ඔන්ලයින් අධ්‍යාපනයේ ගැටලු ගැන ගුරුවරු-ශිෂ්‍යයෝ ලෝසවෙඅ සමග සාකච්ඡා කරති

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර එක හමාරක කාලය තුල පාසල් අධ්‍යාපනය ඇතුලු සෙසු අධ්‍යාපන කටයුතු ඇන හිටියේ ය. රාජපක්ෂ ආන්ඩුව තම “නව සාමාන්‍ය” ප්‍රතිපත්තියේ කොටසක් වශයෙන් අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට මාර්තු මාසයේ කටයුතු කල ද වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමග අප්‍රේල් මාසයේ සිට නැවත වසා දැමීමට බල කෙරුනි. ආන්ඩුව වසංගත තත්ත්වය තුල අධ්‍යාපන කටයුතු ආරක්ෂිත ව කර ගෙන යා හැකි අන්තර්ජාලය හරහා කෙරෙන අධ්‍යාපන ක්‍රම සංවර්ධනය කිරීම මුලින් ම අතහැර දමනු ලැබ ඇති අතර එම බර ගුරුවරු-ශිෂ්‍ය-දෙමාපියන් මත පටවනු ලැබ ඇත.

මෙම තත්ත්වය මගින් උද්ගත කර ඇති ගැටලු පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅයි) දිවනේ ස්ථාන කීපයක ගුරුවරු, සිසුන් සහ දෙමවුපියන් සමග සාකච්ඡා කලේ ය.

අම්පාර ප්‍රදේශයේ චිත්‍ර කලා ගුරුවරයෙකු වන කල්පන කුමාර අදහස් දක්වමින් පවසා සිටියේ වසංගතයට පෙර පටන් ම එම ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට සිදු වූයේ අති දුෂ්කර කොන්දේසි යටතේ බවයි. දැඩි ගුරු හිඟයකට මුහුන දෙන අම්පාර ප්‍රදේශයේ පාසල් දෙකකට තමන්ව අනුයුක්ත කර ඇති බව ඔහු සඳහන් කලේ ය.

ගුරුවරුන්ට ඔන්ලයින් පන්ති පැවැත් වීමේ දී අවශ්‍ය කරන උපාංග සහ අන්තර්ජාල සම්බන්ධතා සපයා ගැනීමට සිදු ව ඇත්තේ තමන්ගේ ම වියදමිනි. හැල්මේ ඉහල යන ජීවන වියදම් මැද සොච්චම් වැටුප් ලබන ගුරුවරුන්ට මෙම අමතර වියදම් දරා ගැනීම දුෂ්කර වී ඇත. “මට ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙනව. මමත් මගේ පවුලත් ජිවත් වෙන්නේ ගුරුවරයෙකුට ලැබෙන සොච්චම් පඩියෙන්. ඒකෙන් ඩේටා කාඩ් දා ගෙන දවස ම ඉස්කෝල දෙකක ලමයිට උගන්වන්න ඇත්තට ම අමාරු” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

පාසල් දෙකට ම වෙන වෙන ම කාල සටහන් සකස් කර පන්ති පැවැත් වීමේ දී අන්තර්ජාල වියදම් අධික වීමට විසඳුමක් වශයෙන් පාසල් දෙකේ ම පන්ති ඒකාබද්ධ කර පන්ති පැවැත්වීමට තමන් යොමු වූ බව ඔහු සඳහන් කලේ ය.

නමුත් අන්තර්ජාල සංඥාවන්ගේ දුර්වලතා හේතු කොට ගෙන ඉගැනුම් ක්‍රියාවලිය සුමට ව ගෙන යාමට නොහැකි ව තිබෙන බවට ඔහු චෝදනා කලේ ය. “සිග්නල් නැති එක ලොකු ගැටලුවක් ඉගැන්වීම් කටයුතු වලට. ලමයි පන්ති වලට සම්බන්ධ වෙන්නේ ගස් උඩ නැගල. මම කියන දේවල් ලමයින්ට ඇහෙන්නේ නැහැ. එයාල කියන දේවල් මට ඇහෙන්නේ නැහැ. හරි ම ව්‍යාකුල තත්වයක් තියෙන්නේ.”

