ආන්ඩුවේ සහ සමිති නිලධරයේ ශ්‍රේනිභේදකාරී කුමන්ත්‍රන පරාජය කරමු! සෞඛ්‍ය සේවකයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරමු!

රාජ්‍ය අංශයේ හෙද සේවකයන්, ඉල්ලීම් හතක් මත, පසුගිය සතියේ දියත් කල දින දෙකක අසනීප නිවාඩු උද්ඝෝෂනයට දිවයින පුරා හෙද-හෙදියෝ 30,000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවූහ. එම ඉල්ලීම් පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලය ලෙස, ඉල්ලීම් හතෙන් පහක් ලැබුනු බවත්, ඉතිරි ඉල්ලීම් කැබිනට් මන්ඩලයේ අනුමැතියට යොමුකිරීමට පොරොන්දු වූ බවත්, එම සමිතියේ නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද ප්‍රකාශයට පත්කොට ඇත.

ඉල්ලීම් පහක් ලැබුන බවට මුරුත්තෙට්ටුවේ ආනන්ද පවසන්නේ අමූලික බොරුවකි. ඒවා අගමැති රාජපක්ෂ ගේ 'පොරොන්දු' පමනකි. දිනා ගත්තේයැයි ඔහු ඔජවඩවන රුපියල් 15,000 ක මාසික දීමනාව පවා ලැබෙන බවට කවර හෝ සහතිකයක් නොමැත. රාජපක්ෂට අනුව, එය ක්‍රියාත්මක වන්නේ ලබන නොවැම්බර් අයවැයෙන් පසුවය. ආනන්ද විසින් ම මෑතකදී මාධ්‍යයට පවසන ලද්දේ අගමැති රාජපක්ෂ සමග කලින් කල සාකච්ඡාවන්හි දී ඔහු දුන් පොරොන්දු කිසිවක් ඉටු නොවූ බවයි.

'පලමු ශ්‍රේනියේ හෙද නිලධාරීන් මාන්ඩලික නිලධාරි මට්ටමේ' පිහිටුවන ලෙස හෙද සංගම් විසින් ඉදිරිපත් කල ඉල්ලීම සපුරාලන කැබිනට් පත්‍රිකාවක් අදදින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන බවට අගමැතිවරයා ඉහත සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත්, ශ්‍රේනිභේදවාදී සමිතියක් ලෙස කුප්‍රකට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස), මෙම ඉල්ලීමට සහ අදාල කැබිනට් පත්‍රිකාවට තම පූර්න විරුද්ධත්වය පලකොට ඇත.

කොවිඩ්-19 වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් සියලු දෙනාම එක හා සමාන දුෂ්කර සහ අන්තරායකාරී තත්වයකට මුහුන දී සිටියදී, ආන්ඩුව සමග තනිව සාකච්ඡාවකට ගිය රවෛනිස, වෛද්‍ය වෘත්තියට පමනක් දීමනා වැඩිකර ගැනීමට කටයුතු කලේය. රවෛනිස ඉල්ලීම ආන්ඩුව විසින් ඉටුකලේමත් කම්කරුවන් අතර ශ්‍රේනිභේදය ඇවිලවීමේ උගුලක් ලෙසිනි.

වසංගතය විසින් උග්‍රකෙරී ඇති දරුනු සේවා සහ ජීවන කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති කැකෑරෙන විරෝධය වෛෂයිකව යොමුවී ඇත්තේ, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් දෙසට ය.

හෙද-හෙදියන් ද ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් හි කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ජූනි 11 දා පැවැත්වූ වර්ජනය මගින් පෙන්නුමි කලේ, ශ්‍රේනිභේද සහ වාර්ගික භේද නොතකා තමාට එල්ල වන පොදු ප්‍රහාරයන්ට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සඳහා කම්කරු පංතිය තුල පවත්නා සූදානමයි.

