සෝවියට් සංගමයට එරෙහි නාසි සමූලඝාතක යුද්ධයට අසූ වසරක් පිරේ

[මෙය Eighty years since the Nazi war of annihilation against the Soviet Union යන මැයෙන් 2021 ජූනි 21 වැනි දින පලවූ ඉදිරි දර්ශනයයි.]

වසර අසූවකට ඉහත, 1941 ජූනි 22 වන දින, ජර්මන් හමුදාව සෝවියට් සංගමය ආක්‍රමනය කලේය. මානව වර්ගයා විසින් පෙර කිසිදා අත් නොදකින ලද ආකාරයේ යුද්ධයක් ආරම්භ විය. මධ්‍යකාලීන යුගයේ ම්ලේච්ඡත්වය 20 වන සියවසේ වඩාත්ම නූතන තාක්ෂනය සමග ඒකාබද්ධ විය.

දශ ලක්ෂ ගනන් ජනයා ගොදුරු කොට ගත් භයංකාර යුද්ධ ඊට ඉහත ද පැවැතී තිබින. පලමු ලෝක යුද්ධයේ කාලතුවක්කු නිහඬ වී ගත වී තුබුනේ වසර 23 ක් පමනෙකි. ජර්මානු, ප්‍රන්ස හා බ්‍රිතාන්‍ය තුරුනු පුෂ්පයන් මැෂින් තුවක්කුවලින් කපා හෙලන ලද වර්දන් හා මාන්හි ලෙයින් පෙඟුනු බිම්, මානව ම්ලේච්ඡත්වයේ ස්මාරක ලෙස සලකන ලදී.

එහෙත් සෝවියට් සංගමයට එල්ල කල ප්‍රහාරය ඊට වඩා බෙහෙවින් දුරදිග ගිය එකක් විය. පටන් ගැන්මේ සිටම එය සැලසුම් කොට තිබුනේ සමූලඝාතක යුද්ධයක් ලෙසටය. එය හුදු භූමි ප්‍රදේශ, අමුද්‍රව්‍ය හා වෙලඳ පොල සඳහා වූ යුද්ධයක් නොවීය. එය වර්ගවාදය විසින් ද, දෘෂ්ඨිවාදය විසින් ද ජවය සපයන ලද යුද්ධයක් විය. හිට්ලර් විසි වසරක් පුරා ප්‍රකාශ කරමින් සිටි බෝල්ෂෙවික්වාදය විනාශ කිරීමේ, යුදෙව්වන් මූලෝත්පාඨනය කිරීමේ හා පෙරදිගින් ජීවිතාවකාශයක් නිර්මානය කර ගැනීමේ ඉදිරි දර්ශන දැන් ක්‍රියාවට නැංවී තිබින.

“බටහිර සිටින බොහෝ දෙනා විශ්වාස කරන පරිදි හිට්ලර් යුද්ධය පෙරදිගට ගෙන එමින් සිදු කලේ ප්‍රමාද දෝෂයක් නොවේයැ”යි ඉතිහාසඥ ස්ටීවන් ෆ්‍රිට්ස් ඔහුගේ ඔස්ට්ක්රීජ් (පෙරදිග යුද්ධය) නම් අග්‍රගන්‍ය කෘතිය තුල, හිට්ලර්ගේ පෙරදිග මූලෝත්පාඨන යුද්ධය ගැන මෙසේ ලියයි: “ඔහු සම්බන්ධයෙන් ගත් කල, 'හරි' යුද්ධය වූයේ සෝවියට් සංගමයට එරෙහි සටනයි. මක්නිසාදයත්, ඔහුට අනුව, ජර්මනියේ ඉරනම රඳා පැවතියේ වාසස්ථානයක් අත්පත් කර ගැනීම හා 'යුදෙව් ප්‍රශ්නය' විසඳීම මතයි. අනෙක් අතට මේ දෙකම සම්බන්ධ වී පැවතුනේ සෝවියට් සංගමය වනසා දැමීම මතයි. මේ ඉලක්ක අතරින් වඩාත් වැදගත් එක වූයේ කුමක්ද? හිට්ලර්ගේ දෘෂ්ඨිය සැලකිල්ලට ගත් කල, ඒවා අතරින් එකක් ප්රමුඛතාවයට නැංවීම හෝ ඒවා එකිනෙකින් වෙන් කිරීම කෘත්‍රිම කටයුත්තක් වනු ඇත. ඔහුට අනුව, 'යුදෙව් බෝල්ෂෙවික්වාදයට' එරෙහි සටන හා වාසස්ථාන හිමි කර ගැනීම සඳහා සටන පෘථුල, එකිනෙකින් කපා වෙන් කල නොහැකි සමස්තයක කොටස් විය.

අල්ලාගත් කැරලි හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම (ෆෙඩරල් ලේඛනාගාරය 1011-031-2436-05A /CC BY-SA 3.0)

ජර්මානු සෙබලුන් තිස් ලක්ෂයක්, වාහන හය ලක්ෂයක්, යුද ටැංකි 3,500 ක්, කාලතුවක්කු 7,000 ක් හා ගුවන්යානා 3,900 ක් අලුයම 3 ට සෝවියට් සංගමය ආක්‍රමනය කරන කල්හි, දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා කායිකව මූලෝත්පාඨනය කිරීම සඳහා වූ සවිස්තරාත්මක ආඥාවන් හා ඒ සඳහා සැලසුම් ඔවුන් අත තිබින. රීච් ආරක්ෂක ඒජන්සියේ අධිපති රේන්හාඩ් හේඩ්රිච් විසින් ප්‍රවේශමින් තෝරා පුහුනු කරන ලද සෙබලුන්ගෙන් සමන්විත මෙහෙයුම් ඒකක හතරක් ද ආක්‍රමනික හමුදා කැටුව ආහ. සාමාජිකයන් 3,000 බැගින් වූ මෙකී “ජනඝාතනයේ ස්ටෝර්ම්ටෲපර්” (ඉයන් කර්ෂෝ) (“ස්ටෝර්ම්ටෘපර්”යනු ස්ටාර් වෝර්ස් චිත්‍රපටවල එන කල්පිත සොල්දාදුවෙකි) ඒකකවල කර්තව්‍ය ය වූයේ තමන් යටතට පත් වන කොමියුනිස්ට්වරුන්, කැරලි හමුදා සාමාජිකයන්, යුදෙව්වන් හෝ සින්ටිවරුන් (ඉහත දී සංචාරක ජන කොට්ඨාශයක් ලෙස දිවි ගෙවූ මධ්‍යම යුරෝපයේ ජීවත් වන සුලුතර ජන කන්ඩායමකි) කවරෙකු වුව වහා මරා දැමීමයි.

“මෙම මෙහෙයුම් ඒකක හතර හා ඒවායේ උදව්කරුවෝ බාබරෝසා මෙහෙයුමේ මුල් සය මස තුල කැරලි සෙබලුන් හා සෝවියට් යුද සිරකරුවන් දසදහස් ගනනක් මරා දැමීමට අමතරව සෝවියට් යුදෙව්වන් ලක්ෂ 5 කට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් ඝාතනය කලෝය. වෙර්මාෂ් (ජර්මානු ඒකාබද්ධ හමුදා) කැමැත්තෙන්ම හා ක්‍රියාකාරී ලෙස පිදූ සහායෙන් තොරව මේ කිසිවක් කල නොහැකි වන්නට තිබිනැ”යි ෆ්‍රිට්ස් ලිවීය.

