පේරාදෙනිය රෝහලේ සේවකයෝ හදිසි සේවා ස්ථාන මාරුවකට එරෙහිව විරෝධතාවයක් පවත්වති

ඈත රෝහලකට හදිසියේ මාරුකර හැරීමට බලධාරීන් ගත් උත්සාහයකට එරෙහිව පේරාදෙනිය රෝහලේ හෙද සේවකයෝ තුන්සීයකට ආසන්න පිරිසක්  ජූනි 22 උදෑසන 7 සිට 12 දක්වා පැය පහක් සේවාවෙන් ඉවත්වී විරෝධතා ක්‍රියාවක නිරත වූහ. ඔවුන් විරුද්ධත්වය පෑවේ, රෝහලේ හෙද සේවකයින් ගනනාවක් කිලෝමීටර් 100 ක අධික දුරකින් කොලඹ ආසන්නයේ පිහිටි කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය සම්බන්ධ රෝහලට සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත අනුයුක්ත කිරීමේ තීන්දුවකට එරෙහිවයි.  

ස්ථාන මාරුව සෞඛ්‍ය සේවකයින් ප්‍රතික්ෂේප කලවිට රෝහලේ පාලනාධිකාරය නිවේදනය කලේ එසේ කරන පුද්ගලයින් “සේවය හැරගියා සේ”සලකන බවයි. ඊට අමතරව එම සේවකයින්ට සේවයට වාර්තා කල බවට අත්සන් තැබීමටද බාධා කෙරිනි.

පේරාදෙනිය සෞඛ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂනය 22 ජූනි 2021 [WSWS Media]

මෙම මර්දනය රෝහලේ අනෙකුත් සේවකයන්ගේ ද විරුධත්වය අවුලුවාලීය. ගිලන් රථ රියදුරන් හා සෞඛ්‍ය කාර්ය සහායකයින් අරගලයට සහය දීමට ඉල්ලූ අවස්ථාවේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (හෙනිස) නායකයන් එය දැනට අවශ්‍ය නොවන බව සඳහන් කලේය. හෙනිස හා සමස්ත ලංකා සුව සේවා සංගමය සේවයෙන් බැහැර වූ සිය සාමාජිකයන් වෙන්කොට තැබීමට තැත්කලද එය ප්‍රතික්ෂේප කල ඔවුහු එක්ව විරෝධතාව පැවැත්වූහ. වෙනත් කොවිඩ් මධ්‍යස්ථාන වල සේවයට අනුයුක්ත කිරීමෙන්  විවිධ ප්‍රශ්නවලට මුහුන දී සිටින මහනුවර රෝහලේ සෞඛ්‍ය සේවකයන්ගේ සහාය උද්ඝෝෂනයට එක් කර ගැනීමට ද සමිති කිසිවක් කලේ නැත. 

වෘත්තීය සමිති නිලධරය අනෙකුත් සේවකයන්ගේ සහාය කැඳවීමට ක්‍රියා නොකලේ උද්ඝෝෂනය තවත් පුලුල් වේ යයි  භීතියෙනි. 

විරෝධතාවයෙන් පසු, සිය තීරනය බලධාරීන් විසින් හකුලා ගනු ලැබූ නමුත් පේරාදෙනියේ සිරිමා බන්ඩාරනායක රෝහලේ හෙද සේවකයන් ඉහත රෝහල්වලට යවා ඇත.  එහි තේරුම හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් අත්තනෝමතික ලෙස මාරු කිරීමේ පියවර එලෙසම පවත්වාගෙන යනබවයි. 

මීට පෙර වතුපිටිවල රෝහලේ සෞඛ්‍ය සේවකයින් මෙසේ ඉහත කී රෝහල්වලට අනුයුක්ත කිරීමට උත්සාහ කර ඇති අතර කම්කරුවන්ගේ විරුද්ධත්වය මත එය නවතා දමා ඇත. තැනින් තැනට සේවක කන්ඩායම් මෙසේ හදිසියේ මාරුකිරීම  දිවයින පුරා රෝහල් වලට අදාලව ද ක්‍රියාත්මක කෙරෙන බව මින් පෙනේ. 

පේරාදනිය රෝහලේ සෞඛ්‍ය සේවකයින් අනුයුක්ත කිරීමට තැත්කල රෝහල් අසීරු වැඩ කොන්දේසි සහ අවම පහසුකම් සහිත ඒවාය.  පසුගිය මාස කීපය තුල මහනුවර රෝහලෙන් මෙම ආයතනවලට යැවූ සේවකයින්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වූ බව සෞඛ්‍ය සේවකයෝ පවසති. 

