ඉදිරිදර්ශන

ඇමරිකන් කම්කරු පංතිය අසාන්ජ් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතුයි

[මෙය The American working class must come to Assange’s defence! මැයෙන් 2021 ජුනි 09 වැනි දින පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජූලියන් අසාන්ජ් ගේ පියා සහ සහෝදරයා වන ජෝන් සහ ගේබ්‍රියල් ෂිප්ටන් විකිලීක්ස් නිර්මාතෘ නිදහස් කිරීමට කැඳවුම් කරමින් එක්සත් ජනපදයේ සංචාරයක් අරඹා සිටිති.ඔවුහූ මියාමි, බොස්ටන්, පිලඩෙල්පියා. මිල්වෝකී, සැන් ප්‍රැන්සිස්කෝ සහ ඩෙන්වර් ආදී නගර සංචාරය කරමින් වොෂින්ටන් ඩී සී නගරයෙන් තම උද්ඝෝෂනය අවසන් කරනු ඇත.

අසාන්ජ් යනු සම්මාන රාශියක් දිනාගත් මාධ්‍යවේදියෙකි. වික්‍රමාන්විත හෙලිදරව්කරන්නියක් වූ චෙල්සී මැනිං සමග එක් ව විකිලීක්ස් හරහා ක්‍රියාවට දැමූ වඩාත් අර්ථභාරී ක්‍රියාව වූයේ 2010 දී ඉරාක සහ ඇෆ්ගන් යුද්ධ වාර්තා සටහන් සහ එක්සත් ජනපද රාජ්‍ය තන්ත්‍රික කේබල් පනිවුඩ ප්‍රසිද්ධ කිරීම සහ 2011 දී ගුවන්තනාමෝ ලිපි ලේඛන ප්‍රසිද්ධ කිරීමයි. මෙම ක්‍රියාමාර්ගය මගින් එක්සත් ජනපද ආන්ඩුව විසින් කරනු ලැබූ යුද්ධ අපරාධ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රන සහ දූෂනයන් හෙලිදරව් කරනු ලැබිනි.

මේ හේතුව මත අසාන්ජ්, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අවුරුදු දශකයක් තුල දුෂ්ට වූත් අඛන්ඩ වූත් හිංසා කිරීම් සහ වධ දීම්වලට භාජනය කරන ලදී. දැනට ඔහු ලන්ඩනයේ බෙල්මාෂ් උපරිම ආරක්ෂක සිරගෙදර රඳවනු ලැබ, ඔත්තු බැලීමේ චෝදනා මත අවුරුදු 175ක් දක්වා සිර දඬුවම් ලබාදීමට ඉඩ ඇති එක්සත් ජනපදයට උදර්පනය කිරීමට එරෙහි ව සටන් කරයි.

ගේබ්‍රියල් ෂිප්ටන් ජුලියන් අසාන්ජ්ට සහාය පිනිස 2019 දී ලන්ඩනයේ රැස්වීමක් අමතමින් (ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

අසාන්ජ්ගේ මානසික තත්වයත් ඇමරිකන් සිරගෙවල් පද්ධතිය තුල දී ඔහු දිවි නසා ගැනීමට ඉඩ ඇතැ යි යන්න මතත් ඔහු උදර්පනය කිරීම “පීඩාකාරී” වන බව ප්‍රකාශ කරමින් ජනවාරි 04 වැනි දා බ්‍රිතාන්‍ය විනිශ්චයකාර වැනෙසා බ්‍රැයිට්සර් ඔහු එක්සත් ජනපදයට උදර්පනය කිරීම තහනම් කලේ ය. එසේ වෙතත් උදර්පනය කිරීම සඳහා ඇමරිකන් ආන්ඩුව ඉදිරිපත් කරනු ලැබූ විවෘතව ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ අන් සියලුම තර්ක බ්‍රැයිට්සර් අනුමත කලා ය. එම නිසා මෙම නඩු තීන්දුවෙන් සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැසිස්ට් කුමන්ත්‍රනයේ ප්‍රතිඵලය එතෙක් අපැහැදිලි ව තිබුනු හෙයින් අසාන්ජ් නඩුවේ තීන්දුව නෛතිකව පරක්කු කිරීමයි. එක්සත් ජනපදය ඉහල උසාවියට තම අභියාචනය සූදානම් කරද්දී අසාන්ජ්ට ඇප දීම ප්‍රතික්ෂේප කර බෙල්මාෂ්හි රඳවා සිටිනු ලැබෙයි.

