගිවිසුම තීරනාත්මක ලෙස පරාජය කලහ. එහි ප්‍රතිඵලය වූයේ පැය ගනනට වැඩ කරන කම්කරුවන්ගෙන් සියයට 90 ක් සහ වැටුප් ලබන කම්කරුවන්ගෙන් සියයට 91 ක් ලෙස සමාගම් ගැති ගනුදෙනුව පුලුල් ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.

කම්කරුවන් වාර්තා කලේ, කම්හලේ 3,000 කට ආසන්න සංඛ්‍යාවක් අතර ඡන්දය ප්‍රකාශ කිරීම මැයි 16 දා පැවති පලමු ඡන්දයටත් වඩා විශාල බවයි. එදින පැය ගනනට වැඩ කරන කම්කරුවන්ගෙන් සියයට 91 ක් සහ වැටුප් ලබන කම්කරුවන්ගෙන් සියයට 83 ක් “විරුද්ධයි” යනුවෙන් ඡන්දය දුන්හ. ඉරිදා ඡන්ද විමසීමට පෙර දිනවලදී, “විරුද්ධයි” ඡන්දයක් උදෙසා කැඳවුම් කල වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය කර්මාන්ත ශාලාව පුරා පුලුල් ලෙස සංසරනය විය.

යූඒඩබ්ලිව් සහයලත් දෙවන ගිවිසුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම (UAW Local 2069)

පසුගිය යූඒඩබ්ලිව් කොන්ත්‍රාත්තු ත්‍රිත්වයෙහි සමාගම වෙත පිදූ ගැඹුරු සහන පිලිගැනීමට බලකෙරීමෙන් පසුව, [කම්කරුවන් අතර වැටුප් විෂමතා නිර්මානය කරන] බහු ස්ථර වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමයපෙරලා දැමීමට, සැලකිය යුතු වැටුප් වැඩි කිරීම් දිනා ගැනීමට සහ ඉහල සෞඛ්‍ය වියදම් පැනවීමට, පැය 10 ක වැඩ දිනයක් මෙන්ම විශ්‍රාමික ප්‍රතිලාභ අඩු කිරීමක් සඳහා දැරෙනා උත්සාහයන්ට විරුද්ධ වීමට කම්කරුවෝ අධිෂ්ඨාන කරගෙන සිටිති.

සිකුරාදා කර්මාන්ත ශාලාව තුල කොන්ත්‍රාත්තුව සාර්ථක කරගැනීම සඳහා ප්‍රචාරනයේ යෙදීමට වොල්වෝ කලමනාකාරිත්වය විසින් ආරාධනා ලැබූ යූඒඩබ්ලිව් ජාතික හා ප්‍රාදේශීය නිලධාරීන්, ගනුදෙනුව [කම්කරුවන්ට යහපත්වන පරිදි] වැඩිදියුනු කිරීමට මුදල් නොමැති බව පැවසූ විට කම්කරුවෝ කෝපයට පත් වූහ.

කම්කරුවන්ගෙන් තවදුරටත් කප්පාදු කරන ලෙස ඉල්ලා සිටිමින්, වොල්වෝ ට්‍රක් හි මව් සමාගම වන ස්වීඩනය පදනම් කරගත් වොල්වෝ ගෲප්, දල වශයෙන් ඩොලර් බිලියන 2.3 ක් කොටස් හිමියන්ට ලබා දීමට සැලසුම් කර ඇත. ඒ, එම සංගතයට අයත් ජපානයේ  යූඩී ට්‍රක් සමාගමේ ආදායමෙනි. මෙය සමාගමේ ඉතිහාසයේ විශාලතම ලාභාංශ ගෙවීම වන අතර මේ වසර මුලදී එය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3.68 ක් විය.

