වතුපිටිවල රෝහලේ සේවක වර්ජනය බිඳීමට ආන්ඩුව ක්‍රියාත්මක වෙයි

ජූනි 9දින, වතුපිටිවල රෝහලේ හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුලු කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයින්, පරිපූරක වෛද්‍ය සේවකයින්, වින්නඹු මාතාවන් හා කාර්යාල සේවකයින් ඇතුලු සෞඛ්‍ය සේවකයින්, තම පවුල් සඳහා වෙන් කර තිබූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් කුප්පි (වයල්) 22ක ප්‍රමානයක් තමන්ට අහිමි කිරීමට එරෙහිව වැඩ වර්ජනය කරමින් රෝහල් පරිශ්‍රය තුල සටනකට අවතීර්න වූහ.

වතුපිටිවල රෝහලේ සෞඛ්‍ය සේවකයින්

තමන් විසින් දීර්ඝ කලක් තුල පරිපාලනයට බලපෑම් කරමින් වෙන්කර ගත් මෙම එන්නත් ප්‍රමානය රැගෙන යාම සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලින් ආරියරත්න විසින් ජූනි 8දා සිය වාහනය එවා බලහත්කාරය පෑමට එරෙහිව රෝහල් සේවකයෝ පෙල ගැසුනහ. මෙය රැගෙන යාමට කෙසේවත් ඉඩ නොදෙන බවට සෞඛ්‍ය සේවක සේවිකාවන් එකාවන්ව පැවසීම නිසා එම වාහනයට හිස් අතින් ආපසු යාමට සිදුවිය.

රෝහලේ සියලු සේවකයන් නියෝජනය වන පරිදි බස්නාහිර පලාතේ ආන්ඩුකාර රොෂාන් ගුනතිලකට ද ලිපියක් යවමින් මෙම එන්නත් කොල්ලයට ඒරෙහිව සටන් වැදීමට රෝහල් සේවකයෝ සූදානම් වූහ.

තම කෝපයට හේතුවූ කරුනු ගනනාවක් පිලිබඳව එම රෝහල් සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

ඇස්ට්‍රා සෙනිකා එන්නත සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් පලමු අවස්ථාවේදී එය සංකූලතා තිබෙන අයට හා ගැබිනි මාතාවන්ට නිර්දේශ නොකල නිසා රෝහලේ දහසකට අධික සේවකයින් අතුරින් සියයකට අධික ප්‍රමානයකට සහ ඔවුනගේ පවුල්වල අයටද එන්නත අහිමි විය.

අනතුරු කාල පරිච්ඡේදයේදී මෙම එන්නත එම කොටස් වලටද නිර්දේශ වූ නමුත් එය ලබා දීමේ ක්‍රම වේදයක් නොපැවතිනි. ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් සයිනෝෆාම් ඒන්නතද මෙම සේවකයින්ට ලබා දීම සඳහා රෝහල විසින් පියවර නොගැනිනි.

කොරෝනා රෝගීන් සදහා වෙන් කල රෝහල්වල ධාරිතාව ඉක්මයාම නිසා, වතුපිටිවල රෝහලද ඇතුලු තවත් රෝහල් ගනනාවක් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇත. මේ හේතුවෙන්, එන්නත නොලැබුනු සේවක සේවිකාවන් මුහුනදෙන අනතුර ඉහල ගියේය. ඒ් අතරතුර වතුපිටිවල තනා ඇති කොරෝනා රෝගීන් රැඳවූ මධ්‍යස්ථානයටද රෝහල් සේවක සේවිකාවන් යෙදවීමට රෝහල් පරිපාලනය ක්‍රියාත්මක විය. මෙම තත්වය නිසා රෝහල් සේවකයින්ගේ පවුල් වල අයටද එන්නතේ අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය.

තත්වය මෙලෙස පවතිද්දී, වතුපිටිවල රෝහල් පරිශ්‍රය හා එහි සේවක සේවිකාවන් යොදා ගනිමින් සයිනෝෆාම් එන්නත හා ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව නොයෙකුත් නන්නාඳුනන අයට ලබා දීමට රෝහල් පරිපාලනය ක්‍රියා කල බව රෝහලේ සේවකයෝ ලෝසවෙඅට පැවසූහ. එලෙස එන්නත් ලබා දෙන්නේ කා හටදැයි රෝහල් කාර්ය මන්ඩලය කල විමසීමට රෝහලේ බලධාරීන්ගේ පිලිතුර වී තිබුනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින් හා දේශපාලන බලාධිකාරය විසින් ඒවන පුද්ගලයන්ට එන්නත් ලබා දෙන බවයි.