ලාභ අවශ්‍යතාවට මුල් තැන දී ඇති දුරකථන සමාගම් තම ආවරනය සම්පූර්න කිරීමට මුල් තැන දී ඇත්තේ වෙලඳපොල මතයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පෞද්ගලික මාධ්‍යයකට සඳහන් කර තිබුනේ ආවරන කලාපයෙන් බැහැර ව පිහිටා ඇති පාසල්වල සිසුන් 700 ,000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බවයි.

ස්මාර්ට් ෆෝන් දුරකථන පහසුකම් නොමැතිකම නිසා ඇතැම් ලමුන් කිසිදු දිනක මෙම ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වී නැත. ගුරුවරුන්ට පවා පරිගනක උපාංග හෝ හොඳ කැමරා නැති අතර තමන් වසර කීපයක් භාවිත කර ඇති තාක්ෂනික ගැටලු සහිත ජංගම දුරකථන මත යැපීමට ඔවුන්ට සිදු ව ඇත. මෙම දුරකථනවල මතකය හෝ ඔන්ලයින් පන්ති පැවැත්වීමට භාවිතා කරන සූම් වැනි මෘදුකාංගවලට මනා ව සහයෝගී නොවීම ගුරුවරුන් මෙන් ම සිසුන් මුහුන දෙන ප්‍රධාන ගැටලුවකි.

පවුලක ලමුන් කීප දෙනෙකු සිටින අවස්ථාවක දී, ඔන්ලයින් පන්ති එක ම වේලාවක වැටී තිබුනහොත් අනික් ලමුන්ට පන්ති මග හැරී යාම බහුල ව අත්දකින අවස්ථාවකි.

චිත්‍ර වැනි විෂයයක් භෞතික ව සම්බන්ධ නොවී මෙ බඳු දුරස්ථ තාක්ෂනයක් ඔස්සේ ඉතා කුඩා ජංගම දුරකථන උපාංගයක් භාවිතයෙන් ඉගැන්වීම ඉතා දුෂ්කර බවත් මේ සම්බන්ධ ව පුහුනුවක් අවශ්‍ය බවත් ඔහුගේ අදහස විය.

නමුත් ඔහු මෙම දුෂ්කරතා පැවතිය ද ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම ප්‍රතික්ෂේප කලේ නැත. සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ව්‍යසනකාරී වසංගතයක් මැද මෙම ක්‍රමය “ඉතාමත් වටිනා” බව ඔහුගේ අදහස විය. “මෙච්චර දියුනු තාක්ෂනයක් තිබිලත් ඒක සීමිත පිරිසක් අතරේ විතරක් පැතිරීම ලොකු ඛේදවාචකයක්. … අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ අංශ වලට රජය අනිවාර්යෙන් වැඩි අවධානයක් දෙන්න අවශ්‍යයයි. රජය මුදල් නැහැ කිය කියා මේ අංශ වලට මුදල් වෙන් නොකිරීම විහිලුවක් වගේ. මේ වගේ ප්‍රදේශ වල දුරකථන කුලුනු ඉදිකිරීම කරන්න ඕනි” යැයි ඔහු සඳහන් කලේ ය.

මෙම වසංගත තත්ත්වය මැද ඔන්ලයින් අධ්‍යාපනය වැනි නවීන දුරස්ත අධ්‍යාපන ක්‍රම සංවර්ධනය කර පෙරට ගැනීම වෙනුවට රජය මෙම වසර සඳහා අධ්‍යාපනයට වෙන් කල මුදල් ඊට පෙර වසරට සාපේක්ෂ ව රුපියල් බිලියන 40කින් කප්පාදු කිරීමට කටයුතු කලේ ය. විදේශ නය ගෙවීම්, මිලිටරි-පොලිස් වියදම් සහ මහා ව්‍යාපාර සඳහා නය පහසුකම් සම්පාදනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ආන්ඩුව, ධනපති අර්බුදයේ බර මෙම කප්පාදූ හරහා මහජනතාව මත පටවයි.

දෙමල ජනතාව ඉලක්ක කර ගනිමින් කොලඹ ආන්ඩුව ගෙන ගිය විසි හය වසරක යුද්ධයෙන් විනාශ කෙරුනු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාංචිහි පදිංචි 7 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයෙක් තමන් මුහුන දෙන කොන්දේසි සාකච්ඡා කලේ ය.

