කම්කරුවන් ශ්‍රේනිවාදයට එරෙහිව සටන් කල යුත්තේ ඇයි?

කොවිඩ්-19 වසංගතයට දැක්වූ සාපරාධී ප්‍රතිචාරයෙන් නිර්මානය කෙරී ඇති ඉමහත් ව්‍යසනයට සහ වසංගතයෙන් උග්‍ර කෙරුනු ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර තම උරමත පටවමින් රැකියා සහ ජීවන කොන්දේසි විනාශ කිරීමට එරෙහිව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාව තුල වැඩී ඇති දැවැන්ත කෝපය වැඩ වර්ජන සහ විරෝධතා අරගල ලෙස පුපුරා යමින් පවතී.

රුදුරු 'අත්‍යවශ්‍ය සේවා' නියෝග පනවා මෙම අරගල වැලැක්වීමට ආන්ඩුව උත්සාහ දැරුව ද, එම නියෝග නොතකා පසුගිය සතියේ දිවයින පුරා රෝහල්වල හෙද-හෙදියන්, කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන් ඇතුලු දසදහස් සංඛ්‍යාත කම්කරුවෝ වර්ජන සහ විරෝධතාවන්ට පිලිපන්හ. වාර්ගික සහ ශ්‍රේනිභේද කපාගෙන එක් පංතියක් ලෙස එකමුතුව සටන් කිරීමේ සූදානම සහ අධිෂ්ඨානය ප්‍රකට කරමින්, මෙම අරගල මාලාවට, උතුරු සහ නැගෙනහිර පලාත් වල දෙමල සහ මුස්ලිම් කම්කරුවෝ දහස් ගනනින් සහභාගි වූහ.

කම්කරුවන් අතර කැකෑරෙන කෝපය සහ වැඩෙන සටන්කාමිත්වය හමුවේ වෘත්තීය සමිති නිලධරයට මෙම අරගල කැඳවීමට සිදු වුවද, මෙම අරගල තුල කම්කරුවන් අතර ශ්‍රේනිභේදය ඇවිලවීමේ තම ප්‍රතිගාමී වැඩකටයුතු වඩාත් ඉස්මත්තට ගැනීමට ඔවුහු වැඩට බැස සිටිති.

වැඩ වර්ජන කැඳවූ වෘත්තීය සමිති අතරින් ප්‍රධාන සමිතියක් වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්, වෛද්‍යවරුන්ට එරෙහිව අනෙකුත් රෝහල් සේවකයන් පිහිටුවීමේ අරමුනෙන් මෙසේ පැවසීය: 'සෞඛ්‍ය සේවකයින්ට පහසුකම්, උපකාර දෙනවා වෙනුවට ඉහලම සෞඛ්‍ය සේවකයින්ගේ අතමිට සරු කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනවා.... ඔවුන්ගේ මාසික අතිකාල ප්‍රමානය පැය 60 කින් වැඩිකර ඇති නිසා, සමස්ත අතිකාල ප්‍රමානය ගතහොත් වෛද්‍යවරයෙකුගේ මාසික වැටුප අවම වසයෙන් රුපියල් 41,000 කින් වැඩි වෙනවා.'

සමන් රත්නප්‍රිය

මෙම භේදකරනය වඩාත් ඉස්මත්තට ගෙන එමින් රත්නප්‍රිය පැවසුවේ 'වෛද්‍යවරුන්ගේ දීමනාව සියයට 78 කින් වැඩිවී ඇති නිසා' අනෙකුත් සේවකයන්ගේ දීමනාව ද එලෙස වැඩිවියයුතු බවයි. 'අපි 03 දා සාකච්ඡාවෙදි එහෙම ඉල්ලුවෙ නෑ. අපි කිවුවෙ වැඩ කරන්න පහසුකම් ටික දෙන්න කියල. දැන් අපි කියන්නෙ එම ප්‍රතිශතයෙන්ම අනෙක් අයගෙත් දීමනා වැඩි කරන්න කියල.'