ඔහු තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීම අමානුෂිකය. අසාන්ජ්ට එරෙහි ඉදිරිපත් කර ඇති එක ම චෝදනාව බ්‍රිතාන්‍ය උසාවිය මගින් ප්‍රතික්ෂේප කර ඇති නමුත් එම උසාවිය ම අන කර ඇත්තේ ඔහු සිරගතව සිටිය යුතු බවයි. ඔහු වර්ග යාර 10ක කුටියක් තුල දිනකට පැය 22ක් රඳවා තැබෙයි. නෑම, ව්‍යායාම කිරීම, කෑම සහ විශාදනාශක බෙහෙත් ලබා ගැනීම සඳහා පමනක් කුටියෙන් පිටතට පැමිනීමට ඔහුට ඉඩ ලැබේ.

අසාන්ජ්ගේ සහකාරිය වන ස්ටෙලා මොරිස් මෑත දී ඔහුගේ තත්වය මෙසේ ප්‍රකාශ කලා ය. “ බෙල්මාෂ් සිරගෙදර දී ඔහුගේ ජීවිතය නූලකින් එල්ලිලා වාගෙයි තියෙන්නේ. ඔහු සිටින තත්ත්වය ඔහුට දැනෙන්නේ ඉවරයක් නැති දඬුවමක් ලෙස යි. ඔහුට සිතෙන්නේ තමා අන් අයට බරක් වී ඇති බවයි. එම නිසා සමහර අවස්ථාවල දී ඔහු කොතරම් සාංකාවකින් පෙලනවා දැයි කිවහොත් දිවිනසා ගනීවියැ යි විශාල බියක් පවතිනවා,”

ඇය මෙසේ ද පැවසුවා ය: “ඔහුට අන් අය සමග සම්බන්ධ වීමේත් සබඳතා මගින් මානසික උත්තේජනයක් ලැබීමේත් අවශ්‍යතාව පවතිනවා. ඔහු වාක්‍යයක් එකට ගලපා ගැනීමට පවා නො හැකි බියකරු තත්වයකට වැටී සිටිනවා මම දැක තිබෙනවා.

“සිරගෙදර තුල දී ජීවිතය ගැටගසා ගැනීම අතිශයින් අපහසු කාර්යයක්. සිරගෙදර තුල ඊට ම ආවේනික අපරාධ යුක්ති පද්ධතියක් පවතිනවා. ඔහුට හැන්දක් ලබා ගැනීමට අවසර නැහැ. එනිසා හැන්දක් ඉල්ලීම වැනි ඉතා ම කුඩා සිද්ධියක් නිසා ගැටුම් සිදු වූ අවස්ථා තිබෙනවා”

ජෝන් ෂිප්ටන් 2020 පෙබරවාරියේ දී බෙල්මාෂ් සිරගෙදර ඉදිරියේ විරෝධතාවයක යෙදෙයි (ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ සංචාරයෙන් පසු ෂිප්ටන් එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිනීම අභියාචනා නඩුවේ තීන්දුව අසාන්ජ්ට එරෙහිව ගියහොත් ඔහුගේ නිදහස වෙනුවෙන් කෙරෙන සටනේ ප්‍රධාන පෙරමුන සිදු වන්නේ ඇමරිකාව තුල බව තහවුරු කිරීමකි.

එවැනි කුනුවූ තීන්දුවක් බ්‍රිතාන්‍ය උසාවියෙන් නො ලැබේ යැයි සිතීමට නො හැකි ය. බයිඩෙන් පරිපාලනය බලය ලබා ගනිමින් ගත් පලමු තීන්දුවක් වූයේ ට්‍රම්ප් විසින් උසිගන්වනු ලැබූ අසාන්ජ් හඹා යෑම ඉදිරියට ගෙන යෑමට ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කිරීමයි. එම නිසා බ්‍රිතන්‍ය රාජ්‍යය, ට්‍රම්ප්ගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයේ සාර්ථකත්වය අවිනිශ්චිත ව තිබූ අවස්ථාවට වඩා ඉදිරියේ දී විකිලීක්ස් නිර්මාතෘ ඇමරිකාවට පටවා යැවීම වඩා ලෙහෙසියෙන් කල හැක්කක් ලෙස සලකනු ඇත.

අසාන්ජ් ආරක්ෂා කර ගැනීම සඳහා කෙරෙන ඇමරිකන් සංචාරයට තුඩු දී තිබෙන උදර්පන තර්ජනයෙන් ඔහු ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයේදී මතු කෙරෙන වැදගත් ම ප්‍රශ්නය වන්නේ ඔහු නිදහස් කර ගත හැක්කේ කුමන සමාජ බලවේගයක පිහිටෙන් ද යන්නයි.

