වසංගතයේ ව්‍යසනකාරිත්වය ඉහල දමමින් වෛරසයේ වඩාත් බලගතු ප්‍රභේද ලංකාවේ පැතිරෙයි

ලංකාව තුල කොරෝනා වසංගතයේ ව්‍යසනකාරිත්වය ඉහල යමින් පවතින බව ඇඟවුම් කරමින් කොවිඩ් මරන සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතී. ඊයේ දිනයේ දී කොවිඩ් මරන 59 ක් වාර්තා වූ අතර දැන් දෛනිකව පනහකට අධික මරන සංඛ්‍යාවක් වාර්තා වන කොන්දේසි සැකසී ඇත. 

වෛරසයේ නව ප්‍රභේද විසින් ව්‍යසනය වඩාත් ගැඹුරු කර ඇත. ඊයේ දිනයේදී ඉන්දියාවේ පැතිර යන වඩා විනාශකාරී B.1.617.2(ඩෙල්ටා) ප්‍රභේදය ලංකාවේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ  වෛද්‍ය චන්දිම ජීවන්දර ට්විටර් පනිවිඩයක්  නිකුත් කරමින් සඳහන් කලේය. මෙම වෛරසය ලංකාව තුල දැනට පැතිරෙන B 117(ඇල්ෆා) ප්‍රභේදයට වඩා දෙගුනයක වේගයෙන් පැතිරෙන, එන්නත් වල පලමු මාත්‍රාවේ ප්‍රතිශක්තියට පවා ප්‍රතිරෝධය දක්වන වෛරසයකි.

එන්නත්කරනය ගම්පොලදී

ලංකාව දූපතක් වුවද ලෝක ආර්ථිකයට තදින් ඒකාග්‍ර වී ඇති තතු තුල ජාත්‍යන්තරව පැතිර යන විනාශකාරී නව ප්‍රභේද ලංකාව තුල පැතිරීම අහඹුවක් නොවේ. ලංකාව තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය තුල, බ්‍රිතාන්‍යයේ පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය පෙරමුනේ සිටින බව වෛද්‍ය ජීවන්දර සඳහන් කල බව ජූනි 14 වනදා සිරස රූපවාහිනිය වාර්තා කලේය.

ඔහු එහිදී සඳහන් කර තිබුනේ පසුගිය වසරේ අග පටන් මේ වසරේ අප්‍රේල් මුල් වන තෙක් ලංකාව තුල ප්‍රමුඛ ප්‍රභේදය වී තිබුනේ මෙරටට ආවේනික B1.411 බවත් ඉන් පසු ඇල්ෆා ප්‍රභේදය පෙරමුනට පැමින ඇති බවයි. මෙයින් පෙන්නුම් කරන්නේ වසංගතය පාලනයකින් තොරව පැතිරෙන තත්වය තුල ඩෙල්ටා වැනි ප්‍රභේද පෙරමුන ගැනීමේ අනතුරයි.

ඊයේ උදෑසන වාර්තා වලට අනුව ලංකාවේ මුලු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 230,692 ක් වන අතර, මුලු  මරන සංඛ්‍යාව 2,315කි. රෝහල් තුල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ජූනි මාසය පුරා කිිසිදු සැලකිය යුතු වෙනසකින් තොරව 30,000 සීමාවට ඉහලින් පවතී. ඊයේ එම අගය 34,232කි. 

ජූනි මාසයේ මුලදී  3,000 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වුවද, දැන් එය 2,400 කට පහල බැස ඇත්තේ වසංගතය පාලනය කිරීමක් නිසා නොව, පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව පහල දැමීම හේතුවෙනි. ජූනි 15 දා, මාසයකට පසු අඩුම පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව (15,214) වාර්තා කලේය. ගතවූ දින හතේ දෛනික පරීක්ෂන සාමාන්‍යය 18,203 ක් වැනි සීමිත අගයකි. 

කෙසේ වෙතත්, පරීක්ෂාවට ලක් කෙරෙන පුද්ගලයන්ගෙන් සියයට 14ක් වැනි ඉහල අගයක් ආසාදිතයන් බව තහවුරු වෙයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව පසුගිය සතිය තුල එහි සාමාන්ය දෛනික ප්රතිශතය සියයට 13.8 කි. මෙම දත්ත පෙන්නුම් කරන්නේ ලංකාව තුල වසංගතය කිසිදු බාධාවකින් තොරව පැතිර යන බවයි.

ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 35 ගුනයකින් වැඩි කිරීමට ඩෙල්ටා වෛරසය හේතු කාරක විය. බ්‍රිතාන්‍යය තුල දත්ත වාර්තා කරන ආකාරයට එය සාමාන්‍ය වෛරසයට වඩා 4.1 ගුනයකින් සහ ඇල්ෆා ප්‍රභේදයට වඩා 2.61 ගුනයකින් ආසාදනයවීම්  වැඩි කර තිබේ. ලංකාවේ රෝහල් පද්ධතියේ ධාරිතාව දැනටමත්  ඉක්මවා පවතින තත්වය තුල, මෙම ප්‍රභේදය පැතිරුනහොත් මරන සංඛ්‍යාව වේගයෙන් ඉහල යනු ඇත. 

