ශ්‍රී ලාංකික තරුනියගේ මරනයෙන් පැනනැගි මහජන විරෝධය හමුවේ ජපාන අන්ඩුව නව සංක්‍රමනික පනත තාවකාලිකව හකුලා ගනී

මාර්තු 06 දා ජපාන රජයේ අත්අඩංගුවේදී ශ්‍රී ලාංකික කම්කරු තරුනියක් ඛේදනීය ලෙස මිය යාමත් සමග එරට පුපුරා ගිය මහජන විරුද්ධත්වය හමුවේ, යෝජිත නව සංක්‍රමනික පනත, තාවකාලිකව හකුලා ගැනීමට ජපානයේ අගමැති යොෂිහිදේ සුගා ගේ ලිබරල් ඩිමොක්‍රටික පක්ෂ ආන්ඩුව තීරනය කර ඇත.

විශ්මා සඳමාලි රත්නායක නමැති 33 හැවිරිදි එම තරුනියගේ මරනයේ සාපරාධී ස්වභාවය මගින් ජපාන ආන්ඩුවේ සංක්‍රමන විරෝධී පිලිවෙත් හෙලිදරව් කෙරුනු අතර, මරනයට හේතු වූ සැබෑ තතු හෙලිකොට ඇගේ පවුලට සාධාරනය ඉටුකරන ලෙස සහ සංක්‍රමනික කම්කරුවන්ට කුරිරු ලෙස සැලකීම නවතන ලෙස ඉල්ලා ජපානයේ මහජනයා ඉදිරියට පැමිනියහ. මැයි 16 වැනි දා ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජපන් ජාතිකයන් 200කට අධික පිරිසක් සහභාගී වූ අතර එදින ම සරනාගතයන්ට කුරිරු ආකාරයෙන් සැලකීමට එරෙහි ව එරට ස්ථාන තුනක උද්ඝෝෂන පවත්වා ඇත.

ජපාන සංක්‍රමන නීතිය සංශෝධනය කිරීමට විරෝධය පල කරමින් මැයි 5 වන දින ඔසාකා නගරයේ දී, “සංක්‍රමන නීතිය නරක අතට හරවන්න එපා” යන ඉල්ලීම ඉදිරිපත් කරමින් මහජනතාව පෙලපාලියේ යෙදුනාහ. එමෙන්ම මැයි 25 වැනිදා ද ජපාන පාර්ලිමේන්තුව ඉදිරියේදී එවැනිම උද්ඝෝෂනයක් පැවැත්වූ බව 'මිංචි ජපෑන්' පුවත්පත වාර්තා කලේ ය.

නව පනත අහෝසි කරන ලෙස නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිමින් පොසේ නමැති ජපාන රාජ්‍ය නොවන සංවිධානය ඉදිරිපත්කල මාර්ගගත (ඔන්ලයින්) පෙත්සමට මාස දෙකක් තුල අත්සන් 40,000 කට වැඩි ප්‍රමානයක් එක්රැස්විය. අප්‍රේල් 14 වන දින, විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් වූ ස්වෙච්ඡා සේවක කන්ඩායමක් ආගමන විගමන නිලධාරීන් වෙත පෙත්සම ඉදිරිපත් කලහ.

'ආගමන පාලන හා සරනාගතයින් හඳුනාගැනීමේ' මෙම නව පනත මගින් අලුතෙන් රටට පැමිනෙන සහ 'අනවසර' ලෙස රැඳී සිටින සංක්‍රමනිකයන් පාලනය කිරීම සඳහා වඩාත් දැඩි නීති සම්පාදනය කිරීමට නියමිතව තිබිනි. පනතේ එන නව නීති නිශ්චිතව ප්‍රකාශ නොකලද එහි මූලික අරමුන “නීතිවිරෝධී” යයි නම් කරන සංක්‍රමනිකයන් දඬුගැසීමට සහ ඔවුන් නැවත සිය රටවලට පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමයි.

තුන් වරක් හෝ ඊට වැඩි වාර ගනනක් ජපානයේ රැකවරන තත්ත්වය සඳහා ඉල්ලුම්කොට ප්‍රතික්ෂේප කෙරුනු අය බලහත්කාරයෙන් පිටුවහල් කිරීමකට භාජනය කල හැකි විධි විධාන නව පනතට ඇතුලත් කර තිබිනි. රැකවරන පතනන්නන් ඔවුන් පැමිනි රටවලට බලහත්කාරයෙන් ආපසු යැවීමේ විධි විධාන අන්තර් ජාතික සරනාගත නිතියට පටහැනිය. එක්සත් ජාතීන්ගේ 1951 සරනාගත සම්මුතිය සහ 1967 ප්‍රොටෝකෝලයේ මූලික මූලධර්මය වන්නේ සරනාගතයෙකු තම ජීවිතයට හෝ නිදහසට බරපතල තර්ජනයන්ට මුහුනදෙන රටකට ආපසු නො යැවිය යුතු බවයි.