ඔහුගේ පියා ධීවරයෙකි. කිසිදු ධීවර ආම්පන්නයක් නොමැති ඔහු බෝට්ටු සහ ආම්පන්න හිමි වෙනත් ධීවරයෙකු සමග මුහුදු ගොස් කුලියක් උපයා ගනී. මෙ ලෙස සිදු කරන ධීවර රැකියාවේ ආදායම අතිශය අවිනිශ්චිත වන අතර සාමාන්‍යයෙන් මාසික ව උපයා ගත හැක්කේ රුපියල් 15, 000ක් 20, 000ක් අතර මුදලකි. සාමාජිකයන් හත් දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීමට සිදු වන්නේ මෙ බඳු ආදායමකි.

මෙ බඳු තත්ත්වයක් යටතේ පියා තමන්ටත් තම සහෝදර සහෝදරියන් තිදෙනාටත් ඔන්ලයින් පන්තිවලට සහභාගී වීම සඳහා රුපියල් 25, 000ක් වටිනා ජංගම දුරකථනයක් මිල දී ගැනීමට පසුගිය වසරක කාලය පුරා මුදල් එකතු කල බව ඔහු සඳහන් කලේ ය. “ලමයින් 23 දෙනෙකු සිටින අපේ පන්තියෙන් ඔන්ලයින් පන්තිවලට සහභාගී වන්නේ ලමයි පස් දෙනෙකු පමනයි. මමත් මේ සතියේ ඉඳන් තමයි පන්තිවලට සහභාගී වෙන්න ගත්තේ. මොකද සල්ලි එකතු කරල ෆෝන් එකක් මිල දී ගන්න හැකි වුනේ මේ සතියෙදි” යැයි ඔහු සඳහන් කලේ ය.

“දැනට අපිට පන්ති පැවැත් වෙන්නේ ඉංගිරිසි, පීටීඑස් (ප්‍රායෝගික සහ තාක්ෂනික කුසලතා), විද්‍යාව යන විෂයයන් තුනට පමනයි. ගනිතය, සිංහල, සෞඛ්‍ය, තොරතරු තාක්ෂනය සහ පුරවැසි අධ්‍යාපනය පන්ති ඔන්ලයින් ක්‍රමයට පැවැත් වෙන්නෙ නෑ. ඒ ඇයි කියලා මම දන්නේ නෑ.”

“අපේ ප්‍රදේශයට අන්තර්ජාල සිග්නල් බොහෝ ම දුර්වලයි. පන්තිය පැවැත් වෙන අතරේ සිග්නල් කැඩෙන විට සිග්නල් අහුවෙන තැන් සොයමින් එහාට මෙහාට යන්න සිදු වෙනවා. සිග්නල් නොමැතිකම නිසාත් ඉතා කුඩා තිරයක දේවල් බලා ගැනීම අපහසු නිසාත් පන්ති කාමරයක ගුරුවරයා උදාහරන පෙන්වමින් කලු ලෑල්ලක කරපු අධ්‍යාපනය තරම් මෙම ඉගැන්වීම් සතුටුදායක මට්ටමක නැති බවයි මගේ අද්දැකීම” යයි ඔහු සඳහන් කලේ ය.

මහනුවර ප්‍රදේශයේ මවුවරු දෙ දෙනෙකු එක වසරේ අධ්‍යාපනය ලබන තම දරුවන්ට ඉහිලිය නොහැකි වැඩ කොටසක් ලැබෙන බවට චෝදනා කලහ. ලමා ක්‍රියාකාරකම් ජංගම දුරකතනය හරහා එවුවත්, ඒවා ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැති ව තමන්ට පමනක් කියා දීම දුෂ්කර බව ඔවුහු සඳහන් කරති. “ඉහල පන්තිවල ලමයින්ට වාගෙ උහුලන්ට බැරි වැඩ දෙනවා. ඒවා කරන්න ලමයටත් බෑ; අපටත් බෑ . කොහොම හරි කරල එවන්ටලු” යැයි එක් මවක් පැවසුවා ය.