ඒ අතර තුර ඇඟලුම් නිෂ්පාදන සමාගම් එම කම්හල්වල සේවක සේවිකාවන්ද එන්නත් ලබා ගැනීමට එවූ බව සේවකයෝ පැවසූහ‍. රෝහලේ සේවක කන්ඩායම් සමහර පුද්ගලික ආයතන වලට ගෙන ගොස් එන්නත්කරනය ට යොදවා ගැනීමට රෝහලේ පරිපාලනය ක්‍රියා කල බව පැවසූ ඔවුහු, රෝහල අසල පැවති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල පවා (චැනලින් සෙන්ටර්) එන්නත්කරනය සිදුවූ බවට තමන්ට විශ්වාසදායක තොරතුරු ලැබුනු බව කියා සිටියහ.

මේ අතරතුර, එන්නත් ලබා නොතිබුනු රෝහල් සේවක සේවිකාවන්ට හා ඔවුනගේ පවුල් වල අයට එන්නත් ලබා දීම රෝහලේ පරිපාලනය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරිනි. ප්‍රයත්නය අත නොහැර කම්කරුවන් කල බලපෑම් හේතුවෙන් එන්නත් කුප්පි 22ක සුලු ප්‍රමානයක් පමනක් රෝහල් කාර්ය මන්ඩලයේ අවශ්‍යම අයට වෙන් කෙරුනු බව කම්කරුවෝ පැවසූහ.

ජූනි 8දින පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් රැගෙනයාමට තැත්කල එන්නත් ප්‍රමානය, ජූනි 9 දින වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් ඉල්ලා සිටින බැවින් ආපසු යැවිය යුතු බව රෝහල් පරිපාලනය විසින් සඳහන් කිරීම සමගම වෛද්‍යවරුන් හැර රෝහලේ සමස්ත කාර්ය මන්ඩලය වැඩ වර්ජනයට පිවිසියහ. එන්නත් සංඛ්‍යාව බලහත්කාරයෙන් රැගෙන යාම වැලැක්වීම සඳහා රෝහල් සේවක සේවිකාවෝ එදිනම රෝහල් පරිශ්‍රයේ සත්‍යග්‍රහයක්ද ආරම්භ කලහ. මෙම සටන සඳහා ශ්‍රේනි හා සමිති භේද අභිබවමින් කම්කරුවෝ ඉදිරියට පැමිනියහ.

රෝහලේ සියලු සේවක සේවිකාවන් ජුනි 10දින ද මෙම වර්ජනය හා සත්‍යග්‍රහය දිගටම පවත්වා ගෙන යන අතරතුර පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් රෝහලේ සියලු වෘත්තීය සමිති නායකයන්ගේ රැස්වීමක් කැඳවීය. වර්ජනයේ යෙදී සිටි රෝහල් සේවකයින් සමහර දෙනෙකුගේ විරෝධය පැවතියේ වුවද ශාඛා සමිති නායකයන් කිහිප දෙනෙකු ඊට සහභාගී වී තිබේ.

ගාල්ලේ සිදු වූවායැයි පැවසෙන ක්‍රම විරෝධී එන්නත්කරනය නිසා රටේ පවතින සියලුම ඇස්ට්‍රා සෙනිකා එන්නත් එකතු කරන ලෙස ඉහලින් අන ලැබී ඇති බවත්, ඒ් අනුව වතුපිටිවල රෝහල තුල තිබෙන එන්නත් ප්‍රමානය වහාම තමන් වෙත ලබා දිය යුතු බවත් පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පැවසූ බව වතුපිටිවල රෝහලේ සේවකයෝ කියා සිටියහ.

මෙම එන්නත් තව දුරටත් බලහත්කාරයෙන් රඳවා ගතහොත්, ගිනි අවි ගත් සන්නද්ධ මිලිටරි භටයන් යොදවා ඒවා අයත් කරගැනීමට ආන්ඩුව ක්‍රියා කරනු ලබනු ඇතැයිද එසේ වුවහොත් වර්ජිත රෝහල් සේවකයින් ඊට මුහුන දීමට සූදානම්දැයි පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විමසා ඇති බව සෞඛ්‍ය සේවකයෝ පැවසූහ. පෙබරවාරි 24 – 25 දිනවල දිවයින පුරා පැවති කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව මිලිටරිය යෙදවීය.