ඔවුන් සඳහන් කලේ, මීට පෙර ඒවායේ සේවයට යැවූ සේවකයින්ට බොහෝ අවස්ථාවලදී එකම පීපීඊ ඇඳුම, සහ එකම මුහුනු ආවරනය පැය 12 -24 අතර කාලයක් පාවිච්චි කිරීමට සිදු වූ බවයි. නවාතැන් පහසුකම් පවා නොසෑහෙන අතර සේවය අවසන් කිරීමෙන් පසු හෙදියන් පස් හය දෙනෙකුට නිදා ගන්නට ඇත්තේ එක කාමරයකය. ඔවුන් අතර වසංගතය ව්‍යාප්ත වීමට හේතුවී ඇත්තේ මෙම කොන්දේසි ය.

කොතලාවල රෝහලේ ඇති දැඩි සත්කාර ඒකක වල ඒවාට අවශ්‍ය මූලික අවශ්‍යතාව වත් සපුරා නොමැති බව ද ඔවුහු පැවසූහ. මෙම තතු පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව සියල්ල සපුරා ඇතැයි පම්පෝරි ගසන ඊනියා කොවිඩ් රෝහල් වල පවතින සැබෑ තත්වයයි.

දැනටමත් රෝහල් කාර්ය මන්ඩලවල පවතින දැඩි හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට අධික වැඩ බර පැටවී ඇත. ඉතා දුර බැහැර පවතින රෝහල් වලට අනුයුක්ත කිරීමෙන් ඔවුන්ට ගැටලු රාශියක් මතුකරයි. බොහෝවිට සෞඛ්‍ය කම්කරුවන්ට වසංගතය මධ්‍යයේ පෞද්ගලික ආරක්ෂන උපකරන අප්‍රමානවත් තත්වයක අනාරක්ෂිතව සේවයේ යෙදීමට බල කෙරී ඇති නිසා කම්කරුවන් අතර ඊට දැඩි විරුද්ධත්වයක් පවතී.

හෙද සේවකයන්ගේ මෙම ක්ෂනික  විරෝධතාව සෞඛ්‍ය කම්කරුවන්ගෙන් මතුවී ඇති අරගල රැල්ලේ මෑතම ප්‍රකාශනයයි.  ජූනි  4 දින දිවයින පුරා 20,000කට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් ද ජූනි 11 දින 50,000 ක් පමන ද වරුවක් වැඩ නතර කොට විශේෂ දීමනාවක් හා සෞඛ්‍යාරක්ෂක  පහසුකම්  ඉල්ලා සිටියහ. ආන්ඩුව සමග ඇතිකරගත් එකඟතාවයකින් සමිති නායකයෝ විරෝධතා නවතා දැමූහ. 

කෙසේ වෙතත් මෙම ඊනියා පොරොන්දු වලින් සමස්ත සෞඛ්‍ය සේවකයන් මත එල්ල කර ඇති ප්‍රහාරයන් නතර නොවනු ඇත. ආන්ඩුව සෑම රෝහලකම සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් මෙවන් රුදුරු අනාරක්ෂිත කොන්දේසි මත වැඩෙහි යෙදවීමට කටයුතු කරමින් සිටී.

වසංගතය ආරම්භයේ පටන් සෞඛ්‍ය සේවකයන්ට වැඩෙහි නිරත වීමට සිදු වූයේ පෞද්ගලික ආරක්ෂන උපකරන හිඟය යටතේ තමන්ගේ ජීවිත අනතුරෙහි තබමිනි. ආන්ඩුව වසංගතය තුල මෙම ඉදිරි පෙල සේවකයන් අවදානමෙන් මුදා ගැනීමට ප්‍රමානවත්  පියවර නොගැනීම නිසා, සෞඛ්‍ය සේවකයන් තුන්සියයක් පමන කොවිඩ් ආසාදනයට ගොදුරු වූ අතර, මේවන විට  පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.  

එම තත්වය කොවිඩ් රෝහල් යැයි ස්ථාපිත කරන ලද ඒවා තුල වඩාත් උග්‍ර ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට විවිධ කටයුතු සඳහා නුපුහුනු සෞඛ්‍ය සේවකයන් පවා එම කොවිඩ් රෝහල්වල අනාරක්ෂිතව සේවයේ යොදවා ඇත.