ඔහුගේ ප්‍රකාශයෙන් වැදගත් කරුනු කීපයක් එලිමහනට පැමිනෙයි: වසංගතයට මුහුනදෙන තම සාමාජිකයන්ගේ සැබෑ අවශ්‍යතාවයන්ට සරිලන දීමනාවක් සඳහා සටන් කිරීම ආරම්භයේ සිටම ඔහු ඇතුලු 'සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව' අත්හැර තිබූ බව ඉන් පලමුවැන්න යි.

වසංගතය නිසා හෙද සේවකයෙකුට රුපියල් 10,000-15,000 අතර අමතර මුදලක් වැයවන බව ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ නමුත්, අවසානයේදී සමිති නිලධරය ආන්ඩුව යෝජනා කල රු 7,500 ක සොච්චම් දීමනාවට එකඟවී සටන පාවාදී ඇත.

රත්නප්‍රියගේ ද අත්සන සහිතව, එම 'එකමුතුව' විසින් ජූනි 12 දා සෞඛ්‍ය ඇමතිවරියට යවා ඇති ලිපියේ සඳහන් වන්නේ 'වෛද්‍ය සේවාවට වැඩිකර ඇති අවම දීමනාවට සාපේක්ෂව, රු 7500 ක් යනු පහෙන් එකටත් වඩා අඩු මුදලක් වන නමුත්, රටේ පවතින අර්බුදකාරී වාතාවරනය සහ සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එයින් සෑහීමකට පත්වීමට වෘත්තීය සමිතිවල එකඟතාවයක් ඇතිකර ගැනීමට' හැකි වූ බවයි.

දෙවැන්න, රත්නප්‍රියගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි කෙරෙන පරිදි, 'රටේ පවතින අර්බුදකාරී වාතාවරනය' හෙවත් රාජපක්ෂ ආන්ඩුව ඇතුලු පාලක පංතිය මුහුන දී සිටින අර්බුදය හමුවේ, කම්කරුවන්ගේ ඉල්ලීම් කපාකොටා සටන් පාවා දී ධනපති ක්‍රමය කෙසේ හෝ රැක දීමට වෘත්තීය සමිති මුලුමනින්ම කැපවී සිටින බවයි.

තුන්වැන්න, ධනපති පංති පාලනයට කම්කරු පංතියෙන් එල්ල වන අභියෝගය දුර්වල කරනු වස් මෙම සමිති කම්කරු පංතිය තුල දැනුවත්ව භේද අවුලුවන බවයි. සමිති එකමුතුවේ ඉහත ලිපිය තුල තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හඳුන්වන්නේමත්, 'සෞඛ්‍ය සේවාවේ පොදු ගැටලු පිලිබඳව සහ වෛද්‍ය සේවාවේ දීමනාව සියයට 78 කින් වැඩි කිරීමට එරෙහිව ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය' යනුවෙනි.

'වෛද්‍ය සේවාවේ දීමනාව සියයට 78 කින් වැඩි කිරීමට එරෙහිව ආරම්භ කරන ලද' මෙම ශ්‍රේනිවාදී උද්ඝෝෂනයට, ඉහත ලිපියට අත්සන් තබන ලද, රජයේ වෛද්‍ය පර්යේෂනාගාර තාක්ෂනඥයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ඇතුලු තවත් සමිති ගනනාවක් ඒකාබද්ධ වූහ.

ශ්‍රේනි භේදය ඇවිලවීම ධනපති පාලක පන්තියේ අවශ්‍යතාවයකි. එය තම පන්ති පාලනය ගෙන යාමේදී කම්කරු පන්තියේ ශක්තිය දුබල කිරීම සඳහා භාවිතයේ යොදන දිගු කාලීන පන්ති අවියකි. ලංකාවේ පමනක් නොව ලොවපුරා ආන්ඩු, කම්කරු කොටස් අතර විවිධ විෂමතාවයන් ඇති කරමින් මෙම භේදය පවත්වාගෙන යාමට අවශ්‍ය වෛෂයික පදනම දැනුවත්ව සකසති. 

රජයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා පමනක් වැඩි කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගත්තේමත් එම කූට අරමුනෙනි. ශ්‍රේනි භේදය ඇවිලවීමේ ලා ප්‍රමුඛතම කාර්යයක් ඉටු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), වසංගතය හමුවේ සියලු ඉදිරිපෙල කම්කරුවන්ට විශේෂ දීමනාවක් අත්‍යවශ්‍ය කෙරී ඇති තතු යටතේ, තම දීමනාව පමනක් ඉල්ලා සිටිමින් එයට අවස්ථාව සම්පාදනය කලේය.

එපමනක් නොව, හෙද-හෙදියන් සහ උපස්ථායකයන් ඇතුලු රෝහල් සේවකයන්, මහජන සෞඛ්‍ය සේවකයන්, ග්‍රාම නිලධාරීන් ඇතුලු ක්ෂේත්‍ර සේවකයන් යන මේ සියල්ල ඇතුලත්, වසංගතයට එරෙහි මෙහෙයුමේ ඉදිරිපෙල කම්කරුවන්ගෙන් සුවිසල් සංඛ්‍යාවකට කොවිඩ් එන්නත ලබා නොදී තිබිය දී, තම පවුල්වල සාමාජිකයන්ට එය ලබා දීමට රවෛනිස කටයුතු කලේ එන්නත් බරපතල ලෙස සීමාවී තිබියදී ය.

මෙම සමිතියේ සමස්ත ඉතිහාසය ශ්‍රේනිවාදයේ ප්‍රතිගාමී භූමිකාව පිලිබඳ ඉතා වැදගත් පාඩම් කම්කරු පංතියට ගෙන එයි. කම්කරුවන් කෙටවීම සම්බන්ධයෙන් අනෙක් සමිතිවල ඉතිහාසය ද ප්‍රතිගාමිත්වයෙන් ඊට අඩු නොවේ. ඉහත වර්ජනයට සහභාගි නොවූ, මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව විසින් නායකත්වය දෙන එක්සත් හෙද සේවා සංගමයේ ශ්‍රේනිවාදී වසවිස කෙතෙක් ද යත්, රෝහල් කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන්ගේ නිල ඇඳුම ඔසරියේ සහ සරමේ සිට ගවුම සහ කලිසමට මාරු කිරීමට ගත් තීරනයට පවා එය විරුද්ධ විය. එමගින් හෙද-හෙදියන් සහ කනිෂ්ඨ සේවකයන් අතර 'වෙනස' අහෝසි වී යනු ඇතැයි සමිති නිලධරය තර්ක කලහ.

මෙම භේදකරනය පවතින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමනක් නොවේ. පාලකයන් සහ සමිති විසින්, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් ඇතුලු අන් සෑම ක්ෂේත්‍රයකම, කම්කරු පංතිය ශ්‍රේනි මත බෙදා ඇත. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පමනක් ගතහොත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතර පවත්නා ශ්‍රේනි සංඛ්‍යාව අසංඛ්‍ය වෙයි. විශ්ව විද්‍යාල සේවකයන්, අධ්‍යන සහ අනධ්‍යන වශයෙන් පැහැදිලිවම බෙදා තිබේ.

වසංගතයෙන් උග්‍ර‍කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ පන්ති යුද්ධයක යෙදී සිටින රාජපක්ෂ ආන්ඩුව, කම්කරුවන්ගේ පන්ති ශක්තිය දුබල කරනුවස්, ජාතිය, වර්ගය සහ ශ්‍රේනිය ආදී විවිධ රේඛා ඔස්සේ කම්කරුවන් බෙදීම සඳහා ගෙනයන වැඩකටයුතු තීව්‍රකොට ඇති අතර, සමිති මගින් වර්ධනය කෙරෙන ශ්‍රේනිවාදී භේදකරනයන් මගින් ඊට ලබා දෙනුයේ බලගතු සහයෝගයකි.

සමිති නිලධරයේ, මෙම කෙටවීමට එරෙහිව කම්කරු පන්තිය අතර වැඩෙන විරෝධය විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්වෙයි. නිසි පුද්ගලික ආරක්ෂන උපකරන පවා නොමැතිව තමා සමග උරෙනුර ගැටී සේවයේ යෙදී සිටින අනෙකුත් සහෝදර කම්කරුවන්ගේ ජීවිත පවා නොතකමින්, රවෛනිස ගත් පියවර වෛද්‍යවරුන්ගෙන් සැලකියයුතු සංඛ්‍යාවක් විසින් හෙලා දැකීම එම සාධනීය වර්ධනයේ කොටසකි.