වැඩ වර්ජන හා උද්ඝෝෂන වලට ප්‍රතිචාර ලෙස ඉල්ලීම් කිසිවක් ලබා නොදෙන බව "ඉහලින්" තමාට පවසා ඇති බවත් මෙම වැඩ වර්ජනය කඩා බිඳ දැමීමට හමුදා භටයන් එවන්නදැයි හමුදාපති දැනටමත් තමාගෙන් විමසා ඇති බවත් අධ්‍යක්ෂවරයා රැස්වීමේදී පවසා තිබේ. මෙම වැඩ වර්ජනය බිඳ දැමුවහොත් තවත් රෝහල් ගනනාවක ඊට සහාය පිනිස වර්ජන ඇතිවිය හැකි බැවින් තමන් ඊට අනුමැතිය නොදී මෙම රැස්වීම කැඳවූ බව අධ්‍යක්ෂ තව දුරටත් පවසා ඇත.

සති දෙකක් තුල එන්නත් ලබා දෙන බවට දුන් හිස් පොරොන්දුවක් මත වැඩ වර්ජනය අවසන් කර සේවකයින් විසින් රඳවා ගෙන සිටි එන්නත් ප්‍රමානය ආපසු ලබා දීමට රැස්වීමට සහභාගීවූ ශාඛා සමිති එකඟවී ඇති බව රෝහලේ සේවකයෝ පැවසූහ.

මෙම අරගලයේ අත්දැකීම් සියලු කම්කරුවන් විසින් බැරෑරුම්ව ගත යුතුව ඇත. මිලිටරිය මත පදනම්වූ ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කර ගනිමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, කම්කරුවන්ගේ ඉතාම සුලු ඉල්ලීමක් මත පාදක වූ ස්ථානීය අරගලයක් පවා හමුදාව යොදවා තලා දැමීමට තීන්දුකොට ඇතිබව මෙහි ඇඟවුමයි.

මැයි 27 හා ජූනි 2 යන දිනයන්හි ජනාධිපති රාජපක්ෂ පැනවූ අත්‍යවශ්‍ය සේවා නියෝගයන්ට අනුව, සෞඛ්‍ය, වරාය, දුම්රිය, බස් රථ ගමනාගමන, ඛනිජ තෙල්, ගෑස්, රාජ්‍ය බැංකු හා රක්ෂන කම්කරුවන්ට ද; රජයට අයත් ආහාර බෙදාහැරීමට සම්බන්ධ හා පලාත් සභා නවයේ හා ආන්ඩුවේ සේවකයන්ට ද වැඩ වර්ජන සහ විරෝධතා තහනම් කර ඇත.

එම තහනම කඩකලහොත්, රැකියාවෙන් දොට්ට දැමීම, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්” ලබාදීම සහ “චංචල හා නිශ්චල දේපොල” රජය සන්තක කිරීම ආදියට යටත් කල හැකිය. “කායික ක්‍රියාවක් හෝ ඕනෑම කතාවක් හෝ ලේඛනයක්” හරහා වැඩ වර්ජනයකට හෝ විරෝධතාවයකට “පොලඹවන, ප්‍රේරනය කරන හෝ දිරිමත් කරන” ඕනෑම පුද්ගලයෙකු ද සිර දඬුවම්වලට යටත් කෙරේ.

මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් මහජනතාව වසංගතයට බිලිදෙන ආන්ඩුව, අනෙක් පසින් තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටී. පෙරමුනු දෙකකින් එල්ල වන මෙම ප්‍රහාරයට එරෙහිව නැගී සිටින කම්කරු දුගී ජනයා තලා දැමීමේ මිලිටරි යාන්ත්‍රනය තර කරමින්, ආන්ඩුවේ ප්‍රධාන තනතුරු වලට මිලිටරි ජනරාල්වරුන් පත් කල ජනාධිපති රාජපක්ෂ, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම මිලිටරි සම්බන්ධීකරන නිලධාරීන් යටතට ගෙන ඇත.

වතුපිටිවල රෝහලේ අත්දැකීම, ආන්ඩුවේ මෙම රුදුරු සැලසුම් පිලිබඳව සමස්ත කම්කරු පන්තියට කෙරෙන බලගතු අනතුරු ඇඟවුමකි.

Loading