රෝහල්වල පවතින අඩුපාඩුකම් පුරවා ගැනීම සඳහා වේල පිරිමහ ගැනීමේ උපක්‍රමවල සෞඛ්‍ය බලධාරීයෝ යෙදී සිටිති. එය කැපෙන්නේ සේවකයන්ගේ කර මතිනි. කෝවිඩ් වසංගතයට මුහුන දීමට සියලු පියවර ගෙන ඇතැයි  ආන්ඩුව කයිවාරු ගසයි. ගෝලීය වසංගතය කඩාවැදී  වසර එකහමාරක් පමන  ගතවී ඇත ද, අන් රටවල ආන්ඩු  මෙන්ම මෙරට  පාලනය ද දශක ගනනාවක්  තිස්සේ පිරිහෙලූ  සීමිත සෞඛ්‍ය සේවාව යලි මුලුමනින් පන ගැන්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම අතහැර දමා ඇත. ඔවුන්ගේ පිලිවෙත ධනපතියන්ගේ ලාභ පොදි  බැඳීම, මනුෂ්‍ය ජිවිතවලට ඉහලින් තැබීමයි.  

පේරාදෙනිය රෝහලේ හෙදියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ සිය රෝහලේ පවා කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් “මාසෙකට අනුමත කර ඇති  විශේෂ නිවාඩු අටෙන් පරිපාලනය ලබාදෙන්නේ හයක් පමනක්” බවයි. “මේ තියෙන තත්වය අනුව ඒකෙනුත් අපිට ගන්න ලැබෙන්නේ හතරක් හරි පහක් හරි” පමනක් යැයි ඇය කීවාය. ඒ හේතුවෙන් තමන්ට අධික වැඩ පැටවී “වහලුන් මෙන් සේවය කිරීමට” සිදුවී ඇති බව ද ඇය සඳහන් කලාය.

දැනටමත් ඔවුන්ට පැනිදෙනියේ සහ ගිරාගම පවතින කෝවිඩ් ඒකක වලට මාරුවෙන් මාරුවට යාමට සිදුවී ඇත. කොලඹ වැනි දුර ප්‍රදේශ වල සේවයට අනුයුක්ත කිරීම “සෞඛ්‍ය කම්කරුවන්ට පැති කීපයකින් පීඩනයකට ලක් කරන බවත්” සෞඛ්‍ය සේවකයින්ගේ දරුවන්ට මේ තත්ත්වය නිසා මවකගෙන් වියයුතු  කටයුතු  අහිමි විය හැකි බවත් ඇය සඳහන් කලාය.

වසංගතයෙන් මිනිස් ජීවිත බේරාගැනීම ඇතුලු  මහජයාට අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම සඳහා  නම්, “කීප දෙනෙක් අත ගොඩගැසී ඇති විශාල ධනස්කන්ධය කම්කරු පන්තිය විසින් තමන් අතටගෙන ඒ සඳහා යෙදවිය යුතුබව” ඇය වැඩි දුරටත් සඳහන් කලාය. 

රාජ්‍ය මර්දනයට හා අවම පහසුකම් යටතේ සේවයේ යෙදවීමට එරෙහිව දියත් කරන අරගලයක් අනිවාර්යෙන්ම කම්කරුවන් ඒකාබද්ධ කරන ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් විය යුතුය. නමුත් වෘත්තීය සමිති එවන් අරගලයකට එරෙහිය. ඊට හොඳම උදාහරනය සෞඛ්‍ය සේවයේ හා අනෙකුත් රාජ්‍ය අංශ ගනනාවකම වැඩ වර්ජන නීති විරෝධී කරමින් ආන්ඩුව මැයි මස අගසිට පනවා ඇති අත්‍යවශ්‍ය මහජන සේවා නියෝගයට දැක්වන නිහඬ සහයෝගයයි.

කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සඳහා කැඳවුම් කරමින් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව ජුනි 22 වනදා “පේරාදෙනිය ශික්ෂන රෝහලේ හෙදහෙදියන් දියත් කල සටන ජයග්‍රහනය කරා මෙහෙයවමු!” මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කලේය.

“ඒ ඒ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් සමඟ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල සටන්කාමී කම්කරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා අප සෞඛ්‍ය සේවකයින්ගේ කන්ඩායම් මෙහෙයවා ගනිමින් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හරහා උපරිම අයුරින් පුලුල් වැඩ කරන ජනයා අතර සහය දිනා ගනිමින් සටන සංවිධානය කිරීම සඳහා සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සමඟ ඒ්කාබද්ධ වන ලෙස  අපි හෙද හෙදියන් හා වෛද්‍යවරුන්ද ඇතුලුව සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.”

Loading