සහනාධාර වෙනුවෙන් උද්ඝෝෂනය කල වැලිඔය වතු කම්කරුවන් පොලිස් අත්අඩංගුවට ගනී

හැටන් නගරයට ආසන්න වැලිඔය වතුයායේ කොවිඩ් -19 නිරෝධායන සහනයක් ඉල්ලමින් සහ වතු පාලනාධිකාරියේ මර්දනයට විරෝධය පලකරමින් උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවන් 12 දෙනෙකු වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කම්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රශ්න කිරීම් සිදුවන බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා සවස අත්අඩංගුවට ගත් කම්කරුවන් 12 දෙනා පොලීසියේ රඳවා ගැනීමෙන් පසු සෙනසුරාදා හවස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි. එහිදී, කිසිදු ආදායමක් නොමැතිව මාසයක් තිස්සේ නිරෝධායනය වී සිටි මෙම සෑම දුප්පත් කම්කරුවෙකුටම රුපියල් 5,000 බැගින් මුදල් ඇප නියමකර ඇත.

නමුත්, එම ඇපය ගෙවා නිදහස් වීමට උසාවියේ සේවකයින් නොමැති වීම නිසා ඔවුහු දැන් මහනුවර බන්ධනාගාරයේ රඳවා සිටිති. ඔවුන් නැවත සඳුදා උසාවියට ගෙන එන බව කලින් සඳහන් කලද එය අඟහරුවාදා ට කල් දමා ඇත.

කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය ජුනි 15 උද්ඝෝෂනය කරනවිට වතු කලමනාකරන සේවකයන් කිහිපදෙනෙකු කාර්යාලයේ සිර කර ඇති බවට පාලකයින් විසින් දැමූ බොරු පැමිනිල්ලක් මතයි. අනවසරයෙන් කාර්යාලයට ඇතුලුවීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ කාර්ය මන්ඩල සේවකයින් සිරකරගෙන සිටීම යන චෝදනා එල්ල කර ඔවුන්ට නඩු පවරන්නට පොලිසිය සූදානම් වේ. කම්කරුවෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.

වැලිඔය වත්ත නිරෝධායනයෙන් මුදා හැරුනු පසුගිය 15 වන දින පැවති විරෝධතාව ( ඡායාරූප අනුග්‍රහය කේ. ක්‍රිෂාන්තන්) [Photo: K. Kishanthan]

වැලිඔය වත්ත නිරෝධායනයෙන් මුදා හැරුනේ පසුගිය 15 වන දිනයි. මාසයක් තිස්සේ දරිද්‍රතාවයට හා පරිපාලනමය හිංසනයට එරෙහි කෝපය හිර කරගෙන සිටි කම්කරුවෝ එදින තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරියට පැමිනියහ. 

එම උද්ඝෝෂන අතරතුර, පොලිසිය මැදිහත් වී කම්කරුවන්ගේ අවශ්‍යතා ලබා දෙන බවට සඳහන් කරන වීඩියෝ පට මාධ්‍යයේ විකාශනය කෙරිනි. එතැන් සිට කම්කරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ඉහත චෝදනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙලි නොවීය.

වැලිඔය වතු කම්කරුවන්ට එරෙහි මෙම දඩයම මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට විරුද්ධව වතු සමාගම හා පොලීසිය දියත්කර ඇති දඩයමට සමානය. පසුගිය පෙබරවාරියේදී රුපියල් 1,000 දෛනික වැටුපක් ඉල්ලා කරන ලද වැඩ වර්ජනයේදී, ඕල්ටන් කම්කරුවන් වතු කලමනාකරුගේ නිවෙස ඉදිරිපිට කල උද්ඝෝෂනයක් ඩැහැගත් පාලකයන් කලමනාකරුට පහරදුන් බවට කල පැමිනිල්ලක් මත පොලීසිය විටින්විට කම්කරුවන් 24 දෙනෙකු සහ තරුනයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තේය.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), අත්අඩංගුවට ගත් කම්කරුවන්ගේ නම් ලැයිස්තු සකස්කරගැනීමට පොලිසියට උදවු වූ අතර ඇතැම්  අය පොලීසියට භාරදීමට ද ඉදිරිපත් විය. මෙම ඍජු පාවාදීමේ උදව්ව ඇතිව හොරන වැවිලි සමාගම කම්කරුවන් 38 දෙනෙක් සේවයෙන් නෙරපීමට පියවර ගත්තේය. දැන් ඕල්ටන් වතුයායේ පොලිස් මුරපොලක් පිහිටුවීමේ සැලසුමක් ක්‍රියාත්මක වේ.