සම්මුතියේ එන 33 වන වගන්තියට අනුව, 'යමෙකු සරනාගතභාවය පතන රටක් විසින්, ජාතිය, ආගම, ජාතිකත්වය, විශේෂිත සමාජ කන්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලන මතය හේතුවෙන් එකී සරනාගතයාගේ ජීවිතය හෝ නිදහස තර්ජනයට ලක්වී ඇති අර්බුදග්‍රස්ත ප්‍රදේශ කරා පිටුවහල් කිරීම හෝ ආපසු හරවා යැවීම නොකල යුතුය.'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරී කන්ඩායම සහ එහි විශේෂ වාර්තාකරු විසින් මාර්තු 31 වන දින ජපාන රජයට විවෘත ලිපියක් නිකුත් කරමින්, යෝජිත පනත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි බවත් එය නැවත සලකා බැලිය යුතු බවත් ප්‍රකාශ කලේය. එයට ප්‍රතිචාර දක්වම්න් ජපාන අධිකරන අමාත්‍ය යෝකෝ කමිකාවා ප්‍රකාශ කලේ, “එක්සත් ජාතීන්ගේ කමිටුවට ජපාන ආන්ඩුවේ පැහැදිලි කිරීම් කල්තියා ඇසීමට අවස්ථාවක් තිබුනේ නම් සංශෝධනයේ පසුබිම, අන්තර්ගතය සහ යෝග්‍යතාවය නිවැරදිව වටහා ගනු ඇති' බවයි.

එයින් පෙන්නුම් කරන්නේ නව සංශෝධන සම්මත කර ගැනීමට ආන්ඩුවට ඇති දැඩි අවශ්‍යතාවය යි. ආන්ඩුව සංක්‍රමනිකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය මත රුදුරු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට මාන බලමින් සිටින අතර මෙම පනත නුදුරේ ම වෙනත් වටයකින් ගෙන එනු ඇත.

ජපානයේ දැනට පවත්නා නීතිය යටතේ පවා අධිකරනයේ අවසරයකින් තොර ව, ආගමන විගමන බලධාරීන්ගේ අභිමතය පරිදි සංක්‍රමනිකයන් රඳවා තබා ගැනීම හෝ නිදහස් කිරීම කලහැකි අතර, රඳවා තබාගැනීමේ උපරිම කාල සීමාවක් නොමැත. සමහරු මාස ගනන් හෝ අවුරුදු ගනන් පවා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටිති.

ජපාන ආගමන සේවා ඒජන්සියට අයත් නාගෝයා ප්‍රාදේශීය ආගමන කාර්යාංශයේ සිර කුටියක් තුල මාස හයකට අධික කාලයක් රඳවාගෙන සිටි, එරට රැකවරනය පැතූ සඳමාලි රත්නායක සිර මැදිරිය තුල ආහාර ගැනීමේ අපහසුතාවයන්ට ලක්වීමෙන් පසු නිසි වෛද්‍ය ආධාර ලබා නොදීම හේතුවෙන් මරනයට පත්වීමෙන්ම එරට පවතින සංක්‍රමන නීතිවල රුදුරු ස්වභාවය පැහැදිලි කෙරේ.

සඳමාලි රත්නායක අත්අඩංගුවට ගැනුනේ, ඈ සමග එකට ජීවත් වූ ශ්‍රී ලාංකික පෙම්වතාගෙන් ඇයට වූ හිරිහැර පිලිබඳව පැමිනිල්ලක් කිරීමට පොලීසියට ගිය අවස්ථාවේදී ය. වීසා කාල සීමාව ඉක්මවා තිබිය දී නීති-විරෝධී ලෙස රටෙහි රැඳී සිටින බවට ඇයට චෝදනා කරමින් පොලීසිය ක්‍රියාත්මක කල නීතිමය කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සඳමාලි නාගෝයා හි රඳවා තැබුනි. රැඳවුමේ සිටිය දි, ඉහත පෙම්වතාගෙන් ඇයට ලිපියක් ලැබුනු බවත්, ලංකාවට පැමිනි පසු ඇගෙන් පලි ගන්නා බවට එහි සඳහන්ව තිබූ බවත් වාර්තා වෙයි. එම ලිපිය ඉදිරිපත් කරමින් සඳමාලි ජපානයේ රැකවරන ඉල්ලා ඇති නමුත්, එය ප්‍රතික්ෂේප කෙරී ඇත.

අනතුරුව දැඩිලෙස රෝගාතුර වූ ඇයට මුඛයෙන් ආහාර සහ ඖෂධ ගැනීම අපහසු විය. සඳමාලිගේ අසනීප තත්වය පිරික්සූ වෛද්‍යවරු ඇයට එන්නත් මගින් ඖෂධ ලබාදිය යුතු බවට සහ රෝහල් ගත කොට ප්‍රතිකාර ලබා දිය යුතු බවට නිර්දේශ කොට තිබේ. කෙසේ නමුත්, ඇගේ මරනය පිලිබඳ අතුරු වාර්තාවේ එම නිර්දේශ ගැන කිසිවක් අඩංගු වී නොමැත. එම නිර්දේශ සාපරාධී ලෙස නොතැකීමෙන් මෙම මරනය සිදුවී ඇති බව යට ගැසීමට ආන්ඩුව උත්සාහ දරන බව ඉතා පැහැදිලි ය.

