වතු ගනනාවක කම්කරුවෝ වැඩවේගවත් කිරීමට එරෙහිව අරගලයට පිවිසෙති

බොගවන්තලාව කොටියාගල වත්තේ කම්කරුවන් වැඩ වේගවත් කිරීමට එරෙහිව තෙමසක් පුරා ගෙනගිය වර්ජනය, රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ඇමතියෙකු වන ජීවන් තොන්ඩමන් දුන් පොරොන්දුවක් මත ජූනි 15 දා නිමාවට පත්විය. තොන්ඩමන්, වැවිලිකරයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය දරයි.

කෙසේ නමුත්, ජූනි 16 දා උදේ නැවත සේවයට වාර්තා කල කම්කරුවන්ට වැඩදීම ප්‍රතික්ෂේප කල පාලකයන් ඔවුන් ආපසු හරවා යවා ඇත. ස්ත්‍රී කම්කරුවන් බොහෝ දෙනෙකු සිරිත් පරිදි උදේ පෙරෙට්ටුවට සහභාගි නොවී කෙලින්ම වැඩට ගොස් දවස පුරා නෙලූ දලු භාර දීමට ගෙනගිය විට ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුනි. පසුව, තේ කම්හලේ දොරටුවේ දලු කූඩ තබා කම්කරුවෝ ආපසු නිවෙස් බලා ගියහ.

කොටියාගල වත්තේ කොටස් තුනකට අයත් සිය ගනනක් වන කම්කරුවන් වැඩ වර්ජනය කලේ එතෙක් දෛනික ව කැඩූ දලු කිලෝ 13ට අමතර ව කිලෝ 5ක් කැඩිය යුතු යැයි පාලකයන් කල බලකිරීමට එරෙහි ව ය. පාලකයන් විවිධ හේතු දක්වමින් දලු කිලෝ 5 ක් පමන කපා හරින තතු යටතේ, ඉහත ඉලක්කය සැපිරීමට කම්කරුවෙකු කිලෝ 23කට ආසන්න ව දලු කැඩිය යුතු ය. සමහර අවස්ථාවල දී කොටියාගල කම්කරුවෝ කිලෝ මීටර් 14ක් ඇවිදිමින් වැඩ කරති. 

ඩ්‍රේටන් ලිපිය

වතුකරයේ තවත් වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) නිලධාරියෙකු පසු ගිය අඟහරුවාදා පාලකයන් හමු වී සාකච්ඡාවකට සූදානම් වූ බව දැනගත් ජීවන් තොන්ඩමන්, වහා ම කොටියාගල වත්තට ගොස් කම්කරුවන් හමුවී ඊලඟ දවසේ සිට කිලෝ 13ක් පමනක් දලු කඩන ලෙස උපදෙස් දී, ඒ සම්බන්ධයෙන් වගකීම තමන් භාර ගන්නා බව පවසා ඇති බවට තොරතුරු හෙලි වී ඇත. කෙසේ නමුත්, තොන්ඩමන් වතු පාලකයන් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැත. 

ඊට පෙර, ජූනි 10 වැනිදා, කිලෝ 18 ඉලක්කය සමාගමට සපුරාදෙනුවස් කම්කරුවන් පස් දෙනෙකු වැඩට බැස්සවීමට සීඩබ්ලිව්සී ය කුමන්ත්‍රනය කලේය. එයට එරෙහිව තම කෝපය ප්‍රකාශ කල සියයට වැඩි කම්කරු පිරිසක් පාර හරස් කොට වත්තේ කලමනාකරුවන් නවත්වා ඔවුන් සමග වාද කලහ.

වතු කම්කරුවන්ට ආන්ඩුව නියම කල රුපියල් 1000ක දෛනික වැටුප ලබා දීම ප්‍රතික්ෂේප කල පාලකයෝ ඒ වෙනුවට වැඩ වේගවත් කිරීම, වැඩ දවස් අඩු කිරීම සහ පඩි කැපීම ආරම්භ කලහ. බොහෝ වතු සමාගම්, දලු කිලෝවකට රුපියල් 50 බැගින් කිලෝ 20ක් නෙලුවොත් පමනක් පඩිය ලෙස රුපියල් 1000 ගෙවන්නේ යයි කම්කරුවන්ට බලපෑම් කරති.  එයට අඩු වුනොත් දවස් භාගයේ පඩිය ද අමතර කිලෝවකට රුපියල් 50ක් බැගින් ද ගෙවනු ලබයි. වතුවල සතියකට දවස් තුනක් පමනක් වැඩ දීම වැටුප් වියදම කප්පාදු කිරීමේ තවත් ක්‍රමයකි. 