විරෝධතාවයේ යෙදුනු වැලිඔය කම්කරුවෝ ( ඡායාරූප අනුග්‍රහය කේ. ක්‍රිෂාන්තන්)

විරෝධතාවයේ යෙදුනු වැලිඔය කම්කරුවෝ,  “ආදායමක් නැතිව කන්නෙ පස්ද”, ”නිරෝධායන කරන ගම් වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදෙන සහන කෝ?”, “රු. 5,000 සහනාධාරය කෝ?”, “කොරෝනාවෙන් දුක් විඳිනවාට වඩා බඩගින්නෙන් පෙලීම දරුනුයි”, “ආදායමක් නැති ජනතාවට ජීවනෝපායට මාර්ගයක් කෝ?” වැනි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කලහ..

නිරෝධායන කාලයේ තමන්ට එල්ලවූ හිංසාවන් පිලිබඳව කතා කිරීම නිසා, වතු කලමනාකාරිත්වය  කම්කරුවන්ට අත්‍යවශ්‍ය භාන්ඩ රැගෙන යන වාහනවලට වත්තට ඇතුලුවීමට ඉඩ දුන්නේ නැත. පීසීආර් පරීක්ෂන වාර්තාව ඉල්ලූ විට ජනාධිපතිවරයාගෙන් විමසන්නැයි වතු වෛද්‍ය නිලධාරියා පවසා තිබේ. හිසරදය ඇතැයි සඳහන් කලහොත් ඔහුගේ පිලිතුර වී ඇත්තේ පීසිආර් කරන ලෙසයි. 

නිරෝධායනයේදී කම්කරුවන්ට මූලික පහසුකම් හා පීසීආර් ඇතුලු  සෞඛ්‍ය  විධිවිධාන සැපයිය යුතු යැයි සලකන සෞඛ්‍ය නිලධාරීන්, වතු පාලනාධිකාරය සහ පොලීසිය ඒවා ලබා නොදුන් බවට කම්කරුවෝ චෝදනා කරති. 

දහසකට ආසන්න කම්කරුවන් සංඛ්‍යාවක් සේවය කරන වැලිඔය වතුයායේ නිරෝධායන දිනවල, පවුලකට සමුපකාරයෙන් රුපියල් 5,000 ක් වටිනා ආහාර මිලදී ගැනීමට අවසර ලැබුනි.  එහෙත් මෙම භාන්ඩ නිසි පරිදි ඔවුන්ට ලබා ගැනීමට හැකිව නැත. 

වැලිඔය වතු තරුනයන්ගෙන් වැඩි දෙනෙක් සේවය කරන්නේ හැටන් නගරයේ වෙලඳසැල් වලය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දෛනිකව  ආදායමක් සොයා ගන්නා අය වෙති. ඔවුන් සංචාරන සීමා හේතුවෙන් කිසිදු ආදායමක් නොමැතිව පීඩා විඳිති.

වැලිඔය කම්කරුවන් අත්අඩංගුවට ගැනීම ආසන්න වසයෙන් හේතු දෙකක් ඇත. එකක් නම්, ඔවුන්ගේ උද්ඝෝෂන අනෙකුත් වතු කම්කරුවන් සහ දුගීන් ආදර්ශයට ගෙන නිරෝධායන සහන සඳහා අරගලයට පැමිනීම වැලැක්වීමයි. 

විශේෂයෙන්ම, වැලිඔය උද්ඝෝෂනයෙන් පසු එම ප්‍රදේශයේම කැරොලිනා වතුයායේ කම්කරුවන්, වැඩි වශයෙන් කාන්තාවෝ, සිකුරාදා පස්වරුවේ නිරෝධායන සහන ඉල්ලා මහපාරට පැමින පිකට් උද්ඝෝෂනයක් කලහ. පසුගිය මැයි මාසයේදී ෆෝඩයිස්  වත්තේ කම්කරුවන් නිරෝධායන සහන ඉල්ලා විරෝධතා දැක්වූහ.