ඔවුන් සටන් කලේ, ප්‍රමානවත් පරිදි පුද්ගලික ආරක්ෂිත උපාංග, මූලික වැටුපෙන් සියයට 78ක් වන විශේෂ අවදානම් දීමනාවක්, සංචරන සීමා පවතින කාලවලට ප්‍රවාහනය සහ සේවක පවුල් වලට එන්නත් ආදී පොදු ඉල්ලීම් වෙනුවෙනි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය රසායනාගාර තාක්ෂනඥයන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති 35කින් තැනුනු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව (එච්ඊටීයූසී) විසින් මාස තුනකට පමනක් සීමා වූ රුපියල් 7,500ක සොච්චම් දීමනාවකට හිලව් ලෙස සටන පාවා දුනි.

එම අරගලයට සහභාගි වූ අවශේෂ කම්කරුවන් අත්හැර දමමින්, 'හෙද සේවයට පමනක් විශේෂිත වූ' ඉල්ලීම් කීපයක් මත ශ්‍රේනිවාදී උද්ඝෝෂනයකට හෙද-හෙදියන් තල්ලු කලේ රාසේඑහෙස, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ ජනතා විමුක්ති පෙරමුනට අයත් සමස්ත ලංකා හෙද සංගමය යන සමිති ත්‍රිත්වය විසිනි.

කෙසේ නමුත්, මෙම ත්‍රිත්වයේ ඊනියා එකමුතුව ද බිඳ දමමින්, රාසේඑහෙස නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද අගමැති රාජපක්ෂ සමග සාකච්ඡාවට ගියේ අනෙක් සමිති දෙක හලා දමමිනි. රාජපක්ෂ ආන්ඩුවේ කුප්‍රකට සහචරයෙකු වන ආනන්ද එම ආන්ඩුව බලයට ගෙන ඒමට ප්‍රසිද්ධියේ දරදිය ඇද්දෙකි.

මෙම ශ්‍රේනි භේදය වඩාත් තීව්‍ර කරමින්, 'හෙද සේවාවට පමනක් සුවිශේෂී වරප්‍රසාද ලබාදීමට විරෝධය දැක්වීම සඳහා' සඳහා, සෞඛ්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර 14ක සේවක-සේවිකාවන් අද (5) සිට අඛන්ඩ වැඩවර්ජනයකට කැඳවන බව එම ක්ෂේත්‍රයන්ට අදාල වෘත්තීය සමිති නිවේදනය කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්, ඖෂධ සංයෝජකයින්, දන්ත චිකිත්සකයින්, අක්ෂි තාක්ෂනවේදීන්, විද්‍යුත් විකර්පන රේඛන ශිල්පීන්, විද්‍යුත් කන්තු රේඛන ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සහ කීට විද්‍යාඥයින්, වෛද්‍ය රසායනගාර විද්‍යාඥයන්, විකිරන විද්‍යා තාක්ෂනවේදීන්, රජයේ ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සකයින් සහ වීකිරන ප්‍රතිකාර චිකිත්සකයින් මෙම ක්ෂේත්‍රයන්ට අයත් වෙයි.

සමිති විසින් අවුලුවන මෙම ශ්‍රේනි භේද, ආන්ඩුවට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ සටනකට ප්‍රතිවිරුද්ධව පිහිටුවා තිබේ. එය කම්කරු පංතියේ ශක්තිය බිඳ පාලක පංතියේ අත ශක්තිමත් කරයි. වසංගතයෙන් මතුකෙරී ඇති අභියෝගයට සෘජුවම හා තියුනු ලෙසම මුහුන දීමට සිදුව ඇති මුල් පෙල කම්කරුවන් වන අපට, අපේ ජීවිත මෙන්ම, රැකියා සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සටන් වැදීම සඳහා කම්කරු පංතියේ පුලුල් ඒ්කාබද්ධතාවයක් අත්‍යවශ්‍යය.

කොවිඩ් වසංගතය තුරන් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදය වන, වේගවත් එන්නත්කරනයට සමාන්තරව අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල වසා දැමීම සහ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂන දැවැන්තව ඉහල දැමීම වෙනුවට, මහා ව්‍යාපාරික ලාබ ගැරීම අඛන්ඩව ගෙන යාමට ආන්ඩුව විසින් ඉඩ දෙනු ලැබ ඇත. සියලු කම්හල් ඇතුලු මහා ව්‍යාපාර පවත්වාගෙන යන අතර, පනවා තිබූ ඊනියා සංචරන සීමාද ඉවත් කර ඇත්තේ විශේෂඥ උපදෙස් නොතකමිනි.