සමූහ ඝාතනවලට වෙර්මාර්ෂ්හි (ජර්මානු ඒකාබද්ධ හමුදාවල) ක්‍රියාශීලී දුස්සහාය ලැබුනේය යන්න, දශක ගනනක් පුරා ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දකි. මෙම ප්‍රතික්ෂේප කිරීම 1999 තරම් මෑත කාලයකදී පවා, “සමූලඝාතක යුද්ධය. වෙර්මාර්ෂ්හි අපරාධ” යන ප්‍රදර්ශනය වාරනය කිරීම කරා මඟ පෑදූ නමුදු, එය නිසැක ආකාරයෙන් ලේඛනගත වී ඇති කරුනකි. 1941 ජනවාරිය තරම් කල් තබා හිට්ලර්, පෙරදිග ස්ලාව් ජනගහනය සියයට තිහකින් අඩු කල යුතු බවට, තෝරා ගත් එස්එස් නායකයන් කන්ඩායමකට ඉලක්ක නිකුත් කලේය. ඉනික්බිතිව සමස්ත මිලිටරි කාර්ය මන්ඩල හා වර්ගවාදී න්‍යායාචාර්යවරු, කවරෙකු වෙඩි තබා මූලෝත්පාඨනය කල යුතුද යන්න පිලිබඳ නිරවද්‍ය ආඥා බවට “ෆියුරර්ගේ කැමැත්ත” පරිවර්තනය කලෝය.

මෙම සැලසුම්වලට අත්සන් තැබූ ජනරාල්වරු ඒවා ක්‍රියාවට නැංවෙන බවට වග බලා ගත්හ. ෆ්‍රිට්ස්ට අනුව, යුද්ධය පැවැති සමයේ “හමුදා නිලධාරීහු හමුදාව හා එස්එස් නිලධාරීන් අතර අදහස් හුවමාරු කර ගැනීමකට පවා මුල පිරූහ.” “භූමියේ සිදුවීම්වලින් පෙන්නුම් කෙරුනු පරිදි, ඉහලින් ලැබුනු අපරාධකාරී නියෝග හා පහලින් ආ පලිගැනීමේ ආවේග විසින් නිර්මානය කෙරුනේ, ඝාතනය පිලිබඳ කවර හෝ අදිමදියක් සපුරාම බැහැර කෙරෙන ප්‍රචන්ඩකාරී වාතාවරනයකි.”

ජර්මානු මහාචාර්යවරු මිනීමරු සැලසුම් ව්‍යාජ-විද්‍යාත්මක තර්කවලින් සරසා ලූහ. 1942 ජූනියේ ශාස්ත්‍රාලිකයන් ගනනාවකගේ කටයුතු මත පදනම්ව ජෙනරල්ප්ලෑන් ඔස්ට් (පෙරදිග පොදු සැලැස්ම) ප්‍රකාශයට පත් කරන ලදී. එමඟින් ජර්මානු පදිංචිකරුවන්ට ඉඩකඩ නිර්මානය කර ගැනීම සඳහා දශ ලක්ෂ සංඛ්‍යාත ස්ලාව් ජාතිකයන් ඝාතනය කිරීමට සැලසුම් කෙරුනි. සුප්‍රසිද්ධ විද්‍යාර්ථීන්ගේ සන්ධානයක් වූ ජර්මානු පර්යේෂන සංගමය (ඩීඑෆ්ජී) වෙයිමර් ජනරජයේ කාලය තුලදීමත්, “පොදුවේ ස්ලාව්වරුන්” හා අන්‍යයන්ට “වඩා ජර්මානු ජනයාගේ ශ්‍රේෂ්ඨත්වය තිරසාරව ප්‍රකාශ කරන්නා වූ,” හා “වාර්ගිකත්වය පිලිබඳ පර්යේෂන, ව්‍යවහාරික විද්‍යාවක් ලෙස වටහා ගන්නා වූ” අධ්‍යයනයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීය.

බාබරෝසා මෙහෙයුම යන සංකේත නාමයෙන් හැඳින්වුනු සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමේ මෙහෙයුමේ ක්‍රියාකාරීත්ව සැලසුම් සකස් කෙරුනේ 1941 මුල් කාලයේ චාන්සලර්වරයාගේ කාර්යාලයේ දී, එස්එස් සංවිධානය, රීච් ආරක්ෂක ඒජන්සිය සහ වෙර්මාර්ෂ්හි (ජර්මානු මිලිටරියේ) මූලස්ථානය අතර පැවැත්වූ වට මේස සාකච්ඡා ගනනාවක් තුලිනි. නැවතනැවතත් පුනරුච්චාරනය වෙමින් සූත්‍රගත කෙරුනු ඉලක්කය වූයේ “බෝල්ෂෙවික් නායකයන් හා කොමිසාර්වරුන්”, “යුදෙව්-බෝල්ෂෙවික් බුද්ධිමතුන්” හා“සමාජවාදී අදහස්” වනසා දැමීමයි.

මැයි 2 වන දින රාජ්‍ය ලේකම්වරු ගනනාවක් හා මුල් පෙලේ වෙර්මාර්ෂ් ආඥාපතීහු, බාබරෝස් මෙහෙයුම යුද්ධ ආර්ථිකයට කවරාකාරයේ ප්‍රතිවිපාක ගෙන එනු ඇත්දැයි සාකච්ඡා කලෝය. කෙටි සටහනකට අනුව දැක්වෙන්නේ, “අපට අත්‍යවශ්‍ය දේවල් අප එම රටින් ලබා ගතහොත් කෝටි සංඛ්‍යාත ජනයා නිසැකවම හාමතයට ගොදුරු වනු ඇතැ”යි යන නිගමනය කරා ඔවුන් පැමිනි බවයි.

වෙර්මාර්ෂ් මූලස්ථාන ප්‍රධානි විල්හෙල්ම් කෙයිටල් මැයි 13 වන දින හමුදා අධිකරනවලට අවසර දීමේ නියෝගයක් නිකුත් කලේය. එමඟින් පැනවුනු පරිදි, එවක් පටන් වෙර්මාෂයට එරෙහිව සිවිල් වැසියන් විසින් කරනු ලබන අපරාධ ඉන් ඉදිරියට උසාවි මඟින් විභාග නොකෙරෙනු ඇති බවයි. නිලධාරියෙකුගේ නියෝග මත චුදිතයා වහාම වෙඩි තබා දැමිය හැකි වනු ඇත. සමස්ත ප්‍රදේශවලට සාමූහික දන්ඩනයන් ලෙස ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීමටත් ඉන් අවසර ලැබුනි. නිරතුරුවම මෙම නියෝගයෙහි ප්‍රතිඵලය වූයේ ස්ත්‍රීන් හා ලමුන් (පුරුෂයන් සිටියේ යුද පෙරමුනේ ය) විශාල ගොඩනැඟිලි තුල එකට ගාල් කර මැෂින් තුවක්කුවලින් වෙඩි තබා දැමීමයි. ඉක්බිති දිවි ගැලවුනු අය පන පිටින් පිලිස්සී යන ලෙස එම ගොඩනැඟිලි ගිනි ලා පුලුස්සා දමන ලදී.

ආක්‍රමනයට දෙසතියකට පෙර ජූනි 6 වනදා, ලුතිනන් ජනරාල් ඇල්ෆ්‍රඩ් ජෝඩ්ල්ගේ විධානය යටතේ මූලස්ථානය කොමිසාර් නියෝගයක් නිකුත් කලේය. ඉන් කියැවුනේ, සිවිල් හා මිලිටරි දේශපාලන කොමිසාර්වරුන් හඳුනා ගන්නා ලෙස හා ආක්‍රමනික හමුදා “ප්‍රතිපත්තියක් ලෙස, වහාම අවි යොදා ඔවුන් ඉවරයක් කර දැමිය යුතු බව”යි. මෙම නියෝගයේ පදනම මත පමනක් අවම වශයෙන් ඝාතන 140,000 ක් සිදු කල බවට සාක්ෂි ඇති අතර, තක්සේරු කිරීම් 600,000 ක් තරම් ඉහල අගයක් ගත් පරාසයක පවතී.

