ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව වර්ජනය කරති

මස්කෙලිය අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට විරුද්ධව ජුනි 30 සහ ජුලි 1 දෙදින වැඩ වර්ජනයක නිරත වුහ. නිෂ්පාදන පලදායිත්වය ඉහල දැමීමේ හාම්පුතුන්ගේ සැලසුම් වලට, වත්තේ ක්‍රියාත්මක වන ලංකා කම්කරු කොංග්‍රසය (සිඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යුඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යුපිඑෆ්) ඍජුව සහයෝගය දෙන තතු තුල ග්ලිනුයිජ් කම්කරුවන් අරගලයට පිවිසුනේ වෘත්තීය සමිති වලට පිටින්ය.

මස්කෙලිය අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ කම්කරු අරගලය

කම්කරුවෝ 200 පමන වර්ජනයට සහභාගී වුහ. වෘත්තීය සමිතිවලට පිටින් වතු කම්කරුවන්ගේ අරගල මෑත මාස වල යලි යලිත් මතු වූ අතර එය සනිටුහන් කරන්නේ වතු පාලකයන්ට සහ වෘත්තීය සමිති වලට එරෙහිව වර්ධනය වෙමින් පවතින වතු කම්කරුවන්ගේ කැරැල්ලකි.

වතු පාලකයන් විසින් අප්‍රේල් මාසයේ සිට තේ දලු නෙලීමේ දෛනික ඉලක්කය කිලෝ 16 සිට 18 දක්වාත්, පිරිමි කම්කරුවන්ගේ බිම සුද්ධ කිරීම වර්ග අඩි 600 සිට 1000 දක්වාත් ඉහල දමා ඇත. මෙම ඉලක්කයන් සම්පුර්න කිරීමට අසමත් වන කම්කරුවන්ගේ සතියේ වැඩ දින ගනන හා වැටුප් කප්පාදු කෙරෙයි.

ඉලක්කයන් සම්පූර්න නොකරන්නේ නම් වත්තේ වැඩ දීමට නොහැකි බව ජුනි 29 වෙනිදා එහි කලමනාකරු පවසා ඇත. එයට ප්‍රතිචාර දක්වමින් පසුදින කලමනාකරුගේ බංගලාව වෙත ගිය කම්කරුවෝ නව වැඩ ඉලක්කයන් ප්‍රතික්ෂේප කරමින්, පෙර පැවති මට්ටමට වැඩ ඉලක්කයන් අඩු කරන ලෙසත් වැඩ දින ගනන අඩු නොකරන ලෙසත් ඉල්ලා සිටියහ. එහෙත් වෘත්තීය සමිති පාලකයන් සමග එක්ව නව වැඩ ඉලක්ක කම්කරුවන් මත පැටවීමට උත්සාහ කලහ.

වෘත්තීය සමිතිවල සහයෝගයෙන් කම්කරුවන් බිය ගන්වා වර්ජනය බිඳීමේ උත්සාහයක් ලෙස, කලමනාකරු උද්ඝෝෂනයේ පෙරමුනේ සිටි කම්කරුවෙකු වන එස්.චන්ද්‍රසේකර් ගේ වැඩ තහනම් කලේ ය.

එදිනම සවස වත්තේ වෘත්තීය සමිති නියෝජිතයන් තම කාර්යාලයට කැඳ වූ කලමනාකරු වෘත්තීය සමිති වල එකඟතාව ඇතිව වර්ජනය බිඳීමේ සැලැස්මක් ක්‍රියාත්මක කලේ ය. ඒ අනුව කම්කරුවන්ගේ ගැටලු සහ චන්ද්‍රසේකර් ගේ වැඩ තහනම පිලිබඳ ප්‍රශ්නය හැටන් සහකාර කොමසාරිස් වෙත ඉරිදිපත් කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බව පවසා වර්ජනය නතර කර ආපසු වැඩට යන ලෙස වෘත්තීය සමිති නියෝජිතයෝ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

කම්කරුවන්ගේ පේලි නිවාස

වෘත්තීය සමිතිවල ඉල්ලීම ප්‍රතික්ෂේප කල කම්කරුවන් පසුදින ද වර්ජනයේ යෙදුනි. එම තතු තුල අරගලය දියකර හැරීමේ එල්ලය ඇතිව කම්කරුවන් සමග සාකච්ඡා කිරීමට කලමනාකරු සහ වෘත්තීය සමිති සැලසුම් කලහ. එහෙත්, වර්ජනයට සහයෝගය දක්වමින් කම්කරුවන්ගේ ඉල්ලීම් ජයගැනීමේ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමට එහි ගොස් සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් එම ස්ථානයෙන් ඉවත් වන තුරු කම්කරුවන් සමග සාකච්ඡා කිරීම කලමනාකරු සහ සමිති ප්‍රතික්ෂේප කර තිබේ.