ෂිප්මන්ලාගේ එක්සත් ජනපද සංචාරය මගින් අසාන්ජ් නඩුවේ බරපතල ම ලක්ෂනය ලෙස ඉස්මතු කෙරෙන්නේ ජනමාධ්‍ය සහ ව්‍යාජ වාම කන්ඩායම් විසින් ඔහු ව නින්දාවට පත් කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයයි. වෙන කිසිම තැනකටත් වඩා මෙය ඇමරිකාව තුල දී සත්‍යයක් වෙයි. දශකයකට කිට්ටු කාලයක් තුල එහි ප්‍රධාන පුවත් සංවිධාන විකිලීක්ස් ප්‍රාරම්භකයාට අන්තර්ජාල චෞරයෙක්, ත්‍රස්තවාදියෙක්, ලිංගික විලෝපිකයෙක් හෝ රුසියානු ඒජන්තයෙක් ලෙස බොරු චෝදනා මගින් ගර්හා කිරීමට කල්ලි ගැසුනාහ.

මෙම නඩුව ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙරෙහි ඇති කරන භයානක ඇඟවීම් අවසාන මොහොතෙහි දී නිව්යෝක් ටයිම්ස් සහ අනෙකුත් ප්‍රකාශන විසින් පිලිගන්නා ලද නමුත් එමගින් තත්වයේ මූලික වෙනසක් ඇති නො කරන ලදී. එවැනි විරෝධතා කෙරී ඇත්තේ ජනාධිපති බයිඩෙන්ට කරන්නා වූ නියාලූ ආයාචනා ලෙස ය. ඒවායින් ඔහුගේ පාලනය අපහසුවට පත් කරනවාට වැඩිමනත් ප්‍රතිඵලයක් සිදු නොවේ.

2019, බර්ලින්හි දී ජෝන් ෂිප්ටන් “කැන්ඩ්ල්ස් ෆො අසාන්ජ්” විරෝධතාවේ දී (ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

එක්සත් ජනපද මාධ්‍යයන් ජාතික ආරක්ෂක රාජ්‍යයේ අන්ඩක් බවට මුළුමනින් ම පිරිහී ඇති බව මෙම ඉරිදා පැවැත්වෙන, පෙන්ටගන් ලියවිලි නිව්යෝක් ටයිම්ස් පුවත් පත විසින් පලමුවරට හෙලිදරව් කරනු ලැබීමේ 50 වැනි සංවත්සරයේ දී පැහැදිලිව හෙලිදරව් කෙරෙනු ඇත. එම ලියවිලි හෙලිදරව් කෙරුනු අවස්ථාවේ දී නිව් යෝක් ටයිම්ස් පුවත් පත වියට්නාමයේ එක්සත් ජනපද ආක්‍රමනයේ විනාශකාරී තත්වය හෙලිදරව් කරමින් එල්ස්බර්ග් හෙලිදරව් කල ලියවිලි ප්‍රසිද්ධ කිරීමට සහ ඒ මත ඔවුන්ට නඩු පැවරීමක් සිදු වුව හොත් ඊට එරෙහි ව සටන් කිරීමට ද සූදානම් ව සිටියේ ය.

ස්වීඩන් රාජ්‍යය විසින් ගොතන ලද්දා වු ලිංගික ප්‍රහාර සම්බන්ධ චෝදනාවලට විශ්වාසයක් ගෙන දුන් “සෝෂලිස්ට් ඕල්ටනේටිව්” නමැති සංවිධානය මෙන් හෝ “ජැකොබින්” සහ “ඩිමොක්‍රැටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමෙරිකා” වැනි සංවිධාන මෙන් නිශ්ශබ්ද ව සිටීම මගින් ව්‍යාජ වාම සංවිධාන අසාන්ජ් දඩයම් කිරීමට එකතු වූහ. ජැකොබින් සංවිධානයේ ගල් ගැසුනු නිශ්ශබ්දතාවය ඔවුන් විසින් බිඳිනු ලැබූයේ බයිඩන් බලයට ඒමට පෙර ප්‍රකාශ කරනු ලැබූ සටහන් දෙකකින් සහ අසාන්ජ්ට සාධාරන නඩු විභාගයක් නො ලැබේය යනුවෙන් හිටපු සීඅයිඒ නිලධාරියෙක් සහ රහස් කරුනු හෙලිදරව් කරන්නා වූ ජෙෆ්රි ස්ටර්ලින්ගේ ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම මගිනි. මාධ්‍ය නිදහස්තාවන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වී ඇති තර්ජනය ගැන කල් පසු වී කෙරෙන අනතුරු හැඟවීම් පැහැදිලි කරන එක ම දෙය වන්නේ අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවෙක් මෙහෙයවීමට ඔවුන් අපරාධකාරී ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

ඩිමොක්‍රැටික් පාක්ෂිකයින්ට සහාය දීමේ දේශපාලන විධානාත්මකයට අනුව සකස් කෙරුනු එවැනි නිද්‍රාකාරක ඉඟිපෑම් මත කිසිම විශ්වාසයක් තිබිය නො හැකිය. තම අධිරාජ්‍යවාදී යුද උමතුවට එරෙහිව මතු වන මහා විරුද්ධත්වයන් පූර්වභංග කිරීමේ ප්‍රහාරයක් ලෙස අසාන්ජ් විනාශ කර දැමීම සඳහා එක්සත් ජනපද පාලක පංතිය අධිෂ්ඨාන කර ගෙන සිටියි.