වොල්වෝ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ අරගලයක් සඳහා බලගතු මනෝභාවයක් ඇති බවය. “මිනිස්සු ගොඩක් උමතුවෙන්, ඕනෑවටත් වඩා උනන්දුවෙන් ඉන්නේ, ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙකින් එකක් බේරා ගනීමට” යැයි පැවසූ කම්කරුවෙක් සඳහන් කලේ “වෘත්තීය සමිති වල ලොක්කන් කම්හලට ගියේ සෑම කෙනෙකුටම කතා කර ඔවුන්ගේ ඔලු වෙනස් කිරීමට නමුත් නමුත් එය වැරදී ගිය” බවයි. [ලෝකල් 2069 හි සභාපති] මැට් බ්ලොන්ඩිනෝ පැවසුවේ ඔවුන්ට වඩා හොඳ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට නොහැකි වීම ගැන කනගාටු වන බව සහ වැටුප් පරිමානය ඉහල යන බැවින් සෞඛ්‍ය රක්ෂනය සඳහා අපට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි.”

කම්කරුවා තවදුරටත් මෙසේ පැවසීය: “2008 දී පැයකට ඩොලර් 7 ක් අහිමි වූ එක් කම්කරුවෙක් බ්ලොන්ඩිනෝට පැවසුවේ, ‘ඔබ මෙම කප්පාදු අපේ උගුරෙන් පහලට බලෙන් තල්ලු කර, වැඩි කාලයක් නැති බවත් අපට උදව් කල යුතු බවත් පැවසුවා. සමාගම බිලියන ගනන් උපයන විට ඔබ තවමත් අපව රවටනවා’ යනුවෙන්. මේ වන විට, වෘත්තීය සමිතිය ගෞරවාන්විත තැනක නෙවෙයි තියෙන්නෙ. සමාගම වෙනුවෙන් නිදහසට කරුනු ඉදිරිපත් කිරීම නිසා මිනිසුන් ඔවුන් (වෘත්තීය සමිතිය) ගැන කෝපයට පත් වන අතර ඔවුන්ව එතැනින් ඉවත් කර ගැනීමට අවශ්‍යයි. මෙම සමාගම සිය ආයෝජකයින්ට බිලියන ගනනක ලාභාංශ ගෙවන අතර ඔවුන්ට මුදල් උපයා දෙන පුද්ගලයින් සමඟ ධනය බෙදා ගත යුතුයි”

වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුවේ කාර්යභාරය පිලිබඳව අදහස් දක්වමින් කම්කරුවා පවසා සිටියේ, “මේ සඳහා කමිටුව විශාල කාර්යභාරයක් ඉටු කලා. එහි ප්‍රකාශන  නොතිබුනා නම්, සෑම කෙනෙකුම ඉදිරියට නොයනු ඇත. සෑම දිනකම කම්කරුවන් ඔබේ වෙබ් අඩවියට [ලෝසවෙඅ] පිවිසෙමින් සිටියා. දැනුවත් වීම සහ කමිටුවක් තිබීම විශාල වාසියක් වුනා. අපගේ ප්‍රකාශ සෑම කෙනෙකුම දැනුවත් කලා මෙන්ම සම්බන්ධ කලා.”

දැන් කම්කරුවන්ට සටන ඉදිරියට ගෙන යාම සඳහා මූලෝපායක් අවශ්‍ය වන අතර, යූඒඩබ්ලිව් කුනු වූ කොන්ත්‍රාත්තු සමඟ නැවත පැමිනෙනු ඇතැයි හේ අනතුරු ඇඟවීය. “ඔවුන් නැවත ගෙන එන්නේ මොන මල ඉලවුවක් ද කියා මම දන්නේ නැහැ. පැරනි කම්කරුවන් පවසන්නේ, වඩා හොඳ යමක් ආපසු ගෙන ඒමට පෙර එය තවත් 2-3 වාරයක් ප්‍රතික්ෂේප කිරීම් අවශ්‍ය බවයි. මෙය මීට වසර ගනනාවකට පෙර සැලකිලිමත් විය යුතුව තිබුනු දෙයක්. මම හිතන්නේ නැහැ යූඒඩබ්ලිව් සමිතියට, අපි වැඩ වර්ජනය කරනවා දැකීමට අවශ්‍යයි කියලා. අපිට ඇත්තටම නම්, දැන් වැඩ වර්ජනයක යෙදිය හැකියි. හෙට දහවල් වන විට ප්‍රාදේශීය ෆේස්බුක් පිටුවේ යම් දැනුම් දීමක් ලැබෙනු ඇති.

