වසංගතයේ ව්‍යසනකාරිත්වය ඉහල නංවමින් ඩෙල්ටා වෛරසය පැතිරෙද්දී ලංකාවේ කොවිඩ් මරන 3000 ඉක්මවයි

ජූනි 28 වැනි දා, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු මිය ගිය බව වාර්තාවීමත් සමග ලංකාවේ නිල කොවිඩ් මරන සංඛ්‍යාව 3000 ඉක්මවීය. ඉන් 1200 ක් ම සිදුව ඇත්තේ ජූනි මාසය තුලය. ඊයේ සවස්වනවිට නිල ආසාදන සංඛ්‍යාව 257,225 ක් සහ නිල මරන සංඛ්‍යාව 3030 ක් විය. මෙම කඩඉම පසු කෙරෙන්නේ, කලින් පැවති වෛරස ප්‍රභේදයට වඩා පැතිරීමේ වේගය සියයට 60 කින් වැඩි විනාශකාරී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් තවතවත් හමුවන තතු තුලය.

කොම්පඤ්ඤවීදියේ වැඩබිමකින් ඩෙල්ටා ආසාදිතයන් දෙදෙනෙකු හමු වූ බව ඊයේ වාර්තා වූ අතර, කහතුඩුවේදී තවත් එවන් රෝගියෙකු හමුවූ බව ඊට පෙර දිනයේ වාර්තා විය.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම පිලිබඳව විශේෂඥයන් කල අනතුරු ඇඟවීම් නොතැකූ ආන්ඩුව, සති හතරකට ආසන්න කාලයක් තිස්සේ පනවා තිබුනු ඊනියා සංචරන සීමා පවා පසුගිය 21 වනදා ලිහිල් කලේය. 'සංචරන සීමා' ලිහිල් කිරීම වඩා දුරදිග යන බව අවධාරනය කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉරිදා මව්බිම පුවත්පතට සඳහන් කර තිබුනේ “මුලු දිවයිනටම බලපාන පරිදි එකවර සංචරන සීමා ඉදිරියේදී නොපැනවීමට” දැනට තීරනය කර ඇති බවයි. ඒ බව තීරනය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වන දා පැවැත්වුනු ජාතික කොවිඩ් මර්දන කමිටු රැස්වීම තුලදිය.

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීමට දිගු පෝලිම්වල බලා සිටින ජනතාව

ආන්ඩුව අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට සහ අවශේෂ මහජනතාවට අනිවාර්යයෙන් සංචරනය වීමට කොන්දේසි සකසා පනවන ලද මෙම “සංචරන සීමා” වසංගත ව්‍යාප්තිය වැලැක්වීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකල තරම් ය.

ආන්ඩුවේ මෙම පියවර කිසිවක් වසංගතය පැතිරීම සම්බන්ධ විද්‍යාත්මක කරුනු මත ගනු ලැබූ ඒවා නොවේ. ඒවා නිර්නය කෙරුනේ මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් කම්කරුවන් වැඩට දැක්කීමේ අවශ්‍යතාවයෙනි. වසංගතය පාලනය වෙමින් පවතින බව මවා පෑම සඳහා ආන්ඩුව දෛනික පීසීආර් පරික්ෂන සංඛ්‍යාව අඩු කරමින් ආසාදිතයින් සංඛ්‍යාව පහල යන බව පෙන්වමින් සිටී. ඊයේ දිනයේදී සිදු කල පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 16,934 කි. 26 දා එම සංඛ්‍යාව 14,110 ක් වූ අතර, මෙය මසකට පසුව වාර්තා වූ අවම දෛනික පරීක්ෂන සංඛ්‍යාවයි.

මෙම සීමිත පරීක්ෂන යටතේ පවා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතී. කම්කරුවන් බහුලව ගැවසෙන කම්හල්වල මෙම තත්වය කැපී පෙනෙන අයුරින් ප්‍රකාශයට පත්වෙයි. බද්දේගම, ඉදිගස්කැටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලක 41 දෙනෙකුට සහ මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කම්හලක 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව ඊයේ සහ ඊට පෙර දිනයේ ලංකාදීප පුවත්පත වාර්තා කලේය.

ජුනි 20 වන දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන සඳහන් කලේ ඉදිරි දින වලදී ආසාදිතයින්ගේ අඩු වීමක් දක්නට ලැබිය හැකි වුවත් එය “සැබෑවටම ආසාදිතයින්ගේ අඩුවීමක් නොව, අප භාවිතා කරන යාන්ත්‍රනයේ ප්‍රශ්නයක් නිසා ඇති වන්නක්” බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ, ජූනි 6 වනදා සිට පුද්ගලයින් නිරෝධායනයෙන් නිදහස් කිරීමේදී පලමු පෙල ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂනයට ලක් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. මීට පෙර එයට භාවිතා කර ඇත්තේ වඩා නිරවද්‍ය පීසීආර් පරීක්ෂන වන අතර, නිරවද්‍යභාවයෙන් අඩු පරීක්ෂන යොදා ගැනීම ආසාදිතයින්ගේ අඩු වීමකට මග පෑදිය හැකි බව ඔහු සඳහන් කලේය.

විය හැකි පරිද්දෙන්ම පසුගිය දින කිහිපය තුල දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000 ට අඩු අගයක් දක්වා පහත බැස්සේය. ආන්ඩුවේ මෙම දැනුවත් පියවර වසංගතය පිලිබඳ නිවැරදි තක්සේරුවකට මග අහුරා ඇත.