සසප සාමාජිකයන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට වතු පාලකයන්ට සහ වෘත්තීය සමිතිවලට උවමනා වුයේ අරගලය තුල කම්කරුවන්ගේ ස්වාධීන මැදිහත්වීමක් වැලැක්වීමේ අවශ්‍යතාවය නිසාය. කම්කරුවන්ගේ අරගල පාවා දෙමින් ඉතා විවෘතව වතු සමාගම්වල සහ ආන්ඩුවේ සැලසුම් කම්කරුවන් මත පැටවීමට ක්‍රියාත්මක වන තත්වය තුල වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදීමට සහ ඒවායින් ස්වාධීනව අරගල වලට එලැඹීමට කම්කරුවන් දරන ප්රයත්නය සනිටුහන් කරන්නේ කම්කරු පන්තිය මත පවත්වාගෙන ගිය ඒවායේ ආධිපත්‍යය බිඳවැටීමක ආරම්භයයි. එහෙයින් ධනපති රාජ්‍යය සහ හාම්පුතුන් වෙනුවෙන් පොලිස්කාර සේවයේ යෙදෙන වෘත්තීය සමිති ආරක්ෂා කර ගැනීම ධනපති පාලකයන්ට සහ වතු සමාගම් වලට අවශ්‍යය.

ඔවුන්ට එරෙහිව ප්‍රකෝපකාරිත්වයක් නිර්මානය කිරීමට වතු පාලකයන්ට සහ වෘත්තීය සමිතිවලට ඉඩ නොතබා සසප සාමාජිකයෝ එම ස්ථානයෙන් ඉවත් වුහ. ඔවුන් ඉවත් වූ පසු වර්ජිත කම්කරුවන් හමු වූ කලමනාකරු, චන්ද්‍රසේකර් යලි සේවයේ පිහිටුවීමට එකඟ වූ නමුත් වැඩ ඉලක්ක සංශෝධනය කිරීම හෝ අනෙකුත් ගැටලු ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. වෘත්තීය සමිති අරගලය පාවාදුන් බවට කම්කරුවෝ චෝදනා කරති.

මීටපෙර, වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට විරුද්ධව අප්‍රේල් 23 වෙනිදා වර්ජනයක යෙදුන ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන් සසප මගපෙන්වීම යටතේ පිහිටුවා ගත් කම්කරු ක්‍රියාකාරී කමිටුව මෙම අරගලය තුල බලවත් මැදිහත්වීමක් කලේ ය.

ක්‍රියාකාරී කමිටුවේ නායක රවිචන්ද්‍රන් කම්කරුවන්ට වෘත්තීය සමිති තුලින් ඔවුන්ගේ අයිතීන් දිනාගත නොහැකි බව වර්ජනයේ යෙදී සිටි කම්කරුවන්ට පැහැදිලි කලේය: “ඔවුන් හැමවිටම පාලකයන්ට සහයෝගය දෙනවා. අපේ වත්තේ පමනක් නොවෙයි අනෙකුත් වතු වලත්, ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරාත් සමිති ක්‍රියා කරන්නේ ඒ ආකාරයට. ඔවුන්ගේ පාවාදීම පරාජය කරමින් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමට නම් කම්කරුවන්ට විකල්ප සංවිධාන අවශ්‍යයි. එම නිසා ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ නැති හැම කෙනෙක් ම එයට සම්බන්ධ වෙන්න. සමාන ප්‍රශ්න වලට මුහුන දෙන වතු කම්කරුවන් සහ අනෙකුත් කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අප උද්ඝෝෂනය කල යුතුයි. සමාජවාදී සමානතා පක්ෂය අපට ඒ සඳහා උදව් කරාවි”

ඔහුගේ ඉල්ලීමට කම්කරුවන්ගෙන් පුලුල් අනුකුලතාවයක් පෙන්නුම් කෙරුනි.

දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ආන්ඩුව ජනවාරි මාසයේ නියෝග කිරීමෙන් පසු වතු සමාගම් වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමු බව කම්කරු කන්ඩායමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලහ. “කිලෝ 20 ටාර්ගට් එක දුන්නේ නැත්නම් අපට ගෙවන්නේ පඩියෙන් භාගයයි. සතියේ වැඩ දින ගනනත් දින දෙකක් හෝ තුනක් අඩු කරනවා. වෘත්තීය සමිති ඒවාට සහයෝගය දෙනවා. වතු පාලකයන් සමග රහස් සාකච්ඡා කරන සමිතිවලට අපි විරුද්ධයි. ඔවුන් එහෙම කරලා අපේ අරගල පාවා දෙනවා” යැයි ඔවුහු කීහ.

ජීවන වියදම ඉහල යාම සහ දරිද්‍රතා වැටුප් කෙරෙහි වතු කම්කරුවන් අතර වැඩෙන කෝපය සහ නොසසුන්කම සමනය කිරීමේ අරමුන ඇතිව ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ජනවාරි මාසයේ දී ආන්ඩුව නියෝග කලේ ය. වතු සමාගම් ආන්ඩුවේ නියෝගයට විරුද්ධව අධිකරනයට ගියහ. එහෙත් වතු කම්කරුවන් අතර පවතින කැකෑරෙන කෝපය නිසාවෙන් තත්වය වඩා නරක අතට හැරෙනු ඇතැයි නිගමනය කල ධනේශ්වර අධිකරනය විසින් වතු සමාගම්වල ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනි.

පසුව වතු සමාගම් කලේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව වැඩ ඉලක්ක ඉහල දැමීම සහ වැටුප් කප්පාදු කිරීමය. වතු සමාගම් වල මෙම පිලිවෙතට එරෙහිව පසුගිය මාස කිහිපය තුල හැටන්, මස්කෙලිය, බොගවන්තලාව, තලවකැලේ සහ නුවරඑලිය ඇතුලු ප්‍රදේශවල වතු කම්කරුවෝ වර්ජන සහ උද්ඝෝෂනවල නිරත වුහ. එම හැම අරගලයක් ම හුදකලා කොට වෘත්තීය සමිති විසින් පාවාදුනි. ඉන් ගැම්ම ලබාගත් වතු පාලකයන් කම්කරුවන්ට එරෙහිව මර්දනය තීව්‍ර කලේ ය.

රුපියල් 1000 වැටුප් ඉල්ලීම මත පෙබරවාරි 5 වෙනිදා සීඩබ්ලිව්සී ය කැඳ වූ වර්ජනයට සහභාගී වූ මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවෝ වර්ජන බිඳීමේ වතු පාලකයන්ගේ සහ පොලීසියේ ප්‍රකෝපකරනයන්ට එරෙහිව දින 47 ක අඛන්ඩ වර්ජනයක යෙදී ගත්හ. වතු පාලකයන්, වෘත්තීය සමිති සහ පොලීසිය ඒකාබද්ධව කැලසුම් කල කුමන්ත්‍රනයක් මගින් වර්ජනයේ යෙදුන කම්කරුවන් ට එරෙහිව දඩයමක් දියත් කෙරුනි. එයින්, 38 කගේ සේවය අහෝසි කෙරුනු අතර කම්කරුවන් 24 කට සහ තරුනයන් දෙදෙනෙකුට විරුද්ධව වත්තේ කලමනාකරුට සහ සහකාර කලමනාකරුට කායිකව පහරදුන්නේ යයි චෝදනා කොට නඩු පවරා ඇත.

සසප මෙම දඩයමට ලක් වූ කම්කරුවන් ආරක්ෂා කිරීමේ සහ ඔවුන් ව කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවීමේ උද්ඝෝෂනයක් දියත් කොට ඇත.

වතු කම්කරුවන්ගේ සහ කම්කරු පන්තියේ සෙසු කොටස් වල අරගලයන්ගේ වර්ධනය, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ සහ වතු සමාගම් ඇතුලු හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ හදිසි අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ මතුකර ඇත.

Loading