අසාන්ජ් නිදහස් කර ගත හැකි එක ම බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයකි: එහි ඇමරිකන් ඇනිය එම සටනේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කල යුතු ය.

ඊයේ ජෝන් සහ ගේබ්‍රියල් ෂිප්ටන් බොස්ටන් නගරයට පැමින එහි “බොස්ටන්හි ප්‍රජා පල්ලිය” විසින් ප්‍රදානය කෙරෙන 2021 සමාජ යුක්තිය සඳහා දෙනු ලබන සැකෝ-වැන්සෙට්ටි ස්මාරක සම්මානය අසාන්ජ් වෙනුවෙන් පිලිගත්හ. එය මුළුමනින් ම සුදුසු වූ තෑග්ගකි. නිකෝලා සැකෝ සහ බර්තොලෝමියෝ වැන්සෙට්ටි 1920 ගනන්වල දී වාමාංශිකයින් දහස් ගනනින් අත්අඩංගුවට ගැනුනු රතු භීතිකාවේ ඉහල ම අවස්ථාවේ දී බොරු මිනීමැරුම් චෝදනා මත එල්ලා මරනු ලැබූ ඉතාලියානු අරාජිකවාදීහු දෙදෙනෙකි.

මෙහි දී මුලින් පලමුවැනි ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී මිනිස් ඝාතනය ට විරුද්ධවීම මත සමාජවාදීන් සිරගත කිරීම සහ වාරනය කිරීම සඳහා ‘ඔත්තු බැලීමේ පනත’ යොදවනු ලැබීය. සැකෝ සහ වැන්සෙට්ටි නිදහස් කර ගැනීම සඳහා විශාල ජාත්‍යන්තර උද්ඝෝෂනයක් සිදු විය. එහත් උද්ඝෝෂනය ඉදිරියට යද්දී එහි සංවිධායකවරු “ප්‍රගතිශීලී” දේශපාලඥයින්ට සහ රාජ්‍යයේ සහ අධිකරනයේ කොටස්වලට කල යටහත් පහත් ආයාචනා වෙනුවෙන් කම්කරු පංතිය විසින් පෙරලා සටන් වැදීමක් මග හරින ලදී. මේ සිද්ධිය අවසන් වූ වහාම ඇමරිකන් ට්‍රොට්ස්කිවාදි ව්‍යාපාරය පිහිටුවීම සඳහා භූමිකාවක් ඉටු කල මැක්ස් ෂැට්මන්ගේ වචනවලට අනුව, ආරක්ෂක ව්‍යාපාරය නඩුවේ තීව්‍ර පංති ස්වරූපය වටහා ගැනීමට අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා හෝ ඔව්හු නීතිඥයින්ගේ ඉල්ලීම්වලට යට වූහ. එය කම්කරුවන්ගේ ව්‍යාපාරය වෙනුවට නීතිඥයින්ගේ “මෝසම්” වල පිහිට පැතූහ. එය සැකෝ සහ වැන්සෙට්ටිගේ පංති උරුමය ලිබරල් කැඳ වට්ටෝරුවකට විකුනා දැම්මේ ය.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පදනම් ව සිටින්නේ සැකෝ සහ වැන්සෙට්ටිගේ නිදහස ලබා ගත හැකි ව තිබූ එක ම මාර්ගය වන පංති අරගලයේ සම්ප්‍රදාය මත ය. එදා සිදුවූවාක් මෙන් අද අසාන්ජ්ගේ ඉරනම ද රඳා පවතින්නේ ඇමරිකන් කම්කරු පංතිය මත සහ ජාත්‍යන්තරව ඔවුන්ගේ පංති සහෝදරවරුන් සහ සහෝදරියන් මත ය.

චීනය සමග මිලිටරි ගැටුම්වලට සූදානමක් ලෙස වූහාන් පර්යේෂගාරය පිලිබඳ බොරුව බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපදයේ ජන මාධ්‍යයන් විසින් වමාරනු ලබද්දී සහ කෝවිඩ් - 19 වසංගත පැතිරිම යටපත් කර කම්කරු වැඩ වර්ජන පිලිබඳ තොරතුරු ජනමාධ්‍ය තුලින් මකා දමා ඇති තත්වයක දී මුසාවාදයන් සහ යුද්ධයට එරෙහි ව සත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන කම්කරු පංතික මහජනතාව විසින් ග්‍රහනය කර ගනු ඇත. අසාන්ජ් නිදහස් කර ගැනීමේ සටන එම අරගලයේ හෙලි තුඩ යි.

Loading