අනෙක, නිරෝධායන කාලයේදී පාලකයන්ගේ හිංසනකාරී ක්‍රියා, වැඩ වේගවත් කිරීමට එරෙහිව තමන් විරෝධය පලකල නිසා ඊට පලිගැනීමක් බව කම්කරුවෝ පවසති. රජය විසින් වතු කම්කරුවන්ට රුපියල් 1,000 ක මූලික වැටුපක් ගෙවන ලෙස නිවේදනය කල අවස්ථාවේ සිට, සමාගම් විසින් වැටුප් කප්පාදු කිරීම, වැඩකරන දින ගනන අඩු කිරීම සහ වැඩි වැඩබර පැටවීමට එරෙහිව පසුගිය දිනවල වැඩුනු විරෝධතාවලට ඔවුහු ද එක්වූහ. රුපියල් දහසක පඩියක් දීමටනම්, ඉටුකල නොහැකි තරම් ඉහල තේ දලු කිලෝ ප්‍රමානයක්  නෙලන ලෙස බලකරන වතු සමාගම් එසේ කල නොහැකිවිට කම්කරුවන්ගේ පඩි කපති. 

මිනිස් ජීවිතවලට වඩා ධනපතියන්ගේ ලාභයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ආන්ඩුව ගෙනයන ප්‍රතිපත්තිය අනුව, පසුගිය වසරේ අගුලු දැමූ කාලය තුලත්, දැන් පවතින සංචරන සීමා කාලයේදිත් කිසිදු සහනාධාරයක් නොමැතිව වතු කම්කරුවන් වැඩෙහි යොදවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වතුකරය  සහ ඇඟලුම් ඇතුලු  අනෙකුත් කර්මාන්ත ශාලාවල ද සේවකයන් අතර කොවිට් -19 වෛරසය පැතිරී ඇත.

මෑත සති ගනනාවේ, නුවර එලියේ කොවිඩ් ආසාදිතයින්ගේ මුලු සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇත. පසුගිය දින 7 තුල පමනක් දිස්ත්‍රික්කයේ ආසාදන 625 ක් හඳුනාගෙන ඇති අතර නුවර එලිය දිස්ත්‍රික්කයේ 70 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. දැන් සංචරන තහනම ඉවත් කර ඇති තතුතුල තවදුරටත් වසංගතය පැතිරී මරන සංඛ්‍යාව ද ඉහල යනු ඇත. 

එකිනෙකට සම්බන්ධ ලයින් කාමර (ඡායාරූප අනුග්‍රහය ලෝසවෙඅ)

අවශ්‍ය තරම් පෝෂනය සහිත ආහාර සපයා ගැනීමේ නොහැකියාවෙන් පෙලෙන වතු කම්කරුවෝ වසංගතයට පහසුවෙන් ගොදුරු වියහැකි තත්වයන්ට මුහුන දෙති. ඔවුන් ජීවත් වන්නේ එකිනෙකට සම්බන්ධ ලයින් කාමර වලය.  ඒවා බොහොමයකට නිසි වැසිකිලි පහසුකම් පවා නොමැති අතර පොදු ජල නල භාවිතා කිරීමට බල කෙරෙයි. මෙම තත්වයන් ඔවුන් අතර කොරෝනා වෛරසය පැතිරීමට හේතු වී ඇත.. ඔවුන්ගේ දෛනික වැටුප තුල, මුහුනු ආවරන සහ විෂබීජ නාශක වැනි ආරක්ෂක උපකරන මිලදී ගැනීමට ඔවුන්ට නොහැකිය.

ආන්ඩුවේ කොටස්කරුවෙකු වන සීඩබ්ලිව්සී සහ කඳුරට ජනතා පෙරමුන, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන සහ ජාතික කම්කරු සංගමය ඇතුලු දෙමල ප්‍රගතිශීලී පෙරමුනද, කිසිම ආරක්ෂාකාරී සැලසුමකින් තොරව වතු කම්කරුවන් වැඩට ගෙනයාමට සහය දුන්නා පමනක් නොව ඔවුන්ට සහන සැලසීමට හෝ නිරෝධායන කල වතු සඳහා මූලික අවශ්‍යතා සැපයීමට කිසිදු පියවරක් ගෙන නොමැත. මෙම සමිති ආන්ඩුව හා සමාගම් සමග සෘජුව හා වක්‍රව සහයෝගයෙන් කටයුතු කරති. 

Loading