මෙම ප්‍රහාරයට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට, මස්කෙලිය, බොගවන්තලාව, හැටන්, දික්ඔය සහ තලවාකැලේ වැනි ප්‍රදේශයන්හි විවිධ වතුවල දහස් ගනනක කම්කරුවෝ මෙම ප්‍රශ්නය මත වැඩ වර්ජන සහ පිකට් උද්ඝෝෂනවල යෙදුනාහ .

  • පසුගිය බදාදා මස්කෙලිය ලංකා වත්තේ කම්කරුවෝ කිලෝ 20ක් කැඩීමේ පාලකයන්ගේ නියමයට එරෙහි ව දලු කිරන තැන පිකට් උද්ඝෝෂනයක් සිදු කලහ. ඔවුන් දිනකට කැඩුවේ කිලෝ 16කි. තුන් වතාවකට දෛනික දලු කිරීම සිදු වන අතර ඒ සෑම අවස්ථාවක දී ම කිලෝ දෙකක් බැගින් කිලෝ 6ක් පාලකයන් කපා හරින නිසා දිනකට කිලෝ 26ක් නෙලීමට බල කෙරී ඇත. නමුත්, එපමන දලු ඵලදාවක් නැති බව කම්කරුවෝ පවසති. කිලෝ 20ක් නෙලුවේ නැති නම්  අර්ථ සාධක අරමුදලට රුපියල් 2.50ක් කපා ගෙන කිලෝ එකට රුපියල් 47.50 බැගින් පඩියක් පාලකයෝ ගෙවති.
    බොහෝ වතුවල මෙන් ම ලංකා වත්තේ පාලකයෝ ද තාවකාලික කම්කරුවන් ස්ථිර කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් වෙනුවෙන් අර්ථ සාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් පවත්වා ගෙන යන්නේ නැති ව මූලික වැටුප රුපියල් 600ක් පමනක් ගෙවති.
  • මස්කෙලිය ග්ලෙන්ටිල් වතු යායේ කොටස් 5කට අයත් කම්කරුවෝ කිලෝ 20ක ඉලක්කයට එරෙහි ව පසුගිය සතියේ දවස් තුනක් වැඩ වර්ජනය කලහ. එන්යූඩබ්ලිව්  නිලධාරීන් කල සාකච්ඡාවෙන් පසු එම ඉලක්කය අත හැරි බවට වාර්තා කෙරී ඇත. 
කොටගල ඩ්රේටන් වත්තේ ඩීටී කොටසේ කම්කරුවෝ අද, ජුනි 21 වන දින, පැවැත්වූ විරෝධතාව
  • කොටගල ඩ්රේටන් වත්තේ ඩීටී කොටසේ කම්කරුවෝ අද, ජුනි 21 වන දින, විරෝධතාවක් පැවැත්වූහ. සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල කිලෝග්‍රෑම් 20 ක් දලු කැඩුවේ නම් පමනක් බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වැඩ දෙන බව සහ කිලෝග්‍රෑම් 20 ක් කැඩුවේ නැති නම් වැඩ නොදෙනු ඇති බව දන්වමින් පරිපාලනය කම්කරුවන්ට යැවූ ලිපිය විරෝධතාවයට හේතු වී ඇත. 
  • බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ පෝවෛ වත්තේ කම්කරුවෝ ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමන්ගේ උපදෙස් අනුව පසුගිය සතිය පුරා කැඩුවේ දලු කිලෝ 5ක් පමනි. පෝවෛ වත්තේ පරිපාලනය ද ඉහත ඉලක්කය සපුරන්නේ නැති කම්කරුවන්ට ගෙවුවේ පඩි භාගයක් පමනි. පසු ව සෙන්දිල් තොන්ඩමන් සමග සාකච්ඡාවෙන් පසු ව මෙම බලපෑම අත හැර ඇත.

වෘත්තීය සමිතිවල මෙම සාකච්ඡා කම්කරුවන් අතර විරුද්ධත්වය ව්‍යාප්තවීම වැලැක්වීමේ ක්‍රියාවක් පමනි. සමස්තයක් ලෙස වැඩ වේගවත් කිරීම සම්බන්ධ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති කම්කරුවන්ව මුලුමනින් ම අතැර දමා ඇත. සීඩබ්ලිව්සී ය නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමට ඍජුව ම යෝජනා කරන අතර, එයට එරෙහි ව නැගෙන කම්කරු විරෝධය පූච්චානම් මගින් නොමග යැවීමේ වැඩකටයුතු අනික් වෘත්තීය සමිති විසින් කරනු ලබයි. 