මෙය පෙන්වා දෙන්නේ, ඉතා හොඳින් සූදානම් කල ඝාතක යන්ත්‍රයක් ජූනි 22 වන දින ක්‍රියාත්මක කල බවයි. ඉන් දෙවසරකට ඉහත දී, වෙර්මාර්ෂය පෝලන්තය ආක්‍රමනය කොට මුදා හල ප්‍රචන්ඩත්වයේ ධූර්තිය විසින්, ඒ වන විට ද එහි සදාචාරාත්මක කොහොල්කම් අභිබවනු ලැබ තිබින. පෝලන්ත භූමිය පසුකලෙක කුප්‍රකට ඝාතක කඳවුරු බිම් ලෙස ද යොදා ගැනීමට නියමිතව තුබුනු නමුදු, යුරෝපය මුලුල්ලේ දිවි ගෙවමින් සිටි යුදෙව්වන් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවුෂ්විට්ස් හා මැජ්ඩනෙක්හි ගෑස් කාමරවලට යවන්නට පෙරාතුව, ජර්මන් යුද භටයන් විසින් ඒ වන විටත් යුදෙව්වන් ලක්ෂ ගනනක් සෝවියට් සංගමය තුල දී සමූලඝාතනය කරනු ලැබ තිබින.

1941 සැප්තැම්බර් 29 හා 30 දෙදින තුල වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇති සමූහ ඝාතනය සිදු කෙරින. විශේෂ මෙහෙයුම් ඒකකය කියෙව් ආසන්නයේ බාබි යාර් ගිරි කඳුරෙහි දී යුක්රේනයේ අග නගරයෙන් ගෙන ආ පුරුෂයන්, ස්ත්‍රීන් හා ලමුන් ඇතුලත් යුදෙව්වන් 33,771 ක් මේ දෙදින තුල වෙඩි තබා ලූහ. ඉක්බිතිව එලැඹී මාසවලදී තවත් සිවිල් වැසියන් 70,000 ක් එකී ගිරි කඳුරෙහි දීම ඝාතනය කරන ලදී.

යුද්ධයේ සමූලඝාතනවල ශේෂ පත්‍රය අති බිහිසුනු විය. ලක්ෂ 270 ක් සෝවියට් පුරවැසියෝ යුද්ධයට ගොදුරු වූහ. සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය හා රුසියානු විද්‍යා ඇකඩමිය විසින් සංවිධානය කෙරුනු කොමිසමක් 1987 හා 1991 වර්ෂ අතරතුර දී මෙම සංඛ්‍යාවන් ප්‍රතිවිමර්ශනය කොට ඒවා ස්ථානගත කලේ ලක්ෂ 370 ක් තරම් ඉහල මට්ටමකය. ඒ අතර සිටි සෙබලුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 86 ක් පමනක් වූ අතර, ලක්ෂ 270 ත් 280ත් අතර පිරිසක් සිවිල් වැසියෝ වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා හාමතය හා දරා සිටිය නොහැකි තරමේ ජීවන කොන්දේසි නිසා ජීවිත අහිමි වූවන්ය. වෙර්මාෂය ඕනෑකමින්ම ලෙනින්ග්‍රෑඩය හාමතේ තබමින් 28 මාසයක් පුරා වටලා සිටි තතු විසින් පමනක් 470,000 ක් ජනයාගේ ජීවිත බිලි ගැනින.

සෝවියට් යුද සිරකරුවන් 30 ලක්ෂයක් මරා දැමීම ද වෙර්මාෂයේ අපමන යුද අපරාධ අතරට ඇතුලත්ය. සැප්තැම්බර් 8 වන දින මූලස්ථානය නිකුත් කල නියෝගයක් මඟින් රතු හමුදා සෙබලුන් ජාත්‍යන්තර නීතියේ රැකවරනයෙන් ඉවත් කරන ලදී:“බෝල්ෂෙවික් සෙබලු, ජිනීවා සම්මුතිය යටතේ ගෞරවනීය සෙබලෙකු ලෙස සලකනු ලැබීම සඳහා ඇති සෑම අයිතියක්ම අහිමි කොට ගෙන ඇත්තාහ. .. පොදුවේ, සෝවියට් සිරකරුවන්ට එරෙහිව ආයුධ භාවිතා කිරීම යුක්තියුක්තය.”

දල වශයෙන් යුද සිරකරුවන්ගෙන් සියයට හැටකට සිය ජීවිත අහිමි විය. ඔවුහු ඝාතනයට හෝ හාමතයෙන් මිය යාමට ලක් නොවූහු නම්, රඳවා ගැනීමේ කඳවුරු කරා ගෙන එනු ලැබ, අමානුෂික තතු යටතේ ජර්මානු යුද ප්‍රයත්නය සඳහා වැඩ කිරීමට බලහත්කාරයෙන් යොදවනු ලැබූහ.

යුද්ධයේ ගමන් මඟ

යුද්ධයේ ප්‍රථම සතිවලදී වෙර්මාෂය සෝවියට් සංගමය තුලට ශීඝ්‍ර වේගයකින් කඩා වැදුනේය. එහි ආරම්භක සාර්ථකත්වයන් අන් සියල්ලටමත් වඩා නය ගැති වනුයේ ස්ටැලින් හා ඔහු විසින් පුද්ගලායනය කෙරුනු, පාලනය අත දැරූ වරප්‍රසාදිත නිලධරයේ අපරාධකාරී පිලිවෙත්වලටය. ඔවුහු සෝවියට් සංගමයේ සියලු රුධිරය උරා බී, එය මුලුමනින් නුසූදානම් තත්වයක තබා අත්හැර දැමූහ.

මුලුමනින්ම පාහේ ඔක්තෝබර් විප්ලවයේ සමස්ත නායකත්වයේම ද, ලක්ෂ ගනන් පක්ෂපාතී කොමියුනිස්ට්වරුන්ගේ හා බුද්ධිමතුන්ගේ ද ජීවිත උදුරා ගත් මහා භීෂනයේ මාවත තුල ස්ටැලින් රතු හමුදාවේ ද හිස ගසා දැම්මේය. රතු හමුදාවේ 178,000 ක් වූ නායක බල සේනාවෙන් 35,000 ක් අත්අඩංගුවට ගැනුනු අතර ඉන් ඇතැමෙක් මරා දමන ලද්දාහ. දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය ජනරාල්වරුන් සංඛ්‍යාව මෙන් දෙගුනයක් ජනරාල්වරුන් එහිදී මැරුම් කෑ අතර, සිවිල් යුද්ධ සමයේ ට්‍රොට්ස්කි යටතේ නායකත්වය කරා නැඟුනු තුහචෙව්ස්කි, යකිර්, ගමාර්නික් හා උබොරිවිච් වැනි කැපී පෙනෙන හමුදා අන දෙන නිලධාරීහු ඊට ඇතුලත් වූහ.

මේ වූ කලී ට්‍රොට්ස්කි 1934 දී සඳහන් කල පරිදි, “සංවිධානය කිරීමේ කුසලතාව හා යුදමය නායකත්වය සඳහා ධාරිතාව හෙලි දක්වමින් එක්වරම මහා ජනකායයෙන් මතු වී පැමිනි”, “මහ පරිමාන අරගලයක් තුල සිය අභිප්‍රායයන් පදම් කර ගත්”, හා පසුකාලීනව වැඩිදුර හමුදා පුහුනුවේ අවස්ථාවන් ද ලද, සිවිල් යුද්ධ සමයේ ගිනි දැල්වලින් බෞතීස්ම වූ පරපුර විය. “මිලිටරි න්‍යාය ඔවුන්ට සිය සිත්සතන් විනයගත කර ගැනීමේ අවකාශය සලසා දුන් නමුත්, එය, සිවිල් යුද්ධයේ අපරීක්ෂාකාරී ක්‍රියාකාරීත්වයන් තුලින් ඔවුන්ට වානේ පන්නරය අත්පත් කර දුන් සාහසිකත්වය මරා දැමුවේ නැත.” අන් සියල්ලටමත් වඩා ස්ටැලින් කෙරේ අවනතභාවයේ ගුනාංගයෙන් සපිරි වූ ද, අඩු අත්දැකීම් සහිත වූ ද නිලධාරීන්ගෙන් ඔවුහු විස්ථාපනය කරන ලද්දාහ.

