ඉතිහාසයේ මෙම සතිය: ජූනි 14-20

වසර 100 කට පෙර: දකුනු චීන ජාතිකවාදී රජය ඇමරිකානු සහයෝගය ඉල්ලා සිටී

සූන් යත්-සෙන් (ගුවැන්ෂු නගරයේ දී ගත් ඡායාරූපයකි)

1921 ජුනි 16 වන දින, දකුනු චීනයේ ගුවැන්ෂු (කැන්ටනය - Guangzhou - ගුවැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය) ජනරජයට අලුතින් තේරී පත් වූ ජනාධිපති සූන් යත්-සෙන් (Sun Yat-sen), ඔහුගේ “චීනයේ ජනාධිපති” පදවිය එම දකුනු ප්‍රදේශ සීමාවෙන් පිටත එතරම් පිලිගැනීමට ලක් නොවුවත්, තම රජය පිලිගන්නා ලෙස ඔහු ඇමරිකානු ජනාධිපති වොරන් හාඩිං (Warren Harding) වෙතින් ඉල්ලා සිටියේ ය.

සන් විසින් 1912 දී චීන ජාතිකවාදී ව්‍යාපාරය වන කුවොමින්ටැං (Kuomintang) ආරම්භ කරන ලදී. ඔහුගේ පක්ෂයට චීනය එක්සත් කර ශක්‍ය ජාතික රාජ්‍යයක් පිහිටුවීමට 1920 දශකය වන විටත් නොහැකි වී තිබිනි. එකල චීනය තුල පාලනය ගෙන යනු ලැබුවේ යුද-ස්වාමිවරුන්ගේ (warlords) ප්‍රතිවාදී කල්ලි කන්ඩායම් විසිනි. ඒ අතර ජාත්‍යන්තරව පිලිගත් බීජිං හි පිහිටි බෙයැන්ග් (Beiyang) ආන්ඩුවේ ආධිපත්‍යය දැරූ කන්ඩායම ද විය. එම කන්ඩායමට ඇති ජාත්‍යන්තර පිලිගනිම යුධ-ස්වාමිවරුන්ගේ ගැටුම් වලට එක් හේතුවක් විය. එමෙන්ම, වැඩී එන ජපාන අධිරාජ්‍යවාදයේ බලපෑම ද විය.

ගුවැන්ග්ෂුහි සූන්ගේ ආන්ඩුව ගුවැන්ග්ඩොන්ග් පලාත පාලනය කලේ එම ප්‍රාන්තයේ මිලිටරි ආන්ඩුකාර චෙන් ජියොන්ග්මිං (Chen Jiongming) යටතේ ය. ඔහු සූන්ව බලයට පත් කල නමුත්, විවිධ ප්‍රාදේශීය යුධ-ස්වාමිවරුන්ගේ සන්ධානයන් සහ ගැටුම් මධ්‍යයේ, දකුනු දිගින් වූ ගුවැන්ක්සි ප්‍රාන්තයට එරෙහි ව බලය රඳවාගෙන සිටියේ ඉතා අසීරුවෙනි.

එක්සත් ජනපදය සූන්ගේ ඉල්ලීම නොසලකා හැර ඊට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කල අතර එම නොවැම්බර් මාසයේ පැවති නාවික සමුලුව තුල ඔහුගේ ආන්ඩුවට අසුනක් පැනවීමට පවා අකමැති විය. නිව්‍යෝක් ටයිම්ස් පුවත්පත කතුවැකියකින් ඉල්ලා සිටියේ එම සමුලුව තුල බෙයිජිං සහ ගුවැන්ෂු ආන්ඩු දෙකම නියෝජනය විය යුතු බව යි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු ආයෝජකයින්ට ගුවැන්ෂු රජය සමඟ ගනුදෙනු කිරීම තහනම් කලේය. එය, සූන් යත්-සෙන්ගේ නෛතිකභාවය සහ ඔහුගෙන් කිසිදු තර්ජනයක් නොමැති බව පෙනෙද්දී පවා, විප්ලවවාදී ජාතිකවාදය වැලඳගත් ඕනෑම තැතකට වොෂිංටනයේ සතුරුකම සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන ආකාරය විය.

සූන්, 1925 දී පිත්තාශයේ පිලිකාවෙන් මිය ගියේ ය. ඔහුට ජාතික එකමුතුවේ ඉලක්කය සපුරා ගත නොහැකි වූ අතර චීනයේ නායකයා ලෙස අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පිලිගනු ලැබුවේ ද නැත. එය ඉටු කරනු ලැබුවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ චියැං කායි-ෂෙක් විසින්, 1927 චීන විප්ලවයේ ලෙයින් ගිල්වමින්, අධිරාජ්‍යවාදීන් ඉදිරියේ තමන්ව ඔප්පු කර පෙන්වමිනි.

Loading