ශ්‍රේනි භේදයට එරෙහි සමාජවාදීන්ගේ අරගලය

වෘත්තීය සමිති විසින් කමිකරු පංතිය ශ්‍රේනි අනුව බෙදීම සඳහා ගෙනයන වැඩකටයුතු වලට එරෙහිව සමාජවාදී ව්‍යාපාරය අතීතයේ සිට සටන් කර ඇත. ඒ සඳහා සම්භාව්‍ය උදාහරනයක්, එක්සත් ජනපදයේ ඇමරිකානු කම්කරු ෆෙඩරේෂනය (ඒඑෆ්එල්) ට එරෙහිව 'ලෝකයේ කාර්මික කම්කරුවෝ' (අයිඩබ්ලිව්ඩබ්ලිව්) සංවිධානය ගොඩනැගීමට ඇමරිකානු සමාජවාදීන් ගෙනගිය අරගලයෙන් සම්පාදනය කෙරේ.

නිශ්චිත කර්මාන්තමය නිපුනතාවක් සහිත කම්කරුවන්ට, නැතහොත් කම්කරු ශ්‍රේනියකට පමනක් සාමාජිකත්වය සීමා වූ වෘත්තීය සමිති (Craft Unions) වල ප්‍රතිගාමිත්වයට එරෙහිව ඔවුහු මූලධර්මාත්මක අරගලයක යෙදී ගත්හ. ඇමරිකානු සමාජවාදී ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන ඉයුජින් වී ඩෙබ්ස් ගේ මූලිකත්වයෙන් 1905 දී අයිඩබ්ලිව්ඩබ්ලිව් වෘත්තීය සමිතිය ආරම්භ කෙරුනේ, වර්ගවාදී සහ සංක්‍රමනික විරෝධී පිලිවෙත් අනුගමනය කල 'ආසියාතිකයන් බැහැර කිරීමේ ලීගය' වැනි අන්ත දක්ෂිනාංශික සංවිධානයන්ට එරෙහිවය.

එවකට ඇමරිකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති විශාලතම වෘත්තීය සමිතිය වන ඒඑෆ්එල් සමිතියට නිපුන කම්කරුවන් හැර, අර්ධ-නිපුන හෝ නිපුනත්වයක් නොමැති කම්කරුවන් බඳවා නොගැනුනි. ඒඑෆ්එල් ද, ආසියාතිකයන් බැහැර කිරීමේ ලීගයේ ඉහත දක්ෂිනාංශික පිලිවෙත් වලට අනුගත වෙමින් සිටියේ ය.

ඊට විපරීතව, අයිඩබ්ලිව්ඩබ්ලිව් සමිතියට, ලිංගිකත්වය, නිපුනතාව, වර්ගය, ආගම් ලබ්ධිය හෝ ජාතික සම්භවය ආදී භේදයන් කිසිත් නොතකා සාමාජිකයන් බඳවා ගැනුනු අතර, එහි ශාඛාවන් අන්‍ය රට වලද ගොඩ නැගුනි. අයිඩබ්ලිව්ඩබ්ලිව් අවධාරනයෙන් කියා සිටියේ, ශ්‍රේනි මත පාදක වූ ඒඑෆ්එල් වැනි සමිති, කම්කරු පංතියේ එකමුතුවට සහ සහයෝගීතාවට වල කපන බැවින් ශ්‍රේනිවාදයට කම්කරුවන් එකහෙලා එරෙහිවිය යුතු බවයි.

ශත වර්ෂයකටත් පෙරාතුව, එනම් නිෂ්පාදනය භූගෝලීයකරනය නොවූ යුගයක ඩෙබ්ස් ඇතුලු සමාජවාදීන් සටන් වැදුනු මූලධර්ම අද වඩාත් වලංගු වනවා පමනක් නොව, එම මූලධර්ම මත පාදක නොවී කම්කරු පංතියට කවර හෝ අරගලයක් ඉදිරියට ගෙන යා නොහැක.