එමගින් වේගවත් කෙරුනු වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සඳහා වෙන්වුනු රෝහල් වල මෙන්ම අනෙකුත් රෝහල් වලද ඇති කර තිබෙනුයේ තියුනු තදබදයකි. රෝහල් පද්ධතිය තුල සිටින වාර්තාගත ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඊට දරා ගත නොහැකි ලෙස 30,000 මට්ටමේ පවතියි. වාර්තාවී ඇති පරිදි වඩා බලගතු කෝවිඩ්-19 ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය මෙම තත්වය උග්‍ර කරමින් තිබේ. රටට පැමිනි සොච්චම් එන්නත් ප්‍රමානයද විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව ආන්ඩුවේ සමීපතයන්ට ලබාදීම හේතුවෙන් මේ තත්වය උග්‍ර කෙරී ඇත.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දිගින් දිගටම කරන ලද කප්පාදු නිසා ගරා වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සඳහා වසංගතය පැවති වසර එකහමාර තුලද වෙන් කෙරුනේ අතිශයින්ම අප්‍රමානවත් සොචිචමකි. මීට විපරීතව, මහ ධනපති සමාගම් වලට වසංගතය තුල තම ලාභ ශීඝ්‍ර ලෙස වැඩි කර ගැනීමට ඉඩ සලසමින්, ආන්ඩුව ඉතා අඩු පොලී අනුපාත මත දැවැන්ත පරිමානව මුදල් පොම්ප කලේය.

ආන්ඩුව සෞඛ්‍ය සදහා මුදල් කපා දමන අතරතුර මිලිටරිය සඳහා මුදල් වෙන් කිරීම් ඉහල නැංවීය. වසංගතයෙන් උග්‍රකෙරී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුවේ පිලිවෙත වන්නේ, කප්පාදු සහ විවිධ බදුබර හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එම ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමයි. සෞඛ්‍ය සේවය ද ඇතුලු බහුතරයක් රාජ්‍ය සේවා රුදුරු 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන යටතට ගැනු‌නේ මෙම පිලිවෙත යටතේ ය.

මෙම පිලිවෙත් පරාජය කිරීමට, සමස්ත කම්කරු පංතිය ඒකාබද්ධ කරගත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය වෙයි. අප අතර භේද නිර්මානය කරමින් ආන්ඩුවේ අවශ්‍යතාව ඉටු කරන වෘත්තීය සමිති එවන් සටනකට එරෙහිව පිහිටා ඇත.

වෘත්තීය සමිතිවල පිලිවෙත වී ඇත්තේ කොරෝනා වසංගතය විසින් නිර්මානය කෙරී ඇති රුදුරු ව්‍යසනය හා ආන්ඩුවේ කප්පාදු සැලසුම් සෞඛ්‍ය සේවකයන් මත පැටවීමය. රාජ්‍ය සේවකයින් විසින් සිදු කරන වැඩවර්ජන ඇතුලු ඕනෑම කාර්මික ක්‍රියාවක් සාපරාධීකරනය කරමින් අනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝග වලට සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ද ඇතුලු ලංකාවේ එකදු වෘත්තීය සමිතියක් හෝ විරෝධය පා නැත. සමිති නායකයින්ගේ මෙම ප්‍රතිගාමී කර ඇරීම තිබියේ වුවද කම්කරුවන් සිය අරගල වලදී මුහුන පා සිටින්නේ මෙම රුදුරු නියෝග වලටය.

එබැවින් අපේ අයිතීන් රැක ගැනීමේ සටන අප අතට ගත යුතුය. එය කල හැක්කේ ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් සමග පෙලගැසී සිටින වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අපගේ ඡන්දයෙන් ගොඩනගා ගනු ලබන සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු තුලිනි. සෑම රෝහලකම හා සෞඛ්‍ය මධ්‍යස්ථානයකම, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අපි, ඔබට සහාය වන්නෙමු.