ස්ටැලින්ගේම භූමිකාව සම්බන්ධයෙන් සලකා බැලූ කල, බටහිර මෙන්ම තමන්ගේම ඔත්තු සේවා විසින් ද ඔහුට අනතුරු හඟවන ලදුව තුබූ නමුදු, ජර්මානු ආක්‍රමනය ස්ටැලින් මුලුමනින්ම විමතියට පත් කලේය. කොමියුනිස්ට් රහස් ඔත්තුකරු රිචඩ් සෝර්ජ්, ජපානයේ සිට එල්ල කෙරෙන ප්‍රහාරයේ කාලසටහනත් ඇතුලුව සම්පූර්න ප්‍රහාරක සැලසුමම ලබා දී තිබින. එහෙත් සියලු අනතුරු හැඟවීම් නොතකා හල ස්ටැලින් 1939 අගෝස්තුවේ තමන් හිට්ලර් සමඟ එලැඹ තුබූ එකඟතාවය වන ආක්‍රමනය නොකිරීමේ ගිවිසුම මත විශ්වාසය තැබීය. දැනටමත් බ්‍රිතාන්‍යය සමඟ යුද වැදී සිටි ජර්මනිය පෙරමුනු දෙකකින් යුද්ධ කිරීමේ අවදානම නොගනු ඇතැයි ඔහු තරයේ ඒත්තු ගෙන සිටියේය. ආක්‍රමනයෙන් පසු දින ගනනාවක්ම ස්ටැලින් කරලියෙන් සැඟවී අතුරුදන් වී සිටියේ, සෝවියට් සංගමය ප්‍රායෝගිකව නායකත්වයකින් තොර තත්ත්වයකට ඇද දමමිනි.

එහෙත් ඔක්තෝබර් විප්ලවය සෝවියට් කම්කරු පන්තිය තුල තවමත් ජීවමානව පැවතින. ස්ටැලින් එහි නායකයන් ඝාතනය කර තුබුනා විය හැක, එහෙත් ඔහු එහි ජයග්‍රහන විනාශ කොට තුබුනේ නැත. එකී ජයග්‍රහන වූ, නිෂ්පාදන මාර්ගවල රාජ්‍ය හිමිකාරීත්වය සහ සැලසුම්ගත ආර්ථිකය දැන් අතිමහත් වාසියක් වී ඇති බැව් පෙනී ගියේය. වෙර්මාෂය වහා වටහා ගත් සත්‍යය වූයේ, මෙවර ඔවුන් සටන් වැද සිටින්නේ බලහත්කාරයෙන් බඳවා ගනු ලැබූ අර්ධ-ප්‍රවේනිදාස ගොවීන්ගෙන් සමන්විත සාර් හමුදාව සමඟ නොව, භීෂනය හමුවේ දන නොනැවූ, ඒ වෙනුවට විශිෂ්ඨ ශක්තියක් හා කැප කිරීමේ සූදානමක් වර්ධනය කොට ගෙන තුබූ, කම්කරුවන්ගේ රාජ්‍යයක අභිප්‍රේරිත හමුදාව සමඟ බවයි.

රතු හමුදාව ගොඩ නැඟූ ට්‍රොට්ස්කි ද මේ බව 1934 දී පෙරදුටුවේය. රතු භටයා සාර්වාදී සොල්දාදුවෙකුගෙන් තියුනු ලෙස වෙනස්යැයි ඔහු ලිවීය: “බාධක හමුවේ අකර්මන්‍යතාවයේ හා කීකරු ලෙස යටත්වීමේ ව්‍රතය වෙනුවට දේශපාලනික හා සාමාජයීය සාහසිකත්වයේ හා තාක්ෂනික ඇමරිකානුවාදයේ වෘතය පැමින ඇත. .. ඉදින් 1905 සිට තිස් වසරක්ම පාහේ පුරා දිගටම බැස යමින් හා ගලා යමින් පවත්නා රුසියානු විප්ලවයට තම ප්‍රවාහය යුද්ධයේ මඟ කරා යොමු කිරීමට සිදු වුවහොත්, එය බිහිසුනු හා අතිශය බලගතු බලයක් මුදා හරිනු ඇත.”

යුද්ධය වසර තුන හමාරක් ද ඉක්මවා දිගටම පැවැති මුත් හා ජර්මානුවන්ගේ පැත්තෙන් සෙබලුන් ලක්ෂ 60 කට වැඩි සංඛ්‍යාවක් මරනයට හෝ බරපතල තුවාලවලට පාත්‍ර වූ නමුත්, මුල් සති ගනනාවක් ඉක්ම ගිය කල්හි පවා, වෙර්මාෂයට මෙම යුද්ධය ජය ගැනීමේ කිසිදු අවස්ථාවක් නොමැති බව පැහැදිලිව පෙනී ගියේය. මිලිටරි ඉතිහාසඥ ඩේවිඩ් ස්ටාහෙල් ලියා ඇති පරිදි, “කොයිහැටිවෙතත්, ශිශිරයේ මුල් හිම පතනයන් ආරම්භ වීමට බොහෝ පෙර, හා මුල්ම සරත් වැසිවලට පවා පෙර සංචලනයන්ගෙන් වැඩිම කොටසක් නවතා දමා තිබින. ඇත්තෙන්ම, බාබරෝසාව යනු බැටරි බැස ගිය අභ්‍යාසයක් බවත්, එය අසාර්ථක වීම නොවැලැක්විය හැකි බවත්, 1941 ගිම්හානය තරම් කල් තබාම පෙනී ගියේය.”

සෝවියට් Ilyushin Il-2 ගුවන් යානය (RIA Novosti / පියදෝර් ලෙව්ෂින් ලේඛනාගාරය/ CC-BY-SA 3.0)

යුද්ධය සඳහා අතිශයින් තීරනාත්මක වූ ආයුධ නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ලා, සෝවියට් සැලසුම්ගත ආර්ථිකය, පෞද්ගලික දේපල මත පදනම් වූ ජර්මානු ආර්ථිකයට වඩා බොහෝ සෙයින් ප්‍රබලතර බව සනාථ විය. 1941 දී ජර්මන් කර්මාන්ත ක්ෂේත්‍රය යුද ටැංකි 5,200 ක්, ගුවන් යානා 11,776 ක් සහ මිලි මීටර් 7 ට වඩා වැඩි කාලතුවක්කු 7,000 ක් නිපදවීය. 1941 වසරේ මුල් අඩ තුල සෝවියට් ආර්ථිකය නිපදවීමට සමත් වූයේ යුද ටැංකි 1,800 ක්, ගුවන් යානා 3,900 ක් හා කාලතුවක්කු 15,600 ක් පමනෙකි. එහෙත් එම වසරේ දෙවැනි අර්ධයේ දී, කර්මාන්ත ශාලා එහැම පිටින්ම ගලවා පෙරදිග ප්‍රදේශවලට ගෙන යාමට සිදුවීම හා යුද්ධය විසින් ඇති කරන ලද විනාශය ද තිබියදී, එය යුද ටැංකි 4,740 ක්, ගුවන් යානා 8,000 ක් හා කාලතුවක්කු 55,500 ක් දක්වා නිෂ්පාදනය ඉහල නංවා ගත්තේය. 1942 දී ජර්මනිය ගුවන්යානා 15,409 ක් නිෂ්පාදනය කරන විට සෝවියට් සංගමය 25,436 ක් නිපදවීමට සමත් විය. ජර්මනිය යුද ටැංකි 9,200 ක් නිපදවන විට සෝවියට් සංගමයේ නිෂ්පාදනය 24,446 ක් විය.

ඔක්තෝබර් විප්ලවයෙන් මතු වූ සෝවියට් සංගමය, එහි ස්ටැලින්වාදී පරිහානිය තිබියදීම වුව, මානව වර්ගයා ම්ලේච්ඡත්වය තුල ගිලී යාමට එරෙහි තීරනාත්මක බාධකයක් ලෙස ක්‍රියා කලේය. හිට්ලර්ගේ ජයග්‍රහනයක් යන්නෙන් කුමක් අදහස් වනු ඇතිව තුබුනේ ද යන්න ගැන බැරෑරුම් ඉතිහාසඥයන්ට කිසිදු සැකයක් නොවීය.