“එය ඔවුන්ගෙන් [යූඒඩබ්ලිව්] ගැලවී අලුත් දෙයක් ගොඩනඟා ගැනීම සඳහා වන සටනක් වනු ඇති. නමුත් සෑම කෙනෙකුටම යමක් අවශ්‍යයි. අපි හැමෝම එකට බැඳිලා හිටියා. අපි දිගටම කමිටු ප්‍රකාශ ලබා දිය යුතුයි.

“දුෂ්කර කාලය පැමිනෙමින් තිබෙන අතර කොටස් වෙලඳපොල බිඳ වැටිය හැකියි. පසුගිය වසර කිහිපය තුල මිනිසුන්ගේ දෑස් විවර වී තිබේ. වොල්වෝ පමනක් නොවේ, ඇලබාමා හි ගල් අඟුරු පතල් කම්කරුවන් සහ ඉන්දියාවේ ජනතාව අපට වඩා වෙනස් නොවේ. ඔවුන් අප මෙම වෙහෙස මහන්සි වී වැඩ කරනවා.”

නිව් රිවර් වැලි කම්හලේ සේවකයින් (ඡායාරූපය: වොල්වෝ සමූහය)

තවත් වොල්වෝ සේවකයෙක් පැවසුවේ, “මෙය ඔවුන්ගේ කපටි කොන්ත්‍රාත්තු ගැන අප සතුටු නොවන බව පෙන්වූ තවත් ඡන්දයකි. ඔවුන්ට තව ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔවුන් තවත් කුනු ගොඩක් නැවත ගෙන එන්නේ නම්, අපි එය ද පරාජය කරනවා.

“යූඒඩබ්ලිව් මෙය සම්මත කර ගැනීම සඳහා දැඩි ලෙස උත්සාහ කලා. එක් සේවකයෙකු විශ්‍රාමික ප්‍රතිලාභ කපා හැරීම සම්බන්ධයෙන් තමන් වෘත්තීය සමිති නිලධාරියෙකු සමඟ ගැටෙන වීඩියෝවක් පටිගත කලා. ඔහු පැවසුවේ, ‘මෙම කම්හලේ සිටින සෑම කෙනෙක්ම යම් අවස්ථාවක විශ්‍රාමිකයෙකු වනු ඇත. සමාගම උත්සාහ කරන්නේ ඔවුන්ව කුසගින්නේ තබා දරිද්‍රතාවයට පත් කිරීමටයි.’ වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔවුන් වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කලා”

“මෙම කොන්ත්‍රාත්තුව පරාජය කිරීමට කමිටුව අනිවාර්යයෙන්ම උදව් කලා. එමඟින් සමාගමට සහ සමිතියට එරෙහිව වැඩෙන හැඟීම් ප්‍රකාශ කිරීමට කම්කරුවන්ට හඬක් ලබා දුන්නා. [යූඒඩබ්ලිව් නිලධාරීන්ට ලියූ] විවෘත ලිපිය සහ වෙනත් විරුද්ධ ප්‍රකාශ ඔවුන් දුටුවා. සමාගම ධනවතුන්ට ලාභාංශ ලබා දී අපට සොච්චමක් ලබා දීම ගැන ඔවුන් කෝප වුනා.

“විශාලම ප්‍රශ්නය නම්: අපි මෙතැනින් යන්නේ කොතැනටද? කියන එකයි. වොල්වෝ ඉතා ඉක්මනින් බංකොලොත් වනු ඇති අතර විරැකියා ප්‍රතිලාභ ලබා ගැනීමට වඩා අපව වැඩ වර්ජනයකට තල්ලු කරනු ඇති බවට කටකතා පැතිරෙනවා.”