මෙම වැඩෙන අන්තරාය, දෛනික පීසීආර් පරීක්ෂන දැවැන්තව ඉහල දැමීමේ සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල නතර කිරීමේ හදිසිභාවය මතු කර ඇත. නමුත් ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව, ලොවපුරා අනෙක් ආන්ඩු මෙන්ම, ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වගෙනයාම සඳහා එම පියවර මුලුමනින්ම ඉවත දමා ඇත.

වසංගතයේ ව්‍යාප්ති මධ්‍යස්ථාන බවට පත්ව තිබෙන ඇඟලුම් කම්හල් ඇතුලු වෙනත් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන විවෘතව පැවතියදී ආන්ඩුව විසින් පනවා ඇති ව්‍යාජ සංචරන සීමා වල බලපෑම නොගිනිය හැකි තරම් ය. ආන්ඩුව, මෙම ක්ෂේත්‍රයන් තුල නිල නොවන  අත්‍යවශ්‍ය සේවා තත්වයක් පවත්වාගෙන යයි. 

එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන් කලේ පොලීසියේ වාර්තා වලට අනුව දිනකට 88,000 ආසන්න වාහන සංඛ්‍යාවක් කොලඹ නගරයට ඇතුලු  වන බවයි. මෙම තත්වය නව ප්‍රභේදවල පැතිරීමට කොන්දේසි සකසා ඇත.

ශ්‍රී  ලංකා වෛද්‍ය  සංගමයේ සභාපති පද්මා ගුනරත්න ජූනි 16 දා මාධ්‍යයට පවසා තිබුනේ “භයානක තත්ත්වය පහව ගියා කියන එක අපිට කොහෙත්ම තාමත් කියන්න විදිහක් නොමැති” බවයි.  සංචරන සීමා වල ව්‍යාජභාවය ගැන සඳහන් කරමින් “අපි හැමෝටම සැකයක් තියෙනවා මේක අගුලු දාල ද නැද්ද කියන එක. ඒ තරම්ම ප්‍රජාව අපි සමාජයේ දකිනවා” යැයි කීවාය. “අලුත් ප්‍රභේද අපේ එන්නතට අහු නොවිය” හැකි බව සඳහන් කල ඇය සංචරන සීමා තවදුරටත් දීර්ඝ කල යුතු බව ද පැවසුවාය..

සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්එලිය ජූනි 14 වනදා එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුනේ, පරීක්ෂන කිරීම, ආසදිතයින් හඳුනාගැනීම සහ හුදෙකලා කිරීම යන තීරනාත්මක කාරනා තුනේ බිඳ වැටීමක් පෙන්නුම් කරන බවයි. ඒ හේතුවෙන්  වසංගතයේ පැතිරීම ගැන යතා අවබෝධයක් ඇතිකර ගත නොහැකි බව ඔහු සඳහන් කරයි. කෙසේ වුවත්, පනවා ඇති "සංචරන සීමා" වසංගතය පැතිරීමේ වේගය අඩු කිරීමට අසමත් වී ඇති” බව ද රන්නන් එලිය වැඩි දුරටත් කියා ඇත.

කෙසේ නමුත්, ආන්ඩුව කනස්සල්ලට පත් ව සිටින්නේ සීමිත සංචරන සීමා මගින් පවා ධනපතියන්ට අහිමී වී ඇති ලාභය පිලිබඳවයි. ජූනි 15 වනදා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ ඒ හේතුවෙන් සිදුව ඇති මූල්‍යමය පාඩුව රුපියල් කෝටි 45,000 ඉක්මවන බවයි.  

කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ ‌සාපරාධී නොතැකීම එන්නත්කරනයේ මන්දගාමිත්වයෙන් සහ අවිධිමත්භාවයෙන් ද ප්‍රකාශයට පත්වෙයි. ලංකාව තුල කුමන හෝ එන්නත් වර්ගයකින් මාත්‍රා දෙකක් ලබාගත් පිරිස 349,745කි. එක් මාත්‍රාවක් හෝ ගෙන ඇත්තේ 1,691,562 කි. 

අනෙක් අතට ගෝලීයව පැතිර යන ප්‍රභේද ලංකාව තුල ද මතුවීමෙන් වසංගතය සම්බන්ධයෙන් ජාතික විසඳුම් වල බංකොලොත්භාවය හෙලිදරව් කර වසංගතය මැඩලීමේ ගෝලීය වැඩපිලිවෙලක අවශ්‍යතාව තහවුරු කර ඇත. නමුත් ලාභය  සහ එකිනෙකට පිලිමල් ජාතික රාජ්‍යය මත පාදක වී ඇති ධනපති ක්‍රමය එවන් වැඩ පිලිවෙලකට මුලුමනින්ම අසමත් ය.

Loading