ස්ටහෙල් මෙසේ සඳහන් කොට ඇත:“හිට්ලර්ගේ පෙරදිග නව යුද්ධයේ වැදගත්කම එම අවස්ථාවේ සෑම පාර්ශවයක් විසින්ම අවබෝධ කර ගන්නා ලද්දේ, සිදු වෙමින් පවත්නා යුද්ධයේ වාසනාව කොයි අතට හැරේද යන්න පිලිබඳ තීරනාත්මක නිමේෂය ලෙසය. එක්කෝ හිට්ලර් ඉතා ඉක්මනින්ම, දැවැන්ත අධිරාජ්‍යයක අධිපතියා ලෙස කිසිවෙකුට අත නොගැසිය හැකි ස්ථානයකට නැඟෙනු ඇත. නැතහොත්, (සිදුවිය හැක්කක් ලෙස ඒ අවස්ථාවේ කිසිදු ආන්ඩුවක් විශ්වාස නොකල දෙය, එනම්,) සදහටම පිටුදැකීමට හිට්ලර්ට අවශ්‍යව තිබූ අන්තරාදායක තත්ත්වය වන මිත්‍ර හමුදා විසින් වටලනු ලැබීමේ අනතුර උදා කරමින් ඔහුගේ මහා යුද්ධ ව්‍යාපාරය ඇන හිටිනු ඇත. එබැවින්, ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමනය කිරීම හුදු දෙවැනි ලෝකය පිලිබඳ අපේ වටහාගැනීම සම්බන්ධයෙන් පමනක් නොව, සැබැවින්ම නූතන ඉතිහාසයේ වඩාත්ම ප්‍රගාඪ සිදුවීම් අතරින් එකක් ලෙස පවා, ලෝක ගෝලීය කටයුතුවල හැරුම් ලක්ෂ්‍යයක් වූ කේන්ද්‍රීය සිදුවීමක් බව සඳහන් කිරීම තතු පමනට වැඩියෙන් දැක්වීමක් නොවන්නේමය.”

යුද්ධයේ ප්‍රභව

ජර්මනියේ පරාජයෙන් පසුව, සමූලඝාතක යුද්ධය පිලිබඳ වගකීම භාරගැනීමට කිසිවෙක් නොසිටියෝය. සිටියේ ඊට ගොදුරුවූවන් හා නියෝග පිලිපැද්දවුන් පමනෙකි, අපරාධකරුවෝ නොසිටියෝය. සියල්ල සඳහා වරද පවරන ලද්දේ හිට්ලර් වෙතය. දෙවැනි ලෝක යුද්ධය “හිට්ලර්ගේ යුද්ධය” විය.

වෙර්මාර්ෂයේ කොන්දේසි විරහිත යටත් වීමට ඔන්න මෙන්න තිබියදී තමන්ට වෙඩි තබාගත් ඇඩොල්ෆ් හිට්ලර් සුවිශේෂී බලයක් අතැතිව සිටි අතර සියලු ප්‍රධාන දේශපාලන හා යුදමය තීරන ගැනීමෙහි දී පෞද්ගලිකව මැදිහත් වූයේය. එසේ තිබියදී වුව, ඔහු කලේ හුදෙක් ධනේශ්වර සමාජය ඉල්ලා සිටි දේ සම්පාදනය කිරීමයි. ඔස්ට්‍රියානු ජාතික මෙම අසාර්ථක චිත්‍ර ශිල්පියා සහ කලකිරී සිටි කෘතහස්ත යුද සෙබලාට ජර්මනියේ අනුත්තර නායකයාගේ (“Führer”) පදවිය කරා නැඟ ගැනීමට හැකිවීමම, ව්‍යාපාරික, දේශපාලක, හමුදා, වංශවත්, සංස්කෘතික හා විශ්ව විද්‍යාල ක්ෂේත්‍රවල ප්‍රභූන් අතර බලගතු සහායකයන් ඔහුට සිටියෝය යන නිගමනය කරා නොවැලැක්විය හැකි ලෙස මඟ පාදයි.

මුල් වර්ෂවල ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ ප්‍රවර්ධකයන් අතරින් එක් අයෙකු වූයේ, පලමු ලෝක යුද්ධයේ දී පාබල හමුදාවේ දෙවැනි අන දෙන නිලධාරියා වූ ද, 1923 මියුනිච් කුමන්ත්‍රන ප්‍රයත්නයේ හිට්ලර් සමඟ සම-නායකත්වය දැරුවා වූ ද, ජනරාල් එරික් ලුඩෙන්ඩෝෆ් ය. අන්‍යයන් අතර කර්මාන්තකරුවන් වූ ෆ්‍රිට්ස් තයිසන් හා එරික් කර්න්ඩෝෆ්, පෘසියාවේ ඔටුන්න හිමි කුමරු විල්හෙල්ම් සහ සංගීත රචක රිචඩ් වැග්නර්ගේ වැන්දඹු බිරිය කොසිමා වැග්නර් ද වූහ. හිට්ලර්ගේ ප්‍රථම කැබිනට්ටුවේ ආර්ථික අමාත්‍ය ධුරය දැරූ ජර්මානු ජාතිකවාදී කර්මාන්තකරු ඇල්ෆ්‍රඩ් හියුගන්බර්ග්ගේ මාධ්‍ය අධිරාජ්‍යය ඔහුගේ නැඟීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකලේය. 1932 ජනවාරියේ ඩුසෙල්ඩෝර්ෆ් කර්මාන්තකරුවන්ගේ සමාජය හමුවේ හිට්ලර්ගේ පෙනී සිටීම මහා ව්‍යාපාරවල වඩාත්ම වැදගත් කවයන්හි දේශපාලන හා මූල්‍යමය සහාය ඔහුට සහතික කර දීමට සමත් විය.

හිට්ලර්ට ප්‍රචන්ඩ ලෙස බලය අල්ලා ගැනීමට සිදු වූයේ නැත; එය ඔහුට රිදී බන්දේසියක තබා පිරිනමන ලදී. හිට්ලර් බලය කරා ප්‍රවිෂ්ට වෙමින් සිටි කාලයේ නාසීහු ගැඹුරු දේශපාලන හා මූල්‍ය අර්බුදයක ගිලී සිටියෝය. 1932 නොවැම්බරයේ පැවැති රීච්ස්ටැග් මැතිවරනයේ දී එම පක්ෂයට හිමි වූයේ ඡන්දවලින් සියයට 33 ක් පමනෙකි - එය ජූලි මාසයේ ඔවුන් ලද ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 4 ක් අඩු ප්‍රතිශතයක් වූ අතර, විශාල කම්කරු පක්ෂ දෙක වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ලැබූ ඡන්ද අනුපාතවල එකතුවට වඩා සියයට 4 කින් අඩු ප්‍රතිශතයක් ද විය. හිට්ලර් සිය දිවි නසා ගැනීමේ අදහස පවා සලකා බැලීය.

1933 ජනවාරියේ හිට්ලර් චාන්සලර්වරයා ලෙස පත් කිරීමේ තීරනය අවසානයේ ගනු ලැබුවේ රාජ්‍යයේ හා මහා ව්‍යාපාරවල උත්සුකයන් නියෝජනය කල හා, වියපත් රාජ්‍ය තාන්ත්‍රික ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් වටා සිටි, කුමන්ත්‍රනකරුවන්ගේ කුඩා කවයක් විසිනි. දෙමසක ඇවෑමෙන්, කොමියුනිස්ට් පක්ෂය තහනම් කල හා රැඳවුම් කඳවුරු පිරී යමින් තුබූ තතු යටතේ හිට්ලර් ඒකාධිපතියෙකු බවට පත් කරමින්, සියලු ධනපති පක්ෂ බලය පැවරීමේ පනතට පක්ෂව ඡන්දය දුන්හ.

එවිට, යුද්ධය අතරතුර දී ඔහුගේ මිනීමරු නියෝග ක්‍රියාවට දැමූ නිලධාරී බලකායයන් තුලින් ද, ජනයා භීතියට පත් කරමින් සමූහ ඝාතනය සඳහා යුදෙව්වන් තෝරා දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් ද, යුද නිෂ්පාදන හා බලහත්කාරී ශ්‍රමය හරහා සිය ලාභ ඉහල දමා ගත් කර්මාන්ත ක්ෂේත්‍රය තුලින් ද, ජනවර්ග න්‍යායට හා අභිමතානුකූල යුක්ති විනිශ්චයට විද්‍යාවේ මුහුනුවර ලබා දුන් මහාචාර්යවරුන් අතරින් ද, සහ තවත් බොහෝ කොටස් වෙතින් ද සිය කැමැත්තෙන්ම සහාය දුන් සහායකයන් දහස් ගනනින් හිට්ලර්ට හමු විය.