ජපාන පාර්ලිමේන්තුවේ දී ඒ පිලිබඳ ව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කලවිට එම දත්ත පදනමක් නොමැති නිසා අඩංගු නොකල බව පවසමින් නගෝයා ආගමන සේවා කාර්යාංශය සිදුකල අපරාධය ආවරනය කර ගැනීමට ආන්ඩුව උත්සාහ කලේ ය.

ජපානයේ ජීවත්වන හිරාන් නමැති තරුනයෙකු සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි මර්දනය පිලිබඳව මෙසේ පැවසීය: 'සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධ ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහි උද්ඝෝෂන වලට සභාගිවන අය නව තාක්ෂනික උපක්‍රම හරහා බුද්ධි අංශ විසින් හඳුනාගන්නවා. විදේශ කම්කරුවෙක් එසේ හඳුනාගතහොත්, ඔහුගේ වීසා දීර්ඝ කිරීමේ ඉල්ලීම් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කල හැකියි. ඒ නිසා එම උද්ඝෝෂන වලට තදබල සහයෝගිතාවයක් පවතිද්දී බොහෝ දෙනෙක් ඒවාට සහභාගී වීමෙන් වැලකි සිටිනවා”

සංක්‍රමනික ප්‍රතිපත්ති ආයතනයේ වාර්තා වලට අනුව ජපානය ලාභ ශ්‍රමය සඳහා යොදා ගැනෙන ප්‍රධාන ශ්‍රම බලකායක් වන විදේශ සිසුන්ගේ සංඛ්‍යාව 2019 වසරේ මිලියන 2.6ක් විය. එය 2025 වනවිට මිලියන 3.5 දක්වා වැඩිකර ගැනීමට බලාපොරොත්තු වේ.

කෙසේ නමුත්, සිසුන් ඇතුලු සියලුම සංක්‍රමනිකයන්ට 'රැකවරන තත්වය' ලබා ගැනීමට පැවති සීමිත ඉඩකඩ හෝ අහුරා දැමීම නව පනතේ අරමුනයි. 'රැකවරන තත්වය' ට අනුරූප ව එම සංක්‍රමනිකයන්ට ලැබෙන අයිතීන් සහ වරප්‍රසාද වෙනුවෙන් වැය කල යුතු බිලියන සංඛ්‍යාත වියදම් ගැන ද අනෙකුත් වගකීම් ගැන ද ආන්ඩුව ගනන් බලයි.

මෙම ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියට ම එල්ල කල ප්‍රහාරයකි. ජපානය තුල පරිභෝජනය භාගයකින් වැටී තිබීම නොසලකමින් වෙලඳ භාන්ඩ මත පනවන බද්ද සියයට 10 කින් සහ විශ්‍රාම වැටුප් මත පවතින බද්ද සියයට 8 කින් වැඩිකිරීමට ආන්ඩුව ගනන් බලමින් සිටි.

සංක්‍රමනික විරෝධී ප්‍රහාර වලට එරෙහි ව ජපානය තුල වැඩෙන අරගල කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල රැල්ලේ කොටසකි. සංක්‍රමනික කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරයට විරුද්ධව ජපානයේ දේශීය කම්කරුවන්ගේ නැගී සිටීම වසංගතයත් සමග වඩාත් කැරලිකාරී වී සිටින කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවයේ කැපී පෙනෙන ප්‍රකාශනයකි.

කෙසේ නමුත්, සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි මර්දනයට විරෝධය දක්වමින් ජපානය තුල පැන නැගී ඇති මෙම උද්ඝෝෂන මුදුනට පැන ඇති, සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීමේ සංවිධානවල, මානව හිමිකම් සංවිධානවල සහ ජපාන විපක්ෂයේ අරමුන වන්නේ, වැඩෙන විරෝධය එකී ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට අභියෝග කිරීමෙන් වලකා වෙනතකට හැරවීමයි.

තමා උපන්නේ කවර රටක ද යන්න නොතකා තමා කැමති ඕනෑම රටක ජීවත්වීමට ඇති අයිතිය කම්කරු-පීඩිත මහජනතාවට අහිමිකර ඇත්තේ, දේශ සීමා වලින් වෙන් කෙරුනු පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල් බැස ඇති ගෝලීය ධනපති ක්‍රමය විසිනි. ගෝලීයව ඒකාග්‍රවී ඇති නිෂ්පාදනය සහ ආර්ථිකය, ජාතික රාජ්‍ය පද්ධතියේ සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියේ විලංගු වලින් මුදාගෙන, ජාත්‍යන්තර කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතුකොට, මානව අවශ්‍යතා සපුරාලන පරිදි තාර්කිකව ප්‍රතිසංවිධානය කිරීමෙන් තොරව, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙන් තොරව, කම්කරු පංතියේ කවර හෝ අයිතියක් තහවුරු කල නොහැක.

Loading