මේ සම්බන්ධයෙන් තමන් මුහුන දී සිටින පීඩනය පැහැදිලි කරමින් ප්‍රාථමික අංශයේ සේවය කරන ගුරුවරියක් මෙසේ පවසා සිටියා ය: “අපට ඉහිලිය නොහැකි වැඩ පටවනවා. ඉස්කෝලේ සාමාන්‍ය විදිහට තිබ්බ කාලෙ හොඳයි. දැන් ඔන්ලයින් ක්‍රමයට කිසිම ප්‍රමිතියක් හෝ මනෝ විද්‍යාත්මක පදනමක් හෝ සැලකිල්ලට නොගෙනයි මේ දේ කරන්නෙ. සතියක කලයුතු වැඩ නියම කරල තියෙනව. ඒවායේ ප්‍රගතිය, ගුරුවරයාගේ ක්‍රියාකරිත්වයේ ප්‍රගතිය තක්සේරු කරල විදුහල්පති සෑම සිකුරාදාවකම වාර්තාවක් යවන්න ඕනැ පලාත් අධ්‍යාපන කාර්යාලයට. ඒක හොඳින් තිබ්බෙ නැත්නම් පඩියත් කපයි කියල බයක් තියෙනවා ගුරුවරුන්ට. අනිත් එක තමා, රැකියාවම නැති වෙයි කියන බය. අපි ලමයිනට හරි දෙමාපියන්ට හරි වැඩ පටවනව නොවෙයි.”

නිසි උපකරන හා ගුනාත්මක අන්තර්ජාල ආවරනයන් නොමැතිකම හේතුවෙන් බහුතරයක් සිසුන්ට සහ ගුරුවරුන්ට මුහුන දීමට සිදුව ඇති දුෂ්කරතා නිසා “ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථක” බැවින්, පන්සල්, පල්ලි, කෝවිල් සහ ප්‍රජාශාලා ඇතුලු ගොඩනැගිලි වලට කුඩා සිසු කන්ඩායම් එකතුකොට ප්‍රාදේශීයව අධ්‍යාපනය ලබාදියයුතු බවට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එය විසින් නායකත්වය දෙන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද ගුරුවරු සාකච්ඡා කලහ.

වඩාත් වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිතවූවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හඳුනා ගැනෙන තතු තුල, සිසුන් එසේ එකතු කිරීමේ ව්‍යසනකාරී පලවිපාක ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ,

පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය මගින් නිර්මානය කොට ඇති මෙම සමාජ අසමානතා පිලි ගනිමින් ධනපති ක්‍රමය තුල එදාවේල පිරිමසා ගැනීමට මෙම ව්‍යාජ-වම්මුන් ඉදිරිපත් කරන යෝජනා වෙනුවට, වසංගත ව්‍යසනය පරාජය කිරීමේ සහ සමානතාවයෙන් සහ ගුනාත්මකභාවයෙන් යුත් ඔන්ලයින් අධ්‍යාපනයක් සම්පාදනය කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙලකට සටන් වැදීමේ අවශ්‍යතාව ඔවුහු ගුරුවරුන්ට පැහැදිලි කලහ.

එන්නත්කරනය වේගවත් කරන අතරේ, අත්‍යවශ්‍ය නොවන කම්හල් සහ පාසල් වසා දැමීම, වසාදැමෙන කම්හල්වල සේවකයන්ට පූර්න වැටුප් සහ දීමනා ලබාදීම, ආදායම් අහිමිවන්නන්ට පූර්න වන්දි ලබාදීම සහ ගුරු-සිසු දෙපාර්ශ්වයට අවශ්‍ය පරිගනක ඇතුලු තාක්ෂනික මෙවලම් සහ ගුනාත්මක අන්තර්ජාල ආවරනයන් හැකි ඉක්මනින් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කෙරේ.

මෙය ගෝලීය වසංගතයක් බැවින්, එය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිචාරයකින් පමනක් බවත්, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තියෙන් උපයා ගැනුනු මහධනපතියන්ගේ අසීමිත ධන ස්කන්ධය එම ප්‍රතිචාරය සඳහා යොදාගත හැකි බවත් එහිදී සාකච්ඡාවට භාජනය විය.

මහා පරිමාන බැංකු, කම්හල් සහ වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි ආර්ථිකය ගෝලීය පරිමානව ප්‍රතිසංවිධානය කිරීම, වසංගතයට සහ එයින් උග්‍ර කෙරී ඇති ධනපති ප්‍රහාර වලට ඇති විසඳුමයි. ඒ වනාහි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

Loading