ලොව කොතැනක හෝ කම්කරු අරගලයක දී, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් අභිමුඛ වන්නේ ගෝලීය ප්‍රාග්ධනයට යි. ලංකාවේ රෝහල් සේවකයන්ගේ අරගලය ගතහොත්, ඔවුනගේ වැටුප්, දීමනා, එන්නත් සහ පුද්ගලික ආරක්ෂක උපකරන පිලිබඳ ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කරනුයේ රාජපක්ෂ ආන්ඩුවට වුවද, ආන්ඩුවේ වියදම් සහ වසංගතය පිලිබඳ පිලිවෙත් අති මූලිකව තීන්දු කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසිනි. පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ආන්ඩු මගින් සෞඛ්‍යය සහ අනෙකුත් ක්ෂේත්‍රයන් තුල සිදු කෙරුනු දැවැන්ත කප්පාදු මාලාවේ සැබෑ විධායකයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යි.

රෝහල් කම්කරුවන්ගේ සහ විදුලිබල කම්කරුවන්ගේ අරගල වටා අනෙකුත් කම්කරුවන් ද ඒකාබද්ධ වෙතැයි යන උත්සුකයෙන්, එම ක්ෂේත්‍ර දෙකෙහි වැටුප් සහ දීමනාවන්හි යම් වැඩි කිරීමක් ප්‍රකාශයට පත්කොට, වෘත්තීය සමිතිවල ආධාරයෙන් මෙම අරගල රැල්ල යටපත් කිරීමට ආන්ඩුව උත්සාහ දැරුව ද, ඒ හා සමගම ඉන්ධන මිල දැවැන්තව වැඩිකොට සමස්ත කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි තම ප්‍රහාරය ඉදිරියටම ගෙනයන බව රාජපක්ෂ ආන්ඩුව පෙන්වා දී ඇත.

නිෂ්පාදනයේ ගෝලීයකරන ක්‍රියාවලියත් සමග ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඝෘජු උපකරන බවට පත්ව ඇති ලොවපුරා වෘත්තීය සමිති, වැඩෙන පන්ති අරගල වලට ඇබ ගැසීමේ, අපගමනය කිරීමේ සහ පාවාදීමේ ද්‍රෝහී භූමිකාවක විවෘතවම යෙදී සිටිති. සෞඛ්‍ය සමිති එකමුතුව රාජපක්ෂගේ රු 7500 සොච්චම් දීමනාවට එකඟව එම අරගලය පාවාදීමට ගෙන ඇති තීන්දුව මෙය සනාථ කරයි.

ගෝලීය ප්‍රාග්ධනයට එරෙහි සටනේදී තම ස්වභාවික සගයා වන ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තනා ගැනීමේදී ද කම්කරු පන්තියට එරෙහිව පවත්නා මූලික බාධකය මෙම ද්‍රෝහී වෘත්තීය සමිති ජාලය යි.

මෙම සමිති වලට විපරීතව, කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවය සපුරාලන, 'ලිංගිකත්වය, නිපුනතාව, වර්ගය, ආගම් ලබ්ධිය හෝ ජාතික සම්භවය ආදී භේදයන් කිසිත් නොතකා සාමාජිකයන් බඳවා ගැනෙන' සහ ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයට සටන් වදින කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම රෝහලකම, වැඩපොලකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනගා ගැනීම සඳහා කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අප්‍රේල් 25 දා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි, 'කම්කරු පන්තියට පෙරලා සටන් වැදීමට නම්, පාලක පන්තියට හා ව්‍යාපාර ගැති සමිති වලට විරුද්ධව ඒ ඒ කම්හල්වල, කර්මාන්තවල හා රටවල්වල කම්කරු පන්තියේ අරගල සම්බන්ධීකරනය පිනිස මාවතක් කැපිය යුතුය. මේ කර්තව්‍ය සඳහා හජාජාක හා ඊට සම්බන්ධ සසප යන්හි මඟපෙන්වීම යටතේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රිකජාස) ගොඩනැඟීමේ ආරම්භකත්වය ගෙන ඇත.'

Loading