කෙසේ වෙතත්, ආන්ඩුව මෙම ලිහිල් කිරීම් කරන්නේ, වසංගතය යලි උත්සන්න කරමින් රටවල් 92ක ඩෙල්ටා වෛරසය ව්‍යසනකාරීව පැතිරෙමින් පැවතියදී ය. මෙම තතු යටතේ, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂන පියවර වල හදිසිභාවය අවධාරනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් පසුගිය සඳුදා සඳහන් කලේ, එය අනෙක් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරෙමින් අවදානම් සහගත කන්ඩායම් ඉක්මනින් ගිලගනු ඇති බවයි.

වෛද්‍ය රයන් එසේ පැවසුවද, රාජපක්ෂ ආන්ඩුව වසංගතය ආරම්භයේ පටන්, සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුනු කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවන් ව්‍යසනකාරී තත්වයකට මුහුන දීමට ලංකාවේ ගරා වැටුනු සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම නුසූදානම් ය. දැනටමත් තිස් දෙදහසකට ආසන්න කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටිති. පාලනයක් නොමැති තත්වය තුල ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම අනිවාර්යෙන්ම මෙම ධාරිතාව ඉක්මවා යනු ඇත.

වැඩෙන ව්‍යසනයේ වගකීම කල්තබාම මහජනතාව මත පවරමින්, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා ඇත්තේ, 'ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකලහොත්' තවත් සති දහයකින් පමන පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇති බවයි.

රෝහල් ධාරිතාව සහ පීසීආර් පරීක්ෂන දැවැන්ත ව ඉහල දමමින් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම අනිවාර්ය සෞඛ්‍ය ආරක්ෂන පියවර ලෙස විශේෂඥයන් විසින් යලි යලිත් නිර්දේශ කරද්දී එය ප්‍රතික්‌ෂේප කරන රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති පාලන තන්ත්‍ර, ඔවුනගේ මෙම සාපරාධී පිලිවෙත හේතුවෙන් සිදුවන මිලියන සංඛ්‍යාත මරන සාමාන්‍යකරනය කරමින් සිටිති.

වසංගතයෙන් වැඩිවශයෙන් මිය යන්නේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් බැවින් එන්නත්කරනයේදී ප්‍රමුඛස්ථානය ලබාදිය යුත්තේ ඔවුනට බව විශේෂඥ මතය යි. රාජපක්ෂ ආන්ඩුවේ අවිධිමත් එන්නත්කරනයේ ප්‍රතිඵලයක් ලෙස, එන්නත් වැඩපිලිවෙලේ මුල් අවස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටි මෙම වැඩිහිටියන් ක්‍රමයෙන් පහලට ඇද වැටුනි.

මේ පිලිබඳ අවධානය යොමු කරමින් ජාතික ඖෂධ අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයින් එන්නත්කරනයේ ගැටලු පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් යවා ඇත. ආන්ඩුවේ එන්නත්කරනයේ අවිධිමත්භාවය විසින් එන්නත් අපතේ යවා ඇති බවත්, ඒ හේතුවෙන් රැකගත හැකිව තිබූ ජීවිත ගනනාවක් අහිමි වූ බවත් එයින් අවධාරනය කෙරුනි.

කෙසේ නමුත්, මෙම කමිටුවේ ප්‍රකට සාමාජිකාවක වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ එම කමිටුවෙන් ඉල්ලා අස්වූ බව ඊයේ මාධ්‍යයන්හි වාර්තා විය. සති දෙකකට පෙරාතුව රාගම වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් ද මෙම කමිටුවෙන් ඉල්ලා අස්විය. ආන්ඩුව විසින් ඔවුනගේ විශේෂඥ නිර්දේශ ප්‍රතික්ෂේප කිරීම මෙම ඉල්ලා අස්වීම් වලට හේතු වී ඇති බවට සෑම සැකයක්ම පවතී.

අනෙක් අතට නව ඩෙල්ටා ප්‍රභේදයට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගැනීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතු නමුත්, එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ ලංකාවේ ජනගහනයෙන් 874,975 ක් වැනි සුලුතරයකට පමනි.

මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ පිලිවෙත මත සෞඛ්‍ය ආරක්ෂන පියවර සියල්ල අත්හරින ආන්ඩුව, වසංගතයේ වගකීම මහජනතාව මත පැටවීම විවිධාකාරයෙන් සිදුකරගෙන යයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූනි 25 වනදා ජාතිය අමතා කරන ලද ප්‍රකාශයේදී සංචරන සීමා අනුගමනය කරන ලෙස “කොතරම් උපදෙස් දුන්නත් සමහර ජන කොටස් ඊට සහය නොදුන් බව”ට චෝදනා කලේය.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 23 වන දා පැවසුවේ කොවිඩ් මර්දන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පවතින පන්දහසක දඩය පනස්දහසක් දක්වා ඉහල නංවන බවයි. සෞඛ්‍ය ආරක්ෂන පියවර අත් හරිමින් ආන්ඩුව මේ සූදානම් වන්නේ මහජනතාව මතට වසංගතයේ වගකීම පටවමින් ඔවුන් මර්දනය කිරීමටයි.

කෙසේ නමුත්, සැබෑ අපරාධකරුවා වනුයේ, මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් වසංගතය මැඩීමේ අත්‍යවශ්‍ය පියවර ප්‍රතික්ෂේප කරමින් මෙම සමාජ ව්‍යසනය නිර්මානය කල ධනපති ආන්ඩුව සහ සමස්ත ධනපති ක්‍රමය යි.

Loading