සමූලඝාතක යුද්ධය, නිසැක ලෙසම යුද්ධයට ඇලුම් කල “අනුත්තර නායකයාගේ අභිමතය” මතින් පැන නැඟී ආවක් නොවේ. හිට්ලර් ප්‍රවර්ධනය කල පාලක ප්‍රභූන් ඔහු රාජ්‍ය නායකත්වයේ ස්ථානගත කලේ ඔවුන් යුද්ධය ඉල්ලා සිටි හා ඔවුන්ට යුද්ධය අවශ්‍ය වූ නිසාය. ධනේශ්වර ක්‍රමයේ නොවිසඳිය හැකි ප්‍රතිවාදයන් තුල ඊට ගැඹුරු වෛෂයික හේතු පැවතින.

ට්‍රොට්ස්කි රතු හමුදා සෙබලුන්ට කථා කරයි

ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ අන්තරාය අන් කවරෙකුට හෝ වඩා හොඳින් වටහා ගෙන සිටි හා, ඒවාට විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වූ ලියොන් ට්‍රොට්ස්කි, සෝවියට් සංගමයට එල්ල වූ ආක්‍රමනයට වසරකට ඉහත දී මෙසේ ලිවීය:

“ෆැසිස්ට්වාදය ව්‍යාජ ලෙස මවා පෑමක් නොකරන එකම ලක්ෂනය ලෙස ඇත්තේ බලයට, යටත් කර ගැනීමට හා කොල්ලකෑමට එහි ඇති අභිප්‍රාය පමනෙකි. ෆැසිස්ට්වාදය යනු, අධිරාජ්‍යවාදයේ සංස්කෘතියෙහි රසායනික පාරිශුද්ධතාවය අත්පත් ගැනීම සඳහා කෙරෙන ආසවනයේ ක්‍රියා දාමයකි. .. ගනක යන්ත්‍රයක් සිය හිස්කබල තුල ද, අසීමිත බලයක් සිය අතෙහි ද දරන මෙම අපස්මාර රෝගී ජර්මානුවා අහසින් වැටුනෙකු හෝ නිරයෙන් මතු වී ආ අයෙකු නොවේ: ඔහු අධිරාජ්‍යවාදයේ සියලු විනාශකාරී බලවේගවල පුද්ගලාරෝපනයක් විනා අන් කිසිවක් නොවේ. යථා තත්වයේ දී, වඩවඩාත් තන බිම් සඳහා වූ සියලු එඬේර ගෝත්‍රවල අවශ්‍යතාවය ප්‍රකාශයට පත් කිරීම හා නිරවුල් ප්‍රදේශ කොල්ලාකෑමට වඩා වැඩි යමක් නොකල මුත්, ජින්ගීස් ඛාන් හා ටැමර්ලේන් දෙවියන්ගේ විනාශකාරී කටුසැමිටිය ලෙස දුබල එඬේර ජනයාට පෙනී ගියේ යම් සේ ද, එපරිද්දෙන්ම හිට්ලර් ද සිදු කරමින් සිටින්නේ, පැරනි යටත්විජිත බලවතුන් සිය පදනම් දක්වාම සොලොවමින්, බලය සඳහා වන අධිරාජ්‍යවාදයේ අභිලාෂයට වඩාත් පරිපූර්න ප්‍රකාශනයක් ලබා දීම විනා ඊට වැඩි යමක් නොවේ. තමාගේම අවුල් ජාලය විසින් අපේක්ෂා භංගත්වය කරා ඇද දමනු ලැබ ඇති ලෝක ධනේශ්වර ක්‍රමය, තියුනු මුවහතකින් යුත් සිරියක් තමන්ගේම අතුනු බහන්තුලට බස්සවා ගනිමින් සිටී.”

දැනටමත් ප්‍රථම ලෝක යුද්ධයේ දී, යුරෝපය තම උත්සුකයන්ට යටත් කිරීමට ජර්මානු අධිරාජ්‍යවාදය තැත් කොට, එහි ලා අසමත් වී ඇත. දැන් එය දෙවැනි වතාවකටත් සිය ප්‍රයත්නය දරයි.

පලමු ලෝක යුද්ධය වූ කලී, ලෝකය යලි බෙදා ගැනීමට හා ලෝක ආර්ථිකය සිය ආධිපත්‍යයට යටත් කර ගැනීමට සියලු මහ බලවතුන් සටන් වැදුනු අධිරාජ්‍යවාදී යුද්ධයක් විය. ජර්මනියේ ධනේශ්වර විප්ලවය ප්‍රමාද වීමේ හේතුවෙන් එහි ධනේශ්වර ක්‍රමය කල් පමා වී වර්ධනය වීමත්, එහෙත් නවීන තාක්ෂනයට ස්තුතිවන්නට එය අතිමහත් ගතිකත්වයක් අත්පත් කොට ගෙන තිබීමත් නිසා ජර්මානු අධිරාජ්‍යවාදය සුවිශේෂී ලෙසම ආක්‍රමනකාරී භූමිකාවක් නිරූපනය කලේය. මධ්‍යම යුරෝපයට සීමා කරනු ලැබ, බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස යටත්විජිත බලවතුන්ට, සහ ඊට ද වඩා බලසම්පන්න ඇමරිකානු විරුද්ධවාදීන්ට මුහුන දෙමින් සිටි ඊට නැඟී සිටිය හැකිව තුබුනේම, යුරෝපයේ ආධිපත්‍ය බලය බවට පත් වීමෙන් ද, ප්‍රචන්ඩ ආකාරයන්ගෙන් අමුද්‍රව්‍ය හා වෙලඳපොලවලට සිය ප්‍රවිෂ්ටය තහවුරු කර ගැනීමෙන් ද පමනෙකි. ජර්මනිය යුද්ධයෙන් පරාජය විය. වර්සේල්ස් ගිවිසුම මඟින් දුබල කරනු ලැබ, ඉමහත් නය බරකින් මඬිනු ලැබ, සහ පන්ති අරගලයන්ගෙන් හෙල්ලුම් කනු ලැබ සිටි ජර්මනිය හමුවේ, තමන් පලමුවන ලෝක යුද්ධයට එලවා ලූ සියලුම ගැටලු අලුත් තියුනුකමකින් යුතුව එල්ල වී තිබින. ඊට අමතරව ජර්මානු අධිරාජ්‍යවාදී ප්‍ර සාරනයේ ප්‍රධාන ප්‍රදේශය වූ පෙරදිගින් දැන්, ජර්මනිය තුල කම්කරුවන්ට විප්ලවවාදී ආවේශයක් ලබා දුන් කම්කරු රාජ්‍යයක් පැවතින.

ජර්මානු අධිරාජ්‍යවාදයට මෙම ආවෘත අන්තයෙන් පිටවීමේ එකම මාර්ගය වූයේ, මීට ඉහත කවර දාක හෝ අත්දැක ඇති උග්‍රතම කෲරත්වය හා ම්ලේච්ඡත්වය ඉක්මවා යන ආකාරයේ කෲර හා ම්ලේච්ඡ විධික්‍රම භාවිතා කිරීමයි. “බෝල්ෂෙවික්වාදය විනාශ කිරීම”, පෙරදිගින් “ජීවනාවකාශයක්” සුරක්ෂිත කර ගැනීම හා යුරෝපය මත ජර්මානු ආධිපත්‍යය ගොඩ නැංවීම සඳහා, රාජ්‍ය බලය එක් පුද්ගලයෙකු අත සංකේන්ද්‍රනය කිරීම ද, රටේ සියලු සම්පත් යුද නිෂ්පාදන අවශ්‍යතාවලට යටත් කිරීම ද, සංවිධානය වූ කම්කරු ව්‍යාපාරය විනාශ කර දැමීම ද, යටත් කිරීම නොව සතුරා සමූලඝාතනය කිරීම අරමුනු කොට ගත් යුද්ධයක් කිරීම ද අවශ්‍ය විය.