1990 දශකයේ මුල් භාගයේ දී වතු පෞද්ගලීකරනය කිරීමෙන් පසු සෑම වසර දෙකකට වරක් වතු සමාගම් සමග අත්සන් කෙරුනු 'ද්වි-වාර්ෂික වැටුප් ගිවිසුම්' හරහා කම්කරුවන්ගේ වැඩ වේගවත් කිරීමට සීඩබ්ලිව්සී ය සම්මාදම් විය. අනෙකුත් වෘත්තීය සමිතිවල ව්‍යාජ විරෝධය තිබිය දී මෙම වැඩපිලිවෙල ඉදිරියට ගිය අතර අද එය කිලෝග්රෑම් 20 දක්වා වැඩි කර ඇත.

ආන්ඩුව රුපියල් 1000 වැටුප නිවේදනය කල පසු වැඩ වේගවත් කිරීම සම්බන්ධයෙන් අනිකුත් වෘත්තීය සමිතිවල කුහක විවේචනවලට පිලිතුරු දුන් සීඩබ්ලිව්සී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් වැඩ වේගවත් කිරීම නරුම ලෙස සාමාන්‍යකරනය කලේ මෙසේය: “වත්ත තිබුනොත් තමයි අපිට රැකියාව. රැකියාවක් තිබ්බොත් තමයි වත්ත. ඔයගොල්ලො දන්නවා සෑම පඩි සාකච්ඡාවක් අවසානයේ ම කිලෝවක් කිලෝ දෙකක් වැඩි කිරීම සාමාන්‍ය දෙකක් බව.”

සීඩබ්ලිව්සීය විසින්, වැඩ වේගවත් කිරීමට එරෙහි අරගල වලකාලීම දීම සඳහා, රුපියල් 1000 වැටුපට එරෙහි ව සමාගම් විසින් පවරා ඇති නඩුව ඩැහැ ගෙන ඇත. සූරියන් එෆ් එම් ගුවන් විදුලියට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ජීවන් තොන්ඩමන්, “අපි වැඩ කරන දින සහ අමතර කිලෝ ගැන කතා නොකරන්නේ උසාවියේ නඩුවක් ඇති විට අපට ඒ ගැන කතා කල නොහැකි නිසා; මේ නිසා කිසිදු ක්‍රියාමාර්ගයක් අපි අර ගන්නේ නෑ” යැයි වංචනික ලෙස ප්‍රකාශ කලේ ය.

තොන්ඩමන් මෙහි දී තව දුරටත් සඳහන් කල දෑ දුරදිග යන ඇඟවුම් සහිත ය. අලුත් සාමුහික ගිවිසුමක් සූදානම් කරන බව සඳහන් කල ඔහු “ඉක්මනින් ම ජනතාවට හොඳක් කල හැකි ක්‍රමයක් ගේනවා” යැයි සඳහන් කල හුස්මෙන් ම “මට දවසේ පඩිය විශ්වාස නෑ. ඒවා සුද්දන්ගේ කාලයේ තිබ්බ සිස්ටම්” යැයි ප්‍රකාශ කලේ ය.

මෙහි දී තොන්ඩමන් විසින් යෝජනා කරන ලද ‘ක්‍රමය’ යනු සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්, විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් ඇතුලු වැටුප් ක්‍රමය ඉවත් කිරීම සඳහා වතු සමාගම් දිගු කලක් තිස්සේ නිර්දේශ කර ඇති ආදායම් බෙදා ගැනීමේ ක්‍රමයයි. දැනටමත් මෙම ක්‍රමය ක්‍රියාවට දැමූ වතුවල කම්කරුවෝ එම ක්‍රමය ඉවත් කිරීමට පාලකයන්ට බල කරති.

තමන් තවදුරටත් වැටුප් වැඩිවීමක් සඳහා සටන් කිරීමට සූදානම් නැති බව අවධාරනය කල තොන්ඩමන්, “අපට රුපියල් දහසක් ලැබී ඇති අතර තවදුරටත් රුපියල්  1,500 ක් ඉල්ලා රන්ඩු කල නොහැකිය.” යයි පවසා නව ක්‍රමය පිලිබඳව සමාගම් සමඟ සාකච්ඡා කල බව ද පැවසීය.