අපේ සටන හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමනක් සීමා කර හුදෙකලා නොකල යුතුව ඇත. වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටින්නේ ඒ සදහාය. මෙම සටනට, ජාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙන්ම, සිසුන් හා ගොවීන් ඇතුලු අනෙකුත් පීඩිත ජන කොටස්වලද සහය ලබා ගත යුතුය. සෞඛ්‍ය සේවය කඩා කප්පල් වන්නේ කම්කරු අරගල නිසා නොව ධනපති ආන්ඩු වල කප්පාදු වලින් බවට පුලුල් මහජන මතයක් සංවිධානය කල හැක්කේ එලෙසිනි.

මහ ධනපතියන්ගේ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ වුවමනාවන් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ සියලු කොටස් වල කෝපය දැල්වෙමින් තිබේ. පසුගිය සමය තුල සටනට පිවිසුනු වතු කම්කරුවන්, ගුරුවරුන්, තැපැල්, විදුලිබල, ජල හා දුම්රිය සේවකයින් ඊට නිදසුන්ය. ඇඟලුම් ඇතුලු මහ කම්හල් කෝවිඩ් වසංගතයේ ව්‍යාප්ති කේන්ද්‍ර බවට පත්කරමින් කම්කරුවන් බලහත්කාරීව වැඩට යොදවමින් තිබේ.

ඉඩම් සහ ජල හිඟයෙන් මෙන්ම, තම නිෂ්පාදන වලට ප්‍රමානවත් මිලක් නොමැතිකමෙන් සහ නය බරින් දිගු කාලීනව පීඩා විඳින ගොවීන් මත වසංගතයෙන් එල්ල කෙරී ඇති මරු පහරට අමතරව, රාජපක්ෂ ආන්ඩුවේ රසායනික පොහොර තහනම මගින් කඩාපාත්කර ඇත්තේ ඉමහත් ව්‍යසනයකි. ඊට එරෙහිව පීඩිත ගොවීන් අතර පුපුරා යන කෝපය දිවයින පුරා විරෝධතාවලින් ප්‍රකාශයට පත්වෙයි.

මෙම තත්වය, කෝවිඩ් වසංගතයෙන් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ, රටක් රටක් පාසා ධනපති ආන්ඩු විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ලොවපුරා වැඩෙන සෙසු කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගලය සමඟ ඒ්කාබද්ධ වීමට අපට මඟ සලසා තිබේ.

ඉන්දියාවේ, යුරෝපයේ, ඔස්ට්‍රෙලියාවේ, නවසීලන්තයේ මෙන්ම ඇමරිකාවේද සෞඛ්‍ය කම්කරුවන් අතර සටන් ඇවිලී ඇත. ඇමරිකාවේ මැසචුසෙට්ස්හි සාන්ත වින්සන්ට් රෝහලේ 700ක් හෙද හෙදියන් දියත් කල වර්ජනය හතරවන මාසයට ඇතුලු වී තිබේ.

මෙම සටන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ඒ්කාබද්ධ කර ගැනීමට අප සටන් වැදිය යුතුය. එහි ලා, අප විසින් ගොඩනගන ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කරගත් 'ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩ නැඟීමට සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කර ඇති කැඳවුම මත පෙල ගැසීම තීරනාත්මකය.

එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය, ධනේශ්වර පීඩක ක්‍රමය පෙරලා දැමීම සඳහා මඟ පෙන්වන විප්ලවවාදී මහජන පක්ෂය ලෙස ගොඩ නගා ගැනීම මෙහිදී අතිමූලිකය.

මෙම ක්‍රියා මාර්ගය පිලිබඳව සාකච්ඡා කිරීමටත් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සහාය ලබා ගැනීමටත් පහත දක්වා ඇති දුරකතන අංකයෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන ලෙස ඒ් පිලිබඳව උනන්දුවන සියලු කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

*මෙම පත්‍රිකාව හැකි අයුරින් බෙදා හැරීමට ක්‍රියා කරන ලෙසද ඉල්ලා සිටිමු

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

විද්‍යුත් ලිපිනය (ඊ මේල්): healthworkers-sl@wsws.org

දුරකතන: 0773562327

2021 ජූලි 04

Loading