තවත් සේවකයෙක්, “මම එයට කැමතියි, හැමෝම එකට බැඳී සිටිනවා.” වැඩ වර්ජනයක් සිදුවුවත් යූඒඩබ්ලිව් නායකයින්ට හොඳ වැටුපක් ලැබෙන අතර "කම්කරුවන්ට සතියකට ඩොලර් 800-1000 ක් උපයා ගැනීම වෙනුවට වැඩ වර්ජන වැටුපෙන් සතියකට ඩොලර් 275 ක් ලැබෙනු ඇත" යි ඔහු පැවසීය.

සිකුරාදා, “අපට ජයග්‍රහනය සඳහා උපාය මාර්ගයක් අවශ්‍යයි!” යන මැයෙන් නිකුත් වූ ප්‍රකාශනයක දීර්ඝ නිෂ්ඵල වැඩ වර්ජනයක තර්ජනයෙන් කම්කරුවන් බිය ගැන්වීමට යූඒඩබ්ලිව් විසින් දැරූ උත්සාහය වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. “වැඩ වර්ජනයක් යනු අපේ ආයුධයක් බව අපි කියමු. එය භාවිතා කල යුත්තේ කම්කරුවන්ට නොව සමාගමට තර්ජනය කිරීමට ය.” කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල අරගල සමඟ වොල්වෝ හි අරගලය එක්සත් කිරීම ඇතුලුව සමාගමට එරෙහි සටනක් ජය ගැනීමේ මූලෝපායක් එහි දක්වා ඇත.

නිව් රිවර් වැලි කම්හලේ කම්හලේ දැවැන්ත පරාජය කිරීම එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන් අතර වැඩෙන විරෝධයේ නවතම ප්‍රකාශනයයි. වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය මගින් එය දැඩි ලෙස තීව්‍ර වී තිබේ. මෙම අරගල වර්ධනය වන්නේ සංගතවාදී වෘත්තීය සමිති සමඟ සෘජු ගැටුමක දිශාවකටයි.

ඇමරිකාවේ එක්සත් පතල් කම්කරු වෘත්තීය සමිතියේ සහාය ඇති කොන්ත්‍රාත්තුවක් බලවත් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඇලබාමා හි ගල් අඟුරු පතල් කම්කරුවන්  1,100 ක් වොරියර් මෙට් සමාගමට එරෙහිව මාස දෙකක කාලයක් තිස්සේ වැඩ වර්ජනයක නිරතවී සිටිති. ඔන්ටේරියෝ හි සඩ්බරි හි පතල් කම්කරුවන් 2,400 ක් එක්සත් වානේ කම්කරුවන්ගේ සහාය ඇති කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වේල් ඉන්කෝ සමාගමට එරෙහිව වැඩ වැරීය. වසංගතය අතරතුර කම්කරුවන් රැකියාවෙහි තබා ගැනීම සඳහා එක්සත් වානේ කම්කරු වෘත්තීය සමිතිය 2020 ජුනි මාසයේදී විශේෂ වසරක කොන්ත්‍රාත්තුවක් සඳහා එකඟ වී තිබුනි.

වෙනත් සැලකිය යුතු අරගල වලට මැසචුසෙට්ස් හි හෙදියන් සහ පෙන්සිල්වේනියාවේ සහ වෙනත් ප්‍රාන්තවල ඒටීඅයි හි වානේ කම්කරුවන්ගේ අරගල, බ්‍රසීලයේ ගුරුවරුන් සහ බස් රියදුරන්, ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවන්, සහ චිලියේ තඹ පතල් කම්කරුවන්ගේ අරගල ඇතුලත්ය.

පාලක පන්තියට එරෙහි සම්බන්ධීකෘත ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙම අරගලයන් වර්ධනය කිරීම සඳහා වොල්වෝ හි කම්කරුවන් විසින් පිහිටුවන ලද්දාක් මෙන් ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මේ සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය  ආරම්භ කර තිබේ.

Loading