සමාගම් සහ කම්කරුවන් යන දෙපිරිසට ම ප්‍රතිලාභ ලැබියයුතුයැයි පැවසූ තොන්ඩමන් ඉන්දියාවේ සහ ලංකාවේ නිෂ්පාදන ඵලදායීතාවය සන්සන්දනය කරමින් කුරිරු සූරාකෑමේ සැලැස්මක් යෝජනා කලේය. “1960 ගනන්වල සිට අද දක්වා අපගේ ජාතික දෛනික තේදලු නිෂ්පාදනය වැඩිව ඇත්තේ  260,000 සිට 360,000 පමනයි. ඉන්දියාවේ නැවත වගා කිරීමෙන් තොර ව, ලංකාවේ තේ ගස් ප්‍රමානයට සමාන වූ වගාවකින් නිෂ්පාදනය කෙරෙන දලු ප්‍රමානය මිලියනයත් ඉක්මවා වැඩිකරගෙන තියෙනවා. ඔවුන්ගේ පටන් ගත්තේ අපි වගේ ම ලක්ෂ දෙකෙන් තමයි. මෙම ක්‍රමය වෙනස් කලොත් පඩියට පමනක් නොව ආර්ථිකයටත් විසඳුමක් ගේන්න පුලුවන්” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

දකුනු ඉන්දියානු ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ දවසේ වැටුප ඉන්දියානු රුපියල් 340ක් වන අතර, කම්කරුවෙකුගේ දෛනික ඉලක්කයේ සාමාන්‍යය දලු කිලෝ 30 කි. ඒ වගේ ම පුද්ගලික වතුවල රුපියල් 250 සිට 300 දක්වා දවසේ පඩියට කිලෝ 30 සිට 35 දක්වා වූ ඉලක්කයකින් දලු කැඩිය යුතු ය. ඇසෑම් ප්‍රාන්තයේ වතු කම්කරුවන්ට දවසේ පඩිය රුපියල් 167 සිට රුපියල් 205 දක්වා යම්තම් වැඩි කලේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය. 2016 පල වූ පරීක්ෂන වාර්තාවකට අනුව දලු කඩන ප්‍රමානය කිලෝ 40 සිට 60 දක්වා වැඩි කිරීමට බල කෙරී ඇති බව සඳහන් වෙයි.

තොන්ඩමන්ට අනුව, කිලෝ ලක්ෂ දෙකකින් ආරම්භ කල නිෂ්පාදනය කිලෝ ලක්ෂ 10 කට වඩා වැඩිකරගෙන ඇත්නම්, එය විය හැකි වන්නේ, අති මූලික වශයෙන්ම, ඉමහත් වැඩ වේගවත් කිරීමකින් සහ වැඩ කාලය දීර්ඝ කිරීමකින් පමනි.

වැටුප් සහ ආර්ථිකය විසඳීමේ තොන්ඩමන්ගේ ක්‍රමය මෙයයි. ඉන්දියාවේ වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳී ඇති අයුරු ඔවුන්ට මෙතෙකුදු ලැබෙන වැටුපෙන් පැහැදිලිව පෙනේ. ඉහත දත්ත අනුව එහි සාමාන්‍යය එජ ඩොලර් 4 ක් පමන වූ සොච්චම් අගයකි. කෙසේ නමුත්, වැඩ වේගවත් කිරීම මගින් ඉන්දියාවේ වැවිලි සමාගම් වල ලාභය දැවැන්ත පරිමානව ඉහල නැග ඇත.

සමාගම් සහ සීඩබ්ලිව්සී ය එක්ව මෙම ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය ලංකාව තුල කෙසේ හෝ ස්ථාපිත කිරීමට යත්න දරන්නේ, ඉන්දියාවේ මෙන්ම ශ්‍රම සූරාකෑම තීව්‍රකොට සමාගම් වල ලාභපොදි තරකර දීමට මිස, කම්කරුවන්ගේ යහපත තකා නොවේ. ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන වැනි සමිති ඇතුලත් දෙමල  ප්‍රගතිශීලී සන්ධානය “කම්කරුවන්ට වතු බෙදා හැරීම සහ වතු කම්කරුවන් ඉඩම් හිමියන් බවට පත් කිරීම” යන නාමයෙන් මෙම ශ්‍රම කොල්ලකෑමට අද්වකාත් කම් කරති.