සමාජයෙන් මෙම ඉල්ලීම ඉල්ලා සිටීමෙහි දී නාසින්ට පෙරලා ප්‍රතිඥා දිය හැකි බොහෝ දේ තිබිනි. රාජ්‍ය, ව්‍යාපාරික හා හමුදා නායකයන් හිට්ලර්ට සහයෝගය දුන්නේ ඔවුන් දෘෂ්ඨිවාදාත්මක ලෙස මංමුලා වී සිටි හෙයින් නොව, ඔවුන්ට සිය අරමුනු අත්පත් කර ගැනීමට ඔහු අවශ්‍ය වූ නිසාය.

ඔවුන්ට සාර්ථක විය හැකි වූයේ කම්කරු නායකයන්ගේ පාවාදීම්වල හා අසාර්ථකත්වයේ ගැඹුරු අගාධය නිසාය. එස්පීඩීය නාසින්ට එරෙහිව සිය සාමාජිකත්වය බලමුලු ගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කලේය. රාජ්‍යය කෙරේ විශ්වාසය තැබූ ඔවුහු, හිට්ලර්ට බලය ගැනීමේ මාවත පාදා දුන් බෘනිංගේ හදිසි අවස්ථා නියෝගවල සහ ජනාධිපතිවරයා ලෙස හින්ඩෙන්බර්ග්ගේ පත්වීමේ පටන් වූ සියලු ඒකාධිපති පියවරවලට සහයෝගය දුන්හ. ස්ටැලින්ගේ බලපෑමට යටත් ව පැවැති කේපීඩී නායකත්වය සිය නිශ්ක්‍රීයත්වය හා බියගුලුකම රැඩිකල් වාම වාක්‍ය ඛන්ඩ අතර සඟවා ලූහ. ලියොන් ට්‍රොට්ස්කි හා වාම විපක්ෂය ඉල්ලා සිටි පරිදි එස්පීඩීය සමඟ ෆැසිස්ට්-විරෝධී එක්සත් පෙරමුනක් සඳහා සටන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කල ඔවුහු, එස්පීඩී කම්කරුවන් යනු නාසින්ට නොවෙනස් “සමාජ ෆැසිස්ට්වාදීන්”යැයි හෙලා දුටුවෝය.

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා දෙවැනි ලෝක යුද්ධයේ ජර්මනියේ සෙසු ධනපති විරුද්ධවාදීන් ද සටන් කලේ අධිරාජ්‍යවාදී උත්සුකයන් වෙනුවෙන් විනා, “ෆැසිස්ට්වාදයට විරුද්ධව”සහ “ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව” නොවේ. ස්වාරක්ෂාව සඳහා සටන් වැදුනේ සෝවියට් සංගමය පමනෙකි. ජර්මන් ජයග්‍රහනයක් යන්නෙහි අර්ථය කම්කරු රාජ්‍යය වනසා දැමීම හා එය වහල් කොලනියක් බවට පරිවර්තනය කිරීම වනු ඇතිව තිබින.

හිට්ලර් තන්ත්‍රය ප්‍රධාන වශයෙන් ජර්මානු කම්කරු පන්තියට හා සෝවියට් සංගමයට එරෙහිව මෙහෙයවී ගත් තාක් කල් එය සැලකිය යුතු ජාත්‍යන්තර සහයෝගයක් ලැබීය. හිට්ලර් පැසසූවන් අතර, ඇමරිකානු කර්මාන්තකරු හෙන්රි ෆෝර්ඩ්, බ්‍රිතාන්‍යයේ 8 වන එඩ්වඩ් රජු හා ඔහුගේ ඇමරිකානු ජාතික සහකාරිය වූ වාලිස් සිම්සන් ද වූහ. එඩ්වඩ් සිහසුන අතහැරීමෙන් පසු යුවල බැවේරියන් ඇල්ප්ස්හි පිහිටි හිට්ලර්ගේ බර්ගොෆ් නිවහනේ දී ඔහු හමුවූහ. 1936 මහජන පෙරමුනු ආන්ඩු කාලයේ ප්‍රන්ස ධනපති පන්තිය 'බ්ලම්ට වඩා හිට්ලර් හොඳය' යන සටන් පාඨය පවා ඉදිරිපත් කලෝය. (ලියොන් බ්ලම් යනු මහජන පෙරමුනු ආන්ඩුවේ අගමැතිය.) ප්‍රන්සය පරදා ජර්මනිය ලද ශීඝ්‍ර ජයග්‍රහනය බොහෝ දුරට, වෙර්මාෂයේ ආයුධවල තාක්ෂනික උසස් බවේ ප්‍රතිඵලයකට වඩා ප්‍රන්ස ජනරාල්වරුන්ගේ පරාජකවාදයේ නිර්මිතයක් විය. මාෂල් පිටන් යටතේ ගොඩ නැඟුනු විෂි තන්ත්‍රය වහාම හිට්ලර් සමඟ අවබෝධතාවයක් කරා එලඹුනේය.

එහෙත් ජර්මනිය අත්ලාන්තික් සිට යූරල් දක්වා පාලකයා බවට පත්වීමට නැඟී සිටිය කල්හි, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයන්ට තවදුරටත් හුදෙක් බලා සිටීමට නොහැකි විය. ජපානය සමඟ සන්ධානගතව එයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මාරක සතුරෙකු විය හැකිව තිබින. මේ තතු හිට්ලර්ට එරෙහිව එක්සත් ජනපදය මැදිහත් වීමට මාවත පෑදීය. එම මැදිහත්වීම සිදු වන අවස්ථාව වන විටත්, ජර්මනිය ස්ටැලින්ග්‍රෑඩ් යුද්ධයේ දී ආරක්ෂාකාරී සටනකට එලැඹ සිටියේය.

තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය

සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතක යුද්ධයේ පාඩම්, අද්‍යතන අදාලත්වයකින් යුතුය. ලෝක ධනේශ්වර ක්‍රමයේ එකී විසංවාදයෝ ම - එනම්, නවීන නිෂ්පාදනයේ පවත්නා සමාජමය හා ජාත්‍යන්තර ස්වභාවය ද, ධනේශ්වර ජාතික රාජ්‍යය හා නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය ද අතර ඇති පෑහිය නොහැකි විසංවාදයෝ - ලෝකය තුන්වැනි ලෝක යුද්ධයක ගිනි ජාලාව තුල ගිල්වා දැමීමට තර්ජනය කරති.

යුද්ධය සඳහා කෙරෙන සූදානමේ කේන්ද්‍රයෙහි ම සිටින්නේ, ඉදිරි මුදල් වර්ෂයේ දී සිය මිලිටරිය වෙනුවෙන් ඩොලර් බිලියන 753 ක් වැය කිරීමට බලාපොරොත්තු වන එක්සත් ජනපදයයි. එය ඊලඟට වැඩිම මිලිටරි පිරිවැයක් දරන රටවල් දහයේ මිලිටරි වියදම්වල එකතුව ඉක්මවා යන්නකි. ඉන් ඩොලර් බිලියන 25 ක් පමන න්‍යෂ්ඨික අවි වෙනුවෙන් වෙන් කොට ඇති අතර, නව ආයුධ පද්ධතීන් පිලිබඳ පර්යේෂන හා සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 112කි.

දෙවැනි ලෝක යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයා ලෙස ඉස්මතු වූයේ එක්සත් ජනපදයයි. තව ද, එහි ආර්ථික බලය - ස්ටැලින්වාදී නිලධරයන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින් විප්ලවවාදී අරගල මැඬලනු ලැබීම සමඟ එක්ව - යුරෝපයේ ධනේශ්වර ක්‍රමය තාවකාලිකව ස්ථායීකරනය කිරීමේ ශක්‍යතාවය ඊට ලබා දුන්නේය.