වැඩ දින කපා හැරීම හේතුවෙන් තිබූ සොච්චම් ආදායම ද අහිමි වී ඇති තතු තුල, අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යාම සහ දරුවන්ගේ අන්තර්ජාල අධ්‍යාපන කටයුතු සඳහා වන අධික වියදම් හේතුවෙන් වතු කම්කරුවෝ දැඩි පීඩාවකට පත්ව සිටිති. නිසියාකාරව නතු නඩත්තු නොකිරීම හේතුවෙන්, කූඩැල්ලන්, බඹරුන්, සර්පයන්ගෙන් සහ දිවියන්ගෙන් ජීවිත තර්ජනවලට ද ඔවුහු මුහුන දී සිටිති. සියල්ලට ම වඩා කොවිඩ්-19 වෛරසය වතුකරයේ ද පැතිර යන තත්ත්වයක් තුල, ඇඟලුම් කර්මාන්ත කම්කරුවන්ට මෙන් ම, වතු කම්කරුවන්ට ද කිසිම සහනාධාරයක් නැති ව ජීවිතය පරදුවට තබා වැඩ කිරීමට බල කෙරී ඇත. ඔවුන්ගෙන් මෙම අනාරක්ෂිත වැඩ කොන්දේසි යටතේ වැඩ ගැනීමට වෘත්තීය සමිති සහයෝගී ව ඇත.

මෙම තත්ත්වයන් තවදුරටත් ඉවසිය නොහැකි කම්කරුවන් වෘත්තීය සමිතිවල ඇබගැසීම් නොතකා අරගලවලට පැමිනීම සම්බන්ධයෙන් ඇස්කන් ඇර ගෙන සිටින තොන්ඩමන්, අනිකුත් වෘත්තීය සමිතිවල සහයෝගය ඇති ව කම්කරුවන්ට විරුද්ධ ව පොලිස් මර්දනය මුදා හැරීමට ඍජුව ම සහභාගී වෙයි. පසුගිය පෙබරවාරි මාසයේ දී මස්කෙලියට ආසන්න ඕල්ටන් වත්තේ කම්කරුවෝ රුපියල් 1000 වැටුප් වැඩි වීම ඉල්ලමින් දිගට ම ගෙන ගිය අරගලයේ දී වතු කලමනාකරුගේ නිවස ඉදිරිපිට කල විරෝධය ඩැහැගත් පාලකයෝ සහ පොලිසිය කම්කරුවන් මත පොලිස් මර්දනයක් මුදා හැරියෝ ය. 

මෙම මර්දනයට ඍජුව ම සහභගීවූ සීඩබ්ලිව්සීය එම කම්කරුවන් සිරගත කිරීමටත් වැරදිකරුවන් ලෙස උසාවියට දැක්කීමටත්, අවසාන වශයෙන් කම්කරුවන් 40 දෙනෙකු පමන රැකියාවෙන් දොට්ට දැමීමටත් සහයෝගය දුන්නේ ය. දැන් ඕල්ටන් වත්තේ පොලිස් මුර පොලක් ස්ථිපිත කිරීමට ද සූදානමක් පවතී. ඊට පෙර නුවර එලිය පාර්ක් වත්තේ සිදු වූ අරගලයෙන් පසුවත් කම්කරුවන් මත පොලිස් මර්දනය දිගේලි කිරීමට සීඩබ්ලිව්සී සහයෝගය දුන්නේ ය. මෙම ක්‍රියාවන්ට සෙසු වෘත්තීය සමිති නිහඬ ව සහයෝගය දෙති. 

වතු කම්කරුවන් අද මුහුන දී ඇති ගැටලු ලෝකය පුරා ම ආන්ඩු ගෙන යන කප්පාදු වැඩපිලිවෙල නිසා කම්කරුවන් මුහුන දෙන ගැටලුවල කොටසකි. සීඩබ්ලිව්සී පමනක් නොව ලංකාවේ අනික් වෘත්තීය සමිති ද ලෝකය පුරා ම සිටින වෘත්තීය සමිති ද ධනපතියන්ගේ ලාභය වෙනුවෙන් ජීවිත පුද කලයුතු යයි කම්කරුවන්ට බල කර සිටිති. මේ නිසා කම්කරුවෝ අද වෘත්තීය සමිතිවල පාවා දීම්වලට එරෙහි ව අරගලවලට පිවිසෙමින් සිටිති.

ලොවපුරා කම්කරුවන්ගේ අරගල සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ කිරීම සඳහා, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි අන්තර්ජාල මැයි දින රැස්වීමේ දී කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩ නැගීමේ වැඩ කටයුතු ආරම්භ කලේ ය. වතු කම්කරුවන් තමන්ගේ රැකියා කොන්දේසි සහ සමාජ අයිතීන් සඳහා ගෙනයන සටන සාක්ෂාත් කල හැක්කේ ඓතිහාසික ව බංකොලොත් වූ මෙම වෘත්තීය සමිතිවලින් වෙන් වී ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් මෙම සන්ධානයට ඒකාබද්ධ වීමෙන් පමනි.

Loading