එහෙත් එජ ආර්ථිකය සතු බලය එවක් පටන් අනුක්‍රමයෙන් අඩු වී ගොස් ඇති අතර, එම පරිහානිය හමුදා බලය මඟින් හානිපූරනය කර ගැනීමට වොෂින්ටනය යත්න දරමින් සිටී. එක්සත් ජනපදය පසුගිය තිස් වසරක් පුරා අඛන්ඩවම මෙන් යුද වැදෙමින් සිට ඇත. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව හා සිරියාව තුල ඔවුන්, ස්වකීය අනුචරයන් ද සමඟ සමස්ත ජනසමාජයන් වනසා දමා ඇත.

එක්සත් ජනපදය දැන්, “පද්ධතීය එදිරිවාදියෙකු”ලෙස ඔවුන් විසින් නම් කරනු ලැබ ඇති චීනය ඉලක්ක කරමින් සිටී. චීනය ආර්ථික වශයෙන් තමන් පසු කර යමින් ලෝක බලවතෙකු බවට පත්වීම කරා ඉහල නැඟීම, කවර වියදමක් හෝ දරා වැලැක්වීමට එක්සත් ජනපදයට අවශ්‍යය. එජ මූලෝපායඥයන් දැන් සලකන්නේ චීනය සමඟ යුද්ධයක් ඇතිවීම නොවැලැක්විය හැක්කක් ලෙසය.

ජර්මානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධ දෙකකදී තමන් ලද පරාජය පිලිගෙන නැත. ජර්මන් ආන්ඩුව, චීනයට මෙන්ම එක්සත් ජනපදයට ද මුහුන දිය හැකි දේශපාලන හා යුද්ධමය ලෝක බලවතෙකු ලෙස යුරෝපය ප්‍රසාරනය කිරීමේ නිල ඉලක්කය හඹා යමින් සිටී. මෙය යුරෝපය තුලම, විශේෂයෙන්ම යුරෝපා සංගමය තුල ආධිපත්‍ය ය සඳහා ජර්මනිය සමඟ තරඟ වදින තරඟකරුවා වන ප්‍රන්සය සමඟ, ඇති භේද තීව්‍ර කරයි. ජර්මනිය එහි මිලිටරි පිරිවැය 2014 දී පැවැති යුරෝ බිලියන 32 ක මට්ටමේ සිට මේ වන විට යුරෝ බිලියන 53 ක් දක්වා වැඩි කර ඇති අතර, මේ පටන් ගැන්ම පමනෙකි. පෙබරවාරි 9 දාතම දරන ආරක්ෂක අමාත්‍යාංශ මූලෝපාය ලේඛනයක් සඳහන් කරන්නේ, ජර්මනිය, “යුරෝපයේ කේන්ද්‍රයෙහි පවතින එහි භූගෝලීය පිහිටීම නිසා ද, තම ආර්ථික බලය නිසා ද යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එය විශේෂයෙන් බැඳී සිටින” බවයි. ඒ අනුව එය “යුදමය කටයුතුවල දී ද”, උචිත දායකත්වයක් ලබා දිය යුතුය. මේ සඳහා, “මහ පොලොවේ, මුහුදේ, අහසේ, අභ්‍යාවකාශයේ හා සයිබර් අවකාශයේ යන සියලු මානයන්හි දී විශ්වාසය තැබිය හැකි යුදමය නිවාරක හා ආරක්ෂක ශක්‍යතාවයන් පැවතීම” සහ, “සටන් වැදීමේ දී ද ඇතුලුව සියලු තතු තුලදී අපේ සෙබලුන්ට ජයග්‍රහනය සඳහා අවශ්‍ය සූදානම හා හැකියාව පැවතීම”, අත්‍යවශ්‍ය වේ.

ජර්මානු යුදවාදයේ කේන්ද්‍රීය සංරචකයක් වන්නේ සමූලඝාතක යුද්ධය සුලු කොට තැකීම හා එහි ඓතිහාසික පරිශෝධනයයි. නාසි තන්ත්‍රය යනු හුදෙක් “වසර 1,000 ක් වූ සාර්ථක ජර්මානු ඉතිහාසයේ කුරුලු වසුරු පිඬක් පමනෙකැ”යි විස්තර කරන ඕල්ටර්නෙටිව් ෆෝර් ජර්මනි (AfD - ජර්මනිය සඳහා විකල්පය) පක්ෂය පාර්ලිමේන්තුවේ අසුන් අරා සිටින අතර, සංස්ථාපිතයේ සියලු පක්ෂ විසින් එය වැලඳගනු ලැබෙයි.

හිට්ලර් “මනෝ ව්‍යාධිකයෙකු නොවූ” බවත්, “ඔහු කුරිරු නොවූ” බවත් බර්ලිනයේ ඉතිහාසඥ ජෝර්ග් බැබරොව්ස්කි 2014 තරම් ඉහත කාලයකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. ඉන් වසරකට පසු ඔහු සමූලඝාතක යුද්ධය වෙර්මාෂය මත පටවන ලද්දකැයි කියා සිටියේය. පෙරදිග පෙරමුනේ සටන් කල වෙර්මාෂ් සෙබලුන්, “කැරලි හමුදාවල මිනීමරු සටනක පැටලුනු” බැව් ඔහු කීය. “කැරලි හමුදාවල සටන් විලාසයට අනුහුරු වනු” විනා ඔවුන්ට “වෙනත් විකල්පයක් නොවීයැ”යි කී ඔහු වැඩිදුරටත් පැවසුවේ, “එහි යුද්ධය ස්වාධීන එකක් බවට පත් ව, ගැටුමේ හේතුව ලෙස දැක්වුනු තථ්‍ය අභිමතාර්ථ වලින් නිදහස් වූ” බවයි. මෙකී දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරයාගේ කෘතීන්ගෙන් මෙවැනි උපුටා දැක්වීම් රාශියක් සොයා ගත හැකිය.

Sozialistische Gleichheitspartei සංවිධානය හා එහි තරුන සංවිධානය වන ITSSEය මෙකී හා ඒවාට සමරූපී ප්‍රකාශ විවේචනය කරමින්, ෆැසිස්ට්වාදය හා යුදවාදය නැවත පැමිනීම පිලිබඳව මහජනයා තුල පවත්නා පුලුල් විරෝධයට ප්‍රකාශයක් ලබා දුන් කල, මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය අන්ත දක්ෂිනාංශික මහාචාර්යවරයා රැකීමට පෙරට ආහ.

තුන්වැනි ලෝක යුද්ධයක් යනු මානව සංස්කෘතියේ අවසානය වනු ඇත. එහෙත් සංස්ථාපිත පක්ෂ එකක් හෝ යුද්ධය සඳහා වන පරිශ්‍රමයට විරුද්ධ නොවේ. ප්‍රථම හා දෙවැනි ලෝක යුද්ධවලට පූර්වයෙන් පැවැති තතු පරිද්දෙන්ම, අන්තර්-අධිරාජ්‍යවාදී බෙදීම් ගැඹුරු වත්ම, ඔවුහු යුද වැද්දන් පසුපස අන් කවරදාටත් වඩා සමීපව පෙල ගැසෙමින් සිටිති. ඊනියා සාම ව්‍යාපාරය සහමුලින්ම බිඳ වැටී ඇත. බොහෝ කලකට ඉහත මෙම ව්‍යාපාරයෙන් ඉස්මතුව ආ ජර්මානු හරිතයෝ (German Greens) වඩාත්ම අපුල දනවන යුද වැද්දන් බවට පත්ව හිඳිති. සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමෙන් වසර අසූවක් ගත වූ තන්හි, ඔවුහු රුසියාවට එරෙහි යුද්ධය සඳහා උද්ඝෝෂනයේ මුල් තැන ගෙන හිඳිති.

ම්ලේච්ඡත්වයේ පුනර්පතනයක් වැලැක්විය හැක්කේ, මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි අරගලය, ධනේශ්වර පර්යාය තුල ඇති එහි ප්‍රභවයට එරෙහි අරගලය සමඟ සන්ධානයකට ගෙන එමින්, සමාජවාදී වැඩ පිලිවෙලක් සඳහා අරගලය අතට ගන්නා ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනෙකි. මෙය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද, එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂවල ද ඉදිරි දර්ශනයයි.

Loading